Showing posts with label දේශපාලන.. Show all posts
Showing posts with label දේශපාලන.. Show all posts

Wednesday, October 30, 2024

තන බද්ද.





පියයුරු බද්ද

දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය. කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන අගනගරයට මදක් දුරින් පිහිටි අම්පිටිය ගම්මානය. වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සුන්දර ගම්මානයක්. පුංචි කදුගැට උඩින් උදේට හිරු නැගෙන හැටි බලාගෙන ඉන්න ආසා කරන දසුනක්. වර්ෂය පුරාම නොසිඳි ගලා හැලෙන පුංචි දොල පාරවල් ගමේ සෞභාග්‍ය වෙච්චි කුඹුරු යාය අස්වද්දන්න උදව් වෙනවා. ඒ විතරක්ද ගමට මායිම්ව තියෙන මලින් පලින් බරවුනු මහ වනය නොයෙකුත් වන සතුන්ගෙන් පිරිලා. මීමැස්සන්, සමනලයන් මලින් මලට පියාඹමින් පැණි හොයනවා. කුරුළු ගීත අහන්න කවුද අකමැති ඒවා අහගෙන ඉද්දි හැම දුකක්ම අමතක වෙනවා. හරියට භාවනාවක් වගේ. එනමුත් මේ සුන්දරත්වය ඇතුලෙත් සෝකාන්ත නොතිබුනාම නෙමේ. 


මේ කියන්න යන කතාව ඒ වගේ එකක්. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වෙච්චි මේ ගමේ මැද හරියේ තිබුනා වලව්වක්. මේ වලව්වේ අයිතිකාරයට කවුරුත් කිව්වේ අම්පිටියේ රාළහාමි කියලා. පවුලේ කිහිප දෙනෙක් දන්න රහසක් තිබුනා. ඒ තමයි අම්පිටියේ රාළහාමි සිංහල රාජ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් බව. ඒ උනත් දැන්නම් සුදු අධිරාජ්‍යවාදි පාලකයන්ගේ අතකොලුවක් වෙලා ආරච්චිල පට්ටමකින් සෑහිමකට පත්වුනු කෙනෙක්. රජයේ බදු නිලධාරියාගේ කාර්‍යයත් පැවරිලා තිබුනෙත් මෙයාටම තමයි. 


ආරච්චිලගේ වලව්වේ හිටියේ බිරිඳයි, දියණියයි, නිවසේ වැඩට උදව් කරන බණ්ඩා කියලා මනුස්සයෙකුයි විතරයි. අවුරුදු දාසයක් විතරවුනු දියණිය රූප සෝබාවෙන් අගතැන්පත් වෙලයි තිබුනේ. කුඩා කාලයේම ඇයව බෞතිස්ම කරලා තිබුනු නිසා ඇයට නම යොදා තිබුනෙත් දෝන කැතරිනා කියලා. පාසල් අධ්‍යාපනයත් හොදින්ම හදාරලා තිබුනු ඇයට පියා විසින් දේශීය සටන් කලාවත් උගන්වලයි තිබුනේ. මේ කාලේ වෙද්දි රට පාලනය කරපු විදේශිකයෝ හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට ලක්කරලයි තිබුනේ. ඉඩම් බද්ද, කුඹුරු බද්ද, පුරන් බද්ද කියලා වගා කෙරුවත් නොකෙරුවත් මිනිස්සුන්ට බදු ගෙවන්න සිද්දවුනා. ඒ විතරක්ද ජීවත් වෙනකමට ඇඟ බද්දකුත් ගෙව්වා. ගෙදර සුරතලේට ඇති කරන බල්ලටත් බද්දක්. මොනවා කරන්නද හුගක් මිනිස්සු නිහඬවම මේ හැම බද්දක්ම ගෙවන්න පුරුදු වෙලා හිටියා. ඔය අතර කිහිප දෙනෙක් විතරක් මේකට විරුද්ධව අදහස් ප්‍රකාශ කලා විතරක් නෙමේ ආණ්ඩුවට විරුද්ධව කැරළි ගහන්නත් පටන් ගත්තා. 


ආරච්චිලට පැවරිලා තිබුනු තවත් රාජකාරියක් තමයි කැරලි ගහන අය ගැන තොරතුරු හොයලා ආණ්ඩුවට දැණුම් දෙන එක. මොනවා උනත් අම්පිටිය රාළහාමි ඇත්තම සිංහල රාජවංශයේ කෙනෙක් හින්දද කොහෙද තමන්ගෙම මිනිස්සුන්ව පාවලා දෙන වැඩේ කර ඇරියා. මේ ගැන ආණ්ඩුවත් රාළහාමි ගැන අවිශ්වාසයෙන් සැකයෙන් තමයි හිටියේ. දන්නවනේ සමහර මිනිස්සු ඉන්නවා අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න. ඉතිං ආරච්චිල පට්ටමට ඇහැ ගහගෙන හිටපු මේ ගමේම ජීවත් වෙච්චි තවත් කෙනෙක් ආරච්චිල කැරලි කරුවන්ට සම්බන්ධයි කියලා පරදේශිකයින්ට ගතු කේළම් කියන්න පටන් ගත්තා. සැකයෙන්ම හිටපු ආණ්ඩුවත් මේක ඇත්ත කියලා හිතලා ඔහුව අත්අඩංගුවට ගන්න කටයුතු සැලසුම් කෙරුවා. ආරච්චිලට හිතවත් අයගෙන් මේ තොරතුර ඔහුගේ කණටත් ගලාගෙන ආවා. දැන් ඉතිං මොකක් කරන්නද? ආණ්ඩුවට විරුද්ධ අයට බොහෝ දුරට අත්වුනේ මරණය. දැන් තමන්ටත් වෙන්න යන්නේ ඒ වගේ ඉරණමක් නේද කියලා හිතුනත් රාළහාමිට හාංකවිසියකවත් දුකක් තිබුනේ නෑ. නමුත් තමන් නිසා තමන්ගේ බිරිඳටත්, දියණියටත් කරදරයක් වෙයි කියන බය තමයි තිබුනේ. 


වෙනදා වගේම එදත් උදේ ඉර ගල මුදුනෙන් එබිලා බැලුවා. ගම අඩනවද මන්දා වලව්ව පාළු වෙලා. උදේ රැයින්ම වලව්වෙන් දෙන්නෙක් පිටත් වෙලා ගිහින් තිබුනා. ඒ වෙන කවුරුවත් නෙමේ පුංචි මැණිකේ ඒ කියන්නේ දෝන කැතරිනයි සමග අත් උදව්වට හිටිය බංඩයි කියන දෙන්නා. ලොකු මැණිකෙටත් යන්න කිව්වට ඇය රාළහාමිත් එක්කම වලව්වේ නතරවුනා. 

දින ගණනාවක්ම රූස්ස කැලැ මැද්දෙන් බොහෝ දුරක් ගෙවාපු පුංචි මැණිකෙයි බංඩයි දෙන්නා මගතොටදි හම්බ වෙන අයට කිව්වේ තමන් තාත්තායි දුවයි කියලා.


අවසානෙදි මේ දෙන්නා ඇතුල්වුනේ රෙදි පිරිසිදු කරන රැකියාවන් කරන ගම්මානයකට. මේ බංඩා කුඩා කාලයේ හැදි වැඩුනු ගම් පියසය. සිංහල රජ කාලේ රාජ්‍ය සේවයක් හැටියට සලකපු මේ රැකියා කරන්නන් පසු කාලීනව ආපු පරදේශිකයින් විසින් කුල හීනයින් ලෙස හැදින්වීම නිසා සාමාන්‍ය ජන සමාජය තුලදීත් ඔවුන්ට සැලකුවේ අඩු සැලකිල්ලක්. කොහොමින් කොහොම හරි පුංචි මැණිකේ වලව්වෙන් පිටත් වෙද්දි ඇඳගෙන හිටපු ඇඳුම් මගදි ගලවලා රෙද්දකුයි හැට්ටයකිනුයි සැරසිලා හිටපු හින්දා රදල පෙනුම අයින් වෙලා තිබුනත් කලු පාටට ඉන්න බංඩා මේ තමන්ගේ දුව කියපුවාමනම් රූප සොබාවෙන් අගතැන්පත් මේ යුවතිය ඇත්තටම බංඩාගේ දුවෙක්මද කියලා හැමෝටම තිබුනේ ප්‍රශ්ණාර්ථයක්. ඇගේ අම්මා අසනීපයකින් හදිසියේම මිය පරලොව ගිය නිසා නැවත තමන් ගමට පැමිණි බව තමයි බංඩා මේ ගමට කියාපු බොරුව.


 දැන් බංඩයි පුංචි මැණිකෙයි රෙදි හෝදන රැකියාවම කරමින් මේ ගමේම පදිංචි වෙලා වසර කිහිපයක්ම ගෙවිලා ගිහින් තිබුනා. මේ අතරෙදි තමයි ආණ්ඩුව අළුත් බද්දක් පනවන්න තීරණය කෙරුවේ. ඒ තමයි ආණ්ඩුවේ තනතුරු දරණ රදල පවුල්වල හැර අනෙක් සියලු කාන්තාවන් උඩුකය පලදින්නේනම් ඒ සඳහා රජයට බද්දක් ගෙවිය යුතු අතර එසේ නොගෙවන්නේනම් උඩුකය නිර්වස්ත්‍රව සිටිය යුතු බවයි. නියම කර තිබු බදු මුදලත් ඉතා ඉහල අගයක් ගත් බැවින් දුප්පතුන්ට එය මරු පහරක්ම විය. මෙම බද්ද නම් කර තිබුනේ පියයුරු බද්ද යන නාමයෙනි.

මේ බද්ද පැනවීමත් සමග බොහෝ කාන්තාවන් නිවස තුලටම සීමාවිය. පාසැල් යමින් සිටි දැරියෝද ඉගෙනුමට තිත තැබුහ. දෙස් දෙවොල් තබනවා විනා මෙයට විරුද්ධව වචනයක්වත් කතා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවුයේ ආණ්ඩුවට විරුද්ධවීම බ්‍රිතාන්‍යය රැජිණියට විරුද්ධ වූවා සේ සලකා මරණිය දණ්ඩනයට යටත්වීමට සිදුවන බව හොදාකාරවම දැන සිටි නිසාවෙනි. බදු නිලධාරින් ලෙස පත්කර තිබුනේ සිංහල මිනිසුන් නිසා නීතිය හරියාකාරව සිදුවන්නේදැයි සොයා බැලීමට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වරින් වර ගම්මාන වලට පැමිණ පරික්ෂා කරන්නට විය. ඒ නිසාම බදු නිලධාරින්ද සතියකට කිහිප වරක් බලප්‍රදේශය තුල පරික්ෂා කර නීතිය උල්ළංගණය කරන අය පිළිබද සොයා බැලීය.

 

මෙවන් එක් දිනයක දර කැඩීම සඳහා අසල වනයකට ගොස් පැමිණෙන පුංචි මැණිකා හා සම වයස් යුවතියන් පිරිසක් බදු නිලධාරියාගේ මුණටම මුලිච්චිවිය. උඩුකය ආවරණය කර සිටින මෙම යුවතියන් දුටු බදු නිලධාරියා ඔවුන් නවත්වා රටේ පනවා ඇති නීතිය ගැන ඔවුන්ට මතක් කර ඒ මොහොතේම උඩුකය නිරාවරණය කරන ලෙසත් එසේ නොමැතිනම් අදාල බදු මුදල ගෙවිය යුතු බවත් දන්වා සිටියේය. යුවතියන් බිම බලාගත්තා විනා කිසිවක්ම දෙඩුවේ නැත. බදු නිලධාරියා එවර සැර පරුෂ ආකාරයෙන් යුවතියන් ඇමතුවත් ඔවුන් නොවේ හිස එසවූයේ. ඒ නිසාම තමන් සමග සැමදාමත් තනි නොතනියට පැමිණෙන අතවැසියන් දෙදෙනාට ඇමතු බදු නිලධාරියා මේ ස්ත්‍රීන්ගේ උඩුකය වසා ඇති රෙදිකඩ ගලවා දමන ලෙස අණ කලේය.

යුවතියන්ගේ මුහුණු ලැජ්ජාවෙන් සලිත වූවාය. චණ්ඩීන් දෙපල යුවතියන් දෙසට ගමන් කරන්නට විය. පුංචි මැණිකා යුවතියන්ගේ ඉදිරිපිටට පැමිණියාය. එක් චණ්ඩියෙක් මේ යුවතියගේ පපුව දෙසට දෑත් දිගුකලා පමණි සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුටත් වටහා ගන්නටත් පෙර චණ්ඩීන් දෙපලම මහපොලොව බදාගෙන බිම වැතිර සිටියහ. මෙතෙක් බිම බලාගත්වනම සිටි අනෙකුත් යුවතියන් හිස ඔසවා බැලුකල සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගනු නොහැකිව උනුන් මුහුණු බලා ගත්හ. හැඩි දැඩි සිරුරෙන් යුක්ත බදු නිලධාරියා එවර පුංචි මැණිකා දෙසට පැන්නාය. එපමණකි බදු නිලධාරියාද බිම හොත්තේය. එවරනම් සිදුවුයේ කුමක්දැයි සියල්ලන්ටම පැහැදිලිය. ඒ හෙල සටන් කලාව ඉහළින්ම ප්‍රගුන කල පුංචි මැණිකා විසින් ක්ෂණික පහර දීමකින් තිදෙනාම දුර්වල කරන්නට සමත්වී ඇති බවය. ඉන්පසු යුවතියන් එම ස්ථානයෙන් පිටත්ව ගම දෙසට ඇවිද ගියහ. 


පසුදා පහන් වනවිට පරදේශික සොල්දාදුවන් ගම වටකර පුංචි මැණිකාව සොයා මෙහෙයුමක් දියත් කලහ. අත්අඩංගුවට ගත් පුංචි මැණිකාව කෙළින්ම රැගෙන ගියේ අධිකරණය වෙතයි. ඇයට විරුද්ධව තිබු චෝදනානම් රජයේ බදු පනත්වලට අවනත නොවීම, රාජකාරියට බාදා කිරීම, රාජ්‍ය නිලධාරින්ට පහරදීම, බ්‍රිතාන්‍ය රාජ්‍යයට හා රැජිණියට විරුද්ධවීම. මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ තෝල්ක මුදලි විසින් සිංහලෙන්ම ඈ වෙත ප්‍රකාශ කල අතර නිදහසට කරුණු ඇත්දැයි විමසා සිටියේය. එයට පිලිතුරු දුන් ඇය සංස්කෘතියට අනුව හැදී වැඩුනු කාන්තාව ලැජ්ජාවට පත් කරන මෙවන් තීන්දූ තීරණ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන්ගේ සිරුර ගැන තීරණ ගැනීමේ අයිතිය සියළු මිනිසුන්ට එකසේ අයිති බව තමන් පිලිගන්නා එකම මිනිස් දහම බවත්, ගැමි සංස්කෘතික නීතින් හමුවේ තමන් නිවැරදි කාරිය බවත් ව්‍යක්ත ඉංග්‍රීසියෙන්ම කියා සිටියාය. ඇයගේ ප්‍රකාශය හමුවේ අධිකරණ භුමියේ සිටි සියළුම දෙනා පුදුමයට පත්වූයේ දුෂ්කර ගම්මානයක හැදී වැඩුනු ඇයගේ මනා ඉංග්‍රීසි දැණුම පිලිබදවයි.


මුලාසනයේ උන් පරදේශික නඩුකාර උත්තමයාටද මෙය පුදුමයට කාරණයක්ම විය. එබැවින් මද වේලාවකට උසාවී කටයුතු නවතා ඇයව තමන්ගේ නිල කාමරය වෙත රැගෙන එන ලෙස ආරක්ෂකයින්ට දැණුම් දුන් ඔහු මුලස්නෙන් බැස ගියේය. 

ටික වේලාවකින් ඇය සිටියේ නඩුකාර හාමුදුරුවන්ගේ නිල කාමරයේ මේස ය ඉදිරිපිටයි. ඇය කවුදැයි මුලින්ම ඔහු ඇයගෙන් විමසුවේය. ඊට පිලිතුරුදුන් ඈ තමන් රදල පරම්පරාවකට අයත් කෙනෙකු බවත් තමන්ගේ පියා කැරලි කරුවන්ට එකතුවූවායැයි බොරු චෝදනාවක් නිසා තමන්ගේ පවුලට කරදර විඳින්නට සිදුවූ ආකාරයත්  එතැන් පටන් සිදුවූ සියල්ලත් කියා සිටියාය. එපමණක්නොවේ තමන් නිවසෙන් පිටත්වන මොහොතේ පියා විසින් ලබාදුන් රාජ්‍ය ලාංචනය සහිත මුදුවද නඩුකාරයා වෙත ඉදිරිපත් කලාය.

පසුව නැවතත් නඩු කටයුතු ආරම්භ කල අතර නඩු තීන්දුව ප්‍රකාශ කරන මොහොත එළඹියෙන් මුළු අධිකරණ භූමියම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දවිය. සියළු චෝදනා වලින් ඇයව නිදොස්කර නිදහස් කරන බවත්, ඇය ජීවත්වන ගම්මානය පනවා ඇති පියයුරු බද්ධෙන් නිදහස් කරන්නටත්, මුළු රටේම බදු නිදහස සඳහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට ලිඛිතව දන්වා යැවිය යුතු බවත්, එපමණක් නොව ඇය ජීවත් වෙන ගමේ නායකත්වයට ඇයව පත් කිරීම සඳහා බලධාරින්ගෙන් ඉල්ලීමක්ද කලේය.

මද කලකට පසු පියයුරු බද්ධ සම්පූර්ණයෙන්ම නිදහස්වුවද කුලහීන කාන්තාවන් දිගු කාලයක් යනතුරුම උඩුකය නිර්වස්ත්‍රව සිටීම පුරුද්දක් කරගත්හ. එබැවින් එය සමාජයේ සාමාන්‍යයක් බවටද පත්විය.

(නම් ගම් සමහර සිදුවිම් මනක්කල්පිතය.)


කුලරත්න ජයසේකර



A day in the life

Friday, August 30, 2024

බංගලි මතක

උදන් ප්‍රනාන්දු
මුලින් ම බංගලදේශයට යන කාලයේ මා ශිෂ්‍යයෙකි. අපගේ ප්‍රධාන සම්බන්ධතාවය තිබුණේ ශිෂ්‍ය සංවිධාන සමග ය. එකල ඒ ශිෂ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ ඔස්සේ බෙදී සිටි හා ඒවාට අනුබද්ධිත ඒවා විය. දෙපැත්තේ ම සිසු කණ්ඩායම් කුඩා පිස්තෝල හා පිහි ආදියෙන් සන්නද්ධ ව සිටි බව මතක ය. එක් කලක් ඩකා සරසවිය බිහිසුණු යුද පිටියක් වූයේ එකිනෙකාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙනුවෙන් ප්‍රොක්සි යුද්ධයක් කළ නිසා ය. මේ කාලයේ ම ය ලංකාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබුවේ. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර, විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමේ, නවක වදය හා සමහර සිද්ධීන්වලදී ගුටිබැට හුවමාරු හා ඔලු පලා ගැනීම් වරින් වර සිදුකර ගත්ත ද, බංග්ලදේශයේත් තරම් ප්‍රචණ්ඩත්වයක් නොතිබුණ බවයි මගේ නිරීක්ෂණ ය. ඉහත කතා කරන කාලයේ ම මා තායිලන්තයේ තමාසාත් විශ්ව විද්‍යාලයට විද්‍යාලයට ද ගිය අතර, එහි තිබු ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය හා ආයුධ භාවිතය අතින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය සිටියේ ප්‍රාථමික මට්ටමක ය. 87 89 කාලයේ අප සම්බන්ධයෙන් අප ඉතාමත්ම තීව්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්ත ද, ඒ බිහිසුණු සමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කොටසක් නොවූ බවයි මගේ වැටහීම.
ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු වලින් පසුව මම වෘත්තිය ජීවිතයට පිවිසුණු විට, බංගලි සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීමි. ඒ වැඩ සඳහා මා එම රටට බොහෝ වාරයක් ගොස් ඇති අතර, ඊට අමතර ව බංගලි සිවිල් සමාජ නායකයන් සමඟ වෙන රටවල්වල පිහිටා ඇති ජාල හා සමුළු ගණනාවක කොටසක් වීමි. 1990 දශකයේ බංග්ලදේශ ආර්ථිකයේ හා සමාජ දේහයේ තීරණාත්මක සංඝටකයක් වූයේ සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන ය. විශේෂයෙන් ම සුභසාධන ආර්ථික කටයුතු, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු, කටයුතු රජයට වඩා කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එම සංවිධානවල බජට්ටු රජයේ අයවැයට (අදාල ක්ෂේත්‍ර) වඩා වැඩි විය. එම නිසා රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ නායකත්වය බංගලි සමාජයේ ඉතා බලවත් ප්‍රභූ පිරිසක් වූහ. මේ නිසා ම ඔවුහු දේශපාලනය සමඟ ද ඈඳී සිටිය හ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම, රාජ්‍ය නොවන සංවිධානද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඔස්සේ බෙදී සිටි බව මතක ය. හසිනාගේ රජයක් පවතින විට, කලිඩාගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට ලක්වෙන අතර කලීඩා බලයට ආ විට සිදුවන්නේද එය ම ය.
2001 වසරේ මා ඩකා නුවරට ගියේ නීතිඥ සංවිධානයක් විසින් සක්කාරක භූමිකාවක් ඉටු කළ ආසියාතික රාජ්‍ය නොවන සංවිධාන රැස්වීමකට සහභාගි වීමට ය. එම රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා හා සත්කාරක ලෙස සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වූ හසන් අරීෆ් ය. කලක සිට අප අතර දැන හැදුනුම්කමක් තිබුණු අතර, හසන් මා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයින් පිළිගත්තේ උණුසුම් ආකාරයට ය. හසන්ගේ සහායට හිටියේ තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වූ, ආදිල් (අදිල්යුර්) රහ්මාන් ඛාන් ය. අපගේ රැස්වීමේ මුල් දිනයේ මොවුන් දෙදෙනා ඉතාමත් ක්‍රියාකාරී වූ නමුදු දෙවන දිනයේ හසන් ද ආදිල් ද දක්නට නොලැබිණ. දවස අවසානයේදී අප මේ ගැන විමසීමේ දී ඔවුන් වෙනුවෙන් සංවිධාන කටයුතු කළ බංගලි නියෝජිතයන් අපට කීවේ, එදින උදෑසන හසන් නීතිපති (ඇටර්නි ජනරාල්) ලෙසත් ආදිල් නියෝජ්‍ය නීතිපති ලෙසත් දිවුරුම් දුන් බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වගකීම් ඇති නිසා සෙසු වැඩසටහනට පැමිණිය නොහැකි බව යි. අප ඩකා නුවරට ගිය කාලයේ ය හසිනා මැතිවරණයෙන් පරාජය වී කලීඩාගේ ආණ්ඩුවක් පිහිටවනු ලැබුවේ.
බංග්ලදේශයේ මගේ තවත් සමීප මිතුරෙකු වූයේ ගණකාධිකාරයෙකු ලෙස මුලින් පුහුණුව ලද පසුව ජන මාධ්‍යවේදියෙකු හා සන්නිවේදනවේදියකු වූ ශාෆික්‍ රෙහ්මාන් ය. මා ඔහු දැන හඳුනා ගත්තේ ශාෆික් හසිනාගේ රජයේ මර්දනයට ලක් ව, රටින් පලා ගොස් එංගලන්තයේ විප්‍රාවාසී ව වෙසෙන කාලයේ ය. මොහුට එසේ පලා යාමට හේතුව වූයේ 'ජයි-ජයි-දින්' නමින් ඔහු සංස්කරණය කළ අතිශය ජනප්‍රිය ටැබ්ලොයිඩ් පත්තරය නිසා ය. ඒ පත්තරේ කිසිදු පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකු නොවී ය. කතෘගේ කාර්යය වනුයේ, පාඨකයන්ගෙන් ලැබෙන ලිපි, රචනා, කාටූන් ආදිය මනා සේ සකසා මුද්‍රණය කිරීම ය. පසුව සිටිසන්ස් ජර්නලිසම් කියා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වුණේ මේ වගේ දේවල් ය. කෙසේ හෝ මා 2001 ඩකා නුවරට පැමිණි විට, ඒ බව දැනගත් ශාෆික් කොහෙන්දෝ මතුවිය. එවිටයි මා දැනගත්තේ ඔහු කලිඩාගේ සහායට බංග්ලදේශයට පැමිණ සිටි බව. 2001 කලීඩාගේ ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිකම ශාෆික්ට පිරිනැමූ බව මා දැනගත්තේ වෙන මිතුරෙකු ගෙනි. කලකට පසු හමු වූ අපගේ මිත්‍රත්ව රියූනියනය සැමරීමට ශාෆික් මා කැඳවාගෙන ගියේ ඩකා නුවර අතිශය ප්‍රභූ අවකාශයක් වන 'ඩකා ක්ලබ්' එකට ය. යටත් විජිතවාදී ඇම්බියොන්සයකින් හෙබි එම අවකාශයට ගැලපෙන ඇඳුමක් මා නොඇඳ සිටි නිසා, එහි ම කුලියට ගත හැකි කළු සූට් එකක් හැඳ ශාෆික් සමග මා අඩියක් ගැසීමට ගියෙමි. ඒ ගත කළ පැය දෙක තුනේය මට පශ්චාත් උපාධි පාඨමාලාවකට වඩා ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ලැබුණේ බංගලි සමාජ බලතන්ත්‍රයේ හැඩරුව හා ගතිකයන් ගැන. අප වීථි පුරා දකින මහා විරෝධතා ජන ගඟ මෙහෙයවන, ඉංග්‍රීසියෙන් කියත්තොත්, 'ශේකර්ස් ඇන්ඩ් මුවර්ස්' කවුරුන් ද යන වග.
සිවිල් සමාජ හා රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ වැඩවලින් අනතුරු ව, 2012 වසරේ පමණ සිට මාගේ වෘත්තීය සබඳතා තිබුණේ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන හා තින්ක් ටෑන්ක සමග ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන තරම් ම තීව්ර ලෙස පක්ෂ දෙක ඔස්සේ බෙදී නොසිටියේ ය. ඒවායේ බොහෝ විට සිටියේ කලක් රාජ්‍ය හා තානාපති සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය. ඔවුන්ගේ අවධානය පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලියට බලපෑම් කිරීම නිසා කුමන පවතින ආණ්ඩුවක් සමග යාප්පුවෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සිරිත විය. මේ පිරිස් ද 'ඩකා ක්ලබ්' යන එන බලවත් නමුත් කුඩා ප්‍රභූ පිරිසේ කොටසක වූ හ. ඔවුන්ගේ බොහෝ දෙනා සිටියේ අපගේ කොළඹ හත මෙන් අවකාශයක වූ ධන්මොන්ඩියේ ය.
ඊයේ පෙරේදා මහාචාර්ය යුනුස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවන ලද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් හා ප්‍රොෆයිල මා පිරික්සූවේ මහත් ඕනෑකමකිණි. ඒ අතර මා වෘත්තීය මට්ටමෙන් කටයුතු කර ඇති දෙතුන් දෙනෙක්ගේ නම් දැකබලා ගත හැකි විය. ෆරීඩා අක්තාර් මහත්මිය එරට මුල් පෙලේ තින්ක් ටෑංකයක ප්‍රධානියා ලෙස සිටියා මතක ය. ලැයිස්තුවේ උඩ පහළ මා බැලුවේ ෂාෆික් රෙහ්මාන්ගේ නමත් එහි ඇති දැයි කියා ය. එසේ නොමැති කල මා, වහා මගේ මිතුරෙකුට කතා කර ඔහු ගැන විමසූ විට, මට දැනගන්නට ලැබුණේ හසිනාගේ පාලන සමයේ, දැඩි මර්දනය හා කෙනෙහිලිකම් නිසා ඔහු කලක් සිරගත ව සිට පසුව රටින් පිටව ගොස් ඇති බව යි. නමුත් මගේ මිතුරා කීවේ, වැඩි කල් නොගොස් ඔහු බංග්ලදේශයට සම්ප්‍රාප්ත විය හැකි බවයි. මාගේ තින්ක් ටෑන්ක සගයෙකු වූ ඩෙබප්‍රිය බටචර්යා (ප්‍රකට ආර්ථික විද්‍යාඥ හා කලින් රුසියාවේ බංග්ලාදේශ තානාපති) අන්තර්වාර ආණ්ඩු කමිටුවට එන ලෙස ආරාධනා කලත් එය ඔහු ඩිප්ලෝමැටික ව මග හැර ඇති බව මට දන්නට ලැබිණ. ඩෙබප්‍රිය වැන්නන් කුමන පක්ෂයක හෝ හුදු ඉත්තන් වීමට තරම් වැලේ වැල් නැති එන්ජීයෝ කාරයෙකු නොවන බව මා හොඳාකාර ව දන්නේ අප වසර අටක් පමණ සමී ව වැඩ කර ඇති නිසා ය. මාගේ දෑස් උඩ ගියේ, 2001 වසරේ මා ඩකා නුවරට ගිය විට සඳුදා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ව හිඳ, අඟහරුවාදා නීතිපති හා නියෝජ්‍ය නීතිපති වූ, පිළිවෙලින්, හසන් හා ආදිල් ද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජිකයන් බව දුටු විට ය. එක අතකට එලෙස පුදුම නොවිය යුතු බව ඊළඟ මොහොතේ ම මට අවබෝධ වූයේ මොවුන් දෙදෙනා ම 2001 දී ඛලීදා සියාගේ ඇපොයින්ටීලා වීම හා 2007 හසීනා නැවත බලයට ආ විට මොවුනට එළ ව එළවා පහර දුන් නිසා ය. පැරිසියේ සිට ආනයනය කළ අන්තර්වාර ආණ්ඩුවේ ලොක්කා මහැදුරු යූනුස් ද හසීනාගේ කාලයේ නානාවිධ කිරිමෙල් හා බදු නඩු ගණනාවක පැටළිණ. යූනුස් නිර්පාක්ෂික නොවන්නේ ඔහු නොබෙල් ත්‍යාගය ලත් කාලයේ ම 'නාගොරික් ශක්ති' නම් දේපාලන පක්ෂයක් තනන්නට මහත් වෙරක් දැරූ නිසා ය. එක්සත් ජනපදයේ හා බටහිර රටවල ඩාර්ලින් චරිතයක වූ යූනුස් ඔවුන්ගේ උපදෙස් පරිදි එම ව්‍යායාමය තරමක් තාවකාලික ව රිවර්ස් කළේ ය. යූනුස් ව්‍යාපාර අධිරාජ්‍යයේ පුරුකක් වූ ග්‍රාමීන් ටෙලිකොම් හි ට්‍රස්ටීවරියක වන නුර්ජහන් බෙගම් ද අන්තර්වාර් ආංඩුවේ සාමාජිකයකි. බංගලි සමාජයේ ස්වාධීන හා නිර්පාක්ෂික අයෙකු සෙවීම කළුනික සොයනවා වැනි ය. බංගලි සමාජය සැමදාම සිටියේ දෙකට බෙදී, හට්ටිය කේතලයට කළු ය කියමින් කේතලය හට්ටියට කළු ය කියමිණි.



A day in the life

Saturday, August 17, 2024

අත්තනායක මහත්තයා




කමල් පී අලහකෝන් සහෘදයා විසින් මෙටාවට යොමු කල වියමන් දෙකකි.
කමල් සමග අපට රහට කීමට තරග කල නොහැක.
මුලින්ම මම ඔහුට ස්තුති කරමි.
ඔහුගේ සම්පත් උපුටා ගැනීම ගැන.




"රෝහණ විජේවීර " අතිදක්ෂ කථිකයෙකු විය..
තමා අමතන ශ්‍රාවකයා කවරෙකු වුවද
ඔහුව මුළුමනින් ආක්‍රමණය කිරීමේ හැකියාව ඔහුට තිබිණ.
කිසිදු සටහනක් නොමැතිව යම් මාතෘකාවක් ඔස්සේ
පැය ගණන් කතා කිරීමට හේ සමත් වූයේ
ශ්‍රාවක අවධානය මුළුමනින්ම ආකර්ශනය කරගනිමිනි.
පහත දක්වා ඇත්තේ
හැත්තෑ එකේ අප්‍රේල් නැඟිටීමේ 11වැනි සංවත්සරය නිමිත්තෙන්
1982 අප්‍රේල් 05 වැනි දින
කොළඹ සුගතදාස ස්ටේඩියම්හිදී පැවති උත්සවයේදී
පැවැත්වූ කතාවේ කොටසකි.
........."ඉඩම් ප්‍රතිසංස්කරන හෙම අපි කරනවැයි !"
ඔවු !
කො⁣හොමද ?.
අක්කර පණහක් !"
අනේ,නෑ !
කවුරුහරි අක්කර පණහක් තියාගෙන ඉන්න ඕනෑ අය ඉන්නවා නම්
ඒ අය ජනතා විමුක්ති පෙරමුණ අතෑරලා යන්ට ඕනෑ.!
අපෙ ලඟ ඔය "අක්කර පණහේ සමාජවාදයක්" නෑ.!
අපි මොකද කරන්ට යන්නෙ.?
රටේ මූළික ඉඩම් ප්‍රතිසංස්කරනයක් කරන්ට යනවා.
විප්ලවවාදී ඉඩම් ප්‍රතිසංස්කරණයක් ඒක.
ඒක බොහොම සංකීර්ණ එකක්.
අපි අහනවා.
අද තියෙන්නෙ "මිනිස්සුන්ට වැඩ කරන්ට බෑ" කියන එකද?
"වැඩ කරන්ට දෙන්ට බෑ"කියන එකද ?
අද තියෙන්නෙ "මිනිස්සුන්ට වැඩ කරන්ට බෑ"නම්
තර්ක කරතෑකි
"ඔන්න සමාජවාදය යටතේ තුවක්කු අල්ලලා වැඩ ගන්නවා කියලා!"
අද කවුරුවත් කියන්නෙ නෑ,
"අපිට රස්සා කරන්ට බෑ" කියලා.
කවුරුත් කියන්නෙ "අපිට රස්සා ඕනා" කියලා නේද ?.
රස්සා දෙන්න බැරි එකකුයි තියෙන්නෙ.
රස්සා දෙන්ට බැරි ක්‍රමයක් වෙනුවට
රස්සා දෙන්ට ප්‍රළුවන් ක්‍රමයක් ආවම
මොකටද තුවක්කු අල්ලන්නෙ?.
සමාජවාදය කියන්නෙ තුවක්කු අල්ලන ක්‍රමයක් නෙවෙයි.
සමාජවාදය තුවක්කු අල්ලන්නෙ නෑ !
රැසියාව ? අපොයි නැ !
චීනෙ ? අපොයි නෑ !
ඕන නම් කෙනෙකුට රස්සාවක් නොකර බඩගින්නෙ ඉන්ට අයිතිය අයිතිය තියෙනවා.
අපි ඒ අයිතිය කාගෙන්වත් උදුරාගන්ට යන්නෙ නෑ.
හරි,
,ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුණාට පස්සෙ
මල්ලිමාරච්චි මහත්තයා කීවොත්,
"මං මෙච්චර කල් රස්සාකරේ නෑ,!
මහන්සි වුණේ නෑ !
මට ඕවා කරන්ට බෑ !" කියලා,.....
"ඉතිං එහෙමනං බඩගින්නෙ හිටපං ගෙදර.
අපේ ප්‍රශ්ණයක් නෑ .
ඒ අයිතිය එයාට තියෙනවා.
අනිත් මිනිස්සු සූරාගෙන කාලා ඉන්ට ඉඩ දෙන්ට බෑ !
ආගමේ කියලා තියෙනවද?
මිනිස්සු බහුතරයනට අත්ථකිලමතානුයෝගය දීලා
සුළුතරයකට කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙන්ට ? .....නෑ !
පවුල් හතළිහක් තියෙනවා.
ඒ ගොල්ලො කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙනවා.
කෝටියක් ජනතාව අත්ථකිලමතානු යෝගයෙන් ජීවත් වෙනවා.
ජේ.ආර්.ලගේ සිරිමාගේ ආණ්ඩුවයි බුද්ධාගමට ඔය තැන දුන්නෙ.
"බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ.
"චී චී ඒ කැත වැඩේනම් කීයටවත් කරන්න එපා,!" කියලා."





උලපනේ වතු යායක හිඳ "අත්තනායක මහත්තයා" නමින්
"රෝහණ විජේවීරය"න් අත්අඩංගුවට පත් වූ කළ
ඔහුගේ දරු පවුල රඳවා තබන්නේ තිරිකුණාමලේ හමුදා කඳවුරක ය.
මෙම හදිසි වියොවින් බරපතල කම්පනයට බඳුන් වනුයේ
විජේවීර බිරිඳ සහ වැඩුමල් දියණිය "දසුන් ඊෂා "සහ
"දෙවැනි දියණිය "වූ "සුපුන් වාගා"ට විය යුතු ය.
ඉතිරි දරුවන් සිවුදෙනා එවක බහ නොතේරෙන ලාබාල වියේ පසූ වූහ.
නවසිය අනූ පහේ "ප්‍රොමිතියස්"නාට්‍යයද රැගෙන තිරිකුණාමලයට ගිය පසු
මම ඔවුන් බැලීමට ගුවන් හමුදා කඳවුරට ගියෙමි.
චිත්‍රාංගනී ඉදිරියට ආවේ නැත.
එක් දියණියක් පමණක් එළියට ආවා ය.
මම ඇයගෙන් අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසීමි.
ඇය කීවේ තමා
" තාරකා විද්‍යාවට බොහෝ සෙයින් ඇළුම් කරන බවත්
නමුත් රාත්‍රි කාලයේ තාරුකා නැරඹීමට අවසර නොමැති "බවත් ය.
ඇය "සුපුන් වාගා" යැයි සිතමි.
පසු කලෙක ඇය සිය පියා මෙලෙස චිත්‍රණය කළා ය.
"මේ සිරකුටිය පාමුල
බිහිසුනු නැගෙනහිර වෙරළේ
චන්ඩ දළ රළ හැපී බිඳී යයි.
මගේ ළමා විය සිරගත
සිර කඳවුරෙන් ඈතක
හිරු රැස් වැටෙන
මහ වැසි ඇද වැටෙන
ලා තන නිල්ල යට
ඔබ සැතපෙන බව දනිම් තාත්තේ.
මේ ඔබ නිඳන බිම මත පියවර ළකුණු නොතබා
රහසින් තබා යන මගේ හදවතේ දැල්වෙන
අධිෂ්ඨානයේ පහනයි.
ආදරණීය තාත්තේ...
මා නොදන්නා තැනක
සොහොන් කොත් නැති සොහොනක
ලා තණ නිල්ල යට නිඳයි ඔබ
සදාකල් තාත්තේ..
ඔබේ සිරුරේ අළු වලින්
පෝෂිත බිම් කඩෙහි
රතු මල් පිපෙනු ඇත
දල්වන්නට කෙනෙකු නැති මුත්
මම එමත දල්වමි කෙදිනක හෝ පහණක්
තාත්තේ...
එම පහණෙහි ගිණි සිළුවෙන්
මම ඔබ පැතූ ලොව වෙත පිය නඟමි.
තාත්තේ..
සිහිනයෙන් හෝ විත්
මා දිරි ගන්වනු මැනවි
මේ සිපිරිගෙය තුළ
ගෙවී ඇත ළමා විය
තුරුණු වියද මේ තුළ
ගත කරන්නට සිදුවේද තාත්තේ
සදා කල් නුඹ මගේ පියා වේවා
කටුකොහොලින් පිරී ගිය නුඹේ පා ලකුණු රැඳි
ඒ මගම සැකක් නැහැ
මමද යමි තාත්තේ"

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon