අටිය වඩන අටුගොඩ කුරු මරකාවා
නැටිය බරින් පලගත්තේ පලදාවා
කටුවට එන බඹරිඳුගේ ගෝසාවා
කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා
නැටිය බරින් පලගත්තේ පලදාවා
කටුවට එන බඹරිඳුගේ ගෝසාවා
කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා
මස් නිසා කැලේ ඇවිදින දිවි දේනූ
ඇස් වසා සතුන් අල්ලා කති පේනූ
බස් නිසා පරුස නොකියන් මට යේනූ
කොස් නිසා අඬති මීයාගල ගෑනූ
උඩට එළිය වැටුණා තල මල පිපිලා
බිමට අඳුර වැටුණා තල මල නැමිලා
කඳන් විස්ස විසි පැත්තට බේද වුණා
පිටදෙණියට ඔබිනා තල මල පිපුණා
නමක් තැරෑලේ පැවතුණි විහාරේ
බිමක් මෙතන කෙටුවා සේම පාරේ
පිනක් කරගන්ට බැරිවුණි නිස්සාරේ
දෙකක් පිපුණි හොඳ තල මල් විහාරේ
ගල් කැඩුමට මහ පාරත් යස සුද්දා
දිය නෑමට අඹ ගහ ළිඳ සුවි සුද්දා
මල් පිපුමට ටැම්ගොඩ පන්සල සුද්දා
යල් කුඹුරට පිපි තල මල පරසිද්දා
අහසකි උසකි උස පමණකි රන් කොතකී
මූදකි රැලකි රැල පිට යන තල ගේකී
දේස දේසවල කියනා සන්නයකී
මෙවැනි ආකාර අම්මේ, තලමලකී
අහස උපන්නේ මොනදා මොන නකතෙන්
පොළොව උපන්නේ මොනදා මොන නකතෙන්
මුහුද උපන්නේ මොනදා මොන නකතෙන්
සිවුපද උපන්නේ මොනදා මොන නකතෙන්
කුරක්කන් කපන වාරෙත් ආපි ළමා
ඉණේ තිබෙන වත ඇඳපන් දෙපොට නමා
කනේ තිබෙනු කොළ මැදපන් දියෙන් තෙමා
වටපිට නොබලන්න නුඹෙ අත කැපෙයි ළමා
නෙරිය එන්ඩ එතු සේලේ ඇඳගන් හදියේ
ඉසපීරා ගෙඩිමාලේ බැඳගන් හදියේ
මල් කොතලෙයි පන් කැත්තයි ඇරගන් හදියේ
කිරි කුරහන් කපා ගන්ට යමකෝ හදියේ
ගල් ගල් කුරක්කන් කැපුවේ පුතුගෙ ගෙට
මල් මල්, කුරක්කන් කැපුවේ මගේ ගෙට
මල් කරල ද කිරි පෙව්වේ පුත, නුඹට
ඔන්න පුතේ; මල් පෙට්ටිය පුටුව උඩ
රෝද දෙකට තෙල් දාපන් කැරකෙන් න
අං හතරට කොපු දාපන් දිලිසෙන් න
බෙල්ල පල්ලෙ මිණි බැඳපන් නද දෙන් න
දක්කාපන් බිබිලේ පාරෙන් යන් න
කළුගල් කඩාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නඟින්නේ
තිස්තුන් දෙනෙක් බැසලා මාවතට අපි
නොදුටු ස්ථාන වැඳ වැඳ යන්න අපි
සතර වරම් හැම දෙවියෝ පිහිට වෙතී
කතරගමට බැහැලා පඬුරු දෙමු අපී
පේළිකර කියමි අහගන්න පද නිතී
ආනුභාව ඇති දෙවිඳුගෙ රටේ ඇති
මූණු සයකි මයුරාසන වැඩ හිඳිති
රුහුණු රටේ කිරි වෙහෙරේ කඩුව ඇතී
දුර කතරයි වෙල්ලස්සේ අපි ඉන්නේ
ළඟ කතරයි ගහ අස්සේ තොපි ඉන්නේ
දිය නිස්සට අපි ආවේ කිය පස්සේ
අපි බුන්නට කිළුටු ද ළඳ දිය ඉස්සේ
වරාගමට හොඳ සූකිරි පනික්කියෝ
උල්ලාපොළට ගස් කැපුමට එන්ට ගියෝ
පීරාලා නිල් වරලස බැඳල ගියෝ
බඹර ගසෙන් වැටුණලු ඒ පනික්කියෝ
මේ හෙල උඩට වැල එලුවා හපන්කමා
ආදි සිටි අයගෙ අත තිබු සපන්කමා
කෝඩි තොපට දෙන ලස්සන මොකද මෙමා
පොල්ගහගම පනික්කි ගුරු සැවොම ගියා
වලස් බඹර දැක්කියලා එන්ඩ ගියා
කිතුලා පොළේ බුක්කීරිය කන්ඩ ගියා
කිතුලාපොලේ හඬ ඇරගෙන බඹරු ගියා
වේලි හෙලේ ගෙල වටකර මුළුල්ලා
ගල් නළලේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැදට යන විට කරකැවිල්ලා
මඬුගම හෙල බලතොත් මෙහෙ වරෙල්ලා
ගල් නළලේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැදට යන විට කරකැවිල්ලා
මඬුගම හෙල බලතොත් මෙහෙ වරෙල්ලා
පුරා තියෙන වළු පෙට්ටිය නිඹ දෙල් ලා
අඩුව තියෙන වළු පෙට්ටිය කැට පල් ලා
ගෙනා දලු බුලත් සුරතට කා පල් ලා
විඩා බෝයි අම්මා ‘හූ’ කැටිල් ලා
උන්ඩි වෙන්ඩි උන් යන එන ගමන කට
මන්ඩි ගැසීලා ඉන්නා මොවා වට
කලක් පහන් කළ කෙතලක් ගෙනා වට
පණ්ඩිත නගාලා එනවද කඨින යට
රිදී වළලු අත ලා ලා අත වට ට
සේල ටිකිරි අන්දවලා තුනු විඟ ට
දහුරු ටිකිරි පොරවාලා උරිස් පි ට
රිදී ටිකිරි එනව ද වලු කටින ය ට
නයන සංජීව - මුණුපොතට.


0 ප්‍රතිචාර:
Post a Comment