අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Sunday, September 14, 2025

9/14/2025 07:44:00 pm






අපි ඉන්නේ කදු යායකට වටවෙලා...

“ ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි “ ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටියේ බණ්ඩාර කියන්නේ මේ කදුයායට.

මේ කදුයාය දැන් අපට ( ගමට ) අයිති නැහැ.

අඩවි වන දෙපාර්තමේන්තුව  වන සම්පත අයිති කරගෙන.

වන ජීවි දෙපාර්තමේන්තුව සත්ව ජීවින් අයිති කරගෙන.

දැන් එයාල තමයි අයිතිකාරයෝ .

අනවසරයෙන් කැලෑවට ගියොත් නඩු ගොඩයි.

කන්ද ගිණි අරන්.

කාගේ හෝ නොසන්ඩාල වැඩක් .......

නැත්නම් ලැව් ගින්නක් ඇතිවෙන්න මේ මානා පතනේ ඉඩක් නැහැ.

දුම දකින කොටම ඈත හිටින අපි අයිතිකාරයින්ට අමතරව සමනල වැව පොලිසියට කතා කලා.

දුරකතන ක්‍රියා විරහිතයි.

අයිති නැති වැඩවලට අතදාලා අත පුච්චා ගන්න බැහැ. අත්දැකීම් තියෙන හින්දා ඔහේ බලා හිටියා.

දැන් දවස් දෙක තුනක් තිස්සේ කන්ද ඇවිලි ඇවිලි  හුලං අතට ගින්න පැතිරෙනවා.

අපි බලා ඉන්නවා.

මේ සැප්තැම්බර් මාසේ. අද 15 වයි.

තව සතියකින් දෙකකින් මෝසම් වැස්ස අපිටත් මේ කදු යායටත් ලැබෙනවා.

යන්ත්‍රෝපකරන නොතිබුන කාලේ කුඹුරු හෑවේ . ගොයම් පෑගුවේ මී හරක්ගෙන් .

මේ කදුයායට ගමේ මිනිස්සු ආදරෙයි.

ගොයම් වැඩ එවර වුනාම මී හරක් දක්කා ගෙන ගිහින් මේ කදුයායේ තැනින් තැනට මුදා හරිනවා.

ඒ කාලේ ගම්මුන්ට අයිති මී හරක් පට්ටි කිහිපයක් තිබුනා.

ගම්මු එකතු වෙලා ගින්දර පැතිරිලා නොයන්න ගිණි පටි යොදනවා. ඒ  වපසරියෙන් එහාට ගින්න පැතිරෙන්නේ නැහැ.

සැප්තැම්බර මාසේ වැස්ස බලා ගෙන කන්දට ගිණි තියනවා . වියලි ,මේරු මානා ගිණිගෙන කන්ද කළු පාට වෙනවා.වැස්ස වහිනවා. සතියක් හමාරක් යන කොට ලා සුහුබුල්  මානා දළු දාලා කන්ද කොළ පාට වෙනවා.

ගැමියෝ කන්දට මුදා හරින මී හරකුන්ගේ අහාරය සපන්නේ ඒ විදියට.

අද කන්ද පයිනස් වගාවෙන් වැහිලා.

ගොවියෝ යන්ත්‍රෝපකරන වලට හුරු වෙලා.

කන්දට අතහැරපු හීලෑ මී හරක් වල් මී හරක් වෙලා.

ගැමියන්ගේ අවධානය කන්දෙන් ගිලිහිලා.

අළුත් අයිතිකාරයෝ රජයේ සේවකයෝ නේ..

කන්ද ගිණි ගන්නවා.............


A day in the life

0 ප්‍රතිචාර: