අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Saturday, September 06, 2025

9/06/2025 01:14:00 pm

"මේ ස්ථානයට අප පැමිණි කල්හී,
චණ්ඩ මාරුතයක් ඇති විය.එය දේවාලය රැක.ගැනීමට මවන ලද්දකැයි
බොහෝ දෙනා කියන්නට වූහ.
එය බොරු කිරීමට දේවාලය නසන්නෙමැයි කප්පපිත්තා කීය.
පසුවදා නියමුවා ඔහුගේ නැවියන් සමඟ ගොඩ බැස්සේය.
වෙරළෙහි තිබූ පවුරු පදනම් බිඳ හෙළුහ.
දේවාලයට ඇතුල් වූහ.
එහි සිටි සියළු මෙහෙකරුවෝ දේවාලය හැර පියා සැඟවුනහ.
කිසි විරුද්ධතාවයක් නැතිව අපි එයට ප්‍රවිශ්ඨ වුණෙමු.
පලමුව දොර බිඳ හෙළුවෙමු.
.මැටියෙන් ,ලීයෙන් හා තඹෙන් කරන ලැබූ දේව රෑප හා වෙනත් පිළිම දහසක් පමණ තිබුණේය.ඒ සියල්ල ස්වර්ණාලේප කර තිබුණේය.
සියළු වහලවල් කඩා ගල් කණු පෙලද බිඳ හෙළුවෙමු.
අනතුරුව ගබඩා බිඳින්නට වීමු.
එහි තිබූ ඇත් දත්,තඹ,සඳුන්,රන්, රිදී ආභරණ හා
අගනා මාණික් වර්ග හා ගම්මිරිස් අතුළු සියළු වස්තු
පැහැරගෙන
ඉතිරි දේවලට ගිණි තැබුවෙමු!"
මේ පෘතුගීසි ජාතික "ද කූටෝ"විසින් තබනු ලැබූ සටහනකි.
මෙසේ ඔවුන් විසින් බිඳ දමනු ලබනුයේ
දෙවුන්දර උපුල්වන් දෙවොලයි.
"උපුල්වන් දෙවියෝ වූ කලී මෙරට ඇදහෙන දෙවිවරුන් දෙකොටසෙන්
"දේශීය දෙවියෙකි".
අනිකුත් වර්ගය නම් "හින්දු ආනයනික දෙවිවරු"ය.
මෙම දෙවියන් ගැන මහා වංශයේ සඳහන් වන්නේ,
"බුදුන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ
පිරිනිවන් මඤ්චකයේ සැතපී සිටියදී
ශක්‍රයා අමතා ,
"අද විජය නම් කුමරා ලක්දිවට ගොඩ බසී.
ඔහු රැක ගන්න"යයි කියූ බවකි.
ශක්‍රයා විසින් එම කටයුත්ත උපුල්වන් දෙවියනට බාර කළැයි"මහා වංශය කියයි.
එහෙත් අපට උපුල්වන් දෙවියන් යළි මුණ ගැසෙන්නේ
1වන දප්පුල රජ සමයේය.
මුහුදේ පාව එන කිහිරි කොටයක් එතුමා සිහිනෙන් දකී.
එහි එයට අරක්ගත් උපුල්වන් දෙවියො හිදී.
එළෙස පාව එන්නේ රජුට එළඹ තිබූ කරදරවලින් බේරා ගැන්මටය.
රජු වෙරළට ගොස් එම කිහිරි කොටය ගෙන ඉන් පිළිමයක් නෙලා
මුහුද අසලම දේවාලයක් කරවීය.
ඉන් පසු එම පෙදෙස "දේව නගරය"විය.
පසුව එය සුඛොච්ඡාරනය උදෙසා "දෙවුන්දර "වීය.
"කිහිරැලි උපුල්වන්"යන්නද මෙම දෙවියන්ට කියති.
ඒ කිහිරි කොටයකින් නෙළු නිසා විය හැක.
මහාචාර්ය සෙනරත් පරණවිතාණයෝ පවසන්නේ,
"උත්පල යනු,සාගරයටත්,බටහිර දිසාවට අධිපති වරුණ දේවතාවාටත්
පැවසෙන්නකි.මහාවංශ කතුවරයා පාළී ස්වරෑපයට අනුව වරුණ දෙවියා හැඳින්වීමට යොදා ගත් නමකි "උපුල්වන්".
විජය ලංකාවට එන්නේ බටහිර දෙසිනි.
එනිසා ශක්‍රයා බටහිර දෙසටත්,සමුදුයටත් අධිපති "වරුණ දෙවියන්ට
විජය බාර කළ"බවයි.
1වන පරාක්‍රමබාහු රජු කළද උපුල්වන් දෙවියන් වාර්තා වේ.
රජුට කථා කරගන්නට බැරිවී,
උපුල්වන් දෙවියන්ට බාර වන ලෙස ,
දේවපතිරාජ ඇමති හට කියයි.
දෙවියෝ සිහිනෙන් පෙනී සිට ඇමතිහට පවසන්නේ
"කෙකටිය මලේ වක ඇරුනත්,රජුගේ විකල් බව නොඇරෙන"බවයි.
කී ලෙසම රජු එම රෝග තත්වය යටතේම මිය යයි.
උපුල්වන් දෙවියන් වඩා ජනප්‍රිය වන්නේ කෝට්ටේ රජ සමයෙහිදීය.
මෙකල ලියවෙන කෝකිල,පරෙවි,මයුර,තිසර වැනි සංදේශ කාව්‍යයයන්හිදී
පණිවුඩය ගෙන යන්නේ "උපුල් වන්"දෙවියන් වෙත ය.



උපුල් කුළුන වූ මෙන් ගුණයෙන් ලෙවු         පුස්න
කොපුල් අත දලැස ලෙස තෙද රස            ඉස්න
තෙපුල් ලෙන සුරිඳ රක්නා ලෙවු              සස්න
උපුල්වන් දෙවිඳු දැක දෙවු මේ                හස්න
(පරෙවි සංදේශය)


කමල් පී අලහකෝන් සහෝදරයා කලකට පෙර පලකර තිබු වියමනක්.

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: