ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

2026-04-04

TBM දැවන්තයා




මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ (Upper Elahera Canal Project) භූගත උමඟ කැපීම සඳහා යොදාගත් අති දැවැන්ත TBM (Tunnel Boring Machine) යන්ත්‍රයයි. තව නොබෝ දිනකින් මෙහි වැඩ අවසන් වූ පසු මෙම යන්ත්‍රය සදහටම පොළොව තුළම අත්හැර දමනු ලැබේ. මේ ඒ කතාව.
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය ගෙන යාම සඳහා ඉදිවන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියට අයත් මෙම භූගත උමඟ කිලෝමීටර් 28ක් පමණ දිගින් යුක්ත වන අතර, එය සම්පූර්ණ වූ පසු ශ්‍රී ලංකාවේ දිගම උමඟ බවට පත්වනු ඇත.
මෙම කාර්යය සඳහා ගෙන්වන ලද TBM යන්ත්‍රය මීටර් සිය ගණනක් දිගු, ටොන් දහස් ගණනක් බරැති අති නවීන යන්ත්‍රයකි. එය ඉදිරියට ගමන් කරන අතරතුරම පස් සහ ගල් කපා ඉවත් කරනවා පමණක් නොව, උමඟ කඩා නොවැටෙන සේ කොන්ක්‍රීට් වළලු (Concrete segments) සවි කිරීමද සිදු කරයි.
උමඟක වැඩ අවසන් වූ පසු TBM යන්ත්‍රයක් පිටතට නොගෙන එහිම අතහැර දැමීම (Burying or Entombed) ලෝකය පුරාම උමං ඉංජිනේරු විද්‍යාවේ බහුලව සිදුවන දෙයකි.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි
1. අධික පිරිවැය
කිලෝමීටර් ගණනක් පොළොව යටට ගමන් කර ඇති ටොන් දහස් ගණනක් බරැති යන්ත්‍රයක් ආපසු හරවා ගැනීමක් කළ නොහැක. එය පිටතට ගැනීමට නම් එක්කෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ගලවා (Dismantle) උමඟ දිගේම පසුපසට ගෙන ආ යුතුය. නැතහොත් උමඟ අවසන් වන තැනින් පොළොව මතුපිට සිට යන්ත්‍රය ගැනීමට තරම් දැවැන්ත වළක් (Retrieval Shaft) කැපිය යුතුය. මේ සඳහා යන වියදම සහ කාලය අලුත් යන්ත්‍රයක් මිලදී ගන්නවාට වඩා විශාල විය හැකිය.
2. එක් ව්‍යාපෘතියකට පමණක් සීමා වීම
සෑම TBM යන්ත්‍රයක්ම නිෂ්පාදනය කරන්නේ අදාළ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට (Geological conditions) සහ උමඟේ විෂ්කම්භයට හරියටම ගැළපෙන පරිදිය. එබැවින් මෙම යන්ත්‍රය වෙනත් ප්‍රමාණයක උමඟක් කැපීමට හෝ වෙනත් රටක පස් සහිත භූමියකට නැවත භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ.
3. තාක්ෂණික යල් පැනීම
මෙවැනි ව්‍යාපෘතියක් අවසන් වීමට වසර ගණනාවක් ගතවන අතර, ඒ කාලය තුළ යන්ත්‍රය දැඩි ලෙස ගෙවී යාමට ලක්වන අතරම නව තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර වෙළඳපොළට පැමිණේ.
ඇත්තටම පොළොව යට වළලන්නේ මොනවාද?
මෙය සම්පූර්ණ යන්ත්‍රයම එලෙසම අතහැර දැමීමක් නොවේ. මෙය ඉතා සැලසුම් සහගතව සිදුවන පියවරකි.
1. වටිනා කොටස් ඉවත් කරගැනීම
ව්‍යාපෘතිය අවසානයේදී ඉංජිනේරුවන් විසින් යන්ත්‍රය ඇතුළත ඇති සියලුම වටිනා කොටස් ඉවත් කරගනු ලබයි. මෙයට දැවැන්ත විදුලි මෝටර්, හයිඩ්‍රොලික් පද්ධති, ඉලෙක්ට්‍රොනික් උපාංග, පරිගණක පද්ධති සහ යන්ත්‍රය පසුපසින් ඇදගෙන යන මැදිරි (Trailing gear) අයත් වේ.
2. යකඩ කවචය කොන්ක්‍රීට් කිරීම
අවසානයේ ඉතිරි වන්නේ යන්ත්‍රයේ පිටත ඇති අති දැවැන්ත යකඩ කවචය (Outer Shield) සහ ඉදිරිපස ඇති කැපුම් තැටිය (Cutterhead) පමණි. මෙය උමඟේ අවසන් කෙළවරේ හෝ ඒ සඳහාම හාරන ලද පැති කුටීරයක (Side cavity) රඳවා, හිස් අවකාශය කොන්ක්‍රීට් කර සදහටම වසා දමනු ලැබේ.
තව නොබෝ දිනකින් සිංහ කොඩිය සහිත එම ඉදිරිපස දැවැන්ත කැපුම් මුහුණත, ව්‍යාපෘතිය අවසානයේදී අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කළ සේවයේ නිහඬ සාක්ෂියක් ලෙස සදහටම ශ්‍රී ලංකා පොළොව යට කොන්ක්‍රීට් වලින් වැසී මිහිදන් වනු ඇත.
සටහන - Deshika Jayantha
A day in the life ජීවිතයෙන් දවසක් .

2026-02-15

වෙල් එලිය .




මන්මද දසුන් සපිරුනු ගම්පියස තුල
හෙල්මලු රටාවෙන් සරසා නියර පෙල
විහිදා ගොයම් කෙහෙරැල් නෙතු මවිත කල
සුරවමියක් වැනිය ගම්මානයට වෙල
මොලකැටි ගොයම මත ජීවය නගන මෙනේ
මදනල පවා සීතල දියබිදිති ගෙනේ
ඇදවී දිගහැරී දිවයන නියර කොනේ
කලුගල් කැදලි මුරකරුවන් ලෙසින් පෙනේ
ගම්මානයේ ඉම නිල් පාටින් ඇන්ද
බෑවුම් තැනිතලාවන් සපිරුණු කන්ද
වෙල දෙස නෙතයොමා සුදුපැහැයෙන් බැන්ද
දිය ඇලි සේල දෙස නොබලා පුලුවන්ද
සැඩහිරු නැගී එනවිට මිහිතලය දවා
විහිදා අතුපතර උස් තුරු පොකුරු පවා
කරමින් හැකි විලස සැඩ හිරුකිරණ මුවා
සනසයි ලියදිපෙල සිය සෙවනතෙහි හොවා
රුවක් පෙනී හෝ නොපෙනී නොයෙක් රැහේ
සතෙක් යමක් පවසන බව නිතර ඇහේ
ගමක් කොතෙක් හැඩවුව එහිඉඩක කොහේ
වෙලක් නොමැති නම් එය පිරිමැසිය නොහේ




ලියුවේ

Suranga Bandara

රුව - Dinuka Deshapriya

A day in the life

2026-01-23

සීතලයි නේද ?.




මේ දවස් වල සීතලයි නේද ?.
මම හිතා ගෙන ඉන්නේ දුරුත්තේ සීතල කියලා. කොහොමත් අපිට ( මධ්‍යම කදුකරයට ) දුරුතු මාසේ සීතලයි.
සීතල දුරුත්ත ගැන නොයෙක් නිර්මාණ පවා තියෙනවා නේ.

