Thursday, March 13, 2025

මැදින් පොහොය



ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.

දෙමව්පියන්ට උපස්ථාන කිරීම, අඹු දරුවන්ට සැලකීම, යහපතෙහි යෙදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කර තිබේ.

බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුත්‍ර රත්නය ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් අසහනයකින් දුකකින් සිටියහ. සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හැරියා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් ද පැවිදි දිවියට පත්වුණා.

අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාලුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද එහිදී බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් වුණා. පසුව නිසිකල් පැමිණි පසු බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා මෙහිදී කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ද මේ අනුව මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුවීම ද සුවිශේෂි වේ.

දෙමාපියන්ගේ වටිනාකම දන්නා බුදුරජාණන් වහන්සේ ඒ අනුව සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වූහ. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්වනවා. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.

මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ සිය ඥාතීන්ට සංසාර බැඳීමෙන් මුදා ගැනීමේ උතුම් අරමුණු ඇතිවය. නමුත් වයසින් ලාබාල බුදුන් වහන්සේට ගරු කිරීම වන්දනා කිරීම අසුන් පනවා පිළිගැනීම් ආදිය වතාවක් ශාක්‍යයන් බැහැර කෙරිණ. මේ නිසා ඥාතීන් ඉදිරියේ යමා මහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා.

එසේම සුද්ධෝදන රජතුමා තෙවන වරට පුත්‍ර වන්දනය සිදුකළ පෝය ලෙස ද හඳුන්වයි.

යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වා දිය හැකිය. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර යෑමෙන් පසුව යශෝධරා දේවිය ද සියලු සුවපහසු සුඛෝපභෝගී ජීවිතය හරිමින් අල්පේච්ඡ දිවියක් ගත කළා. පසුව බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමෙන් පසුව ඇයට ගෞරව කිරීම සඳහා යශෝධරා දේවියගේ කුටියට වැඩම කළේය. එහිදී යශෝධරා දේවියගේ ප්‍රේමය හා කැපවීම සංසාරික බැඳීම බුදුන් වහන්සේ අගය කරමින් පතිභක්තියේ ඇති කැපවීම පිළිබඳව කියැවෙන සඳකිඳුරු ජාතකය දේශනා කළේය.

රාහුල කුමරු සසුන්ගත වීම සිදුවූයේද අද වන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය. කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් සත් හැවිරිදි කුඩා රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලී දායාද ලබා දෙන මෙන් ඉල්ලමින් ගමන් කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි දිවියට පත් කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම මෙතෙක් අනුගමනය කළ ඒහි භික්ෂු භාවයෙන් මහණ කිරීමයි. ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමාරයාගෙන් ආරම්භ වූයේද අදවන් පුන් පොහෝ දිනකය.

දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි දිවියට පත් නොකරන මෙන් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශික්ෂා පදය වූ දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි නොකිරීමේ විනය නීතිය ද පනවන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක වීම ද විශේෂත්වයකි.

සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනකය.

උතුම් සිරිපා වන්දනාව ආරම්භ කරන පෝය ලෙසද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වනවා. ජනතාවට සිරිපා වන්දනා කිරීමට සමනල කඳු මුදුනට ගමන් කිරීමට හැකි පාරිසරික වටපිටාවකින් හෙබි කාලයක් ලෙස මෙම කාලය බෞද්ධ ජනතාව තුළ සම්මතයක් පවතී. මේ අනුව දිවයිනේ නන්දෙසින් මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ පැමිණෙන ජනතාව සමනල කන්ද තරණය කරමින් සිරිපා වන්දනා කිරීම සිදු කරයි.

මෙලෙස සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අප ජීවිතවලට ළඟා කළ ගත යුතු බොහෝ ගුණ ධර්මයන් රැසක් කියාදෙනවා. උතුම් නිර්වාණයට මග පෙන්වන දෙමාපියන්ට සැලකීම, කෘතගුණ සැලකීම ආදී සුවිශේෂී ගුණධර්මයන් මේ අතර වැදගත් වනවා.

වර්තමාන සමාජය දෙස බලන විට අපගේ දෙමාපියන් දරුවන් හදා වඩා ගත්ත ද ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමෙන් පසුව සමහර දරුවන් දෙමාපියන්ට නැති වැරදි කියමින් දොස් පවරමින් අතහැර දමා සිටින අයුරු දක්නට ලැබෙනවා. ඇතැම් අය ගහනවා බනිනවා, මේවා පංචානංකරිය කර්ම. අද වනවිට සමහර දෙමව්පියන්ට ජීවත්වීමට නිවසක් නොමැතිව, කුසට ආහාරයක් නොමැතිව මහ මගට වැටී සිටිනවා. වැඩිහිටි නිවාසවල ජීවත් වනවා. මෙය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

මේ උතුම් මැදින් පුර පුන් පොහෝ දිනයේ අපගේ හැදෙන වැඩෙන දරුවන්ට සිහිපත් කරන්නේ ඔබ වැදූ හැදූ මවට පියාට ගෞරව කිරීමට සැලකීමට කටයුතු කරන ලෙසයි. එසේම සමාජයේ යහපත් පුරවැසියන් ලෙස උතුම් වූ ධර්මය මග යමින් යහපතෙහි යෙදෙමින් මේ සංසාර ගමනේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

රැළපනාවේ ධම්මජෝති නාහිමි

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
දිවයින - මාර්තු 13.


A day in the life

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon