හිණ්දුන් වර්ෂය පුරාවට පවත්වන එක් එක් ආගමික උත්සව අතරට එක්වන එක් ආගමික උත්සවයකි දීපාවලි උත්සවය.
දීපා යනු පහනයි + ආවලී යන්නෙන් පේලිය හැදින්වේ. දීපා + ආවලි පහන් පේලියක් අරුතෙන් දීපාවලිය වහරට එක්විනි.
මානව ඉතිහාසයේ ශත වර්ෂ තුන්සිය පනහක් පමණ පැරණි හිණ්දු සංස්කෘතිය තුල හැඩ වැඩ ගැන්වෙමින් ඝණ අදුර දුරලා ආලෝකය ලබා ගැනීම තේමාව වු හිණ්දුන් භෞතික ජීවිතය සන්තරපණය කිරීමට වඩා ගැඹුරු අධ්‍යාත්මික ජීවිත දර්ශණයක පිහිටා කටයුතු කරති.
ලොව අදුර නසා ආලෝකවත් කිරීම
ජීවිතයේ අයහපත පලවා හැර යහපත ළං කරගැනීම
ඉවසීම ප්‍රගුණ කිරීම බෙදා හදා ගැනීම
ජීවිතයට නව ආරම්භයක් අපේක්ෂා කිරීම
මිනිස් ජීවිතවල නපුර සහ වේදනා දුරලා ආලෝකය කරා එළැඹීම අපේක්ෂාවෙන් දීපවාලි සැමරීමෙන් අපේක්ෂා කරති.
දීපාවලි දිනය සැමරීම උදෙසාද විවිධ පුරාවෘත්ත ඇත.
අසුරයන් පරදවා සුරයන් ජයග්‍රණය කිරීමේ සංසිද්ධිය ඒ කතා අතුරින් ඉතා ප්‍රකටම කතා පුවතයි.
විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස හා ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙසද ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර මරා දැමූ දිනය ලෙසද දක්වා ඇත.
ජෛන මහාවීර නිර්වාණාවබෝධය ලැබූ දිනය ලෙසත් සමහර පොතපතෙහි සඳහන්ය.
මේ අතීත පුරාවෘත්ත සමඟ සැමරෙන දීපවාලි උත්සවය හින්දූන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසර ආරම්භ වන්නේ ඔක්තෝබර් මාසයේය. ඒ අනුව ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපවාලි උත්සවය පැවැත්වීමට නියම කර ගනී. නමුත් සමහර අවස්ථාවලදී එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වෙනස් වේ.
හින්දු සංස්කෘතිකාංග අතර කෝලම් රටා ප්‍රධාන තැනක් ගන්නා ඉතාමත් අලංකාර හා සියුම් නිර්මාණයකි. කෝලම් රටා ඇඳීම වැඩි වශයෙන් සිදුවන්නේ හින්දු තරුණියන් අතිනි.
වර්ණගන්වන ලද සහල්, සහල් පිටි හෝ වර්ණවත් මල් පෙති භාවිතයෙන් මෙම කෝලම් රටා නිර්මාණය කරයි.
දීපවාලි සැමරුමේ අදාළ කටයුතු වැඩිපුරම සිදු කෙරෙන්නේ කාන්තාව නිසා දීපවාලි දිනයේදී පවුලේ කාන්තාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් විසින් මනා සංයමයකින් යුතුව අඳිනු ලබන කෝලම් සඳහා මල් භාවිත කරනු ලබන්නේ සුවඳ එක් කිරීම සඳහාය. නමුත් එම නිර්මාණ සඳහා බහුල වශයෙන් භාවිත කරනුයේ වර්ණ ගන්වන ලද සහල් සහ සහල් පිටිය. එලෙසින් සහල් පිටි භාවිත කිරීමේ අරමුණ වන්නේ එමඟින් අලංකාරයක් එක් කිරීම මෙන්ම කූඹින් වැනි කුඩා සතුන් හට ඒවා ආහාරයක් වශයෙන් ලබා දීමයි.
ඉන්දියාවේ දින පහක දීවාලි උත්සවය ආරම්භ වන්නේ “දියාස්” යනුවෙන් හදුන්වන ඉටිපන්දම් සහ තෙල් ලාම්පු වැනි සාම්ප්‍රදායික සැමරීම් ක්‍රම භාවිත කරමිනි. දීපවාලි උත්සවය වටා බැදුණු සංස්කෘතික අංග රාශියක් ඇත. විවිධ කැවිලි වර්ග මෙකල අතිශය ජනප්‍රියය. රසගුල්ලා, පැණි වළලු, ගුලාබ් ජමූන්, ලඩ්ඩු, ගාජර් කා හල්වා, පයාසාම්, ජලේබි ආදී රස කැවිලි සකස් කරයි. ඒ වගේම රසකැවිලි බහාලූ ඇසුරුම් සමඟ නෑදෑ හිත මිත්‍රයන් බැලීමට යෑම තවත් එක් විශේෂ චාරිත්‍රයකි.
දීපවාලි උත්සවය පැවැත්වෙන දිනයේ හින්දුන් සිය පවුලේ සියලු දෙනාම එකතු වී තමන්ටත් ලෝකවාසීන්ටත් යහපත උදාවනු ඇතැයි අපේක්ෂාවෙන් විවිධ පුද පූජා පවත්වති.
ඒ අනුව හින්දු භක්තිකයන් විසින් සමරන දීපවාලි උත්සවයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ නිසාම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති තවත් එක් ආගමික උත්සවයක් ලෙස දීපවාලි උත්සවය සඳහන් කළ හැකිය.
- ශෂී ගමගේ
- මව්බිම
0 ප්‍රතිචාර:
Post a Comment