මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ලැජ්ජ බයට හැදිච්ච ළමිස්සියො කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නත් බොහොම කුලෑටියි. ඒ හින්දා ඒ ගොල්ලන්ට දීගතල දෙන වයස ආවත් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න දහිරියක් නැහැ. වෙනකක් තියා ගමේ ලොකුමහත් වෙච්ච දැරියන්ට දෙමාපියො වැඩිහිටියො තහංචි දාලයි තිබුණේ.
Sunday, June 15, 2025
මඟුල් කපුරාළ
Thursday, June 12, 2025
Sunday, June 08, 2025
ගජමන් නෝනාගේ අප්‍රකට කවි
වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.
රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේවා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේවානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ
ස්ත්‍රීලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේගජමන්ට සරදම් පිණිස ය.ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ !
කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේවේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේවානර මුව උලති හම යනතුරු හොස්සේ
Tuesday, May 13, 2025
දිව්‍යලෝකේ බොරු මීටරේ .
සිරිපාල හදිස්සියේම මැරුනා.
දවසක් දෙකක් ගෙදර වටේ කරකැවී කැවී හිටියත් සිරිපාලගේ අදහස සම්පුර්න වුනේ නෑ.
ගෙදර මිනිස්සුන්ට පළවෙනි දවසේ තිබුන දුක වේදනාව දෙවෙනි දවස වෙන කොට පාවෙලා ගිහිල්ලා. උඩ බලා ගෙන හිටියත් ඇති කියලා දැන් සිරිපාලටත් හිතිලා.අඩන දොඩන සීන් වලින් අනම් මනම් දොඩන සීන්වලට හෙමින් හෙමින් මාරු වෙලා.පස් යට හිර වෙන්න කලින් මෙතනින් මාරු වෙන්න ඕන කියලා හිතපු සිරිපාල ගෙදර ඉස්සරහ අඹ ගහේ අත්තකුත් ජර බරාස් කියා ගෙන එතනින් මාරුවුනා.
Monday, April 21, 2025
මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"
- කමල් පී අලහකෝන්.
A day in the life
රජතුමා සියතින් ගිළිහුන මුද්ද ගැනීමට බිමට පහත් විය.
එවිට පිටුපසින් ආ මහඇමති රජ්ජුරුවන්ගේ පශ්චාත් භාගය මිරිකුවේ ය.
මහත් කෝපයට පත් රජු,
"වහාම මොහුගේ ගෙළ සිඳ ලනු!" යි,
අණ කළේ ය.
තම සියළු කාර්යයන් හිදී අනලස්ව සේවය සපයන
මහඇමතිට උන මේ විපරියාසය ගැන
කෝපය සිඳුනු පසුරජු කල්පනා කළේය.
දඟ ගෙයි දමාසිටි මහඇමති ගෙන්වීය.
"මඇමතිය,තොප මේ කළ අවිනීත ක්‍රියාව ගැන
නිදහසට කරුනු ඇත්නම් කියව!" යි කීය.
"පස්වාන් දහසකට බුදුවන්ඩ.
මම හිතුවෙ නෑ ඒ ඔබ තුමා කියලා..
මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"
Thursday, April 17, 2025
කෙන් බාලේන්ද්‍ර වීරයෙක් .
මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.
පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ...
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.මොනවද අද ඔබ මේ රටට කරන්නේ...
දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්රබලව බලපාන සාධකයක්.
ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ...
තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.
ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද...
හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම... වගකීම... වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.
ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද...
නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.
හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද...
සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.
ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න...
ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්යක්ෂවරු මත ම නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.
මොකක්ද ඔබේ මුල් ම රස්සාව...
හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්...’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්... ඉංග්ලිෂ්... ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක...
ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.
වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස...?
කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.
ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද...
දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි... රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.
ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද...
ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද... මං ඒ තැන්වලින් අයින් වුණා.
හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.
කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා...
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු...’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.
කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්...
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.
ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද...
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්...’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය...’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.
මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක...
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.
ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද...
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.
බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද...
ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.
ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න...
පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.
එතකොට ඉස්කෝලෙ ගියේ..
ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.
එතකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද...
මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.
ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ...
මං දක්ෂ වුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි... පඩි... පඩි... (පාඩම් කරන්න... පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද...
අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සිලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙනකොට මං රග්බි ටීම් එකේ වයිස් කැප්ටන්.
ජීවිතයේ අරපිරිමැස්ම... අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද...
‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා - තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්...
අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද...
කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.
ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ...
ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්... වෝකර්ස් ටුවර්ස්... චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ... බ්‍රැන්ඩික්ස්... මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද... මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.
කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා...
තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.
බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි..
ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.
ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද...
මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)
තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද...
ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න... සිංදු කියන්න.... දුවන්න... හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.
Wednesday, April 02, 2025
මක්කැයි කිව්වේ ?.
බෙන්තර ගගෙන් එගොඩට වෙන්නත් බස් වහරේ ඒ පැත්තට ආවේනික වචන තියෙනවා. දකුනේ “මක්කැයි කිව්වේ.- මොනවද කිව්වේ , ඔහේ දන්නවැයි - ඔයා දන්නවද “ වගේ වචනත් එක්ක “ඒකා රහත්වෙලා කිව්වොත් - එයා අතුරුදහන් වෙලා , ගිය තැනකින් ඇවිත් නැහැ. කියලයි අදහස් වෙන්නේ. කපුවා - දකුනේදී කේළම් කාරයා වෙනවා. ඇත්තෙන්ම රාජකාරියත් එහාට මෙහාට එක දෙක කියලා කියන එකනේ.
බුලත් ආදරය - සංග්‍රහ කිරීමට යෙදෙන කොට රොඩු ලෑම - හොරහින් බැලීමටයි කියන්නේ. අපි නම් රොඩු දානවා . මල් කඩනවා කියලත් කියනවා නේ.
තටා මාට්ටු කිරීම -අවවාද කරනවට , දඩුවම් කිරීමට කියන පදයක් දෑවා - පිලිස්සුන එහෙම නෙමෙයි. “ ඔහේ ඒක දෑවයි ?. කියලා ඇහුවොත් අපි තේරුම් ගන්න ඕනි “ඔයා ඒක දැම්ම ද “ ? කියලා.
පොල් නම් ඔයනවා. පොල් විතරක් නෙමෙයි දොඩම් නාරං වගේ දේවල් ඔයන කොට අපි කරන්නේ ලෙලි ගහන එක. හොද කරනවා - පොල් හැර අනෙක් පලතුරු අපි සුද්ද කරනවා.අපි එහෙම කරන කොට දකුනේ ඇත්තෝ ඒවා හොද කරනවා.
“ ඔහේ කාටෙයි ඔය දොඩවන්නේ ? .” ඔයා කාටද ඔය දොස් කියන්නේ ?.ආරෝවක් කරගන්නද හදන්නේ .දොඩවලා ආරවුල් ඇති කර ගන්න කලහම්මාව - කැලබීමක් ඇති කර ගන්න හේතුවක්.
අබියෝගකාරයා - සිහිවිකල්වු අයට කියන කොට අපිට ඉන්න අබියෝග කාරයින් ගැන කම්පාවක් ඇතිවෙනවා.
මරදයා , අමදකුලුපාර -කලබලය ට පත්වෙලා දෝස්මුරය තර්ජනය කරන වෙලාවල් තියෙනවා . මොදරා - මොනරා පෙද පිහාටු ලෙසයි හදුන්වන්නේ.
අතුකැටියයි ( ඉදල ) - මුස්නයි ( කොස්ස ) අරගෙන කරකසුරි ( දක්ෂ ) ලෙස සුමක්කරේ ( කෙළවරක් නැතිව වැඩ කරන්න ) ගහන්න වෙන වෙලාවල් එනවා.
මේ අස්සේ අහින්නත් කියනවා.නෙලන්න උදලු ගාන්න එතකොට තමයි ඉඩිතිතුවෙන්නේ.
කලබල වෙන්නේ.
සුලිජ්ජ - නම් මුත්‍රාවලට කියනවානේ . මිරිජ්ජ මිරිදිය කරිජ්ජ පාගපු දකුනේ ඇත්තෝ
අපිට ඔච්චම් කරන වෙලාවල් එමටයි. අපිට දිවුල් එයාලට කටුබොර , පඩිය - මී වදය , පැගිරියා - බුලත් විට , ගගුල - වතුර ට වහරන පද.
පුබ්බරුවට ( බතට ) කහවතුර ( හොද්ද ) ටිකක් ආනමට ( රසවත් හොද්ද )හදගත්තම පංකාදු පහයි .
දිරච්චා - දර, රත්තා - ගින්දර , ගුගුරන්නාව - තුවක්කුව කොටන්නාව ( පොරව ) කපන්නාව (පිහිය ) නිතර ඕන වන දේවල්.
හිගන්නා ( දඩයක්කාරයා ) ට හමුවෙන ආප්පයා ( හාවා ) , වරපොටයා ( තලගොයා ) සුබරයා ( මුවා ) පොට්ටනියා / මහරැහැන්කාරයා ( කොටියා ) , උසරා/ගජරා/බොටකදා ( වල් අලියා ) ගුගුරන්නාව ගිනි බින්දොත් හබක් තමයි.
මල් ඉහිරෙන වැස්ස ( සිරි පොද වැස්ස) ටිකින් ටික වැඩිවෙලා මාරියාව ( තද වැස්ස ) පටන් ගන්නවා.වැව් මදව්දානවා ( වාන් දමනවා ) මදව්ව ( පිටවාන ) මේවා ඉතින් ගොවිපලට ( කුඹුරට )හාණි කරයි.
හින්නා පුංචි එකා පුංචි දරුවො වැඩිහිටියන්ට හින්නා. හින්නි පුංචි එකී. හින්නි අම්මා, හින්නි නැන්දා පවුලේ සාමාජිකයෝ.
Monday, March 10, 2025
දොට්ට පිලට යනවද ?.
දොට්ට පිලට යනවද?පිල ගැන නොදන්නා කතා!"රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න"මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!දොරට පිලට - දොට්ට පිලට. මෙතන දොර කියන්නෙ ගෙදර තියෙන දොර නෙවෙයි! ගෙයින් පිට මිදුල කොටසට.එතකොට පිල කියන්නෙ මොකක්ද?පිල කියන්නෙ ගෙයක් හදනකොට පොළොව මට්ටමට වඩා උසට හදාගන්න බිමට. මේ වචනය හැදිල තියෙන්නෙ වේදිකාව යන තේරුම තියෙන පලකය යන වචනයෙන්.පිල අපේ ගෙවල්වලින් ඈත් වුනත් තාම පිල් තියෙන තැන් තමයි මේ.කඩයකට හදපු පිල- කඩපිල.සල්( වෙළඳාමට) හදපු පිල - සල්පිල.අපි දැන් බලමු ගෙයක තියෙන පිල් වර්ග ගැන. ලීවලින් හරි වෙනත් දේකින් හරි හදපු ගෘහභාණ්ඩ වැඩිපුර නොතිබුණු ඒ කාලෙ ඇඳ , පුටු, මේස ඔක්කොටම පාවිච්චි කළේ පිල තමයි.1 ගෙපිල-ගේ හදන්න පොළොව මට්ටමට වඩා උසට හදාගන්න කොටස. ගේක තියෙන අනිත් හැම පිලක්ම වගේ හදල තියෙන්නෙ මේ පිල උඩ.2 වටපිල-ගෙයි බිත්ති ශක්තිමත් කිරීමට, ගෙට පිට පැත්තෙන් බිත්තියට යාකර සකස් කරන පිල. මේකට දැන් කියන්නෙ කයියෝරුව/ කයිරුව කියල.3 අගුපිල-ගෙයින් එළියට වැටෙන වහලයේ කොනට යටවෙන බිම් කොටසත් පොළොවට වඩා තරමක් උසටයි තියෙන්නෙ . ඒක තමයි අගුපිල. අද කාලෙ නම් සිමෙන්තියෙන් තමයි මේක හදන්නෙ." අපේ පිරිමි පැල් යනවා කියලාපැලට ගිහින් ගිනි බෝකර තියලාඑළිවෙනතුරු අගුපිල්වල ලැගලාඋදේට එයි පැල් රැක්කා කියලා "පැල් රකිනවා කියල ගිහින් අගුපිල්වල ලගිනා සැමියන් ගැන, ගැමි ගැහැනු කිව්වෙ එහෙම.එහෙම කෙනෙකුට වෙච්චි අකරතැබ්බයක් තමයි මේ කවියෙන් කියන්නෙ!" අනේ දෙවියනේ මට වන් වියෝයාපැලේ පැදුර හොරු අරගෙන ගියෝයාගෙදර ගිය කලට අඬ දබර බෝයාපැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා "පැල් රැක්ක නම් එතන තිබ්බ පැදුර හොරු ගෙනිච්චෙ කොහොමද?හැබැයි හැම සැමියෙක්ම එහෙම නෑ. පිලේ පැදුර අරන් පැලට ගිය, ඒ විදියෙ සැමියෙක් මෙහෙමයි කිව්වෙ!" පිලේ පැදුර අරගෙන හේනට යනවාඑලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවාහිතේ දුකට එතකොට කවි කියවෙනවා"4 දොර පිල-ගේකට ඇතුළුවෙන තැන දොරකඩ. ගෙපිල තරමක් උසට හදන නිසා මේ ගෙපිලට නගින්න දොර ළඟ පඩියක් හදල තිබ්බ. ඒක තමයි දොරපිල.5 උස් පිල/ කොට්ට පිල-ගෙදර ඉස්තෝප්පුවෙ නිදාගන්න හදාගෙන තිබ්බෙ උස් පිල. ඒක බිත්තියටම යා කරල, පොළොව මට්ටමේ ඉඳල අඩි තුනක් විතර උසට අඩි තුන හතරක් පළලට හදපු ඇඳක් වගේ. ඒ උනාට ඇඳක වගේ කකුල් නෑ. කොට්ට පිල කිව්වෙත් මේකටමයි.6 මිටි පිල-උස් පිලට නගින්න පඩියක් වගේ දිගට හදල තිබ්බෙ මිටිපිල.7 පිල් කඩ/ පිල් කොටේ-.දොරෙන් එළියෙ තියෙන ඉස්තෝප්පුව වගේ කොටස තමයි පිල් කොටේ. පිල් කොටස කියන එකයි ඒකෙ තේරුම.පිල් කඩක් කියන්නෙ ඕනම තැනක පොළොව උස්සා සකස් කළ කොටසකට.8 පිල් තලව්ව-පිල් තලාව කියන එකයි මේකෙ තේරුම. පොළොව උස්සල සමතලා කරපු තැනක්.9 මඩුපිල-පැරණි ගේක ඉදිරිපසින්, බිත්ති බැඳීමක් නැතුව ගෙපිලට උඩින් වහලය විතරක් හදල, මඩුවක් විදියට තියෙන කොටසට කිව්වෙ මඩුගේ කියල. ඒ මඩුගේ තියෙන පිල මඩුපිල. ඒකෙ තමයි හුගාක් වෙලාවට ගෙදරට එන අමුත්තන් වාඩිවෙන්නෙ!10 හප්පා පිල/ කුදගහනා පිල-කුස්සිය පැත්තෙ දොරෙන් එළියේ තියෙන මේ පිල් කොටස, ගෙදර අයට විතරක් වෙන් වුණු පිලයි. මෙතන කුදගහනව කියන්නෙ ඇණ තියාගෙන වාඩිවෙනවා කියන අරුතෙන්. ගෙදර ඇත්තො කුස්සියෙ උයල සප්පායම් වෙන පිල නිසා හප්පාපිල වුණා.11 ලිප්පිල/බොකු පිල/ගිනි පිල -ඇතැම් ගැමි ගේක ලිපත් වියතක් විතර උසට බැඳල හැදුව. ඒකට තමයි ලිප්පිල/බොකු පිල/ ගිනිපිල කියන්නෙ. ඒකෙ වලන් තියන්න කටවල් වගේ දෙකතුනක් ගෙබිමෙ මට්ටමට හදල ඒකට ලිප්කට කිව්ව11 පිලිකන්න-පිලේ කොන- පිල්කොන- පිලිකන්න. ඒ කියන්නෙ බිත්තියෙන් එළියෙ තියෙන අගුපිලේ අවසාන කොටස පිලිකන්න.
Tuesday, February 25, 2025
චරිත තුනක්.
මීදුමට අපුරු චරිත තුනක් මතක් වුනා. තුන්දෙනාම මීදුමගේ අසල්වාසීන්.
නම් කියන්න හොද නැහැනේ.
අපි නම් තුනක් හදා ගනිමු.
දෙන්නෙක්ට තිබුනේ එකම නම. වැඩේ ලේසි වෙන්නත් එක්ක ඒ දෙන්නට “ පුංචි මහත්තයා “ කියමු.
ඒ දෙන්නා ගමේ අය හදුනාගත්තේ කොණ්ඩෙන්.
එක්කෙනෙක් කොණ්ඩේ බැදලා . අනිත් එක්කෙනා කොණ්ඩේ කපලා.
කොණ්ඩේ බැදලා හිටපු එක්කෙනාට ද්‍රවිඩ සහෝදරවරු කිව්වේ “ කොණ්ඩ කට්ටි “ කියලා.
එතකොට කොණ්ඩේ කපපු එක්කෙනා “ කොණ්ඩ වෙට්ටි “ වුනා
දෙන්නාම පදිංචි වෙලා හිටියේ පාරෙන් වෙන්වුන ඉඩම් දෙකක මුහුණට මුහුණලා හදපු ගෙවල් දෙකක.
මේ දෙන්නා නෑ කමට අමතරව හරිම යාලුවෝ.
දෙන්නම ඉර හැරෙන යාමෙට යන ගමනක් තිබුනා. ආපහු ආවම කොණ්ඩ කට්ටි නිශ්ශබ්දයි. ඉරියව් වල අමතර වෙනසක් තියෙන්නේ වැඩියෙන් හිනා වෙන එක, වෙනත් වෙලාවට දකින්න නැති ලෙන්ගතු කමක් ආරූඩ වෙනවා.
කොණ්ඩ කට්ටි එහෙම නෙමෙයි. ගෙදර ෂන් ෂේඩි එක යටට ඇවිදින් මුලු ගමම අමතනවා.
ආරච්චි මහත්තයා, වෙල් විදානේ මහත්තයා, ස්කොලේ ලොකු මහත්තයා, මුදලාලි මහත්තුරු කී නොකී ගමේ චරිත සෝදා සෝදා මඩේ දානවා.
හැමදාමත් හිරු ගිලෙන හැන්දෑවට කොණ්ඩවෙට්ටිගේ ප්‍රහාරයට මේ චරිත වලින් එකක් දෙකක් ලක්වෙනවා.
මතක නැතිවුනානේ කොණ්ඩවෙට්ටි දෙවන ලෝක මහා යුද්ධයට හමුදාවට බැදී සිංගප්පූරුවට ගිහින් ආපු විශ්‍රාමික යුද සෙබලෙක් .
ඉතින් , වීරයා වගේ අමතන්න අමුතු හයියකුත් තියෙනවා නේ.
මේ ඩෝප් සීන් එක එවරවුනාම මිනිහා පූසා වගෙයි. කාටවත් හිරිහැරයක් නැහැ.
තුන්වැන්නා එහෙම චරිතයක් නෙමෙයි.
රතු ලේ ඇග පුරා ගලන තදබල මාක්ස්වාදියෙක්, සමාජවාදියෙක්. ( වෙනස් මතවාදි වෙනසකට පත්වු අවස්ථාවක් තිබුනත් ).
නමින් ජුවානිස්.
වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ ජුවානිස් අයියා කියලා. මෙච්චර කාලයක් හිටියානම් දැන් වයස සීයයකට ආසන්නයි.
මීදුම එහෙම ලීවේ සියයක් වසරක් ඉදලා ජුවානිස් අයියාගේ දේශපාලන අභිමාර්ථය කිරුල පලන්දන් ඉන්නවා දැකලා සතුටු වෙයි ජයටම කියලා හිතලා.
ඒත් දුක්වෙන්නත් වෙයි කියලා මීදුමට හිතුනා මේ විකෘතියට.
ගමේ තිබුණා කම්හලක් . පිහිය මන්න කැති වගේ උපකරණ හදන. මේ කම්හලේ ලිපට ඕන කරන දර සදහා යොදා ගත්තේ ප්‍රදේශයේ තිබුන “මරන් “ කියන ගස් වර්ගයෙන්.
“මරන් “ කිව්වාම ආදියේදී බලංගොඩ යකඩ නිස්සාරණ යේදී මේ දැව වර්ගය.යොදා ගෙන තිබුනා . මේ දැව බහුලව තිබුන ගම් ප්‍රදේශ “ මරන්ගොඩ, මරන්ගහවෙල “ වගේ නම් වලින් අදත් හදුන්වනවා.
ජුවානිස් අයියා ගැන කියාගෙන ඇවිත් අතුරු කතාවකටත් ආවා.
ජණගහණය වැඩිවෙන්න වැඩිවෙන්න ජනාවාස වෙන කොට කැලෑ එළිවුනා. මරන් වැනි ශාඛ ක්‍රමයෙන් වදවෙලා ගියා.
අපි දන්නා කාලයේ ඉතාමත් සීමිත ඉඩම් පුමාණයක තමයි මරන් ගස් තිබුනේ. අවසානයේ ප්‍රදේශයෙන් මේ ගස් වර්ගය වද වෙන තුරු ම දර සපයන්න ජීවිත කාලය ම කැප කර ජුවානිස් අයියා මියයන වකවානුව වන විට අර යකඩ වැඩ කල කම්හලත් නවීකරණය වෙලා.
මීට අමතරව පාන් බේකරියට ටිකක් යමක් කමක් තියෙන ගෙවල් වල උදවියත් ජුවානිස් අයියාගෙන් දර මිළදී ගත්තා.
මුල් කාලයේ කැලේ දර විකුණන්න පුළුවන් වුනත් කාලයක් යන විට දර සොයා ගන්න අපහසු වුනා. ගමේ ජනගහනය පසු ගිය දශක පහේ දස ගුණයකින් විතර වැඩි වුනා. කාලයක් යන විට වැඩි වුන ජනගහනය ට නිවාස ප්රශ්නය විසඳන්න ආණ්ඩුවේ කැලෑව වැසියන් අතර බෙදා දුන්නා. නැත්නම් ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන පැල් කොටයක් අටවා ගෙන පදිංචි වුනා. ගම විසින් ගිල ගත් කැලෑව ජනා වාස වුනා.
කැලේ දවසින් දවස අඩු වුනා. අපේ කථානායකයා වන - ජුවානිස් අයියට දර සොයා ගන්න බැරි අවස්ථාව ආවාත් ඔහු රස්සාව අත් හැරියේ නෑ. කැලේ ගස් කපලා දර බවට පත් වෙන්න හැරලා ඉන් පස්සේ විකුණන්න පටන් ගත්තා. අන්තිමේ කැලේ නැත්තට ම නැති වුනා. වන සංරක්ෂණය උදෙසා වගා කර තිබූ වන වගාව ආක්‍රමණය කරලා දරට විකුණා දමමින් පොලිසි උසාවි ගානේ යාමිනුත් මරණය තෙක් ම තම රක්ෂාව නම් අත් හැරියේ ම නැහැ. රජයේ නිලධාරියන්ගෙන් රැකියාවට පීඩන වැඩි වෙන කොට තාවකාලික රැකියාවකට ගමෙන් බැහැර වුනත් ටික දවසකින් ගමට ආ විට ආයෙත් පරන රස්සාවට බැස්සා.
ඔහුගේ දේශපාලනය හැමදා මත් ප්‍රතිසංස්කරනවාදියි.
අප දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තදබල සමසමාජ පාක්ෂිකයෙක්.
අවුරුදු හත අටකට ඉස්සර සමෘද්ධි සහනාධාර පිළි බද ප්‍රශ්ණයක් ඇතිවී එජාපයට ගිය ඔහු තද බල එජාප වාදියෙක් වුනා.
ඔහු ගම් වැසියන් දරන හැම මතයම දැක්කේ ඔහුගේ කෝණයෙන් වැරදි මතයක් ලෙසයි.දැන් කාලෙත් ඔය ඉන්නේ තම දේශපාලන මතයට අභියෝග කරන මතවාද දරන්නන් අපහාසයට උපහාසයට දක්වන අය.
ඒ හැම මතයට ම ප්‍රති විරුද්ධ මතවාදයක් ඔහු ට තිබුණා. කැලේ විනාශ කිරීම හැර. ඒ ඔහු ගේ රස්සාව නිසා කරන වැඩේ වැරැද්දක් දුටුවේ නෑ. නිතරම කතා කලේ ගමේ සිදු වන දේවල් ගැන විරුද්ධ මතයක සිට ඔහු සෑහීමකට පත්වෙන මතවාදයක් ගමේ කවදාවත් තිබුණේ නැහැ. පාරක් හැදුවත්, ළිඳක් හැදුවත් ,ජල නල මාර්ගයක් එළුවත්, ඒ වැඩේ කරන අන්දම ගැන වැරදි පැත්තක් තමයි ඔහු දුටුවේ.හැමදේම විවේචනය කලා.
මොහු හොද කියවන්නෙක් . දිනපතා ම පුවත් පතක් කොයි තරම් අමාරු කම් මැද්දේ උනත් මිළ දි ගැණීමේ පුරුද්දක් ඔහු ට තිබුණා. කලින් “ඇත්ත , රාවය , දිවයින ,හිරු වගේ විකල්ප පුවත් පත් , පසු කාලයක ලංකාදීපය වැනි පුවත් පත් කියවන බව ගම් වැසියන් නිරීක්ෂණය කරලා තිබුණා. මේ පුවත්පත අකුරක් නෑරම කියවීම ඔහුගේ පුරුද්ද. මේවායින් ඔහු දැනුවත් වුනා.
කේන්ති කාරයෙක් වුන ජුවානිස් අයියා සමග වාද විවාදවල පැටලෙන්න නම් කවුරුත් කැමති වුනේ නැහැ.
ආයෙත් දවසක හමුවෙමු .
අපේ ගමේ විත්තිත් සමග.
A day in the life