අපිට අප්රේල් මුල බක් මහ වැස්ස ලැබෙන කම් වහින්නේ නැහැ.
අප්රේල් ඉර ලගින් ගමන් ගන්න පටන් ගන්න නිසා දැඩි රස්නයක් විදින්න පුලුවන් වෙනවා.
මේ අවුරුද්ද ගැන කාලගුණ අනාවැකි පලවෙන්නේ වෙනත් මානයකින්.
ඇෆීලියන් (Aphelion) ලෙසින් හදුන්වන ග්‍රහයෙක් සූර්යා වටා ගමන් කරන විශේෂ සංසිද්ධියක් දැන් ආරම්භ වෙලා තියෙනවා.
සූර්යාගෙන් ඉතා දුරින් පිහිටියත් මෙම චාරිකාවේ බලපෑම් අපිට දැනෙන්න පටන් අරන්.
අගෝස්තු මාසය දක්ව මේ දේශගුණික වෙනස පැවතේයැයි අනාවැකි පලකරනවා.

අපිට සීතල දැනෙන්න පටන් අරන් තියෙන්නේ මේ නිසා නම් අගෝස්තු වෙනකම් ශිතල දේශගුණයක් අත් විදින්නට හැකි වෙනවා.
පෘතුවියත් සූර්යාත් අතර දුර ආලෝක මිනිත්තු පහක්. කිලෝමීටර් වලින් කිව්වොත් කිමි කෝටි නවයක්.
ඇෆිලියන් ගේ මැදිහත්වීම තුල මෙම දුරු කිලෝමීටර් 15.2 දක්වා වැඩිවෙනවා. ප්‍රතිශතයක් ලෙස 66% කට වැඩි දුරක්.
මේ හේතුවෙන් වායු ගෝලය තවත් සීතල වෙනවා.
සීතලට හැදෙන රෝගාබාධ අපිව සොයා ඒවි.
වගාවන්ගේ අස්වැන්නටත් බලපෑම් ඇති වේවි.

මේ කතාව තවත් විමසා බැලුවා. 
මෙය ව්‍යාජ තොරතුරක් කියලා මතයක් පලවෙලා තියෙනවා.
දකුණු අප්‍රිකාවේ වාර්තාවක මෙසේ සදහන් වනවා.


APHELION සංසිද්ධිය

අගෝස්තු දක්වා පවතිනු ඇතැයි කියනු ලබන “APHELION සංසිද්ධිය” හේතුවෙන් දකුණු අප්‍රිකාව රට පුරා සීතල කාලගුණයක් අත්විඳිනු ඇතැයි ව්‍යාජ ලෙස පවසමින් ප්‍රෝඩාකාරී කාලගුණ පණිවිඩයක් පැතිර යමින් පවතිනවා..
කාලගුණ විද්‍යාඥ ඇනට් බෝතා පවසන්නේ
"පෘථිවියේ APHELION -
එය සූර්යයාගෙන් වඩාත්ම දුරින් පිහිටි විට එහි කක්ෂයේ ලක්ෂ්‍යය - 2025 ජූලි 3 වන දින ප.ව. 3:54 ට (SA වේලාවෙන්) සිදුවනු ඇත. පෘථිවිය APHELION හි සූර්යයාගෙන් තරමක් දුරින් පිහිටා ඇති බව සත්‍ය වුවද, එය උෂ්ණත්වයේ හදිසි හෝ දැඩි පහත වැටීමක් ඇති නොකරයි. සෘතු මෙහෙයවනු ලබන්නේ පෘථිවියේ අක්ෂයේ ඇලවීමෙනි, සූර්යයාගෙන් ඇති දුර නොවේ."


A day in the life

2025-12-19

ලොව භයානකම ජලාශය .




වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ උස මීටර් 15 ක් සහ පළල මීටර 14 බැගින් වන සහ එක් වාන්දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත උස මීටර් 87ක් දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්රදේශයකින් සමන්විත මෙම ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේදීය .

කොත්මලා ඔය මහවැලි ගඟට එක්වීමට කිලෝමීටර් 6.6 කට පෙර තිස්පනේ සහ කඩදොර කඳු වැටි දෙක මැදින් මෙම වේල්ල ඉදිකොට සාදන ලද මෙම “ලොව භයානකම” ජලාශය ශ්රී ලංකාවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්යාපෘතිය යටතේ ඉදිකළ පළමුවන ව්යාපෘතිය වන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයයි.
මෙම ජලාශයේ ඉදිකිරීමේ ප්රධාන අරමුණවූයේ ජල විදුලිය නිපදවීමයි. ඊට අමතරව ගම්පොළ ප්රදේශයේ ගංවතුර පාලනය කිරීමද මෙහි එක් අරමුණක් විය.
නමුත් මෙය ඉදිකර වසර හතළිහකට පසු එය ලොව ඉදිකළ භයානකම ජලාශය බවට අදාල බලධාරීන් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට පවසන ප්රකාශයෙන් තහවුරු වේ.
ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී පැය 24 පුරාවට සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් ජලාශයේ රඳවා ගන්නා ජලය ප්රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිය යුතුවේ. එසේම ගං වතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන් ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ අවධානීය යුතුකමක් පවතී.

නමුත් පසුගිය නොවැම්බර් මස 27 වන දින සවස හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා අති විශාල ජල ප්රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොල ප්රදේශයට “මිරිදිය සුනාමියක්” (freshwater tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවිය.එකවරම පැමිණි මීටර් දහයක් පමණ උස ජල කඳක් හේතුවෙන් ජීවිත බේරා ගැනීමට ළඟපාත නිවාස වල ඉහළම තිබූ තුන්වෙනි තට්ටුවලට පවා ගිය පිරිස් යට කරගෙන ජල කඳ ගලා ගියේ ඔවුන්ගේ ජීවිතත් ප්රකෝටි ගණන් දේපලත් ඒ සමග රැගෙන යමිනි.මෙය කිසිසේන ස්වභාවික විපතක් සැලකිය යුතු නොවේ. ගං වතුර පාලනය කිරීමත් අරමුණු කර කරගත් කොත්මලේ ජලාශයෙන් මේ තරම් විනාශයක් සිදුවූයේ කෙසේද ?

ජනාධිපතිවරයාගේ විමසීමට පිළිතුරු දුන් අදාල ජලාශය භාර නිලධාරින් ඉතා සැහැල්ලුවෙන් ප්රකාශ කළේ විශාල ජල කඳක් එකවර පැමිණි නිසා වේල්ල බේරාගැනීමේ අදහසින් තමන් ක්ෂණිකව වාන් දොරටු විවෘත කළ බවයි. එම වාන් දොරටු විවෘත කිරීම තුළ අති විශාල ජල ප්රමාණයක් එකවර මුදාහැරීම නිසා පහත ප්රදේශවල ක්ෂණික අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා මිනිස් ජීවිත සහ දේපළ විනාශ වන බව හොඳාකාරව දනිමින් මෙලෙස වාන් දොරටු හැර දැමීම ඔවුන් සිදුකර ඇත.

එම නිලධාරියා ප්රකාශ කරන පරිදි නොවැම්බර් මස 27වන දිනන රාත්රියේ ඔවුන් ක්ෂණිකව ජලය මුදා හැර ඇත්තේ කිසිදු පූර්ව දැනුම් දීමක් සහ ජලයට යට විය හැකි ප්රදේශවල පුද්ගලයන් ඉවත් කිරීමකින් තොරවයි.ජලය මුදා හැරීමට පෙර එදින සයිරන් සංඥා නාදයක් ලබාදීමද සිදුකර නොමැත. විශාල ජල ප්රමාණයක් එකවර මුදාහැර ඉන්පසු වාන් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත.නැවත පසුදා සුළු වෙලාවකට වාන්දොරටු විවෘත කිරීමේදී ඊට විනාඩි දහයකට පෙර සයුරන් නලාව නාද කළ බවත් එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම “ වැනි කටයුතු වල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත් එය ඔවුන්ගේ උපදේශන අත්පොත් වල ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්රකාශ කරයි. නමුත් පෙර දින රාත්රියේ වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබූ එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බයට පත්ව හිස් ලු ලූ දිව යන ලදී.

ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය භාගෙකට පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද ? යන්නයි.
මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්රකාශ කරයි.
මේක තමා ඉතාම භයානක තත්වය.
මේක තමයි මේ වේල්ල ලොව භයානක තම ජලාශ වේල්ල බවට පත්වීමට හේතුව.

මේ අනුව ඉදිරියේදීත් මෙවන් තත්ත්වයක් ඇතිවන සෑම විටකදීම අනිවාර්යයෙන්ම ගම්පොළ ප්රදේශයේ ජීවිත සහ දේපොළ අති විශාල ප්රමාණයක් හානිවීමත් එතනින් පහළ මහවැලි ගඟ ආශ්රිතව අධිගංවතුර තත්ත්වයක් ඇතිවීමත් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත. විනාඩි දහයකින් පුද්ගලයන්ට තමන් ඉන්න තැනින් ආරක්ෂිත ස්ථානයකට යෑමට නම්” එර්දියෙන් “ ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය.
තත්ත්වය එසේ නම් මෙම ජලාශය මෙගාවොට් 201 ක ජල විදුලියක් නිපදවුවද එමගින් සිදු විය හැකි ජීවිත සහ දේපළ හානි සලකා බැලූ විට මේ “භයානක ජලාශය” වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත
නමුත් මේ නිලධාරින් පවසන්නේ ඇත්තද ?

ඔහු පවසන පරිදි නොවැම්බර් 27 වැනි දින තත්පරයට ඝන මීටර් 2720 ක වේගයෙන් ලැබුණ බව ගණනය කළ හැකිව තිබුණා නම් ආසන්න වශයෙන් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පහසුවෙන්ම ගණනය කළ හැකිව තිබුණි.උදාහරණයක් ලෙස වර්ෂාව පටන්ගෙන ජලාශයට ජලය ලැබෙන විට ජලාශයෙන් 85% ක් පිරී තිබුණේ නම් ඉහත සඳහන් වේගයෙන් ජලාශයට ජලය එකතු වී පිටාර මට්ටමට පැමිණීමට නම් ජල විදුලිය සඳහා ජලය මුදා හැරීමක් හෝ වාන් දොරටු වලින් ජලය මුදා හැරීමක් හෝ සිදු නොකර ඇති විට ඒ සඳහා ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 40 ක් ගතවේ. එසේම ජලය මීටරයක් උසට පිරීම සඳහා විනාඩි 40 ක් ගතවේ. එක් වාන් දොරටුවක් 25% විවෘත කර ඇති විට මේ සඳහා ආසන්න වශයෙන් පැය 3යි විනාඩි 15ක් ගතවන අතර වාන් දොරටු දෙකක් 25% බැගින් විවෘත කර ඇති විට ඒ සඳහා පැය 4 ක් ද වාන් දොරටු තුනක් 25% බැගින් විවෘත කොට තැබුවේ නම් ඒ සඳහා පැය 5යි විනාඩි 30ක් ගත වනු ඇත.

එසේ නම් මෙම ඉංජිනේරුවන්ට පූර්වයෙන් මෙම තත්ත්වය ගණනය කර ගත නොහැකි වූයේ ඇයි ? එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නොසලකිල්ල නිසා වූවක් නොවේද ? ජලාශයේ ජලය වාන් මට්ටමට ළඟා වූ විට දුවගෙන ගොස් වාන් දොරටු සියල්ල විවෘත කොට දමා” මිරිදිය සුනාමි” තත්ත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම .ස්වභාවික ක්රියාවක් නොව පුද්ගල ක්රියාවක් බව ඉතා පැහැදිලිය.ජලය මුදා හැරීම පියවර වශයෙන් සිදුකළ බවට ඔහු කළ ප්රකාශය සත්යයක් බව විශ්වාස කළ නොහැක

ගම්පොළ ප්රදේශයේ පුද්ගලයන් ප්රකාශ කරන්නේ එකවර අති විශාල වතුර කඳක් පැමිණි බවයි. පියවරෙන් පියවර ජලය මුදා හැරී නම් එලෙස සිදුවිය නොහැක වේල්ල නොතිබුනෙ නම් ඔහු කියන පරිදි කොත්මලා ඔයට ලැබෙන්නේ තත්පරයට ඝණ මීටර් 2720 ක ජල ප්රමාණය ඒ ආකාරයටම මහවැලි ගඟට එකතු වුවත් මෙතරම් විනාශයක් සිදු නොවේ.එහිදී සිදුවන්නේ ගංවතුර මට්ටම කෙමෙන් ඉහළ යාමක් මිස එකවරම මීටර් දහයක විතර උස ජල කඳක් කඩා වැටීම නොවේ.එම නිසා එවන් ගංවතුරකදී පුද්ගලයන්ට ජීවිත හානි අවම කරන ගනිමින් එම ප්රදේශ වලින් ඉවත් වීමේ හැකියාව ලැබේ.

වර්ෂාව අධිකව ලැබෙන විට සහ ඉදිරියේදීත් විශාල වර්ෂාවක් ලැබෙන බවට සියලු කාලු ගුණික වාර්තාලින් තහවුරු වී තිබියදී ජලාශය පිරෙනතුරු බලා නොසිට එම තත්ත්වය පූර්වේක්ෂණය කොට ජලාශ වාන් දොරටු පූර්වයෙන් ක්රමිකව විවෘත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.ගං වතුර පාලනය කරන්නේ එලෙසයි.නමුත් එම වගකීම ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය.
විදුලි බලය අතිරික්තයක් පවතින බැවින් මෙම ජලාශයේ ජලය පහළ මට්ටමක පවත්වාගෙන යාම කිසිසේත් විදුලි බලය නිෂ්පාදනයට බලපෑමක් සිදු නොවේ.එම නිසා එම පූර්වයෙන් ප්රමාණවත්ව ජලය හිස් කිරීම සිදු නොකිරීම සඳහා නිදහසට කරුණක් නොවේ. ප්රමාණවත් කාලයක් තිබූ බැවින් පියවර වශයෙන් ටිකෙන් ටික ජලය මුදා හැරීමටත්, ඒ අනුව යටවිය හැකි ප්රදේශ නිර්ණය කොට ඒ ප්රදේශ වලින් පුද්ගලයන් ඉවත් කිරීමට ක්ෂණිකව කටයුතු කළ යුතුව තිබිණි.එසේ නොකොට මිනිස් ජීවිත නැතිවෙන බව පැහැදිලිවම දැන දැනම ජලය මුදා හැරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්රහයේ 293 සමග කියවිය යුතු 294 (ඈ) වගන්තිය පරිදි මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක .

293 වගන්තියේ දැක්වෙන්නේ
තමන් කරන යම් ක්රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්ය මනුෂ්ය ඝාතනය නම් වරද සිදුකරන බවයි.
එසේම 294(ඈ) වගන්තියේ දැක්වෙන්නේ අන්තරාය කොපමණ ආසන්නද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය විය හැකි ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්රියාව සිදු කරන්නා දැනගෙන සිටින විට
එම ක්රියාවෙන් හෝ නොකර හැරීමෙන් සිදුවන මරණයක් මිනීමැරුමක් බවට පත්වන බවයි.

2005 වසරේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයට දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථයක් ඇතුළු කිරීම නිසා දුම්රිය බස් රථේ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අධිකරණය මගින් මරණ දඬුවම නියම කළේ මෙම වගන්ති මගිනි. එම රියදුරාගේ සහ කොන්දොස්තරගේ ක්රියාවත් කොත්මලේ ජලාශයේ වාන් දොරටු වර්ෂාව පටන් ගැනීමත් සමග ක්රමයෙන් විවෘත නොකිරීමත් ජලයෙන් යටවිය හැකි ප්රදේශවල ජනතාව ඊට ප්රථම ඉවත් කිරීමට කටයුතු නොකර සිටීමත් මිනිසුන් මිය යන බව දැන දැනම ජලාශයේ වාන් දොරටු එකවර විවෘත කිරීමත් මගින් මෙම ජලාශයේ පාලන කටයුතු භාරව සිටි පුද්ගලයන් සිදුකළ ක්රියාවත් බොහෝ දුරට සමාන බව දක්නට ලැබේ. .
වෛද්ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ.
2025.12.11

ප්‍රතිචාරය - 

පට්ට කෙබර ලියලා තියෙන්නේ. මේ ඉංජිනේරු සංකල්ප නොතේරෙන පුද්ගලයා පූර්ව වැරදි නිගමන ගොඩක ඉදන් මේ ලිපිය ලියලා තියෙන්නේ . 
1. ආපදා මුලුමනින්ම පාලනයට මිනිසාට හැකි බව ( මෙය ඉතා වැරදි උපකල්පනයක්) . 2. අධික ගංවතුර මුලුමනින්ම පාලනයට මිනිසාට හැකි බව ( මෙය ඉතා වැරදි උපකල්පනයක්). 3. කිසිදා Dam කඩාගෙන නොයන බව (,සදාතනික ඉදිකිරීම් ) . 4. ගංඉවුරුවල හා පහත්බිම්වල අනවසර පදිංචිවීම මේම බැමි වලින් ආරක්ශා කලයුතු බව. 

මේ හදිසි ( Cyclone) ගංවතුර වැවේ capacity එක වගේ 5 ගුනයක් විතර වතුර අරන් ඇවිත් තියෙනවා. ගේට්ටු control කරලා නෙවෙයි, සම්පූර්ණයෙන් ඇරලා තිබ්බත් ඒ ආපදාව පාලනය කරන්න , වැවේ ධාරිතාව මදි. ඒ වගේ ගංවතුර ආවම ලෝකෙ පුරාම කරන්නෙ Dam එක බේරගන්න උපරීම ( සමහරවිට adverse ම weather උනොත් Dam කඩාගෙන ගිහින් තියෙනවා ලෝකෙ දියුනුම රටවලත් ) උත්සාහ කරන එක. එහෙම නොවුනොත් අනතුර ඊට වඩා බරපතළයි. 
ඔය ගෙදර වතුර ටැංකියේ වතුර tap වහලා control කරනවා වගේ disasters වලදි, වතුර පාලනය කරන්න බෑ. ඒ වගේම ජලවිද්‍යාවෙදි උගන්වනවා ( 50 years / 100 Years / 200 years / 500 years flood ගැන. අවුරුදු 200/ 500 දත්ත නැති නිසා බොහෝදුරට මේ 200/ 500 years flood එකක්. Dam එක බේරලා ගම්මාන washout වෙන්න නොදීම ගැන ඔවුන්ට ස්තුති කල යුතුයි. 

මොරගහකන්ද Dam එක ගාව පාර කට හේදුවා වගේ හේදිලා ගියා. ගම්පොල පාලමටත් ඒකම වෙනවා කොත්මලේ ඉංජිනේරුවො හිටියෙ නැත්නම්. ඒ වගේම ඔය ගේට්ටු අරින්න කලින් emergency evacuation වලට notice කරනවා. 
ගම්පොළ police යට , AG office, Schools, University ඔක්කොටම notice කරලා. මෙතැන අවුල, රටේ දොස්තරලා , නීතිඥයෝ , දේශපාලකයො , ඇතුලු ලංකාවෙ බහුතර පුරවැසියන්ට, පවා පූර්ව ආපදා අනතුරු ඇගවිම් නොතේරෙනකම. මේ notice legally issue කරලා තිබුනා.

- Indika Devaan 


A day in the life

2025-12-13

මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද ?



මහවැලි ජලාශ පසුගිය ස්වභාවික ව්‍යසනයට හේතු වුණා යැයි අද උත්තරීතර තැනක බුද්ධිමත් කතාවක් ඇසුණා..
ඒ කතාව අසාදෝ ,
මහවැලි ජලාශ හරහා මෙරට විදුලිබල පද්ධතියට එක්කල වෙනස හිතවතෙක් එවා තිබුණා..
එය පහතින් දැක්වෙනවා....
" ඉහළ කොත්මලේ ජලාශය කොත්මලේ ඔය හරස්කරල ඉදිකරන්නෙ මේ ජලාශයෙ ධාරිතාවය 0.8MCM (කියුබික් මීටර් මිලියන්)කුඩා ජලාශයක් මේ ජලාශයෙන් ඉහළ කොත්මලේ බලාගාරයට ජලය රැගෙන ගොස් 150 MW කිුයා කරනව.
ඒ පිටවන ජලය 172MCM ධාරිතාව ඇති කොත්මලේ ජලාශයට ගේනව එතනින් 201MW බලාගාරයක් ඉදිකරල තියෙනව.ජලයේ කොටසක් මොරගොල්ල ජලාශයට ඇවිත් 27MW බලාගාරයක් කිුයා කරනව.
මේ ජලය නුවර පොල්ගොල්ලට ගේනව පොල්ගොල්ල 1.2MCM .
පොල්ගොල්ලෙන් ජලය කොටසක් උමගක් දිගේ උකුවෙලට අරන් යනව 38MW බලාගාරයකට.
ඉතිරි ජලය මහවැලි ගග දිගේ වික්ටෝරියාවට අරන් යනව වික්ටෝරියා ජල ධාරිතාවය 721MCM.වික්ටෝරියා වලින් 210 MW නිපදවලා රන්දෙනිගලට (875MCM).ජලය රැගෙන යනව..
රන්දෙනිගලින් 126MW බලාගාරයක් හරහා රන්ටැබේට ජලය අරන් යනව.රන්ටැබේ ජල ධාරිතාවය 21MCM සහ බලාගාරය 49MW.රන්දෙනිගල සහ රන්ටැබේ අතරට උමා ඔය සම්බන්ධ වෙනව.. 150MW බලාගාරයක් උමා ඔයට අයත්.
මහවැලි ජලයත් උමා ඔයේ ජලයත් කොත්මලා ඔයේ ජලයත් රන්ටැබේට එකතු වෙනව.රන්ටැබෙන් පිටවන ජලය දකුණට සහ වමට බෙදෙනව.
දකුණු ඉවුරැ මගින් උල්හිටිය(146MCM),රත්කිද(467MCM) සහ මාදුරැ ඔය(596MCM) ජලාශ වලට ජලය බෙදනව කෘෂිකර්මාන්තයට.වම් ඉවුර මිනිපෙ ඇල මගින් ජලය අරන් යනව.
පොල්ගොල්ලෙන් 8km දිගැති උමගක් හරහා ගිය ජල කොටස සුදුගග හරස් කර නිර්මාණය කරපු බෝවතැන්න ජලාශයට එකතු වෙනව(49.9MCM).
ඒ වගේම බෝවතැන්නෙන් 40 MW බලාගාරයක් කිුයා කරනව.බෝවතැන්නෙන් පිටවන ජලය කොටසක් පරාකුම සමුදුයට යනව.
ඒ වැඩි ජලය නැවත අබන් ගගට එකතු වෙනව.තවත් ජල කොටසක් මහවැලි ගගට මුදා හැරෙනව.
මේ විදියට අංගම්මැඩිල්ලෙන් තමයි බෙදෙන්නෙ.රන්ටැබෙන් පිටවුන ජලය වම් ඉවුර සහ දකුණු ඉවුරට බෙදිල ඉතිරි කොටස මහවැලියට නැවත එක්වෙනව.
බෝවතැන්නෙන් පිටවුන ජලයෙන් තවත් කොටසක් ගිරිතලේ වැවටත් මින්නේරියටත් එනව.ගිරිතලෙන් වැඩි ජලය කවුඩුල්ලට සහ කන්තලේට බෙදනව.
මීට අමතරව බෝවතැන්නෙන් තවත් ජල කොටසක් සහ දඹුලු ඔය ජලයෙන් කලාවැව පෝෂණය වෙනව.
ඒ වගේම කොටසක් කන්ඩලමටටත් යනව(33.3MCM).කලාවැව සහ බලලු වැව (123MCM)වැව් යුගලක් ලෙස එකට පවතින්නෙ.
කලාවැවේ ජලය යෝධ ඇල නැත්නම් ජය ගග හරහා තිසා වැවට(4.3MCM) ජලය රැගෙන යනව.කලාවැවේ ජලයෙන් කොටසක් සහ සියඹලන්ගමුව(27MCM) වැවේ ජලයෙන් රාජාංගන ජලාශය(100MCM) පෝෂණය වෙනව.
කලාවැවෙන් නාච්චිදුවට (55.7MCM)සහ නුවරවැවටත් ජලය ලැබෙනව.බෝවතැන්නෙ ජලයෙන් කොටසක් යාන් ඔය හරස් කරපු හුරැලු වැවට (67.8MCM)වැටෙනව.බෝවතැන්නෙන් ජලය කොටසක් 4.8 km දිග උමගක් (tunnel )හරහා මොරගහකන්ද ජලාශයට රැගෙන යනව."
උපුටා ගැනීම අවසන්..
මෙයට අමතරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිවිශාල බිම් ප්‍රමාණයක් වගා කිරීම හරහා සිදුවූ වෙනස ,
මෙරට වෙනමම උප සංස්කෘතියක් බිහිකිරීමට තරම් ප්‍රබල වුණා..
ඒ මහවැලි ජනපද හරහායි...
ඉතින් මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද මේ රටට සම්පතක්ද...?


A day in the life

2025-12-11

යකඩ මරං .





යකඩමරං වලට අපි කිව්වේ මරං කියලා. මරංගහවෙල ,මරංගොඩ අපේ පැත්තේ තියෙන ගම්මාන.
මේ පැත්තේ නිසරු බෑවුම් පතන් ලදු කැලෑ මීට අවුරුදු සීයයකට වගේ පෙර වැහිලා තිබුනේ මරං ගස් වලින්.
ජනගහණය ව්‍යාප්ත වීමත් එක්ක මේ බිම් ජනාවාස වුනා .මරං ශාඛය ටිකින් ටික පර්සරයෙන් සමුගත්තා.
ඊට අමතරව බෑවුම් සහිත කදු අක්කර දහස් ගනනක් පයිනස් යුකැලිප්ටස් වගෙ විදේශීය ශාක වලින් වැහුනා.

මහින්ද කුමාර දළුපොත මහත්තයා ගේ නිරීක්‍ෂණ එතුමාගේ වචනයෙන් මෙහෙමයි..

“යකඩමරං කෝටු නිත්තෙන්ම ගත්තේ, යපස් උණුකිරීමටයි. සබරගමු යපස් උණුකිරීමේ මූලික ඉන්ධනය .ඒ වගේම කඳුකරයේ පස් හෝදාපාළු වළකා ගත්ත ප්‍රමුඛ ශාක විශෙශ්ෂයක් තමයි , යකඩමරං ගස් . ඕනැම කන්දක ඕනැම පාංශුව්‍යුහයක් යටතේ ස්වාභාවිකව සාරෙට වැවෙන යකඩමරං ගස් ,අපේ මුතුන්මිත්තන් නිකං නිරපරාදේ කපන්නට දුන්නේ නැ ඒක තහංචියක් .

දියඌලවල් බහුල කඳුවල පස් තට්ටු පහළට රූටනවා නම්, ඒ තැන්වල යකඩමරං ගස් හිටුවීමෙන් පස රැකගත්තේ .

ඒ වගේම අව්වට ,තද වැස්සට වගේම හුළංමාරාවට හොඳින් ඔරොත්තු දීමේ ගුණය යකඩමරං ගස් සතුයි . ඉබේ බෝවෙනවා .ආයේ අමුතු රැකුම් බැලුම් ඕනේ නෑ . යකඩමරං ගස් දරට ගන්න බෑ . ඒවා ගත්තොත් මැටි මුට්ටි පැලෙනවා එච්චර දැඩි ගින්දරක් තියෙන්නේ .

යකඩමරං ගස් හා සබැඳි උරුමයන් යළි යළිත් හඳුනාගනිමින් ඒවා භාවිතයට ගත යුතු බවයි මේ සුළිකුණාටුව අපට මතක් කරලා දෙන්නේ .යකඩමරං ගස් වගේම මුල් මණ්ඩලය හරිම සවිමත් .

යකඩමරං ගස් වතු වගාවත් සමඟ විනාශ කරලා දැම්මා . දැන්වත් නායේ යන තැන්වල කඳුමුදුනේ අතරේ යකඩමරං ගස් හිටුවීමෙන් අනාගත උවදුරු වළකා ගත්ත පුළුවන් .

හැබැයි අපේ වනරක්ෂණය මනාප නැ දේශීය හා අපට ආවේණික ශාක හිටුවන්න..

ෆයිනස්, යුකැලිප්ටස්, හා අපේ කඳුකරයට නොගැලපෙන ශාක වවලා ඊගාවට එන නායේයෑමට නම් උත්තර නැ රජෝ.

A day in the life

2025-12-04

කුණාටුවේ විද්‍යාව



බෙංගාල බොක්ක කියන්නේ ලෝකේ ලොකුම මුහුදු බොක්ක. ලෝකේ තුන් වෙනියට ලොකුම බොක්ක තමයි මේ ගල්ග් ඔෆ් මෙක්සිකෝ (දැන් ගල්ෆ් ඔෆ් ඇමරිකා). මේ දෙකම කුණාටු ක්‍රියාකාරිත්වය ඉහළ තැන් දෙකක්. මේ දෙකම තියෙන්නෙ උතුරු අර්ධ ගෝලයේ.
මේ දෙතැනම හැදෙන කුණාටුවල පොදු ලක්ෂණයක් තියෙනවා. 
උත්තර අර්ධ ගෝලයේ සියළු කුණාටු කැරකෙන්නේ වාමාවර්තව. ඒවා ගමන් කරන්නේ ලෝක සිතියමේ පහළ සිට ඉහළට C අකුරේ හැඩය ගත් වක්‍රයක. කුණාටුවක ලෙවල් තුනයි; අවපාතය (D), කුණාටුව (S), හරිකේන් (H). අපිට කාලෙකින් ආව කුණාටුව මේක වුනාට; ඔය ගල්ෆ් බොක්කෙ තියෙන ෆ්ලොරිඩා, හූස්ටන්, නිව් ඔර්ලන්ස් වගේ ප්‍රදේශවලට හරිකේන් මට්ටමේ කුණාටු අවුරුද්දකට දෙක තුනක් එනවා. 
හරිකේන් එකක වැස්සට වඩා හුළගෙන් වෙන හානිය වැඩියි. කුණාටුව ගොඩ බිමට ආව ගමන් ශක්තිය හීන වෙනවා. කුණාටුව ජවය ලබන්නේ උෂ්ණත්වයෙන් වැඩි මුහුදු ජලය මතින් ගමන් කරද්දී. කුණාටුව බිහි වෙන්නේ මුහුදේ උෂ්ණත්වය අවට ගොඩ බිමට සාපේක්ෂව වැඩිවීම නිසා හටගන්නා වායු ධාරවලින්. 
සෘතු බේදය නිසා උත්තර අර්ධ ගෝලයට එහෙම උෂ්ණත්ව වෙනස ඇතිවෙන්නේ වසරේ අවසන් මාස කිහිපයෙයි. ඒ කියන්නේ හැම වසරෙම මේ කාලේ කුණාටුවක් බලාපොරොත්තු විය හැකියි.
 
හැබැයි ඉතින් කුණාටුවක් හටගෙන ඔය පෙන්වන වක්‍රයේ යන්න දින කිහිපයක් ගතවෙන නිසා ඉවත්වෙන්න ඕන තරම් කල් තියෙනවා. අනික හුඟක් කුණාටු මුහුදෙ හටගෙන මුහුදෙම වියැකිලා යනවා. ඒත් එකම ප්‍රන්තෙට එකම අවුරුද්දේ කුණාටු දෙක තුන වැදිච්ච අවාසනාවන්ත කාලත් තියෙනවා. ඔය ලංකාවේ වැදුන දිත්වා කුණාටුවත් එහෙම අවාසනාවන්ත එකක්. 
කුණාටුවක් ලංකාවේ වැදුනොත් වැස්සෙන් වෙන හානිය වැඩියි. හේතුව කුණාටුව වාමාවර්තව කැරකෙන නිසා බෙංගාල බොක්කේ ජල වාශ්ප අරන් එන කුණාටුවේ උතුරු කොටසේ හුලං ධාරාව කැරකිලා ඇවිත් වදින්නේ මධ්‍යම කඳුකරයේ ඊසානදිග බෑවුමේ. ඒකයි ඒ බෑවුමේ ඇති නුවර, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්කවලට තදින් වැස්සේ. නිරිතදිග බෑවුම කඳුකරයෙන් කවර් වෙනවා; කළුතර, ගාල්ල, මාතර අය බේරුනේ එකයි. 
අනික් කාරනය; ස්ටොර්ම් එකක් හරිකේන් එකක් තරම් වේගයෙන් ගමන් කරන්නෙ නෑ; ඒ නිසා එක තැන කැරකි කැරකි වැඩි වැස්සක් ගෙනත් දෙනවා!

day in the life

2025-12-03

පෘථිවියේ මුහුදු එන්ජිම බිද වැටෙයි .



ලංකාවෙ අපි හුරුවෙලා හිටියේ මෝසම් වැහි රටාවකට . ජනවාරි මැයි අතර කාලය ඊසාන දිග මෝසමෙන් ලංකාවේ ඉහළ කොටසට වැස්ස ලැබෙනවා . ඒ වගේම මැයි සිට දෙසැම්බර් කාලය නිරිත දිග මෝසම් සුළඟ හරහා ලංකාවේ පහළ කලාපයට වැස්ස ලැබෙනවා . සිරිපාදේ අවාරය නිර්මාණය වෙන්නේ මෙන්න මේ නිරිතදිග මෝසමත් එක්ක . ඊට අමතරව තෙත් කලාපය තුළ සවස් කාලයේ කෙටි වැසි ඇතිවුණා .

බෙංගාල බොක්කේ ඇතිවන අව පීඩන කලාප යක් හරහා ඇතිවන වැඩි වැස්ස වගේම සාමාන්‍ය සුලි කුණාටු ලංකාවට අලුත් දෙයක් නෙවෙයි . ඒත් වසර දෙකක පමණ ඉඳන් මේ රටාව වෙනස් වෙමින් පවතිනවා . නියමිත කාලය තුළ මෝසම් සුළං ප්‍රවාහ සක්‍රිය වෙන්නේ නැහැ . ඒ හින්ද බලාපොරොත්තු වෙන කාලෙදි වැස්ස ලැබෙන්නේ නැහැ .වැස්සට වඩා ප්‍රබල සුළි කුණාටු නිර්මාණය වෙමින් ඇතිවන හානිය වැඩිවෙනවා . පොළොවට දරන්න බැරි තරම් ජල ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ඇදහැලෙනවා .
 
මේක අපිට විතරක් පොදු කාරණාවක් නෙවෙයි . මෑත වසර දෙක දිහා බැලුවම ලෝකෙ හැම රටක්ම මේ කාලගුණික විපර්යාසයන්ට මැදිවන බව පේනවා . එක පාරම මොකක්ද මේ වෙන්නේ? මම කලින් ලියපු ලිපිවලට කිහිපදෙනෙක් ලියල තිබුණා . මේ වැස්ස ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. මේ කාලයට කොහොමත් වහිනවා කියලා ... ඔව් සාමාන්‍ය විදිහට නිරිත දිග මෝසමේ අවසන් කාලය හා ඊසාන දිග මෝසමේ මුල් කාලය තමයි මේ ගතවෙමින් තියෙන්නේ . හැබැයි ළඟ ළඟ ලංකාව වටා කැරකෙනා සුලි තත්ත්වයන් ලංකාවට අලුත් තත්වයක් .. ලංකාවේ පැති තුනකින් එකවර ඇති වෙන අව පීඩන කලාප අලුත් තත්වයක් ... මේ අලුත් අත්දැකීමත් එක්කම දින පහක් වගේ කාලයක් තුළ ලංකාවේ වැඩි ප්‍රදේශ වලට හිතාගන්න බැරි ජල කදකට මැදි වෙන්න සිදු වුනා. ( මෙම ලිපිය ලියන මොහොත තුලත් තවමත් එය සක්‍රීය වෙමින් පවතිනවා )

මේ සිද්ධිවලට අමතරව ලෝකයෙන් ඇහෙන්න ලැබෙන තවත් වචන ටිකක් තියෙනවා අසාමාන්‍ය අවපීඩන කලාප, සූර්ය ක්‍රියාකාරකම්, එක පෙළට සිදුවෙන භූ කම්පන මේවා වෙන් වෙන් වශයෙන් ඇතිවෙන දේවල්ද ? එහෙම නැත්නම් එකට බැඳුණු එක ක්‍රියාදාමයක පුරුක්ද ? ඇයි මේවා ඇතිවෙන්නේ? මේ ලිපිය තුළින් උත්සාහ කරන්නේ මෙන්න මේක පැහැදිලි කරන්න.

පෘථිවියේ ගැඹුරු මෙන් ම සැඟවුණු විශාලම පාලක පද්ධතියක් තියෙනවා , මේකට කියන්නේ Ocean Engine කියලා. මෙය අපේ ඇස්වලට නොපෙනුනාට පෘතුවියේ ජීවනාලිය නැතිනම් පෘථිවියේ ස්නායු පද්ධතිය කියලා කිව්වත් වරදක් නෑ .
මේ පද්ධතිය හදුන්වන්නේ AMOC (Atlantic Meridional Overturning Circulation) කියලා .. මිනිස් හදවතක මහා ධමනියක් හා ශිරාවක් ඒ පුද්ගලයාගේ ජීවිතය පවත්වාගෙන යෑමට කොතරම් වැදගත් වෙනවද එලෙසම පෘථිවියේ පැවැත්මට මෙම හෘදමය වාහිනිය වැදගත් වෙනවා . මෙම පද්ධතිය මගින් සිදුකෙරෙන කාර්යයන් ගණනාවක් තියෙනවා . මෙම කාර්යයන් අපි සරලව අවබෝධ කර ගැනීමට උත්සාහ දරමු .
 
පෘථිවියේ උෂ්ණත්වය හා සීතල උත්තර ධ්‍රුවය හා දක්ෂිණත් ධ්‍රුවය අතර සමතුලිතව පවත්වා ගැනීම සිදුකරන්නේ මෙම පද්ධතිය මුල්කරගෙන , එ කියන්නේ
උතුර හා දකුණ සම්බන්ධ කරමින්, උණුසුම් සුළං සහ සීතල සුළං රටාවත් ජල රටාවත් පාලනය කිරීම සිදු කරනවා .
පෘතුවිය තුළ කාලගුණික රටා පවත්වාගෙන යාම සිදුවෙන්නේත් මෙම පද්ධතිය මගිනුයි . එ කියන්නේ සෑම ගොඩබිම් පද්ධතියකම මෝසම්, නිවර්තන කුණාටු, නියඟ, ( Monsoon, tropical storms, droughts, frontal systems ) — සියල්ල Ocean Engine එකේ රිද්ම මත ක්‍රියා කරනවා .
මේ දිනවල ලෝකයටම බලපාපු සුළි කුණාටු මාර්ග සහ ඒවයෙන් ඇතිවන බලපෑම් ( Cyclone pathways, intensification, rapid deepening ) තීරණය කිරීම 80% ක්ම සාගර තාප ප්‍රවාහය ( Ocean Heat Transport ) මත තීරණය වෙනවා . මේකත් AMCO පද්ධතියෙම කොටසක් ..
සමුද්‍රයේ ජීවීබව පවත්වා ගැනීම උදෙසා සමුදුරු ජලය ඉහළ පහළ මාරු පද්ධති පවත්වා ගැනීම ( Deep upwelling ) මේ හරහා පෝෂණීය ජලපදාර්ථයන් ඉහළට රැගෙන ඒමත් ඔක්සිජන් මිශ්‍ර වූ ජලය පහළට ගෙන යෑම සිදුවෙනවා . ඒ හරහා තමයි සමාජය තුළ ජීවත්වෙන සත්වයන්ගේ බව පවත්වාගන්නේ ...
වායුගෝලය තුල තියෙන කාබන්ඩයොක්සයිඩ් ( CO₂ ) අවශෝෂණය කරගන්නවා කියලා අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙන්නේ පරිසරයේ තියෙන ශාක වලින් කියලා .. ඒක වරදක් නැහැ . නමුත් ශාක වලින් ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුයි . පෘථිවියේ තියෙන කාබන්ඩයොක්සයිඩ් ( CO₂ ) 90% අවශෝෂණය කරගන්න මුලික පද්ධතිය තමයි Ocean Engine එක .

වායුගෝලය සහ සමුද්‍රය අතර ශක්ති හුවමාරුව එ කියන්නේ සුළං පද්ධති, ජෙට් ප්‍රවාහ, වායුගෝලීය පීඩනය ( Wind systems, jet streams, atmospheric pressure belts ) මේ දේවල් සක්‍රීයව පවත්වාගෙන යාමේ කාර්යයත් සිදු කරන්නේ මෙම Ocean Engine එක මගින්මයි ...
.
ධ්‍රැවීය අයිස් ස්ථායිතාව එ කියන්නේ දැනට අපිට උගන්නලා තියෙන විදියට අංශක 23.5 ඇලය තුළ ගොඩනැගිලා තියෙන අයිස් කඳු පවත්වාගෙන යෑම ( Polar Ice Stability ) පාලනය කරන්නෙත් මෙම පද්ධතිය මගින්මයි .එ කියන්නේ සීතල පද්ධති Ocean Engine එකෙන් පෝෂණය නොවුවොත් ධ්‍රැවීය දියවීම වේගවත් වෙනවා . මම මෙන්න මේ පැහැදිලි කිරීම කරපු ගමන් මෙතෙක් කල් මගේ පිටුවේ හිටපු අයට මතක් වෙන දේවල් බොහොමයක් තියෙනවා . වසර දොළහකට විතර කලින් ඉඳන් මම කියපු පෘථිවි ඇලය වෙනස්වීම හා නව හිම කඳු බිහිවීම කියන එක සක්‍රීය වෙමින් පවතින අවස්ථාවක් මේක .... තවත් දෙයක් කලින් කියපු අයිස් කඳු දිය වෙලා නව ගොඩබිම් මතුවීම කියන කාරණාවත් මෙතනට අදාලයි .

පාරිසරික ශක්ති ක්‍රමවත් භාවය සකස් කිරීම උදෙසා සුළි කුණාටු, මෝසම් වැසි, එල් නිනෝ-ලා නිනා චක්‍රය ( Hurricanes, monsoons, El Niño–La Niña cycle ) ඇතිකිරීම හා ඒවා නිසි අයුරින් පවත්වා ගැනීම කරන්නෙත් මෙම පද්ධතිය මගින්මයි .
පෘථිවියේ චුම්භක ජාලය පවත්වාගෙන යෑම වගේම ශක්ති ජාලය ජාලය ස්ථාවරව පවත්වාගෙන යෑම ( Magnetic + Energetic Grid Stabilization ) පැරණි ග්‍රන්ථවල සමුද්‍ර නාඩිය ලෙස සඳහන් වන්නේද මෙයයි .
සරලව කිව්වොත් පෘතුවියේ ජීවන රිද්මය ( Ocean Circulation ) රැඳිල තියෙන්නෙ මේ පද්ධතිය මතයි . පුරාණ ග්‍රන්ථවල සමුද්‍ර ප්‍රහාණය කියලා හඳුන්වල තියෙන්නෙ මෙන්න මේ ප්‍රාණ ශක්තියට .

දැන් ඔබට තේරෙනවා මෙන්න මේ පද්ධතිය තුළින් කොච්චර කාර්යභාරයක් ඉටු කෙරෙනවද කියන එක . ඒත් මේ දිනවල මේ පද්ධතිය කෙමෙන් බිඳ වැටෙමින් පවතිනවා . මේක බිඳවැටෙමින් පවතිනවා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් යම් පිරිසකගේ උවමනාව මත මේක ඕන කමින් බිඳ වට්ටනවා වෙන්නත් පුළුවන්.
 
මගේ අදහස නම් වසර හතරක සිට පෘතුවිය තුන්වන මානයේ සිට සිව්වන මානයට ඔසවා තැබීමට අවශ්‍ය තාක්ෂණික කාර්යභාරයක් තමයි මෙතනදි කෙරෙන්නේ . ( තව දෙයක් කියන්න ඕනේ පෘථිවිය සිව්වන මානයේ නතර වෙන්නේ නැහැ . මොකද දැනට නිගමනය කෙරිලා තියෙන විදියට පස්වන මානය දක්වා රැගෙන යන ගමනක් තියෙන්නේ . සිව් වන මානය කියලා කියන්නේ අතරමැද තත්ත්වයක් විතරයි )

මෙම පද්ධතිය බිඳී යන්න හේතු වෙන්නේ අභ්‍යන්තරව ඇතිවන ක්‍රියාවලියක් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමගම මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා . හැබැයි අපිට පරිබාහිරව බැලුවම තේරෙනවා මේකට හදිස්සියේ හේතු උනේ මිනිස් ක්‍රියාකාරකම් මත පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම පමණක්ම නෙවෙයි කියලා... එක දිගට ඇති වෙච්ච සූර්ය කුනාටු මේකට හේතු වෙනවා ... ( මෑත කාලීනව ඇති වෙච්ච ප්‍රබල සූර්ය කුණාටු වලට කලින් හඳුනා නොගත් යම් වස්තු සූර්යයාට ලං වුණ බවට විවිධ ඉඟි තියෙනවා )

විද්‍යාත්මකව මේ උදෙසා දෙන අර්ථකථනය තමයි මුද්‍රයට දරාගන්න පුළුවන් තරම් කාබන් ඩයොක්සයිඩ් දරා ගැනීමෙන් පසුව ඒවා යළි මුදා හැරීමක් තමයි මෙතන දිවෙන්නේ. ... ඒ කියන්නේ ධාරිතාවේ ඉක්මවා යෑම ...
මේ දිනවල ඇතිවන ‘අසාමාන්‍ය අවපීඩන කලාප’ හා සුලි කුණාටු
Ocean Engine බිදවැටීමට සෘජු සම්බන්ධයක් තියෙනවා. මුහුදෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් මගින් අවට වාතයේ උෂ්ණත්වයක් නිර්මාණය කරනවා . අපි දන්නවා එතකොට වාතය රත් වෙලා ඉහළ යනවා . ඊට පස්සේ එහි අව පීඩන කලාපයක් නිර්මාණය වෙනවා . අවපීඩන කලාප මාරු වීමෙන් සාමාන්‍ය රටාවට පිටින් වර්ෂා තද සුළං ඇතිවනවා . උතුරු–දකුණු ජෙට් ස්ට්‍රිම් අස්ථාවරවීම සිදු වෙනවා.
පෘථිවියට එන සූර්ය කුණාටු මගින් ඇතිවන චුම්බක පීඩනය හරහා මෙම තත්ත්වය තවත් වර්ධනය වෙනවා .

තවත් ප්‍රධාන කාරණාවක් තියෙනවා . මේ මොහොතේ එක පෙලට සාමාන්‍ය ලෙස ප්‍රබල සුළි කුණාට තුනක් නිර්මාණය වෙලා තියෙනවා කියලා . මේකට සමගාමීව අසාමාන්‍ය මුහුදු ප්‍රවාහ පෙල ගැස්මක්ද දැකිය හැකියි . ( Ocean Currents visualization )
ඒ කියන්නේ මේ මොහොත තුළ මුහුදේ සාමාන්‍ය සුළං–ජල ප්‍රවාහ රටාව නොවෙයි පවතින්නේ. ... ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . මම පෙර සටහන් කළ මෙම ශක්තිය පෘතුවිය වටා ගෙන යන ජල ගමන් මාර්ග, තරංග රටා, මෙතෙක් පැවතියේ ක්‍රමානුකූල රිද්මයකට . මේ මොහොත තුළ එම රිද්මය ( swirl pattern ) වෙනුවට සරල වලාකුළු නොවෙයි. උෂ්ණ ජලය සහ සීතල ජලය ගැටෙන ( friction corridors ) ආකාරයකින් ගමන් කිරීම ආරම්භ වෙලා තියෙනවා . ඒ කියන්නේ එක එල්ලේ සමකය හරහා ගමන් කිරීමක් වගේ දෙයක් .
 
අපේ පුරාණ ග්‍රන්ථවල “සමුද්‍ර ප්‍රහාණය” ලෙස සඳහන් වූ ප්‍රවාහශක්තිය අසමතුලිත වන විට අසමතුලිත කාලගුණික තත්ත්වය නිර්මාණය වීම සිදුවේ .
එ කියන්නේ Ocean Engine එක බිදවැටීමට සූර්ය කුණාටු බලපෑම් පූර්ණ ලෙසම සම්බන්ධ වෙනවා . එ කියන්නේ 2019 ආරම්භ වුණු 25 වන සූර්ය චක්‍රයේ ( Solar Cycle 25 ) සමඟ පරිපූර්ණ සම්බන්ධයකින් යුක්තයි. සූර්ය කුනාටු , ආරෝපිත අංශු, ධ්‍රැවීය උණුසුම ආදී තත්වයන් මෙම පද්ධතිය බිදවැටීමට හේතු වෙනවා.

මෙම සිදුවීම් හරහා පෘථිවිය තුළ විශාල යාන්ත්‍රික පරිවර්තනයක් සිදුවෙමින් පවතිවා . අපට මතුපිටින් පේන්නේ ඉහල පහළ පීඩන සීරුමාරු , හදිසි වලාකුළු ගොඩගැසීම් , වේගවත් වායු ධාරා , සංවාහන ධාරා වෙනස්වීම් , අඩු පීඩන කලාප, අමුතු වලාකුළු රටා, වේගවත් සුලං හා කඩා වැටෙන මහා ජල කඳ පමණයි .

ටිකක් හිතන්න, ලංකාවම යට වෙන්න මේ මහා ජලකද වලාකුළු වලට ආවේ කොහොමද? ඒකත් මේ පද්ධතියම ප්‍රතිඵලයක් තමයි . එ කියන්නේ ඒ වතුර මුහුදෙන් වලාකුළු වලට ගිය ජලය . අපිට සාමාන්‍යයෙන් කියලා දීලා තියෙන වාශ්ප වීම ගනීබවනය වීම කියන සිද්ධාන්තයට එහා ගිය සිද්ධාන්තයක් මෙතන තියෙනවා . ඕක හොඳටම බලන්න පුළුවන් ... මෙහෙට මහා වතුර කදක් හලලා හෙට ඉංදියාවට ඇතුල් වෙද්දී දවසක කාලය තුළ ඊට වඩා වැඩි ජල කඳක් පුරෝගන්න විදිය අවබෝධ කරගත්තම .
අවසානයට කියන්න තියෙන්නේ මේ සිදුවීම් භූ විද්‍යාත්මක සිදුවීම් පෙළක් පමණක් නෙවෙයි . සාගර එන්ජින් එක බිඳවැටීම ,

සූර්ය ක්‍රියාකාරකම් , චුම්බක ධ්‍රැව දුර්වල වීම, පෘථිවි පීඩන වෙනස් වීම , භූ කම්පන රැල්ල පෘථිවිය නව මානයකට රැගෙන යෑමට සූදානම් කිරීමක් උදෙසා සිදුවන සිදුවීම් පෙළකි . මා වසර ගණනාවක් තිස්සේ පැවසූ මාන පරිවර්තනය උදෙසා පෘථිවියේ ගැඹුරු මුහුදු හදවත පෘථිවියේ මව් දේහය පවත්නා ආකාරයෙන් වෙනස් තත්ත්වයකට රැගෙන යෑම උදෙසා පරිසරය සකස් කරමින් සිටි යි.

https://rishiarana.lk/arrival-of-alien/ocean-engine/
( මෙම ලිපිය උපුටා පළ කරන්නේ නම් කර්තෘ නාමය හා වෙබ් අඩවිය සඳහන් කරන්න )
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
A day in the life