උඩරට රාජධානි කාලේ පටන් කොළඹ සිට මහනුවරට වැටී තිබුණේ කැලණි ගංගා නිම්නය ඔස්සේ විහිදුණු අඩිපාරක්. මේ පාරේ අශ්වයකු පිටේ ගමන්කිරීමට හෝ දෝලාවක ගමන් කිරීමට තමයි රාජ්‍ය නිලධාරින්ට සිදුවුණේ. අවිස්සාවේල්ල -රුවන්වැල්ල හරහා මාඔය නිම්නය දක්වාත්, එතැන් පටන් බලන කපොල්ල හරහා ගොස් මහනුවර දක්වාත් තිබූ මේ මාර්ගය දුර වැඩි වගේ ම දුෂ්කර බවින්ද අධික වුණා.
එ නිසා කරත්තවලට ගමන් කළ හැකි පාරක් මහනුවරට කැපීමට ඉංග්‍රීසි ආණ්ඩුවට අවශ්‍ය වුණා. ඒ කෝපි, තේ වැනි වාණිජ බෝග කොළඹ වරාය දක්වා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට යි.
සුද්දෝ නුවර පාර කපති
කොළඹ – මහනුවර මාර්ගයේ ඉදිකිරීම් 1820 තරම් කාලය වනවිට ආරම්භ වී පැවතුණා. මෙරට මාර්ග ඉදිකිරීමට ඉංග්‍රීසින් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව කොළඹ සිට ප්‍රථමයෙන් ආරම්භ කළ මාර්ගය ලෙස නුවර පාර ඉතිහාසගත වෙනවා. 1818 කැරැල්ලේ දී මහනුවරට පිවිසීමට පහසු මාර්ගයක් නොතිබීමේ අඩුව ඉංග්‍රීසි පාලකයකයන්ට තදින් දැනුණා. පළමු මාර්ගය නිසා එය අංක ගතකර ඇත්තේ A-001 ලෙස යි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විල්මට් හෝර්ටන්ගේ මූලිකත්වයෙන් තමයි නුවර පාරේ ඉදිකිරීම් පටන් ගත්තේ.
සම්පූර්ණ පාරේ ම අධීක්ෂණය බාර වුණේ කැප්ටන් විලියම් ඩෝසන්ට යි. නුවර පාරේ පළමු කොටස දිව යන්නේ බස්නාහිර තැනිතලාව ඔස්සේ.කොළඹ සිට අඹේපුස්ස දක්වා එහි මුල් කොටස ඉදිකිරීම සිදුවුණා. දෙවන අදියර අඹේපුස්සේ සිට කඩුගන්නාව දක්වා තැනීම විශාල අභියෝග මැදයි කරන්නට සිදුවුණේ. වරකාපොළ සිට අඹන්පිටිය දක්වාවූ සැතපුම් එකොළහක දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදුවුණා. එම කොටස ඉදිකිරීමට සහභාගිවූ එවකට තරුණ ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර් ලංකාවේ පනස් වසක් නම් කෘතියේ එහිදී විඳි දුෂ්කර ත්‍රාසජනක අත්දැකීම් විස්තර කරනවා.
අලි, කොටි, සර්පයන්, කූඩැල්ලන් වැනි සතුන් හමුවේත්, ඇළ, දොළ, ගංගා, ගිරිදුර්ග, වැනි බාධක මැදත් ඔවුන් නුපුහුණු කුලීකරුවන් සමඟ පාර කැපීම සිදු කළා. මැලේරියාව වැනි වසංගත රෝග පාරේ වැඩවලට විශාල බාධාවක්වුණු බව සඳහන් වෙනවා.
මැලේරියාව නිසා ස්වදේශීය කම්කරුවන් මෙන් ම ඉංග්‍රීසි නිලධාරින් ද මිය ගියා. කොළඹ- නුවර පාර තැනීමේ දී දූෂ්කර ම කොටස වුණේ කඩුගන්නාව දුර්ගය හරහා පාර කැපීම යි. ගල්පර්වත ඉවත්කරමින් දැඩිබෑවුම හරහා වනාන්තරය ඔස්සේ පාර තැනිය යුතු වුණා. මහවැස්සත් එයට නිතර බාධා කළා.
කැප්ටන් ඩෝසන්
පාර කැපීමට කැප්ටන් ඩෝසන් දිවා රාත්‍රී දෙකේ ම එක දිගට ම වෙහෙසුණු බව වාර්තා පවසනවා. නුවර පාර කඩුගන්නාවට ආසන්න වුණු විට කැප්ටන් ඩෝසන් උණ රෝගය වැලඳීමෙන් අසාධ්‍ය වෙනවා. ඔහුට ප්‍රතිකාර කිරීමට කොළඹට රැගෙන ගියත් මරුවාගෙන් ඔහුට ගැලවීමට ලැබෙන්නේ නැහැ. කැප්ටන් ඩෝසන් වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කොළඹ දී මරණයට පත්වෙනවා. කඩුගන්නාව දුර්ගයේ පිහිටි කළුගල විදතැනූ උමං මාර්ගය කැප්ටන් ඩෝසන්ගේ සංකල්පයක්.
ඔහුගේ මරණය ගැන මේජර් ස්කිනර් මෙසේ සටහන්කර තිබෙනවා:
“1829දී මගේ හිතෛෂී මිත්‍රයෙක් අභාවප්‍රාප්ත විය. ඒ සමඟම අගනා නිලධරයෙකුගේ සේවයද අහිමිවිය. ඒ වූ කලී රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධර කපිතාන් ඩබ්ලිව්.ඩෝසන්ය. මේ අසරණයා මියගියේ මගේ අතෙහිය. මුළු දිවයිනම ඔහු වෙනුවෙන් ශෝකවිය. ඔහු ඇඳින සිටිය යමෙක්වීද ඔහු ඒ තැනැත්තාට බෙහෙවින් ඇලුම් කළේය. ඩෝසන්ගේ කනිෂ්ඨ තත්ත්වය ගැන නොසිතා රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධාරී පදවියට සර් එඩ්වඩ් බාන්ස් විසින් තෝරාගන්නා ලදී. ඔහුගේ කාර්යක්ෂමබවෙහි විශිෂ්ට ජයග්‍රහණයක් වූ කඩුගන්නාව දුර්ග මාර්ගය මුදුනේ ඔහු සිහිවීම පිණිස ස්මාරකයක් ඉදිකළේ ඒ හේතුවෙනි.”
( ශ්‍රී ලංකාවේ පනස් වසරක්- විලියම් ස්කිනර්)
කඩුගන්නාව ගල් පර්වතය පුපුරා ඉවත්කර මාර්ගය තැනීමට හැකියාව තිබුණත් ඉංග්‍රීසින් එය කපා ඒ මැදින් පාර තැනුවේ උඩරට සිංහලයන් තුළ පැවති අභිමානවත් විශ්වාසයක් බිඳ දැමීමට බව පැවසෙනවා. ගල විද පාර සැකසීමත් සමඟ ඒ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. එම විශ්වාසය නම් දළදාවහන්සේ හිමිකර ගන්නාතුරු හා ගලවිද කන්ද කපා උඩරටට පාරක් කපන තුරු උඩරට රාජධානිය ආක්‍රමණිකයන්ට අල්ලා ගැනීමට බැරි බව යි.
මෙම ගල විදපු ස්ථානයේ තිබෙන සමරු පලකයේ මෙසේ සටහන්කොට තිබේ.
“කොළඹ – මහනුවර මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කරනලද ඉංග්‍රීසී ජාතික ඉංජිනේරු කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් විසින් ස්වාභාවික චමත්කාරයට හානි නොවන පරිදි මෙම අපූර්ව නිර්මාණය වර්ෂ 1828- 1830 වර්ෂවල නිමකොට තිබේ.”
-- රාවණා පුරාවෘත්තය.
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment