රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

Showing posts with label චරිත කතා. Show all posts
Showing posts with label චරිත කතා. Show all posts

2026-08-24

මාළණිය වෙනුවෙන් - අම්මාවරුනේ


ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිනිය වෙනුවෙන් ලියමි

අම්මාවරුනේ


බුදුහිමි අබියසෙහි වෙන්නට සමන් `` මලක්

පතමින් පැමිණ ගතකර විය කෙටිම කලක්

සිනමා පසුබිමට එක්කර "ගලන ගඟක්"

හෙළ ගී කෙතට වූවා නුඹ මහරු මිණක්


සරලද ශාස්ත්‍රීයද ඈ නෙක ආරේ

සිනමා ගීතයද ගැයූ අමරස බේරේ

පිනවා රසික දන කලගෙවනා වාරේ

සිතුනෙම පුරුද්දකි ලද පෙර සංසාරේ


ඇගයුම් සම්මාන නිරතුරුවම ලැබුනා

මෝරන වී කරල ලෙස සිරසද නැමුනා

පීඩිත පංතියේ දුක නිරතුරුවම හඳුනා

ගැයු ගී නිසා උන් හදවත පිරිමැදුනා


කලකදි "සත්‍යයේ ගීතය" නමින් ගයා

එරෙහිව අයුත්තට ඉන්නට "පවන" කියා

කළ ඒ මෙහෙවරෙහි ගීපද අරුත සොයා

අමතක නොවන ලෙස ඇත හදවතෙහි ලියා


පූජාසනේ ඔබ හිඳුවා පුදන දනා

ඔබටම එරෙහිවී එනබව හොඳින දැනා

දිවිගෙවු මැතිනියනි එය අද නිසැක වුනා

අපි සිහිකරමු නෙතගට එයි කඳුළු උනා


නොදැමුන අමන දන අද කෙරුවද නින්දා

ලොව පවතින තුරුම ඇත නුඹෙ නම රන්දා

කළගුණ සිහිව දෙඅතම එක්කොට වැන්දා

නිවනට යනු මැනවි අප මැතිනිය නන්දා










පී. ජී. ආරියපාල 

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-22

මාලණිය - තවත් මතයක්.




“අමන යකුන් කිරුළු දරා රට ගිනිගෙන දැවුණා
අපේ කඳුළු පවන වෙලා විකුණාගෙන කෑවා“
මන්ද නාව කාරණාව ගීතයේ තාලයට හදපු මේ පද පේළි දෙක මට අහන්න ලැබුණේ දෙදාස් ගණන්වල මුල්ම හරියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උලෙළක පැවැත්වුණු වීදි නාට්‍ය දර්ශනයකදී...
ඒ වීදි නාට්‍ය කණ්ඩායම මොකක්ද කවුද කියන එක ගැන මතකයක් නැතත් ඒ කාලේ බොහෝ විට මෙවැනි කටයුතුවල නිරත වුණේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ අය.
මේ කියන වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ඉල්මහවිරු සමරුව වැනි උත්සවවලදී මගේ ඇස ගැටී තිබෙනවා.
එතකොට ජවිපෙ හිතවාදීන් නන්දා මාලනී ගැන ප්‍රසිද්ධියේම මෙහෙම ප්‍රහාර එල්ල කළේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
ඇත්තටම නන්දා මාලනී ජවිපෙ මතවාදයට හිතවාදීව ගීත ගැයූ කෙනෙක් වුණත්, 1994න් පසු යුගයේ දී කිසිම දවසක ඇය ජවිපෙ කිසිම කටයුත්තකට ප්‍රසිද්ධියේ සම්බන්ධ වුණේ නැහැ.
මෑතකාලීන තත්ත්වය ගැන මට අවබෝධයක් නැතත් මා දන්නා කාලය තුළ ජවිපෙ කලා සංගමයේ වගකීම් දැරූ ඇතැම් අය ඇය සමග පුද්ගලිකව ගනුදෙනු කළා මිස ජවිපෙ කිසිදු කලා කටයුත්තකට හෝ ඇය සහභාගී වී නැහැ.
මේ තත්ත්වය ඇතුළු විවිධ හේතු නිසා ජවිපෙ සිටි ඇතැම් අය ඇයට විවිධාකාරයේ චෝදනා එල්ල කළා.
දෙදාස් ගණන්වල මුල් කාලයේ ජවිපෙ දේශපාලන රැස්වීම්වල ඇගේ ගීත එකල ඉතා සුලබව අසන්න ලැබුණත් ඔවුන් ඇය ගැන දැරුවේ ඒ තරම් සුබවාදී ආකල්පයක් නොවෙයි.
ඔය වීදි නාට්‍යයේ කියපු විදිහට 89 අරගලය විකුණාගෙන කෑවා වගේ දරුණු චෝදනා පවා ඇයට එල්ල වුණා.
එදා අරගලයට පක්ෂව සිංදු කියලා පස්සේ ඒ සටන අතෑරියා කියන එක තව චෝදනාවක්.
නන්දා මාලනී ඔය කලාවෙන් විතරක් පණිවිඩ දුන්නාට මක්සිම් ගෝර්කිලා වගේ සමාජ ව්‍යාපාර එක්ක බද්ධ වෙලා කටයුතු කරන කාන්තාවක් නෙමෙයි වගේ ඉතාම ළාමක චෝදනාත් ඒ අතර තිබුණා.
පසුගිය දිනවල නන්දා මාලනීගේ මරණයට කලින් ඇය ගැන දේශපාලන ක්‍රියාකාරිනියක් පළ කළ අදහස් සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයකට ලක් වුණා.
ඇගේ විවේචනය වුණේ රට ලේ විලක් කිරීමට නන්දා මාලනීගේ ගීත දායක වුණා කියන එක. ඒ චෝදනාව මීට කලිනුත් ඇයට නොයෙක් අය මතු කළ එකක්.
මේ අනුව ගත්තාම දේශපාලන මතවාද සහිත ගීත ගායනා කිරීම නිසා නන්දා මාලනී හැම පැත්තෙන්ම පීඩාවට පත් වුණා.
ජවිපෙ හිතවාදීන් වගේම ජවිපෙ විරුද්ධවාදීනුත් ඇයට ප්‍රසිද්ධියේ පහර දුන්නා.
ඒ ප්‍රහාර සාධාරණිකරණය කළ නොහැකි වුවත් හරි හෝ වැරදි සමාජ දේශපාලන සටනකට මැදිහත් වූ පසු එවැනි ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්.
මෑතක දී ගෝල්ෆේස් අරගල භූමියට එන තුරු ඇය කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවීමටත් මේ ප්‍රශ්න හේතුවක් වුණා වෙන්න පුළුවන්.
මීට වසර ගාණකට පෙර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇය හමුවීමට මා ඇයට දුරකථනයෙන් කථා කළා. මාව හමුවීමට කලින්ම ඇය මට දාපු කොන්දේසිය වුණේ දේශපාලන සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් අහන්න එපා කියන එකයි.
ඇයට දේශපාලනය කොයි තරම් තිත්ත වෙලා තිබුණාද කියන එක තේරුම් ගන්න ඒ සිදුවීම එක උදාහරණයක්.
නන්දා මාලනීගේ ගීතවල දේශපාලන අන්තර්ගතය ගැන විවිධ අයට විවිධ කියවීම්, ඇගයීම්, විවේචන තිබෙන්න පුළුවන්.
ඒත් පසුගිය දිනවල කතාබහට ලක් වූ පරිදි ඇගේ ගීත නිසා රට ලේ විලක් වුණා වගේ චෝදනා එතරම් සාධාරණ නැහැ.
මොකද එදා රට ලේ විලක් වීමට බලපෑ හේතු කාරණා ගණනාවක් තිබුණා. ඒ සංකීර්ණ සමාජ පසුබිම අමතක කොට රට ගිනි තැබීම ගැන හුදු ගායිකාවකට චෝදනා කිරීම අර්ථාන්විත දෙයක් නොවෙයි.
එදා බලයේ සිටි මර්දනකාරී එජාප රජය, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සහ ඉන්දියානු බල දේශපාලනය තමයි ඒ විනාශයේ ප්‍රධානතම වගඋත්තරකරුවන් විය යුත්තේ.
ඒ මොහොත කියන්නේ ජයවර්ධන පාලනය යටතේ රට බටහිර වහල් කොලනියක් බවට පත් කරමින් තිබූ මොහොතක්. අනිත් අතින් ඉන්දියානු මැදිහත් විම යටතේ මේ රට බෙදා වෙන් කිරීමේ උගුලක් බලාත්කාරයෙන් රට මත පටවා තිබූ මොහොතක්. (අවශ්‍ය නම් මීට අදාළ කරුණු නිශ්චිත සිදුවීම් දිනවකවානු සහිතව කියන්න පුළුවන්.)
ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව එතැනට අදාළ වුවත් ඔවුන් මේ අර්බුදයේ නිර්මාපකයන් නොවෙයි. එදා පැවති තත්ත්වය තුළ ඔවුන්ට ඒ මහා පාවාදීමට එරෙහිව සටන් වැදීමට සිදුව තිබුණා. එය එදා පැවති තත්ත්වය විසින් මතු කළ අර්බුදයක් මිස නිකරුණේ අවි අතට ගැනීමක් නොවෙයි.
එහි දී ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග තුළ ඉතා බරපතළ වැරදි අඩුපාඩු මෝඩකම් තිබූ බව සහ එය විශාල විනාශයකට හේතු වූ බව සත්‍යයක් වුවත්, ඒ සටන රටේ ජාතික අභිලාෂ හා සමපාත වූ සටනක් මිස අසාධාරණ, අයුක්ති සහගත සටනක් නොවෙයි.
ජවිපෙ වර්තමාන දේශපාලන භූමිකාව ගැන කුමන විවේචන පැවතියත් ඒ විවේචන මත පදනම්ව ඉතිහාසය සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම කිරීම සාධාරණ නැහැ.
අනික ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව එදා දියත් වූ ඒ සටන තුළ ජවිපෙ පමණක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන් මෙන්ම බොහෝ පක්ෂ සංවිධාන දේශප්‍රෙමී ජාතිකවාදී බලවේග සිටි බව අද බොහෝ දෙනා අමතක කරන කාරණයක්.
ඒ අනුව එය පැහැදිලිව ශ්‍රී ලංකාව නමැති ජාතික රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්, බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් කළ සටනක් මිස ගෝල්ෆේස් අරගලය වැනි රට අරාජික කරන සටනක් නොවෙයි.
ශ්‍රී ලංකාවේ රණවිරුවන් 2009 දී යුද්ධ කොට ආරක්ෂා කළේ රටේ ඒකීයභාවය නම් එදා 88-89 අරගලයේ දී දිවි පිදූවන් සටන් වැදුණේත් රටේ ඒකීයභාවය වෙනුවෙන් බව අමතක කළ යුතු නැහැ.
අදාළ ඉතිහාසය පිළිබඳ මා දරනා මතය අනුව නම් නන්දා මාලනී එදා ඔවුන් වෙනුවෙන් හඬක් නැගීම එදා පැවති තත්ත්වය තුළ ප්‍රගතිශීලි හා නිර්භීත පියවරක් මිස අපරාධයක් නොවෙයි.
එය එදා ඉන්දියානු ආක්‍රමණයට හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභූමියේ ඒකීයභාවය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු මිනිසුන් වෙනුවෙන් කළ හඬ නැගීමක් මිස හුදු පක්ෂයක් වෙනුවෙන් කළ හඬ නැගීමක් නොවෙයි.
අවසානයේ දී නන්දා මාලනීට ඒ පෙනී සිටීම නිසා හැම පැත්තකින්ම චෝදනාවන්ට ලක්වීමට සිදුවූ බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වෙන්න පුළුවන්.
හැබැයි දේශපාලනය කියන්නේ කිසිසේත්ම කාගෙත් සිත් එක සේ සතුටු කරන පරම සාධාරණ ක්‍රමවේද ඔස්සේ කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසාම එවැනි තීරණාත්මක දේශපාලන සටනකට මැදිහත් වූ අයෙකුට විවිධ ආකාරයේ පීඩාවන්ට චෝදනාවන්ට ලක්වීමට සිදුවීම සාමාන්‍ය දෙයක්.
මා සිතන ආකාරයට නන්දා මාලනී ජීවිත කාලය පුරාම ඒ චෝදනාවල පීඩාවන්ට මුහුණ දෙන්න ඇති.
දේශපාලන කාරණා හා බද්ධ වීමකින් තොරව ප්‍රේම ගීතයක් ගායනා කරගෙන පාඩුවේ සිටියා නම් ඇයට මෙවැනි චෝදනාවලට ලක්වීමට ගැරහුම් ලැබීමට සිදුවන්නේ නැහැ.
අද දිවි ගමන හමාර කොට ඇය නික්ම යන මොහොතේ මේ ගැන යමක් සටහන් කිරීමට සිතුණේම සෑම පැත්තකින්ම චෝදනාවට ලක්වූ ඇයට හා ඒ ඉතිහාසයට වචනයකින් හෝ සාධාරණයක් ඉටු කළ යුතුය යන හැඟීම මතයි.








ඉසුරු ප්‍රසංග
Next page'

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-21

ලාංකේය සිනමාවේ රම්‍ය සඳ'





"ගලන ගඟකි ජීවිතේ,
දයා ලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපලු නටයි ගං තෙරේ"
"රන්මුතු දූව" චිත්‍රපටය පුරාවට රැව් දුන්නේ ඇයගේ හඬය. නාරද දිසාසේකර සමඟ ඇය තම ප්‍රථම චිත්‍රපට ගීතය ගැයුවේ එලෙසය. ඇයගේ හඬ මුසු කළේ එහී ප්‍රධාන චරිතය රඟපෑ ජීවරාණී කුරුකුලසූරියටය. ඇය ගැයුවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පද රචනයක්ය. ඒ අමරදේවයන්ගේ තනුව හා සංගීතයටය. ඇයව සිනමාවට කැන්දන් ආවේත් අමරදේවයන්ය.ඒ 1962 වර්ෂයේය.
"පෙමට පෙම පුදා
තුඩට තුඩු දිදී
කුරුළු ගී නගයි
ආදරෙන්, බැදීලා"
ලාංකේය සිනමා ගීත සාහිත්‍යය තුළ නන්දා මාලනීය තමාගේ 'බයිස්කෝප්' ගීත ආරම්භ කළේ එසේය.
"පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින
දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ"
"රන්මුතු දූව" චිත්‍රපටයේ තේමා ගීතය ඇය එසේ ගැයුවේ අමරදේවයන් සමඟය.
එතැන් පටන් ඇය ලාංකේය සිනමාව තුළ කළ මධුර චාරිකාවෙන් බිඳක් මෙසේ පෙළගස්වමි.
"රුවන් වලා දුහුල් කඩින්
පෙරී හඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී
ගලා බසිනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට
සිනා ගේනවා- ⁣සිනා ගේනවා"
මහගමසේකරයන්, රචිත ,අමරදේවයන් සංගීතය සැපයූ 1966 වසරේ තිරගත කළ "වෙසතුරු සිරිත" චිත්‍රපටයට, රාණී වීරරත්න නම් නිළියක් වෙනුවෙන් නන්දා මාලනීය ගැයූ සදා නොමියන ගීතයකි ඉහත සඳහන් වූයේ.
නන්දා මාලනියට එකල බොහෝ චිත්‍රපටවල දරු නැලවිලි ගීත ගැයීමට ආරාධනා කරන්නේ, ඇය එය, විශිෂ්ඨව,ලයාවන්තිකව ගයන නිසා විය හැක. 1967 තිරගත කළ "රෑන ගිරව්" චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට, විජිත මල්ලිකා වෙනුවෙන් නන්දා මාලනිය, මෙසේ ගැයුවාය.
"ඈත සොඳුරු ලොවක් ඇතේ
එහි සුව නිවහනක් ඇතේ
එහෙත් මගේ කැකුළු පුතේ
එහී යන්නට වරම් නැතේ"
එම චිත්‍රපටයටම අමරදේවයන් සමඟ ඇය මෙසේද ගැයුවාය.
"රෑන ගිරා ජෝඩුවයි,
හාද වෙලා ආදරෙයි
රෑන ගිරා ජෝඩුවයි"
වන රේඛා මැද සීතල සෙවනේ
අත් වැල් බැද යන ආදර ගමනේ
හුරතල් දැනිලයි දුක් ගිනි නිවුනේ
හිනා කුසුම් තොල් පෙති අග දිලුනේ"
ඇයගේ සිනමා ගීතාවලිය ගැන අධ්‍යනය කරන විට ඇය මොනතරම් සොඳුරු ගීත රැසක් ලාංකේය සිනමාවට තිළින කර ඇත්දැයි සිතේ.
"යොවුන් වසන්තයේ
දුහුල් වලා පෙලේ
රෑන් මුදාගෙන, පාවී යනු මැන ඉඟිල්ලිලා
දිළිසෙන කදුලේ,කිරණින් නැහැවී
සිගිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසි"
සුනිල් ආරියරත්න විසින් රචිත , නන්දා මාලනිය විසින් ගැයූ මෙම ගීතය අයත් වූයේ, 1976 වසරේ තිරගත කල ඩී.ආර් පීරිස් සංගීතවත් කළ "දියමන්ති"චිත්‍රපටයටය. මෙය පසුබිමෙන් ඇසුණු ජවනිකාවකට අ⁣යත් වූ අතර එහී රඟ පෑවේ මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, සෝමසිරි දෙහිපිටිය, හා විමල් කුමාර ද කොස්තාය.
"ආදරවන්තයෝ" 1968 වර්ෂයේ තිරගත කල චිත්‍රපටයකි. එහී නන්දා මාලනීය, මර්සලීන් ජයකොඩි පියතුමා ලියු හරි හුරතල් ගීතයක් ගැයුවාය. සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසය
"දවසක මුතු වැල් ගෙනෙනවා
ගෙනත් නුඹට පළදවනවා
පළදවලා හැඩ බලනවා
මගෙ සුරතලියේ,මගෙ සුරතලියේ
කිංචි,බිංචි, පුංචි, පැංචි
කිංචි, බිංචි,පුංචි, පැංචි"
1969 දෙසැම්බර් 31වෙනිදා තිරගත කිරීම ආරම්භ කළ 'බක් මහ දීගේ' චිත්‍රපටයේ සෝමදාස ඇල්විටිගලගේ සංගීතයට, දයානන්ද ගුණවර්ධනගේ පද රචනයට, අයිරාංගනී සේරසිංහ වෙනුවෙන් භාවමය ගීතයක් නන්දා මාලනිය මෙලෙස ගැයුවාය.
" මලකින් මලකට, ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
කළුවර මහ රෑ, කෙලෙසද හිමියනී
මල් වල හැඩ රුව, හඳුනාගන්නේ
මල වල හැඩ රුව හඳුනා ගන්නේ
අළුත් මලක් යැයි අමතක වී ඔබ
පැණී බී මලටම වැරදී එන්නේ
ඒ ආවිට මා, පෙති හකුලා ගෙන
නැවත නොයන ලෙස
ඔබ රැක ගන්නෙමි"
1965 වසරේ තිරගත වූ "සාරවිට" චිත්‍රපටය වෙනුවෙන් නන්දා මාලනීය සම්මානනීය වූ දේශානුරාග ගීයක් ගැයුවාය. මහගමසේකරගේ පදමාලාවකට අමරදේවයන් සංගීතය සැපයූ මේ ගීතයට චිත්‍රපටය තුළින් පණ දුන්නේ ශෝභනී අමරසිංහය.
"මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පන ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමෙන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
මෙරට අසිරි සිරි එයුරු"
නන්දා මාලනීයගේ ශ්‍රෙෂ්ඨ වූ හඩ සිනමා ශාලාව දෙදරුම් කෑ ගීතයක් ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ "යස ඉසුරු" චිත්‍රපටයට ඇතුලත් විය. ධර්මසිරි ගමගේගේ පදමාලාවකට අනුව ගෝතමි පතිරාජා හා අමරසිරි කලංසූරිය පෙනී සිටින ජවනිකාවකට පසුබිමෙන් ඇසෙන්නට සැලැස්වුණු මෙම ගීතයද, සදාතනිකවූද, සම්මානනීය වූද ගීතයක් විය.
'අම්මාවරුනේ, අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මා වරුනේ
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
සුරලොව සිට අත පානා
ඒ කඳුලැලි පිසිනා"
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කව්දෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදුවන්නේ
සංසාරේ මතු බුදුවන්නේ"
ප්‍රේමසිරි කේමදාස සංගිතවත් කළ බොහෝ චිත්‍රපටවල නන්දා මාලනී එක් ගීතයක් හෝ ගයයි
"අද පමනක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුනළු කැන් හිනැහී
නව ලොවක් මැවෙනවා
අඳුරෙන් බර ආකර තුල
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා"
කරුණාරත්න අබේසේකර විසින් ලියූ එම ගීතය අයත් වූයේ 1972 වසරේ ප්‍රදර්ශනය වූ "ඉහත ආත්මය " චිත්‍රපටයටය. නන්දා මාලනිය එම ගීතය ගැයුවේ අනුලා කරුණාතිලක වෙනුවෙනි.
කේමදාස තැනු තවත් ගීයකි මේ. මෙය අයත් වූයේ 1971 වසරේ තිරගත වූ "සීයේ නෝට්ටුව" චිත්‍රපටයටය
"දේදුණු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආදර පවනේ කුසුම් සුසුම් වැල්
මා යන මඟට හැලේ
දෑසට දෑසක් හමුවුනු දවසේ
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ
සිතුවිලි දහසක් එක්තැන් වූයේ
පැතුම් ලොවට අද ඇයි ඔබ නාවෙි"
ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පදමාලාවකට ලියවුනු මෙම ගීතය නන්දා මාලනිය ගැයුවේ ශ්‍රියානි අමරසේන වෙනුවෙනි.
ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ තවත් චිත්‍රපටයකි "මොණර තැන්න" . එම චිත්‍රපටයේ තිබූ සුන්දරම ගීතයක් මාලනී ෆොන්සේකා වෙනුවෙන් නන්දා මාලනිය මෙසේ ගැයුවාය.
"හඳ හාවුන් හදේ,පැන යාදෙන් ඔහේ
දඟ නෑ ඒ වගේ,කිරි දරුවන් මගේ
කිරි දරුවන්, කිරි දරුවන් මගේ
බිළිදූ සිනා,සුරතල් මුවේ,
මට සුවඳයි, මට සුවඳයි දුවේ
ගෙදර බුදුන් අම්මා නුඹේ
කිරි එරවා ඒදෝ පුතේ"
"ලොකුම හිනාව" 1972 වසරේ තිරගත කල චිත්‍රපටයකි. එහීද සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ ප්‍රේමසිරි කේමදාසය. නන්දා මාලනිය එහී ප්‍රධාන නිළිය වූ සුමනා අමරසිංහ වෙනුවෙන් මෙම ගීය ගැයුවාය.
"හැඟුම් විසිර දස අතේ
ලැඟුම් සොයයි හදවතේ
දෑස මුණ ගැසී දෑසක ඉරණම දුටුවා
වළා කුලක් නැති අහසක් ඈතින් දුටුවා"
සුගතපාල සෙනරත් යාපාගේ "හන්තාන කථාව" චිත්‍රපටයට යාපා, මහගමසේකර සමඟ එක්වී අපූරු යුග ගීතයක් රචනා කළහ. ප්‍රේමසිරි කේමදාස එයට සුන්දර තනුවක් නිර්මාණය කර එය ගැයුමට වික්ටර් රත්නායකට හා නන්දා මාලනියට භාර දුනි.
"සරා සොඳුරු මල් පැටලී,
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි
කැකුළු සිනා මුතු එළියේ
අඳුරු ලෙනේ දොර මතුවේ
හදේ මහද සැලේ සැලේ
වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිතවූ මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි."
1967 වර්ෂයේ "මණමාලයෝ" නමින් චිත්‍රපටයක් තිර ගත විය. එහීද සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් රචිත මෙම ගීතය ගැයීමට බාර වූයේද නන්දා මාලනියටය. ශිරාණි කුරුකුලසූරිය හා ටෝනී රණසිංහ මෙම ගීතමය ජවනිකාවේ රගපෑහ.
"සුලලිත සුළගේ, ඔබ නැලවෙද්දී
ඔබ සිහිලයි- මා රැල්ලයි
ඇයි මී වදේ පැණී,රසවෙන්නේ
මී මැස්සන්ගෙන් අහන්නකෝ
ඇයි මගේ හද පැණිබර වන්නේ
ඇයි ඒ
කියන්න බැරි දේ හිතන්නකො"
සුලලිත සුළගේ-ඔබ නැලවෙද්දී
ඔබ සිහිලයි- මා රැල්ලයි"
'සරුංගලය' චිත්‍රපටය තිරගත කළේ 1979 වසරේය. එහී සංගීතය භාර වූයේ වික්ටර් රත්නායකටය. එහී තේමා ගීතය ලියුවේ ගාමිණි ෆොන්සේකාය. ගායනා කළේ අමරදේවයන් සමඟ නන්දා මාලනියය.
"බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුලිය සොයා වඩින්නේ
වනමල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුනොත් ඇය පෙම් පවස නිවන්නේ
සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුව මත ගාවා
බඹර කුසුම් හදවත් යුග නාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා"
නන්දා මාලනියගේ අතීශයින් ජනප්‍රියවූ සිනමා ගීතයක් ඇතුලත් වූයේ 1976 තිරගත කල "දුහුළු මලක්"චිත්‍රපටයටය.
අජන්තා රණසිංහ ගේ පද මාලාවකට, සරත් දසනායක විසින් සංගීතය සැපයූ මෙම ගීතය චිත්‍රපට⁣යේ උච්චතම අවස්ථාවට යොදවා තිබුණි.
"රන් කෙන්දෙන් බැදී
අතැඟිලි එක් කර ආදරයයි
පෙම් රැහැනින් බැඳි
සිතුම් වසඟ කල ආදරයයි
කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුනා පමණී
දෑල විදාහල, දෑත මගේ
ඔබටත්, ඔහුටත් හිමි වේ
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර වූ විජිතයම මගේ"
1972 තිරගත කළ 'හිතක පිපුණු මල්' චිත්‍රපටය තුළින් එහී සංගීත අධ්‍යක්ෂක ෂෙල්ටන් ප්‍රේමරත්න අමුතු අත්හදා බැලීමක් කළේය. ඒ බටහිර ගී ගයන ඩැල්රින් අර්නෝල්ඩා හා නන්දා මාලනිය එකතුකර, ඉංග්‍රිසි හා සිංහල මිශ්‍ර ගීතයක් නිර්මාණය කිරීමය. එය ''No East No West මෙන්ම රැඟුම් වැයුම් ගැයුම්'' නමින් හැදින්විය. එහී එන ඉංග්‍රීසී පදමාලාව ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් ලියූ අතර එම පද පෙල ඩැල්රින් අර්නෝල්ඩා විසින් ගායනා කළ අතර ධර්මසිරි ගමගේ විසින් එහී සිංහල පද රචනා කළේය. එම පද පෙල ගැයීමට ෂෙල්ටන් ප්‍රේමරත්න තෝරා ගත්තේ නන්දා මාලනීවය. මේ ඇය ගැයූ පද පේළියයි.
"රැඟුම් වැයුම් ගැයුම් තුලින්
උපන් කලා රසේ
රටක් දැයක් තනා තියේ
වෙනස් කමක් නොපා
මිනිස් ගඟක්, මිනිස් කමත්
සැවෝ සමයි කියා
ලොවේ ඉතා උදාර වූ
පහන් හැඟුම් මවයි"
නන්දා මාලනිය තව බොහෝ චිත්‍රපට ගීත ගායනා කර ඇත. ලැයිස්තුවක් ලෙස දැක්වුව හොත් එය මෙසේය.
'බා ලොලි ලොලි ලොලි'(පටාචාර), ⁣'දෙනෝ දහක්'(වජිරා), 'ඈත කඳුයායේ'(තරංගා), 'ගී පොතේ'(සතර පෙර නිමිති), 'ඉවුරු බිඳුනු'(අඹු සැමියෝ), 'මා හද වාවනු බෑ'( නිවෙන ගින්න), 'මංගල මධු'(සමනල කුමරියෝ), 'නිල් වන ලන්දේ'(මුවන් පැලැස්ස), 'පිණි දියෙන්(එයා දැන් ලොකු ළමයෙක්), 'සඳට සොරෙන් සඳ'(සිරිබෝ අයියා), 'සුදු මුතු මාල'(වාලම්පුරි), 'තාරකාවන් දිලී'(ඉන්දුට මල් මිටක්), 'උපුල් නුවන් වසා'(පොඩි මල්ලි), 'ආදරයට පිපුණු මල්'(කිඳුරු කුමාරි), 'ආශා පැතුම් යාවී'(අහස් මාළිගා), 'එක මව් කුසේ'(පූජා), 'සක්වල එතරට'(ගෙදර බුදුන් අම්මා), 'වැස්ස වැටී'(සිව් රඟ සේනා), 'අහසින් බසින්'(පෙම් රජ දහන), 'බැරි බර දරමින්'(සුදු සෙවනැලි), 'බව තන්හා' (සීතල ගිනි කඳු), 'දේදුණු පාට'(මුහුදු ළිහිණි), ⁣'දොයි දොයි බිළින්දෝ'(නාරි ලතා), 'දොර නාරින් අමල් බිසෝ'(අමල් බිසෝ), 'මහ ගිරි අරනේ'(හන්තානේ කථාව), 'පන්සලේ බෝ මළුවේ'(සරෝජා), 'කොන්ක්‍රීට් වනන්තරේ'(බහුබූතයෝ) 'මේක හරිම ගැටලුවක් '(සරිගම).
ලාංකේය සිනමාවේ ගීත සාහිත්‍ය තුලින් නන්දා මාලනිය කල විශ්මකර්මය, තව කිසිවකට කිරීමට නොහැක. සිනමාව වෙනුවෙන් ඇය අපට ඉතිරි කර යන දේ බොහෝය.
එදා 1962 වර්ෂයේ රන්මුතු දූව චිත්‍රපටයේ ජීවරානී වෙනුවෙන් 'ගලන ගඟකි ජීවිතේ' ගැයු හඬම ඉන් 40 වසරකට පසු "බහුබූතයෝ' චිත්‍රපටයට පබෝධා සංදීපනී වෙනුවෙන් 'කොන්ක්‍රීට් වනාන්තරේ" ගීතයේ ගැබ්වී තිබීම විශ්මයක්ම ය.
කාලානූපිතව ජිවන රඟ මඩලෙන් බැස ගියද, ලාංකිය සිනමා අම්බරයේ සදා දිලෙන එකම රම්‍ය සඳ ඔබමය.









-ශෝන් මැක්ස්මස් දිසානායක

-A day in the life
ජීවිතයෙන් දවසක් .

2026-05-13

කීරි සම්බා වී ප්‍රභේදය සොයාගත් විද්‍යාඥයා





BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය සොයාගත් විද්‍යාඥයා -


හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට තම මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යනයක්‌ සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක්‌ දිනූ වී ප්‍රභේදයක්‌ වන එච්-4 නිපදවීමේ ගෞරවය හිමිකරගෙන සිටි ආචාර්ය හෙක්‌ටර් වීරරත්නයි. ඉහත කී උපාධි අපේක්‌ෂකයා ව්‍යාපෘති අධ්‍යයනය සිදුකළේ ආචාර්ය වීරරත්න යටතේය. මෙම තරුණයාගේ හැසිරීම, විෂය කරුණු හැදෑරීමේ උනන්දුව, කැපවීම සහ තීක්‌ෂණ බුද්ධිය ගැන ඉව ඇල්ලීමට ආචාර්ය වීරරත්න පසුබට වුයේ නැත. ඒ ඔහුගේ සිරිතයි.
උපාධිය සමත් වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබද්දී මෙම තරුණයාව බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට අනුයුක්‌ත කර ගැනීමට ආචාර්ය වීරරත්න පෞද්ගලිකවම මැදිහත් වූයේ ඉහත කී ඉව ඇල්ලීමේ ප්‍රතිපලයක්‌ වශයෙනි. එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ආචාර්ය අර්නස්‌ට්‌ අබේරත්න වෙතින් කළ මෙම පෞද්ගලික ඉල්ලීම නිසාම තිස්‌ස රාජපක්‌ෂට පළමු පත්වීම ලැබුණේ bathalegoda බතලගොඩටයි. එය ශ්‍රී ලංකාවේ සහල් සංස්‌කෘතියේ අනාගත පෙරළියක්‌ ඇතිකෙරෙන පත්වීමක්‌ බව එකල මෙයට මැදිහත්වූවෝ කිසිවෙක්‌ නොසිතන්නට ඇත.
ආචාර්ය වීරරත්නයන් යටතේ රාජකාරි කිරීම යනු එසේ මෙසේ කටයුත්තක්‌ නොවන බව සැවොම දැනසිටි කරුණකි. එවකට ප්‍රධාන කෘෂිකර්ම මධ්‍යස්‌ථානයන් වූ බතලගොඩ, මහඉලුප්පල්ලම mahailuppallama වැනි පර්යේෂණ ස්‌ථානවල නිලධාරීන්ට සීමාවූ සුවිශේෂ උප සංස්‌කෘතියක්‌ තිබිණ.
නිලධාරීන් ලෙස කාර්යාල කාලසටහන්වලට අනුගතව ක්‍රියා කරනු වෙනුවට ඔවුහු තමාට අයත් බෝග වර්ගවල ජීවන චක්‍රයට සමපාත වෙමින් දිවා රෑ නොබලා පර්යේෂණයන්හි නිරත වීම මෙම උප සංස්‌කෘතියේ ප්‍රධාන ලක්‌ෂණයයි. එකල සිටි ආයතන ප්‍රධානීන්ද, තමාගේ යටතට පැමිණෙන තරුණ නිලධාරීන්ට පුහුණු කරවනු ලැබුවේ මෙම සිරිත් විරිත්ය. ආචාර්ය වීරරත්නයන් යටතේ දැඩි ආචාර්ය ධර්මයන්ට යටත්ව තම රාජකාරි ඇරඹු තිස්‌ස, වීරරත්නයන්ගේ අවසාන ගෝලයා ද විය.
තමාට ලැබෙන අභියෝගයන්ට නොසැලී මුහුණ දීම තිස්‌ස සතු සුවිශේෂී හැකියාවකි. ඔහු නින්දා, අවලාද හමුවේ කම්පා නොවුනා සේම ප්‍රසංශා, සම්මාන හමුවේ උදම් ඇනුවේද නැත. ඔහු දෙපාර්තමේන්තුව තුළත්, ජන සමාජයේත් අප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්වූයේද මේ නිසාමය.
තිස්‌ස උපන්නේ කෑගල්ල, අදාල , හපුදෙනිය ගමේ මවගේ මහගෙදරයි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර ගමේ නැවුම් පහස විඳිමින් මූලික අධ්‍යාපනය ලැබූ තිස්‌ස පසුව කෑගලු විද්‍යාලයට ඇතුළුව සරසවි පිවිසුම තෙක්‌ම එහි ශිල්ප හැදෑරීය. පිරිමි හතරක්‌ සහ ගැහැණු දෙකක්‌ වූ දරු කැලක තිස්‌ස දෙවැනි පිරිමි දරුවාය. ඔහුගේ වැඩිමහල් සොයුරාද මහනුවර ප්‍රදේශයේ ප්‍රකට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි.
වී අභිජනනය සිදුකරමින් නව වී ප්‍රභේද බිහිකිරීමෙහි ලා පර්යේෂණ පැවැත්වූ තිස්‌ස පශ්චාද් උපාධිය හැදෑරුවේ පිලිපීනයේ ලොස්‌ බානියෝස්‌හි විශ්වවිද්‍යාලයෙනි.
එහිදී ඔහු ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය හා අනුබද්ධව පර්යේෂණ කරමින් ලෝ සුපතල වී පර්යේෂකයෙකු වූ ආචාර්ය කුෂ් යටතේ කළ හැදෑරීම් වෙනුවෙන් පශ්චාද් උපාධිය දිනාගන්නා ලදී. අනතුරුව ඔහුගේ ආචාර්ය උපාධියද එක්‌සත් රාජධානියෙන් ලබාගත් අතර ඊට අදාළ පර්යේෂණයන්ද ඔහු සිදුකළේ පිලිපීනයේදීය. මේ සෑම අධ්‍යනයක්‌ සඳහාම වසර ගණන් විදේශ ගතවී සිටියත්, දිවයිනට ආ සැනින් බතලගොඩට යන ඔහු ඇඟට දැනෙන වී ප්‍රභේදයක්‌ බිහිකිරීමේ සිහිනය මල්පල ගැන්වීමට වෙහෙසුනි. වී ප්‍රභේදයක්‌ නිදහස්‌ කිරීම ලෙහෙසි පහසු කර්තර්වයක්‌ නොවේ. ඒ සඳහා විවිධ ස්‌ථරයන්හි නියෝජීතයින් තෘප්තිමත් කළ යුතුය.
පළමුව ගොවියාය. ලෙඩ රෝග අවමයෙන් යුතුව, සාධාරණ කාල පරාසයක්‌ තුළ, සැලකිය යුතු අස්‌වැන්නක්‌ ලබාගැනීම ගොවි මහතාගේ අරමුණයි. දෙවනුව අස්‌වැන්න සකසන මෝල් හිමියාය. කැබලිවීම වැනි හානියකින් තොරව ගුණාත්මක සහලක්‌ නිපදවීම ඔහුගේ අභිප්‍රාය වේ. ඊළඟට පාරිභෝගිකයාය. එයට හෝටල් හිමියන්ද අයත්වේ. ෆ්‍රයිඩ් රයිස්‌, බුරියානි වැනි විශේෂ පිළියෙලකිරීම්වල සිට සරල බත්/පොල්සම්බෝල දක්‌වා පරාසයක්‌ පිරවීමට ඔහු සුදුස්‌සන් සොයමින් සිටී.
ඇලීමෙන්, බෙරිවීමෙන් තොරව පිසගතහැකි සහලක්‌ ඇත්නම් ඔහු තෘප්තිමත්ය. සාමාන්‍ය ගෘහ පාරිභෝගිකයා ගතහොත් ඔහුගේ පැතුම වනුයේ ව්‍යංජන යොදා හොඳට ඇනූ රසවත් බත් කටකි. කම්මැලිකමකින් හෝ වෙහෙසකින් තොරව බත් පංගුව හමාර කරන්නට ලැබුනොත් ඔහුගේ ගත මෙන්ම හිතද පිබිදී යයි.
තෙරක්‌ නොපෙනෙන මේ අභියෝග සියල්ල ජයගැනීමේ අරමුණු හිසෙහි දරාගත් තිස්‌ස, දිවා රෑ වෙහෙසෙමින් වී අභිජනනයේ නියෑලීමේ ප්‍රථිපල කලඑළි බැස්‌සේ බී.ජී. 360 නමැති වී ප්‍රභේදය ඔහු විසින් රටට හඳුන්වා දීමත් සමඟය. එය සාමාන්‍ය වහරේදී කීරිසම්බා ලෙස හැඳින්වුණි. මේ ගැන බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු ප්‍රධානියෙකු වූ ආචාර්ය එම්. පී. ධනපාල මහතා මෙසේ සඳහන් කරයි.
"කීරිසම්බා කියන නම දාගත්තේ සමාජය විසින්. ඒක අපිවත්, තිස්‌සවත් හඳුන්වා දුන් නමක්‌ නෙවෙයි. හාල් ඇටයක්‌ ඉදෙන විට සාමාන්‍යයෙන් මහත් වෙනවා. එත් කීරිසම්බා මහත් වෙනවා වෙනුවට වැඩිපුර වෙන්නේ දිගින් වැඩිවීම. කීරක්‌ වගේ දෙපැත්තට දික්‌වෙන හින්දයි ඔය නම වැටුණේ".
මෙය බිහි කිරීම තිස්‌සගේ සුවිශේෂී ජයග්‍රහණයක්‌ වගේම ඔහුගේ වෙහෙසට ලැබුණු මහඟු, ත්‍යාගයක්‌. දැනටත් ලංකාවේ 50% කටත් වඩා වවන්නේ මාස තුන හමාරේ වයස්‌ කාණ්‌ඩයේ වී. කීරිසම්බා වැටෙන්නෙත් ඒ වයස්‌ කාණ්‌ඩයට.
අභිජනන වැඩසටහන් හරහා ගුණාත්මක බව වැඩිකරන විට ඊට වන්දියක්‌ වශයෙන් අස්‌වැන්න අඩුවීම විද්‍යාවේ මූලධර්මයක්‌. ඒ උනත් කීරිසම්බාවල ඒ සඳහා ගෙවූ වන්දිය බොහොම අල්පයි. ඒ නිසා ගොවියාට සාධාරණ අස්‌වැන්නකුත් කීරිසම්බා වගාවෙන් ලබා ගන්න පුළුවන්.
1999 සහ 2004 වසර දෙකෙහිදීම කෘෂිකාර්මික විශිෂ්ටත්වය වෙනුවෙන් වූ ජාතික සම්මානයෙන් ඔහු ජනපති වෙතින් පිදුම් ලැබීය. 2000 වසරේදී පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය විසින් පිරිනමන සේනාධීර අනුස්‌මරණ වී පර්යේෂණ සම්මානයද ඔහු විසින් දිනා ගන්නා ලදී.
තමාට ලැබෙන සම්මාන, පදක්‌කම් ආදිය නිවසේ අල්මාරියක්‌ තුළ සැඟවූ තිස්‌ස ඉතා අප්‍රසිද්ධව තම කටයුතු සිදුකරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යනවිට කීරිසම්බාවලට අමතරව තවත් ජනප්‍රිය වී ප්‍රභේදයක්‌ වන බී.ජී. 357 ද රටට හඳුන්වා දී තිබිණ. තවත් නිර්දේශිත වී ප්‍රභේද රැසකට ඔහුගේ දායකත්වය ලබා දී තිබේ.
මීට වසර කීපයකට පෙර රටේ නමගිය පුද්ගලයින්ට ජනාධිපතිතුමා විසින් කරන ලද සම්මාන ප්‍රදානෝත්සවයක්‌ රූපවාහිනියෙන් නරඹමින් සිටි මෙම ලියුම්කරු දුටුවේ තිස්‌ස රාජපක්‌ෂ තම නම කියවෙනවාත් සමඟම සන්සුන්ව ඉදිරියට ඇදී ගොස්‌ සම්මානයත් රැගෙන ආපසු අසුන් ගතවෙන අයුරුයි. ඒ වන විට ඔහු විශ්‍රාම ලබා වසර කීපයක්‌ද ගතවී තිබුණි. හරියටම ඊට දින දෙකකට පසු මහා දවාලේ කුඩයකුත් ඉහලාගෙන මහනුවර නගරයේ වීදියක්‌ ඔස්‌සේ ඇවිදයන ඔහු මුණගැසුණි. සම්මානය ගැන ලැබුනේ කදිම සාධාරණ පිළිතුරකි.
"අනේ ඔව්, මට කතා කරලා එන්නම කිව්වා. මට නම් එච්චර උනන්දුවක්‌ තිබුනෙත් නෑ. ඒ උනත් නොගිහිනුත් හොඳ නැනේ. මම ගැන හිතලානේ එන්න කියල තියෙන්නේ".
ඔහු සම්මානය පිළිගන්නට ගොස්‌ ඇත්තේ එසේය.
හදිසි අනතුරකට ලක්‌ව රෝහල් ගතව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී වුවද තමා බැලීමට එන හිතවතුන්ට සිනාමුසු මුහුණින් ඔහු කතාකළේ ජීවිතය පිළිබඳව කිසිදු කම්පාවක්‌ නැති පරිද්දෙනි. ඒ ඔහුගේ හැටිය.
විදේශ විනිමය වැයකර ගෙන්වන බාස්‌මති සහලින් කෙරෙන බොහෝ ආහාර වට්‌ටෝරු සඳහා අද කීරිසම්බා ආදේශ කිරීමට ආපනශාලා පියවර ගනිමින් සිටී. ඒ අතින් සිදුවී ඇත්තේ විදේශ විනිමය ඉතිරියකි. ලාංකික වෙළඳපොළෙහි මිල අධිකම දේශීය සහල් විශේෂය වන්නේද කීරිසම්බාය. එහෙත් මේ සඳහා මෙවැනි ඉහළ මිලක්‌ නියම වීම ගැන නම් තිස්‌ස සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවේ.
තිස්‌ස ගැන ලියන්නට අප සිතා සිටියේ කාලෙක පටන්ය. වෙනත් දේශයක මෙවන් විද්වතෙකු සිටියා නම් ඔහු ලබන සුවිසල් ප්‍රසිද්ධිය සහ වරප්‍රසාද දැක ඇති බැවින් ඒවා නැතත්, බත්කන මිනිසුන්ට තිස්‌සව හඳුන්වා දෙන්නට අප හට මහත් ඕනෑකමක්‌ තිබිණ.
එහෙත් මෙතරම් කලින් නික්‌මයාමක්‌ කිසිවිටක නොපැතූ නිසා ලිපිය පමාවීම නිවැරදි කළ නොහැකි වරදක්‌ බවට පත්වී තිබේ. තිස්‌සගේ අවසන් කටයුතු සිදුකරන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යෂවරයෙකු වූ ඡේ.ඒ.ටී.පී. ගුණවර්ධන මහතා විසින් ලියා අප අතට පත්කළ පැදි පෙළකින් තිස්‌සට සමුදෙමි.
කැලේ විකසිත විය - එහිම මුකුලිත විය නමුත් දසතම - සුවඳ විහිදින
ලොවේ සැමදන සුවඳ වින්දහ - සොම්නසින් සිත් සතන් සැනහින
සුවඳ විඳිමුත් නොදත්තෝ ඒ සුවඳ විහිදූ මල කුමක්‌දැයි සොයුර.....!!!
උපුටාගැනීමකි..
මේ ලිපිය ලියපු සෑබෑ අයිතිකරු ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.මම මේ ලිපිය පල කරන්නේ තිස්ස රාජපක්ෂ මහතාට උපහාරයක් ලෙසය.
බත් කන මිනිසුන්ට තිස්ස රාජපක්ෂ මහතා හදුන්වාදුන්.මෙවැනිම ලිපි රාශියක් ලියා කෘෂිකර්මය ගොවීන් අතරට ගෙන යන සනත් එම් බණ්ඩාර මයා හට බෙහෙවින් ස්තුතිය පුද කරන අතර මෙම ලිපියෙහි සියලුම ගෞරවය එතුමා හට ලැබිය යුතුය.
වැඩිදුර කෘෂිකාර්මික තොරතුරු සඳහා Asanka anurudda අපේ පිටුව Follow කරන්න.Like එකක් දාන්නත් අමතක කරන්න එපා.අනිත් අයටත් තොරතුරු දැනගන්න Share කරන්න.
#RiceFarming #PaddyField #Agriculture #SriLanka #FarmingLife #Paddy #Harvest #Nature #VillageLife #Farming

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-01

මහගම සේකර ගේ කථා.



මෑතක චරණ ටීවී එකේ ප්‍රචාරයවු සිනමා පටයක් බැළුවා. එය ගාන්ධි අනුගාමියෙකුගේ චරිතයක් වටා ගෙතුන කතාවක්.

සිනමා පටය පටන්ගන්නේ සුදු වතින් සැරසුන ඔහු බසයකින් පැමින බහිනවා.

බැහැලා ප්‍රසිද්ධ වැසිකිලි යට යනවා.

ගිහින් එන අයගේ අප්‍රසන්න මුහුණු දකිනවා. ඔහුත්  ගියාම දකින්නේ අප්‍රසන්න දර්ශනයක්.

ආපහු එන ඔහු ප්ලාස්ටික් බාල්දි , මුස්න වැනි වැසිකිලිය පවිත්‍ර කිරීමට අවශ්‍ය උපකරන කිහිපයක් මිළදී ගන්නවා.

ඒවත් රැගෙන යන ඔහු නැවත වැසිකිළියට ගොස් පිරිසිදු කර පිටව යනවා.

මට මේ කතාවත් එක්ක සිහිපත් වුනේ මහගම සේකරයන් පිලිබද පුවතක්.

මේ කියන කාලේ මහගම ලලිත කලා විද්‍යාලයේ විදුහල්පති.

වර්තමානයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය. තනතුර - උප කුළපති

සවදක් මහගමයන් කාර්යාලයට එන කොට සිසුවෝ වර්ජණයක. කාර්යාලය වටලලා 

මහගමයන් සන්සුන්ව මේ සිසුන් ගෙන් අහනවා 

 “මොකද මේ ළමයි………?” 

“සර්..අපෙ වැසිකිළි සෝදලා නෑ! ඒවා සෝදනකල් අපි පංතිවලට යන්නෙ නෑ!” කාරනාව පහදනවා.

“හ්ම්…….” මහගමයන් කාර්යාලය  ඇතුලට ගියා. 

ශිෂ්‍යයයො බලාන හිටියා.

විසදුමක් දෙනකම්.

 “දැන් මොකක්හරි ක්‍රියා මාර්ගයක් ගනී…..” නැත්නම් අපි දිගටම වර්ජනේ..

කාලය ගෙවීයනවා …. පැයක් දෙකක්..

ඔන්න මහගමයන් කාර්යාලයෙන් එළියට විත් සිසුන් හමුවෙනවා 

ලේන්සුවෙන් අත් පිහිදමින්…………….. 

“හරි……අන්න මම ඒවා සේදුවා…! 

දැන් ඔය ළමයි පංති වලට යන්න…….”

වර්ජණය ඉවරයි…








A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-02-28

සුනිල් මාධව - ජයලාල් රෝහණ කියූ කතාව





1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-
-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.
එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.
"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.
මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.
"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.
"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."
"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.
"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.
මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.
"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"
"ඔව් මල්ලි"
"ඔයා .... සුනිල් මාධව ද?"
"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"
සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.
"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"
"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"
"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."
රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්
"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.
"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.
"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.
"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"
එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?
* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ "රාවය" සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ "යුක්තිය" පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්
මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?
ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?
ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ 'දෙසතිය' සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. "සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා."
මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.
විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]
කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.
ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.
වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.
ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.
2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.
වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.
නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා 'ජනතා කලාකරුවෝ' නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට 'සුනිල් අයියා' ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. "මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන" හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. 'අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ' කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. 'සුනිල් අයියා' ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍
ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.
"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...
"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"
"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"
"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."
'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.
දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.
"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."
අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.
‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.











Jayalal Rohana | ජයලාල් රෝහණ
බූන්දි, අඟහරුවාදා, මැයි 18, 2010

ප්‍රේමලාල් කුමාර - මුණු පොතට.
A day in the life