අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Saturday, September 20, 2025

9/20/2025 10:00:00 pm

ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක්. ඒ ගංවතුර මට්ටම රත්නපුර "වේස් අනුස්මරණ" ගොඩනැගිල්ලේ, එහෙමත් නැත්නම් කවුරුත් වගේ දන්න රත්නපුර මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ සලකුනක් සටහන් කරලා තියනවා.

මම ටවුන් එකේ ඇවිදින ගමන් නිකමට වගේ කල්පනා කරලා බැලුවා කොච්චර විතර වතුරක් රත්නපුරේ යටකරන්න ඇත්ද කියලා. මහපාරේ ඉඳල මේ සලකුණට අඩි අටක විතර උසක් තියෙනවා. ඒ උසත් එක්ක හිතලා බැලුවම මේ ගං වතුර කොච්චර බිහිසුණු එකක්ද කියලා හිතාගන්න පුළුවන්. මේ ගංවතුර ගැන ඒ කාලේ හිටපු ආර් එන් තේන් කියන රත්නපුරේ ඒජන්තවරයා තමන්ගේ දින සටහන් වල සටහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම.

එතුමාගේ සටහන් වලට අනුව මේ ගං වතුර ගලන්න වහින්න පටන්ගෙන තියෙන්න 1913 ඔක්තෝම්බර් 4 වෙනිදා. එතුමා කියනවා දිසාපති නිළනිවස පිටිපස්සේ තියෙන වෙල්යාය වතුරෙන් පිරිලා තියෙන්නේ, ඒ නිසා මේ වතුර ඇල දිගේ ගලාගෙන ගිහින් ගඟට එකතු උනාම ගං වතුරක් ඇතිවෙන්න පුළුවන් කියලා.

කොහොමහරි 5 වෙනිදා වෙනකොට ටිකක් වැස්ස පායලා තිබිලා තියෙන්නේ. ඒත් දිසාපති වලව්ව වටේ වතුරෙන් යටවෙලා තිබුන නිසා මේ අය වලව්වේ හිරවෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ රත්නපුරේ දිස්ත්‍රික් ඉංජිනේරු වරයා වෙලා ඉඳලා තිබුණේ එස් ටී කාර්තිගේෂන් කියන මහත්මයා. එතුමා දිසාපති තුමාගෙන් අහලා තියෙනවා වතුර ගලලද කියලා. ඒ වගේම එවෙලේ දිසාපති තුමා දැනගෙන තියෙනවා රත්නපුරේ පොලීසිය මහජන පොළ එහෙමත් වතුරෙන් යට වෙලා තමයි තිබුනේ කියලා.

මේ වෙලාවේ දිසාපති තුමා වතුරේ බැහැලා ඇවිත් තියෙනවා නගරය කොහොමද කියලා බලන්න. එතුමා සටහන් කරනවා එවෙලේ වතුර මට්ටම එතුමාගේ වැලමිටට වඩා ඉහලින් තිබුණා කියලා. පස්සේ මෙතුමා ගිහින් තියෙනවා රත්නපුරේ නගර මධ්‍යයේ තියෙන බලකොටුව පැත්තට. කොටුවෙන් ඒ වෙලාවේ ලොකු වතුර පාරක් එන නිසා එතුමා කොටු දොරකඩින් ඇතුල් වෙන්නේ නැතුව දිස්ත්‍රික් ඉංජිනේරු නිල නිවාස පැත්තට ගිහින්.

එවෙලේ තමයි එතුමා දැකලා තියෙන්නේ ඉංජිනේරු තුමාගේ නිළ නිවසේ වගේම කාර්යාලයේත් අවතැන් වෙච්ච අය ඉන්නවා කියලා. හවස් වෙනකොට දිසාපති තුමා ආයෙත් දිසාපති වලව්ව පැත්තට යන්න කල්පනා කරලා තියෙනවා බිරිඳයි දරුවනුයි වලව්වේ හිටපු නිසා. ඒත් පයින් යන්න බැරි තරමට වතුර වැඩිවෙලා නිසා එතුමා පොඩි බෝට්ටුවක් අරගෙන තමයි ගිහින් තියෙන්නේ වලව්වට.

ඔයාලා දන්නවද දන්නේ නෑ රත්නපුරේ පරණ ආයුර්වේද රෝහල තමයි ඉස්සෙල්ලාම රත්නපුරේ හදපු ඉංග්‍රීසි බෙහෙත් ශාලාව කියලා. ඉතින් මේ වෙලාවේ දිසාපති තුමාට දැනගන්න ලැබිලා තියෙනවා රෝහලත් යට වෙලා කියලා. පස්සේ දිසාපති තුමා බෝට්ටුවකින් ගිහින් බලනකොට තමයි දැකලා තියෙන්නේ රෝහලේ ඉන්න සීයක් විතර ලෙඩ්ඩු අනාත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා.

හයවෙනිදා වෙනකොට පිරිමි රෝගීන් එතකොට තිබුණ පරණ හිරගෙදරටත් යවලා තියෙනවා වතුර වැඩි නිසා. පරණ හිරගෙදර මොකක්ද කියලා දැන් අහන්න පුළුවන්. ඒ තමයි දැනට රත්නපුර ගොවිජන සේවා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල. මේවායේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තරමක් දුරට තාමත් රැකිලා තියෙන නිසා ඒවායේ පෞරානික බව දැකගන්න පුළුවන්.

ඉතින් කල දුටුකල වල ඉහගන්න ඕන නිසා බෝට්ටු කාරයෝ මේ වෙලාවේ තමන්ගේ අය කිරීම් වැඩි කරා වැඩිපුර මුදල් උපයාගන්න. ඒ නිසා මේ බෝට්ටු සේවාව තහනම් කරමු කියලා යෝජනාවක් ආවත් දිසාපති තුමා ඒකට කැමතිවෙලා නැහැ. මොකද පුළුවන් අය හරි ඒකෙන් බේරෙයි කියලා හිතපු නිසා. මෙයාලා පුළුවන් පුළුවන් හැටියට බෝට්ටු යොදාගෙන මිනිස්සු එහා මෙහා කරලා තියෙනවා. හය වෙනිදා හවස් වෙනකොට වතුර සම්පූර්නෙන්ම වගේ අඩුවෙලා ගිහින්.

ඉතින් දිසාපති තුමා සටහන් කරලා තියෙනවා ගම් වල මිනිස්සු කඩවල් වලින් කන්න බොන්න දේවල් මිලදී ගන්න නගරයට එනකොට කඩවල් ඔක්කොම වගේ වහලා තිබුණේ කියලා. ඒ නිසාම මිනිස්සු කඩවල් කඩලා මංකොල්ල කන්න පටන්ගත්තලු. ඒ නිසාම දිසාපති තුමා කරලා තියෙන්නේ කඩවල් වල ආරක්ෂාවට පොලීසියෙන් යොදවපු එක.

ගං වතුර ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. දැන් එමු අපේ කාර්තිගේෂන් ස්මාරකය ගැන කතාවට. මම කලින් කිව්වා මතක ඇති ඔයාලට මේ කාලේ රත්නපුරේ ප්‍රධාන ඉංජිනේරු වරයා වෙලා හිටියේ එස් ටී කාර්තිගේෂන් කියන මහත්මයා කියලා.

ඉතින් මේ ගං වතුර වෙලාවේ මෙතුමා ගොඩක් මහන්සිවෙලා මිනිස්සුන්ගේ සුභ සාධන කටයුතු වලට දායක වෙලා තියෙනවා. ඒත් එතුමා කරපු පවකට වෙන්න ඇති එතුමාට ඒ ගං වතුරෙන්ම තමන්ගේ ජීවිතයට සමු දෙන්නත් සිද්ද වෙලා තියෙන්නේ.

රත්නපුරේ ඔසුසල දැනට පිහිටලා තියෙන්නේ මධ්‍යම බස්නැවතුම්පල කිට්ටුවමයි. මේ ස්ථානයේ පාරේ එහා පැත්තේ පහලින් තියෙනවා වගුරක්. මේකට කියන්න "නාගහමුත්තෙට්ටුව වගුර" කියලා. එක පැත්තකින් මේ වගුර මායිම් වෙන්නේ රත්නපුර කෞතුකාගාරය පිහිටලා තියෙන ඇහැලේපොළ වලව්වෙන්. ආ මට තව දෙයක් කියන්න අමතක උනා. ඒ ඇහැලේපොළ වලව්ව තමයි මේ දිසාපති වලව්ව කියලා කිව්වෙත්. මොකද ඇහැලේපොළ නිළමේ හිරභාරයට ගත්තට පස්සේ මේ වලව්ව ඉංග්‍රීසි දිසාපති නිල නිවාස බවට පත් උනා. දැන් තමයි කෞතුකාගාරය විදියට භාවිතයට ගන්නේ.

ඉතින් ගං වතුර තියෙන වෙලාවේ කාන්තාවන් කීප දෙනෙක් මේ නගහමුත්තෙට්ටුව කියන වගුරේ ගහගෙන යනවා දැකලා තියෙනවා මේ කාර්තිගේෂන් කියන ඉන්ජිනේරුතුමා. එතුමා වතුරට බැහැලා පීනලා ගිහින් මේ අයව බේරගන්න උත්සාහ කරන්න. ඒත් අවාසනාවන්ත විදියට එතුමාටත් ඒ වතුර පාරේම අවසන් ගමන් යන්න සිද්දවෙලා.

පස්සේ රත්නපුරේ පරිපාලන නිලධාරින් සහ ඉංජිනේරු නිලධාරීන් එකතුවෙලා එතුමා වෙනුවෙන් රත්නපුර කෞතුකාගාරය පිහිටලා තියෙන ස්ථානය අසල පාර අයිනේ මෙන්න මේ ස්මාරකය ඉදි කරවලා තියෙනවා. පාර පළල් කරනකොට මේක පේමන්ට් එකට අහුවෙලා අදටත් යහතින් තියෙනවා. වෙලාවකට මල කරදරයක් මේ ස්මාරකය. මොකද පේමන්ට් එක මැදනේ තියෙන්නේ. ඒත් කාර්තිගේෂන් මහත්තයා රත්නපුරේ ජාති ආගම් බේදයක් නැතිව උදවු උපකාර කරපු කෙනෙක්. ඒ නිසා අපි එතනින් යන එන වෙලාවට එතුමාව මතක් කරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක්.

මේ කුලුන කළුගල් කුට්ටි තියලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උස මීටර් දෙකක් විතර වෙනවා. පාදම මීටරයක් විතර දිග පළල සමචතුරශ්‍රාකාර හැඩයක් ගන්නවා. ඒත් කුලුනේ උඩට එන්න එන්න දිග පළල ටිකක් අඩුවෙන්න තමයි හදලා තියෙන්නේ. කුලුනේ ඉහල කොටසේ එක පැත්තක සටහනක් කරලා තියෙනවා. ඔයාලත් කවදාහරි මේ කුලුන ගාවින් යනකොට මේක කියවලා බලන්න...





Article courtesy of Darshana Prabhath Dharmawardhana
Photo courtesy of Shades of Ratnapura team.
A day in the life
face book -

Isuru Maduranga


Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: