අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Friday, October 17, 2025

10/17/2025 10:00:00 pm

රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
 
රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම වශයෙන් තීරූ -- ලේයර් තුනකි. ශීර්ෂය වන විධායක තීරූව සංඛ්‍යාවෙන් කුඩා ය. මැද තාක්ෂණික නිලධාරී තීරුව සංඛ්‍යාවෙන් එයට වඩා විශාල විය යුතු නමුත්, කම්කරු ශ්‍රේණියේ ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මේ ආකෘතිය ‘සේවක මණ්ඩල පිරමිඩය’ යි.
මේ සමඟ ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සකස් කරන ලද 2025 ජනවාරි වන විට ලංකා රාජ්‍ය සේවයේ පිරමිඩය යි. එය තවදුරටත් පිරමිඩයක් නොව, මස් කඩ මුදලාලිගේ වට්ටක්කා බඩකි. මේ බඩ තවත් ලොකු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානයක මැතිතුමා මෙසේ ප්‍රකාශයට පත් කළේය.
 
//අපේ රාජ්‍ය සේවය බිඳ වැටිලා තියෙනවා. රාජ්‍ය සේවයේ උඩ තියෙනවා. පහළ තියෙනවා. මැද ලේයර් එක නෑ. ඒ අය තමයි, තාක්ෂණ නිලධාරීන්, කලමනාකරුවන්, නීතිඥයින්, ඒ අය තමයි මැද ලේයර් එක. මැද ලේයර් එක නැතුව රාජ්‍ය සේවය දුවවන්න බෑ. ඒ නිසා අපි පහුගිය කාලයේ තීරණයක් ගත්තා ඒවා පුරවන්න. අවුරුදු පහ හයකට මේවා පුරවලා නෑ. දැනටමත් අපිට අනුමැතිය ඇවිත් තියෙනවා 70,000 ක්. මේ මැද ලේයර් එක පුරවන්න. ඔක්කොටෝම අපි අනුමැතිය දීලා තියෙනවා.

මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවයි. 2017 දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත. අද රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් අඩුය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.
1990 දී ලක්ෂ 6.5 ක් රාජ්‍ය සේවක සංඛ්‍යාව අද, ලක්ෂ 17 ක් දක්වා වැඩිවූයේ, සේවක අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් රැකියා රජයේ රැකියා සහනාධාර වශයෙන් ලබාදීම නිසා ය. මේ අනවශ්‍ය පිරිසෙන් බහුතරය උපාධිධාරීන්ය. කිසිදු උසස්වීම් වැඩසටහනක් අහිමි ‘සංවර්ධන නිලධාරීන් (ඩී.ඕ.)’ ය.
 
රාජ්‍ය සේවකයින් රටට බරක් බව පත්වූයේ අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයේ මැද තීරුව පිරවීම නිසාය. රැකියා විරහිත උපාධිකාරීන් උද්ඝෝෂණය කරන විට, කිසිදු අවශ්‍යතාවයක් හෝ එලදායීත්වයක් තබා වාඩිවන්නට පුටුවක් හො නොමැති ලබා නොදී තනතුරු සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීමය. දැන් මේ අයගෙන් ගන්නා වැඩක් නැති නමුත් වැටුප් ගෙවන අතර, සතියකට දිනක් හෝ දෙකක් පමණක් සේවයට වාර්තා කරති.
 
ජනාධිපතිතුමාගේ ‘රාජ්‍ය සේවයේ උඩ තියෙනවා. පහළ තියෙනවා. මැද ලේයර් එක නෑ’. කියන කතාව, සංඛාලේඛන වශයෙන් නම් සම්පූර්ණයෙන්ම වැරදි බව මේ රූපයෙන් පෙනේ. සේවක පිරමීඩයේ මැද වට්ටක්කයක් තරම් පිම්බී තිබිය දී, මේ වැරදි අදහස ජනාධිපතිතුමාට ලබාදුන් රාජ්‍ය නිලධාරීන් කවුද? නිශ්චිතවම ගරු ජනාධිපතිතුමා ඉතා නිවැරදිව පැවසූ පරිදි, මේ කතාව ලියා ඇත්තේ ‘පුටුවට ඒ කැපෑසිටිය නැති’ කෙනෙකි!
 
නැවත රූපසටහන බලන්න. 
රාජ්‍ය සේවය පිරී ඇත්තේ තැබිළි පැහැයෙන් දැක්වෙන මැද ලේයර් එකෙනි. අද රාජ්‍ය සේවයේ පිරමිඩයේ මුදුණ (උඩ ලේයර් එක) 9% කි. තැඹිලි පාට මැද ලේයර් එක) 58% කි. ප්‍රාථමික ලේයර් එක 33% කි. අද රාජ්‍ය සේවයේ ලොකුම ප්‍රශ්නය මේ 58% ක්වන මැද ලේයර් එකය. එයට පිළිතුර මැද ලේයර් එක 25% කින් වත් කපා දැමීම බව හුලංගමුව වැනි උපදේශකවරු දනිති. මේ ගැන නිල වාර්තා රැසක් ඇත. ඉහත වගුව ද අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සකස් කරන ලද්දකින් උපුටා ගත්තකි. අතැඹුලක් සේ දන්නා උදය ආර් සෙනෙවිරත්න, ජිනසිරි දඩල්ලගේ වැනි විශේෂඥයින් ද ඇත. ඔවුන් ලියූ වාර්තා ද ඇත.
 
රටක්, සමාගමක් නැත්තම් කර්මාන්ත ශාලාවක් පවා තමන්ට අවශ්‍යවන සේවක සංඛ්‍යාව හා සේවකයින් වර්ග මොනවා ද යන්න වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබයි. රාජ්‍ය සේවයේ වසර 5 කට වරක් කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ යුතුය. වසර 12 කට පසුව 2024 දී ‘කාර්ය මණ්ඩල සමාලෝචනයක්’ සිදු කළේය.
දැනට උසස්වීම් අහිමි, සතියකට දවසක් වැඩට එන නිලධාරී අතුරින් අත්‍යවශ්‍ය කාර්මික සේවා සඳහා පුද්ගලයින් අන්තර්ග්‍රහණය කර හෝ නව පත්වීම් ලබාදී මේ ප්‍රශ්නය නිට්ටාවට සුව කර ගත හැකිය.
 
ප්‍රතිපත්තිය කුමක් ද?
 
2025 ජනවාරි මස ආණ්ඩුවේ උපදේශකවරයෙකු ලෙස කටයතු කළ දුමින්ද හුලංගමුව පැවසූවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 දක්වා අඩු කළ යුතු බව ය. හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ගේ කමිටු වාර්තාවේ රාජ්‍ය සේවය සංඛ්‍යාව ලක්ෂ 10 ක් විය යුතු බව දැක්වේ. මේ වසරේ ජනවාරි 1 දින පැවසූ පරිදි රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණය වන්නේ නම්, රාජ්‍ය සේවයට අවශ්‍ය ලක්ෂ 2 කට අඩු ප්‍රමාණයකි.
දැන්, මේ වසර මුල දී ලබාදුන් පොරොන්දුව අනුව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වන්නේ නැත.
ජනතාව පෙළමින් අයකර ගන්නා බදු කිසිදු ප්‍රතිඑලයක් නොමැතිව වැටුප් සඳහා වියදම් කර දැමීම රජය තීරණය කර ඇත.
 
ඇත්තමට ගැටළු මොනවාද?
 
රාජ්‍ය සේවක සංඛ්‍යාව එලදායී වන්නට නම්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මහ පොලොවේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. උදාහරණයක් ලෙස, දැනට පළාත් සභාවලට ජාතිය ගොඩ නැගීමේ බද්ධ (NBT) අය කිරීමක් සිදු නොවන නිසා, බදු නිලධාරීන් (tax officers) අවශ්‍ය නැත. නමුත්, පළාත් සභාව වැඩි වැඩියෙන් ‘මත ප්‍රකාශ ලබා දී ආදායම් ලබාගැනීමට’ තක්සේරුකරුවන් (වැලිවර්ස්) සංඛ්‍යාව වැඩි විය යුතුය. පලාත් සභා බදු නිලධාරී තනතුරු යටපත් කර, තක්සේරු තනතුරු ස්ථාපනය වන්නේ නැත.
 
අනුර කුමාර මැතිතුමා මේ තත්වය ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇති බව එතුමන්ගේ රත්නපුර කතාවේ එක් කොටසකින් පැහැදිලිවේ. නමුත්, ප්‍රශ්නයට පිළිතුර නව බඳවා ගැනීම් යැයි රාජ්‍ය නිලධාරීන් නැවත විධායකය රවටා ඇත.
 
එතුමන්ට නිලධාරීන් කරුණු ඒත්තු ගන්වා ඇත්තේ, මැද ලේයර් එකට 70,000 ක් අලුතෙන් බඳවා ගැනීම නම් නැවතත් සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාව, උවමනාව අනුව සේවක මණ්ඩල පිරමීඩයේ වට්ටක්කා බඩ ගෙඩිය තවත් මහත් කිරීම ය.
 
ලංකාවේ කේෂ්ත්‍ර නිලධාරීන් වර්ග 103 ක් පවතී. 2023 ජනාධිපති කාර්යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයෙන් මේ බව හෙළිකර ගන්නා තෙක් මෙම වර්ග සංඛ්‍යාව ප්‍රමාණය ගැන හෝ අවබෝධයක් තිබුණේ නැත. මෙයින් අඩකට වඩා යල්පැනගිය, අවශ්‍ය නොවන තනතුරු අහෝසි කළ යුතුව ඇත.
 
2025 ජනවාරි 1 දින පැවසූ පරිදි, ඉදිරි වසර කිහිපයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ ඩිජිටල්කරණය (digitalization) ට ලොකු අගයක් ලැබෙන්නේ නම්, එයට අනුරූපව රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්වීමක් සිදු විය යුතුය. රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට හෝ තවමත් ඇරඹී නැත.
 
පිරමීඩය වට්ටකයක් වූයේ කෙසේ ද?
 
රාජ්‍ය සේවයේ පිරමිඩය විකෘති වූයේ ආයතන, දෙපාර්තමේන්තු හා කිසිදු සේවා ස්ථානයක් නොමැතිව පවා අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම නිසාය. 2017 සිට මෙම වෘකෘතිය අවසන් කිරීමට පියවර ගෙන තිබුණි. සේවක පිරමීඩයේ මැද කොටස පිරී උතුරා ගොස් ඇත්තේ ඌණ සේවා නියුක්ති උපාධිධාරීන්ගෙනි. මේ අහිංසකයින්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් තබා වාඩිවෙන්නට පුටුවක් හෝ නැත! කිසිදු උසස්වීම් ක්‍රමවේදයක් නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය.
2025 වස‍ර ආරම්භ‍යේ දී, රාජ්‍ය සේවය කුඩා කිරීම සඳහා පාලකයින්ගේ අවධානය යොමු විය. මාස 10කට පසුව, දැන් අලුතෙන් 70,000 ක් බඳවා ගැනීමට යයි.
 
මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව වැරදි තොරතුරු මත සකස් වන රාජ්‍ය ප්‍රතිපත්තියකි. අද අලුතෙන් බඳවා ගන්නා රාජ්‍ය සේවකයෙකුට ජීවිත කාලය පුරා වැටුප් ද, දීමනා ද මිය යන තෙක් විශ්‍රාම වැටුප් ද, විටෙක කාලත්‍රයා මිය යන තෙක් ජනතා බදු මුදලින් වැන්දඹු අනත්දරු දීමනා ද ගෙවීමට සිදු වන්නේය.
 
රජිත් කීර්ති තෙන්නකෝන්. .
A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: