Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

මම ලොකු තාත්තා


මේ සටහන මම ගැන.

ඒත් ලියන්නේ මම නෙමෙයි. මම ලියුවොත් ඒක තාත්වික නැහැනේ.

මේ දරුවගෙත්  මේ සටහනට ප්‍රතිචාර දක්වලා තිබුන සණුහරේ දරුවන්ගෙත් හිත් කොයිතරම් අගේ කළ යුතු ලෙන්ගතු කමින් පිරිලා තියෙනවද කියලා ?.

මට හිතෙන්න පටන් ගත්තා

අපි මගේ අම්මායි තාත්තයි පැලකරපු පුංචි පැලයකින් හැදුන මහා ගහක් වගෙයි. අතු රිකිලි බෙදිලා දැන් හතරවෙනි පරම්පරාව..

මම ලොකු තාත්තාවුනේ තුන් වෙනි පරම්පරාවට.

වර්තමානය වන විට අපි උදේ හවස දකින්නේ හමුවෙන්නේ කීප දෙනයි.

ලංකාවෙන් බැහැර රටවල …………….

ලංකාවෙත් හතර අතේ…… පැතිරිලා නිජබිම් වෙලා.

සන්නිවේදනය නැත්නම් දකින්නෙත් හඩ ඇහෙන්නෙත් කලාතුරකින්.

ඒත් අපේ බැදීම් ශක්තිමත්.

සංවේදීයි.

මට හැත්තෑ අටක්.

නංගිලා මල්ලිලා - දුවලා පුතාලා - මුණුපුරු මුණුපිරියන් එක්ක සංකීර්ණ ජනපදයක

තාමත්  අගයීමට ලක්වීමත් පිනක්.


මේ එක දියණියක් Familly Group එකේ පලකරලා තිබුන සටහනක්.

මගේ හිතට ගොඩ වැදුන සතුට පිටවුනේ ඇස් දෙකෙන්.



“………..සමහර මිනිස්සු අපේ ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ, ඔවුන් එක්ක ගෙවපු මතක එකින් එක ආපහු මතක් කරද්දි… ❤️


අපේ ලොකු තාත්තා කියන්නේ අපේ පවුලේ ඒ වගේම කෙනෙක්.

අපේ ළමා කාලය පුරාම හිටපු, අපේ සතුටු මතක එකතු කරපු, අදටත් අපිව ඒ එදා වගේම ආදරෙන් මතක් කරන කෙනෙක්. 🥹❤️


උස, හැඩිදැඩි, මූණ පුරාම හිනාවක් තියෙන, අපි හැමදාම ආදරෙන් දකින අපේ කඩවසම් ලොකු තාත්තා. ❤️


මගේ පොඩි කාලේ ඉඳන් අද මම අම්මා කෙනෙක් වෙලා ඉන්න තැනට එනකම්, ලොකු තාත්තාගෙන් ලැබුණු ඒ ආදරේ නම් තාමත් එදා වගේමයි. කාලය ගෙවිලා ගියාට, අපි ලොකු වුණාට, ජීවිතේ කොච්චර වෙනස් වුණත්… ඒ ආදරේ නම් වෙනස් වෙලා නෑ. ❤️


අදටත් ඔයාව දැක්කාම දැනෙන්නේ ඒ පොඩි කාලේ දැනුණු ඒ උණුසුම

. ඒ හුරුපුරුදු හිනාව, ඒ ආදරණීය  පිළිගැනීම… ඒවාට වචනවලින් වටිනාකමක් දෙන්න බෑ. 🥹


FB එකේ චණ්ඩියා වුණාට, අපේ හිතේ ඉන්නේ අපේම ආදරණීය ලොකු තාත්තා. 😄❤️


 සතියක් දෙකක් ගියාම, “කොහොමද ඉතින්?” කියලා අහන්න එන ඒ call එක නම් කවදාවත් වරදින්නේ නෑ. ❤️


ඒක නිකම්ම call එකක් නෙමෙයි… “ඔයාලා මතක් වුණා” කියලා වචනවලින් නොකියා, ඒ call එකෙන්ම කියන ආදරයක්. 🥹❤️


අපේ පොඩි කාලේ ඉඳන් අද වෙනකම් අපේ හැම මතකයක්ම එකතු කරගෙන, අපේ ෆොටෝවලින් පිරුණු ලොකු මතක බණ්ඩාරයක් ඔයා ළඟ තියෙනවා.


අපි හැමෝගෙම උපන්දිනයන් මතකයි. අපි පොඩි කාලේ කරපු පුංචි පුංචි දේවල් මතකයි. අපිටත් අමතක වෙලා ගිය සමහර මතක පවා ඔයා ළඟ තාම තියෙනවා. ❤️


ඒ ෆොටෝ දිහා බලද්දි තේරෙන්නේ, අපේ ළමා කාලය ලස්සන වෙලා තිබුණේ ඒ දවස් නිසා විතරක් නෙමෙයි… ඒ දවස් ආදරෙන් පිරවූ මිනිස්සු නිසා කියලයි. ❤️


අපි කොච්චර ලොකු වුණත්, ජීවිතේ කොච්චර වෙනස් වුණත්, සමහර මිනිස්සුන්ගේ තැන අපේ හිතේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ.


ඔයාත් ඒ වගේ කෙනෙක්. ❤️


ආදරණීය ලොකු තාත්තේ,

ඔයාට හරිම ආදරෙයි. ❤️🥹


අපේ මතක රැකගෙන, අපිව මතක් කරගෙන, අදටත් ඒ එදා වගේම ආදරෙන් අපිව පිළිගන්න එකට… ගොඩක් ස්තූතියි.


අපේ ලොකු තාත්තා…

අපේ ළමා කාලයේ ලස්සනම මතකයක් විතරක් නෙමෙයි—

අපේ ජීවිතේ හැමදාමත් තියෙන ආදරණීය කොටසක්.


 ❤️


By Shenali M Liyanagamage “


හිතට සතුටක් කාන්දු කලාට ඔබට පින්.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සැප්තැම්බරය.



සැප්තැම්බරය.

බෙලිහුල්ඔයට වැස්ස ලැබෙන කාලය.

කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි නැතත් අපිට මේ රටාව හුරු පුරුදුයි.

පෙබරවාරි වෙනකම් මේ වැස්ස ලැබෙනවා.

ආයෙත් මහ වැසි පුරන්නේ අප්රේල් මුල් සතියේ.

බක්මහට හෙන ගහ ගහා වහිනවා.

ලහ කොල දළු දාන්න “ N” , ලැබෙනවා.

අපි පුංචි කාලේ ගොවිතැන් බත් කරන උදවිය කාලගුණයට අවනතව වගා කටයුතු කලා

අපේ ගම බත බුලතින් සරුයි.

ජනාකීර්ණ නැහැ.

පිටතින් දියලුනු , කරවල , දුන්කල , සබන් වගේ දේවල් තමයි බෙලිහුල්ඔය පාලමෙන් මෙගොඩ තිබුන පුංචි කඩමණ්ඩියට ගෙනාවේ. ( ආනයන කලේ )

කන්නයක් එවර වෙලා මාසයක් දෙකක් වෙනකම් සතියකට වී ටොන් විස්සක් විතර පාලමෙන් එහාට යනවා ( අපනයන වෙනවා)

ගොඩ ගොවිතැන් කරපු උදවියත් හිටියා.

ඉරිගු , වියලි මිරිස් වෙළදපලට ලැබෙනවා.

මට මතකයි සිරිමා මැතිණිගේ ආණ්ඩුකාලේ මිරිස් පොළු ,හාල් පොළු තිබුන කාලේ ඒ කාලේ ලක්ෂපතියෝ වුන ගොවි මහත්තුරු බිහිවුනා.

ආර්ථිකේ විවෘත වුනා. අපි බංකොලොත් වුනා.

පාලමෙන් එහාට ශ්‍රමය ගලන්න පටන් ගත්තා. කෙත් වතු පාළු වුනා.

පාලමෙන් මෙහාට ලොරි පුරෝල කඩමණ්ඩියට බඩු භාණ්ඩ ආවා.

දැන් හාල් ටිකත් ඩඩ්ලිගේ මෝලෙන්.

මේ යුග දෙකක් හරහා ඇදපු රේඛාවක්.

අද මීටත් වඩා වෙනස්. .

ප්‍රෙද්ශයම ජනාකීර්න වෙලා.

එක පැත්තකින් සබරගමු විශ්ව විද්‍යාලය ශීෂ්‍ය ප්‍රජාව හාර පන්දහසක් ජනගහනයට එකතු වෙලා.

ඒ නිසා ඇතිවුන ආර්ථිකයක්.

බෙලිහුල්ඔයට එන සංචාරකයෝ දවසින් දවස වැඩිවෙනවා.

ඒ නිසාත් නව ආර්ථිකයක් ඇතිවෙලා.



  



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මල්වර වෙලා - 01



පවුලේ මල්වර මංගල්‍ය උත්සව කිහිපයක්.

මල්වර මගුල් ගැන මීදුම කිහිපවතාවක් ලියලා තියෙනවා.ඒවා බර බර අදහස් නෙමෙයි. අම්මලා තාත්තලාගේ බහු භුත විකාර ගැන . මීදුුම ඒ අවස්ථා  කියවාපු හැටි ගැන

දැන් අම්මලා තාත්තලා මීට දශක හතරක් පහකට පෙර හිටපු තරුන අම්මලා තාත්තලට වඩා වෙනස් විදියට හිතනවා. ඒක පරිනාමයේ සහ අධ්‍යාපනයේ දියුණුවක්.

මල්වර වීම ආගමික හා සංස්කෘතික කියවීම මේ තරුන අම්මලා තාත්තලාගේ කියවීමට වඩා වෙනස්.

මීදුම අපේ අවට ජීවත් වෙන සහෝදර ජාතීන් කිහිපයක් ඔවුන්ගේ ආගමික සංස්කෘතිය ආරක්ෂා කරමින් කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන හොයා බලන්න පෙළඹුනා.

සමහර විට මීදුමගේ අදහසුත් මේවා අතර ලියවෙන්න පුලුවන්.

මිදුමගේ සිත් ගත් සිරිත් විරිත් අනුගමනය කරන්නේ මුස්ලිම් ආගමික ජනතාව.

ඔවුන් මේ අවස්ථාව සාමාන්‍ය ශාරීරික ජීව විද්‍යාත්මක එක් අවස්ථාවක් ලෙස තේරුම් ගන්නවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් (ඉස්ලාම්) සංස්කෘතිය තුළ දැරියක මල්වර වීම  සලකනු ලබන්නේ ඇය ළමා වියෙන් මිදී, තමාගේ ආගමික සහ සාමාජීය වගකීම් තනිවම දැරිය හැකි වැඩිහිටි පරිණත කාන්තාවක්  බවට පත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි. 

මෙය ඉස්ලාමයේ  "බලූග්" (Balugh) හෝ "රුෂ්ද්" අවධියට පත්වීම ලෙස හදුන්වනවා.

දැරියකගේ ඔසප් වීම අවසන් වූ පසු, ඇය නැවත ආගමික වත්පිළිවෙත් සඳහා සුදුසුකම් ලැබීමට ඉස්ලාමීය නීතියට අනුව සම්පූර්ණ ශරීරයම පවිත්‍ර කරගත යුතුය. මෙය "ගුස්ල්" (Ghusl) ලෙස හඳුන්වයි.

  • මෙහිදී නිශ්චිත ආගමික නියමයන්ට අනුව හිසේ සිට පාදාන්තය දක්වා ශරීරයේ සෑම තැනකටම ජලය යන පරිදි ස්නානය කළ යුතුය.

  • මේ සඳහා වෙන වෙනම නැකත් වේලාවන් නොමැති අතර, ශාරීරිකව ඔසප් චක්‍රය නතර වූ වහාම දැරිය මෙම ස්නානය සිදුකළ යුතුය.

ඉස්ලාමීය දහමට අනුව දැරියක් "බලූග්" (වැඩිවියට) පත් වූ දින සිට ඇය අල්ලාහ් දෙවියන් ඉදිරියේ ස්වයංව වගකිව යුතු තැනැත්තියක් බවට පත්වේ.

  • පස්වේල සලාතය සහ උපවාසය: එතැන් පටන් දිනපතා පස්වේල සලාතය (නමස්කාරය) ඉටුකිරීම සහ රාමලාන් මාසයේ උපවාස (සීනි/රෝදා) රැකීම ඇයට අනිවාර්ය (ෆර්ල් - Fardh) වේ.

  • පව් සහ පින් ගිණුම: ඉස්ලාමීය විශ්වාසයට අනුව ඇය කරන හොඳ සහ නරක ක්‍රියා ඇගේම ගිණුමට බැර වීම ආරම්භ වන්නේ මෙම වයසේ සිටයි.

වැඩිවියට පත්වීමත් සමඟ දැරියක් කාන්තාවක් ලෙස සමාජයට නිරාවරණය වන බැවින්, ඇගේ ආරක්ෂාව සහ ගෞරවය උදෙසා ඉස්ලාමීය ඇඳුම් ආකෘතිය වන "හිජාබ්" (Hijab) පැළඳීම (හිස සහ ශරීරය ආවරණය වන සේ ඇඳීම) මෙම කාලයේ සිට නිසි ලෙස ආරම්භ කරනු ලබයි. මින් පෙර ඇය නිදහස් ඇඳුමින් සැරිසැරුවද, මල්වර වීමෙන් පසු සමීපතම ලේ ඥාතීන් (මහ්රම්) හැර අන් අය ඉදිරියේ ශරීරය ආවරණය කර සිටීමට ඇයව හුරු කරවනු ලබයි.

මුස්ලිම්වරුන් අතර මල්වර වීම සඳහා ලොකු උත්සව හෝ ප්‍රසිද්ධ මංගල්‍යයන් පවත්වන්නේ නැත. එය ඉතා පෞද්ගලික සහ පවුලේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකයි.

  • දැරිය වැඩිවියට පත් වූ පසු මව විසින් පවුලේ සමීපතම කාන්තා ඥාතීන්ට (ආච්චිලා, නැන්දලාට) ඒ බව පවසයි.

  • ඇතැම් පවුල්වල සතුට සැමරීමක් සහ දියණියට ආශිර්වාද කිරීමක් ලෙස නිවසේ සමීපතමයන් පමණක් එකතු කරගෙන වට්ටලප්පන්, කිරිබත් හෝ බිරිස් වැනි විශේෂ කෑමක් පිළියෙල කර සංග්‍රහයක් පවත්වයි.

  • එහිදී වැඩිහිටි කාන්තාවන් දැරියට නව ඇඳුම් තෑගි දීම සහ ඇගේ ඉදිරි ජීවිතයට ආශිර්වාද කිරීම සිදුකරයි.

මෙම අවස්ථාවේදී  මව හෝ පවුලේ වැඩිහිටි කාන්තාවන් විසින් දැරියට කාන්තාවක ලෙස ජීවත් විය යුතු ආකාරය, පිරිසිදුකම රැකගන්නා ආකාරය, සහ ඉස්ලාමීය සීමාවන් තුළ සමාජය ආශ්‍රය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආදරණීයව උපදෙස් ලබා දීම සිදුකරයි.

මේ කටයුතු සරල මෙන්ම ජීවිතයේ සැමරිය යුතු විශේෂ අවස්ථාවක් ලෙස මුස්ලිම්වරු නොසලකන බවට ඔවුන්ගේ ආගමික චින්තනය සලකා තිබේ.

  • ලකුණු කිරීම ඉවත් කර ඇත

    හිණ්දු ආගමිකයෝ මේ අවස්ථාව තේරුම් ගන්නේ කෙසේද ?

  • ලකුණු කිරීම ඉවත් කර ඇත

    අපි ඊලග වියමනෙන් කියවමු.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

විසදුමක් නැහැ .





මළ ගෙදරක ගෙවුන සතියක්.

අද පෙර මෙන් අවමගුල්  කටයුතු සදහා කාලය ගන්නවා අඩුයි.

කොරෝනා අපට ලබා දුන් ආදර්ශයක් කියලයි හිතෙන්නේ…

සිරිත් විරිත් සිදු කලත් අවසන් ගෞරව දැක්වීමට තියා ගන්නා කාලය දවසක් දෙකක් වෙලා.

පැය හතලිස් අටක් .

සංනිවේදනය දියුණුයි . පැයක් දෙකක් ගත වෙන කොට දැන ගත යුතු ඥාති හිතමිත්‍රාදීන් ප්‍රවෘත්තිය දැනගන්නවා. දුර බැහැර අද ප්‍රශ්නයක් නෙමෙයි.

ගමන් බිමන් පහසුව තියෙනවා.

ඒ නිසා සියල්ලන්ට සහභාගීවීම දුෂ්කර නැහැ.

තාමත් බැහැර නොවු සිරිත් වුනත් නැත්තෙම නැහැ.

සරල කෑම වේලක් වෙනුවට බරපතල මෙනුවකින් යන එන අයට සංග්‍රහ නොකොලොත් මදි කමක්.

නිවසියන්ට භාරධුර කටයුත්තක්.

සමහරක් අවස්ථාවල ඥාතී හිතමිත්‍රාදීන් , අසල්වාසීන් බරපැන දරාගෙන මේ කටයුත්තට උර දෙනවා.

ආදාහණාගාර පිහිටුවා තිබීමත් තවත් පහසුවක් වෙලා.

මේ අනම් මනම් කියන්න නෙමෙයි හිතුවේ.

ඒත් කියවුනා කියමුකෝ.

මරණය පිලිබදව සංනිවේදන සිද්ධීන් තුනක අත්දැකීම් මට තියෙනවා.

මේවා විශ්මය සහගතයි. 

විශ්වාශ කරන්න අපහසු අත්භූත සිදුවීම්.

ගෙවුන සතියේ සිදුවුන සිද්ධියෙන් පටන් ගන්නම්කෝ.

දැන් මළ ගෙදර අවසන් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන වෙලාව.

ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවන අවස්ථාව.

පළමු ස්වාමීන් වහන්සේත් කැටුව නිවසට පා තැබුවා විතරයි.

නිවස ඉදිරිපිට තිබුන මහ දෙල් වෘක්ෂයක්.

ඒකේ වට අඩියක විතර විශාල අත්තක් මහත් ශබ්දයක් දෙමින් පිරිස මැදට කඩා වැටෙනවා.

කළබලවු පිරිස ඒ වටා රොක් වෙනවා.

කිසිවෙකුටත් අණතුරක් නැහැ.

වායු ගොලයේ කිසිදු කැළඹීමක් නැහැ නිශ්චලයි.


තවත් දිනක තිස්සමහාරාමයේ ඥාතිවරියකගේ මළ ගෙදරක සහභාගි වෙනවා.

දැන්  ආගමික කටයුතු අවසන් වෙලා . දෙන නිවසින් එළියට ගන්නවා.

නිවස ඉස්සරහ ලස්සනට වවලා තිබුන අඹ ගහක් .

ගහ වටේට බැම්මක් බැදලා මිදුලට ආභරණයක් වගේ .

ඒ දවස් අඹ වාරේ ගහ පිරෙන්න අඹ.

මෙන්න චර බර සද්දෙත් එක්ක විශාල අඹ අත්තක් සෙනග මැදට කඩා වැටෙනවා.

අඹත් පිරිලා…

කාටවත් අණතුරක් නැහැ.

එදත් පුංචි හුළගක්වත් තිබුනේ නැහැ.

නිසල පරිසරයේ ඇහුනේ අඹ අත්ත කඩා වැටුන සද්දේ විතරයි.


මේ අත්දැකීම වෙනස්….

අම්මා හෘදාබාදයක් සමග සටන් කරමින් ජයවර්ධණපුර රෝහලේ.

මම අම්මා ලග සිට පැමින නැවතත් අම්මා බලන්න යන්න බොරලැස්ගමුව නංගීගේ නිවසේ.

මමත් නංගිගේ පුතත් විතරක් එවෙලේ හිටියේ.

අනික් අය බැහැර ගිහින්.

මම වාඩිවෙලා ඉදලා නැගිටලා ආලින්දයට එන අදහසින්.

විදුලියක් වැදුනා වගේ කම්පනයකුත් සමග මගේ ඇස් අදුරු වෙලා නැවතත් පුටුව උඩට.

පුතා ඇවිත් අත දෙක අල්ලා ගෙන මොකද වුනේ කියලා බලනවා.

එවලේම ලැබුන දුර කතන පණිවිඩය පුතාට කියලා තියෙන්නේ.

ආතම්මා මිය ගිය බව.


මේවා අහුඹු සිදුවීම් ද ?

මම තාමත් කල්පනා කරනවා.

විසදුමක් නැහැ.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අපේ ආදරේ ඉරුණු තැන්



ලිහිනු ගැලවුනු නූල් තදකොට

තබන ලෙස  පෙර එළිය දුන්

මසාගන්නට සොයමු ඉදිකටු

අපේ ආදරේ ඉරුණු තැන්


වැළදු කල නිති මහරු මැදුරක

මිහිරි රසවුළු බොජුන්

වෙනස සොයනට පිළුනු අහරක

රසය නුඹ පැතුවේද කියන්


තරුද සදමඩලද එළිය ලැබු

හිරුට තතු සගවා හොරෙන්

හැකිද පෙම් බදිනට දිවාකල

පිපුණු වන මලකට ඉතින් 


-පී.ජී ආරියපාල



A day in the life
 ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පීරිසි කෝප්පයක් - සංඝාඥාවක්


පසුගිය සති අන්තය තනිවු දියණියක නැසීගිය තම ස්වාමි පුත්‍රයා වෙනුවෙන් ඉටු කරන ලද බණ සහ දානමය පුණ්‍යනුමෝදනාවකට මැදිව ගෙවීගියේ පහන් සිතකිනි.

එක අතකින් හතරපේරුවේ ඥාති මිත්‍රාදීන්ගේ එකතුවක්.

සම්භාෂාණයක්.

මතුලක් තුලාවක් දානයක්  අවසන කැඩී බිදී ගිය පීරිසියක් කෝප්පයක් නොතිබුනොත් එය අඩුපාඩුවක්.

අද කතාව එවැනි පීරිසියක් සහිත කෝප්පයක් ගැන.

වර්තමානයේ වැඩිවුන ජනගහණයත් එක්ක පන්සල් ප්‍රමාණයත් වැඩිවෙලා.

එක ගමකට පන්සල් දෙක තුනක්. !.

දායකයින්ට මේ හැම පන්සලක් එක්කම සම්බන්ධකම් තියාගන්න ඕනි.

නැත්නම් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ සිත් සතුටු වෙන්නේ නැහැ.

රජරට පැත්තේ පන්සල්වලට ගොදුරු බිම් තියෙනවා කියලා මම අහගත්තේ දවසක පිදුරංගල විහාරයේ නවාතැන් ගත් දිනක පුංචි හාමුදුරුකෙනෙක් එක්ක කල කතා බහකදී.

ඒ අනුව නම් අපේ පැත්තේ  පන්සල් කිහිපයක ගොදුරු බිම වෙලා තියෙන්නේ එක ගමක්.

දායකයින්ටත් බොහෝම සීරුමාරුවෙන් තමයි පින් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ.

නැත්නම් එක් එක් පන්සල් දායකයින් මට අඩුවෙන් සැලකුවා කියලා තක්සේරු කරනවා. හිත් අමනාප කම් ඇති කරගන්නවා.

මේ දියණිය එක් පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේට ආරධනා කරනවා මම අහවල් දවසේ දානයක් දෙනවා. කලින් දා බණක් අසාගන්නත් ඕන කියලා.

හාමුදුරුවෝ අහනවා කී නමකට ආරධනා කරන්න ඕන ද ? 

බලාපොරොත්තුවු ස්වාමීන් වහන්සේලා ගාන දැණුම් දෙනවා.

ඇගේ ආරධනාව පිලිගන්න හාමුදුරුවෝ අනෙක් පන්සල්වල ස්වාමීන් වහන්සේලාට ආරධනා කරමින් ,දානමය කටයුතු සංවිධාණය කරනවා.

ආරාධිත දියණිය වෙනුවෙන්.

එයයි සම්ප්‍රදාය….. පන්සලක් පන්සලක් ගානේ ගොස් ආරධනා කරන්න ඕන නැහැ.

දියණිය දානෙට සමීප දිනක යලිත් පන්සලට ගිහින් ප්‍රවාහණ පහසුකම් සපයන්න උපදෙස් ගන්නවා .ඒ අනුව දානේ දවසේ එක් එක් පන්සලට ස්වාමීන් වහන්සේලා වඩම්මා ගෙන ඒමට වාහන පිටත් කරනවා.

එක පන්සලකට ගිය වාහනේ හිස්ව එනවා.

බිදුන පීරිසි කෝප්පේ එතන…..?

ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මේ වගේ කතාවක් කියනවා.

හාමුදුරුවන්ගේ “ අණ ගුණ සහ බණ “ කියන ග්‍රණ්ථයේ 29 වෙනි කතාවේ.

ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානෙකට ආරාධනා කරනවා.

ආරධනාව බාර ගන්නවා.

සියළු කටයුතු සුදානම් කරලා යාන වාහනත් පන්සලට යවුවට පස්සේ හාමුදුරුවේ කියනවා දානෙට වඩින්න බැහැ කියලා. 

හේතුව වෙනත් පන්සලක් ලග තියෙන ඉඩමක් පිලිබදව එම පන්සලේ හාමුදුරුවන් සමග දායක මහත්තයාත් සමග තියෙන ආරවුලක් !

එතනත් බිදුන පීරිසි කෝප්පයක් - සංඝාඥාවක් පනවලා.





A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අදත් ජුලි හතයි.





මේ දවස් වල කතා බහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ගේ කැරළි ගැසීම .

මරණ සංඛ්‍යාව විසි පහක්. රැදවියන් දහඅටක් සහ නිිලයන් හතක්.

හේතු භුත වුන කරුණු කාරනා දන්නේ නැතිව ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

බණ්ධනාගාර තුල ඇති ඉඩ කඩත් , බණ්ධනාගාර තුල සිටින රැදවියන් ප්‍රාමනයත් ගැන හිතුවොත් 

රැදවියනුත් පාලක නිලයනුත් ඉන්නේ මහත් අසහනකින් කියලා මට හිිතෙනවා.

මේ අසහනකාරීත්වය දෙගොල්ලන්ගෙන්ම පිපිරිලා යන එක පුදුමයක් නෙමෙයි.

අපේ දේශපාලකයින්ට පැතුරුන විෂයය බුද්ධියක් නැහැ.

ඇමති කියලා වෙන් කරලා විෂයය බාරදුන්නත් දීර්ඝකාලීන දැක්මක් නැහැ.

හොදම උදාහරණය වර්තමාන ඇමති තුමා තොරතුරු අධ්‍යයනය කරන්නේ සමාජ මාධ්‍ය තුලින් යයි පැවසීම.

ඒක සීනී බොම්බයි මොටයි උත්තරයක් !.

ජූලි හත 

මට තියෙනවා අතීත සැමරුමක්.

1978 මීට අවුරුදු හතලිස් අටකට ඉස්සර ගිය චාරිකාවක්.

වැලිකඩ නේවාසිකාගාරයේ නවාතැන් ගත් රාත්‍රීන් සමග.

ගොඩාක් අවුරුදු වල ජුලි හත්වෙනිදාට “මීදුම ‘ට ලියන පුරාජේරුවක මේ චාරිකාව ගැන ලියනවා.

ඒවා නැති තොරතුරු ටිකක් මේ සටහනේ තියෙයි කියලා මම හිතනවා.

මේ සිද්ධිය වෙන කොට මට අවුරුදු තිහයි.

මගේ කේන්දරේ කියවපු ජොතීස වරයෙක් මට කියනවා.

මහත්තයා මේ වකවානුවේ බොහෝම අපලයි.

දින කිහිපයක් රොහල් ගතවෙලා ඉන්න සිද්ධ වෙනවා. නැත්නම් හිරේ යන්නවත් සිද්ධ වෙනවා කියලා.

ඉහෙන් බහින්න ලෙඩක් මට තිබුනේ නෑ..

හිරේ යන්න හේතු සාධක වෙන ජීවන රටාවක් මට තිබුනෙත් නෑ.

මට නිතර නිතර හිරිහැර කරපු එවකට තිබූ මිල පාලන නීතී වලින් මම හිරේ යන්න තරම් පීඩනයක් තිබුනේ නැහැ.

ජනතා කමිටු  එහෙම බලවත්ව තිබූ යුගයක නිතර නිතර දේශපාලන උවදුරු වලට අපේ පවුල ඉලක්කවුන යුගයක්.

අධිකරණයට දඩයක් ගෙවීමෙන් වගේ ඒ නඩු නිරාකරණය වන නිසා බයකුත් තිබුනේ නැහැ.

එතුමා කියපු අපල ජීවිතයට සිදුවෙමින් තිබුනත් ඒවාට මුහුණ දෙනවා හැරෙන්න වෙන විකල්පයක් එකල තිබුනේ නැහැ.

ජොතීෂවරයාගේ අදහස වුයේ මේ අවුරුද්දෙන් පසුව උදාවන ඉදිරි අවුරුදු දහය ජීවිතයට සහනදායි කාලයක් බවයි.

අතීතය වමාරන ගමන් මේ ටික මතක් වුනේ.

ඔන්න එතුමාගේ මතය.

මේ සටහන කියවන්නකෝ චාරිකාව ගැන තොරතුරු දැන ගන්න.

https://miduma.blogspot.com/2025/07/blog-post_7.html


චාරිකාව එසේ නිමවුනා.

රත්නපුර බන්ධනාගාර සිරමැදිරියේ මානසික වේදනා සහිතව ගෙවුනත් එදින ගත කරන්න සිදුවුනේ මහාධිකරණයෙන් මරණ දඩුවම නියමවු සිරකරුවෙක් සමග.

ඔහුගේ වේදනාව තේරුම් ගන්න එදා මම බොළද වැඩිවුනා.

නැත්නම් ඒකත් අත්දැකීම් ගොන්නට එකතු වෙන සිද්ධියක්.

හොදම හරිය බොරැල්ල හිරගෙදර 180ක් හිටපු හොල් එකක සාමාජිකයෙක්. ශාරීරික අවශ්‍යතා ඉටුකරගැනීමේ සිට ලැබුනේ දඩුවම්.

රාත්‍රීන් දෙකකින් නැවත රත්නපුරයටත් එතනින් අධිකරණයටත් ඇප ලැබීමෙන් ගෙදරටත් ආව මම රෝහල් / බණ්ධනාගාර අපලය නිමකලා.

පසු කාලයක මට තිබු අධිකරණ කටයුත්තෙන් “ නිදොස් කර “ නිදහස් වුනා











A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS