Saturday, March 22, 2025

'දේශබන්ධු තිර නාටකය'




පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අවසානයේ මා නිර්මාණය කරන 'The Colour Snakes' නම් චිත්‍රපටය තුළද මෙවන් චරිතයක් ඇති බව පසුව මට සිහිවිය. එය වෙනම කථාවකි.

මාතර මහේස්ත්‍රාත් විසින් දේශබන්ධුව වරෙන්තු කර දින 20 ක් යන තෙක් පොලිසියට ඔහුව සොයා ගැන්මට නොහැකිවූ බව කියන සිද්ධාන්තය තිර නාටකයට අයත් දෙයක් බව කව්රුත් දන්නා සත්‍යයකි. පොලිසිය විසින් තම වෘත්තීය, ප්‍රධානියාව එසේ පාවා දීම නොකෙරුවෙ, තමන්ගේම වරිගේ මහඑකාව පාවා දීමේ, කුණු ගොඩට අහුනොවී ඔහේ අහක බලා සිටීම, තම ජීවිතයටත්, වෘත්තියටත් හිතකර බැවිනි. පොලිසිය තුලින් එක 'ජූදස්' කෙනෙකුව සොයා ගැන්මට නොහැකි වූයේ ඒ නිසා විය හැක. ලංකාවේ නීතිය කෙතරම් ස්වාධීනයයි කීවද, ඔය නීතියේ චූටි හිලකින් හෝ රිංගන හැටි දේශබන්ධුලා හොදාකාරව දනී. අනිත් අතකට අනුරගේ ටීම් එක, විශේෂයෙන් නීතිය පිළිබද ඇමති හර්ෂණ නානායක්කාර පමණක් නොව පොලිස් ඇමති විජේපාලද තවම ට්‍රේනිං පීරියඩ් එකේ සිටින බව දේශබන්ධුලා, ටිරාන්ලා, රනිල්ලා හොඳටම දනී. එහෙයින් මේ ට්‍රේනිං පීරියඩ් එකේ සිටින අදාල අංශ ඇමැත්තන්ගේ දෑස් නොවසාම ඔවුන්ට පෙනී පෙනී නීතියේ හිල් අස්සෙන් රිංගන හැටි දේශබන්ධුලා දනියි. එවිට හර්ෂණ නානායක්කාර ට සිද්ධ වෙන්නේ අර ඉස්සර යොවුන් කාලයේ වාගේ නැවතත් ලාංකීය සිනමා ලෝකයට අවතීර්න වී, සංගීතා වීරරත්න සමඟ 'යසස' වැනි විත්‍රපටවල රඟපෑමටය. දැන් ඔවුන් එලෙස රඟපෑමට වයස වැඩිද කියන එක වෙනම ප්‍රශ්නයකි.

දේශබන්ධු භාර වීමට සති දෙකකට පෙර ඔහු ඔහුගේ නිතිඥ වරයෙකු අතේ ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා යැවූ රීට් පෙත්සම ගෙන ගිය එකී නිතිඥයවරයා දේශබන්ධු සිටින තැන දැනගත යුතුමය. නැත්නම් ඔහු ඒ රීට් පෙත්සම පිළියෙල කරන්නේ කෙසේද? දේශබන්ධු ව හොයා ගැන්මට අවශ්‍යව තිබුණා නම් පොලිසියට ඒ නිතිඥ වරයාගෙන් දැන ගන්නට ඉඩ තිබුණි. එහෙත් වෘත්තිමය ලෙස නිතිඥ ක්‍රේෂ්තය තුල තමසේවාදායකයාගේ රහස්‍ය භාවය රැකිය යුතුද කියන එක නම් මා දන්නෙ නැත. ඇතැම් විට එය එසේ විය හැක.

දේශබන්ධු සැඟවී සිටියා යැයි මා සිතන්නේ නැත. ඔහු කිසියම් ප්‍රභූවරයෙක් යටතේ ඉතාමත් සුඛෝපභෝගිව සිටින්නට ඇත. වෙනසකට වූයේ ඔහු වැඩිය එළිපෙහෙලියට නොයෑමය. දේශබන්ධු සිටින තැන, පොලිසියේ බොහෝ දෙනා දැනන් සිටියහ. එය වැඩ බලන පොලිස් පති තුමාද දැන සිටියේය. ඇතැම් විට , හර්ෂණද, විජයපාලද ඇතැම් විට අනුර සහෝදර ජනාධිපති තුමාද දැන සිටින්නට ඇත. නමුත් දේශබන්ධු එක දිගටම සුපුරුදු මිනිස් ආශ්‍රයෙන් තොරව සිටීමට නොහැකි නිසා ඔහු කවදා හෝ අධිකරණයට භාර වී, මේ නූල් බෝලය ඔහු විසින්ම ලිහා ගනු ඇතැයි ඔවුන් සිතා සිටින්නට ඇත. එසේ ලිහා ගැනීමට අපහසු වන තැන්, රනිල් හා ටිරාන්ද, ඒ සමඟ ආණ්ඩුවෙ ⁣විජේපාල හා හර්ෂණද, තවත් අපහසු වුවහොත් ජනපති අනුර සහෝදරයාද එක්වී ලිහා දෙනු ඇත. ඉන් පසු මෙතෙක් දේශබන්ධු වෙනුවෙන් දැඩි විරෝධයක් පාන සොලිසිටර් දිලීප පීරිස්ගේ පැත්තට නඩුව හැරීමටද පුළුවන. මහේස්ත්‍රාත් තුමාටද මාරුවක් ලැබීමේ හැකියාවද ඇත. ඒ තිරනාටකයට අයත් වන එක් සිනොප්සියකි.

දෙවැන්න සජීව සිදුවීමයි. එක්වරම හදිසියේම දේශබන්ධු අධිකරණය⁣ට භාරවීමය. එය මීඩියාව හදිසි භාරවීමක් ලෙස පෙන්වූවද, එය කිසිසේත්ම හදිසියේ සිඳුවීමක් නොවේ. එය, රනිල්, ටිරාන් ඇතැම් විට මහී,ගෝඨාභය මෙන්ම අනුර සහෝදරයාගෙද සැලැස්මක් විය හැක. දේශබන්ධු ටයි කෝට් පැලඳ ගෙන තම බෙන්ස් රථයෙන් කිසිදු බියක් නැතිව අධිකරණයට පැමිණ බංකුවෙ ඉඳගෙන සිටියේ තමාව වරෙන්තු කෙරුවෙකු හෝ තමන්ව දින 20 ක් තිස්සේ පොලිසිය රට පිර පීරා හොයන පුද්ගලයෙක් කියා වගේ වගක් නැතිවය. පොලිසිය පීර පීරා කිව්වට, පොලීසියට අනන්ත අප්‍රමාණ වාරයක් දේශබන්ධුව හමුවෙන්නට ඇත. සාමාන්‍ය වරන්තු කරුවන් ඉදිරියේ අතීශයින්ම අසංවර, අසංවේදී වන පොලිසිය, දේශබන්ධු ඉදිරියේදී අතීශයින්ම සංවේදි වී හොටු පෙරාගෙන හඬමින් 'අපි කොහොමද සර්, සර්ව අල්ලන්නේ. සර් කැමති කාලයක් ඉඳලා කැමති නම් විතරක් අධිකරණයට භාර වෙන්න. අපි දැක්කා නොදැක්කා වගේ ඉන්නම්' කියා කියන්නට ඇත. ඒ අතරේදී 'සර් ඔහොම ඉන්නගමන් අනුරයියටත් කෝල් එකක් දෙන්න. අනුරයියා ටීවී වල වැඩ දැම්මට, සර් කෝල් කරපු ගමන් සංවේදි වෙලා සර්ව ගොඩ දායි.. දැං බලන්න මහින්දව නිල නිවසින් එළියට දානවා කියලා ටීවී වල, ස්ටේජ් වල අඩ් හප්පලා කෑගහලා කිව්වට, ඔය මහින්ද අපූරුවට ඉන්නේ. ඒ වගේ තමා සර් අනුරයියට තමන් විඳින දුක් කන්දරාව කියන්න. අනුරයියගෙ හිත උණුවෙලා ඇහෙන් කඳුලු පැනලා නහයෙන් හොටු ටිකකුත් එන සයිස් එකටම කියන්න. එතකොට ඔක්කොම හරියනවා. දැනටමත් ඔය ඉල්ලීම් රනිලුයි ටිරානුයි අනුරයියට කියලා ඇති. ඒත් සර්ත් කෙලින් කිව්වොත් වැඩේ ගොඩ. වැඩිම වුනොත් කියයි පළාත්පාලන ඡන්දය ඉවර වෙනකල් රිමාන්ඩ් එකේ ඉන්න කියයි. මොකද අනුරයියට ඒක හොඳ තුරුම්පුවක් හින්ද?

සිනොප්සියේ තුන්වැන්න නිතිඥ වරුන් 50 ක් එක්වර අධිකරණයට ඒම. එය මාධ්‍ය විසින් හුවා දක්වන්නේ ඒ දිනම සිදුවූවක් ලෙසටය. එය කෙසේවත් සිදුවිය නොහැක. මෙම නීතිඥ වරුන් සමඟ දේශබන්ධු අවම සතියකට පමණ පෙර සිටම සම්බන්ධ වී ති⁣බිය යුතුය. ⁣නැත්නම් මෙම සැලැස්ම කළ නොහැක. මෙම නිතිඥ වරුන්ගේ විවිධ විවිධ නීතිමය දක්ෂතාවයන් මත දේශබන්ධු ට ඇප අරන් දීම ටොයිස් ය. ඔවුන් අනේක ලෙස දේශබන්ධුට තම වෘත්තිමය පුරාජේරුව කියන්නට ඇත. ඔවුන්ගේ උපදෙස් මතය දේශබන්ධු මඟුල් ගෙදරකට යනවාක් මෙනි ටයිකෝට් පැළද ගෙන අධිකරණයට පැමිණියේ. අධිකරණයට බඩගාගෙන ආ යුතු වරෙන්තුවෙක් විරාජමාණව පැමිණීමෙන් හෑල්ලු කළේ සමස්ත පොලීසියද, නැත්නම් අධිකරණය ද කියා නම් තෝරා බේරා ගැන්මට නොහැක.

නීතිඥ වරු 50 දෙනා සිතුවේ, 50 දෙනෙක් අධිකරණයට එක් වර කඩාවැටීමෙන් මහේස්ත්‍රාත් ගේ එනජිය බාල කිරීමටය. එසේ බාල කර දේශබන්ධු ට ඇප අරන් දී තම සේවාදායකයා ව සතුටු කිරීමටය. එය වරදක් නැත. ඒ ඔවුන්ගේ වෘත්තියය.

එහෙත් එම අවස්ථාවට සොලිසිටර් දිලීප පීරිස් පැමිණේයැයි නම් ඔවුන් කිසිවෙක් සිතුවේ නැත. දිලීප පීරිස්ව දුටු විටම වැඩේ ජෝන් බාස්ට යන විත්තිය ඔවුන්ට වැටහුණේ දිලීප පීරිස් යුක්තියට සාධාරණත්වයට දැඩිව කැපවෙන කෙනෙක් නිසාය.

නඩුව පටන් ගැණුනි. දිලීප ⁣පීරිස් වටේටම නෙළුවේය. නිතිඥ 50 දෙනාට මීක් නැතිවිය. දේශබන්ධු යනු මදූෂ්ටත්, හරක් කටාටත් වඩා සංවිධායක අපරාධකාරයෙක් බව දිලීප පීරිස් අඩි හප්පමින් කීවේය ,දේශබන්ධු ඇඳ සිටි ලන්කට්ටුවට චූ බින්දුව බින්දුව පෙරෙන්නට විය. ඔහු සිතුවේ මේ සියල්ල අද නිමවී ඇප ලබා අර නිතිඥ වරු 50 දෙනාම තම ඉස්කාගාරයට රැගෙන ගොස් මුලු දවසම, නැත්නම් දවස් දෙක තුනක්ම බී ගෙන කාගෙන ආතල් ගන්නටය.

දිලීප පීරිස්ගේ ඉදිරිපත් කිරීම තුලින් මහේස්ත්‍රාත් ගේ එනිජිය වැඩි විය.
'මෙම පුද්ගලයා ඔබ තුමාටත් දෝෂාරෝපණය කර පෙත්සමේ සඳහන් කර තිබුණා, ඔබ තුමා ගරු අධිකරණයේ දොර අගුල් දා මොහුට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට' කියා දිලිප පීරිස් මහෙස්ත්‍රාත් ටත් දේශබන්ධු ගැන තව තවත් ඇරියස් වැඩි කළේය., එම කථාව අසන විටම 'දැන් නම් ගැලවීමක් නැතැයි දේශබන්ධු ට පමණක් නොව අර නිතිඥ වරුන් 50 දෙනාටම සිතෙන්නට ඇත.

දැන් දේශබන්ධු රිමාන්ඩ් භාරයේය. එහෙත් ඔහු තවම නීතිය ඉදිරියේ වැරදි කරුවෙකු නොවේ. ඔහු සැක කරුවෙකු පමණි. ඔහු වැරදි කරුවෙකුද, නිවැරදි කරුවෙකුද, ඔහුට ඇප ලබා දෙනවාද කියා තීරණය වන්නේ ඉදිරි නඩු වාරයන් වලදීය

සිනොප්සියේ අනෙක් කොටස මෙසේය. දැන් දේශබන්ධු සාමාන්‍ය කුටියක ගාල් කර ඇත. ඔහු දැන් කන්නෙත් නැත, බොන්නෙත් නැත. කිසිවෙක් සමඟ කථා කරන්නෙත් නැත. ඔහේ බලාගත් අත බලාගෙන සිටියි. මාධ්‍ය එසේ කියනු ඇත. නමුත් මෙයද නිතිඥ වරුන් 50 දෙනාගෙ සැලැස්මකි. ඔවුනුත් මේ පිළිබඳව කුමක් හෝ කල යුතු වේ. ඔවුන් තවමත් උත්සහා කරනුයේ දේශබන්ධු මානසිකව වැටුණු බවක් පෙන්වා ඇප ලබා ගැනීමටය. නොකා නොබී සිට ලෙඩ කර, නැවත නඩුවාරය එනතෙක් හෝ පුද්ගලීක රෝහලේ හෝ නැවැත්වීමටය. අවම ජාතික රෝහලේ හෝ නැවැත්වීමටය. මේ සියල්ලම කර ගත නොහැකි වුවහොත් අඩුම තරමේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමටය.

බොහෝ විට ඔහුට මෙම අප්‍රේල් 3 වනදා ඇප ලැබේවී. ඉන්පසු නඩුව ඇඳි ඇඳී යාවි. මහේස්ත්‍රාත් වරයාවත් කොහාට හෝ මාරුකරාවි. අනුරයියාටත් පලාත්පාලන ඡන්දය ගැන හිත යොමුකරන විට ඔය සිද්ධිය අමතක වේවි. රනිල්, ටිරාන්,මහින්ද, අනුරයියාට කරන්න ඕනෙ මොනවාද කියා උපදෙස් දේවී. අපි පොඩි කාලේ හිතුවේ ඩඩ්ලි සේනානායකයි, සිරිමාවෝ බණ්ඩාරනායක යි නයි වෛරයෙන් සිටිනවා කියාය. පසුව දැනුන් තේරුම් වයසට පැමිණෙන විට සිතුවේ මහින්ද රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි නයි වෛරයි කියාය. ඉන්පස්සේ සිතුවේ ගෝඨාභය රාජපක්ෂ යි සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. කෙතරම් මුහුකුරා ගියත් දැනුත් හිතෙන්නෙ ජනාධිපති අනුර කුමාරයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. ඇත්තටම අපි තවම කොච්චර චූටිද කියා සිතෙන්නෙ එවිටය. මා පාසැල් සඟයා වූ රන්ජන් රාමනායක 'උං ඔක්කොම යාලුයි මල්ලි' කියා කියපු කථාව සිහියට එන්නට විය.

දේශබන්ධු ට ඉදිරියේදි කෙරෙන්නේ මොනවාද කියා දන්නෝ දනිති. ⁣එය දැනට රහසේ පත්වී ඇති කොමිසම තීරණය කරාවි. එම කොමිසමට රනිල්, ගෝඨාභය, මහින්ද, ටිරාන්, පමණක් නොව අපි පත්කෙරු අපේ අනුරයියාද සිටින බව කව්රුත් දන්නා රහසකි. දේශබන්ධු වැන්නෙක් ව හිර ගෙයක ගාල් කල යුතු චරිතයක් නොවේ. ඔහු හොඳ ඡන්ද ගුණ්ඩුවකි. එහෙයින් එකී කොමිසම ඉතාමත් සුපරික්ෂාවෙන් දේශබන්ධු නාටකය රඟදක්වා එය ඔවුනට වාසිවන විදියට නිම කරනු ඇත.
හේතුව මේ හැම දේශපාලුවෙකුට දේශබන්ධු කෙනෙකුද අවශ්‍ය නිසාය.

දේශබන්ධු ගේ චරිතය මට විශේෂ වන්නේ ඒ තුලින් හොඳ තිරනාටකයක් ලියා චිත්‍රපටයක් කිරීමටය. හේතූව දේශබන්ධු ගේ කථාව තනිකර⁣ම නාටකයක් නිසාය.

මට ඇති විශාලම ප්‍රශ්නය, මේ තුලින් මා චිත්‍රපටයක් කරන්නේ නම් දේශබන්ධු තෙන්නකෝන් ගේ චරිතය⁣ට මා තෝරා ගන්නා නළුවා කව්ද කියාය.


-ශෝන් මැක්ස්මස් දිසානායක
A day in the life

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon