රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-09-06

හෑල්ලක්.



“රජෙකුට ඔටුන්න වගේ තමයි ගොනෙකුට අංතට්ටුව.

රජාගේ සැර මකලා වැඩ ගන්න නීති තියෙනවා. 

ගොනෙක්ගේ සැර පාලනය කරලා වැඩ ගන්න ලාඩං ගහලා අං දෙකට පිත්තල විල්ලු දානවා.

රජෙක් ආඩම්බර වුනොත් ඇත්තුත් අස්සයොත් නැති වෙනවා.

මිනිහෙක් ආඩම්බරය නිසා රජුන්ගෙන් දඩුවම් විදිනවා.

ගොනෙක් ආඩම්බර වුනොත් ගොනයි මිනිහයි දෙන්නම නැති වෙනවා. “ 

රජෛකුට අං තට්ටුවක් දැම්මම ගොනෙක් වෙනවා.

ගොනෙකුට ඔටුන්නක් දැම්මට රජෙක් වෙන්නේ නෑ.

ගොන්නු රජ වෙනවා.

රජවරු ගොන්නු වෙනවා.


“සෞම්‍යාලංකාරේ”සුනේත්‍රා රාජකරුණානායක 

කියවමින් හිටියේ.

පළමුවෙනි පිටුවෙම මෙහෙම තිබුනා.

සෞම්‍යාලංකාරේ පලමුවෙනි මුද්‍රණය කරලා තිබුනේ 2013 දී.

අවුරුදු 13ක් ගියත් මේ අදහස අදටත් ගැලපෙනවා.

හෙටටත් ගැලපේවි.

බලයට එන්න පෙර නොයෙක් මාදිලියේ බයිලා වාදනය කරනවා.

බලයට ආවට පස්සේ බයිලා වල පද මාරුකරනවා. කවුරුත් කරන්නේ ඕකමයි. හිටපු කාණ්ඩේ  

වගේමයි ඉන්න කාණ්ඩෙත්.

මේ පුංචි රටේ මහජනතාවට සුව පහසු ජීවිතයක් ගත කරන්න කාර්ය සංවිධානය කරදෙන්න මේ එක්කෙනෙකුටත් සැළසුම් නැහැ.

ඔලොක්කුවට කියාපු පරණ කතා මතක් කර කර රසවිදිනවා හැරෙන්න ඒ කතා යථාර්තයක් වෙන්න කටයුතු කරන බවක් නැහැ.

මම මුණුපොතේ විවිධ තරාතිරමේ සමාජයක් නඩත්තු කරමින් ඉන්නවා . එයාලාගේ අදහස් දැනගන්න. කියවන්න.

ඒත් පහුගිය කාලේ විශේෂයෙන් සමාජ දේශපාලනයේ , ආගමික මතවාද පලකරන්නේ ද්වේෂ සහගත සිතින්. ඒවාට ශිෂ්ඨ බවක් නැහැ. තාර්කික නැහැ. කියවන්න දෙයක් නැහැ. බලන්න දෙයක් විතරයි තියෙන්නෙ .

වෛරය පිළිකුල දරාගෙන ලියන අය ගැන හිතන එක දුකක්.

මේ නඩත්තු කිරීම දිගටම කරන්න බැරි නිසා මුණුපොතේ බිත්තිය සංවර කරගන්න හිතුවා.

දැන් එක එක්කෙනා අඩුකර ගනිමින් ඉන්නවා.

එයින් පාඩුත් තියෙනවා.ඒත් මිනිස්සු හදන්න බැරි වුනාම අපිත් හැදෙන්න එපාය.

අපිට කොයිතරම් දේවල් කතා කරන්න අදහස් හුවමාරු කරගන්න තියෙනව ද ?.

ඒ වෙනුවෙන් විවෘත වෙලා තියෙන හොදම තැන් සමාජ මාධ්‍යය තුල ඇති කර ගන්න පුළුවන්.

අපි ඒක ප්‍රෙයා්ජනයට ගන්නේ නැහැ.

සමාජ මාධ්‍යයට චොදනා කරනවා. යහපතට යොදා ගන්නේ නැහැ.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-29

බෙල්ල ගහල යන වැඩ.





රාජසිංහ රජ සමයේ  අවුරුදු 19 මාස 6 දින 14 ක් සිරකරුවෙකු ලෙස ගත කිරීමට රොබර්ට් නොක්ස් ට සිදුවිය

නොක්ස් විසින් සිරගත ජීවිතය ගත කල කාලය අලලා ලියන ලද An historical relation of the island of Ceylon ( ක්‍රිව 1696 දී ලියන) පරිවර්ථනය “ ඒදා හෙළබිම “ නමින් පල කර ඇත.

මෙම පරිවර්ථණය “ ඩේව්ඩ් කරුණාරත්න “ මහතාගේය

නොක්ස් පවසන අන්දමට රාජසිංහ රජගේ යම් යම් කටයුතු ම්ලේච්ඡ ක්‍රියාවන්ය.

ඒක් දවසක ඔහු  තමාගේ සේවකයින්ගේ සිත් පරීක්ෂා කිරීම සදහාත් ඔවුන් ගන්නා ප්‍රතික්‍රියා පරීක්ෂා කිරීම සදහාත් උපායක් යෙදීය.

ජලස්නානය කිරීම සදහා තම පිරිවරත් සමග ගිය රජතුමා පිහිනමින් සිටියේය.

හදිසියේ තමා සැඩ පහරකට අසුව ගසා ගෙන යන බව දැනෙන පරිද්දෙන් උදව් ඉල්ලා කෑගැසුවේය.

පිරිස අතර සිටි කායශක්තියෙන් යුතු තරුණයෝ දෙදෙනෙක් වහා දියට පැන රජතුමා බේරා ඔසවා  ගෙන ගොඩට පීනාගෙන ආවෝය.

පසු දින රාජසභාවේදී මේ සම්බන්ධ ප්‍රවෘත්තිය සැලකර තමා බොහෝ සතුටු වු බව පවසා මේ තරුනයෝ දෙදෙනා කවුදෑයි විමසීය.

තරුනයේ දෙදෙනා රජ තමන් දෙදෙනා ඇගයීමට ලක් කරන්නට කැදවන්නේ යැයි සතුටින් රජතුමා වෙත ඉදිරිපත් විය.

ඒවිට රාජපුරුෂයන් කැදවු රජතුමා “ මගේ රාජකීය සිරුරට නොබියව අත තැබු මේ දෙදෙනාගේ හිස ගසා දමන ලෙස “ අණ කලේය.

ඒකලත් මෙකල මෙන් රාජකීයන්ගේ කටයුතු වලට අතතැබීම අනතුරු දායකය.


A day in the life
ජීවිතයෙන් දවසක් .

2026-08-27

නිකිනි පෝදිනය


නිකිනි පෝදිනය අදයි.

අද වැනි දිනක

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද ,

බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද 

එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද 

ආනන්ද හිමියන් රහත් වූයේද අද වැනි නිකිණි පුන් පො‍හෝදාකයි. 

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. 

හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය ලෙස හැඳින්විය හැකිය.


වස්සාන කාලය.

 

ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය.


වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. 

බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල චාරිකාවේ යෙදෙමින් සිටී. වස්සාන සමයේ මෙසේ සරිසරමින් බණ භාවනවේ යෙදීම අසීරුවේ.එසේහෙයින් 

“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් හට උපදෙස් දුන් සේක.

දායකයෝ වස්සාන කාලය තුල භික්ෂුන් වහන්සේලාට සිව්පසින් සැලකීම මේ කාලය තුල සිදුකරයි.

දානය දීම තෘෂ්නාව දුරුකිරීමේ එක් පියවරකි.

 

පෙරවස් එළඹීම සහ  පසු වස් එළැඹීම දෙකකි. 

ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුවේ.

සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.

නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-24

මාළණිය වෙනුවෙන් - අම්මාවරුනේ


ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිනිය වෙනුවෙන් ලියමි

අම්මාවරුනේ


බුදුහිමි අබියසෙහි වෙන්නට සමන් `` මලක්

පතමින් පැමිණ ගතකර විය කෙටිම කලක්

සිනමා පසුබිමට එක්කර "ගලන ගඟක්"

හෙළ ගී කෙතට වූවා නුඹ මහරු මිණක්


සරලද ශාස්ත්‍රීයද ඈ නෙක ආරේ

සිනමා ගීතයද ගැයූ අමරස බේරේ

පිනවා රසික දන කලගෙවනා වාරේ

සිතුනෙම පුරුද්දකි ලද පෙර සංසාරේ


ඇගයුම් සම්මාන නිරතුරුවම ලැබුනා

මෝරන වී කරල ලෙස සිරසද නැමුනා

පීඩිත පංතියේ දුක නිරතුරුවම හඳුනා

ගැයු ගී නිසා උන් හදවත පිරිමැදුනා


කලකදි "සත්‍යයේ ගීතය" නමින් ගයා

එරෙහිව අයුත්තට ඉන්නට "පවන" කියා

කළ ඒ මෙහෙවරෙහි ගීපද අරුත සොයා

අමතක නොවන ලෙස ඇත හදවතෙහි ලියා


පූජාසනේ ඔබ හිඳුවා පුදන දනා

ඔබටම එරෙහිවී එනබව හොඳින දැනා

දිවිගෙවු මැතිනියනි එය අද නිසැක වුනා

අපි සිහිකරමු නෙතගට එයි කඳුළු උනා


නොදැමුන අමන දන අද කෙරුවද නින්දා

ලොව පවතින තුරුම ඇත නුඹෙ නම රන්දා

කළගුණ සිහිව දෙඅතම එක්කොට වැන්දා

නිවනට යනු මැනවි අප මැතිනිය නන්දා










පී. ජී. ආරියපාල 

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-22

මාලණිය - තවත් මතයක්.




“අමන යකුන් කිරුළු දරා රට ගිනිගෙන දැවුණා
අපේ කඳුළු පවන වෙලා විකුණාගෙන කෑවා“
මන්ද නාව කාරණාව ගීතයේ තාලයට හදපු මේ පද පේළි දෙක මට අහන්න ලැබුණේ දෙදාස් ගණන්වල මුල්ම හරියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උලෙළක පැවැත්වුණු වීදි නාට්‍ය දර්ශනයකදී...
ඒ වීදි නාට්‍ය කණ්ඩායම මොකක්ද කවුද කියන එක ගැන මතකයක් නැතත් ඒ කාලේ බොහෝ විට මෙවැනි කටයුතුවල නිරත වුණේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ අය.
මේ කියන වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ඉල්මහවිරු සමරුව වැනි උත්සවවලදී මගේ ඇස ගැටී තිබෙනවා.
එතකොට ජවිපෙ හිතවාදීන් නන්දා මාලනී ගැන ප්‍රසිද්ධියේම මෙහෙම ප්‍රහාර එල්ල කළේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
ඇත්තටම නන්දා මාලනී ජවිපෙ මතවාදයට හිතවාදීව ගීත ගැයූ කෙනෙක් වුණත්, 1994න් පසු යුගයේ දී කිසිම දවසක ඇය ජවිපෙ කිසිම කටයුත්තකට ප්‍රසිද්ධියේ සම්බන්ධ වුණේ නැහැ.
මෑතකාලීන තත්ත්වය ගැන මට අවබෝධයක් නැතත් මා දන්නා කාලය තුළ ජවිපෙ කලා සංගමයේ වගකීම් දැරූ ඇතැම් අය ඇය සමග පුද්ගලිකව ගනුදෙනු කළා මිස ජවිපෙ කිසිදු කලා කටයුත්තකට හෝ ඇය සහභාගී වී නැහැ.
මේ තත්ත්වය ඇතුළු විවිධ හේතු නිසා ජවිපෙ සිටි ඇතැම් අය ඇයට විවිධාකාරයේ චෝදනා එල්ල කළා.
දෙදාස් ගණන්වල මුල් කාලයේ ජවිපෙ දේශපාලන රැස්වීම්වල ඇගේ ගීත එකල ඉතා සුලබව අසන්න ලැබුණත් ඔවුන් ඇය ගැන දැරුවේ ඒ තරම් සුබවාදී ආකල්පයක් නොවෙයි.
ඔය වීදි නාට්‍යයේ කියපු විදිහට 89 අරගලය විකුණාගෙන කෑවා වගේ දරුණු චෝදනා පවා ඇයට එල්ල වුණා.
එදා අරගලයට පක්ෂව සිංදු කියලා පස්සේ ඒ සටන අතෑරියා කියන එක තව චෝදනාවක්.
නන්දා මාලනී ඔය කලාවෙන් විතරක් පණිවිඩ දුන්නාට මක්සිම් ගෝර්කිලා වගේ සමාජ ව්‍යාපාර එක්ක බද්ධ වෙලා කටයුතු කරන කාන්තාවක් නෙමෙයි වගේ ඉතාම ළාමක චෝදනාත් ඒ අතර තිබුණා.
පසුගිය දිනවල නන්දා මාලනීගේ මරණයට කලින් ඇය ගැන දේශපාලන ක්‍රියාකාරිනියක් පළ කළ අදහස් සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයකට ලක් වුණා.
ඇගේ විවේචනය වුණේ රට ලේ විලක් කිරීමට නන්දා මාලනීගේ ගීත දායක වුණා කියන එක. ඒ චෝදනාව මීට කලිනුත් ඇයට නොයෙක් අය මතු කළ එකක්.
මේ අනුව ගත්තාම දේශපාලන මතවාද සහිත ගීත ගායනා කිරීම නිසා නන්දා මාලනී හැම පැත්තෙන්ම පීඩාවට පත් වුණා.
ජවිපෙ හිතවාදීන් වගේම ජවිපෙ විරුද්ධවාදීනුත් ඇයට ප්‍රසිද්ධියේ පහර දුන්නා.
ඒ ප්‍රහාර සාධාරණිකරණය කළ නොහැකි වුවත් හරි හෝ වැරදි සමාජ දේශපාලන සටනකට මැදිහත් වූ පසු එවැනි ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්.
මෑතක දී ගෝල්ෆේස් අරගල භූමියට එන තුරු ඇය කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවීමටත් මේ ප්‍රශ්න හේතුවක් වුණා වෙන්න පුළුවන්.
මීට වසර ගාණකට පෙර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇය හමුවීමට මා ඇයට දුරකථනයෙන් කථා කළා. මාව හමුවීමට කලින්ම ඇය මට දාපු කොන්දේසිය වුණේ දේශපාලන සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් අහන්න එපා කියන එකයි.
ඇයට දේශපාලනය කොයි තරම් තිත්ත වෙලා තිබුණාද කියන එක තේරුම් ගන්න ඒ සිදුවීම එක උදාහරණයක්.
නන්දා මාලනීගේ ගීතවල දේශපාලන අන්තර්ගතය ගැන විවිධ අයට විවිධ කියවීම්, ඇගයීම්, විවේචන තිබෙන්න පුළුවන්.
ඒත් පසුගිය දිනවල කතාබහට ලක් වූ පරිදි ඇගේ ගීත නිසා රට ලේ විලක් වුණා වගේ චෝදනා එතරම් සාධාරණ නැහැ.
මොකද එදා රට ලේ විලක් වීමට බලපෑ හේතු කාරණා ගණනාවක් තිබුණා. ඒ සංකීර්ණ සමාජ පසුබිම අමතක කොට රට ගිනි තැබීම ගැන හුදු ගායිකාවකට චෝදනා කිරීම අර්ථාන්විත දෙයක් නොවෙයි.
එදා බලයේ සිටි මර්දනකාරී එජාප රජය, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සහ ඉන්දියානු බල දේශපාලනය තමයි ඒ විනාශයේ ප්‍රධානතම වගඋත්තරකරුවන් විය යුත්තේ.
ඒ මොහොත කියන්නේ ජයවර්ධන පාලනය යටතේ රට බටහිර වහල් කොලනියක් බවට පත් කරමින් තිබූ මොහොතක්. අනිත් අතින් ඉන්දියානු මැදිහත් විම යටතේ මේ රට බෙදා වෙන් කිරීමේ උගුලක් බලාත්කාරයෙන් රට මත පටවා තිබූ මොහොතක්. (අවශ්‍ය නම් මීට අදාළ කරුණු නිශ්චිත සිදුවීම් දිනවකවානු සහිතව කියන්න පුළුවන්.)
ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව එතැනට අදාළ වුවත් ඔවුන් මේ අර්බුදයේ නිර්මාපකයන් නොවෙයි. එදා පැවති තත්ත්වය තුළ ඔවුන්ට ඒ මහා පාවාදීමට එරෙහිව සටන් වැදීමට සිදුව තිබුණා. එය එදා පැවති තත්ත්වය විසින් මතු කළ අර්බුදයක් මිස නිකරුණේ අවි අතට ගැනීමක් නොවෙයි.
එහි දී ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග තුළ ඉතා බරපතළ වැරදි අඩුපාඩු මෝඩකම් තිබූ බව සහ එය විශාල විනාශයකට හේතු වූ බව සත්‍යයක් වුවත්, ඒ සටන රටේ ජාතික අභිලාෂ හා සමපාත වූ සටනක් මිස අසාධාරණ, අයුක්ති සහගත සටනක් නොවෙයි.
ජවිපෙ වර්තමාන දේශපාලන භූමිකාව ගැන කුමන විවේචන පැවතියත් ඒ විවේචන මත පදනම්ව ඉතිහාසය සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම කිරීම සාධාරණ නැහැ.
අනික ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව එදා දියත් වූ ඒ සටන තුළ ජවිපෙ පමණක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන් මෙන්ම බොහෝ පක්ෂ සංවිධාන දේශප්‍රෙමී ජාතිකවාදී බලවේග සිටි බව අද බොහෝ දෙනා අමතක කරන කාරණයක්.
ඒ අනුව එය පැහැදිලිව ශ්‍රී ලංකාව නමැති ජාතික රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්, බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් කළ සටනක් මිස ගෝල්ෆේස් අරගලය වැනි රට අරාජික කරන සටනක් නොවෙයි.
ශ්‍රී ලංකාවේ රණවිරුවන් 2009 දී යුද්ධ කොට ආරක්ෂා කළේ රටේ ඒකීයභාවය නම් එදා 88-89 අරගලයේ දී දිවි පිදූවන් සටන් වැදුණේත් රටේ ඒකීයභාවය වෙනුවෙන් බව අමතක කළ යුතු නැහැ.
අදාළ ඉතිහාසය පිළිබඳ මා දරනා මතය අනුව නම් නන්දා මාලනී එදා ඔවුන් වෙනුවෙන් හඬක් නැගීම එදා පැවති තත්ත්වය තුළ ප්‍රගතිශීලි හා නිර්භීත පියවරක් මිස අපරාධයක් නොවෙයි.
එය එදා ඉන්දියානු ආක්‍රමණයට හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභූමියේ ඒකීයභාවය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු මිනිසුන් වෙනුවෙන් කළ හඬ නැගීමක් මිස හුදු පක්ෂයක් වෙනුවෙන් කළ හඬ නැගීමක් නොවෙයි.
අවසානයේ දී නන්දා මාලනීට ඒ පෙනී සිටීම නිසා හැම පැත්තකින්ම චෝදනාවන්ට ලක්වීමට සිදුවූ බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වෙන්න පුළුවන්.
හැබැයි දේශපාලනය කියන්නේ කිසිසේත්ම කාගෙත් සිත් එක සේ සතුටු කරන පරම සාධාරණ ක්‍රමවේද ඔස්සේ කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසාම එවැනි තීරණාත්මක දේශපාලන සටනකට මැදිහත් වූ අයෙකුට විවිධ ආකාරයේ පීඩාවන්ට චෝදනාවන්ට ලක්වීමට සිදුවීම සාමාන්‍ය දෙයක්.
මා සිතන ආකාරයට නන්දා මාලනී ජීවිත කාලය පුරාම ඒ චෝදනාවල පීඩාවන්ට මුහුණ දෙන්න ඇති.
දේශපාලන කාරණා හා බද්ධ වීමකින් තොරව ප්‍රේම ගීතයක් ගායනා කරගෙන පාඩුවේ සිටියා නම් ඇයට මෙවැනි චෝදනාවලට ලක්වීමට ගැරහුම් ලැබීමට සිදුවන්නේ නැහැ.
අද දිවි ගමන හමාර කොට ඇය නික්ම යන මොහොතේ මේ ගැන යමක් සටහන් කිරීමට සිතුණේම සෑම පැත්තකින්ම චෝදනාවට ලක්වූ ඇයට හා ඒ ඉතිහාසයට වචනයකින් හෝ සාධාරණයක් ඉටු කළ යුතුය යන හැඟීම මතයි.








ඉසුරු ප්‍රසංග
Next page'

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-21

ලාංකේය සිනමාවේ රම්‍ය සඳ'





"ගලන ගඟකි ජීවිතේ,
දයා ලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපලු නටයි ගං තෙරේ"
"රන්මුතු දූව" චිත්‍රපටය පුරාවට රැව් දුන්නේ ඇයගේ හඬය. නාරද දිසාසේකර සමඟ ඇය තම ප්‍රථම චිත්‍රපට ගීතය ගැයුවේ එලෙසය. ඇයගේ හඬ මුසු කළේ එහී ප්‍රධාන චරිතය රඟපෑ ජීවරාණී කුරුකුලසූරියටය. ඇය ගැයුවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පද රචනයක්ය. ඒ අමරදේවයන්ගේ තනුව හා සංගීතයටය. ඇයව සිනමාවට කැන්දන් ආවේත් අමරදේවයන්ය.ඒ 1962 වර්ෂයේය.
"පෙමට පෙම පුදා
තුඩට තුඩු දිදී
කුරුළු ගී නගයි
ආදරෙන්, බැදීලා"
ලාංකේය සිනමා ගීත සාහිත්‍යය තුළ නන්දා මාලනීය තමාගේ 'බයිස්කෝප්' ගීත ආරම්භ කළේ එසේය.
"පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින
දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ"
"රන්මුතු දූව" චිත්‍රපටයේ තේමා ගීතය ඇය එසේ ගැයුවේ අමරදේවයන් සමඟය.
එතැන් පටන් ඇය ලාංකේය සිනමාව තුළ කළ මධුර චාරිකාවෙන් බිඳක් මෙසේ පෙළගස්වමි.
"රුවන් වලා දුහුල් කඩින්
පෙරී හඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී
ගලා බසිනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට
සිනා ගේනවා- ⁣සිනා ගේනවා"
මහගමසේකරයන්, රචිත ,අමරදේවයන් සංගීතය සැපයූ 1966 වසරේ තිරගත කළ "වෙසතුරු සිරිත" චිත්‍රපටයට, රාණී වීරරත්න නම් නිළියක් වෙනුවෙන් නන්දා මාලනීය ගැයූ සදා නොමියන ගීතයකි ඉහත සඳහන් වූයේ.
නන්දා මාලනියට එකල බොහෝ චිත්‍රපටවල දරු නැලවිලි ගීත ගැයීමට ආරාධනා කරන්නේ, ඇය එය, විශිෂ්ඨව,ලයාවන්තිකව ගයන නිසා විය හැක. 1967 තිරගත කළ "රෑන ගිරව්" චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට, විජිත මල්ලිකා වෙනුවෙන් නන්දා මාලනිය, මෙසේ ගැයුවාය.
"ඈත සොඳුරු ලොවක් ඇතේ
එහි සුව නිවහනක් ඇතේ
එහෙත් මගේ කැකුළු පුතේ
එහී යන්නට වරම් නැතේ"
එම චිත්‍රපටයටම අමරදේවයන් සමඟ ඇය මෙසේද ගැයුවාය.
"රෑන ගිරා ජෝඩුවයි,
හාද වෙලා ආදරෙයි
රෑන ගිරා ජෝඩුවයි"
වන රේඛා මැද සීතල සෙවනේ
අත් වැල් බැද යන ආදර ගමනේ
හුරතල් දැනිලයි දුක් ගිනි නිවුනේ
හිනා කුසුම් තොල් පෙති අග දිලුනේ"
ඇයගේ සිනමා ගීතාවලිය ගැන අධ්‍යනය කරන විට ඇය මොනතරම් සොඳුරු ගීත රැසක් ලාංකේය සිනමාවට තිළින කර ඇත්දැයි සිතේ.
"යොවුන් වසන්තයේ
දුහුල් වලා පෙලේ
රෑන් මුදාගෙන, පාවී යනු මැන ඉඟිල්ලිලා
දිළිසෙන කදුලේ,කිරණින් නැහැවී
සිගිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසි"
සුනිල් ආරියරත්න විසින් රචිත , නන්දා මාලනිය විසින් ගැයූ මෙම ගීතය අයත් වූයේ, 1976 වසරේ තිරගත කල ඩී.ආර් පීරිස් සංගීතවත් කළ "දියමන්ති"චිත්‍රපටයටය. මෙය පසුබිමෙන් ඇසුණු ජවනිකාවකට අ⁣යත් වූ අතර එහී රඟ පෑවේ මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, සෝමසිරි දෙහිපිටිය, හා විමල් කුමාර ද කොස්තාය.
"ආදරවන්තයෝ" 1968 වර්ෂයේ තිරගත කල චිත්‍රපටයකි. එහී නන්දා මාලනීය, මර්සලීන් ජයකොඩි පියතුමා ලියු හරි හුරතල් ගීතයක් ගැයුවාය. සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසය
"දවසක මුතු වැල් ගෙනෙනවා
ගෙනත් නුඹට පළදවනවා
පළදවලා හැඩ බලනවා
මගෙ සුරතලියේ,මගෙ සුරතලියේ
කිංචි,බිංචි, පුංචි, පැංචි
කිංචි, බිංචි,පුංචි, පැංචි"
1969 දෙසැම්බර් 31වෙනිදා තිරගත කිරීම ආරම්භ කළ 'බක් මහ දීගේ' චිත්‍රපටයේ සෝමදාස ඇල්විටිගලගේ සංගීතයට, දයානන්ද ගුණවර්ධනගේ පද රචනයට, අයිරාංගනී සේරසිංහ වෙනුවෙන් භාවමය ගීතයක් නන්දා මාලනිය මෙලෙස ගැයුවාය.
" මලකින් මලකට, ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
කළුවර මහ රෑ, කෙලෙසද හිමියනී
මල් වල හැඩ රුව, හඳුනාගන්නේ
මල වල හැඩ රුව හඳුනා ගන්නේ
අළුත් මලක් යැයි අමතක වී ඔබ
පැණී බී මලටම වැරදී එන්නේ
ඒ ආවිට මා, පෙති හකුලා ගෙන
නැවත නොයන ලෙස
ඔබ රැක ගන්නෙමි"
1965 වසරේ තිරගත වූ "සාරවිට" චිත්‍රපටය වෙනුවෙන් නන්දා මාලනීය සම්මානනීය වූ දේශානුරාග ගීයක් ගැයුවාය. මහගමසේකරගේ පදමාලාවකට අමරදේවයන් සංගීතය සැපයූ මේ ගීතයට චිත්‍රපටය තුළින් පණ දුන්නේ ශෝභනී අමරසිංහය.
"මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පන ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමෙන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
මෙරට අසිරි සිරි එයුරු"
නන්දා මාලනීයගේ ශ්‍රෙෂ්ඨ වූ හඩ සිනමා ශාලාව දෙදරුම් කෑ ගීතයක් ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ "යස ඉසුරු" චිත්‍රපටයට ඇතුලත් විය. ධර්මසිරි ගමගේගේ පදමාලාවකට අනුව ගෝතමි පතිරාජා හා අමරසිරි කලංසූරිය පෙනී සිටින ජවනිකාවකට පසුබිමෙන් ඇසෙන්නට සැලැස්වුණු මෙම ගීතයද, සදාතනිකවූද, සම්මානනීය වූද ගීතයක් විය.
'අම්මාවරුනේ, අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මා වරුනේ
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
සුරලොව සිට අත පානා
ඒ කඳුලැලි පිසිනා"
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කව්දෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදුවන්නේ
සංසාරේ මතු බුදුවන්නේ"
ප්‍රේමසිරි කේමදාස සංගිතවත් කළ බොහෝ චිත්‍රපටවල නන්දා මාලනී එක් ගීතයක් හෝ ගයයි
"අද පමනක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුනළු කැන් හිනැහී
නව ලොවක් මැවෙනවා
අඳුරෙන් බර ආකර තුල
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා"
කරුණාරත්න අබේසේකර විසින් ලියූ එම ගීතය අයත් වූයේ 1972 වසරේ ප්‍රදර්ශනය වූ "ඉහත ආත්මය " චිත්‍රපටයටය. නන්දා මාලනිය එම ගීතය ගැයුවේ අනුලා කරුණාතිලක වෙනුවෙනි.
කේමදාස තැනු තවත් ගීයකි මේ. මෙය අයත් වූයේ 1971 වසරේ තිරගත වූ "සීයේ නෝට්ටුව" චිත්‍රපටයටය
"දේදුණු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආදර පවනේ කුසුම් සුසුම් වැල්
මා යන මඟට හැලේ
දෑසට දෑසක් හමුවුනු දවසේ
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ
සිතුවිලි දහසක් එක්තැන් වූයේ
පැතුම් ලොවට අද ඇයි ඔබ නාවෙි"
ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පදමාලාවකට ලියවුනු මෙම ගීතය නන්දා මාලනිය ගැයුවේ ශ්‍රියානි අමරසේන වෙනුවෙනි.
ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ තවත් චිත්‍රපටයකි "මොණර තැන්න" . එම චිත්‍රපටයේ තිබූ සුන්දරම ගීතයක් මාලනී ෆොන්සේකා වෙනුවෙන් නන්දා මාලනිය මෙසේ ගැයුවාය.
"හඳ හාවුන් හදේ,පැන යාදෙන් ඔහේ
දඟ නෑ ඒ වගේ,කිරි දරුවන් මගේ
කිරි දරුවන්, කිරි දරුවන් මගේ
බිළිදූ සිනා,සුරතල් මුවේ,
මට සුවඳයි, මට සුවඳයි දුවේ
ගෙදර බුදුන් අම්මා නුඹේ
කිරි එරවා ඒදෝ පුතේ"
"ලොකුම හිනාව" 1972 වසරේ තිරගත කල චිත්‍රපටයකි. එහීද සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ ප්‍රේමසිරි කේමදාසය. නන්දා මාලනිය එහී ප්‍රධාන නිළිය වූ සුමනා අමරසිංහ වෙනුවෙන් මෙම ගීය ගැයුවාය.
"හැඟුම් විසිර දස අතේ
ලැඟුම් සොයයි හදවතේ
දෑස මුණ ගැසී දෑසක ඉරණම දුටුවා
වළා කුලක් නැති අහසක් ඈතින් දුටුවා"
සුගතපාල සෙනරත් යාපාගේ "හන්තාන කථාව" චිත්‍රපටයට යාපා, මහගමසේකර සමඟ එක්වී අපූරු යුග ගීතයක් රචනා කළහ. ප්‍රේමසිරි කේමදාස එයට සුන්දර තනුවක් නිර්මාණය කර එය ගැයුමට වික්ටර් රත්නායකට හා නන්දා මාලනියට භාර දුනි.
"සරා සොඳුරු මල් පැටලී,
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි
කැකුළු සිනා මුතු එළියේ
අඳුරු ලෙනේ දොර මතුවේ
හදේ මහද සැලේ සැලේ
වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිතවූ මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි."
1967 වර්ෂයේ "මණමාලයෝ" නමින් චිත්‍රපටයක් තිර ගත විය. එහීද සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් රචිත මෙම ගීතය ගැයීමට බාර වූයේද නන්දා මාලනියටය. ශිරාණි කුරුකුලසූරිය හා ටෝනී රණසිංහ මෙම ගීතමය ජවනිකාවේ රගපෑහ.
"සුලලිත සුළගේ, ඔබ නැලවෙද්දී
ඔබ සිහිලයි- මා රැල්ලයි
ඇයි මී වදේ පැණී,රසවෙන්නේ
මී මැස්සන්ගෙන් අහන්නකෝ
ඇයි මගේ හද පැණිබර වන්නේ
ඇයි ඒ
කියන්න බැරි දේ හිතන්නකො"
සුලලිත සුළගේ-ඔබ නැලවෙද්දී
ඔබ සිහිලයි- මා රැල්ලයි"
'සරුංගලය' චිත්‍රපටය තිරගත කළේ 1979 වසරේය. එහී සංගීතය භාර වූයේ වික්ටර් රත්නායකටය. එහී තේමා ගීතය ලියුවේ ගාමිණි ෆොන්සේකාය. ගායනා කළේ අමරදේවයන් සමඟ නන්දා මාලනියය.
"බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුලිය සොයා වඩින්නේ
වනමල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුනොත් ඇය පෙම් පවස නිවන්නේ
සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුව මත ගාවා
බඹර කුසුම් හදවත් යුග නාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා"
නන්දා මාලනියගේ අතීශයින් ජනප්‍රියවූ සිනමා ගීතයක් ඇතුලත් වූයේ 1976 තිරගත කල "දුහුළු මලක්"චිත්‍රපටයටය.
අජන්තා රණසිංහ ගේ පද මාලාවකට, සරත් දසනායක විසින් සංගීතය සැපයූ මෙම ගීතය චිත්‍රපට⁣යේ උච්චතම අවස්ථාවට යොදවා තිබුණි.
"රන් කෙන්දෙන් බැදී
අතැඟිලි එක් කර ආදරයයි
පෙම් රැහැනින් බැඳි
සිතුම් වසඟ කල ආදරයයි
කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුනා පමණී
දෑල විදාහල, දෑත මගේ
ඔබටත්, ඔහුටත් හිමි වේ
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර වූ විජිතයම මගේ"
1972 තිරගත කළ 'හිතක පිපුණු මල්' චිත්‍රපටය තුළින් එහී සංගීත අධ්‍යක්ෂක ෂෙල්ටන් ප්‍රේමරත්න අමුතු අත්හදා බැලීමක් කළේය. ඒ බටහිර ගී ගයන ඩැල්රින් අර්නෝල්ඩා හා නන්දා මාලනිය එකතුකර, ඉංග්‍රිසි හා සිංහල මිශ්‍ර ගීතයක් නිර්මාණය කිරීමය. එය ''No East No West මෙන්ම රැඟුම් වැයුම් ගැයුම්'' නමින් හැදින්විය. එහී එන ඉංග්‍රීසී පදමාලාව ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් ලියූ අතර එම පද පෙල ඩැල්රින් අර්නෝල්ඩා විසින් ගායනා කළ අතර ධර්මසිරි ගමගේ විසින් එහී සිංහල පද රචනා කළේය. එම පද පෙල ගැයීමට ෂෙල්ටන් ප්‍රේමරත්න තෝරා ගත්තේ නන්දා මාලනීවය. මේ ඇය ගැයූ පද පේළියයි.
"රැඟුම් වැයුම් ගැයුම් තුලින්
උපන් කලා රසේ
රටක් දැයක් තනා තියේ
වෙනස් කමක් නොපා
මිනිස් ගඟක්, මිනිස් කමත්
සැවෝ සමයි කියා
ලොවේ ඉතා උදාර වූ
පහන් හැඟුම් මවයි"
නන්දා මාලනිය තව බොහෝ චිත්‍රපට ගීත ගායනා කර ඇත. ලැයිස්තුවක් ලෙස දැක්වුව හොත් එය මෙසේය.
'බා ලොලි ලොලි ලොලි'(පටාචාර), ⁣'දෙනෝ දහක්'(වජිරා), 'ඈත කඳුයායේ'(තරංගා), 'ගී පොතේ'(සතර පෙර නිමිති), 'ඉවුරු බිඳුනු'(අඹු සැමියෝ), 'මා හද වාවනු බෑ'( නිවෙන ගින්න), 'මංගල මධු'(සමනල කුමරියෝ), 'නිල් වන ලන්දේ'(මුවන් පැලැස්ස), 'පිණි දියෙන්(එයා දැන් ලොකු ළමයෙක්), 'සඳට සොරෙන් සඳ'(සිරිබෝ අයියා), 'සුදු මුතු මාල'(වාලම්පුරි), 'තාරකාවන් දිලී'(ඉන්දුට මල් මිටක්), 'උපුල් නුවන් වසා'(පොඩි මල්ලි), 'ආදරයට පිපුණු මල්'(කිඳුරු කුමාරි), 'ආශා පැතුම් යාවී'(අහස් මාළිගා), 'එක මව් කුසේ'(පූජා), 'සක්වල එතරට'(ගෙදර බුදුන් අම්මා), 'වැස්ස වැටී'(සිව් රඟ සේනා), 'අහසින් බසින්'(පෙම් රජ දහන), 'බැරි බර දරමින්'(සුදු සෙවනැලි), 'බව තන්හා' (සීතල ගිනි කඳු), 'දේදුණු පාට'(මුහුදු ළිහිණි), ⁣'දොයි දොයි බිළින්දෝ'(නාරි ලතා), 'දොර නාරින් අමල් බිසෝ'(අමල් බිසෝ), 'මහ ගිරි අරනේ'(හන්තානේ කථාව), 'පන්සලේ බෝ මළුවේ'(සරෝජා), 'කොන්ක්‍රීට් වනන්තරේ'(බහුබූතයෝ) 'මේක හරිම ගැටලුවක් '(සරිගම).
ලාංකේය සිනමාවේ ගීත සාහිත්‍ය තුලින් නන්දා මාලනිය කල විශ්මකර්මය, තව කිසිවකට කිරීමට නොහැක. සිනමාව වෙනුවෙන් ඇය අපට ඉතිරි කර යන දේ බොහෝය.
එදා 1962 වර්ෂයේ රන්මුතු දූව චිත්‍රපටයේ ජීවරානී වෙනුවෙන් 'ගලන ගඟකි ජීවිතේ' ගැයු හඬම ඉන් 40 වසරකට පසු "බහුබූතයෝ' චිත්‍රපටයට පබෝධා සංදීපනී වෙනුවෙන් 'කොන්ක්‍රීට් වනාන්තරේ" ගීතයේ ගැබ්වී තිබීම විශ්මයක්ම ය.
කාලානූපිතව ජිවන රඟ මඩලෙන් බැස ගියද, ලාංකිය සිනමා අම්බරයේ සදා දිලෙන එකම රම්‍ය සඳ ඔබමය.









-ශෝන් මැක්ස්මස් දිසානායක

-A day in the life
ජීවිතයෙන් දවසක් .

2026-08-18

විසදුමක් නැහැ .





මළ ගෙදරක ගෙවුන සතියක්.

අද පෙර මෙන් අවමගුල්  කටයුතු සදහා කාලය ගන්නවා අඩුයි.

කොරෝනා අපට ලබා දුන් ආදර්ශයක් කියලයි හිතෙන්නේ…

සිරිත් විරිත් සිදු කලත් අවසන් ගෞරව දැක්වීමට තියා ගන්නා කාලය දවසක් දෙකක් වෙලා.

පැය හතලිස් අටක් .

සංනිවේදනය දියුණුයි . පැයක් දෙකක් ගත වෙන කොට දැන ගත යුතු ඥාති හිතමිත්‍රාදීන් ප්‍රවෘත්තිය දැනගන්නවා. දුර බැහැර අද ප්‍රශ්නයක් නෙමෙයි.

ගමන් බිමන් පහසුව තියෙනවා.

ඒ නිසා සියල්ලන්ට සහභාගීවීම දුෂ්කර නැහැ.

තාමත් බැහැර නොවු සිරිත් වුනත් නැත්තෙම නැහැ.

සරල කෑම වේලක් වෙනුවට බරපතල මෙනුවකින් යන එන අයට සංග්‍රහ නොකොලොත් මදි කමක්.

නිවසියන්ට භාරධුර කටයුත්තක්.

සමහරක් අවස්ථාවල ඥාතී හිතමිත්‍රාදීන් , අසල්වාසීන් බරපැන දරාගෙන මේ කටයුත්තට උර දෙනවා.

ආදාහණාගාර පිහිටුවා තිබීමත් තවත් පහසුවක් වෙලා.

මේ අනම් මනම් කියන්න නෙමෙයි හිතුවේ.

ඒත් කියවුනා කියමුකෝ.

මරණය පිලිබදව සංනිවේදන සිද්ධීන් තුනක අත්දැකීම් මට තියෙනවා.

මේවා විශ්මය සහගතයි. 

විශ්වාශ කරන්න අපහසු අත්භූත සිදුවීම්.

ගෙවුන සතියේ සිදුවුන සිද්ධියෙන් පටන් ගන්නම්කෝ.

දැන් මළ ගෙදර අවසන් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන වෙලාව.

ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවන අවස්ථාව.

පළමු ස්වාමීන් වහන්සේත් කැටුව නිවසට පා තැබුවා විතරයි.

නිවස ඉදිරිපිට තිබුන මහ දෙල් වෘක්ෂයක්.

ඒකේ වට අඩියක විතර විශාල අත්තක් මහත් ශබ්දයක් දෙමින් පිරිස මැදට කඩා වැටෙනවා.

කළබලවු පිරිස ඒ වටා රොක් වෙනවා.

කිසිවෙකුටත් අණතුරක් නැහැ.

වායු ගොලයේ කිසිදු කැළඹීමක් නැහැ නිශ්චලයි.


තවත් දිනක තිස්සමහාරාමයේ ඥාතිවරියකගේ මළ ගෙදරක සහභාගි වෙනවා.

දැන්  ආගමික කටයුතු අවසන් වෙලා . දෙන නිවසින් එළියට ගන්නවා.

නිවස ඉස්සරහ ලස්සනට වවලා තිබුන අඹ ගහක් .

ගහ වටේට බැම්මක් බැදලා මිදුලට ආභරණයක් වගේ .

ඒ දවස් අඹ වාරේ ගහ පිරෙන්න අඹ.

මෙන්න චර බර සද්දෙත් එක්ක විශාල අඹ අත්තක් සෙනග මැදට කඩා වැටෙනවා.

අඹත් පිරිලා…

කාටවත් අණතුරක් නැහැ.

එදත් පුංචි හුළගක්වත් තිබුනේ නැහැ.

නිසල පරිසරයේ ඇහුනේ අඹ අත්ත කඩා වැටුන සද්දේ විතරයි.


මේ අත්දැකීම වෙනස්….

අම්මා හෘදාබාදයක් සමග සටන් කරමින් ජයවර්ධණපුර රෝහලේ.

මම අම්මා ලග සිට පැමින නැවතත් අම්මා බලන්න යන්න බොරලැස්ගමුව නංගීගේ නිවසේ.

මමත් නංගිගේ පුතත් විතරක් එවෙලේ හිටියේ.

අනික් අය බැහැර ගිහින්.

මම වාඩිවෙලා ඉදලා නැගිටලා ආලින්දයට එන අදහසින්.

විදුලියක් වැදුනා වගේ කම්පනයකුත් සමග මගේ ඇස් අදුරු වෙලා නැවතත් පුටුව උඩට.

පුතා ඇවිත් අත දෙක අල්ලා ගෙන මොකද වුනේ කියලා බලනවා.

එවලේම ලැබුන දුර කතන පණිවිඩය පුතාට කියලා තියෙන්නේ.

ආතම්මා මිය ගිය බව.


මේවා අහුඹු සිදුවීම් ද ?

මම තාමත් කල්පනා කරනවා.

විසදුමක් නැහැ.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-15

පුරුෂාධිපත්‍යයකින් බැට කෑ මාළණිය.






නන්දා මාලනි සම්බන්ධයෙන් සමාජ ජාලා ක්‍රියාකාරිනියක් (කුමුදුනු බණ්ඩාර) පළ කළ අදහසක් කතාබහට ලක් වෙලා තියෙනවා.

එතන දී ඇය ප්‍රකාශ කරන්නේ නන්දා තමන්ගේ විප්ලවවාදී ගීත හරහා රටේ තරුණ පරම්පරාව හිංසනයට සහ කැරළිකාරයන් බවට   තල්ලු කළ බව.

එසේ කරන්නේ ඈ වර්තමානයේ සිටයි.

විජේවීර යුගයේ  1969 ,70 වගේ කාලයේ සිට දේශපාලන සමාජය පාලනය තුල රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වුනා.

එය ඉටුකරගන්න නොයෙක් විනාශකාරී බලහත්කාරකම් කලා

ගුණදාස කපුගේ , නන්දා මාළනී ගයන ලද නිර්මාණ ඒ වෙනස නිසා උපන්නක්.

එවකට තිබු පාලනතන්ත්‍රයන් ට එරෙහිව නැගුන විරෝධයන් ප්‍රතිකම්පනය වුන එක් ධාරාවක් බවට මේ ගීත පත්වුනා.


මේ සචීන් රත්වත්ත මුහුණු පොතේ පලකර තිබු ලිපියක්.

ඔහු නන්දා මාළනීය දැක්කේ වෙනත් සමාජමය කෝණයකින් .

“……………..එතන දී ඇය ප්‍රකාශ කරන්නේ නන්දා තමන්ගේ විප්ලවවාදී ගීත හරහා රටේ තරුණ පරම්පරාව හිංසනයට සහ කැරළි සඳහා තල්ලු කළ බව.

ඒ ඔස්සේ විශාල ලේ වැගිරීමක් සිදු වූ බවයි කුමුදුනු තර්ක කරන්නේ.

මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවා. එමෙන්ම කුමුදුනිගේ එජාප පසුබිම නිසා ඇයගේ දැක්ම අපට තේරුම්ගත හැකියි.

නමුත් මෙතැනදී කුමුදුනි හෝ බොහෝ දෙනා නොදැකපු නන්දා මාලනියක් සිටිනවා.

මා දකින නන්දා මාලනිය නම් විප්ලවාදී, පද්ධතියට විරුද්ධ, කැරළිකාර ගැහැණියක් නෙවෙයි.

මා දකින නන්දා නම් අහිංසක, තඩි පුරුෂාධිපත්‍යයකින් බැට කෑ, ඒ බව නොදන්නා, පාවිච්චි වූ අහිංසක ගැහැණියක්.

නන්දා මාලනිට ජීවිතයේ කිසිදාක ස්ථිර මතයක් තිබී නැහැ.

ඇය ජීවිතයේ විවිධ සමයන් හි විවිධ ගී ගැයූවා.

ඒ ගීත රචනා කළේ, නන්දා පාවිච්චි කළ, නන්දාගේ හඬ පසුපස සිටි කපටි පිරිමියා, සුනිල් ආරියරත්න.

නන්දා යනු හඬක් පමණයි. ඒ හඬ කියෙව්වේ සුනිල් ආරියරත්න විසින් ලබා දෙන කොලයක්.

සෑම විටකම නන්දාගේ මතය, සුනිල් ආරියරත්නගේ මතය වුණා.

සුනිල් ලියා දෙන කොලය පිළිබඳ තෝරාගැනීමේ අයිතියක් නන්දාට තිබුණේ නැහැ.

ඇය ජීවිත කාලයම කරළියෙන් පසුපස සිටිමින්, තමන්ට අවශ්‍ය දේ කියා ගැනීමට උවමනා සුනිල් ආරියරත්නට පාවිච්චි වුණා.

සුනිල්ගේ හඬ වුණා.

විටෙක නන්දා ජවිපෙ කැරළිකාර ගී ගැයුවා.

තවත් විටෙක ඇය "මේ සිංහල අපගේ රටයි" ගීතය ගැයුවා.

නන්දා මාලනී ගේ සමස්ථ අනන්‍යතාවයම ගොඩ නැගී තියෙන්නේ සුනිල් ආරියරත්න ඇයට ලියා දෙන ඊලග කොලය අනුව.

නන්දා මාලනි කරළියට එන්නේ එච්. ආර් ජෝතිපාලගේ උදව්වෙන්.

නමුත් ඇයට ජෝතිපාල ලා සිටි කුලකයෙන් (පීචන්) ඉවත් වී සම්භාව්‍ය කුලකයට යෑමේ ආශාවක් තිබුණා.

එය හරියට වර්තමානයේ අප දකිනා මාලිමා දේශපාලකයන්ට තිබෙනා තමන් පැමිණි පන්තියෙන් හැකි ඉක්මණින් ඉහළ පන්තියට පැන ගැනීමේ ආශාවට සමාන ආශාවක්.

සුනිල් ආරියරත්න පාවිච්චි කළේ නන්දාගේ ඒ ආශාව.

නන්දා තමන්ට සම්භාව්‍ය තලයට පා තැබිය හැකි අත්වාරුව ලෙසට, එවකටත් සම්භාව්‍ය කුලකයේ සිටි සුනිල් ආරියරත්න දැක්කා.

සුනිල් ආරියරත්නට තමන් ලියනා ඕනෑම කොලයක් කියවනා, ගයනා, පාලනය කළ හැකි පිරිමියෙක් කවදාවත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ.

එම නිසා ඔහු තමන්ට පාලනය කළ හැකි, තමන් අතේ නූල තබා ගත හැකි ගැහැණියක් හොයාගත්තා.

ඒ නන්දා මාලනි.

එම නිසා සුනිල් ආරියරත්න පිළිබඳ කතා නොකර නන්දා මාලනි පමණක් තනිව විවේචනය කිරීම විහිලුවක්.

නන්දා මාලනි යනු සැබෑ ලෝකයේ දී

"යනවා නම් අනේ මන් අරන්,

යන තැනකට යන්න රත්තරන්"

"මන්ද නාව කාරණාව,

යන්න අපේ වන්දනාව

මට හරි පාළුයි ළමයෝ"

කියලා සරල ආදර ගී ගියපු තවත් එක් ලතා වල්පොල කෙනෙකු වීමට සිටි ගායිකාවක්.

නමුත් ඇය අද මහා ලේ වැගිරිවීමකට එක් චූදිතයෙකුව සිටින්නේ ඇය පාලනය කළ, ඇයගේ නූල අත තබාගෙන සිටි, තමන්ගේ ප්‍රකාශිකාව ලෙස ඇයව පාවිච්චි කළ, සුනිල් ආරියරත්න නිසා.

(මෙහිදී එම ලේ වැගිරීමේ අනෙක් පාර්ශවය හෙවත් එවකට රජය අමතක කොට අනෙක් පාර්ශවය පමණක් වැරදිකරුවන් කරන්නත් බැහැ.)

කොටින්ම නන්දා මාලනි දැනුවත්ව හෝ නොදැනුවත්ම කාන්තාවක්ව සූරා කෑමට ලක් වූ පුරුෂාධිපත්‍යයේ ගොඳුරක්.




A day in the life 
ජීවිතයෙන් දවසක් .