අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Thursday, November 06, 2025

11/06/2025 10:00:00 pm

මේක නම් මාර වැඩක්. 
NPP එකේ ලංඩන් රැස්වීමට ගියාද? නැද්ද? කියලා ගොඩක් දෙනා කතා කරලම අහනවා. ඉවරයක් නෑ. 
මම ගියේ නෑ. ඒ ආණ්ඩුවට ඇති විරෝධයක් නිසා නම් නොවෙයි.
ගියේ නැත්තේ මොකද ඇහුවම මම කාටත් එක වගේ උත්තරයක් දුන්නා.
ඔය එතනට ආපු නලින්ද ජයතිස්ස, හර්ෂණ නානායක්කාර සහ සරෝජිනී පෝල්රාජ් කියන දේවල්වලට මහ හයියෙන් අත්පුඩි ගහන්න හරි, විසිල් ගහන්න හරි මට නම් කිසිම ඕනෑකමක් නැහැ. මොකද එහෙමයි සාමාන්‍යයෙන් ඔතන වෙන්නේ.

අහන ඕනම ප්‍රශ්නයකට ඔවුන් දෙන අළුත් පිළිතුරක් නැති බව මගේ නම් අදහස. ඒත් "කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු නොවන්නා සේ" එතෙර හිටියත් අපේ ජානගත දේශපාලන ලාලසාවේ කිසිදු වෙනසක් නැති නිසා අපි දේශපාලන නායකයන් ඉදිරියේ අමුතුම ප්‍රමෝදයකට පත්වෙනවා.
මැයි රැළියට, පක්ෂ සම්මේලනයට ගියා වගේ තමයි මේ වගේ තැනකට ගියත් යන අය ප්‍රතිචාර දක්වන්නේ. රටට යමක් කරන අවංක මිනිස්සු කෙරෙහි එහෙම බැඳීම් ඇතිවීම ගැටළුවක් නෑ. එහෙත් ලංකාවේ ඉඳලා නෑයෙක්, සමීප හිතවතෙක් ආවම දැනෙන හැඟීමෙන් මේ ඇමතිවරුන් පිළිගැනීමට වඩා දැන් හිතන්න දේවල් ටිකක් තියෙනවා.

ජනතාව ඔවුන්ට වගකීමක් භාරදීලා තියෙන්නේ වැඩකරන්න. ඒ කරපු සහ කරමින් සිටින දේ ගැන අපි දන්නවා. යම් සාධනීය දේවල් ටිකක් කළත් සෑහෙන්න පුළුවන් දෙයක් කරලා තියෙනවා කියන්න බෑ.
පෞද්ගලිකව මේ චරිත වුනත් විමසන්න පුළුවන්. නලින්ද ගත්තම සෞඛ්‍ය ඇමති හැටියට අඩුම තරමේ ඉස්පිරිතාල ටිකට නොඅඩුව තවම බෙහෙත් ටික දී ගන්න බැහැ. හර්ෂණ අධිකරණ ඇමති හැටියට කරපු අමුතු දෙයක් නෑ. පෝල්රාජ් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීම හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැඩකොටසක් කර නැහැ.
මේ වගේ දේවල් අහලා ඔවුන්ට පොඩි බලපෑමක් කරන්න යන එක නම් හොඳයි. එහෙත් ඔවුන් වේදිකාවේ ඉඳලා ඒවට උත්තරයක් ගැටගහලා දෙන බව අපි නොදන්නවා නොවෙයි. ඒක සියලු දේශපාලකයන් කරන වැඩක්.

අනෙක් කාරණය තමයි අනුර කුමාර සහෝදරයා ඇතුළු ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්කකරගනිමින් දැවැත්ත එතෙර ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. මී මැස්සෝ වගේ ඒවට ශ්‍රී ලාංකිකයන් ආවේ.
ලංකාවේ ඉන්න මිනිස්සු මේවා දිහා තුෂ්නිම්භූතව බලාගෙන හිටියා. මේ සැරේ අනුර හා මාලිමාව ආවම "කල්ප වෘක්ෂය" පහළ වූවාක් මෙන් පිටරට වෙසෙන අයගේ සහාය ලැබෙයි කියලා මිනිස්සු හිතුවා.


මතක හැටියට, මාලිමාව බලයට පත්වූ පසු එංගලන්තයේ සිටින තම මිතුරෙක් රට වෙනුවෙන් පවුම් මිලියනක් දෙන්න සූදානම් බව සංගීත් විජේසූරිය එකල කිව්වා. ඊටත් වඩා රට හදන්න තමන්ගේ ධනය මෙන්ම දැනුම කැපකරලා රටට එන බව බොහෝ දෙනා පාරම්බෑවේ නෑ. කියා සිටියා.
කිහිපදෙනෙක් ගිහින් ඇති. ඒත් ඕවා ගැන කියන්න තියෙන්නේ "කතාව දෝලාවෙන්, ගමන පයින්" කියලා විතරයි.

මේ පිට රටක ඉන්න අපි කාටත් තියෙන්නේ එකම වගේ හැඟීමක්. ලංකාව ගැන ආදරයක් තියෙනවා. ඒ ප්‍රශ්න වෙනදාටත් වඩා දැනෙනවා. හිත උණුවෙනවා. හැබැයි ඒ වෙනුවෙන් මේක දාලා ගිහින් දෙයක් කරන්න බහුතරයක් කැමති නෑ. ඒක තමයි ඇත්ත. එහෙම කවුරු හරි ඉන්නවා නම් ලියන්නකෝ.

ගොඩක්ම ඉන්නේ ලංකාවේ මැතිවරණයක් එන විට රැල්ලත් එක්ක චූන් වන කට්ටිය. ඒක ජන බලවේගයත් දන්නවා. ඒත් මැතිවරණ ජයග්‍රහණයක් සඳහා විදෙස්ගත අය නියම තොරොම්බෝල හා සැරසිලි. ඕනෑම පක්ෂයක් එහි ප්‍රචාරක වාසිය ගන්නවා. 
ඒකේ කප් එක ගැහුවේ නම් අනුර සහ මාලිමාව.
නලින්ද, හර්ෂණ සහ පෝල්රාජ්හේ මේ ලංඩන් ගමනත් එහි දිගුවක්. 
එසේ නොවන්නේ නම් ඔවුන් අවුරුද්දකට පස්සෙ වෙනත් රටකට ඇවිත් කතා කළ යුත්තේ "රට හරි පාරට ඇවිත්, හොරු ඇල්ලුවා සහ අල්ලනවා, ආර්ථිකය ගොඩදාමින් ඉන්නවා" කියන එකම නොවෙයි.
 
එදා විදෙස්ගත අයගේ සහාය පළවීමත් ඔවුන්ගේ එකී දායකත්වය ගෙන දැන් ළඟාකර ගෙන ඇති සාර්ථකත්වය හෝ එහි අඩුපාඩු පිළිබඳව මෙහිදී සමාලෝචනය කරන්නයි මේ අයට තිබුණේ. 
මොකද අවුරුද්දක් දැන් ගෙවිලා.
ඒ කියන්නේ, ශ්‍රී ලාංකික ආයෝජයන් කොපමණ ප්‍රමාණයක් ලංකාවට ගිහින් ව්‍යාපෘති අරඹා තිබේද?, සිස්ටම් චේන්ජ් එක සඳහා කොපමණ තාක්ෂණික හා මානව සම්පත් දායකත්වයක් ලබා දී ඇත්ද? දෙනවයි කියූ ආධාර මෙන්ම විදෙස් ප්‍රේෂණ ගලා ඒම කුමන මට්ටමක පවතීද ආදිය ගැනයි ලංඩන්වලදි සාකච්ඡා කරන්න තිබුණේ.


එහෙම දේවල් නැත්නම් මෙහේ අය ඔයාලා රවට්ටලා. ඔයාලත් කැමැත්තෙන් රැවටී එතෙර උණුසුම විඳිනවා කියලයි මට නම් හිතෙන්නේ. මෙහේ අයට හැන්දෑවක් ගෙවන්න, පාළු මකන්න ඔයාලා පොඩි කයිවාරුවක් නම් ගැහුවා. එහෙම නැත්නම් ඔය මං කියපු මොනවා හරි වැඩක් ඇති දෙයක් වෙලා ඇත්නම් කවුරු හරි මේකට සටහනක් දමන්න.

මම දන්න තරමින් ඔතන එකම වැදගත් බලපෑමක් කළේ දෙමළ ඩයස්පෝරාවේ කට්ටිය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු ප්‍රශ්න ටිකක් විසඳා ගැනීම තමයි ඔවුන්ගේ උවමනාව.

ඒ අතරේ "බ්‍රිතාන්‍යයේ මැති ඇමතිවරුවත් නොකරන ලෙස ලංකාවේ ඇමතිවරුන් පිරිසක් ඇවිත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒක වාර්තාවක්" කියාලා පම්පෝරි පෝස්ට් එකක් ෂෙයා වෙනවා දැක්කා. ඒවා නම් අමු බොරු.
ඒ වගේම වැදගත් වෙන්නේ අපේ කට්ටිය කිව්වේ මොනවද කියන එකනේ. මම දන්න තරමින් නම් මෙහේ මැති ඇමතිවරු වාගාලාප හෝ පච නම් ගහන්නේ නෑ. පොයින්ට් එකටම උත්තර දෙනවා. 
නලින්ද, හර්ෂණ සහ පෝල්රාජ් එහෙම කළා නම් ලංකාවට යන්න එපා. ඔයාලා තුන්දෙනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ප්ලීස්!












|


මහින්ද රුබසිංහ
ලන්ඩනයේ සිට.
A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: