ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label ආගමික.. Show all posts
Showing posts with label ආගමික.. Show all posts

2026-05-30

වෙසක් පුන් පොහෝ දිනය අදයි



වෙසක් පුන් පොහෝ දිනය අදයි
වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය යි. බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ. එම අවස්ථා නම් සිද්ධාර්ථකුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම,පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.
01.බුදුන් වහන්සේගේ උපත සිදුවීම
02.බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම
03.බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම
04.කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම
05.බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම
06.ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
07.සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම
08.බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූයේ කිතු උපතට වසර 624 කට පෙර (ක්‍රි.පූ.624 දී) උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) ලුම්බිණි ග්‍රාමයේ සල් උයනක දී යැයි පිළිගැනේ. ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී ය. ශාක්‍ය වංශික සුද්ධෝදන රජතුමා හා මහාමායා දේවිය උන්වහන්සේ ගේ මව්පියෝ වූ හ. උපතින් සත් දිනකට පසු මහාමායා දේවිය මිය ගිය නිසා එතැන් සිට ළදරු කුමරා පෝෂණය කර,හදාවඩා රැකබලා ගත්තේ මහා ප්‍රජාපතී ගෝතමිය යි. ඇය මහාමායා දේවියගේ සහෝදරිය යි. නාමකරණ මංගල්‍යයට ආ බ්‍රාහ්මණයෝ දේහ ලක්ෂණ හා තත්කාල හෝරා ආදී දේ අනුව බලා මේ කුමරා දිනෙක ලෝකයට අර්ථයක් සිද්ධ කරන බව දැක සිද්ධාර්ථ යන නාමය සුදුසු යැයි ප්‍රකාශ කළහ. එතැන් සිට මේ පින්වත් කුමරා සිද්ධාර්ථ කුමාරයා යැයි ප්‍රකට විය. ගෝත්‍රයෙන් ගෝතම නම් වූ නිසා සිද්ධාර්ථ ගෞතමයෝ යැයි ද ප්‍රකට වූහ.
නෛමිත්ත පාඨකයන්ට අනුව මේ කුමරා යම් දිනක ගිහිගෙය හැර ගොස් ආධ්‍යාත්මික දිවියක් ගත කරන්නේ යැයි රජතුමා විශ්වාස කළ නිසා කෙසේ හෝ කුමාරයා ගිහිගෙයි නතර කරවා ගැනීමට අවශ්‍ය සියල්ල සූදානම් කළේ ය. අවට ලෝකය දැකීමට කුමරාට අවස්ථාවක් නො දීම පිණිස මාළිගා භූමිය තුළ සියල්ල සම්පාදනය කළේ ය. එවක උත්තර භාරතයේ සිටි උසස් ම බමුණු ගුරුවරයෙකු වූ සර්වමිත්‍ර නම් බමුණා මාළිගයට ගෙන්වා කුමරාට ශිල්ප ලබා දුන්නේ ය. පුරාණ භාරතීය සිරිතට අනුව වයස අවුරුදු 16 පිරුණු සැනින් සරණ මංගල්‍යය ද සිදු කළේ ය. ඇය කෝලිය කුලයේ යශෝධරා නම් කුමාරිය යි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ සරණ මංගල්‍යය දිනයේ ම නව මාළිගයකට පිවිසීමත්, රාජාභිෂේකයත් යන අවස්ථා ත්‍රිත්වය ම උදා කර දීමට සුද්ධෝදන රජු කටයුතු කළ බවයි. දහසය දහසක් ස්ත්‍රියන් සහිත අන්තඃපුරයක් ද කුමරු උදෙසා වූ බව ද පැවසේ. කෙසේ වුව ද දිනක් උද්‍යාන ක්‍රීඩා පිණිස යන අතරතුර දී දුටු සතර පූර්ව නිමිත්තයන් නිසා ගිහි ගෙය කළකිරුණු කුමරාට මේ ජීවිතයේ සත්‍ය සොයා යෑමේ බලවත් ආශාවක් ඇති විය.
මේ සත්‍යය නො දකින මිනිසා සසර සැරිසරමින් අනන්ත දුක් පීඩා විඳිමින් සිටින වග දුටුව හ.මිනිසත් බව ලැබීමේ මුඛ්‍ය පරමාර්ථය නොදැක කා බී සතුටු වීමෙන් පමණක් සෑහී නිස්සාර දිවියක් ගත කරන ආකාරයත් අවසානයේ දුකට පත්ව පසුතැවෙන ආකාරයත් දුටුව හ. මේ සියල්ලන් වෙනුවෙන් සත්‍ය සොයා ගොස් ඒ සත්‍යය මේ සසරේ දැවෙන,තැවෙන මිනිසුන්ට ද අවබෝධ කොට දීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේ තුළ ඇති විය. එහෙත් මේ සියල්ල සැලසුම් කරන අතරේ උන්වහන්සේට තවත් පණිවිඩයක් ලැබුණි. සිය බිරිඳ කුලුඳුල් දරුවා ප්‍රසූත කළ බවයි. මේ වනාහි සිය අරමුණ වෙත යාමේ දී යළි යළිත් සිතා බැලිය යුතු කාරණාවකි. දරුවා සමග බිරිඳ තනිකොට දමා යෑම උත්තම මිනිස් ක්‍රියාවක් නො වේ. එහෙත් තමා මේ ගමන නො ගොස් සිටීමෙන් සෙත සැලසෙන්නේ සිය පවුලේ සාමාජිකයන්ට ම පමණි. ඒ ද තාවකාලික සතුටක් පමණි.
එහෙත් තමා මේ ගමන ගියහොත් සකල ලෝ වැස්සන්ට ම සදාකාලික සුවයක් අත් වන වග වග ද දුටහ. ඒ අනුව පියෙකුට, ස්වාමි පුරුෂයෙකුට ගත හැකි ඉතා ම අපහසු තීරණයට උන්වහන්සේ පිළිපන් හ. සකල ලෝ වැස්සන් වෙනුවෙන් සිය පෞද්ගලික සුව පහසුව,සතුට,තනතුරු ඇතුළු සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කිරීමට තීරණය කළහ. හිසකෙස් මුඩු කොට කසාවතින් සැරසී ආරණ්‍යගත වුණු උන්වහන්සේ ජීවිතයේ,සංසාරයේ සත්‍යය සොයා භාර්ගව,ආලාරකාලාම,උද්දකාරාම පුත්ත ආදී නොයෙක් ගුරුවරුන් වෙත ගිය හ. එහෙත් ඒ කිසිවෙකුත් මේ පිළිබඳ සත්‍ය අවබෝධයකින් පසු නො වන බව අවබෝධ කරගත් උන්වහන්සේ තනිව ම සිය ගමන යෑමට තීරණය කළ හ. ඊට අනුව ශරීරයට අධික දුක් දෙමින් අත්තකිලමථානුයෝගය අත්හදා බලන්නට තීරණය කළ හ. නිසි අහරක් නො ගෙන, සියලු සුඛ විහරණයන්ගෙන් ඈත් වී පුරා සය වසරක් මේ මගෙහි ගිය උන්වහන්සේ ඉන් පලක් නො වන වග දැන පසුව නව මගක් පිළිබඳ අවධානය යොමු කළ හ. පුරා නව විසි වසක් උපරිම සුඛ විහරණය කර අවබෝධ කර ගත නොහැකි වූ සත්‍යය, පුරා සය වසක් දුක්විඳ අවබෝධ කර ගැනීමට නො හැකි වූ සත්‍යය මැදි මගෙහි ගොස් අවබෝධ කර ගන්නට උන් වහන්ස් තීරණය කළ හ. ඊට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ උන් වහන්සේ නේරංජනා නදී තීරයේ ගයා ශීර්ෂයේ ඇසතු බෝ රුකක් සෙවණේ දී උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කර ගත්හ.
බෞද්ධ ජනයා සිතන පරිදි ඒ වනාහි මිනිසෙකුට අත්කරගත හැකි උත්තරීතරම බුද්ධි තත්ත්වය යි. ඒ සිදුවන්නේ කිතු උපතට වසර 588කට පමණ පෙර වෙසක් පුන් පොහෝ දිනක ය. එතැන් පටන් පුරා වසර 45ක් ලෝ වැස්සන් උදෙසා සිය කාලය, ශ්‍රමය කැප කළ ගෞතම බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80 දී ආයු සංස්කාරය කර පිරිණිවන් පා වදාළ සේක. ඒ මල්ල රට කුසිනාරා නම් නුවර උපවත්තන නම් සල් වනයේ දී ය. ඒ කිතු උපතින් වසර 423කට පූර්වයෙනි. වෙසක් උත්සවය සේ බෞද්ධයන් ස්මරණය කරන්නේ මේ තෙමඟුල යි. මේ උත්සවය බුදු තෙ මගුල ලෙස ද, බුදු මගුල ලෙස ද, බෞද්ධ මංගල්‍යය ලෙස ද විශාඛ මහෝත්සවය ලෙස ද, වෛශාක්‍ය මංගල්‍යය ලෙස ද හැඳින්වේ.
වෙසක් උත්සවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය පැරණි භාරතයේ පවා සැමරූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙන් පෙනෙයි. ලංකාවේ ද ක්‍රි. පූ. දෙ වන ශතකයේ දී පමණ පවා මේ උත්සවය සැමරූ බව මහාවංසයේ සඳහන් වේ. ලංකාවට විවිධ කාලවල දී පෙර අපර දෙ දිගින් එල්ල වූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදී රාජ්‍ය මට්ටමේ උත්සවයක් ලෙස පැවත්වීමට නොහැකි වුව ද ලක් වැසි බෞද්ධයන් හැකි අයුරින් වෙසක් උළෙල සැමරූ හ.
ක්‍රි.පූ.දෙවන ශතකයේ ලංකාව පාලනය කළ දුට්ඨගාමිණී මහ රජතුමා වෙසක් උත්සව 24ක් ද, භාතිය රජු වෙසක් උත්සව 28ක් ද, වසභ රජු වෙසක් උත්සව 44ක් ද, පවත්වා ඇත. මීට අමතරව වෝහාරතිස්ස රජු, ජෙට්ඨතිස්ස රජු, දළමුගලන් රජු, දෙවන සේන රජු ආදීහූ වෙසක් උත්සව පැවත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසිද්ධ වූහ. පොළොන්නරු යුගයේ විසූ මහා පරාක්‍රමබාහු රජු වෙසක් උත්සවයට විශේෂ රාජකීය අනුග්‍රහයක් ලබා දුන්හ. දඹදෙණි යුගයේ විසූ පණ්ඩිත පරාක්‍රමබාහු රජු පැවත්වූ වෙසක් උත්සවයක් පිළිබඳව පූජාවලියේ විස්තර වේ.
බටහිර ජාතීන් ලංකාව පාලනය කළ කාලයේ වෙසක් උත්සවයට මහත් බාධා පැමිනුණි. ක්‍රි.ව.1770 දී විශේෂ පනතක් මගින් ලන්දේසීන් වෙසක් උත්සවය මෙරට රජයේ නිවාඩු දිනයක් නො වන බව ප්‍රකාශයට පත් කළ හ. එකල ආණ්ඩුකාර විලියම් ෆැල්ක් මේ සමයේ බුදුසමය තදින් ම මර්දනය කිරීමේ නිරත විය. 1815 දී උඩරට ගිවිසුමෙන් බුදුදහම ආරක්ෂා කරන බවට සුදු පාලකයන් එකඟ වුවත් එය හුදු වැකියක් පමණක් ම විය. 1848 නිදහස් අරගලයට පසු ඔවුන් ඒ මත දමා බුදු සසුන පිළිබඳ වගකීමෙන් ක්‍රමයෙන් නිදහස් වී කිතු දහම ප්‍රචාරය කිරීමේ නිරත වූ හ. 1873 ජුනි 12 දින පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් පසු එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණිය හ. ඕල්කට් තුමා එවක යටත්විජිත භාර ලේකම් වරයා වූ ඩර්බිසාමිවරයා හා සාකච්ඡා කර වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කළේ ය. ඊට අනුව 1885 මාර්තු 27 දින ගෝඩ්න් ආණ්ඩුකරු විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ ය. 1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කරන ලදී. වෙසක් දිනය යළි නිවාඩු දිනයක් බවට පත් කරන්නට ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළ සේ 1999 වර්ෂයේ දී දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේ ය. ඒ මහතාගේ කැපවීම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කළ හ.
ලෝ වැසි බෞද්ධයන් වෙසක් උත්සවය සමරන්නේ අරුත්සුන් ප්‍රීති උත්සවයක් ලෙස නො වේ. ඔවුන් ප්‍රීති වන්නේ දානය තුළිනි. හින්දු,කිතුණු හා ඉස්ලාමීය උත්සව වලදී ද මේ තත්ත්වය දකින්නට ලැබේ. දන්සල් පැවත්වීම, බෝධි පූජා, පහන් පූජා, අභය දාන පූජා, ලේ දන්දීම්,පොදු ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදාන,රුක් රෝපණ ආදිය මේ යුගයේ බහුල වශයෙන් සිදු කෙරේ.ඊට අමතරව තොරණ ඉදිකිරිම,පහන්කූඩු දැල්වීම ධජ ප්‍රදර්ශනය කිරීම ආදියෙන් සැරසිලි කටයුතු ද කරති.පෙහෙවස් සමාදන් වීමෙන් ආගමික වතාවත්හි ද නිරත වෙති.












A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-14

මඩගම්මන හිමියන් - ශ්‍රී පාදය අපට නැවතත් හිමි කර දෙයි.



බොදුනුවන්ට ශ්‍රී පාදය නැවතත් හිමි කර දෙන්නට මූලිකත්වය ගත් මඩගම්මන හිමියන් ගැනයි මේ.......
ඒ අපේ රටේ බොදුනුවන්ගේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයක් වුණා. ඒ සීතාවක රාජසිංහ රජ සමය. එම කාලයේදී ශ්‍රී පාදස්ථානය හින්දූන්ගේ බලය සහිත ස්ථානයක් බවට පත් වුණා. ඉන් අනතුරුව බලයට පැමිණි පළමු වන විමලධර්මසූරිය, සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජවරුන් ඔවුන්ගේ දකුණු ඉන්දීය සම්භවයන් හා ඥාතීත්වයන් හේතු කොට ගෙන ශ්‍ර්‍රී පාද ස්ථානයේ අයිතිය නැවතත් බෞද්ධයින් හට ලබා දීමට උත්සාහ ගත්තේ නැහැ.
මෙසේ වසර 150 ක පමණ කාලයක් හින්දූන්ගේ පාලනයට යටත්ව පැවැති ශ්‍රී පාද ස්ථානය ඉන් මුදා ගැනීමට මහත් කැප කිරීමක් කළේ එවකට පොත්ගුල් රජ මහා විහාරයේ වැඩ විසූ මඩගම්මන සාමණේර හිමි නමය. උන් වහන්සේ මහත් සේ වෙහෙස වී ශ්‍රී පාද ස්ථානය අයිති කර ගන්නට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී පාදය අත්පත් අත්පත් කර ගත් උන් වහන්සේ අනතුරුව මිල්ල කණු යොදා පැලක් සාදා තල් අතු සෙවිලි කර ශ්‍රී පාදයට සෙවණක් සලසා එය රැකීමට කටයුතු කලා. ඉන් අනතුරුව මඩගම්මන හිමියන් විසින් ශ්‍රී පාද ස්ථානයේ ප්‍රාකාර බැම්ම සකස් කොට ඇති අතර පසුව යකඩයෙන් මණ්ඩපයක් ද ඉදි කල බවත් භගවා ලෙන සමීපයෙහි උළු සෙවිලි කර කුටියක් ඉදි කළ බවත් මඩගම්මන සන්නසෙහි සඳහන් වේ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දක්වා ශ්‍රී පාද ස්ථානයේ සියළුම කටයුතු මඩගම්මන හිමියන් කළ බව හා භාරකාරත්වයද දරමින් සිටි බව ඉතිහාස තොරතුරු වල සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මඩගම්මන ස්වාමීන් වහන්සේට සන්නස් පත්‍රයකින් ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය පවරා තියෙනවා. ඒ අනුව ශ්‍රී පාද ස්ථානයේ පළමු භාරකරු වන්නේ මඩගම්මන හිමියන් වෙනවා.

