චතුරංග අමරතුංග.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ.
ලෝයස්ල අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. අපරාධකාරයො බේරගන්නවා, කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා , අපරාධකාරයන්ගෙන් සල්ලි ගන්නවා. කවුරුහරු ප්රසිද්ධ අයෙක් නිදහස් උනාම , ඇපයක් ගත්තම ඔය කතා ටික නිතරම කියවෙනවා. අනුරාධපුර වෛද්යවරියගේ නඩුවේ සැකකරු වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී ඉන්න ඉඩ තියෙනවා. ඔන්න එතකොට ආයෙත් ඔය බැනුම අලුත් වෙනවා..
එහෙම බනින්නෙ , චෝදනා කරන්නෙ නීතිය , චූදිතයෙකුට ඇති අයිතිවාසිකම් , මෙරට ක්රියාත්මක නීති ක්රමය , නීතිඥවරයෙකුගේ කාර්යභාරය හා අධිකරණ ක්රියාදාමය ගැන අවම දැනුමක්වක් නැති මිනිස්සු.. නීතිය පිළිබඳ මූලික දැනුමක් නැති මිනිස්සු කරන එවැනි චෝදනා අපි නොසලකා හරිනවා..ඔය චෝදනාවන්ට මේ සටහනෙන් කෙටි පිළිතුරක් ලබාදෙන්නම්..
නීතිඥ වෘත්තිකයෙක් තමන් ඉදිරියට එන ඕනෑම නඩුවක් භාරගත යුතුයි. එය ප්රතික්ෂේප නොකල යුතුයි. තමන්ට නිසි උද්යෝගයෙන් එම නඩුව කරගෙන යාමට නොහැකි නම් හා නඩුවට පෙනී සිටීමෙන් සම්බන්ධතා අතර ගැටුමක් ඇතිවන බව පෙනීයන්නෙ නම් පමණක් එය භාර නොගත යුතුයි. නීතිඥ වෘත්තිය පිළිබඳ ඔය සංකල්පය විශ්වීය එකක්. ලංකාවේ අපිට පමණක් අදාල දෙයක් නෙවෙයි. ඕකට කියන්නෙ Cab Rank Rule කියල. මෙයින් සරලවම කියන්නෙ නඩු තෝරා බේරාගෙන භාර ගැනීමෙන් සේවාදායකයන් වෙනස්කම්වලට භාජනය නොකල යුතුය යන්නයි..
ලෝකයේ ප්රධාන නීති ක්රම දෙකක් පවතිනවා. ඒ චෝදනාත්මක ක්රමය (Adversarial Legal System) හා විමර්ශනාත්මක ක්රමය ( Inquisitorial Legal System) ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් ක්රියාත්මක වෙන්නෙ චෝදනාත්මක ක්රමය. මෙම ක්රමයේදී චෝදනා කරන පාර්ශ්වය (Prosecutor , පැමිණිල්ල) විසින් චූදිත හෝ චූදිතයන් අදාල වරද සිදුකල බව ඔප්පු කල යුතුයි. එය සාමාන්ය ඔප්පු කිරීමකින් එපිටට ගොස් සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond the Reasonable Doubt) ඔප්පු කල යුතුයි. පැමිණිල්ල කියා සිටින වරද තමන් සිදු නොකල බව ඔප්පු කිරීමේ වගකීමක් චූදිතයන් වෙත පැවරෙන්නේ නෑ..
වරදක් (Offense) කියන්නෙ යම් නීතියකින් තහනම් කල ක්රියාවක් කිරීම හෝ යම් නොකර හැරීමක්. වරද සිවිල් හා අපරාධ වශයෙන් දෙයාකාරයි. අපි මෙහි අපරාධ වැරදි ගැන පමණක් කතා කරමු..
සෑම අපරාධ වරදක්ම සලකන්නෙ රජයට (State) එරෙහිව කරන වරදක් ලෙස. ඒ නිසා අපරාධ වැරදි සම්බන්ධයෙන් ගරු අධිකරණය ඉදිරියේ නඩු පවරන්නෙ රජය. රජය කිව්වම මේ ගැන නොදන්න ඔබට ගැටලුවක් මතුවෙන්න පුලුවන්. මහෙස්ත්රාත් අධිකරණයේ පොලිසිය , සුරාබදු , පාරිභෝගික අධිකාරිය වගෙ ආයතනනෙ නඩු පවරන්නෙ. ඉතින් කොහොමද රජය නඩු පවරනවා කියන්නෙ කියල..
පොලිසිය , සුරාබදු දෙපාර්තමේන්තුව , පාරිභෝගික අධිකාරිය , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවි දෙපාර්තමේන්තුව , විදේශ සේවා නියුක්ති කාර්යාංශය , මහජන සෞඛ්ය පරීක්ෂක , කම්කරු දෙපාර්තමේන්තුව , ගොවිජන දෙපාර්තමේන්තුව වගෙ කිව නොහැකි තරම් ආයතන සංඛ්යාවක් මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරනවා. මේ සියලු ආයතන රාජ්ය ආයතන. අන්න ඒකයි රජය නඩු පවරනවා කියන්නෙ..
අපරාධ නඩු විධාන සංග්රහයේ 136 (1) අ වගන්තිය අනුව ඉතාමත් සීමිත අවස්ථාවදී පෞද්ගලිකව නඩු පවරන්න පුලුවන්. නමුත් එහෙම පවරන නඩු ලක්ෂකට එකක්වත් නෑ. පවරල දිනපු නඩුනම් එකක්වත් ගැන දැනුමක් නෑ..
පහුගිය දවස්වල නිතරම කතාබහට ලක්වුණු නීතිපතිවරයා (Attorney General) තමයි රජයේ ප්රධාන නීති නිලධාරියා. ඔහු පෙනි ඉන්නෙ රජය වෙනුවෙන්. සෑම අපරාධ වරදකදීම නීතිපතිවරයා නියෝජනය කරන්නෙ පැමිණිලි පාර්ශ්වය. නීතිපතිවරයාට ඔහුගෙ කටයුතු කරගෙන යාමට දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව (Attorney general department) .
බරපතළ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරන්නෙ මහාධිකරණයේ (Criminal High Court). අධි චෝදනා (indictment) ගොනු කරනවා කියන්නෙ ඒ නඩු පැවරීමට. මහාධිකරණයේ ඉදිරියේ නඩු පවරන්න පුලුවන් නීතිපතිවරයාට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට පමණයි. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට පුලුවන් අල්ලස හා දූෂණය සම්බන්ධ වැරදි සඳහා පමණයි. එයත් කොළඹ මහාධිකරණයේ පමණයි. සාමාන්යයෙන් අල්ලස් කොමිසම වසරකට පවරන්නෙ නඩු 50 ක් විතර. ඉන් භාගයකට වඩා ඉල්ලා අස්කර ගන්නවා..
නීතිපතිවරයාට පුලුවන් රජය පවරන ඕනෑම නඩුවකට රජය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වගෙම මහෙස්ත්රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල විමර්ශන සඳහා නිසි උපදෙස් ලබාදීම. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩුවලදී පැමිණිල්ලෙ කාර්ය පමණක් කරන නිසා අපරාධ නඩු සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂ කුසතාවයක් තිබිය යුතුයි..
ජනතාව හිතාගෙන ඉන්නවා පොලිසිය කවුරුහරු යම් චෝදනාවකට අල්ලගෙන ගෙනාවම ඔහු වරදකාරයෙක් කියල. වර්තමාන ජඩ මාධ්ය උසාවි දාන්නත් කලින් මාධ්යයෙන් නඩු අහල වැරදිකරු කරල දඬුවම් කරකත් ඉවරයි. හොදට මතක තබාගන්න වැරැද්දකට මුලින් අල්ලල ඉදිරිපත් කරන්නෙ සැකකරුවෙක් (Suspect). ඔහුට නිශ්චිත චෝදනා ගොනු කරාම චූදිතයෙක් වෙනවා (Accused) . නඩු අහල අදාල චෝදනා ඔප්පු වුනොත් වැරදිකාරයෙක් වෙනවා..
අපේ රටේ මූලික නීතිය තමයි ආණ්ඩුක්රම ව්යවස්ථාව. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 ව්යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබෙනවා අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට , චූදිතයෙකුට හිමිවන නෛතික අයිතිවාසිකම් මොනවාද කියල. ඒවා මූලික අයිතිවාසිකම්. 13 (3) ව්යවස්ථාව අනුව චූදිතයෙකුට සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකව හෝ නීතිඥවරයෙකු මඟින් කරුණු කියාපෑමේ අයිතිවාසිකම පරම අයිතියක් බවට පත්කර තිබෙනවා..
ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්රහය (Criminal procedure Code) ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වූ ව්යවස්ථාපිත ප්රතිපාදනවල චූදිතයන්ගේ අයිතිවාසිකම් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සිවිල් අයිතිවාසිකම් ප්රඥප්තිය , මානව හිමිකම් ඇතුළු විශ්වීය සම්මුතිවල නීතිඥ නියෝජනයක් ලැබීමේ අවශ්යතාවය අවධාරණය කර තිබෙනවා.. චූදිතයන්ට ඔවුන්ට හිමි නෛතික අයිතිවාසිකම් ලබාදීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමක්..
නීතිඥවරු උසාවියට බොරු කියනවා, අපරාධකාරයො බේරගන්නවා යන්නට පිළිතුරක් නඩු ඇසුරින්ම දෙන්නම්..
මම කිව්වනෙ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වැරදි හැර අනෙකුත් අපරාධ වැරදි සඳහා මහාධිකරණය ඉදිරියේ නඩුපන්න පුලුවන් නීතිපතිවරයාට කියල. අධිචෝදනා පත්රයෙ සඳහන් වෙන්නෙ ජනරජය එරෙහිව චූදිතගෙ නම. ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අපරාධ නඩුවලදි සෑමවිටම පෙනී සිටින්නෙ පැමිණිල්ල (Prosecution) වෙනුවෙන් නිසා අපරාධ නඩුවල පැමිණිල්ල පිළිබඳව ඔවුන්ට විශේෂඥභාවයක් තියෙනවා. පොලිසිය විසින් හෝ මහේස්ත්රාත් අධිකරණයක් විසින් නීතිපතිවරයා වෙත යවන නඩු ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයන් කිහිප දෙනෙක් අධ්යනය කරනවා. ඒ නිසා වැරදීම් , මගහැරීම් දෝෂ වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි..
හැබැයි පසුගිය කාලෙ දැක්ක පවරපු නඩු නීතිපතිවරයා විසින් තාක්ෂණික දෝෂ මත ඉල්ලා අස් කරගැනීම. ඒ වගෙම සාමාන්ය තැනැත්තන් නොවන වරප්රසාදිත තැනැත්තන්ට එරෙහිව පවරන නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් වීම. ඇයි මෙහෙම වෙන්නෙ ? ඒකට එක හේතුවක් දැඩි නොසැලකිල්ල වෙන්න පුලුවන්. නමුත් ප්රධානම හේතුව තමයි යම් යම් සම්බන්ධතා මත ඉල්ලා අස්කර ගැනීමට හා චූදිතට ජයගත හැකිවන ලෙස දෝෂ සහිතව නඩු පැවරීම..
මහාධිකරණය ඉදිරියේ පවරන නඩුවලදී පැමිණිල්ල වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙක්. ඒ නිසා විත්තිය හා පැමිණිල්ල නියෝජනය අතින් සමානයි. කිසිම නීතිඥවරයෙකුට බොරු කියන්න බෑ. මොකද අනිත් පැත්තට නීතිඥවරයෙක් හා විනිසුරුවරයෙක් ඉන්නවා..
මහාධිකරණය ඉදිරියේ නඩුවලදී නීතිපතිවරයා , පොලිස් දෙපාර්තමේන්තුව , රජයේ රස පරීක්ෂකවරයා , අත් අකුරු විශේෂඥයන් , ඇඟිලි සලකුණු විශේෂඥයන් , අධිකරණ වෛද්ය නිලධාරීන් හා රජයේ වෛද්යවරුන් , පුපුරන ද්රව්ය විශේෂඥයන් ඇතුළු මුලු රාජ්ය සේවයම සමහර අවස්ථාවල පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා. මුලු රජයක්ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නකොට චූදිත වෙනුවෙන් ඉන්නෙ නීතිඥවරයෙක් ව්තරයි. මුලු රාජ්ය යාන්ත්රණයම එකතු වෙලා තමන් විසින්ම එල්ල කරන චෝදනාව පැමිණිල්ලට ඔප්පු කරන්න බැරි එකෙන් පේන්නෙ ඔවුන්ගේ අසමත්බව. සමහරවිට ඒවා බොරු චෝදනා වෙන්නත් පුලුවන්. චූදිත නිදොස් කොට නිදහස් වීමට පැමිණිල්ලෙ දුර්වලතාවයට වඩා චූදිතයා වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයාගේ දක්ෂතාවයත් හේතුවක් වෙනවා..
මහාධිකරණයේදී සමහර චූදිතයන්ට නීතිඥ නියෝජනයක් නෑ. එවැනි අවස්ථාවල රජයෙන් නීතිඥවරයෙක් (Assigned Counsel) පත් කරනවා. රටේ මිනිස්සු කැමති උනත් නැතත් ඔහු කුමන අපරාධකාරයකට චෝදනා ලැබ තිබුනත් ඔහුට නීතිඥ නියෝජනයක් ලැබෙනවා. සේයා දියණිය දූෂණය කර ඝාතනය කල චූදිත වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් පෙනි සිටියෙ නෑ. නමුත් ඔහුට රජයෙන් නීතිඥවරයෙක් පත් කරා. රජ කාලෙ වගෙ නෙවෙයි සාධාරණ නඩු විභාගයකට (Fair Trial) දෙපාර්ශ්වයටම සවන් දීම අවශ්යයි. එය අපේ නීතියෙන් තහවුරු කර තිබෙනවා..
මහාධිකරණය ඉදිරියේ නඩුවකදී දෙපාර්ශ්වයම බලන්නෙ නඩුව දිනන්න. එතකොට දෙපාර්ශ්වයම නීතියේ ඇති හිඩැස් (Loopholes) හොයනවා. ඒවායින් රිංගන්න බලනවා. පැමිණිල්ලට වඩා ඒ හිඩැස් මොනවාද කියල හොයාගන්න තරම් චූදිතගේ නීතිඥවරයා දක්ෂයි. නීතියේ හිඩැස් වැසිය යුතුයි. හැබැයි ඒ හිඩැස් වහන්න නීතිඥවරුන්ට බෑ. විනිශ්චයකාරවරුන්ටත් බෑ. එය කල යුත්තේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව විසින්. ඇත්තටම ඇතැම් නීති යාවත්කාලීන නෑ..
මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩු ගැන කියන්න තියෙන්නෙ නම් සාතිශය සංවේගයෙන්. එහි අපරාධ නඩුවලින් 90% පවරන්නෙ පොලිසිය. කණගාටුවට කරුණ නම් ඒ පවරන නඩුවලින් 1% වත් වැරදිකාරයෝ වෙන්නෙ නෑ. ඇත්තටම චූදිතයන් මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවලින් 99% ක්ම දිනන්නෙ පැමිණිල්ලෙ අසාර්ථකත්වය නිසා මිසක් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ දක්ෂතාවය නිසා නෙවෙයි. කලාතුරකින් චුදිත නීතිඥවරයාගේ දක්ෂතාවයෙන් දිනන නඩුත් තියෙනවා. සමහර නඩු විත්තිය කිසිම දෙයක් නොකරත් දිනනවා. මහෙස්ත්රාත් අධිකරණයේ පවරන නඩු අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි පවරන නඩු බහුතරයක් සාවද්ය ඒවා වීම. පොලිසියට කරන්නෙ කවුරුහරු පැමිණිල්ලක් කරාම නිසි ලෙස විමර්ශනය නොකරන අල්ලගෙන උසාවි දැමීම. පොලිසියේ මූලික බලාපොරොත්තුව සැකකරු ඇප නොදී බන්ධනාගාරගත කිරීම. එතනින් එහාට නඩුව දිනන්න පුලුවන්ද හිතන්නෙ නෑ. ඒ වගෙම බහුතරයක් පොලිස් නිලධාරීන්ට පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව පුහුණුවක් නෑ.. ඇත්තෙන්ම මහෙස්ත්රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩුවලින් මිනිස්සු යුක්තිය ඉටු කිරීමේ ක්රියාවලියෙන් ඈත් කරවනවා..
සැකකරුවන් හා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරු කරන්නෙ අදාල නඩුවේ සිද්ධිමය කාරණා හා නෛතික තත්ත්වය ගරු අධිකරණයට ගෙනහැර දැක්වීම. විනිශ්චයකාරයා සියළු පාර්ශ්වයන්ට සවන් දී නියෝගයක් හෝ තීන්දුවක් ලබාදෙනවා. ඒ අර්ථයෙන් සැකකරුවෙකුට ඇප දෙන්නෙ, චුදිතයෙක් වැරදිකාරයෙක් හෝ නිවැරැදිකාරයෙක් කරන්නෙ ගරු විනිසුරුතුමන්ලා. හැබැයි ඔවුන් ඒක කරන්නෙ නීතියට අනුව , අධිකරණමය මනසින්. එය ඔවුන්ගේ කාර්ය භාරය. එයයි විය යුත්තේ..
සටහනේ අවසානයට තවත් යමක් එකතු කරනවා එඩිට් කරල. සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියට අනුව , සීමා කිරීම් දෙකකට යටත්ව යම් සේවාදායකයෙක් අප වෙත දෙන උපදෙස් එළි කරන්න බෑ. ඒක අධිකරණයටවත් ප්රශ්න කරන්න බෑ. එය ලොව විවිධ රටවල ක්රියාත්මක නෛතික තත්ත්වයක්..
Chathuranga Amarathunga
මුණු පොතට ලියු ලිපියකි.
ස්තුතියි.
A day in the life
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.