![]() |
වළවේ ගග කල්තොට පාලම |
පාට පාට බස් එකක , නැගලා යන සිංදුත් එක්ක පාර දිගේ ට්‍රිප් යන අයගෙන් ලංකාවේ සුන්දර තැන් මග හැරෙනවා.
මේවා හොයා ගෙන යන්නත්, නිවාඩු පාඩුව රස විදින්නත් ඕන තැන්.
ඩිංගක් අතීතය හාරා අවුස්සලා බලනවා නම් ලස්සන ලස්සන කතාන්දර මතු වෙන තැන්.
බලන්ගොඩින් කල්තොට පාරට හැරෙන්න.....
ඔයාලට ඉස්සෙල්ලම හමුවෙනවා ගල්ටැම්යාය, “ කූරගල “
ඉන්පස්සේ “දුවිලි ඇල්ල“ , හුණුගල් පොකුණු පහුකරගෙන බෙල්ලන්ගල කන්ද බහින කොට
(මේවා ගැන ආයෙත් ලියන්නම්.)
කල්තොට මුණගැහෙනවා.
පාසල් , පොලිසිය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ,මුලික රොහල ......පුංචි නගරයක්.
මෙතනදි පාර දෙකට බෙදෙනවා
කල්තොට වාසීන් දකුණු ඉවුර සහ වම් ඉවුර ලෙසයි මේ මාර්ග හදුන්වන්නේ.
අපි මුලින්ම කුණු ඉවුර දිගේ යමු.
කල්තොට පුරාන විහාරය පහු කරලා ......
බුදුගල රජ මහා විහාරය ,
දියවිනි ඇල්ල,
වැලිපොතයාය ඇල්ලෙපොල යාය , කුකුල් අඩිය මංකඩ,.......නයිගල , දියවින්න කපුගල දක්වා යන මේ ගමන සශ්‍රීක කෙත් වතු පහුකර ගෙන යන කොළපාට ගමනක්.
දකුණු ඉවුර ඇල දිගේ වළවේගගෙන් එන ජල කන්දරාව මේ කෙත්වතු සරුසාරකරනවා.
කපුගල ජලවිදුලි බලාගාරයෙන් කටුපත්ඔයට එකතුවෙන ජලය කපුගල දියවින්න ඇල්ලපොල යාය දෙසට යොමුවෙනවා.
අපි කපුගලින් මෙපිට දුටු දේ ගැන කතාකරමු.
කල්තොටට 1042 – 1043 දී විකුම් පාණ්ඩි හෙවත් වික්‍රම පාණ්ඩ්‍ය නම් කුමාරයකු ලංකාවට පැමිණ කලතිත්ත (කල්තොට) රජ කළ බව වාර්තාගත වාර්තාවක සඳහන් වෙනව.
ඒත් අපට නිගමනය කරන්න වෙන්නේ ඊටත් එහා ගිය ඉතිහාසයක් කල්තොටට තිබුන බවයි.
කල්තොට ඓතිහාසිකව වඩාත් සම්බන්ධවන්නේ තිස්සමහාරමයට කියලයි මට හිතෙන්නේ.
කාවන්තිස්ස රජ සමයේ පුරාවෘත්ත හා කල්තොට බැදී තියෙනවා.ක්‍රි.පුර්ව 205 -161. රෝහනයේ මාගම රාජ්‍ය සමයේ වළවේ නිම්නයේ සරුසාර කෙත්වතු කල්තොට තිබුන බවට සාධක තියෙනවා.
කල්තොට සිට කපුගල මාර්ගයේ කි. මී. හතර හමාරක් ගමන් කරන විට මාර්ගය වම්පසින් විහිදෙන කඳුගැටයක් ආශ්‍රිතව බුදුගල පධානඝර ආරණ්‍ය භූමිය හමුවෙනවා. පධානඝර කියන්නේ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ වාසය කල ගොඩනැගිලි වලටයි.
එම පුරාවිද්‍යා බිමට යාබදව බුදුගල ලෙන් විහාරයත් පිහිටා තිබෙනවා. මෙහි පාමුලින් ගලා යන්නේ වලවේ ගඟේ ජලයෙන් පිරුණු කල්තොට සිට එන දකුණු ඇළ මාර්ගයයි.
බුදුගල පාමුල සිට කඳු මුදුනට යනතෙක් විවිධ උස් මට්ටම්වල සකස් කළ පියගැට පේළි පිහිටා තිබෙනවා. පාමුල සිට ඉහළට යනතෙක් පැරණි ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා බණ භාවනා කිරීමට යොදාගත් පධානඝර ගොඩනැගිලි දැකගත හැකියි.
රිටිගල, අරන්කැලේ, මානාකන්ද වැනි ආරණ්‍යවලත් මේවා දක්නට ලැබෙනවා. ඒ අනුව බුදුගල ක්‍රි. ව. 5-6 සියවස්වල රාජ්‍ය අනුග්‍රහය ලැබූ පුදබිමක් වශයෙන් පැවති බව සැලකිය හැකියි.
අද මෙහි නටබුන් රාශියක් වනයට යටවී තිබෙන අතර ඉන් ගොඩනැගිලි කීපයක් සංරක්ෂණය කර තිබෙනවා.
වළගම්බා රජු සමයේ බුදුගල රජ මහා විහාරය නැවත පිලිසකර වු බවයි ප්‍රෙද්ශවාසීන්ගේ මතය.
බුදුගලින් අපි දියවින්නට යන අතර පබ්බතාරාම රජමහා විහාරය හමුවනවා.
මෙම විහාරස්ථාන දෙකම කූරගල මහා ආරාමයේ කොටසක් ලෙස විශ්වාස කරනවා. දේවමාළිගාව පිටුපස කඳු දෙසට කෙළින්ම බැලූ විට, කඳුකරයේ අනෙක් පැත්තෙන් ප්‍රවේශ විය හැකි කූරගල පර්වතයේ මුදුනේ ඇති නව ස්තූප ගොඩනැගිල්ල ඔබට දැකගත හැකිය.
පුරාණ කාලයේ භාවනානුයෝගී භික්ෂූන් විසින් පබ්බතාරාමයේ පුරාණ ගුහාවල භාවනානුයෝගීව වැඩ වාසය කර තිබෙනවා.
මෙම ගුහාව විශාල වන අතර කටාරම් සහිතයි.
වර්තමානයේ වැලිපොතයාය 1 කොටස ලෙසයි පබ්බතරාම විහාරය පිහිටි ප්‍රෙද්ශය හදුන්වන්නේ.
වැලිපොතයාය පසුකර දියවින්න දෙසට යනවිට “ නයිගල “ හමුවෙනවා. නයිගල පුරාවස්තු විසිරුන නිරාවරණය නොවු බිම් පෙදෙසක්. කලකදී ඉහත ප්‍රභුවරයෙකු භාවිතා කල සපත්තුවක් නයිගල ගොවි මහතෙකුට හමුවී තිබුනා.
නයිගල පහුකරන අපි දියවින්නට ලගා වෙනවා.
දියවින්න ඇල්ල මහාමාර්ගයට ඉතා කදිමට ඈතින් කඩාහැලෙන සොඳුරු දසුන දැකගන්න පුළුවන්. ඇල්ල ආසන්නයට යාමට නම් ගමේ විදුහල අසලින් වැටී ඇති කොන්ක්‍රීට් දැමූ අතුරු මාවතේ දියඇල්ල අසලට කි. මී. දෙක හමාරක පමණ දුරක් තිබෙනවා.
මෙම මාවතේ අවසාන කිලෝමීටරය වැටී ඇත්තේ වනබද වටපිටාවක් මැදින්.
දියඇල්ල පාමුල පිහිටා තිබෙන්නේ දේවගිරි ලෙන් විහාරයයි. එහි ලෙන්වල සෙල්ලිපි කිහිපයක් ද තිබෙනවා. විහාරය අසල සිට අඩිපාරක කඳුබෑවුම තරණය කර ඇල්ල අසලට යාහැකියි.
බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ සිට එන ගලා බසින දොළ පහරවල් එකතුවී දෙහිපිටිය, බෝවත්ත, මොලමුරේ ආදී ගම්මානවල ජලයෙන්ද පෝෂණය ලබන දියවිනි ඔය දියවිනි කන්දෙන් පහළට කඩා හැලෙනවා. ඇල්ලේ උස අඩි 200ක්.
තනි ඉන්නක් සේ පහළට වැටෙන නිසා එයට “ දිය ඉන්න“ යන නම ලැබී පසුව දියවින්න වූ බවයි පැවසෙන්නේ.
පසුව කටුපත් ඔයට වැටෙන මෙම ජල දහරාව ඇල්ලෙපොල යාය දක්වා ගොවි බිම් සරුසාර කරමින් වලවේ ගඟට එක්වෙනවා
දියවින්න දේවගිරි විහාරය අසලින් කැලේ මැදින් අඩි පාරක කිලෝමීටර දෙකක් ගමන් කරනවිට මහා පර්වත අතරින් දියඇලි මවමින් ගලා බස්නා දොළ පාරක් අද්දර සොඳුරු වටපිටාවකයි ගල් ලෙන හමුවෙනවා.
කලක් ආරන්‍යවාසී භික්ෂුන් වහන්සේලා මෙම ගල්ලෙනෙහි භාවානුයෝගීව වැඩවාසය කර තිබෙනවා.
අපි ආපහු කල්තොට දෙසට ආවොත් වළවේ ගගෙන් නාලා වම් ඉවුරඇල දිගේ වැටි ඇති පාර දිගේ මැදබැද්දට ,නෙළුයාය ,වේලිඔයට ත් වේලිඔය පාලමෙන් එගොඩ වුනාම මොනරාගල දිස්ත්‍රික්කයේ මායිමටත් යා හැකියි.
අළුත්වැව , හම්බෙගමුව හමුවන්නේත් වේලිඔය පාලමෙන් එගොඩදී.තව දවසක දියවින්නේ සිට කපුගල බෙලිමාලියද්ද , පොල්මුරේ පහු කරගෙන වැලිගෙපොලට එමු.
0 ප්‍රතිචාර:
Post a Comment