එදා සිට මේ දක්වා ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය දැරූ නාහිමිවරුන් ගණන 25ක්. ඒ වර්තමාන භාරකාර නාහිමියන් වන බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් සමගින්.
මේ එදා සිට ශ්‍රී පාද ස්ථානයේ භාරකාරිත්වය දරණ ලද ගෞරවණීය නාහිමිවරුන්ගේ ලේඛනයයි.
1. මඩගම්මන නාහිමි
2. මහ මාලිම්බඩ නාහිමි
3. සපුගස්කන්දේ නාහිමි
4. වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
5. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි
6. මහ කඹුරුපිටියේ සභිධර ගුණරතන නාහිමි
7. කුඩා කඹුරුපිටියේ ශ්‍රී ගුණරතන නාහිමි
8. මාලිම්බඩ ශ්‍රී ධම්මධර නාහිමි
9. කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
10. මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි
11. කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස නාහිමි
12. වැලිවිට දෙවැනි ශ්‍රී සරණංකර නාහිමි
13. ගම්මුල්ලේ ශ්‍රී සුමන නාහිමි
14. ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි
15. ඉඳුරුවේ ශ්‍රී සුමංගල මේධංකර නාහිමි
16. ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි
17. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි
18. පරලෙ ශ්‍රී සෝභිත නාහිමි
19. රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි
20. හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමි
21. ඌරාපොළ රතනජෝති නාහිමි
22. මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි
23. බටුගෙදර ශ්‍රී යසස්සි නාහිමි
24. හඳපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි
25. බෙංගමුවේ ධම්මදින්න නාහිමි

2021.12.19 දින සති අග අරුණ පුවත්පතේ "අරණ" අතිරේකයට රංජිත් ඉලේපෙරුම මහතා විසින් ලියන ලද ලිපියක් ඇසුරෙන්....
සුනන්ද විජේසුන්දර

