අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Friday, September 26, 2025

9/26/2025 10:00:00 pm



මහනුවර රජවරු සහ බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව විහාරය
මහනුවර යුගයේ රජවරුන් සහ රජතුමාගේ බිසෝවරුන් , මව්බිසව වගේ රජ පවුලේ ඉහළම පෙළේ අයත් ආදාහනය කරපු තැන තමයි ආදාහන මලුව.
ඔබ අහලා තියෙනවා අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරය ගැන. ඒ කියන්නේ දළදා පෙරහරේ දියකපන පෙරහර අරඹන තැන. කුරුවිට දෙල්ගමුවේ සිට දළදා වහන්සේ වැඩමවාගෙන අවුත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මුලින්ම දළදා වහන්සේ තැන්පත් කළේ මේ අස්ගිරි ගෙඩිගේ විහාරයේනේ.ඒ සිහිවිම සදහා තමයි අවසන් මහ පෙරහරින් පස්සේ පෙරහර කරඩුව ගෙඩිගේ තැන්පත් කරලා දියකපන්න පෙරහර පිටත්වන්නේ. මේ විහාරයට ආදාහන මළුව විහාරය කියලත් කියනවා. ඒකට හේතුව තමයි රජවරුන්ගේ ආදාහන මේ විහාර භූමියේ සිදුකිරිම.

රජවරුන් ආදාහනය කිරිම ආරම්භ වුණේ මේ ආකාරයට. ගම්පල යුගයේ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ (1347-1375) මව්බිසව තමයි චන්ද්‍රවති දේවිය. එතුමියට අස්ගිරි දේවි කියලත් කියනවා. චන්ද්‍රාවති දේවිය මියගියාම තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මව්බිසව ආදාහන කළේ ආදාහන මළුවේ.ඒ අදාහන කරපු තැන රජතුමා බෝධියක් රෝපණය කළා.ඒ බෝධිය අදත් තිබෙනවා. චන්ද්‍රාවති බෝධිය කියල තමයි ඒ බෝධින් වහන්සේ හදුන්වන්නේ. ඉතින් රජතුමා එම ස්ථානයේ විහාරයකුත් හැදුවා .ඒක තමයි අස්ගිරි ගෙඩිගේ විහාරය කියන්නේ.

අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාරය සුළු ප්‍රමාණයක පැතිර තිබුණත් අතීතයේ මේ විහාරයට උඩවත්ත කැළයෙන් මෙපිට හා බහිරවකන්දට මෙපිට සියළු ඉඩම් රජවරු පූජාකර ඇති බව අදත් විහාරයේ ඇති සන්නස් තුළින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ විහාර භුමිය මහල් තුනක් තිබිලා තියෙනවා අතීතයේ. උඩමළුව,මැදමළුව,පාත මළුව කියලා ඒ මළු තුන හදුන්වනවා. උඩමළුවේ තමයි බෝධින් වහන්සේ ඇතුළු විහාරය පවතින්නේ. දෙවැනි මළුවේ රජවරු ආදාහනය කළ බවත් තුන්වැනි මළුවේ මහජනයා රැස්වු බවත් පොත්පත්වල සදහන් වෙනවා.

ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1707- 1739) හා කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා (1747- 1782) කුමාර අවධියේ අකුරු කරවා තිබෙන්නේ මේ පන්සලෙන්. ඉතින් ඒ රජවරු වගේම මහනුවර යුගයේ සිටි සියළු රජවරු මේ විහාරස්ථානයට විශේෂ අනුග්‍රහයක් දක්වා තිබෙනවා. එසේම 1753 දි කීර්ති ශ්‍රි රාජසිංහ රජසමයේ තායිලන්තයෙන් ලංකාවට උපසම්පදාව රැගෙන ආ උපාලි මහ තෙරණුවන් අපවත්වු පසු ආදාහනය කර තිබෙන්නෙත් මේ ආදාහනමළුව විහාර⁣ භූමියේදි. එය සිහිවීම සදහා තායි රජ පවුල විසින් විහාර භූමියේ ඉදිකළ ස්මාරකය අදත් දකින්න තියෙනවා.

පළමුවැනි විමලධර්මසූරිය රජතුමා (1591- 1604), සෙනරත් රජතුමා (1604- 1635), දෙවැනි රාජසිංහ රජතුමා (1635- 1687) ,දෙවැනි විමලධර්මසූරිය රජතුමා (1687- 1707), ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1707- 1739), ශ්‍රි විජය රාජසිංහ රජතුමා ( 1639- 1757), කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා (1747- 1782), රාජාධි රාජසිංහ රජතුමා (1782- 1798) යන රජවරුන් මියගිය පසු ආදාහනය කර ඇත්තේ මේ අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාර භූමියේ බවයි සදහන් වෙන්නේ.

එපමණක් නොව මේ රජවරුන්ගේ බිසෝවරුන් වගේම මව්බිසෝවරුන් මියගිය පසුත් ආදාහනය කර ඇත්තේ මේ ස්ථානයේ බව පොත්පත්වල සදහන් වෙනවා. එසේම රජවරුන් හා බිසෝවරුන් ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කරලා විහාර භූමියේ කුඩා චෛත්‍ය වැනි ස්මාරක හදා තිබෙනවා.ඉංග්‍රීසි පාලනය එනතුරු මේ ස්මාරක විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසි පාලකයන් ඒවා බොහෝමයක් වැනසි යෑමට සලස්වා තිබෙනවා.

එසේම ඉතිරිවු රාජකීය ස්මාරකත් විනාශ වුයේ නුවර මාතලේ දුම්රිය මාර්ගය හැදිමේදි. 1878- 1880 කාලයේදි එම දුම්රිය මාර්ගය හැදුවේ ගෙඩිගේ විහාරය හෙවත් ආදාහන මළුව යටින්. ඉතින් ඒ ඉදිකිරිමෙිදි ඉතිරිව තිබු රාජකීය ස්මාරකය ටිකත් ඉංග්‍රීසින් විනාශකර දැම්මා. නමුත් විහාර භුමියේ ඉපැරණි අරලිය ගස් දෙකක් පමණ අදත් දකින්න තිබෙනවා.බොහෝවිට එම ගස් රාජකීයන් ආදාහනය කර භෂ්මාවශේෂ තැන්පත් කර ⁣ රෝපණය කළ ගස්විය හැකි බවද කියනවා.

Chanaka Rupasinghe මුණු පොතට.
ධර්ම ශ්‍රි තිලකවර්ධන


A day in the life

Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: