අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Tuesday, October 07, 2025

10/07/2025 10:00:00 pm

අන්දරේ රජවාසලට සේවය කරමින් වාසල ඇසුරේ පදිංචි කාරයක් බවට පත්විය.
උපන් ගෙයිම කවියෙක්වු ඔහු පොතපතින් නොව පරිසරයෙන් ස්වභාවධර්මයෙන් හා ජණ සමාජයේ ඇසුරෙන් අත්දැකීම් වඩවා ගෙන වියතෙකු බවට පත්වීය.
ඔහුගේ නිර්මාණ මානව දයාවෙන් යුක්ත විය. 
උපහාසාත්මක විය.

රජතුමාගේ “ කවි කාර මඩුවේ තවත් කවියන් කිහිපදෙනෙක්ම සිටියේය. මුං කොටුවේ රාළ , වඩුගොඩ කවියා සහ කැකිරි ගමයා වැනි කවීන් අන්දරේගේ සමකාලීන කවියන්ය.
දිනක් රජු තේරවිල්ලක් ඉදිරිපත් කොට එය තෝරන්නැයි මේ කවීන්ට දන්වා සිටියේය.
තේරවිල්ල මෙසේය.


දාර දෙකයි එක තැන මුල්කර තැනුවා

පාර තිහක් ගැසුවත් බයකුත් නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී දුටුවා

කවියෝ දස අතේ කල්පනා කරමින් සිටින විට අන්දරේ කවි පද හතර තෝරා දුන්නේ මෙසේය.

දාර දෙකයි එක මැද එය             ගැවසීය
වටපිට යන කලට කණු සතරෙන්         යාය
ගෙට වැඩි කළට කිසි බයකුත්         නැතුවාය
මට දැනෙනා ලෙස මහරජ             ඉබ්බාය


“මහ රජ ඉබ්බාය “ යනුවෙන් අවසන් පදයෙන් අන්දරේ හීන්සීරුවේ රජුට උපහාසයක් ද එල්ල කළේය.
පසු කාලයේ කැකිරි ගමයා හා එක්ව අන්දරේ කී පරහු කවි සංවාද (පිළිතුරු කවි) අපේ ජනසාහිත්‍යයේ විශිෂ්ට පරිකල්පනයකින් යුක්ත කවි වර්ගයක් ලෙස සැලකේ.
කවිවැල් අන්දරේ ලෙස අන්වර්ථ නමකින් ඔහු හැඳින්වූයේ එක දිගට කවි ගෙතීමේ තිබූ අපූරූ හැකියාව හේතුවෙනි. හිටිවන කවි, වස් කවි, සෙත් කවි, ශෘංගාරාත්මක කවි ආදී ඕනෑම කවියක් අන්දරේට සැණින් පබැඳිය හැකිව තිබුණි.

තවත් දිනක් රජු සිය වාසළ කටයුතු හමාර කරමින් පැමිණ සිටි රාජ අමාත්‍යාදීන්ට අපූරු යෝජනාවක් ගෙන ආවේය.
රාජ සභාවේ සියළු දෙනා පසුදා එනවිට බොරුවක් ගොතාගෙන ආ යුතු අතර,
ලොකුම බොරුවට ත්‍යාගයක් ද දෙන බවට රජු සැල කළේය. පසුදා රාජ සභාවට පැමිණි සියල්ලෝම ගොතා ගෙන ආ බොරු රජුට සැල කළ නමුත් ඒ කිසිවකින් රජු සෑහීමකට පත් නොවීය.
අවසානයේ අන් අයගේ බොරුවලට සවන් දෙමින් සිටි අන්දරේ නැගිට තමාට බොරුවක් කීමට උවමනා බව රජුට පැවසීය. අවසරය ලැබිණි.

රජකම් කළත් ඉඳගෙන සිහසුනක                 මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට         හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු             කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක             නැත


රජුගේ පාලන තන්ත්‍රය සෘජුවම උපහාසයකට ලක් කරමින් අන්දරේ සිය බොරුව කවියෙන් කීය.
රාජ සභාවම තුෂ්ණිම්භුත විය.
රජුගේ කටයුතු විචාරයට ලක් කිරීම හෝ රජුට අවමන් කිරීම එකල සිදු විය නොයුත්තකි.
සියල්ලෝම බලා සිටියේ අන්දරේට මරණ දඩුවම ලැබෙන තෙක්ය.
එහෙත් රජු සිනාසී හොඳම බොරුව අන්දරේ කී බවට පිළිගත්තේය. 
ත්‍යාගය ලැබුණේ අන්දරේටය'

තවත් දවසක්‌ රජතුමා ඇමැතිවරු හා අන්දරේ සමග ඇතුපිටින් සංචාරයක යෙදෙමින් සිටියහ.

රජතුමා ගසකින් කොලයක්‌ කඩා ඇමැතිවරුන්ට දී මෙම කොලය උරූලෑ ගඳ යෑයි කීය. ඇමැතිවරු ද එම කතාව අනුමත කරමින් “ඔව්“ යෑයි කීහ.
“ රජු යමක් කීව විට එය එසේයයි කීම හැර ඇත්ත කුමක්දැයි පහදා දීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. සීතාම්බර පට සළුව පැළද නිරුවතින් ගිය රාජ්‍ය පාලකයින් ගැන අප අසා ඇත.
දැනිදු එසේමයත
මෙතනදීම සිදුව ඇත්තේ එවන්නකි.

රජු “උරුලෑ ගදයි “ කී විට එය අනුමත කලා මිස ඇත්ත පහදා දීමට එකග නොවීය.
අදත් එහි වෙනසක් නැත. පාලකයෝ දෙසාබාන්නේ දේව වාක්‍යයන්ය.
අන්දරේ කොලය ගැන යථාර්ථය පලකලේය.
“ රැළියට දිය රැගෙන යන තෙප්පම ලුද්ද
නිරිඳුට අනුව පවසති බොරුකර සද්ද “
කියමින් ඇමතියන්ද රජුද උපහාසයට පත්කලේය.

රැළියට දිය රැගෙන යන තෙප්පම             ලුද්ද
නිරිඳුට අනුව පවසති බොරුකර             සද්ද
කෙළියට නමුත් බොරු කීකල පව්             නැද්ද
ඇතෙකුට උඩින් යන උරුලෑවෙක්‌             ඇද්ද



එක් දිනක් ඉන්දියාවෙන් පැමිණි බමුණු පඬිවරයෙක්‌ රජ වාසලට පැමිණ රාජ සභාවේ පඬිවරු සමග ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ කිරීමට කැමති බව පැවැසීය.
රජතුමා තම පණ්‌ඩිතවරුන්ට ඒ බව දැන්වීය.

ඔවුන් අදිමදි කරමින් පසුබාන විට අන්දරේ තනිවම ඊට කැමැති විය.
නියමිත දින ඉන්දියානු පඬිවරයා රජවාසල පැමිණියේය.
අන්දරේ ඔහු පෙර මගදී මුණ ගැසීමට සැලසුම් කරගෙන ඉරට මිටියක්‌ මීහරක්‌ හමක ඔතාගෙන කරපිට තබා ගෙන ඉදිරියෙන් ගමන් කලේය. ඉන්දියානු පඬිවරයා අන්දරේගෙන් ඔය පොත මොකක්‌ දැයි ඇසීය.
ඊට පිළිතුරු දුන් අන්දරේ “මෙයට තමයි කියන්නේ මහීෂ චර්ම බන්ධන ඉරට්ට පුස්‌තකම්" යයි කීය.

මෙබඳු පොතක්‌ ගැන කවරදාකවත් අසා නැති ඉන්දියානු පඬිවරයා සාකච්ඡාවට ගියහොත් තමා පරාජය වේ යෑයි සිතා සාකච්ඡාව මගහැර ගියේය. 
අන්දරේ ගෙන ගියේ “ මීරහක්‌ හමෙන් වැසුණු ඉරටු මිටියකි “ .
වාද විවාද නොකර අන්දරේ ජය ගත්තේය.

අන්දරේ “ සීනි කෑ හැටි “ රජතුමාට තම බිරිය හදුන්වා දීමට එක්කර ගෙන ගොස් වාසල ඇති කල අල කලංචිය , දේවීන් වහන්සේ සැඩොල් කෙල්ලක් බවට පත් කල හැටි,ප්‍රකට වෘතාන්තයන්ය.
ලෝකයේ මැද .........අර කන්දේ තියන පස්කුඩා ගනන වැනි මුකරි විසදුම් ඕනැ තරම් අන්දරේ ගේ කතා සමග අපට සිහිපත් වන්නේය.

න.ණ පටලවා ජනතාවත් රජතුමාත් අසරණ කල කතාවකින් රජවාසලින් දැනට සමුගමු.

වාසලට අයත් නින්දගම් වලින් ( රජයේ ඉඩම් ) අස්වනු නෙලපුවම රාජ්‍ය භාගය ගෙවන එක සිරිතක්.
එක් කන්නයක තණ වගා කරලා තිබුන ගම්වරයක රාජ්‍ය පංගුව එක්රැස් කරගෙන එන රාජකාරිය අන්දරේට පැවරුනා.
රජතුමා ගමන පිටත් වෙන්න පෙර අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" කියලා .
අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

ඔන්න ඉතින් මේ ගමේ අස්වනු මනින්න අන්දරේ යනවා.
අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් කඩා ගත්ත.
අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව.
අන්දරේ කවියකුත් කියාගෙනම ගොවිපලවලට යනවා .


කොට දිග මහත රවුමට උල් වෙච්ච         තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ             තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි         අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

අන්දරේට තන-තණ මාරු වුණා.
රජ අණනෙ ගෙවිලියනුත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න.
අන්දරේ එක එක පියවුරේ දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත.
මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දුන්නා.

“අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණා.
ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආවා .
රජතුමාට තේරුණා කට වරද්ද ගත්ත බව.

ආපහු වෙනත් රාජ පුරුෂයෝ ටිකක් ඇරලා අස්වැන්න එකතු කරගන එන්න රජතුමාට සිද්ද වුනා.


A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: