බෙලිහුල්ඔය
1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )
සමනල වැව
සමනල වැව බැම්ම
බුදුගල
බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.
බේකර්ස් බෙන්ඩ්
නොන් පෙරියල් - බෙලිහුල්ඔය.
2026-06-23
බේකර්ස් බෙන්ඩ් - නොන් පෙරියල්.
2026-06-22
බුදුගල රජ මහා විහාරය.
බලංගොඩ - කල්තොට -හම්බේගමුව මාර්ගයේ කල්තොට මංසන්දියෙන් හැරී දියවින් දෙසට තිබෙන මාර්යේ කිමි 4 ½ පමන දුර යනවිට ඓතිහාසික බුදුගල රජ මහා විහාරය හමුවේ.
කල්තොට අතීතයේ “ කාලතිත්ථ “ රාජධානිය ලෙස හදුන්වා ඇත.
අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු පියසකින් යුතු බුදුගල රජමහ විහාරය අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා ඇත.
ක්‍රි.ව. 1018 – 1029 වකවානුවේ වීර මහාසූරිය නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බවද දැක්වේ. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි පාණ්ඩ්‍ය නැමැති කුමාරයකු බුදුගල රාජධානියේ රාජ්‍ය විචාල බවද කියවේ.
ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. බුදුගල විහාරස්ථානයට ආසන්න මාලිගාවක ඇති නටබුන් එයට සාක්‍ෂි දරයි. ඉපැරණි ගොඩනැඟිලි, පියගැට පෙළ, කොරවක් ගල, මාලක, කීපයක් බුදුගල විහාරයේ තිබූ බවට ද ලංකාවේ ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා ප්‍රකාශ කර තිබේ.
දන්තධාතූන් වහන්සේට ටික කලක් රැකවරණය ලබාදීම සඳහා හේමමාලා හා දන්ත කුමරුවන් ඓතිහාසික බුදුගල කූරගල සමීපයේ බ්‍රාහ්මණයෙකුගේ රැකවරණය යටතේ විසූ බව ද දළදා මැදුරක් ඉදිකර තිබූ බවට ද ජනශ්‍රැතියක් තිබේ. වීර මහා සූරිය රජතුමා විසින් රන්කොත් නවයකින් හා සියලු දේවාභරණයෙන් සපිරුණු කතරගම දේවාලයක් කර වූ බවද කියවේ. කූරගල කඳු පාමුල පිහිටි බුදුගල ගල් විහාරය අතීතයේ ආරණ්‍යකි සෙනසුනක්ව පැවතී තිබේ. වීරමහාසූරිය හා විකුම් බුදුගල ගල්ලෙන් හා ගොඩනැඟිලි මහා සඟසතු වූ අතර පසුව රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගිය බව ද කියවේ. අක්. 15 ක් පමණ පුරා විහිදී ගිය මෙම ශාන්ත සුන්දර පරිසරය තුළ පිහිටි ගල්ලෙන් පිළිබඳ සෙල්ලිපි තොරතුරු කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්ගේ හා පූජ්‍ය විකිලියේ නාරද හිමියන්ගේ ‘සබරගමු දර්ශනය’ හා ඓතිහාසික රත්නපුර යන ග්‍රන්ථවල දැක්වේ.
වර්තමානයේ පුංචි මිහින්තලය ලෙස හඳුන්වන බුදුගල රජ මහ වෙහෙර පිළිබඳ ඓතිහාසික සාධක රැසක් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ‘බුදුසසුන බැබලුණු පැරණි පුදබිම්’ නම් කෘතියේ දැක්වේ.
කලක් වල් බිහි වී තිබූ බුදුගල රජමහ වෙහෙර 1925 දී පමණ දික්කාපිටියේ සිරි සීලානන්ද හිමියන් විසින් පිළිසකර කර වස් වැස පුදබිම සංරක්‍ෂණය කර ඇත. මහා සංඝරත්නයේ හා ව්‍යාපාර මහතුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සංඝවාසය, විහාර මන්දිරය, ධර්ම ශාලාව ආනන්ද බෝධිය, සතර මහා දේවාලය, සේල චෛත්‍ය පිහිට වූ අතර 2011 සම්බුද්ධ ජයන්තියට සමගාමීව අවුකන අනුරූ පිළිම වහන්සේ නිර්මාණය කර ඇත.
2026-06-21
සමනල වැව.
සමනලවැව වේල්ල යනු ප්‍රාථමික වශයෙන් ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන වේල්ලකි.
1992දී අධිකාරිය ලත් සමනලවැව ව්‍යාපෘතිය, රටෙහි දෙවන-විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන අතර, වසරකට ශක්තිය 405 GWh ක් නිෂ්පාදනය කරයි.
එය තනන ලද්දේ ජපානය සහ එක්සත් රාජධානිය වෙතින් ලද මූල්‍ය ආධාර උපයෝගී කොට ගෙනය.
දකුණු ඉවුරේ හටගත් විශාල ජල කාන්දුවක් හේතුවෙන් මෙය ඉමහත් කතාබහට ලක්විය. කාන්දුව පැවතියද, ජව නිෂ්පාදනය සැලසුම් පරිදී දිගටම සිදුකෙරෙන අතර, කාන්දුවෙන් නිකුත් වන ජලය, යටි-ගං ප්‍රදේශයන්හී කෘෂිකර්ම කටයුතු සඳහා ජලාශය විසින් නිකුත් කිරීමට නියමිත ජල ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් සපයයි.
පිහිටීම
සමනලවැව වේල්ල පිහිටා ඇත්තේ උඩ වලවේ ද්‍රෝණියෙහිය. එය තැනුවේ වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එක්‍රැස් වන දෙමෝය පිහිටි, මධ්‍යන්‍ය මුහුදු මට්ටමෙහි සිට 400 මීටර (1,300 ft) උසින් පිහිටි ස්ථානයකය. පිහිටා ඇත්තේ බලන්ගොඩ නගරයට සමීපයෙහි වන අතර අගනුවර වන කොළඹ සිට 160 කිලෝමීටර (99 mi) දුරින් වෙයි.
ව්‍යාපෘති සරියෙහි භූමිය චූර්ණමූලක වෙයි.
ශ්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වන සමනල වැව ජලාශය මහවැලි ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වේ.එය වාර්ෂිකව 405 GWh ක් නිෂ්පාදනය කරනු ලැබේ.මෙය උඩ වලව බේසමෙහි පිහිටා ඇති අතර එය වලවේ ගඟ සහ බෙලිහුල් ඔය අතරේ බැදී පවතී.මුහුදු මට්ටමට වඩා මීටර් 400 (අඩි 1,300) උසකින් ඉදිවී ඇත.1986 දී ආරම්භ වුණ මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබුයේ ජපානය සහ එක්සත් රාජධානිය විසිනි.
මහවැලි සහ ලක්ෂපාන ජලාශ මගින් ජල විදුලි බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩි විය.ගල් අඟුරු බලාගාරවලින් ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බව පැහැදිලි වීමත් සමඟ ශ්‍රී ලංකා රජය තවත් ජල විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට තීරණය කළේය.සර් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ ඔහුගේ සහකරු විසින් මෙම ව්‍යාපෘතිය සැලසුම් සකස් කර ඇති අතර බල්ෆෝර් බීට් මෙහි කොන්ත්‍රාත්කරු විය.
ව්‍යාපෘතියේ ඇස්තමේන්තු මුදල යෙන් මිලියන 60,176 ක් ලෙස ඇස්තමේන්තු කලද කාන්දුවට පාලනය කිරීම සඳහා ගතයුතු පියවරයන් සමඟ ඇස්තමේන්තු ගත මුදල යෙන් මිලියන 74,313 දක්වා වැඩි විය.
සමනල වේල්ලෙ හි උසි මීටර් 110 (අඩි 360) වන අතර දිග මීටර් 530 (අඩි 1,740) ක් වේ.වේල්ලෙ හි පරිමාව ඝන මීටර් 4,500,000 ක් පමණ වේ.මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2,867 ක් වන අතර ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 372 (සැතපුම් 144) ක් පමණ වේ.මෙම වේල්ලෙ හි වාන් දොරටු තුනක් ඇති අතර, එක් එක් දොරටුව මීටර් 14 (අඩි 46) උසින් සහ මීටර් 11 (අඩි 36) ක් පළලින් යුක්ත වේ.මෙම වාන් දොරටු මගින් තත්පරයට ඝන මීටර් 3,600 ක ජල ප්‍රමාණයක් බැහැර කළ හැකිය.එහි උමඟේ විෂ්කම්භය මීටර් 4.5 (අඩි 15) සහ දිග 5,159 (අඩි 16,926) වේ.
"U" හැඩයෙන් යුත් මෙම ජලාශයේ දළ ගබඩා ධාරිතාව ඝන මීටර් 278,000,000 (වර්ග අඩි 9,8 × 109) වුවද සජීවී ගබඩා ධාරිතාවය ඝන මීටර් 218,000,000 (වර්ග අඩි 7.7 × 109) ක් වේ.ඉතිරි ඝන මීටර් 60,000,000 (අඩි 2,1 × 109) මළ ගබඩාව කි.දකුණු ඉවුරේ ඇති ජල කාන්දුව නිසා ජලාශයේ ජල මට්ටම මීටර් 430 (අඩි 1,410) ක් පමණ පහළ බසී.
විදුලිබලාගාරය ෆ්රැන්සිස් ටර්බයින දෙකකින් සමන්විත වන අතර, මෙම එක් එක් ටර්බයිනය මගින් මෙගාවොට් 62 ක ධාරිතාවකින් යුක්ත වේ.එමගින් වාර්ෂිකව ගිගාවොට් 405 ක් පමණ නිපදවයි.මෙම බලශක්ති පිරිවැය ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාලනය කරනු ලබයි.
ජලාශයේ දකුණු ඉවුරේ මීටර් 300 ක් පමණ වේල්ලට පහළින් ජල කාන්දුවීමක් ඇත.කාන්දු වීම පාලනය සදහා ගන්නා ලද ක්‍රියා මාර්ග දිගින් දිගටම අකාර්යක්ෂම වූ අතර මෙමගින් තත්පරයට ජල ලීටර් 2100 ක් කාන්දු වේ.නමුත් මෙම කාන්දුව බල ශක්ති උත්පාදනය සදහා බල නොපායි.මෙම කාන්දුව දිගින් දිගටම නිරීක්ෂණය කරනු ලබන අතර එය ස්ථායිව පැවතිය හොත් ව්‍යාපෘතිය සදහා තර්ජනයක් සිදු නොවේ.
මෙම ජල ව්‍යාපෘතිය සැලසුම් කරන ලද්දේ තනි ජල විදුලි ව්‍යාපෘතියක් ලෙසිනි.
ගං ඉවුරේ පහළ ප්‍රදේශයේ ඇති වගා බිම් සදහා ජලය සැපයීමට වාරි මාර්ග කට්ටලයක් එනම් "IRV" ඇති නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දීම මගින් වගා කල හැකි අක්කර ප්‍රමාණය අඩු වී ඇත.
2026-06-20
සිහිනලන්තය - බෙලිහුල්ඔය.
බෙලිහුල්ඔය
නැවත නැවතත් ලියන්නේ මොනවටද ?
මෙන්න මෙතනට යන්න.
https://miduma.blogspot.com/p/blog-page_24.html
බෙලිහුල්ඔය ගැන කතා ගොඩයි.
හාගල කත්ද .
Hicking වලට , කූඩාරමක් ගහගෙන රැයක් ගෙවන්න නියම තැන.
පහන්තුඩා ඇල්ල ලගින් තියෙන අඩිපාරෙන් උඩට නගින්නත් පුලුවන්.
ලදුයායෙන් , පැපොල්වත්තෙන්, ඉඹුල්පෙ කිරමනාකදුර , වගේ ස්ථාන වලිනුත්
හාගල තරණය කරන්න පුලුවන්.
හැබැයි නතරවෙනවානම් අඩවි වන නිළධාරීන් ගෙන් අවසර අරන් යන්න.
අල්ලා ගත්තොත් අධිකරණයට.
චෝදනා ගොඩයි. අඩු තරමේ රුපියල් විසිපන්දහක වත් දඩයක් !.
නේචර්ස් කෙටේජ් . Naturers cotteges.
මෙතනට යන්න.
https://www.facebook.com/naturescottagesbelihuloya/
2026-06-19
පහන්තුඩා ඇල්ල - බෙලිහුල්ඔය.

හැමදාමත් එක ඇදුම ඇදගෙන ඉන්න කොට කිළිටි වෙනවා.
ඇදුම අළුත් කලා.
ඇදුම ඇතුලේ ඉන්න මනුස්සයා නම් වෙනස් කරන්න අමාරු වෙයි නේ ?
දශක අටකට ආසන්න කාලයක් පදම් වුන ජීවිතය එහෙම වෙනස් කරන එක පහසු කටයුත්තක් නෙමෙයිනේ.
බෙලිහුල්ඔයේම හතර වටේ තියෙන කදු වලල්ල බලා ගෙන
අම්මාගෙන් කිරි උරා බිව් දවසේ ඉදන්………….
ඒ කදු වලල්ල බලාගෙනම දෑස පියවෙලා යාවි.
එතෙක් මෙතෙක් කල මෝඩකම්, පුරාජේරු මීදුම ඇතුලේ වරින් වර දියවෙනවා.
ඔයාලත් කියවනවා.
ස්තුතියි.
මේ වියමන අළුත්වුන හෙඩිමේ පින්තූරයක් ගැන.
පහන් තුඩා වල , පහන්තුඩා ඇල්ල.
තොරතුරු අනුව නම් මේ තඩාගය අඩි තිහක් විතර ගැඹුර ඇති.
මෙය මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.ද
ක්‍ෂ කිමිදුම්කරුවෙකුට පිහිනන්න දන්න කෙනෙකුට බය නැතිව තටාගයට බහින්න පුළුවන් ඒත් සංචාරය පිණිස එන අය නම් තටාගයට බහින්න උත්සහා දැරීම අනතුරු දායකයි.
පසුගිය අවුරුදු වල නොසැකිලිමත්ව හැසුරුනු තරුනයින් විශ්ව විද්‍යාලීය සිසුන් කිහිප දෙනෙක් මෙතනදී දියේ ගිලි මිය ගියා.
ප්‍ර දේශයේ කිහිප දෙනෙක් සියදිවි නසා ගන්නත් මේ ස්වභාවධර්මයේ අපූරු නිරිමානය යොදා ගත්තා.
මීදුම ඇතුලේ තියෙන ලිපිවල මේ කතාත් ලියවුන වියමන් තියෙනවා.
අනිත් පිටුවත් සමග හමුවෙමු.
2026-06-14
සබරේ පහරදීමක්
සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යොෂ්ඨ උත්තමයින් හතර දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ගන්න සීමාවේ තියන්න පහර දීලා.
හේතුව සිසුවියකට නවක වදය දීම.
සීමාව ඉක්මවා නවක වදය දීමත් වැරදියි නේ ?.
පසුගිය වසර වල නවක වදය දීම හේතුවෙන් සිදුවුණු අභාග්‍ය සම්පන්න සිද්ධීන් කිහිපයක් පිලිබදව කනගාටුදායක ඉතිහාසයක් විශ්ව විද්‍යාලයට තියෙනවා.
ඒත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි පරණ වුනත් වසරෙන් වසර එකතු වෙන ශිෂ්‍ය ප්‍රජාව අළුත්වෙනවා නේ !.
අනුරාධපුරෙ පදිංචි දියණියක සබරේට තේරීලා තිබුනා. ඈ සබරේට එන්න කොහොමවත් කැමති නැහැ. ඇයි කියලා අහපුවම හේතුව වුනේ සබරේ නවක වදය පිළිබදව තියෙන නරක ඉතිහාසය.
වධකාගාරයකට එන්න කවුද කැමති ?.
ඒ නවක වදය.
පහර දුන්න පිරිස කරලා තියෙන්නේ වැරදි වැඩක් . නීතියට පිටතින් කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක්.
ඒත් පීඩිත දැරියගේ පාර්ශවය ගැන හොයන්න බලන්න විශ්ව විද්‍යාල පරිශ්‍ර අධිරාජ්‍ය තුල නොයෙක් බලධාරීන් හිටියත් ඔවුන් නිෂ්ක්‍රීය නම් වෙන විකල්ප නැහැ.
මේ විදියට අනාගතයේදී නවක වදය නැතී කරන්න විකල්ප ක්‍රීයා මාර්ග ඇතිවුනොත් අපිට සබරේ සීමාවේ යුද්ධ පිටියක් ඇතිවනවා බලා ගෙන ඉන්න වෙයි.
නීතිය පාතාලවරුන් අතට යාම භායානකයි.
මම එහෙම කිව්වම
ගුරුවරයෙක්වු දිණුක දේශප්‍රිය මහතා කිව්වේ මෙහෙම අදහසක්.
“නීතිය වින්දිතයින්ට අවශ්‍ය ප්‍රමානයට වේගවත්ව සහ පලදායි විය යුතුයි. නැතිනම් ගහලා හිරේ යන එක හොදයි කියන ස්ථාවරය තහවුරු වෙනවා.
සාධාරණයක් ඉල්ලමින් විදවනවාට වඩා.“
විශ්ව විද්‍යාල පරිපාලනය තුල විනය නීතී තිබුනත් ඒවා ක්‍රීයාත්මකවිම මන්දගාමී බවයි එතුමාගේ අදහස.
සමනල වැව පොලිසිය තියෙන්නෙත් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල.
නවක වදය වැනි සම්ප්‍රදායික විශ්ව විද්‍යාල සංස්කෘතියකට එරෙහි වන්න විවි පරිපාලනයෙන් ඇනවුමක් නැත්නම් පොලිසියට වෙන්නේ බලාගෙන ඉන්න.
හිංසනයෙන් තොර වදයක් වන්නේ නම් එය යහපත් කටයුත්තක් ලෙසයි මීදුම දකින්නේ.
විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරයෙකු වන පී.ජී. ආරියපාල මහතා දක්‍ෂ පරිපාලන නිලධාරියෙක්.
එතුමා “විශ්ව විද්‍යාල පාලකයන්ගේ දුර්වලතාවයක් ලෙස තමයි මෙහෙම වෙන්න හේතුව “ කියන්නේ පරිපාලන අත්දෑකීම් ඇති නිසා.
මටත් හිතෙන්නේ පරිපාලනය මන්දගාමී ස්වරූපයෙන් මෙවැනි සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා.
එහෙම වුනාම වින්දිතයන් කළකිරෙන එක ස්වභාවිකයි. අවට පදිංචි කරුවන් වේ
නම් බාහිරෙන් ප්‍රතිචාර ලැබීමත් අනිවාර්යයි.
විශ්ව විද්‍යාලයට එන්නේ රටේම අධයාපනය ලබන දරුවනගෙන් බුද්ධිමත්ම කොටස.
අපි කියන්නේ විද්‍යාර්ථීන් කියලා. විද්‍යාර්ථීන් දැන් පාලනයට බැහැලා ඉන්න කාලයක් .
එවන් රට මෙහෙම දේවල් සිද්ධ වෙන එක නම් අභාග්‍යයක්.
2026-06-13
සාරධර්ම රකිමු.
පල්ලේගම හාමුදුරුවන්ගෙන් සලේට මාරුවුනා.
දැන් පෙන්වනවා “ සලේ “.
අපි දවසින් දවස අසහනයට පත්වෙමින් ඉන්නවා.
කාර් එකක් ගන්න ලොකු හීනයක් තිබුනා.
ලක්ෂ 19 ට විට්ස් එකක් කොහොමත් 2015 ලක්ෂ විසිපහ හමාරකට ගත්ත වැගන් ආර් එක අද ලක්ෂ අසූවයි කියනවා
දැන් හීනයක්ම විතරමයි.
පරණ එකේම යනවා.
පාලකයින් ගේ වැරැද්ද ?. නැත්නම් කයියේ වැරද්ද ද හිතා ගන්න බැහැ.
දිට්වා ආවා.
හදිසි වුන පාර “එක ටකරමකටත් ලක්‍ෂ දහයක් ද කොහෙද දෙනවා කිව්වා.
කටට එන වචන ඔහේ දමලා ගහනවා.
ආයේ ඇදලා ගන්නත් බැහැනේ.
ජනතාව කෝචෙක් කරනවා.
අර හොරණ වියපත් දෙමව්පියන් නවාතැන් ගෙන රැක බලාගත්ත වැඩිහිටි නිවාසයක් මොකක්දෝ අහේතුවකට ගිණි ගත්තා. වැඩිහිටියෝ පිරිසක් ගින්නට බිලි ගත්තා.
පස්සේනේ මතක් වුනේ ප්‍රමිතිය හොයන්න..
එතකොට කාලේ ඉකුත් වෙලා.
ජනාධිපතිවරයා කියනවා වැඩිහිටි දෙමව්පියන් රැක බලාගන්නේ නැති දූ දරවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අණපනත් හදනවා කියලා.
ඒකත් කඩදාසිය ලිපේ දැම්මා වගේ ප්‍රකාශයක් වෙයි ද කියලා හිතුන මම වටේපිටේ තොරතුරු හෙව්වා.
දැඩි ආගමික හැදියාවක් තියෙන අපේ රටේ ……
බෞද්ධ , කතෝලික වගේම වෙනත් ආගම් කියා දෙනවා වැඩිහිටියන්ට සලකන්න ඕනි කියලා පොඩිහිටියන් කාලේ ඉදන්ම.
ඒත පොඩිහිටියෝ උස් මහත් වෙලා වගකීම්දරන්න වෙන කොට වැඩිහිටියෝ බරක්..
ඒවගේ නීති ඕනවුන එක කම්පාවට හේතුවක් කියලයි මම හිතන්නේ.
දරුවන්ට දෙමව්පියන් රැක බලා ගන්න සදාචාරත්මක වගකීමක් තියෙනවා.
වයෝවෘධ දෙමව්පියන් අත්හැරදැමීම වැලක්විය යුතුයි. ඒත් එහෙම සිද්ධ වෙනවා.ඒකට හේතු කුඩුම්බය තුලින්ම ඇති වෙනවා. ආර්ථික ප්‍රශ්න , පවුලේ ප්‍රශ්න තමන්ගේ තරමට දෙමව්පියන් නොගැලපීම ඔය ගේ විවිධ කාරනා දෙමව්පියන් නොසලකා හැරීමට හේතු වෙනවා.
සිංගප්පූරවේ තියෙනවා Maintenance of parents act .මෙම නීතිය මගින් දෙමව්පියන්ට තම වැඩිහිටි දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න අධිකරණ පිහිට පැතිය හැකියි.
මානව හිමිකම් සංවිධාන සහ නීති විශාරදයන්.එවැනි නීතිවලට ඉදිරිපත්කරන තර්ක අසරන වන වයෝවෘද්ධිකයන්ට හාණිකරයි.
වයෝවෘද්ධ දෙමව්පියන් රක බලා ගැනීමට නීතිය මගින් බලපෑම් කිරීම වෑඩිහිටි පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිත තීරණ ගැණිමේ නිදහසට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන තර්ක කරනවා.
එක අතකින් එහි සත්‍යතාවයකුත් තියෙනවා.
සියළුම දෙමව්පියන් යහපත් දෙමව්පියන් නොවන බව පලකරන අදහස තුල
ළමා වියේදී හිංසණය , අපයෝජණය, හෝ අතහැරදැමීම් සිදුකල දෙමව්පියන්ටත් එම නීති යටතේ වාසි ලැබිය හැකි බව, පෙන්වා දෙනවා.
සහර දරුවන් ආර්ථිකව දුර්වලව තම පවුල රකින්නන් එවැනි
දරුවන්ගේ ආර්ථික හැකියාව නොසලකා නීතිමය වගකීම් පැනවීම අසාධාරනයි කියලා හිතෙනවා.
නීති රීතිවලට වඩා සාරධර්ම රැකීම හොදයි කියලයි මට හිතෙන්නේ.
2026-06-11
දෙව් මවු තුරුලේ .......
දුරකථනයේ ජෙනි අක්කාගේ කඩහඩය.
වෙනදා කතා කරන්නේ පැට්රික් අයියාය. එහෙත් අද ?
මල්ලි , අයියා ගියා.
පපුව රිදෙනවා කියලා කිව්වා ….ආයෙත් ඇහැරලා බැළුවේ නෑ.
පැට්රික් අයියා සුවදායක සිහිනයක් සමගින් අවසන් ගමන් යන්න ඇත.
මානවහිතවාදියෙක්වු අයියා පෙරලිකාරයෙක්ය. ඔහු අසාධාරණය ඉවසුවේ නැත.
මේ නොඉවසීම ඥාති සමුහයා අතහැර ජෙනි අක්කාත් සමග තනිවෙන්න තරම් දුර දිග ගියේය.
තමන් සතු දේපල විකුණා දමා අරමුදලක් ඇති කර ගෙන බැංකුවේ තැන්පත් කර එහි පොලිය ඔහුගේ ආදායම කරගත්තේය.
දූ දරුවන් නොසිටි මේ දෙපල වැඩිහිටි නිවාස නිවහන කරගත්තේය.
වරින් වර නවාතැන් වෙනස් කරමින් සිටි මේ දෙපල පසුගියදාක කිඹුලාපිටිය ප්‍රෙද්ශයේ නවාතැනකට මාරුවිය.
නිවෙස මැරුවී පැළපදියම්ව දෙවන දවසේ පට්රික් අයියා හදිසි හෘදයාබාදයෙකින් දෙව් මවු තුරුලේ සැනසීමට නික්ම ගිය බව මා ඇසුවේ ජෙනි අක්කාගේ බිදුණු කඩහඩිනි.
ජෙනි අක්කා තනිවිය.
ජෙනි අක්කාගේ කඩහඩ හැගීම්බරය.
දශක හයක් පමන ගහට පොත්තමෙන් බැදී සිටි පැට්රික් අයියා නැති ජීවිතය ජෙනි අක්කාට මහත් බරක් වනු ඇත.
මල්ලි , අයියා ගැන මොනවත් ලියන්න. එය සිහිවටනයක් වේවි ජෙනි අක්කා කියන්නීය.
මම මගේ මතකය ඔස්සේ ඔහුත් සමග ……….
අම්පාර කොළඹ බස් එකේ කාර්ය මණ්ඩලය
විශ්‍රාම යන තුරු මහවැලි සංවර්ධණ මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකරු,
ජෙනි අක්කා සමග විවාහය.
දූ දරුවන් නොමැති දෙදෙනාගේ සෙනහස
බෙලිහුල්ඔයට නැවත පැමිණීම …….සහ සුවිසල් වත්කමක් බැංකුවේ තැන්පත් කර ඒ ආදායමෙන් විශ්‍රාම ජීවිතය සකස් කර ගැණිම
බෙලිහුල්ඔයෙන් පිටත්ව යාම ………
මතකයේ හමුවු නවාතැන්ය.
බෙලිහුල්ඔයෙන් පිටත්ව ගියපසු අවුරුදු ගනනාවක් අප හමුවුනේ නැත.තොරතුරක්ද තිබුනේ නැත.
එක් දිනක මුහුණු පොත පීරන විට පැට්රික් අයියා මතුවිය.
මම වහා ඇරයුමක් සටහන් කලෙමි.
එවිටම පාහේ අප යලිත් අතීත සහෘදයන් බවට යලිත් පත්වුනෙමු.
කාලය පනහේ දශකය දක්වා දිවයයි.
ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිටඅපි එකට වැඩුනොවිමු.
ඔහු මට ලොකු අයියා විය.
මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ලොකු අයියාද ඔහු විය.
විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැද ගත්තෝ බවට පත්විය .
අසූවිය එලිපත්තේ සිටදීද අපි මෙන් නොවී අසාධාරනය උදෙසා ඔහු සටන් කරන්නේ තරුන ජවයෙනි.
මම උපේක්ෂාවෙන් බලන විට ඔහු සටන් බිමේය.
ඔහුත් මමත් අතර ඇති වෙනස් වු පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු.
සහෘදයෝ වමු.
1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි.
මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.
අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු.
මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය.
මා මෙන් නොව ඔහු පන්සලට පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අපේ ගැමි සමාජය තුල ඔහු නායයෙකු බවට පත්වීනි.
අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් හට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු.
මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි.
මේ නිසා අප ඔවුන්ගේ වෛරයට ද ඔවුන් අපගේ වෛරයටද භාජනය විනි.
මේ නිසා ඇතිවු ගැටුම් නිසා අප බොහෝ විට පීඩාවට පත්විමු.
අපේ නඩය
අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු.
වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු.
දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු .
මෙම ක්‍රියාකාරකම් අපගේ සමාජ පරතෙරය අවම කරගත්තෙමු.
එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය වසර ගනනාවත් අප බාල සහෝදරයින් පවත්වා ගෙන ගියත් අද එය දියවි ගොස් ඇත.
1975 වසර වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි. 1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින් එහිම රැදී සිටියා යයි මම සිතමි.
2024 වන විට මගේ දේශපාලන කෝනයෙන් ඔහුු මගෙන් බොහෝ ඈත්වී සිටින්නෙක් බවට පත්වී සිටියේය.
එහෙත් මා ඔහුගෙනුත් ඔහු මගෙනුත් ඈත්වුයේ නැත
නිතර නිතර කතා බහ කලත් දේශපාලන සංවාදයන්ට පැටලීම මම උවමනාවෙන්ම මග හැරීයේය.
මා දැක්කේ පැට්රික් අයියා සමාජයෙන් සහ තම පවුලෙන් ලත් පීඩිත අත්දෑකීම් විසින් මුවහත් කර , එයට ගැලපෙන දේශපාලන සිතිවිලි සමග මං මුලාවට පත්වු බවක් ලෙසය.
බෙලිහුල්ඔයට අසීමිතව පෙම් කල පැට්රික් අයියා බෙලිහුල්ඔයෙන් වෙන්ව දශක තුනක් පමනවු කාලයේ නැවතත් බෙලිහුල්ඔයට පැමිණියේ නැත.
ඔහුගෙන් විමසුවිට ඒ තැන කතාකිරීමට උනන්දුවක් දැක්වුයේද නැත.
දෑඩි ආගම් භක්තිකයෙකුවු පැට්රික් අයියාට ආගම සැනසිල්ලකට හේතුවිය.
ප්‍රාර්ථණය කරනා පරිද්දෙන් මෝක්‍ෂ සුව අත්වෙන බව ඒකාන්තය.
2026-06-08
හිත් මඩල .
කලා වැව හිදෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා
ආයෙමත් හැදෙනවා
“හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා“ ජීවිත කාලෙටම මෙහෙම වෙනවා.
ළදරු වියෙත් අම්මගේ උණුසුම බඩගින්න හිත බිදෙන්න හේතු වෙනවා
කාලෙන් කාලෙට හේතු වෙනස් වෙනවා
හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.
බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා. කුසල සම්පන්න ශීලයෙන් ඇති පල මොනවද කියලා.
බුදුහාමුදුරුවේ කියනවා.. පසුතැවිලි නොවීම කියලා ..
ආනනද් හාමුදුරුවන්ට තව තවත් පැහැදිලි කරගන්න ඕන.
පසුතැවිලි නොවීම කියන්නේ ?.
පසුතැවිල නොවීමේ ප්‍රෙබා්ධමත් විය හැකිනේ !
ප්‍ර බෝධමත් වීම ?.
ප්‍රීතිය ඇති කරන්න හේතුවක් නේ
ප්‍රීතිය ?
ආනන්ද හාමුදුරුවෝ ආයෙත් ප්‍රශ්න කරනවා.
ප්‍රීතිය නිසා සන්සිදීම ඇති වෙනවනේ ආනන්ද ය බුදුහාමුදුරුවෝ කියනවා.
සන්සිදීම කියන්නේ ?
ආනන්ද හාමුදුරුවෝ තවත් පැහැදිලි කරගැනීමේ අරමුනින් අහනවා.
ආනන්දය සන්සිදීමෙන්“ සැපය“ ඇත්වෙනවා නොවැ බුදුහාමුදුරුවෝ කියනවා
“සැපය“ නිසා “සිත එකග කිරීමට“ හේතුවෙනවා !.
තවත් පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ
“සිත එකග කිරීම “ තරුණ විදර්ශනාවට “ හේතු වන බවත්
එය ‘‘ බලවත් විදර්ශනාවට මාර්ගය ( නිබ්බදා විරාගං) පෙන්වන බව පවසන බුදුන් වහන්සේ
“නිබ්බදා විරාගං - විමුක්ති ඤාණ දස්සනතාය “ ( KNOWLEDGE AND VISION OF LIBERATION )
බලවත් විදර්ශනාව අරහත් ඵලය හා ප්‍රත්‍ය වේක්‍ෂා ඥාණය ප්‍රෙය්ජනය කොට ආනිශංස ලැබෙන බව ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා.
කලා වැව හිදෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා
ආයෙමත් හැදෙනවා
සිදුණු වැව් පතුලේ
කටු කොහොල් පෙනෙනවා
බිදුණ හිත් මඩලේ
සෝ සුසුම් දැනෙනවා.
පිරුණු වැව් ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ
පෙම් සුවද දැනෙනවා.
2026-06-06
ආපසු හැරෙන් !.
මීදුමත් අළුත් වෙන්න එපාය.
ඔන්න අද ඉදන් මගේ කතා විතරයි.
කතාවලට මාතෘකා නම් ඕන තරම් මතු වේවි.
බෙල්ල විතරක් තියෙද්දී ඔළුව නැති කර ගන්න වෙන කතා කියන්නත් වෙයි.
කමක් නැහැ.
ඔන්න ඔහේ ලියමු.
පහුගිය කාලෙම හිත එක තැනක තියා ගන්න බැරිව .
කියවලා වැදගත් යයි හිතුන කතා දැම්මා.
ඒවට ප්‍රතිචාර දක්වන්න සහෘදයෝ මනාප වෙලා තිබුනේ නෑ.
ඒත් ඇවිල්ලා බලලා ගිය කට්ටිය හිටියා.
මාසෙකට 10000 කට
ආසන්න පිරිසක් ආවා ගියා.
මේ ඕපාදූපත් එක්ක ආර වෙනස් කරලා බලමු.
දැන් කාලේ පොත්කියවන අය අඩුයි.
ටෙලියක් දෙකක් බලලා හවස් කාලේ ගෙවා දාන අයත් ඉන්නවා.
යාන්තම් “ දෙවෙනි ගමන“ ඉවර වුනා.
එයාලා හැමදාමත් 8.30 ට තිරය මත දිගඇරියත් , ප්‍රේක්ෂකයා දෙවෙනිගමන අත්හැරලා ගොඩක් කල්.
පහුගියි කාලේ ලස්සන ටෙලි කතා කිහිපයක් තිබුනා.
කූඹියෝ , කලපුවට ආපු දොස්තර …….පස්සේ මේ දවස් වල “ නටත් අයෙක් සුරා මතින් “ ආයෙත් රූපවාහිණි තිරය ලගට අපි අරන් ගිය කතා.
මාධ්‍ය ආයාතන හිතන්නේ සරුංගල් කතා වලින් ටෙලි කාලය පුරවපුව හරි කියලනම් ටෙලි විකාශණ වලටත් දෙයියන්ගේ පිහිටම තමයි.
හරි ටිකක් හර බර ඇතිව අපි හමුවෙමු.
නැත්නම් මීදුමටත් ටෙලියන්ට වෙච්ච සන්තෑසියම වෙයි.
2026-06-05
ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව.
"සම්බන්ධයක් තියෙනව.. එයා මගේ යාළුවනේ.. වෙන අමුතු සම්බන්ධයක් තියෙනවානම් මං ඒක ඔයාට තමයි මුලින්ම කියන්නේ කියලා ඔයා දන්නවනේ.."
"මට යාලුකම් තේරුම් ගන්න පුළුවනි. ඒත් මේ ගමේ ඉන්න සමහර එවුන්ට මේවා තේරෙන්නේ නෑ. මගෙන් ඇහුවා බඳින්න ඉන්න කෙල්ලද කියලා" තාත්‍තා දැන් ආපිට එහෙම කියලා හිනා වෙන්න ගත්තා. එතැනින් ඒ කතාව අහවර වුණා. ආයේ අපි කවදාවත්ම ඒ ගැන කතා කළේ නෑ. ආයේ ඒ කතාව ඇදිලා ආවේ, අවුරුදු ගානකට පස්සේයි.
"අර ගාල්ලේ ළමයා දැන් එන්නේ නෑ නේද?" තාත්තා හදිසි යමක් මතක් වුණා මගෙන් අහපුවාම වෙනදා වගේ මට හිනාවක් ගියේ නෑ.
"එයා කසාද බැන්දානේ තාත්තේ.." එතැනින් පස්සේ තාත්තා ඒක ගැන ඇහුවේ නෑ. අපි ඒ ගැන කතා කළේත් නෑ.
ඔය ගාල්ලේ ළමයා තමයි, මගේ ජීවිතයේ ඉඳපු හොඳම යාළුවා. ඉස්සර අපි පැය දෙක තුනක් දවසකට කතා කරනව. මනුස්සයෙක්ට තව මනුස්සයෙක් එක්ක එච්චර කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ කියලා අද හිතුනත් අපිට සෑහෙන්න ප්‍රශ්න ඒ දවස් වල තිබුණා.
ආක්ටික් වල පෝලර් බියර්ලා වඳ වෙච්ච එක ගැන, න්‍යෂ්ටික බෝම්බය හදන්න අයිස්ටයින් වගේ මනුස්සයෙක් වක්‍රව දායක වෙච්ච විදිය ගැන, මහත්මා ගාන්ධි ඇත්තටම අවිහිංසාවාදියෙක් ද, අඛණ්ඩ භාරතයක් වෙනුවෙන් ධර්මාශෝක ෆිලෝසොපි හරහා දේශපාලන බලය ව්‍යාප්ත කළේ කොහොමද, ඇත්තටම ලෝකයට මාක්ස්වාදය වැඩ කරයිද, නූතන ලිබරල් ප්‍රතිපත්ති වලින් ලෝකය දුවන විදිය ගැන, සාත්‍රේගේ සාංදෘෂ්ටිකවාදයට අනුව මිනිස් ජීවිතය ගොඩ නගන්නේ කොහොමද, මනෝ විශ්ලේෂණ වාදය එක්ක සම්බන්ධකම් වල නියම තත්ත්වය මොන වගේද, ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට අන්‍යයතා ගොඩ නගාගෙන ඉන්නේ කොහොමද, මිනිස්සු ආදරය කරනව කියලා කරන ලබ්බ ඇත්තක් ද, හදිසි මරණ පරීක්ෂණයකදි මනුස්සයෙක්ව විච්ඡේදනය කරලා රහස් හොයන්නේ කොහොමද,
වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න වගේම කතා කරන්න අපිට තිබුණා.
නිවාඩුවක් ලැබුණ හැටියේ එයා මෙහේ දුවගෙන ආව. මං එයාට අපි ජීවත් වෙන ලෝකය පෙන්නුවා. මං ගාල්ලට ගියාම එයා මට දකුණ කියන වෙනම රට පෙන්නුවා. මුහුදු වතුර එක්ක මුහුදු කෑම මං විඳ ගත්තා. මාටින් වික්‍රමසිංහ හොයාගෙන ගියා.
හොඳ අරක්කු වීදුරුවක රහ මොකක්ද කියලා අපි බැලුවා. අපි කෑ ගහලා කියපු සිංදු තිබුණා. අපි අත් අල්ලගෙන නටපු වෙලාවල් තිබුණා. අපි මහා හයියෙන් හිනා වෙච්ච තැන් ඕනෑවටත් වැඩියෙන් අපිට තිබුණා. රෑ පාන්දර වෙනකං හඳ එළිය යට බියර් වීදුරුවක් තොල ගාමින් අපිට නින්දක් නැතුව කතා කරන්න දේවල් තිබුණා.
මං දැන් අවුරුදු ගානකින් කතා කරලා නෑ. කතා කරනවා කියන්නේ මිනිස්සු එක්ක තියෙන සාමාන්‍යය සන්නිවේදනය නෙමෙයි. කතා කරනවා කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ! අපේ ආත්මය වෙන කෙනෙක් ! අපි අපේ ආත්මය එළියෙන් තියන්නේ තෝරාගත්තු ආත්මයක් ළඟදි විතරයි. ප්‍රහර්ෂයක් තියෙන, පිළිගන්න, විනිශ්චය නොකරන ආත්මයන් ළඟදි අපි අපිව එළියෙන් තියෙනව.
ඕනම මිනිහෙකුට තමන්ගේ ගුහාවෙන් එළියට ඒමේ උවමනාව තියෙනව. මිනිස්සු ඒකට විවිධ වූ විධික්‍රම පාවිච්චි කරනව. සමහර අය සෙක්ස් වලදි කරනව. සමහර අය ආදරේදි කරනව. සමහර අය රස්සාවේදි කරනව. සමහර අය විනෝදාංශ ඇතුළේ කරනව. ඒත් කවුරුත්ම තමන්ගේ ආත්මය පරිපූර්ණව ගුහාවෙන් එළියට ගන්නේ නෑ.
එහෙම අවස්ථාවක් ලැබෙන්නේ යාලුකමකදි විතරයි. ඒත් එවැනි යාළුකමක් තුළදීත් අල්පයක් වූ යාලුකමක් ගාවදි විතරක් ඒකට ඉඩ ලැබෙනව.
මං එදායින් පස්සේ කතා කලේම නෑ. මං දැන් කරන්නේ මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්නව විතරයි. මිනිස්සු එයාලගේ ආත්මයන් මගේ ඉස්සරහා තියලා යනව. මං ගුහාවේ ඉඳගෙන ඒ මිනිස්සුන්ගේ ආත්මයන් දිහා බලාගෙන ඉන්නව. මං මගේ ආත්මය එදායින් පස්සේ කොතැනකදීවත් එළියට දැම්මේ නෑ.
යාළුකම කියන්නේ බලාපොරොත්තුවකින් තොරව පරිත්‍යාගය මත සිද්ධ වෙන සමාජ බන්ධනයක් ! ආදරය කියන්නේ බලාපොරොත්තුව සහිතව ගොඩ නැගෙන දෙයක් ! ආදරයට වඩා යාලුකම හැම වෙලාවකම පරම පූජණීයයි කියලා මං හිතනව. මොකද හොඳ යාළුකම් මිස හොඳ ආදරයන් මට මුණ ගැහුණේ නෑ.
ගොඩක් වෙලාවට කෙල්ලෝ මට කිව්වේ, ඔයාව නැති වුණොත් මං ලේසියෙන් අත ඇරලා ඉන්නේ නෑ, මං ලෝකේ අනිත් පැත්ත හරවලා හරි ඔයාව ගන්නව කියලයි. ඒත් උන් මාව ලේසියෙන්ම අත ඇරලා දැම්මා.
ඒත් බලාපොරොත්තුවකින් තොරව ගොඩ නැගුණ හොඳ යාළුවෙක් මාව අල්ලා ගත්තේත් නෑ. මාව අතෑරියෙත් නෑ. මට නිදහසේ පවතින්න ඉඩ දුන්නා. මගේ ආත්මය ගුහාවෙන් එළියට ගත්‍තා.
ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව. මගේ ආත්මය ගුහාවෙන් එළියට අරගෙන පෙන්වන්න එකෙක්ව හොයනව.













.png)