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-07

අටමස්ථානාධිපති නාහිමි පත්කරගැනීම හා පහකිරීම



අටමස්ථානාධිපති නායක පදවිය පුරප්පාඩු වූ විට ඒ සඳහා සුදුසු භික්ෂුවක් තෝරා පත් කරගැනීමේ බලය 'අටමස්ථාන සභාව' නමින් හැඳින්වෙන සුවිශේෂී ආයතනයට හිමිවෙනවා. අටමස්ථාන කමිටුව, අටමස්ථාන කාරක සභාව වැනි නම්වලිනුත් මෙම සභාව හඳුන්වනවා.
අටමස්ථාන සභාව කරුණු කිහිපයක් නිසා සුවිශේෂී වෙනවා. නායක පදවි සඳහා සුදුසු භික්ෂූන් පත් කිරීමේ බලය සාමාන්‍යයෙන් හිමිවන්නේ අදාළ නිකායේ මහනාහිමියන් ප්‍රධාන කරගත් කාරක මහා සංඝ සභාවට.
එහෙත් අටමස්ථානාධිපති නාහිමි තෝරා පත් කිරීම මෙන්ම පදවියෙන් ඉවත් කිරීමේ බලය පැවරෙන්නේ අටමස්ථාන සභාවට. ඒ නිසා අටමස්ථානවාසී භික්ෂූන් අයත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහනාහිමියන්ට වුවත්, අටමස්ථානාධිපති නාහිමි පදවියෙන් ඉවත් කිරීමේ බලයක් හිමිවන්නේ නැහැ.
මෙහිදී අටමස්ථානාධිපති නාහිමියන්ට පිරිනැමෙන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හෝ උතුරු මධ්‍යම දිසාවේ සංඝනායක පදවියෙන් ඉවත් කිරීම හා භික්ෂුත්වයෙන් ඉවත් කිරීමේ බලය (?) මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් සතු වෙනවා.
එපමණක් නොවෙයි නායක පදවියක් සඳහා සුදුසු භික්ෂුවක් තෝරා පත් කරගැනීමේ කාර්යයට සෘජුවම ගිහියකු සම්බන්ධ වන එකම අවස්ථාව අටමස්ථානාධිපති නාහිමි තෝරාපත්කරගැනීයි. ඒ කටයුත්තටත් දීර්ඝ ඉතිහාසයක් පැවතීම සුවිශේෂී කරුණක්.
අටමස්ථාන සභාවේ ආරම්භය මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය දක්වා දිවයනවා. වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගේ උපදෙස් ඇතිව රජතුමා විසින් පත් කරන ලද මෙම සභාව (අටමස්ථාන කමිටුව), නුවර කලාවියේ මහවන්නියා ප්‍රධාන කොටගත් වන්නියාර්වරු 16දෙනෙකුගෙන් සමන්විත වී තිබෙනවා.
එකල අටමස්ථාන කමිටුවේ ප්‍රධානත්වය හිමිවූයේ නුවරකලාවියේ මහවන්නියා තනතුර පාරම්පරිකව ඉසිලූ නුවරවැව පවුල ප්‍රධානියාට. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද අවස්ථාවේ ඒ සමග ලක්දිවට පැමිණි බෝධිගුප්ත කුමාරයාගෙන් නුවරවැව පවුල පැවත ගෙන එන බවයි පිළිගන්නේ.
මුල් කාලසීමාවේදී අටමස්ථානාධිපති නාහිමි පත් කිරීම සම්බන්ධ අධිකාරී බලයක් මහවන්නියා එහෙමත් නැත්නම් නුවරවැව පවුලේ ප්‍රධානියාට හිමි වූ බව පෙනෙනවා. ඔහුගේ තීරණය කමිටුවේ අනෙක් සාමාජිකයන් විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.
පසුකාලීනව විවිධ සංශෝධනවලට ලක් වූ අටමස්ථාන කමිටුව අවසන් වරට සංශෝධනය වී ඇත්තේ වර්ෂ 1931 බෞද්ධ විහාර දේවාලය ගම් පනතින්. ඒ අනුව මෙම කමිටුව 'අටමස්ථාන සභාව' නමින් හැඳින්වෙනවා.
අටමස්ථාන සභාව සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විතයි. ඊට අටමස්ථානාධිපති නාහිමි, නුවරවැව පවුලේ ප්‍රධානියා සහ නම් කරනු ලැබූ සාමාජිකයෙක් ඇතුළත් වෙනවා. නිල බලයෙන් පත්වන දෙදෙනාට අමතරව සිටින සාමාජිකයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන් විසින් නම් කරනු කරනවා. ඒ සඳහා බොහෝ විට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී හිමියන් නම් කිරීම සිරිතක් වී තිබෙනවා.
අටමස්ථානාධිපති නාහිමි අපවත් වූ පසු රැස්වන අටමස්ථාන සභාව, එම පදවිය සඳහා සුදුසුකම් සපුරා තිබෙන භික්ෂූන් සහ අටමස්ථානාධිපති නාහිමි ජීවත්ව සිටියදී නම් කර තිබෙන භික්ෂූන් පිළිබඳ අවධානය යොමු කරනවා. ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මෙතැනදී අනිවාර්ය කරුණක් නොවීම විශේෂත්වයක්.
මෙහිදී සලකා බැලෙන මූලික කරුණු තුනක් හඳුනාගන්න පුලුවන්. බෝ මළුව සඟපරපුරට අයත් වීම, අටමස්ථානයට අයත් සිද්ධස්ථානයක (ශ්‍රී මහා බෝධිය සහ ලෝවාමහාපාය හැර) විහාරාධිකාරී වශයෙන් කටයුතු කර තිබීම සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් තේවා කටයුතු සිදු කර තිබීම එම කරුණු තුනයි.
මෙම කරුණු සලකා බලන අටමස්ථාන සභාව වඩාත් සුදුසු භික්ෂුව අටමස්ථානාධිපති නායක පදවිය සඳහා තෝරා පත්කරගෙන ඒ බව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහනාහිමියන්ටත්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාටත් ලිඛිතව දැනුම් දෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඒ බව ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් පසුව, ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද අක්තපත්‍රය අභිනව අටමස්ථානාධිපති නාහිමි වෙත පිළිගන්වනු ලබනවා.
මේ වන විට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි, රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි හා නුවරවැව පවුලේ ප්‍රධානියා වන වෛද්‍ය Janaka Bulankulame මහතාගෙන් අටමස්ථාන සභාව සමන්විත වෙනවා.






A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-05

නවවන වගන්තිය අනතුරක.


කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 නමක් අත්අඩංගුවට පත්වීම මෙරට බෞද්ධ ඉතිහාසයේ සිදු වූ අවාසනාවන්තම සහ ලජ්ජා සහගතම සිදුවීමක් බව නොරහසකි. එහෙත්, මෙම සිදුවීමේ කාලීන සැකසුම (Timing) සහ ඉන් අනතුරුව සමාජගත කෙරෙන මතවාද දෙස ගැඹුරින් බැලීමේදී පෙනී යන්නේ, මෙය හුදෙක් ජාවාරමක් නොව, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ඉලක්ක කර ගනිමින් දියත් වන මහා පරිමාණ කුමන්ත්‍රණයක තීරණාත්මක පියවරක් බවයි.

1) සූක්ෂ්ම "ඇම" සහ තරුණ භික්ෂු පරපුර බිලිගැනීම
මෙම ජාවාරම සඳහා තෝරාගෙන ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන, සමාජ මාධ්‍ය හරහා සක්‍රිය තරුණ භික්ෂූන් පිරිසකි. "නොමිලේ තායිලන්ත සංචාරයක්" යන ආකර්ෂණීය ඇම හරහා ඔවුන්ව පොළඹවා ගැනීමත්, සංචාරය අතරතුර ඔවුන්ව විනය විරෝධී ක්‍රියාවලට (ගිහි ඇඳුම, දුම්පානය) අදාල සාක්ෂි ලෙස රඳවා ගැනීමත් මගින් මෙම පිරිස කළු කලාපයකට (Blackmail zone) තල්ලු කර ඇත.
මෙහි ඇති භයානකම තත්ත්වය නම්, මීට පෙර භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී පැවති මහානායක හිමිවරුන්ගේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නිර්දේශ ලබා ගැනීමේ නීතිය සූක්ෂ්ම ලෙස වර්තමාන ආණ්ඩුව ඉවත් කර තිබීමයි. මෙය ජාවාරම්කරුවන්ට මාවත විවෘත කිරීමක් නොවන්නේද?

2. "නරක දේශීය භික්ෂුව" සහ "හොඳ විදේශීය භික්ෂුව" - මනෝවිද්‍යාත්මක බෙදීම
කටුනායක සිදුවීමට සමාන්තරව මෙරට තුළ "සාම පාගමනක" යෙදෙන ඇමෙරිකානු භික්ෂූන් පිරිසක් පිළිබඳ පුවත් මැවේ. දේශීය භික්ෂුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හංවඩු ගසන අතරතුර, විදේශීය භික්ෂුව සරල, සිල්වත් උත්තමයෙකු ලෙස මාධ්‍ය සහ NGO හරහා "මාර්කට්" කරනු ලබයි.

මෙය ඉතා සැලසුම්සහගත Soft Power මෙහෙයුමකි. මෙහි අවසන් ඉලක්කය වන්නේ:-
දේශීය භික්ෂු පරපුර කෙරෙහි ඇති මහජන ගෞරවය විනාශ කිරීම.
භික්ෂුව සහ ගම අතර පවතින ඓතිහාසික බැඳීම බිඳ දැමීම.
"ලංකාවේ භික්ෂූන් නරක බැවින් ඔවුන්ට ව්‍යවස්ථාපිත රැකවරණයක් අවශ්‍ය නැත" යන මතය සාමාන්‍ය ජනතාවගේ උපවිඥානය තුළ තැන්පත් කිරීම.

3. 9 වන වගන්තිය අහෝසි කිරීමේ ව්‍යවස්ථාපිත උගුල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මගින් බුදුදහමට හිමිව ඇති "ප්‍රමුඛස්ථානය" සහ ශාසනය "ආරක්ෂා කර පෝෂණය කිරීමේ" රජයේ වගකීම නිරාගමික බලවේගවලට සහ විදේශීය උවමනාවන්ට විශාල බාධාවකි.
මෙම වගන්තිය අහෝසි කිරීමට නම් මහජන විරෝධයක් නොමැති විය යුතුය. භික්ෂූන් වහන්සේලා 22 නමක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීම වැනි "කම්පන සහගත පුවත්" හරහා බෞද්ධ සමාජය තුළම කළකිරීමක් ඇති කර, "මේ වගේ අය ඉන්න ශාසනයක් මොකටද පෝෂණය කරන්නේ?" යන ප්‍රශ්නය සමාජගත කිරීම මෙහි ප්‍රධාන උපායමාර්ගයයි.

විශේෂයෙන් මතක් කිරීම:-
මා විසින් පසුගිය 22දා පල කරපු "අධ්‍යාත්මික වෙස් මුහුණට යටින් දිවෙන භූ-දේශපාලනික උගුල: "සාමයේ පාගමන" කා වෙනුවෙන්ද?
https://www.facebook.com/share/1GwzxLWBWY/ ලිපියෙහි අවසාන කොටසෙහි මා පැහැදිලිවම සදහන් කරනු ලැබුවා "එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම පාගමන පිළිබඳව අප අවධියෙන් සිටිය යුතුය" යන්න මොකද මේ කාලය තුළ රටේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අදාලව කුමන හෝ සිදුවීමක් රට තුල සිදුවිය හැකි නිසා.නමුත් ඒ ලිපිය කියවපු අති බහුතරය මට නිරාගමිකයා, ආණ්ඩු විරෝධියා, අවජාතකයා, බුද්ධාගම එරෙහි NGO කාරයා ආදී වූ අපහාස, අපහාස, මඩ, අවලාද වලින් සංග්‍රහ කරා."

4. පාස්කු ප්‍රහාරය සහ දේශපාලන කුමන්ත්‍රණයේ සෙවනැලි
පසුගිය කාලසීමාවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීම පිළිබඳව පල්ලිය සහ සිවිල් සංවිධාන දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියදී, හදිසියේම භික්ෂූන් පිරිසක් මෙවැනි ජාවාරමකට හසුවීම සැක සහිතය. මෙය ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට හෝ භික්ෂු බලය දේශපාලනිකව හුදෙකලා කිරීමට කළ පාවාදීමක්ද යන සැකය බැහැර කළ නොහැක.
"භික්ෂුව යනු සිංහල බෞද්ධ පදනමේ මුරදේවතාවාය. එම මුරදේවතාවා අශීලාචාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පෙන්වූ පසු, එම පදනම බිඳ දැමීම ඉතා පහසුය."

5. මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාවය
අත්අඩංගුවට පත් වූ පිරිසට සිවිල් නීතිය යටතේ දැඩි දඬුවම් දිය යුතු අතරම, ඔවුන්ව වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතුය (පාරාජිකාපත්තියට පත්වීම නිසා). එහෙත්, මෙම වැරැද්ද පලිහක් කරගෙන සමස්ත බෞද්ධ උරුමය විනාශ කිරීමට සැරසෙන විදේශීය බුද්ධි මෙහෙයුම් සහ නිරාගමික කුමන්ත්‍රණ පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුය.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ නීති නැවත බලාත්මක කිරීමත්, භික්ෂූන් වහන්සේලාගේ විනය අධීක්ෂණය සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කිරීමත් රජය සතු 9 වන වගන්තියේ වගකීමක් ලෙස අප දකිමු.

සාරාංශය:
මෙම සිදුවීම අහම්බයක් නොවේ. එය දේශීය භික්ෂුව "අපරාධකරුවෙකු" කර, විදේශීය භික්ෂුව "සම්මතය" කර, අවසානයේ 9 වන වගන්තිය අහෝසි කර ලංකාව නිරාගමික කොලනියක් බවට පත් කිරීමේ "මහා කුමන්ත්‍රණයක" මුල් අදියරයි. බෞද්ධ ජනතාව අත්අඩංගුවට පත් වූ 22 දෙනා දෙස බලා හඬා වැලපෙන අතරතුර, ජාත්‍යන්තර බලවේග අපේ ව්‍යවස්ථාවට අත තබමින් සිටින බව අමතක නොකළ යුතුය.


A day in the life 
ජීවිතයෙන් දවසක් .