බෙලිහුල්ඔය.


සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රිරික්කයේ කඩවත මැද කෝරලේ
තලාපිටගම්පත්තුවේ බෙලිහුල්ඔය ආරච්චි වසම වර්තමානයේ පරිපාලන පහසුවට ග්‍රාම සේවා වසම් හතක් බවට පත් කරලා. කඩවත මැද කෝරලය සහ උඩුවග්ගම්පත්තුව යන භුමී ප්‍රදේශ දෙක එකතුව අද හැදින්වෙන්නේ ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වශයෙන්. “බෙලිහුල්ඔය ” යනුවෙන් ප්‍රසිද්ධව ඇති ප්‍රදේශය පහල ගලගම .යක්දෙහිවල, කුඹුරුතැනිවෙල විහාරවෙල ඉහල ගලගම, කරගස්තලාව , පඹහින්න යන නම් වලින් හදුන්වන ග්‍රාම සේවා වසම් එකතුවෙන් ගොඩ නැගී තිබෙනවා.
සමනලවැව ජලාශයේ උතුරු ඉවුර මායිම් වන්නේ බෙලිහුල්ඔයට.
බෙලිහුල්ඔයත් වලවේ ගගත් එක්වු ස්ථානය ත් පිහිටා තියෙන්නේ මේ උතුරු ඉවුරේ.
දැන් සමනල වැවට යටවු මේ ස්ථානය දශක තුන හතරකට ඉහත අතීතයේ හැදින්වුයේ දෙමෝදර කියලා.මීදුමට මතකයි මේ දෙමෝදර කියන ‍ගංතීරුවේ ගග මැද අගල් හතරක පමන දිය බුබුළු කිහිපයක් තිබුනා. ඒවායින් පිටවුන දිය ගගට එකතුවුනා. ඒවා ගග දියට වඩා ටිකක් උණුසුම්.

කාර්මීකකරනය වීම නම් පරිසරය‍ට විශාල වශයෙන් බලපෑම් එල්ල කරන්නක් වෙලා. සුවබර සුන්දර පරිසරයට බලහත්කාරම් කරමින් බෙලිහුල්ඔය ආශ්‍රිතව කුඩා විදුලිබලාගාර දෙකක් වර්තමානය වන විට ඉදිකරලා මේ නිසා බෙලිහුල්ඔය ගලා යාම වෙනස් වෙලා. ස්වභාවික පැවත්ම වෙනස් වුන නිසා පහන්තුඩා ඇල්ලටට තිබුු සුන්දරත්වය අඩුවෙලා.

 

 ඓතිහාසික  සටහන්

වලගම්බා,මායාදුන්න රාජ්‍යකාලයන් සහ මහනුවර රාජ්‍ය කාලයඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා.
වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්තයන් විසින් අපට මේ ‍‍ඓතිහාසික පුරවරයක කරුනු කාරනා කියා දෙනවා.
ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.
බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.
වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.



ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය , සමනල වැව සහ සමනලවැව විදුලි බලා ගාරය ( කිමි 15) පිහිටන්නේ බෙලිහුල්ඔය ආශ්‍රිතව.
A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 156 -161 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි.බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්.
වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්. බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. කන්දැත්ත ඇල්ල පිහිටන්නේ මේ ආරච්චි වසමට උතුරු මායිමේ.

පරිසර හිතකාමීන්ට , කදු නගින්නනට මේ ඇල්ල නරඹන්න යන්න යන ගමන විනෝද වගේම පාරිසරික අත්දෑකීම් වැඩි කරගත හැකි අධ්‍යාපන චාරිකාවක්.විවිධ ශාක පද්ධතින් ,පාරිසරික සහ දේශගුණික වෙනස්කම් අත්විදින්ට පුළුවන්.

සබරගමුුව විශ්ව විද්‍යාලය.

 

 



සංචාරකයන්ගේ නවාතැනක්
බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.
කාලගුණය
සෙල්සියස් අංශක 23-28 අතර වෙනස් වෙන පරිසර උෂ්නත්‍වයක් පවතිනවා.
වැහි කාලගුණය සැප්තැම්බර් - ජනවාරි
මාර්තු- මැයි
වියලි කාලගුණය ජනවාරි 15 - මාර්තු අග දක්වා
ජුනි සිට සැප්තැම්බර් දක්වා

නේවාසික පහසුකම්.

විවිධ තරාතිරමේ හෝටල් කාමර 45 - 60 ක පමණ පහසුකම් බෙලිහුල්ඔය අවට නිවාඩු නිකේකන 06 කින් ලබා ගන්න පුළුවන්.
පඹහින්න . කරගස්තලාව . නොන්පෙරියල් , බෙලිහුල්ඔය , සීලගම ,හල්පේ ,කුඹුරුතැනිවෙල ,ඉහල ගලගම මෙම ස්ථාන පිහිටා තිබෙනවා. මෙම ස්ථාන සදහා බෙලිහුල්ඔය සිට කිමි. 2 සිට 8 දක්වා දුරක් තිබෙනවා .
බෙලිහුල්ඔය තානායම REST HOUSE 0452280156,
පර්ල් ටුවරිස්ට් ඉන් PEARL TOURIST INN 045 22 80157
සැවින්රා SAVINRA 045-22 80 380, 071 80 70 7
නේචර්ස් කොටේජ් Natures cottages 071 0857070
සිට්රීන් රිවර් රෙසිඩන්ට් Citrin river residence 045 2280335
යන ආයාතන සංචාරක නවාතැන් සපයන ප්‍රධාන ආයාතන කිහිපයක්.



පහන්තුඩාව.


ස්වභාවික සෞන්දර්ය.
බෙලිහුල්ඔය
හිරිකටුඔයට
සමනල වැව
බමරකන්ද ඇල්ල
පහන්තුඩා ඇල්ල
දුවිලි ඇල්ල - තන්ජන්තැන්න
සුරතලී ඇල්ල
දියවිනි ඇල්ල - දියවින්න
ගැරඩි ඇල්ල - මස්වැන්න
වලවේ ගගේ අලිකට - යහලවෙල
ලංකා ඇල්ල
බේකර්ස් බෙන්ඩ්
රන්මුදු ඇල්ල
ගලගම ඇල්ල (කැතිගාන ඇල්ල )

ඓතිහාසික  වැදගත්කමක් ඇති ස්ථාන.

දියවින්න ( නයිගල )
කරගස්තලාව රජ මහා විහාරය
තුඹතැන්න පන්සල
කූරගල
බුදුගල රජ මහා විහාරය
හදගිරිය -බෙල්ලන්බැදි පෑලැස්ස
-බලංගොඩ මානවයා වාසය කල ප්‍රදේශ
ශාන්ත මුණිදුන්ගේ දේවස්ථානය
ශ්‍රී සුදර්ශන මහා විහාරය
භාවනා මධ්‍යස්ථානය
කල්තොට පුරා විද්‍යා භුමිය
ගල්ටැම්යාය පුරාන භුමිය -තන්ජන්තැන්න
දියවින්න දේවගිරි රජමහා විහාරය - දියවින්න
බෙලිගල රජ මහා විහාරය පල්ලෙකන්ද
මහවලතැන්න වලව්ව - මහවලතැන්න
වෙහෙරගල - මැදබැද්ද
ශෛලතලාරාමය - බලන්ගොඩ
කොට්ටිමුල්වල රජ මහා විහාරය
හල්දුම්මුල්ල පෘතුගීසි බලකොටුව

බෙලිහුල්ඔය නවාතැන් ගතහොත් 
ඇඩිසම් බංගලාව
හෝර්ටන් තැන්න                
හාගල කන්ද              
පරෙයියන්ගල කන්ද         
වවුල්පනේ - හුණුගල් නිධිය        
උඩ වලව ජාතික වනෝද්‍යානය
පුස්සදේව සොහොන
සංකපාල රජමහා  විහාරය
කන්දේවිහාරය - හපුතලේ
ඇත් අතුරු සෙවන
මෙම ස්ථානවලට ගොස් එදිනම ආපසු නවාතැනට ආ හැකි ගමනාගමන පහසුකම් සහිත කෙටි මාර්ග පද්ධති ඇත.

හා ගල කන්ද .

හාගල කන්ද මුදුනේ සිට - මුහුදු මට්ටමෙන් මීටර් 3000ක් පමණ උසින්.

A 4 මාර්ගයේ කි.මි 156 ලංවන විට ඇතින්
පෙනෙන කදුවැටිය හදුන්වන්නේ හාගල කන්ද යනුවෙනි.
මුහුදු මට්ටමෙන් මීටර් 3000 ක් පමන විය හැකි
මෙම කදුමුදුන අංශක 20 -30ක බෑවුමක් සහිත පෙදෙසක් සහ අංශක 45 ට වඩා වැඩි බෑවුමක්
සහිත පෙදෙසකින් සමන්විතය.
මෙම කදුමුදුනට ඉඹුල්පේ ( කිමි 151) සහ බෙලිහුල්ඔය තානායම අසලින් ඇති අඩි පාරවල්ඔස්සේ සහ පහසුවෙන් සිට්රින් රිවර් රෙසිඩන්ඩන්සි අසලින් පා ගමනින් පමනක් ලගා විය හැකියි.ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් මාර්ග උපදේශකත්වයද ලබා ගත හැකියි.කදු මුදුනට ගිය විට සමනල වැව සහ හපුතලේ සිට බලන්ගොඩ ආසන්නය දක්වා කි.මි පනහක් පමණ A 4 මාර්ගය දිවෙන අයුරු සහ භූ දර්ශණ චමත්කාර ලෙස නැරඹිය හැකිය. දවසක වින්දණිය විවේකයක් හාගල කන්ද තරණය කිරීමෙන් අත්විදිය හැක. කදවුරු බැදී නතරවීමටත් සුදුසුවේ. මේ සදහා අඩවි වන නිළධාරි ගෙන් අවසර ගත යුතුවේ.
හාගල කන්ද පාමුුල බෙලිහුල්ඔය පහන් තුඩා ඇල්ල අසල.



බෙලිහුල්ඔය - දිගෙනි වල


පහන් තුඩා වල මා දන්නා තොරතුරු අනුව නම් අඩි තිහක් විතර ගැඹුර ඇති. මෙය මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.දක්‍ෂ කිමිදුම්කරුවෙකුට පිහිනන්න දන්න කෙනෙකුට බය නැතිව තටාගයට බහින්න පුළුවන් .ඒත් සංචාරය පිණිස එන අය නම් තටාගයට බහින්න උත්සහා දැරීම අනතුරු දායකයි.
පසුගිය අවුරුදු වල නොසැකිලිමත්ව හැසුරුනු තරුනයින් විශ්ව විද්‍යාලීය සිසුන් කිහිප දෙනෙක් මෙතනදී දියේ ගිලි මිය ගියා.

හිරිගඩු ඔය.
සීතල වතුර සිරුරේ ගෑවුන විට හිරිගඩු පිපෙනා තරමට අධික සීතලක් ඇති නිසා වෙන් හිරිගඩු ඔයවී අද වන විට වහරට පහසුවට හිරිකටු ඔය ලෙස හදුන්වන හිරිගඩුඔය කිමි 159 අසල භුමි ප්‍රදේශයේ පිහිටා ඇත.
කොළඹ සිට A 4 මාර්ගයේ බදුල්ල දෙසට ගමන් කරන ඔබට “ නොන්පෙරියල් වතුයායට දිවෙන අතුරු මාර්ගය කිමි 159 පසුකරන විට හමුවනු ඇත. එම අතුරුමාර්ගයේ කිමි1.5 ක් පමණ ගිය විට ශ්‍රීලංකා යුධ හමුදාව විසින් පාලනය වන ව නිවාඩු නිකේතනයේ වෙන්කල භූමියක ආරක්‍ෂිතව හිරිකඩු ඔයේ පැන් පහස විද ගත හැකි ස්ථානයක් සකස් කර තියෙනවා.

ඒ අවට පරිසරය විද ගෙන දිය නෑ හැකි ස්වභාවික තටාකත් තියෙනවා..

හිරිගඩුඔය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන නිවාඩු නිකේතනයක් තියෙනවා. කූඩාරම් ඉදිකරගෙන නවාතැන් ගත හැකි කදවුරු භුමියක් මේ පරිශ්‍රයේ තියෙනවා. සනීපාරක්‍ෂක පහසුකම් , ආහාර සකස් කරගැනීම සදහ ස්ථීර ඉදිකිරීම් තියෙනවා. නවාතැන් සදහා අයකරනු ලබන මිළද සාධාරනයි.

හිරිගඩුඔය මහා මාර්ගය හරහා ගලා බසින ස්ථානයේද දිය පහස විදගැණිමට සුදුසු ස්වභාවික ජල තටාකයක පහසුකම් තියෙනවා.

හෝර්ටන් තැන්නේ නැගණහිර බෑවුමේ සානුවෙන් ආරම්භව තුරු වියන යටින් සමනල වැව දක්වා ගලන මේ සීතල දිය දහර පිරිසිදු ජල ධාරාවක් බව සදහන් කල යුතුයි
හිරිගඩු ඔය. බෙලිහුල්ඔය කිමි01.

හිරිගඩු ඔය 
 

බමරකන්ද ඇල්ල.

කොළඹ - බදුල්ල ( ඒ 4 ) මාර්ගයේ 174 කි.මි කළුපහණ නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ කි.මි පහක් පමනදුරින් බමරකන්ද දියඇල්ල පිහිටා තිබේ.
ලංකාවේ උසම දිය ඇල්ල වන බමර කන්ද දියඇල්ල උසින් මීටර් 241කි. හෝර්ටන්තැන්න ආශ්‍රිත හපුතලය කදුපංතියේ උඩවේරිය හරහා ගලන කුඩාඔය බමර කන්ද දියඇල්ල ලෙසින් කඩා හැලේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම භූමි ප්‍රදේශය අයත්ය.


බමරකන්ද ඇල්ල - බෙලිහුල්ඔය සිට කිමි15 කළුපහන
වීරකෝන්ගමට යන මාර්ගය ටික දුරක් වාහන ගමනා ගමනයට සුදුසු වුවද දියඇල්ල ලගටම යාමට නම් වාහනයක් අවශ්‍යවේ.

බේකර්ස් බෙන්ඩ් Beker's Bend.
නොන්පෙරියල් මාර්ගය.
බෙලිහුල්ඔය සිට නොන්පෙරියල් මාර්ගයේ නාගරක් ඩිවිෂන් ( කොටස) යන ගමනත් සෞන්දර්ය චාරිකාවක්.
බෙලිහුල්ඔය 1700 මුහුදු මට්ටමේ සිට මුහුදු මට්ටමේ අඩි 4000 කට පමන පිහිටීමකට සැතපුම් 19ක් දුර ගෙවමින් දිවෙන මාර්ගය වාහනයක යන්නේ නම් ක්‍රියාන්විතයක්.
බේකර්”ස් බෙන්ඩ් නැරඹිමට පිරිස විශාලයි.මෙම මාර්ගයේ නොන්පෙරියල් තේ කර්මාන්ත ශාලවේ සිට නාගරක් කොටසට මාර්ගය කි.මි08 ක් පමණ වැඩි දියුණු කල වතු කළමනාකරවෙකු වන වින්සන්ට සී බේකර් මහතා නමින් මෙම වංගුව නම් කර තිබෙනවා. ඊට පෙර මෙම කොටසේ තේ දළු ප්‍රවාහනය කර තිබුනේ කම්බියක් මගින්. ද්‍රවිඩ වතු වාසීන් තේ දළු ඇසුරුම් කම්බි මාර්ගයට පටවන ස්ථානයත් බාගන්නා ස්ථානයත් හදුන්වනු ලැබුවේ “ කම්බි අඩිය “ නමින්. මෙම ස්ථාන මේ වන විට නටබුන් බවට පත්ව තිබෙනවා.
බේකර්ස් බෙන්ඩ් පසු කර කි.මි 02ක් පමණ ගිය විට හෝර්ටන් තැන්න එක් මායිමකට පිවිසෙනවා. මේ මගින් හෝර්ටන් තැන්නට යා හැකිවුනත් වන ජීවි දෙපාර්තමේන්තුව විසින් මෙම පැරණි මාර්ගය වසා දමලා.
ඉංග්‍රීසින්ගේ සමයේ මෙම මාර්ගය බෙලිහුල්ඔය සිට නුවරඑලිය දක්වා අශ්වයින් පිට ගමන් ගත් ප්‍රසිද්ධ මාර්ගයක්.

බේකර්ස් බෙන්ඩ්.

බේකර්ස් බෙන්ඩ්


බේකර්ස් බෙන්ඩ්

බේකර්ස් බෙන්ඩ්.

බේකර්ස් බෙන්ඩ්

නාගරැක් බංගලාව.
අර්නස්ට් හෙකල් Ernest Haeckel (1880-81 ) දී මෙහෙම කියලා තියෙනවා.
Ernst Heinrich Philipp August Haeckel

දර්ශනවාදියෙක් විද්‍යාඥයෙක් වන අර්නස්ට් හෙකල් Ernest Haeckel (1880-81 ) දී සංචාරකයෙක් විදියට ලංකාවට එනවා. ඒ ඇවිත් සංචාරක සටහන් ඇතුලත් කර A VISIT TO CEYLON කියලා ලියන පොත “ ලංකාවට ගමනක් “ කියලා චානක සේනානයක විසින් සිංහලට පරිවර්තනය වෙනවා.

මේ පොතේ බෙලිහුල්ඔය ගැන සදහන් වෙනවා.
අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel ) ගැනත් කියන්න ඕනී. ඔහු ජර්මන් ජාතිකයෙක්. 1834 පෙබරවාරි මාසේ 16 වෙනිදා උපත ලබා 1919 අගෝස්තු මාසේ 9 වෙනිදා මියයනවා ඔහු ගත් කතුවරයෙකු වෛද්‍යවරයෙක්,ජීව විද්‍යඥයෙක්, පරිසරවේදියෙක්,දාර්ශණීකයෙක්,මහාචාර්යවරයෙක් සහ චිත්‍රශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා.
මේ කියන කාලවකවානුව වර්ෂ 1880 – 81. ක
අර්නස්ට් හෙකල් ශ්‍රී ලංකාවේ ගත කරන කාලය අවසන් වෙන්නේ නුවරඑලියෙන් පිටත්ව හෝර්ටන් තැන්න හරහා වැටී ඇති මාර්ගයෙන් බෙලිහුල්ඔටත්, එතැනින් රත්නපුරයට පැමිණ පාරුවකින් කළුගග දිගේ කළුතරට පැමිණීමෙන්. කළුතර සිට ගොඩබිමෙන් කොළඹට පැමිනෙන අර්නස්ට් හෙකල් නැවි ගත වෙනවා.
නුවරඑලියේ සිට බෙලිහුල්ඔයට අදත් ලෝකාන්තය හරහා පැමිණිය හැකියි. ලෝකාන්තයත් බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 14 පමණ තිබෙනවා. මේ දුර ගෙවා පැමිණි අර්නස්ට් හෙකල් නවාතැන් අරන් තියෙන්නේ බෙලිහුල්ඔය තානායමේ.
අර්නස්ට් හෙකල් එදා දුටුව බෙලිහුල්ඔය අද නැහැ. ජනගහනයේ පිපිරීමත් එක්ක පරිසරය දේශගුණය විනාශවෙලා. අවුරුදු 134 ක් තිස්සේ පරිනාමයවු සමාජය නවීකරණය වෙලා.
“ අර්නස්ට් හෙකල් හෝර්ටන්තැන්න සංචාරය අවසන් කරලා බෙලිහුල්ඔයට එන්නේ නොන්පෙරියල් වත්ත හරහා. ඔහුට නොන්පෙරියල් වත්තට එන්න පැය පහක් විතර ගතවෙලා තිබුනා එදා නොන්පෙරියල් වත්ත සරුසාර කෝපි වගාවක්.කෝපි වගාව විනාශ වීමෙන් පසුව තේ වගා කරනු ලදුව සරුසාර තේවත්තක් ලෙස අපි කුඩා අවදියේ දුටු (1955)නොන්පෙරියල් වත්ත අද නිසරු තේ වගාවක් දක්වා වෙනස් වෙලා. එදා වගාභුමිය අක්කර 1200ක් විතරවු මේ වගා බිම අද වන විට අක්කර 200ක් තරමට කුඩා වෙලා.
1881පෙබරවාරි 25 දා බදුල්ලෙන් ඇරඹි බටහිර දෙසට විහිදෙමින් රත්නපුරය දෙසට ලගා වෙන සුප්‍රකට මාර්ගයේ වඩාත්ම උසින් පිහිටි නවාතැනවු යේ බෙලිහුල්ඔය යි,
නුවරඑලියේ සිට හෝර්ටන් තැන්න හරහා හේකල් බෙලිහුල්ඔයේ නවාතැන් ගන්නවා. පසුව බදුල්ල- රත්නපුර මග ඔස්සේ රත්නපුරයට යනවා.
එදා බදුල්ල - රත්නපුර මාර්ගය බදුල්ලේ සිට කෝපි පලදාව කොළඹට ගෙන යාමටත් වැවිලිකරුවන්ගේ වෙනත් අවශ්‍යතා සදහාත් වැඩියෙන් භාවිතා වී තිබෙනවා. මේ මාර්ගයේ එකම ප්‍රවාහණ පහසුකම වී ඇත්තේ කරත්තයයි. කරත්තකරුවන් උදෙසා නවාතැන් පහසුකම් සැලසු “ගාලේ කඩේ” නම් ගත් ස්ථාන මේ මාර්ගයේ පලින් පල හමුවෙනවා. මේ මගෙහි “ගාලේ කඩේ “ යයි පැරණි නම භාවිතා වන නිවෙස් තවමත් ඇති බව සටහන් කල යුතුයි.
රත්නපුරේ සිට පාරුවෙන් ‍කළුතරට ප්‍රවාහණය වන බඩු බාහිරාදිය කළුතර සිට යලිත් කරත්ත කරුවන් විසින් කොළඹ දක්වා ගෙන ගිය බවයි අර්නස්ට් හෙකල් සටහන් කරන්නේ.
හේකල් සදහන් කරනා ආකාරයට බෙලිහුල්ඔය ට නම ලැබී ඇත්තේ “බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය” කියනා අර්ථයෙනුයි. ඒත් වෙනත් අර්ථකථනයන් බෙලිහුල්ඔය කියන නමට තියෙනවා. (කියවන්න මේ ලිපියත් කියවන්න.
බෙලිහුල්ඔය ගමට මේ නම ලැබී ඇත්තේ සානුවේ දොරුවක් මැදින් ගලා බසින කදුකර දොල පහර නිසාවෙනි . අතු ගංගා කිහිපයක් ඇරුන විට මෙම දොළ පහරේ මුලාශ්‍රයන් හෝර්ටන් තැන්නෙන් ඇරඹෙනවා. මේ මුලාශ්‍රයන් එකතුවී පසුව සැඩ පහරක් ලෙස ගලා බසින මෙම දිය පහර පටු ඕඩ සරුවට වැඩුන පලාවන් වියනාන් වැසී ඇති බිම ඔස්සේ . බටහිර දෙසට මුහුණ ලන ප්‍රපාතාකාර ගල් බිත්ති අතරින් රිංගා ගලා බසිනවා. මෙම ඇල දොළ නිසා මේ අවට භුමි ලක්‍ෂණ වඩ වඩාත් උදාර හා සිත් ගන්නා සුළු බවට පත්වෙන බව හේකල් ලියනවා.
“නන්පෙරියල් වත්තේ සිට පැමිණි විට මෙම ප්‍රදේශයයේ ස්වභාව සෞන්දර්යෙන් කෙතෙක් වසග වුවාද යයි කිවහොත් මේ ගමේ දින කිහිපයක් නතරවීමට අප තීරණය කලෙමු. කියන හේකල් අද බෙලිහුල්ඔයට පැමිණියෝත් ස්වභාව පරිසරයට ඇතිවී ඇති විනාශය දැක කම්පාවට පත් වෙනවා ඇති.

Ernst Heinrich Philipp August Haeckel

 අතීත කථා.

බෙලිහුල්ඔයේ ගල් සෙවලය ලිස්සනවා
හිරිකටු ඔයේ හෙල වැහැලා බොර එනවා
ඉහින් කණින් කූඩැල්ලන් ලේ බොනවා
දුප්පත්කම නිසා රස්සාවට යනවා
බෙලිහුල්ඔයට නම දුන්නේ දිය බෙල්ලෝ
“කොහොමත් මේ පළාත වතුරෙන් පොහොසත්. ඉහත්තාවෙ පේන කඳු හොර්ටන් තැන්න. එක පැත්තකින් බෙලිහුල්ඔය ගලන කොට අනෙක් පැත්තෙන් හිරිකටු ඔය. හිරිකටු ඔය කියන්නේ හිරිගඩු පිපෙන තරම් සීතල වතුර තිබුණු නිසා. අදටත් ඒක හරිම සීතල වතුර තියෙන ඔයක්. මේ බෙලිහුල්ඔයට නම දෙන්න ඇත්තෙ බෙල්ලො. ඔයේ හරියට ගල්පර. ඒවායේ ලිස්සන දිය සෙවල පිරිලා තිබ්බ නිසා බෙල්ලොත් ගොඩක් හිටියා. ඉස්සර මිනිස්සු මේ බෙලිකටු එකතු කරලපුලුස්සලා හුණු ගත්ත කියනවා විට කන්න.” ඒ ජයරත්න බණ්ඩාර මහතාගේ මතක මඩිස්සලය විවර වුණු අන්දමය.
බෙලිහුල්ඔය අවට පරිසරය බෙහෙවින් සුන්දරය. හෝර්ටන් තැන්නෙන් ඇරඹී ගලන මේ දිය දහරාවන් බේකර්ස් ඇල්ල මෙන්ම එතරම් ප්‍රචලිත නොවූ තවත් දිය ඇල්ලක් වන කැතිගාන ඇල්ලටද පණ දෙයි. “ඉස්සර මේ හැම එකේම අදට වඩා වතුර තිබ්බා. අපේ මේ කඩමණ්ඩිය මැදින් ගලන්නේ මැද කඳුර ඔය, නැගෙනහිර පැත්තෙන් ගලන්නෙ පුවක්ගස් ඇල්ල ආර. ඉස්සර මේවයෙ හරියට හිටියා මාලුවෝ.”
අවුරුදු හැට හැත්තෑවකට ඉහතදී මේ කවිය කීවේ ගම්සභා මැම්බර් කෙනෙකුද වූ විලියම් අප්පුහාමි කවියාය. බෙලිහුල්ඔය කඩමණ්ඩියේ ජීවත් වන අද මැදිවියද පසු කර සිටින ජයරත්නබණ්ඩාර මහතාගේ මතකය නොවන්නට, ඒ අපූරු කවිය කාලයේ වැලි තලාවෙන් වැසී මැකී යන්නට ඉඩ තිබිණි. විලියම් අප්පුහාමි කවියා, ජයරත්න බණ්ඩාර මහතාගේ පොඩි සීයාය. “අපේ පොඩි සීයයි මේලිස් අප්පුහාමි සීයයි (එයා තමයි මගේ තාත්තගේ අප්පච්චි) ඒ කාලේ හැටියට තරමක් දැන උගත් මිනිස්සු. සුද්දො එහෙම හුඟක් ආශ්‍රය කළා. ඒ කාලේ මෙහාට හරියට සුද්දො ආවා.” ඔහු අතීත බෙලිහුල්ඔය පිළිබඳ මතක අවදිකරමින් පැවසුවේය
බෙලිහුල්ඔය කියූ සැණින් මතකයට එන්නේ සනීපදායක හා සුරම්‍ය පරිසරයකින් හෙබි නිවාඩු නිකේතනයකි. එදවස මෙන්බොහෝ ගණනක් සුද්දන් නොආවද දෙස් විදෙස් සංචාරකයින් අතර නිදහසේ සුව විඳිය හැකි තැනක් ලෙස බෙලිහුල්ඔය ප්‍රකටය. බෙලිහුල්ඔය නමින් ඇති කුඩා හන්දිය නැතිනම් කඩමණ්ඩිය නාමකරණය වී ඇත්තේ එනමින් ඇති ඔය නිසාය. වළවේ ගඟෙහි අතු ගංගාවක් වන එය හොර්ටන් තැන්නෙන් ඇරඹී සුනිමල සීතල දිය දහරාවන් දරාගෙන ගල්පරවලින් ගහන ඉතාමත් විචිත්‍ර දර්ශනයක් මවාලමින් ගලා බසියි. ලොකු කුඩා කඩ කිහිපයකින්, තැපැල් කන්තෝරුව, සමූපකාරය මෙන්ම තැබෑරුමකින්ද සමන්විත එතරම් ජනාකීර්ණ නොවූ බෙලිහුල්ඔයට සියල් සිරිය මෙන්ම සම්පත්ද ලැබ දෙන්නේ මේ දියදහරාවන්මය.
ඒ මාලුන් අතර ආඳන්, හොරපොලයි හා අල්ලක් තරම් ලොකු නිල් කලු ගල් ඉස්සෝද වූහ. ඉස්සන් දඩයම කොල්ලන් අතර ජනප්‍රිය වූවකි. එය බොහෝ හුරුබුහුටි කමක් වුවමනා කරන දඩයමකි. කිතුල් පිත්තක අග්ගිස්සට කිතුල් කෙන්දකින් තනා අමුණා ගන්නා තොණ්ඩුවක් සහිත බිලිපිත්තක් ඉස්සන් දඩයමට වුවමනාය. ඇම සුණුසහල්ය. කොල්ලෝ ඉස්සන් ගැවසෙන ඉවුරු හෝ ගල්පර අතරට සුණුසහල් ඉස බලා සිටිති. ඉස්සා සුණු සහල් ඇට වෙත පිහිනා එන කල ඉදිරියෙන් තොණ්ඩුව තබා ඌ එතුළින් රිංගා සිරවෙන්නට සැලසීම දඩයම් උපක්‍රමයයි. ජයරත්න බණ්ඩාර මාමා ඉස්සන් අල්ලා සිය මුත්තණුවන්ගෙන් ගුටිමුරද ලබා තිබේ.
'ගාලෙ ගොනුන් ලිහුවේ මෙහි වෙද රාළේ'
අද බදුල්ල කොළඹ මහා මාර්ගයේ කිලෝමීටර් 170ක් පමණ පැමිණි පසු හමුවන කදිම නිකේතනයක් වන බෙලිහුල්ඔය වසර සියයකට එකසිය පනහකට පමණ ඉහතදීත් සනීපදායක ගිමන්පොළක් ලෙස ප්‍රකටව තිබුණි. ඒ සුද්දන් වතු වැවූ හල්දුම්මුල්ල, හපුතල ප්‍රදේශවලට කරත්තවලින් බඩු ප්‍රවාහනය කළ යුගයයි. කළුතරින් පාරුවලට පටවා ගෙනෙන බඩු රත්නපුර මහ සමන් දේවාලයට නුදුරෙන් බාගෙන කරත්තවලට පටවන්නේ මේ වෙහෙසකර ගමන යෑම සඳහායි. ඒ අතර තැන තැන ගිමන්හල් විය. එවැනි එක් නැවතුම් පලක් වූයේ ඉඹුල්පේය. කරත්ත එහි නැවතූ පසු බෙලිහුල්ඔය දක්වා පයින් එන පයිංඩකාරයෙක් මෙපමණ කරත්ත ගණනක් මිනිසුන් හා ගොනුන් පිරිසක් උඩත්තාවට එන බව දැනුම් දෙයි. විලියම් අප්පුහාමිගේ ගාලේ කඩේ පිරිස සඳහා කෑම පිළියෙල වෙයි. පැමිණෙන ගැල්කරුවන් ගොනුන් ලිහා සාත්තු කර බෙලිහුල්ඔයෙන්, මැද කඳුරෙන් සිත්සේ සනීපෙට නා ගෙන ඉස්මුරුත්තාවට එනතුරු කන්නේ ගාලෙ කඩයෙනි. ඔවුන්ට නිදන්නට සිංහල උළු හෙවිල්ලූ අම්බලමක් පාරේ අද්දරට වන්නට තිබුණි. පස්සේ කාලෙක ප්‍රාදේශීය සභාව සංරක්ෂණය කළ යුතු අම්බලම කඩා දමා එතැන වැසිකිළියක් හැදූ බව ප්‍රදේශවාසීහු පවසති. කොහොම වෙතත් මේ ගැල් සාත්තුවලට සාත්තු සප්පායම් කිරීමේ කටයුතුම මෙතැන පුංචි ටවුමක් හදා තිබේ.

