“අමන යකුන් කිරුළු දරා රට ගිනිගෙන දැවුණා
අපේ කඳුළු පවන වෙලා විකුණාගෙන කෑවා“
මන්ද නාව කාරණාව ගීතයේ තාලයට හදපු මේ පද පේළි දෙක මට අහන්න ලැබුණේ දෙදාස් ගණන්වල මුල්ම හරියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උලෙළක පැවැත්වුණු වීදි නාට්‍ය දර්ශනයකදී...
ඒ වීදි නාට්‍ය කණ්ඩායම මොකක්ද කවුද කියන එක ගැන මතකයක් නැතත් ඒ කාලේ බොහෝ විට මෙවැනි කටයුතුවල නිරත වුණේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ අය.
මේ කියන වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ඉල්මහවිරු සමරුව වැනි උත්සවවලදී මගේ ඇස ගැටී තිබෙනවා.
එතකොට ජවිපෙ හිතවාදීන් නන්දා මාලනී ගැන ප්‍රසිද්ධියේම මෙහෙම ප්‍රහාර එල්ල කළේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
ඇත්තටම නන්දා මාලනී ජවිපෙ මතවාදයට හිතවාදීව ගීත ගැයූ කෙනෙක් වුණත්, 1994න් පසු යුගයේ දී කිසිම දවසක ඇය ජවිපෙ කිසිම කටයුත්තකට ප්‍රසිද්ධියේ සම්බන්ධ වුණේ නැහැ.
මෑතකාලීන තත්ත්වය ගැන මට අවබෝධයක් නැතත් මා දන්නා කාලය තුළ ජවිපෙ කලා සංගමයේ වගකීම් දැරූ ඇතැම් අය ඇය සමග පුද්ගලිකව ගනුදෙනු කළා මිස ජවිපෙ කිසිදු කලා කටයුත්තකට හෝ ඇය සහභාගී වී නැහැ.
මේ තත්ත්වය ඇතුළු විවිධ හේතු නිසා ජවිපෙ සිටි ඇතැම් අය ඇයට විවිධාකාරයේ චෝදනා එල්ල කළා.
දෙදාස් ගණන්වල මුල් කාලයේ ජවිපෙ දේශපාලන රැස්වීම්වල ඇගේ ගීත එකල ඉතා සුලබව අසන්න ලැබුණත් ඔවුන් ඇය ගැන දැරුවේ ඒ තරම් සුබවාදී ආකල්පයක් නොවෙයි.
ඔය වීදි නාට්‍යයේ කියපු විදිහට 89 අරගලය විකුණාගෙන කෑවා වගේ දරුණු චෝදනා පවා ඇයට එල්ල වුණා.
එදා අරගලයට පක්ෂව සිංදු කියලා පස්සේ ඒ සටන අතෑරියා කියන එක තව චෝදනාවක්.
නන්දා මාලනී ඔය කලාවෙන් විතරක් පණිවිඩ දුන්නාට මක්සිම් ගෝර්කිලා වගේ සමාජ ව්‍යාපාර එක්ක බද්ධ වෙලා කටයුතු කරන කාන්තාවක් නෙමෙයි වගේ ඉතාම ළාමක චෝදනාත් ඒ අතර තිබුණා.
පසුගිය දිනවල නන්දා මාලනීගේ මරණයට කලින් ඇය ගැන දේශපාලන ක්‍රියාකාරිනියක් පළ කළ අදහස් සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයකට ලක් වුණා.
ඇගේ විවේචනය වුණේ රට ලේ විලක් කිරීමට නන්දා මාලනීගේ ගීත දායක වුණා කියන එක. ඒ චෝදනාව මීට කලිනුත් ඇයට නොයෙක් අය මතු කළ එකක්.
මේ අනුව ගත්තාම දේශපාලන මතවාද සහිත ගීත ගායනා කිරීම නිසා නන්දා මාලනී හැම පැත්තෙන්ම පීඩාවට පත් වුණා.
ජවිපෙ හිතවාදීන් වගේම ජවිපෙ විරුද්ධවාදීනුත් ඇයට ප්‍රසිද්ධියේ පහර දුන්නා.
ඒ ප්‍රහාර සාධාරණිකරණය කළ නොහැකි වුවත් හරි හෝ වැරදි සමාජ දේශපාලන සටනකට මැදිහත් වූ පසු එවැනි ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්.
මෑතක දී ගෝල්ෆේස් අරගල භූමියට එන තුරු ඇය කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවීමටත් මේ ප්‍රශ්න හේතුවක් වුණා වෙන්න පුළුවන්.
මීට වසර ගාණකට පෙර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇය හමුවීමට මා ඇයට දුරකථනයෙන් කථා කළා. මාව හමුවීමට කලින්ම ඇය මට දාපු කොන්දේසිය වුණේ දේශපාලන සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් අහන්න එපා කියන එකයි.
ඇයට දේශපාලනය කොයි තරම් තිත්ත වෙලා තිබුණාද කියන එක තේරුම් ගන්න ඒ සිදුවීම එක උදාහරණයක්.
නන්දා මාලනීගේ ගීතවල දේශපාලන අන්තර්ගතය ගැන විවිධ අයට විවිධ කියවීම්, ඇගයීම්, විවේචන තිබෙන්න පුළුවන්.
ඒත් පසුගිය දිනවල කතාබහට ලක් වූ පරිදි ඇගේ ගීත නිසා රට ලේ විලක් වුණා වගේ චෝදනා එතරම් සාධාරණ නැහැ.
මොකද එදා රට ලේ විලක් වීමට බලපෑ හේතු කාරණා ගණනාවක් තිබුණා. ඒ සංකීර්ණ සමාජ පසුබිම අමතක කොට රට ගිනි තැබීම ගැන හුදු ගායිකාවකට චෝදනා කිරීම අර්ථාන්විත දෙයක් නොවෙයි.
එදා බලයේ සිටි මර්දනකාරී එජාප රජය, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සහ ඉන්දියානු බල දේශපාලනය තමයි ඒ විනාශයේ ප්‍රධානතම වගඋත්තරකරුවන් විය යුත්තේ.
ඒ මොහොත කියන්නේ ජයවර්ධන පාලනය යටතේ රට බටහිර වහල් කොලනියක් බවට පත් කරමින් තිබූ මොහොතක්. අනිත් අතින් ඉන්දියානු මැදිහත් විම යටතේ මේ රට බෙදා වෙන් කිරීමේ උගුලක් බලාත්කාරයෙන් රට මත පටවා තිබූ මොහොතක්. (අවශ්‍ය නම් මීට අදාළ කරුණු නිශ්චිත සිදුවීම් දිනවකවානු සහිතව කියන්න පුළුවන්.)
ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව එතැනට අදාළ වුවත් ඔවුන් මේ අර්බුදයේ නිර්මාපකයන් නොවෙයි. එදා පැවති තත්ත්වය තුළ ඔවුන්ට ඒ මහා පාවාදීමට එරෙහිව සටන් වැදීමට සිදුව තිබුණා. එය එදා පැවති තත්ත්වය විසින් මතු කළ අර්බුදයක් මිස නිකරුණේ අවි අතට ගැනීමක් නොවෙයි.
එහි දී ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග තුළ ඉතා බරපතළ වැරදි අඩුපාඩු මෝඩකම් තිබූ බව සහ එය විශාල විනාශයකට හේතු වූ බව සත්‍යයක් වුවත්, ඒ සටන රටේ ජාතික අභිලාෂ හා සමපාත වූ සටනක් මිස අසාධාරණ, අයුක්ති සහගත සටනක් නොවෙයි.
ජවිපෙ වර්තමාන දේශපාලන භූමිකාව ගැන කුමන විවේචන පැවතියත් ඒ විවේචන මත පදනම්ව ඉතිහාසය සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම කිරීම සාධාරණ නැහැ.
අනික ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව එදා දියත් වූ ඒ සටන තුළ ජවිපෙ පමණක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන් මෙන්ම බොහෝ පක්ෂ සංවිධාන දේශප්‍රෙමී ජාතිකවාදී බලවේග සිටි බව අද බොහෝ දෙනා අමතක කරන කාරණයක්.
ඒ අනුව එය පැහැදිලිව ශ්‍රී ලංකාව නමැති ජාතික රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්, බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් කළ සටනක් මිස ගෝල්ෆේස් අරගලය වැනි රට අරාජික කරන සටනක් නොවෙයි.
ශ්‍රී ලංකාවේ රණවිරුවන් 2009 දී යුද්ධ කොට ආරක්ෂා කළේ රටේ ඒකීයභාවය නම් එදා 88-89 අරගලයේ දී දිවි පිදූවන් සටන් වැදුණේත් රටේ ඒකීයභාවය වෙනුවෙන් බව අමතක කළ යුතු නැහැ.
අදාළ ඉතිහාසය පිළිබඳ මා දරනා මතය අනුව නම් නන්දා මාලනී එදා ඔවුන් වෙනුවෙන් හඬක් නැගීම එදා පැවති තත්ත්වය තුළ ප්‍රගතිශීලි හා නිර්භීත පියවරක් මිස අපරාධයක් නොවෙයි.
එය එදා ඉන්දියානු ආක්‍රමණයට හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභූමියේ ඒකීයභාවය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු මිනිසුන් වෙනුවෙන් කළ හඬ නැගීමක් මිස හුදු පක්ෂයක් වෙනුවෙන් කළ හඬ නැගීමක් නොවෙයි.
අවසානයේ දී නන්දා මාලනීට ඒ පෙනී සිටීම නිසා හැම පැත්තකින්ම චෝදනාවන්ට ලක්වීමට සිදුවූ බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වෙන්න පුළුවන්.
හැබැයි දේශපාලනය කියන්නේ කිසිසේත්ම කාගෙත් සිත් එක සේ සතුටු කරන පරම සාධාරණ ක්‍රමවේද ඔස්සේ කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසාම එවැනි තීරණාත්මක දේශපාලන සටනකට මැදිහත් වූ අයෙකුට විවිධ ආකාරයේ පීඩාවන්ට චෝදනාවන්ට ලක්වීමට සිදුවීම සාමාන්‍ය දෙයක්.මා සිතන ආකාරයට නන්දා මාලනී ජීවිත කාලය පුරාම ඒ චෝදනාවල පීඩාවන්ට මුහුණ දෙන්න ඇති.
දේශපාලන කාරණා හා බද්ධ වීමකින් තොරව ප්‍රේම ගීතයක් ගායනා කරගෙන පාඩුවේ සිටියා නම් ඇයට මෙවැනි චෝදනාවලට ලක්වීමට ගැරහුම් ලැබීමට සිදුවන්නේ නැහැ.
අද දිවි ගමන හමාර කොට ඇය නික්ම යන මොහොතේ මේ ගැන යමක් සටහන් කිරීමට සිතුණේම සෑම පැත්තකින්ම චෝදනාවට ලක්වූ ඇයට හා ඒ ඉතිහාසයට වචනයකින් හෝ සාධාරණයක් ඉටු කළ යුතුය යන හැඟීම මතයි. ඉසුරු ප්‍රසංග
Next page'
A day in the life
ජීවිතයෙන් දවසක් .







No comments:
Post a Comment