අපි යන්නේ කොයි පාරේ ?.
චේ ගුවේරා ගිය පාරේ ....
ඒ අපේ ජනප්‍රිය සටන් පාඨය.
පිදෙල් කස්ත්‍රෝ , ලෙනින් , මාවෝ සේතුං පුරෝගාමීන්ය.
කවුද කියන්නේ ?.
අපි මේ යන්නේ කන්නන්ගරයන් පෙන්නපු , මුල් පස් පිඩල්ල කපපු ,විවෘත කර මග පෙන්නපු පාරේ කියලා .
කවුරුත් කියන්නේ නෑ .............
අපේ දූ දරුවන් කන්නන්ගරයන් ගැන මතකයක් නැහැ.
එතුමා හදපු පාරේ යන ගමන්.
ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය.
අපි ඔහු හදුන්වන්නේ ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙසිනි.
අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත පාලනය තුල සිටිමින් ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.
ළමා කාලය.
ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය.
පියා උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර.
කළුතර දිස්ත්‍රිකයේ පස්දුන් කොරලයට අයත් ලූල්බද්දාවෙහි වැසියෙකිවු. මව එමිලි විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේ උපත ලැබුවාය.
සහෝදර සහොදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියාවු ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙනි. පසුව වැඩිදුර අධ්‍යාපනය සදහා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුල් වුනා.
වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් පියතුමා ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවා.
කන්නන්ගරයන්ගේ දක්ෂතාවය නිසා රිච්මන්ඩ් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ද ලැබුනා.
ගමේ පාසැලෙහි ලබා දුන් අධ්‍යාපනයට වඩා ඉහළ මට්ටමක පැවැති උගැන්වීමක්, එකල විශිෂ්ට ලෙස සැලකුනු පාසැලක ලැබීමට ඔහුට හැකිවුනා.
අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනා කන්නන්ගර තම නම පමණක් නොව රිච්මන්ඞ් විදුහල ද ලංකාව ද විශ්ව කීර්තියට පත් කළා.
අනතුරුව රිච්මන්ඞ් විද්‍යාලයේත් . මොරටුව වේල්ස් කුමර විදුහලේ හා කොළඹ වෙස්ලි විදුහලේ අර්ධ කාලීන ගුරුවරයකු ලෙස කටයුතු කරමින් නීතීඥ වෘත්තිය සඳහා උගත් කන්නන්ගර මැතිතුමා ,
1922 දී මහනුවර ඊඩිත් වීරසූරිය මෙනවිය හා විවාහ විය.
දිළිඳු හා වරප්‍රසාද නොලත් පන්තිය නියෝජණය කරමින් සමාජ සේවයක් හැටියට නීතිඥ වෘත්තිය කටයුතු ඉටුකිරීමට පටන් ගන්නවා.
මේ නිසා දේශපාලන හා සමාජ සේවා ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන පුද්ගලයකු බවට පත් වන එතුමා සැබෑ ජන නායකයෙකු ලෙස තහවුරු වෙනවා.
දේශපාලනය.
1917 දී ඔහුගේ පුරෝගාමිත්වයෙන් ගාල්ලේ ජාතික සංගමය පිහිටුවීය.
1923 දී ගාල්ල මන්ත්‍රීවරයා බවට පත්වීය.
1930 දී ලංකා ජාතික කොංග‍්‍රස් සභාවේ සභාපති පදවියටත් 1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවටත් පත් විය.
රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විධායක මණ්ඩල පත් කිරීමේදී අධ්‍යාපනය පිළිබඳ විධායක මණ්ඩලයේ සභාපති තනතුරට වැඩි ඡන්දයෙන් පත්විය.
1936 පෙබරවාරි 27 වැනි දින පැවැත්වුණු දෙවන රාජ්‍ය මනත්‍රණ සභාවේ මතුගම ආසනයෙන් ජයග‍්‍රහණයක් ලබාගැනීමට එතුමා සමත් විය. එහිදී අධ්‍යාපන විධායක සභාවට පත්ව දෙවන වරට ද අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවමින් ලංකාවේ අධ්‍යාපනයට නොමැකෙන සේවාවක් ඉටු කළේය.
ඒ අනුව නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දීමේ අතිවිශිෂ්ඨ මෙහෙවර ද ඉටු කළේය.
එහෙත් 1947 ඡන්දයෙන් විල්මට් ඒ.පෙරේරා මහතාට පැරදුණු කන්නන්ගර මහතා ඉන්දුනීසියාවේ තානාපති ධූරය ලබා එහි සේවය සඳහා ගියේය.
යළිත් ලංකාවට පැමිණ 1952 මැතිවරණය දිනා පාර්ලිමේන්තුවට පත් වුවද මෙහිදී අධ්‍යාපන ඇමති ධූරය වෙනුවට එතුමාට ලැබුණේ පළාත් පාලන ඇමති ධූරයයි.
1960 මැතිවරණ සමය වන විට එතුමා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියේය.
කන්නන්ගර මහතාගේ පාර්ලිමේන්තු දේශන
"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨ ද? "
(හැන්සාඩ් වාර්තා 1944, පිටුව.946)
නීතිඥ, ආචාර්ය. ක්‍රිස්ටෝපර් විලියම් විජේකොන් කන්නංගර
(සභාපති, අධ්‍යාපන කාරක සභාව)
1943 දී අධ්‍යාපන කාරක සභාව විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශ මත, අධ්‍යපාන කාරක සභාවේ සභාපතිවරයා වූ සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා විසින් අධ්‍යාපන ආඥා පනතට සංශෝධනයක් වශයෙන් නිදහස් අධ්‍යාපන යෝජනාවලිය 1944 මැයි මස 30 වැනි දින රාජ්‍ය මන්න්‍රන සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
"නොයෙනා හිරු රැස් සිඳු
ගැබ පතුළට
අගනා මිණි කැට අදුරේම
සැගෙවෙද
පිපෙනා කුසුමන් වනයෙහි
නිම නැත
හමනා සුළෙඟින් වනෙයෙම
පරවෙත"
එතුමා නිදහස් අධ්‍යාපන යෝජනාවලිය ඉදිරිපත් කරමින් සිය දීර්ඝ කතාව ආරම්භ කරන්නේ තෝමස් ග්‍රෙරේ නම් වූ ප්‍රසිද්ධ කවියාගෙ කවියකින්.
“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි."
එතුමාගේ දර්ශණය විය.
මේ හරබර දේශණත් , නිදහස් අධ්‍යාපනය නිසා උගතුන් වු බව පවසන වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු කරන දේශණත් අසන විට කන්නන්ගර මග ගිය උඩු මහලේ සිටිනා මූසිලයන් සිහිපත් වනු ඇත.
ලංකාවේ උපත ලබා ලාංකීය ජනතාවට සේවය කල එතුමා
‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” යැයි එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය අගයමින් පවසා ඇත.
විදේශීය ජන නායකයන් අගේ කරන දේශීය ජනනායකයන් අගරු කරන ජනසමාජයක මෙවන් මිණිකැට බොරලු බවට පත්ව ඇති බව සටහන් කිරීමට සිදුව ඇත්තේ අපේ අභාග්‍යකට විය යුතුය.


 
0 ප්‍රතිචාර:
Post a Comment