ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

2026-05-12

ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග



ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19.
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනකොටස් වාසය කළා. ජනවාර්ගිකත්වය අනුව ප්‍රධාන ජන කණ්ඩායම වන්නේ සිංහල ප්‍රජාව. මේ හැර දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන වාර්ගිකයන්ද මෙහි වාසය කරන අතර ඔවුන් හැඳින්වෙන්නේ සුළු ජනවාර්ගිකයන් ලෙසින්. බොහෝ දෙනකු දන්නේ මෙරට වාසය කරනුයේ මෙම ජනවර්ග හතරට අයත් පිරිස පමණක් බවයි. එහෙත් එම ජනවාර්ගිකයන් හැර තවත් සුළු ජනවාර්ගිකයන් රැසක් මෙරට ජීවත් වන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් මෑතකදී ප්‍රකාශයට පත් කළ ‘පීපල් ඔෆ් ශ්‍රී ලංකා’ කෘතියේ සඳහන් වනවා. එම කෘතිය අනුව සිංහල, ශ්‍රී ලංකා දෙමළ, මුස්ලිම් හෙවත් යෝනක, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ, කොළඹ හෙට්ටි, ශ්‍රී ලංකා මලයාලම්, මැලේ, ලන්දේසි බර්ගර්, පෘතුගීසි බර්ගර්, චීන, මෙමන්, මුහුදු වැද්දන්, ශ්‍රී ලංකා භාරත, කැෆර් නොහොත් කාපිරි, දාවුදි බෝරා, ආදිවාසීන්, සින්දි, අහිකුණ්ටක හා පාර්සි යන ජන කණ්ඩායම් 19ක් ශ්‍රී ලංකාවේ වාසය කරනවා.

2012 ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,359,439ක්. (2017 වන විට මෙම සංඛ්‍යාව 21,016,431ක් ලෙස වර්ධනය වී තිබේ.) වාර්ගිකත්වය අනුව සිංහලයන් 15,250,081 හෙවත් ප්‍රතිශතයක් ලෙස 74.90%ක්ද, ශ්‍රී ලංකා දෙමළ 2,269,266ක් හෙවත් 11.15%ක්ද, මුස්ලිම් 1,892,638ක් හෙවත් 9.30%ද ඉන්දියානු දෙමළ 839,504ක් හෙවත් 4.12%ද මැලේ 44,130ක් හෙවත් 0.22%ද, බර්ගර් 38,239ක් හෙවත් 0.19%ද වන අතර සෙසු වාර්ගියන් සියල්ලන්ගේම එකතුව වන්නේ 25,527ක් හෙවත් 0.13% ක් පමණයි.

ඉන්දියානු දෙමළ

සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට අමතරව මෙරට වාසය කරන ජාතීන් අතර වැඩි ප්‍රතිශතයක් සිටින්නේ ඉන්දියානු දෙමළ ජනයායි. මොවුන් 1823 වසරේ ඉංග්‍රීසින් විසින් මෙරට තේ රබර් සහ කොකෝවා රබර් වගාව සඳහා ශ්‍රමිකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් රැගෙන ආ පිරිසෙන් පැවත එන්නන් ලෙස සැලකෙනවා. කඳුරට දෙමළ ප්‍රජාව ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිසයි. මෙරට ආර්ථිකයට ඉමහත් මෙහෙවරක් මොවුන්ගෙන් සිදුවෙනවා.

කොළඹ හෙට්ටි

කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්‍ය’ කුලයටය. වෛස්‍ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්‍රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්‍රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්‍රජාව සමඟ මිශ්‍ර වී සිටිනවා.



ශ්‍රී ලංකා මලයාලම්

මලයාලි පිරිස් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ 14 වැනි සියවසේ බව පැවසෙනවා. පාණ්ඩ්‍ය, චෝල සහ චේර රජවරුන්ගේ කුලී හේවායන් ලෙස ලංකාවට පැමිණ ඇති මේ පිරිස යළි ඉන්දියාවට නොගොස් මෙරට පදිංචි වී තිබෙනවා. 19 වැනි සියවසින් පසු කෝපි, තේ හා රබර් වගාව සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ලෙසද මලයාලි ජනයා මෙහි ගෙන එනු ලැබුවා. මලයාලි ජනයා පසුව මෙරට වෛද්‍ය, ශාස්ත්‍රාලීය, දුම්රිය, රජයේ සේවය, පොලිස් හා ව්‍යාපාරික ක්ෂේත්‍රවලටද එක් වූවා. 1945 සිට 1967 තෙක් කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූයේද මලයාලි ජාතික සූසන් ජෝජ් පුලිමුඞ් මහත්මියයි. මෙරට සිටි ප්‍රකට හේතුවාදියකු වූ ඒබ්‍රහම් ටී. කොවුර් මහතාද මලයාලි ජාතිකයෙක්. මලයාලින්ගෙන් ඇතැමෙක් සිංහල බෞද්ධ හා ක්‍රිස්තියානි ප්‍රජාව හා මුසු වූ අතර ඔවුන්ගේ දරුවන් සිංහල නම්ගම් භාවිතයට යොමු වී සිටිනවා.

මැලේවරු

ඉස්ලාම් දහම අදහන මැලේවරු ජා මිනිසුන් ලෙසද හැඳින්වෙනවා. ඔවුන්ගේ නිජබිම මැලේසියාව වන අතර සිංගප්පූරුව සහ බෲනේයි රාජ්‍යයන්හිද පැතිර සිටිනවා. මැලේවරු ලංකාවට පැමිණියේ ඕලන්ද යුගයේ සහ බි්‍රතාන්‍ය යුගයේ. එවක මේ දෙරටම ඔවුන්ගේ යටත් විජිතයන්ව පැවැතියා.
බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට මැලේ රෙජිමේන්තුව නමින් හමුදා අනු කණ්ඩයක්ද තිබුණා. ටී. බී. ජයා, එම්. ජේ. අක්බර් විනිසුරුවරයා වැන්නවුන් මෙරට සිටි ප්‍රකට මැලේ ජාතිකයන්. දොදොල්, බිබික්කං, දෝසි, මුං ඇට කැවුම්, නාසිගොරෙං වැනි මැලේවරුන්ගේ ආහාර රැසක් අපේ සංස්කෘතියට එක්වී තිබෙනවා.

පෘතුගීසි බර්ගර්

පෘතුගීසින්ගෙන් පැවත එන මෙම ජන කොට්ඨාශය මෙරටට පැමිණ වසර 500කට අධික කාලයක් ගතවී තිබෙනවා. මොවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලයි. දිවයිනේ වෙනත් ප්‍රදේශවලද මොවුන් සු`ඵ කණ්ඩායම් ලෙස විසිර සිටිනවා. පෘතුගීසින්ගෙන් අපේ බසට බොහෝ වදන් එකතු වුණා. අල්මාරිය, අන්නාසි, බාල්දිය, බංකුව, බෝනික්කා, බොත්තම, ගෝවා, කබොක්, කලිසම, කමිසය වැනි බොහෝ වදන් ඒ අතර වනවා.

ඕලන්ද බර්ගර්

ඕලන්ද බර්ගර්වරු ලෙස හැඳින්වෙන්නේ ලන්දේසින්ගෙන් පැවත එන ජන කොටස්. නැගෙනහිර ඉන්දීය ඕලන්ද සමාගමේ සාමාජිකයන් ලෙස මෙරටට පැමිණි ලන්දේසීන් පෘතුගීසින් පලවා හැරීමට දෙවැනි රාජසිංහ රජුට උපකාර කල අතර පසුව මෙරට පාලනය අත්පත් කරගත්තා. 1796 ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් සමඟ ලන්දේසින් මෙරට හැර ගියද පවුල් 912ක් මෙරට රැඳුණා. 1810 වැනි කාලයේ ලන්දේසි ප්‍රජාව ඉංග්‍රීසින් යටතේ අධිකරණ, හමුදා ලිපිකාර වැනි සේවාවන්හි උසස් නිලතල හොබවනු ලැබුවා. වෛද්‍ය ආර්. එල් ස්පිට්ල්, ජොජ් කීට්, ලයනල් වෙන්ඞ්ට්, ඩන්කන් වයිට් මෙරට සිටි ප්‍රකට ඕලන්ද බර්ගර් ජාතිකයන්.

චීන ජාතිකයෝ

අතීතයේ සිටම මෙරට ජීවත්වන තවත් සුළු ජනකොටසක් වන්නේ චීන ජාතිකයන්. අතීතයේ සේද මාවත ඔස්සේ වෙළෙඳාම හා සංචාරය පිණිස ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙරටට පැමිණි චීන ජාතිකයන් අතර දේශාටනයේ යෙදුණු ෆා-හියන් භික්ෂුව හා හියුන් සාං භික්ෂුව පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වනවා. බි්‍රතාන්‍ය පාලන සමයේ කුරුඳු වගාබිම්වල සේවය සඳහා චීන ජාතිකයන් ශ්‍රමිකයන් ලෙස මෙරටට පැමිණියා. ගාලු සහ ත්‍රිකුණාමල වරාය සහ හැමිල්ටන් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා චීන ජාතිකයන්ගේ ශ්‍රමය යොදා ගැනුණා. 1940 දී දෙවැනි ලෝක යුද්ධයෙන් හා චීන ජපන් යුද්ධයෙන් අනාථයන් බවට පත් චීන ජාතිකයන් විශාල පිරිසක් මෙහි රඳවන ලදැයි පැවසෙනවා. ඉතා සු`ඵ සංඛ්‍යාවක්ව තිබූ චීන ජනගහණය 2000 පසු විශාල වශයෙන් ඉහළ ගියේ සංවර්ධන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන් ලෙස සේවය කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීමත් සමඟයි. මේ වන විට 110,000ක් පමණ චීන ජාතිකයන් මෙරට සිටින බව වාර්තා වනවා.


මෙමන්වරු

මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්‍රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්‍රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්‍රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්‍යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහි ව්‍යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්‍යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්‍ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්‍ර සින්දි උප භාෂාවක්.

මුහුදු වැද්දෝ

ශ්‍රී ලංකාවේ ආදිවාසි ප්‍රජාව උප කණ්ඩායම් තුනකට අයත් වනවා. ඒ ගල් වැද්දන්, ගම් වැද්දන් හා මුහුදු වැද්දන් ලෙසින්. මුහුදු වැද්දන් ලෙස හැඳින්වෙන්නේ මුහුදුකරයේ වාසය කරන ආදිවාසීන්. අනෙක් වැදි උප කණ්ඩායම් වැදි බස හෝ සිංහල හෝ භාවිත කරන අතර මොවුන් භාවිත කරනුයේ දෙමළ බසයි. මොවුන්ගේ ප්‍රධානතම වෘත්තිය මසුන් මැරීම. මුහුදේ, කළපුවල හෝ ගංගාවල මසුන් මැරීමෙන් ඔවුන් තම ජීවිකාව ගෙන යනවා. මෙම වැදි පිරිස මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1911දී සෙලිග්මාන් විසින්. ඔහු ඔවුන් හැඳින්වූයේ නැගෙනහිර වෙරළේ වැද්දන් ලෙසයි. මෙම මුහුදු වැද්දන්ගේ ප්‍රභවය කෙලෙස සිදුවූයේද යන්නට පැහැදිලි පිළිතුරක් නොමැති වුවද ඔවුන්ගේ මුඛ පරම්පරාගත තොරතුරු අනුව ඔවුන් රට මධ්‍යයේ සිටි වැද්දන්ගෙන් පැවත එන්නන් පිරිසක්. එහෙත් රට මධ්‍යයේ සිටින වැද්දන් මොවුන් තමන්ගේ පිරිසක් ලෙස පිළිගැනීමට සූදානම් නැතැයි හියු නෙවිල් තම කෘතියක සඳහන් කර තිබෙනවා. මොවුන් කිසිදු වරිගයකට අයත් නොවන බව රට මැද සිටින ආදිවාසීන්ගේ මතය බව නෙවිල් වැඩි දුරටත් සඳහන් කරනවා. දැනට මුහුදු වද්දන් 2460 දෙනෙක් සිටින බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා භාරත ජනයා

භාරත ජනයා නමින් හැඳින්වෙන ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළෙඳ ප්‍රජාවක්. සාමකාමී හා නීති ගරුක මෙම ප්‍රජාව මන්නාරමේ සිට පානදුරය දක්වා වන මුහුදුබඩ තීරයේ ජීවත් වූවා. ඔවුන් ප්‍රථමයෙන් මෙහි පැමිණියේ මන්නාරමේ මුතු කිමිදීම හා වෙළෙඳාම සඳහායි. කොළඹ වරාය ඉදි කිරීමේදී එහි සේවය සඳහාද භාරතවරුන් මෙහි පැමිණ තිබෙනවා. පසුකාලීනව පොල් හා කරවල වෙළඳාමටත්, දේපල ඉඩකඩම් අලෙවියටත් ඔවුන් සම්බන්ධ වුණා. මොවුන්ගෙන් පිරිසක් මුහුදුකරයෙන් රට මැදට ගිය අතර නුවර හා කුරුණෑගල ප්‍රදේශවලද පදිංචි වුණා. පැරැන්නන් දෙමළ බස පමණක් වැහැරුවද තරුණ පරපුර සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන ආගම රෝමානු කතෝලික ආගමයි. පරවර, පරාව, පරාවර් වැනි නම්වලින් හැඳින්වෙන්නේද මෙම ජනකොටසයි. කොස්තා, රෝච්, ද කෲස් යන වාසගම් ඔවුනට හිමියි.

කාපිරි නොහොත් කැෆර් ජනතාව
ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ජනයා සියවස් ගණනකට ඉහත මොසැම්බික් දේශයේ සිට මෙරටට රැගෙන එන ලද පිරිසක්. මෙම අප්‍රිකානු ශ්‍රී ලාංකියන්ගේ සංස්කෘතිය ක්‍රියොල් සංස්කෘතිය ලෙසද හැඳින්වෙනවා. පෘතුගීසීන් විවිධ සේවා සඳහා අප්‍රිකානුවන් 3000ක් පමණ 16 වැනි සියවසේදී මෙරටට රැගෙන ආවා. පසුව ආරාබි වෙළෙඳුන්ද, ඕලන්දයන්දයන් හා ඉංග්‍රීසීන් විසින් ගෘහ සේවය සඳහා ද වතුවල සේවය සඳහා ද හේවායන් ලෙසද මොවුන් ගෙනවිත් තිබෙනවා. පුත්තලමේ සිරම්බිඅඩියේද, ත්‍රිකුණාමලයේ පල්ලායිඋත්තු හිද, කල්පිටිය මඩකලපුව හා මීගමුව වැනි ප්‍රදේශවලද ඔවුන් වාසය කරනවා. අද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිංහලයන් හෝ දෙමළ ජනයා සමඟ මුසුවෙලා.

ශ්‍රී ලංකා දාවුදි බෝරා

සියවස් දෙකකට අධික කාලයක සිට දාවුදි බෝරාවරු ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ශ්‍රී ලංකාවට පැමිණි පළමු බෝරාවරයා ක්‍රි. ව. 1830 දී පමණ වයඹදිග ඉන්දියාවේ කුච් නගරයේ සිට පැමිණි ජැෆර්ජි එසාජි නමැත්තෙක්. ඔහු මුහුදු යාත්‍රාවකින් කුච් සිට මාලදිවයින වෙත යාත්‍රා කරමින් සිටියදී කුණාටුවකට හසුවීම නිසා ගාල්ලට ළඟාවී තිබෙනවා. පසුව ජැෆර්ජි එසාජි ගාල්ල ප්‍රදේශයේ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. ක්‍රමයෙන් ඔහුගේ නෑ පිරිවරද මෙහි පදිංචියට පැමිණ තිබෙනවා. කරීම්ජි ජැෆර්ජි නම් වූ ඔහුගේ පුත්‍රයා පසුව ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර ගාල්ලේ අදටත් දැකිය හැකි ලංකාවේ පළමු බෝරා දේවස්ථානය ඉදිකර තිබෙනවා. 1850 දී පමණ කොළඹට සංක්‍රමණය වූ මෙම වෙළෙඳ ප්‍රජාව සහල්, සීනි, භූමිතෙල් හා විවිධ ධාන්‍යවර්ග හා රෙදිපිළි ආනයන හා අපනයන ව්‍යාපාරවල නිරත වුණා. 19 වැනි සියවසේ සිට මෙරට වෙළඳාමේ ප්‍රබලයන් වූ අදම්අලී, හෙබ්තුල්ලාබෝයි, ඩාවුද්බායි, නූර්බායි, ජැෆර්ජි සහොදරයෝ, අක්බාර් සහෝදරයෝ වැනි සමාගම්වලින් සමහරක් වර්තමානයේද ක්‍රියාකාරීයි.

වැදි ජනතාව

වැද්දා යන්නෙහි අරුත දඩයක්කාරයා යන්නයි. ලංකාවේ ආදිවාසි ජනයා ලෙස හැඳින්වෙන වැදි ජනයා විජය හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට මහවංශයේ සඳහන්. වැද්දන් මිශ්‍ර මානව වර්ගයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. ඔවුන් නීග්‍රෝ, ඔස්ට්‍රලොටිඞ්, හා පාෂාණ යුගයේ මධ්‍යධරණී මනුෂ්‍ය වර්ගයාගේ මුසුවක් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ වැදි ජනයා විවිධ ගෝත්‍රවලට අයත් වනවා. බණ්ඩර නොහොත් රුගම්, මොරාන, උනාපාන, ඌරු, නබුදන්, නබදාන ඇඹල තලා වැනි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි.

ශ්‍රී ලංකා සින්දි ජනතාව

සින්දි ජනයාගේ මව්රට ඉන්දියාවේ සින්ද් ප්‍රාන්තයයි. ඉන්දියාව දෙකඩ වීමෙන් පසු එම ප්‍රාන්තය පාකිස්තානයට එක් වුණා. සින්දි ජනයා 19 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සේද වෙළෙඳාම සඳහායි. කොළඹ කොටුව ප්‍රදේශයේ වෙළෙඳාමේ නිරත වූ ඔවුන් නැව් මගින් මෙරටට පැමිණි යුරෝපීය සංචාරකයන්හට සේද රෙදි සහ කුඩා මෙවලම් අලෙවි කිරීමේ නිරත වුණා. පසුව පිටකොටුව කෙලින් වීදියේ වෙළෙඳසැල් පිහිටුවා ගත් ඔවුන් තොග වෙළෙන්දන් ලෙස ප්‍රකට වුණා. 1924දී ලංකා සින්දි වෙළෙඳ සංගමය පිහිටුවා ගත් මේ පිරිස මෙරට ප්‍රධාන නගරවල වෙළෙඳ කටයුතු මෙහෙය වූවා. ලංකාවේ සිටින සින්දි ප්‍රජාව වහරන බස වන්නේ සින්ද් දේශයේ බසයි. ලේඛනය අප මෙන් වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ලියවෙන්නක්.

අහිකුණ්ටික ජනයා

අහිකුණ්ටික ජනයා දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොට්ඨාශයකින් පැවත එන පිරිසක්. කුරවර් ගෝත්‍රිකයන්ගෙන් ඔවුන් පැවැත එන බව පැවසෙනවා. තෙළිඟු බස වහරන ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙමින් ,කලින් කලට තැනින් තැනට යමින් දිවි ගෙවන පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන රැකියාව නයින් හා රිලවුන් නැටවීම හා ශාස්ත්‍ර කීමයි. වෙන්කඬේස්, මාසෙම්මා, සෙල්ලපූර් අම්මා, මාඩසාමි ඔවුන් අදහන දෙවිවරුයි. ඔවුන්ගේ නිවෙස් හැඳින්වෙන්නේ නායිල්ල නමින්.

ශ්‍රී ලංකා පාර්සිවරු

ලොව පුරා සිටින පාර්සි ජනගහනය 100,000කට අධික නොවේ. ඉන්දියාවේ බොම්බාය ආශ්‍රීත නගරවල ජීවත් වන මෙම ජනයා සියවස් 10කට පමණ ඉහත පර්සියාවෙන් බිහිවූ ජන කණ්ඩායමක්. අරාබීන් විසින් පර්සියාව අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ පදිංචියට පැමිණ තිබෙනවා. මෙමොන්, බෝරා, භාරත සහ හෙට්ටි මිනිසුන් මෙන්ම පාර්සිවරුද වෙළෙඳ ප්‍රජාවක්. පාර්සිවරු ශ්‍රී ලංකාවේ වාසයට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේදී. 1930 වසරේ පාර්සිවරු 450ක් පමණ මෙරට වාසය කළද 2005 වන විට එම සංඛ්‍යාව 45 දක්වා අවම වී තිබෙනවා. පාර්සිවරුන් වහරන්නේ ගුජරාටි බසයි. මෙරට ප්‍රකට වෙළෙඳ සමාගමක් වන අබාන්ස් හි හිමිකාරිය වන අබාන් පෙස්ටන්ජි මහත්මිය සහ ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමිකරුවන් වන කැප්ටන් පවුල මෙරට සිටින ප්‍රකට පාර්සි ව්‍යාපාරික පවුල්ය. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකාරිත්වය එවක පැවතියේද කැප්ටන් පවුල යටතේයි. බොම්බායේ සිට පැමිණි කාන් පවුල එවක මෙරට වැඩිම තෙල් මෝල් හිමිකරුවන් වුණා. පිටකොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ ඔවුන් විසින්.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

A day in the life 
ජීවිතයෙන් දවසක් .


2026-05-06

මනුෂ්‍යත්‍වය .


1997 වසරේ දෙසැම්බර් මාසයේ වොෂින්ටන් නුවර පාලනය කළේ දරාගත නොහැකි අධික ශීතලකි. වීදි ලාම්පු එළියෙන් දිලිසෙන අයිස් කැට පදික වේදිකා මත තැන්පත් වෙද්දී, නගරයේ ප්‍රභූවරු සිය උණුසුම් කබා තුළට ගුලි වී නත්තල් සිරිය විඳිමින් සිටියහ. එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් කෙනඩි මධ්‍යස්ථානයේ පැවති සාම්ප්‍රදායික නිවාඩු දින ප්‍රසංගයකට සහභාගී වී ආපසු එමින් සිටියේ එවැනි එක් සීතල සැඳෑවකදීය.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුගේ ගමනක් යනු ඉතා දැඩි ආරක්ෂක විධිවිධාන මැද, තත්පරයෙන් තත්පරයට සැලසුම් කළ ක්‍රියාවලියකි. 'බීස්ට්' ලෙස හැඳින්වෙන ජනාධිපති රථය සහ ආරක්ෂක නිලධාරීන්ගේ රථ පෙළ පිරිවරාගෙන ක්ලින්ටන් පිටතට පැමිණෙද්දී, දොරටුව අසල කෙළවරක අඳුරු සෙවනැල්ලක් මෙන් සිටි මිනිසෙකු ඔහුගේ නෙත ගැටුණි.
එම මිනිසා හතළිස් දෙහැවිරිදි මාකස් විලියම්ස් ය. ඔහු ඇඳ සිටියේ වසර ගණනාවක් පැරණි, දිරාපත් වූ සිහින් ජැකට්ටුවකි. ඔහුගේ දෑත් ශීතලට නිල් පැහැ වී තිබූ අතර, ඔහු අත රැඳි කාඩ්බෝඩ් පුවරුවේ වූයේ කෙටි නමුත් රුදුරු වැකියකි,
"Marine - Desert Storm - Hungry" (මැරීන් සෙබළෙක් - ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුම - බඩගිනි).
පර්සියානු ගල්ෆ් යුද්ධයේදී ඇමරිකාව වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ සෙබළෙකු, තමාගේම රටේ අගනුවර වීදියක බඩගින්නේ සීතලේ ගැහෙමින් සිටීම ඕනෑම සංවේදී මිනිසෙකුගේ හදවත කම්පා කරවන දසුනකි. ක්ලින්ටන් තම රථයට ගොඩවීමට පෙර මොහොතක් නතර විය. ආරක්ෂක නිලධාරීන් ඔහුව රථය තුළට යොමු කිරීමට උත්සාහ කළද, ජනාධිපතිවරයා ඔවුන්ව මදකට පසෙකට කර මාකස් වෙත පිය නැගුවේය.
මීළඟට සිදු වූ දෙය රහස් සේවා නියෝජිතයන් පවා අපේක්ෂා නොකළ දෙයකි. ක්ලින්ටන් තම ඉතා වටිනා උණුසුම් උඩුකය කබාය ගලවා, එය මාකස්ගේ උරහිස මත දැමුවේය. ඉන්පසු ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයා, කිසිදු පැකිලීමකින් තොරව එම අපිරිසිදු සහ අධික ශීතල කොන්ක්‍රීට් පදික වේදිකාව මත මාකස් අසලින් හිඳගත්තේය.
ජනාධිපතිවරයාගේ රහස් සේවා නිලධාරියෙකු වූ ලැරී කොකෙල් පසුව සඳහන් කළේ, එම අවස්ථාවේදී තමන් දැඩි ආරක්ෂක අවදානමක සිටි නමුත් ජනාධිපතිවරයාගේ මානුෂීය හැඟීම ඉදිරියේ නීති රීති අමතක වූ බවයි. ක්ලින්ටන් මාකස්ගෙන් විමසා සිටියේ ඔහුගේ පෞද්ගලික තොරතුරු නොව, ඔහුගේ සේවය පිළිබඳවයි.
"ඔබ සේවය කළේ කුමන බලඇණියෙද? කුමන සටන්වලටද ඔබ සහභාගී වුණේ?" ක්ලින්ටන් විමසීය. මාකස් සිය යුධ අත්දැකීම් පවසද්දී ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එයට සවන් දුන්නේය.
එහිදී හෙළි වූයේ මාකස් යුද්ධයෙන් පසු පශ්චාත් කම්පන ආතතී තත්ත්වයෙන් (PTSD) පීඩා විඳි බවත්, රැකියාව අහිමි වී පවුලෙන් වෙන් වූ පසු ඔහු මෙලෙස මඟට වැටුණු බවත්ය.
විනාඩි විසිපහක් පුරා එම සීතලේ හිඳගෙන ක්ලින්ටන් කළේ දේශනා පැවැත්වීම නොවේ. ඔහු කළේ මාකස්ට තමා තවමත් වටිනා මිනිසෙකු බව හැඟවීමට උත්සාහ කිරීමයි. මාකස් දින දෙකකින් ආහාර ගෙන නොමැති බව දැනගත් විට, ක්ලින්ටන් වහාම ආරක්ෂක නිලධාරියෙකු යවා අසල තිබූ අවන්හලකින් ආහාර ගෙන්වා දුන්නේය. ආහාර ලැබෙන තෙක් ඔහු මාකස් සමඟ සිටි අතර, මාකස් එය අනුභව කරන අයුරු දෙස ඔහු බලා සිටියේ පියෙකු දෙස බලන දරුවෙකුගේ සෙනෙහසිනි.
එතැනින් නික්ම යාමට පෙර ක්ලින්ටන් මාකස්ගේ දෑත් අල්ලාගෙන පැවසූ වදන් පසුකාලීනව මාකස්ගේ ජීවිතය වෙනස් කිරීමට සමත් විය.
"බලන්න මාකස්, ඔබ මේ රට වෙනුවෙන් කළ කැපකිරීමට මේ රට ඔබට නිසි ගෞරවය දී නැහැ. ඒ වෙනුවෙන් මම ඔබෙන් සමාව ඉල්ලනවා. නමුත් මතක තබාගන්න, ඔබේ කතාව මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා ඔබේ ජීවිතයේ මීළඟ පරිච්ඡේදය වඩාත් හොඳින් ලියන්න මම උදව් කරනවා කියලා."
ක්ලින්ටන් එය හුදු දේශපාලන පොරොන්දුවකට සීමා කළේ නැත. පසුදා උදෑසන ධවල මන්දිරයට ගිය සැණින් ඔහු ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (Veterans Affairs) ප්‍රධානීන් අමතා මාකස් විලියම්ස් ගැන පෞද්ගලිකවම සොයා බැලීමට නියෝග කළේය. පැය 48ක් ඇතුළත මාකස්ව රජයේ සුබසාධන මධ්‍යස්ථානයකට යොමු කෙරුණු අතර, ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, මනෝවිද්‍යාත්මක උපදේශන සහ රැකියා පුහුණුව ලබා දීමට කටයුතු කෙරුණි.
වසර කිහිපයක් ගත වන විට මාකස් විලියම්ස් සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙකු බවට පත් විය. ඔහු තමාට ලැබුණු උපකාරවලින් උපරිම ඵල නෙළාගත් අතර, මත්පැන් සහ මානසික අවපීඩනයෙන් මිදී ස්ථාවර රැකියාවක් සොයා ගත්තේය. ඔහුට සිය දරුවන් සහ පවුල සමඟ නැවත එක් වීමටද අවස්ථාව ලැබුණි.
පසුකාලීනව ඔහු 'යුද ප්‍රවීණයන්ගේ අයිතිවාසිකම්' වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවට පත් විය. ඔහු තමාට හමු වූ සෑම නිවාස නොමැති සෙබළෙකුටම පැවසුවේ "ජනාධිපතිවරයෙක් මාව විශ්වාස කළා නම්, ඇයි ඔබට ඔබව විශ්වාස කරන්න බැරි?" යනුවෙනි.
2015 වසරේදී වොෂින්ටන් පෝස්ට් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය,
"එදා ඒ සීතල පදික වේදිකාවේදී ජනාධිපතිවරයා මට දුන්නේ කබායක් සහ කෑම වේලක් විතරක් නෙවෙයි. ඔහු මට මගේ ගෞරවය ආපසු ලබා දුන්නා. ලෝකයේ බලවත්ම මිනිසා මා වැනි අමතක වී ගිය මිනිසෙකු අසල බිම වාඩි වූ මොහොතේ මට දැනුණා මා තවමත් මේ ලෝකයට වැදගත් කෙනෙක් කියලා. මම ජීවත් වෙන්න තීරණය කළේ ඒ මොහොතේදියි."
බිල් ක්ලින්ටන් සහ මාකස් විලියම්ස්ගේ මෙම කතාව මානුෂීයත්වයේ උත්කෘෂ්ටභාවය කියාපාන ජීවමාන පාඩමකි. බලය, පදවි සහ තාන්න මාන්න පසෙක ලා මිනිසෙකු තවත් මිනිසෙකුගේ වේදනාව හඳුනා ගැනීම තරම් උතුම් දෙයක් තවත් නැත.
බොහෝ විට අසරණ මිනිසුන් බලාපොරොත්තු වන්නේ මුදලට වඩා තමන්ට සවන් දෙන කෙනෙකි.
ලෝකයේ ඉහළම තනතුරක සිටියද, සාමාන්‍ය මිනිසෙකු සමඟ බිම වාඩි වීමට තරම් නිහතමානී වීම සැබෑ නායකත්වයේ ලක්ෂණයකි.
එක වචනයකින් හෝ එක ක්‍රියාවකින් පුද්ගලයෙකුගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කළ හැකිය.
අදටත් ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ක්ලින්ටන්ගේ පාලන සමය ගැන කතා කරන විට, මෙම "දෙසැම්බර් රාත්‍රියේ හමුවීම" වඩාත් සංවේදී සලකුණක් ලෙස ඉතිරි වී ඇත. එය අපට මතක් කර දෙන්නේ, ලෝකය වෙනස් කිරීමට විශාල යුද්ධ ජය ගැනීමට අවශ්‍ය නොවන බවත්, පදික වේදිකාවක වාඩි වී අසරණයෙකුගේ අත අල්ලා ගැනීමෙන් පවා ලෝකය වෙනස් කළ හැකි බවත්ය.
සටහන: මෙම කතාව පදනම් වී ඇත්තේ එවකට මාධ්‍ය වාර්තා සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ස්මරණයන් ඇසුරෙනි. මානුෂීයත්වය අගයන ලෝකයේ "Lost in Yesterday" වැනි පිටු මගින් මෙය තවමත් මහත් ගෞරවයෙන් ස්මරණය කරනු ලබයි.









A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-02

කුල මානය සහ හීන මානය.



කළුතර - මතුගම පමණක් තියෙන කුලයක් තියෙනවා.
එහි නම "දෙමල ගස්තර".
මේ කුලය කුල ශ්‍රේණිගත කිරීම් හි අඩියේ තියෙන කුලයක්.
මේ කුලයේ අය ජීවත් වෙන්නේ කළුතර මතුගම පමණයි.
මම කුල පද්ධතිය විශ්වාස කරනා හෝ ඒ ගැන අඹමල් රේණුවක දැනුමක් ඇති හෝ හැදෑරීමක් කළ අයෙකු නෙවෙයි.
මම දැනට මා ජීවත් වූ ජීවිත කාලය පුරාම කුල පද්ධතිය, ඒ නිසා සිදුවන නොකටයුතුකම් පහත් කරමින් කතා කළ, ඒවා අවඥාවට ලක් කළ පුද්ගලයෙක්.
කුල පද්ධතිය අප කලාපයේ පමණක් ඇති ගෝත්‍රීක බෙදීමක් ලෙස දැකපු පුද්ගලයෙක්.
තාමත් ඒ අදහසේ වෙනසක් නැහැ.
නමුත් මට මගහැරුනු තැනක් තමයි ජීවිත කාලය පුරාම මිනිහෙක් හෝ ගැහැණියක් තමන් අඩු කුලයේ බව දැනගෙන ජීවත් වෙද්දී ඔවුන්ට ගොඩනැගෙන හීනමානය.
මේ හීනමානය නිසාම ඔවුන් ඉතාම සමාජ විරෝධි, විනාශකාරීන් බවට පත් වෙනවා.
ඔබ සමාජයේ ඔය රැඩිකල් කියනා මතධාරීන් අධ්‍යනය කරන්න.
බොහෝ විට ඔවුන් හේතු තුන හතරක් නිසා පීඩාවට ලක් වූ මිනිසුන්.
එකක් කුලය. එහෙම නැත්නම් දරිද්‍රතාවය. එසේ නැත්නම් රූපය.
ඔබ ඔය ෆේස්බුක් එකේ සමාජය, සංස්කෘතිය විනාශ කරන්න උත්සාහ කරන හෝ ඉන් එහා ඒ වෙනුවෙන් කතා කරන මිනිස්සු අධ්‍යනය කරන්න.
ඔවුන් ඉන්නේ අඳුරු කලාපයක.
ඔබ බලන්න ගුරුවරුන්ට සාරිය එපා කියමින් සටන් වදින රැඩිකල් කාන්තාවන්.
ඔබ බලන්න ඉතිහාසය අමු අමුවේ විකෘති කරන යූටියුබ්කරුවන්.
වැඩිය උවමනා නැහැ. එක්තරා රැඩිකල් පුද්ගලයෙකු සිටිනවා. මට මතකයි එක තැනක ඔහු කිව්වා ඔහුට පොඩි කාලයේ කන්න තිබුණේ නැහැ.
ඒ නිසා ඔහුට සල්ලි ආවට පස්සේ ඔහු අසීමිතව කෑවා කියලා.
ඒ තමයි මිනිස්සු 'ඇරියස්' කවර් කරන හැටි.
ඔවුන්ගේ මූලික අදහස්, ක්‍රියා, අරගලයම බැඳීලා තියෙන්නේ සමාජ වෛරයක් උඩ.
ඉතා සුලුතර පිරිසක් මේ අඳුරු කලාපයේ ඉපදී සිටියත්, පසුව ජීවිතය ගොඩනගාගෙන ආලෝකයට පැමිණෙනවා.
ඔවුන් සමාජයට වෛර කරන්නේ නැහැ.
නමුත් බහුතරය, ඔවුන් ජීවිතයේ එක් පැත්තකින් සාර්ථක වූවත් අර හීනමානය සහ වෛරය විසින් ඔවුන් මෙහෙයවනවා.
වික්ටර් අයිවන් 1971 කැරැල්ලෙන් ඉවත් වී පසුව ඒ ගැන පොතක් ලිව්වා.
1971 කැරැල්ලේ කුල පසුබිම ගැන. එහිදී ඔහු 71 කැරැල්ලට සහභාගී වූ ජවිපෙ නායකයන්ගේ කුල පසුබිම සාකච්ඡා කරනවා.
එමෙන්ම කැරැල්ලට වැඩිපුරම පිරිස් සහභාගී වූ ප්‍රදේශ වල කුල සංයුතිය සාකච්ඡා කරනවා.
කැරැල්ලට සහභාගී වූ අති බහුතරය සමාජයේ පීඩිත, ඊනියා ශ්‍රේණිගත කිරීම් හි පහත් යැයි සම්මත කුල.
වික්ටර් අයිවන් තර්ක කරන්නේ 1971 කැරැල්ල එවැනි පීඩිතයන්ගේ හීනමාන සංතෘප්ත කර ගැනීමේ අරගලයක් මිසෙක, ජාතික අරමුණක් වෙනුවෙන් කළ පුළුල් අරගලයක් නොවන බව.
දමිල සමාජයේ ගොඩනැගුනු කොටි සංවිධානයෙත් පසුබිම, කුලය.
නැවත මාතෘකාවට ආවොත් දෙමල ගස්තර කුලය ගැන මා දැනගන්නේ දින දෙකකට පමණ පෙර.
මේ ආණ්ඩුව විශාල වශයෙන් දමිල ගස්තර කුලයේ පිරිස් ඔවුන්ගේ කුලය නිසාම රාජ්‍ය ආයතන වල ඉහළ තනතුරු වලට පත් කරනවා.
දැනට මේ කුලයේ ඉහළම සාමාජිකයා මාලිමාව නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙක්.
මගේ තර්කය මිනිස්සු දේශපාලනය කරන්න ඕන ජාතික අරමුණකට.
ජාතික දැක්මකට, නව අදහස් වෙනුවෙන්.
කවුරුන් හෝ තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඇරියස් කවර් කිරීමට දේශපාලනය කරලා, රටේ බලය ගත්තොත් රට එතැනින් නතර වෙනවා.
ඔවුන් එතැන් සිට දේශපාලනය කරන්නේ දැක්මක් වෙනුවෙන් රට ගොඩනගන්න නෙවෙයි.
මුලු ජීවිත කාලයේම තමන්ට මග හැරුණු ආතල් ගන්න සහ තමන්ගේ හීනමාන සංතෘප්ත කර ගැනීමට නිසා.
අද ලාල් කාන්තලාට, සමන්ත විද්‍යාරත්නලාට වෙලා තියෙන්නේ ඒක.
තමන් නිර්ධන පන්තියේය කියලා දේශපාලනය කරපු ඔවුන්, අද ඔවුන්ගේම හීනමාන විසින් ගිලගෙන තමන් එසේ නොවන බව රටට පෙන්වීම මූලික වැඩේ කරන්.
ඔවුන්ට එදා කතා අමතක වෙලා හෝ ඒවා අද 'රිග්‍රෙට්' කරනවා.
ඔවුන් උපයන ධනය අයතා වත්කම් බව බබෙක් නොවන ඕනෑම අයෙකුට තේරෙනවා.
නමුත් හීනමාන වෙනුවෙන් ඔවුන් දිගටම උපයනවා. ගෙවල් හදනවා.
රටේ වැඩක් කරන්නේ හෝ කෙරෙන්නේ නැහැ.
අද ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා ව්‍යාපාරිකයන් ඉදිරියේ දෙකට නැවෙන්නේ, දිනපතා ඔවුන් එක්ක බොන්නේ අර හීනමාන නිසා.
ඔවුන් හිතනවා 'කළින් හිටපු ඇමතිලත් මෙහෙම තමයි කළේ. අපිත් උන්ගේ තත්තවයට එන්න ඕන' කියලා.
ඉතින් ඔවුන් කොළඹ ව්‍යාපාරිකයන්ගේ කරට අත දාගෙන බොනවා.
ව්‍යාපාරිකයන් ඔවුන් අල්ලේ නටවනවා.
ඔබ දැකලා තියෙනවද කොළඹ ව්‍යාපාරිකයෙක් මේ ආණ්ඩුව විවේචනය කරනවා ?
නැහැ.
මේ ඩීල් එකක් දාගන්න පහසුම ආණ්ඩුව.
ඉස්සර ඔබට ඩීල් එකක් දාගන්න උවමනා නම් මිලියන පහක් - දහයක් විසි කරන්න වුණා.
ඇමතිගේ සම්බන්ධීකරන ලේකම්ගේ ඉදලා ෆෝන් එක හැන්ඩ්ල් කරන PA ට පවා වාත වෙන්න වුණා.
මම කියන්නේ ඒක හරියි කියලා නෙවෙයි.
නමුත් අද ඔබට ඩීල් එකක් දාගන්න උවමනා බ්ලැක් ලේබල් බෝතලයක් සහ කොළඹ කොහේහරි අපාර්ට්මන්‍ට් එකක් විතරයි.
ඒ නිසාම එදාට වඩා බොහෝ ගුණයකින්, හැම කුඩා ටෙන්ඩරයකටම සහ රාජ්‍ය මිලදී ගැනීමකටම අද ඩීල් එකක් වැටෙනවා.
වෝටර් බෝර්ඩ් එකේ කෙමිකල් ටිකේ ඉඳලා, බාල ගල් අගුරු ගේන්න, ඉන්දියාවෙන් ගේන හාල් ටිකට, ප්ලග් බේස් එකට පවා ඩීල් වැටෙනවා.
ඔබ බලන්න ඒ කාලේ පාර්ලිමේන්තුව.
මේ තමයි ඉතිහාසයේ වැඩිම පිරිසක් 'කෝට්' අඳින ආණ්ඩුව.
නමුත් මේ තමයි වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට එන්න පෙර 'කෝට්' නොඇඳපු මිනිස්සු හිටපු ආණ්ඩුව.
ඒවා සියුම් හීනමාන.
මේ ආණ්ඩුවේ සියලූම දෙනා ඉංග්‍රීසි කතා කරන මිනිස්සුන්ට බයයි. ඔවුන් කෙරෙහි සියුම් ගරුත්වයක් තියෙනවා.
මේ ආණ්ඩුවේ සියලූම දෙනා මිනිස්සු තමන් මුන ගැහෙන්න එන වාහනය දිහා බලනවා. ඔවුන් වාහනයට බයයි.
ඒවා ජාතික තලයේ දි රටක් විනාශ කළ හැකි මානසිකත්වයන්.
මාලිමාවේ කණ්ඩායම බලන්න.
අපි ජේවිපි මිනිස්සු අමතක කරමු.
ඔබ ගන්න ඔවුන්ගේ ඉහළම, ඔවුන් ශිෂ්ඨ කියලා මාකට් කරන චරිත දෙක.
අගමැති හරිනි අමරසූරිය. හරිනි කොළඹ කාන්තාවක්.
හැබැයි ඇය පුද්ගලික හේතුවක් නිසා කොළඹ සමාජයේ කොන් වෙලා හිටපු, 2019 දිත් නැති වෙච්ච පූසො ගැන පෝස්ට් ශෙයා කර කර හිටපු කෙනෙක්.
දෙවැන්නා අධිකරන ඇමති හර්ෂන නානායක්කාර. නීතිඥයෙක්.
හැබැයි නීතිඥ සමාජයේ තුන්වෙනි ස්ථරයේ නීතිඥයෙක්.
කළින් ආණ්ඩු වල හිටියේ ජී. එල් ලා. විජේදාස රාජපක්ෂ ලා, අලි සබ්‍රි ලා. නීතිඥ ක්ෂේත්‍රයේ ඉහළම ඉඳපු කට්ටිය.
හර්ෂන ලා ඒ පීරමීඩයේ බොහෝ පහත හිටියේ.
අද ඔහු අධිකරන ඇමති. ඔහු එයට සැබැවින්ම සුදුසුද ?
අනුර කරුණාතිලක. PhD එකක් නැතිව විශ්ව විද්‍යාලයේ උගන්වපු මිනිහෙක්.
මාලිමාවේ 159 දෙනාගේ සුදුසුකම් එකින් එක පරීක්ෂා කරන්න.
ඔවුන්ගේ පසුබිම, ඔවුන් මේ තනතුරු වලට එන්න කළින් ඔවුන්ගේ ක්ෂේත්‍රයේ ඔවුන් කොතරම් 'ඉහළ' ඉඳපු පිරිස් ද කියලා හොයලා බලන්න.
ඔවුන් සියලූම දෙනාම තමන්ගේ ක්ෂේත්‍ර වල පහලම අඩියේ සිටි පිරිස්.
කළින් ආණ්ඩු වල ත්‍රාඩයො හිටියා.
මර්වින් සිල්වා ලා හිටියා.
හැබැයි ඒ ආණ්ඩු පාලනය කළේ, විෂන් එක හැදුවේ, තින්ක් ටෑන්ක් වුණේ වෙන පිරිසක්.
ඔවුන් ඔවුන්ගේ ක්ෂේත්‍ර වල ඉහළටම ගියපු, බුද්ධිමත්, වැදගත් මිනිස්සු.
මේ ආණ්ඩුවේ විශේෂත්වය මේ ආණ්ඩුවේ 159 ම අඩු වැඩි වශයෙන් මර්වින් සිල්වා ලා.
මර්වින් මෙන් ගහේ බඳින්න නොයන පිරිස් පවා චින්තනයෙන් මර්වින් සිල්වා ලා.
අද රට නැවතිලා තියෙන්නෙත්, මාලිමා ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන දේශපාලනික අර්බුධයත් ඒක.
මාලිමාවේ ජාතික දේශපාලනයම ගොඩනැගිලා තියෙන්නේ මිනිස්සු කණ්ඩායමකගේ පුද්ගලික හීනමාන සංතෘප්ත කර ගැනීම වෙනුවෙන්.
ඔවුන්ට කාලයක් නොලැබුනු පිළිගැනීම, මුදල් ඉපැයීම වෙනුවෙන්.
ඔවුන්ට කාලයක් බොන්න බැරිවුනු විස්කි බොන්න, කාන්තාවො එක්ක නිදාගැනීම වෙනුවෙන්.
ආණ්ඩුවේ මූලික වැඩේ ඒක.
ඔවුන්ට වෙනත් ජාතික දැක්මක්, ජාතික අදහසක් නැහැ.
මාලිමාවට තමව දිට්වා කුණාටුවෙන් හානි වෙච්ච පාරවල් ටික හදාගන්න බැරි ඒකයි.
හැබැයි ඔවුන් කොළඹ ව්‍යාපාරිකයන්ට දෙවරක් එකම බිලට මුදල් ගෙවීමට මුදල් තිබෙනවා.
මේ අවුරුදු පහ ශ්‍රී ලංකාවට අපතේ යන, කිසිම වැඩක් නොකරෙන, එක තැන පල් වෙන හෝ පසුපසට යන අවුරුදු පහක්.
අවම වශයෙන් එතැනින් නතර වුනොත් ඇති. මේ කට්ටිය ඔවුන්ගේ මට්ටමේ අලුත් පාරකට රට දැමුවහොත් ශ්‍රී ලංකාවට නැවත ගොඩ ඒමක් නැහැ.








- සචින් රත්වත්ත 
- 2026.04. 29
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-30

මියනපලාවේ අලි වෙදකම .


අලි – ඇතුන් බැලීම, අලින්ගෙ නිල ශාස්ත්‍රය, අලි මන්තර, අලි වෙදකම ආදී අලි – ඇතුන්ට සම්බන්ධ සියලු අංශයන්ගෙ දැනුමක් ඇති පුද්ගලයන් සැබැවින්ම දක්ෂයන් ය. අලි – ඇතුන් සම්බන්ධ එවැනි දැනුම් සහිත පුද්ගලයන් මෙකල විරල ය. එහෙත් අලි පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක් අපට හමු විය. හේ, දළදා මාලිගාවේ ඇත් පන්ති භාරකරු ප්‍රදීප් මියනපලාව මහතා ය.
අලි වෙද පරම්පරාවකින් පැවතෙන ‘ප්‍රදීප් මියනපලාව’ අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන වෙද මහත්මයෙකි. අලිහිමිකරුවෙකි. ඇත් පන්ති භාරකරුවෙකි. ඇත්ගොව්වෙකි. කුඩා වියේ සිට අලි – ඇතුන් සමග ම ජීවත් වන ඔහුට දැන් වයස අවුරුදු 46 කි. කාලයක සිට දළදා මාලිගාවේ ඇත් පන්ති භාරකරු ලෙස කටයුතු කරන හේ, අතිශය කාර්යබහුල ය. එහෙත් අපි ඔහුව කතාවට සම්බන්ධ කර ගත්තෙමු. අලි – ඇතුන්ට පමණක් නොව, මිනිසුන් සමග ද සුහදශීලීව කටයුතු කරගෙන යන ඔහුට කතා කිරීමට ඉඩහැර අපි අසා සිටියෙමු.
“අපේ රටේ රජ කාලේ ඉඳල අලි වෙදකම් පරම්පරා දෙකක් තිබිලා තියෙනවා. එකක් ‘හත්පොතේ’ පරම්පරාව. අනික ‘මියනපලාව’ අපේ පරම්පරාව. හත්පොතේ පරම්පරාවේ වර්තමාන සාමාජිකයො වෙදකම කරන්නෙ නෑ. ඒත් ඔවුන් සතුව වෙදකම තවම තියෙනවා. වෙද පොත්පත්, පුස්කොළ ලියවිලි තවම තියෙන බව හත්පොතේ ඥාතියෙක් මෑතකත් මට කතා කරල කිව්වා. හත්පොතේ පරම්පරාවෙන් අලි වෙදකම ඉගෙනගෙන අදටත් කරගෙන යන ‘කපුගොඩ’ පරම්පරාවක් ඉන්නවා. මේ වෙනකොට වෙදකම කරගෙන යන්නෙ කපුගොඩ වෙද මහත්තයාගෙ පුතා. අලි – ඇතුන්ට විතරක් නෙමෙයි, මිනිසුන්ටත් වෙදකම් කරන දක්ෂ සිංහල වෛද්‍යවරයෙක් විදිහට ප්‍රසිද්ධයි. ඒ වගේම හත්පොතේ පරම්පරාවෙන් සහ මියනපලාව පරම්පරාවෙන් අලි වෙදකම ඉගෙනගෙන අදටත් ප්‍රතිකාර කරන වෙද මහත්වරු කිහිපදෙනෙක් ඉන්නවා…”
හත්පොතේ පරපුර ජීවත්වන ගම රඹුක්කන ය. මියනපලාව පරපුර ජීවත් වනුයේ, මාවනැල්ලේ ය. ගම් දෙක අතර වැඩි දුරක් නැත. මියනපලාව පරපුරේ මහගෙදර පිහිටා ඇත්තේ මා ඔය ආසන්නයේ ය. මා ඔය හරහා වැටුණු සංගිලි පාලමෙන් එගොඩ වී මා ඔය සහ කුඹුරු යාය අතරින් වැටුණු පොල්වේල්ල දිගේ මීටර් දෙසීයක දුරින් මියනපලාව මහගෙදර පිහිටා තිබේ. සංගිලි පාලමෙන් එගොඩ වී පොල්වේල්ල දිගේ ඇවිදගෙන එන මිනිසුන්ට අලි – ඇතුන්ව ඈත සිටම මියනපලාව මහගෙදරට පෙනේ. එය අතිශය සුන්දර, නිදහස් පරිසරයකි. එම පරිසරයේදී ගතට, සිතට දැනෙන සුවදායක බව ශරීරයට ඔසුවකි. රෝගී අලි – ඇතුන්ව එම පරිසරයට රැගෙන ඒම ම ප්‍රතිකාරයකි. අලි – ඇතුන් සියයකට වුවද නිදහසේ ජීවත්වීමට තරම් එහි වත්ත ද විශාල ය.
“අපේ මුත්තගෙ කාලය තමයි අලි වෙදකමේ ස්වර්ණමය යුගය. ඒ කාලේ විස්මිත වෙදකම් සිද්ධවෙලා තියෙනවා. පොල්වේල්ල දිගේ ඇවිදගෙන එන අලි – ඇතුන් නිරීක්‍ෂණය කර වෙදකම් කරන්න පුළුවන්ද? බැරිද? කියලා මුත්තා තීරණය කරනවලු…” ප්‍රදීප් මියනපලාවගේ මුත්තා මියනපලාව රාළලාගේ මියනපලාව ය. සීයා පියසේන මියනපලාව ය. පියා සුගතරත්න මියනපලාව ය. මුතතගේ කාලයේ සිට ප්‍රදීප් මියනපලාව පරපුරේ හතරවැනි අලි වෙදැදුරු ය. මුත්තාගෙ කාලයට පෙර සිට මියනපලාව පරපුර අලි වෙදකම කර ඇති බවද සැබෑ ය. එහෙත් මියනපලාව වෙද පරපුරේ ස්වර්ණමය යුගය ප්‍රදීප්ගෙ මුත්තාගෙ කාලය ලෙස ප්‍රසිද්ධ ය. එකල සෑම දිනකම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අලි – ඇතුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් මියනපලාව මහගෙදර වත්තෙ බැඳ සිටි බව ප්‍රදීප් අප සමග පැවසුවේ ය.
“දළදා මාලිගාවේ රාජා ඇතා එක්ක හිටිය කන්ද ඇතා මැරිල තියෙන්නෙත් අපේ මහගෙදර වත්තේදී. ඒ කාලේ අලි හාම්පුතුන් මුත්තා එක්ක ගනුදෙනු කරල තියෙන්නෙ ලියුම් හුවමාරුවෙන්. අලි – ඇතුන්ට අසනීපයක් හැදුණු හැටියේ හාම්පුතුන් ලියුමක් ලියල දීලා ඇත්ගොව්ව සමග මියනපලාව වෙද ගෙදරට එවනවා. ඒ සතුන් සනීප වෙලා යනකොට හාම්පුතුන්ට දෙන්න කියල, මුත්තා ඇත්ගොව්වට ලියුමක් දෙනවා. ප්‍රතිකාරවලට මුදල් අය කරල නෑ. මුත්තා අරගෙන තියෙන්නෙ බුලත් අතක් විතරයි. ඒත් අසනීප අලි – ඇතුන් අරගෙන එනකොට ඇත්ගොව්වො කදමලු බැඳගෙන ඇවිත් තියෙනවා. ඒ කාලේ ඇත්ගොව්වො අලි – ඇතුන් එක්ක කිලෝමීටර් සිය ගණන් පයින් ඇවිත් තියෙනවා. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරල ඉවර වෙනකම් ඇත්ගොව්වත් වෙදගෙදර නතර වෙලා. ඇත්ගොව්වන්ටත් කෑම බීම දීලා තියෙන්නෙ වෙදගෙදරින්. දවසකට තිහ – හතළිහකට කෑමට අවශ්‍ය එළවළු මහගෙදර වත්තෙ වගා කරගෙන තියෙනවා. වත්ත පහළ කුඹුරෙන් කන්නයකට සෑහෙන්න වී අස්වැන්නක් ලැබිල තියෙනවා. වෙදගෙදර නතර වෙලා ඉන්න ඇත්ගොව්වො සේරම ගොවිතැන් වැඩවලට සහභාගි කරගැනීම මුත්තගෙ සිරිතක් වෙලා. ගොවිතැන් වැඩවලට සහභාගි නොවෙන ඇත්ගොව්වන්ව අලි – ඇතුන් එක්කම වෙදගෙදරින් පිටමං කරල. මුත්තගෙ දරදඬු පාලනයක් තිබිල තියෙනවා…” ප්‍රදීප් මියනපලාව අතීතය රස කරනවිට මම පැනයක් යොමු කළෙමි.
අලි – ඇතුන්ට වැඩිපුර හැදෙන රෝග මොනවද?
“මිනිසුන්ට හැදෙන සෑම රෝගයක්ම අලි – ඇතුන්ටත් හැදෙනවා. ඒ වගේම පාදවල හැදෙන කුර රෝගය අලි – ඇතුන්ට විශේෂ රෝගයක්. උෂ්ණ ගතිය වැඩිකමට සමහර අලි – ඇතුන්ගෙ පාදවල යටිපතුල් පැළෙනවා. ඒ පැළීම්වල ජරාව තැන්පත් වෙනකොට කුර රෝගය හැදෙනවා. යටිපතුල් පැළුනෙ නැති වුණත් අපිරිසිදුකමට ඉන්නකොට කුර රෝගය හැදෙනවා. ඇස්වල සුද මතුවීමේ රෝගයත් අලි – ඇතුන්ට බහුලව තියෙනවා. ඒ වගේම අලි – ඇතුන් නිදාගන්නකොට බර වැඩිකමට තැළීම් ඇති වෙලා, ඒ ස්ථානවල ගෙඩි හටගෙන තුවාල බවට පත් වෙනවා. ඒ රෝගයට ප්‍රතිකාර කරන්නෙ මියනපලාව වෙද පරපුර විතරයි. රෝගය හඳුනාගෙන දින කිහිපයක් ප්‍රතිකාර කර, ගෙඩිය පුලුස්සා විවෘත කරගෙන, අනවශ්‍ය කොටස් පුච්චලා ඉවත් කරල පිරිසිදු තුවාලයක් බවට පත් කරගෙන ප්‍රතිකාර කරනවා. ඒ ශල්‍යකර්මයට අවශ්‍ය පාරම්පරික උපකරණ අදටත් අපි ළඟ තියෙනවා. බෙහෙත් වතුරේ දාලා, පණ පොවල ඒ උපකරණ පාවිච්චියට ගන්නවා. ඒ වගේම ගෙඩි වෙදකමට විශේෂ බෙහෙත් වට්ටෝරුවකුත් තියෙනවා. පොල්ගෙඩියක් තරම් ගෙඩියක් වුණත් පුච්චල ප්‍රතිකාර කරල, කැළලක්වත් නැති වෙන්න සනීප කරන්න පුළුවන්…” නැවතත් ප්‍රදීප් දුරකථන ඇමතුමකට සම්බන්ධ විය.
මේ වන විට මෙරට ජීවත්වන හීලෑ අලි – ඇතුන් සංඛ්‍යාව අනූදෙකකි. එම සංඛ්‍යාවෙන් හැත්තෑපස් දෙනෙක්ට ප්‍රදීප් මියනපලාව ප්‍රතිකාර කර තිබේ. ගෙඩි පිලිස්සීම් ද පහළොවකට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත. ආරියසේන මුදලාලිගේ ‘කොටා අලියා’ගෙ හටගෙන තිබුණු විශාල ගෙඩිය පුලුස්සා ප්‍රතිකාර කර සුවපත් කිරීමට ප්‍රදීප් සමත් වී ඇත. දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘තායි රාජාගේ’ සද්දන්ත ශරීරයේ තිබුණු ගෙඩිය පුලුස්සා ප්‍රතිකාර කර තිබේ. මීරිගම ‘කුමර අලියා’ගෙ ශරීරියේ හටගෙන තිබුණු ගෙඩිය ද පිලිස්සීම් ශල්‍යකර්මයකින් සුවපත් කර තිබේ. එම ශල්‍යකර්මය පහසුවෙන් සිදු කළ නොහැකි බව ද ප්‍රදීප් පැවසුවේ ය.
“අලි – ඇතුන්ට පහසුවෙන් ප්‍රතිකාර කරන්න බෑ. ඒ සතුන් පහසුවෙන් ප්‍රතිකාර කරන්න දෙන්නෙත් නෑ. වෛද්‍යවරයෙක් කිට්ටු වෙනකොට ප්‍රතිකාරයක් කරන්න හදන බව අලි – ඇතුන්ට දැනෙනවා. සමහර අලි – ඇතුන් අපි කිට්ටු වෙනවටත් අකැමැතියි. අල්ලන්නවත් දෙන්නෙ නෑ. වෛද්‍ය දංගොල්ල ඇවිත් ඉන්නකොට නිදාගන්නෙ නැති අලි – ඇතුන් ඉන්නවා. ඒ, ඉන්ජෙක්ෂන් ගහයි කියන බයට. තුවාලයකට ප්‍රතිකාරයක් කළත් ගානකට ගන්නෙ නැති අලි – ඇතුනුත් ඉන්නවා. මීරිගම කුමර ඇතාගෙ ගෙඩියට ප්‍රතිකාර කරන්න කකුල පුච්චනකොට එයා කෑම කෑවා. අපි දිහා බැලුවේ නෑ. කිසිම ගානක් නෑ. මොරැවත්තෙ වලව්වේ ‘දන්නොරුව අලියා’ගෙ ගෙඩිය පුලුස්සල ප්‍රතිකාර කරන්න කිහිප සැරයක් අපිට යන්න වුණා. ඇත්ගොව්ව එකතු වෙලා අලියව අවශ්‍ය විදිහට බැඳගෙන තමයි අපිට එන්නෙ කිව්වේ. ඒත් අපි ළඟට ගිහම පළාතම දෙවනත් වෙන්න කෑගහල දැඟලුවා. එහෙම දඟලනකොට පිලිස්සීම් ප්‍රතිකාර කරන්න බෑ. දවස් ගාණක් ගිහින් පිලිස්සීම් ප්‍රතිකාර කරල අලියව සුවපත් කළා. ඒ විදිහට ප්‍රතිකාර කරල මැරෙන්න ගිය අලි – ඇතුන්ගෙ ජීවිත බේරල තියෙනවා. ඒත් මගෙ තාත්තගෙ ජීවිතය බේරගන්න බැරි වුණා…” ප්‍රදීප් සංවේදී විය.
පියසේන මියනපලාව අකාලයේ මියපරලොව ගොස් ඇත්තේ ප්‍රතිකාර කරමින් සිටි අලියෙක් පහරදීම නිසා ය. එම පහරදීම සිදු වී ඇත්තේ 2002 වර්ෂයේදී ය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 56 කි. පහරදීම සිදු කර ඇත්තේ නුවර කතරගම දේවාලයේ ‘උදය’ අලියා ය. කම්මුල්වල මද හිරවී ගෙඩි හටගෙන දැඩි වේදනාවෙන් පසු වූ උදය අලියා කාලයක්ම මියනපලාව වෙදගෙදර බැඳගෙන ප්‍රතිකාර කර ඇත. පියසේන මියනපලාවට පහරදී ඇත්තේ අලියාව වතුරේ දාගෙන සිටියදී ය. නැවතත් ප්‍රදීප් කතාවට සම්බන්ධ විය.
“අපේ අත්ත, තාත්තට වෙදකම පුරුදු කළා. අලි – ඇතුන් පරීක්‍ෂා කරන්න යන හැම අවස්ථාවකදීම තාත්තාව එක්කරගෙන ගියා. ප්‍රතිකාර කරන අවස්ථාවලදී ළඟින් තියාගෙන පුරුදු පුහුණු කළා. පුතාට වඩා වෙදකම පුරුදු කළේ මුනුපුරාට. ඒත් තාත්ත අපිට වෙදකම පුරුදු කළේ නෑ. අයියවයි මාවයි ළඟින් තියාගෙන බලහත්කාරයෙන් වැඩ ගත්තා. අත්උදව්කරුවන්ට රහසිගත බෙහෙත් හදන්න දුන්නෙ නෑ. තාත්ත කියන බෙහෙත් පැළෑටි ඇත්ගොව්වො සොයාගෙන ආවාට පස්සෙ, බෙහෙත් කෙටෙව්වෙ අපි දෙන්නට කියල. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන සෑම අවස්ථාවකම අත්උදව්වට ළඟින් තියාගත්තෙ අපිව. ඒක තමයි මගෙ පුහුණුව. හැම බෙහෙතක්ම හැදුවේ මමයි, අයියයි. ඒත් අලි වෙදකම පුරුදු වෙනවට වඩා මගෙ ආසාව වුණේ අලි බලන්න. ඇත්ගොව්වෙක් වෙන්න. අයියා බෙහෙත් හදන එකට මුල් තැන දීලා ඒ වැඩ කරගෙන ගියා. අලි පස්සෙ වැඩිය ගියේ නෑ. මම තාත්ත එක්ක අලින්ගෙ පස්සෙ ගියා. සමහර අවස්ථාවල තාත්ත එපා කියද්දී මම අලි පස්සෙ ගියා. එහෙම ගිහින් තමයි අලි බලන්න ඉගෙනගත්තෙ…” දිප්පිටිය රාජකීය මහා විද්‍යාලයේ 1 වසර පන්තියෙන් අධ්‍යාපනය ආරම්භ කර ඇති ප්‍රදීප් මියනපලාව 6 වසර පන්තියේදී අරණායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී ඇති ප්‍රදීප්, එම පාසලේම කලා අංශයෙන් උසස් පෙළ විභාගය ද සමත් වී ඇත.
“හය වසර පන්තියේ ඉගෙනගන්න කාලේ ඉඳල තාත්තා මාව වෙද හෙදකම්වලට සම්බන්ධ කරගත්තා. සමහර දවස්වලට ඉස්කෝලෙ ඇරිල ඇවිත් බත් කාලා අත හෝදනකොට තාත්තා කතා කරල බෙහෙත් කොටන්න භාර දෙනවා. ඒ වෙලාවට නම් කේන්තිත් යනවා. ලොකු අසනීපයක් තියෙන අලියෙක් ගෙදර හිටියොත් අපි ඉස්කෝලේ ඇරිල ගෙදර එන්න ප්‍රමාද වෙනවා. එහෙම කට් කරනකොට තාත්තට තේරෙනවා. එතකොට ෆනිස්මන්ට් එකටත් එක්ක රෑ වෙනකම් බෙහෙත් කොටන්න දෙනවා. අයියවයි මාවයි අලි වෙද හෙදකම්වලට සම්බන්ධ කරගත්තට අක්කාව සම්බන්ධ කරගත්තෙ අඩුවෙන්. ඒත් අපේ අම්මා අලි වෙදකම හොඳට ඉගෙනගෙන තියෙනවා.
ගෙදර හැමෝම වෙදකම දැනගෙන හිටියත් අලි තුන් හතරදෙනෙක්ට බෙහෙත් හදනව කියන එක ලේසි නෑ. අලි – ඇතුන්ට බෙහෙත් කොටන තරම් අමාරු වැඩක් තවත් නෑ. බේසම්, තඹ හැළි පිරෙන්න බෙහෙත් කොටන්න ඕනෑ. අලියෙක්ට පත්තුවක් හදනකොට තඹ හැළියක් පිරෙන්න හදන්න ඕනෑ. එච්චර ගොඩක් හදලත් දවස් තුනක් පත්තුව බඳිනකොට ඉවර වෙනවා. බෙහෙත් වර්ග හොයන්න නම් ඇත්ගොව්වො වගේම ගමේ වැඩිහිටියොත් අපිට උදව් කළා. අදටත් මට බෙහෙත් හොයල දෙන්නෙ තාත්තාට බෙහෙත් හොයා දුන්න පරණ කෙනෙක්. ඒ මිනිස්සු කැලේ හැදෙන බෙහෙත් වර්ග හොඳට හඳුනනවා. බෙහෙතෙ නම කියනකොට කැලේ කොතැනද තියන්නෙ කියල දන්නවා. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන්න ගන්නෙත් මිනිසුන්ගෙ ප්‍රතිකාර සඳහා ගන්න බෙහෙත් වර්ගමයි. ප්‍රතිකාර සඳහා ගන්න බෙහෙත් ප්‍රමාණය, පිළියෙල කරන ක්‍රමය වෙනස්. ඒ වගේම අලි ප්‍රතිකාරවලදී බෙහෙත්වල සැර වැඩි වෙන්න ඕනෑ…”
රෝගී අලි – ඇතුන්ගෙ ජීවිත බේරාගැනීමට අතිශය අවදානම්සහගත මෙහෙවරක නිරත වී සිටින ප්‍රදීප් මීයනපලාවට ද ‘අලි වෙදකම’ එපා වූ අවස්ථාවක් තිබේ. ඒ අලියෙක් පහරදීමකින් පියා මියගිය අවස්ථාවේදී ය. පියාගෙ අභාවයත් සමග වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ප්‍රදීප්ගෙ සහෝදරයා ද රැකියාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. එහෙත් පියාගෙ මියයෑමෙන් පසු මාස හතරකට වැඩි කාලයක් වෙද වෘත්තියෙන් ඉවත් වී සිටීමට ප්‍රදීප්ලට ඉඩ ලැබී නැත. හෙම්මාතගම ගනේගෙදර ඇතින්නට අසනීප වී ප්‍රතිකාර ලබාගැනීමට අලි අයිතිකරුම මියනපලාව මහගෙදරට පැමිණ ප්‍රදීප්ට බුලත් හුරුලක් දී වෙද මහත්තයා කියා ආමන්ත්‍රණය කර ඇතින්නට ප්‍රතිකාර කරන ලෙසට ඉල්ලීමක් කර ඇත. ඉල්ලීමට ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකිව අසරණ වූ ප්‍රදීප් අසල පුටුවක හිඳගෙන සිටි මව දෙස බලා තිබේ.
“මේ මහත්තෙලාගෙ ඉල්ලීම අහක දාන්නත් බෑ නෙවැ. ගිහින් ඇතින්න බලලා ඕක විතරක් කරල නතර කරමු…” ප්‍රදීප්ගේ මව එසේ උපදෙස් ලබා දී ඇත. ඇය චන්ද්‍රලතා ය. රෝගී අලි – ඇතුන්ට වෙදකම් කරන ඇතැම් අවස්ථාවලදී අදටත් ප්‍රදීප් මවගෙන් උපදෙස් ලබා ගන්නා බව අප සමග පැවසුවේ ය.
අලි වෙදකම අවසාන නැත…
තරංග රත්නවීර

A day in the life 
ජීවිතයෙන් දවසක් .