ලෝ ප්‍රකට තානායම්පල

ලංකාවේ කරත්තකරුවන් මෙතැන සනීපදායක ගිමන්පොළක් කරගන්නා විට වැවිලිකාර සුදු මහත්තුරුන්ට වුවමනා කළේ ඉස්තරම් තානායමක් තැනීමයි. රමණීය බෙලිහුල්ඔය ඉවුරේ මාර්ගය අද්දරට වෙන්නට යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඔවුන් තැනූ තානායමට අස්හලක්ද
ඇතුළත් විය. එහි මිදුලේ වැවූ පාරේ මාර යැයි ව්‍යවහාරයේ හඳුන්වන "ඇල්බීසියා ලෙබෙක් ගස" අද වනවිට වසර එකසිය පණහක්වත් පැරණි අති දැවැන්ත වෘක්ෂ රාජයෙකි. එය නඩත්තු කිරීම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අනුදැනුම ඇතිව සිදුවේ. රසවත් භෝජන සංග්‍රයන්ටද නමගිය මේ තානායම එංගලන්තයේ රාජකීය උදවිය පවා ගිමන් හළ තැනකැයි ජන ව්‍යවහාරයේ සඳහන් වේ. එය කෙසේ වෙතත් සිරිමාවෝ රත්වත්තේ මෙනවිය හා තරුණ බණ්ඩාරනායක මහතා මෙහි මධුසමයට ආහ. එදා ඔවුන් සිටවූ අඹ පැලය අද දැවැන්ත වෘක්ෂයකි. “එදා බෙලිහුල්ඔය විලියම් අප්පුහාමි තමයි ඒ දෙපළ පිළිගන්න ගොක්කොළ තොරණ ගැහුවේ. තොරණෙ කවියක් ලියලා තිබ්බා තැඹිලි මල් අලවලා.” ඒ ජන මතකයයි.
අසිරිමත් ජනමතකයේ අද ඊයේ වගේ රැඳුණු තවත් සිද්ධියක් නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටය රූපගත කිරීමයි. “එතකොට මං පොඩි කොල්ලෙක්. අපේ මාමලා මාව කරේ තියන් ගිහින් ටිකක් උඩහට වෙන්න තැනක චිත්‍රපටය හදනවා පෙන්නුවේ. යම්තම් මතකයි මාමා ගාමිණී මහත්තයාව එහෙම පෙන්නනවා. සමහර දර්ශන කළේ නැග්රැක් නන්පෙරියල් පැත්තට යන පාරෙ. කරත්තෙ යන ගමන් කියන
සිංදුව තියෙන්නෙ මුත්තෙට්ටුවගම පාරේ. ටිකක් උඩහට වෙන්න බලකොටුව තිබ්බෙ. ඒක පුපුරුවනවනේ. මේ චිත්‍රපටයට අස්සයො ගෙනල්ල හිටියා. අපි උන්ට බය වුණා. මොකද ඌ හරි තේජවන්ත ලොකු සතෙක්නේ.” ඒ ජයරත්න බණ්ඩාර මහතාගේ මතකයයි. එකල සුරතලී චිත්‍රපටය සඳහාද මෙහි සිට තරමක් දුරින් වූ දිය ඇල්ලක රූප පෙළක් යොදා ගැනුණි. අදද ඒ දිය ඇල්ල හඳුන්වන්නේ සුරතලී ඇල්ල නමිනි.
 
ජාතික-ආගමික සංහිඳියාව

බෙලිහුල්ඔයෙහි විසුවේ ගොවීන්ය. මේ කඩ මණ්ඩියේ වෙළෙඳාම් කළ අයද ගොවිතැනක් බතක් කළ උදවියයි. කරවල, තෙල්, ලුණු පමණක් ඔවුන් පිටින් බලාපොරොත්තු වුණු දේ අතර විය. පසුකාලීනව සමනළ වැවෙහි දියවරට යට වුණු ගම්වල පවුල් ගණනාවක්ද මෙහි විත් පදිංචි විය. බෙලිහුල්ඔය බහුතරය ජාතියෙන් සිංහලය. ආගමෙන් බෞද්ධය. දෙමළ-හින්දු ජනයා මෙන්ම කතෝලික ආගම අදහන ජනයාද වෙති. බෙලිහුල්ඔයේ කතෝලිකයෙකු වන ටයිටස් සිල්වාට අනුව පරම්පරා හතරකවත් තිස්සේ කතොලිකයෝ මෙහි වෙසෙති. “1900 ඉඳලා විතර මෙහේ පල්ලියක් තිබ්බා. ඔය බේරුවල මග්ගොන පැත්තේ ඉඳලා කළු ගඟේ පාරුවල වෙළඳාමට ආපු මිනිස්සු තමයි අපේ පැරැණියො. ඔය ජෝකිනූ මුදලාලිලා එහෙම කරවල, ලුණු නන්පෙරියල් හපුත⁣ලේ වතුවලට ඇද්දා, සුද්දගෙ කාලෙ. 1860දී බලංගොඩ පල්ලිය හදලා තියෙන්නේ...” මෙහි වෙසෙන කතෝලික හා බොදුනු පවුල් අතර ඇත්තේ දැඩි සහෝදර බැඳීමකි. පල්ලියේ පෙරහැරට බොදුනුවන්ගේ උපහාරය හිමිවන අතර පන්සල් තැනීමේදි ගල් ගඩොල් කඳු උඩට කර බරින් අදින්නට කිතුනුවන් සහය දී තිබේ. නන්පෙරියල් නැග්රැක් හි දෙමළ වතු ජනයාටද ආසන්න සරුම කඩපල මෙන්ම තැබෑරුමක්ද ඇත්තේ මෙහි බැවින් ඔවුන්ද ගැවසෙන්නේ බෙලිහුල්ඔයමය.

එහෙත් 83 කලු ජූලිය සමයේ දෙමළ ජනයාට යම් යම් සැහැසි කම් වලට මුහුණ දෙන්නට සිදුවූ අත්දැකීම්ද තිබේ. එවැනි දේ වලට හවුල් වූ විජේරත්න පවසන්නේ තමන් දැන් ඒ ගැන පසුතැවිලි වන බවයි. “මං එතකොට නන්පෙරියල් වත්තෙ ඔපිසර කෙනෙක්. මාත් මිනිස්සුන්ට හිරිහැර කළා. ඒ සින්නදොරේගෙ කීම අහලා නොමග ගිහිල්ලා. දැන් මං ඒ දේවල් ගැන පසුතැවිලි වෙනවා. ඒකෙන් අපිට බොහෝ දේවල් අහිමි වුණා. හැබෑ වීරකම කියන්නේ ජාතිවාදය නෙවෙයි. දැන් සමාජෙ ඊට වඩා දියුණුයි.”

ඒ පරිච්ඡේදයට පසු තවම බෙලිහුල්ඔය සංහිඳියාව සුරක්ෂිතය. එහෙත් දැන් ඔවුන් විස්සෝප වන්නේ අහිමි වන රමණීය පරිසරය ගැනය. කඳුකරයේ වැවූ ෆයිනස් හා ගඟ දිගට ඉදි කර ඇති විදුලි බලාගාර දියවර උදුරාගෙනය. දැන් ඉස්සන් සහ බොහෝ මාලුන්ද, නිදහසේ පියෑඹූ බොහෝ සමනළුන් හා කුරුල්ලන්ද සමුගෙන ගොස්ය. රසායනික ගොවිතැන නිසා වක්කඩට කට තබා දිය බොන්නට නොහැකිය.

එහෙත් බෙලිහුල්ඔය තවමත් සුන්දරය.
ස්තුතිය .ධනුෂ ඇල්ලෙගෙදරට
මුණු පොතට යොමු කල සටහනකි.

 

 

මීදුම Published @ 2014 by Ipietoon