Friday, March 28, 2025

අන්දරේ යුවතියනට කී කවි.




අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවිය යන වයස් හී  වයසට ගැලපෙන කතාය.

අද මීදුම අන්දරේ  තරුන වියේ කාන්තාවන් ඉලක්ක කර ගත් කාව්‍ය ප්‍රබන්ධ කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි.


දිය ගෙන එන්නට ලිදට යන ගැටවරියක් දකින අන්දරේ එගමන වර්ණනා කරන්නේ මෙසේය.

“රණ්වන් එරන් වන් රණ්වන් රණ් රුවට

නිල්වන් පීරාලා පිට දිගට

රණ්වන් වලලු අත දමලා කලය වට

සෙල්ලම් ගමනින් යනවද ලිද ලගට 


සදක් මෙන් මුහුන ඇගෙ රූසිරු සමග

ලදක් වෙන නුදුටුවෙමි මේ මුලු දෙරණ 

මොලොක් මට සිලිටු ගත ඔප ලු ලෙසින

මලක් මෙන් ළපටි රතු මුවින සොබින


සවන පිනවන ළද බොළද සුමිරිය

බදින සිතු බදේ ඈ වෙත වී පිරිය

කුමන ලෙස මැවීදෝ සුරගණ සරිය

වචන නැත කියන්නට ඇගේ රු සිරිය.”

සුරූපිණයක් දකින අන්දරේ නිදිවරමින් 

“වතට ලවනතට නුබ බලන බැල්මට

වරලට ගෙලට නලලට නාසිකාවට

ගමනට බසට නුබ හට ලොල් කල මෙමට

කුමකට කියමි නිදි නැත රැය තුන්යමට”

ඈ සිහිපත් කරන්නීය.

පොකුණකට බැස නෙලුම් අල උදුරන තරුණියකට ලොබ බදින අන්දරේ 

“පතුල බැසා අල උදුරන කලට ලියේ

මකුල සේම වත ඉහලට යාය ලියේ

මුකුලු සිනා අප දැක කෝඩුකාරියේ

කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ”

යයි අවවාද කරයි. “ කැකුලු තන තෙමෙයි “ 


අන්දරේගේ පළමු බිරිය මියයයි. එයින් සංවේගයට පත් අන්දරේ මැවුම්කරුවු මහපඹාට 

“පටුවන් නළල දිලිසෙන සුරතලු දිගැසේ

බටුවන් සුරගනන් පරදන මැණික යසේ 

කෙටුවත් බඹා පල නැති ලෙස මගේ හිසේ 

දුටුවොත් යම් දිනක මම කොටමි උගේ හිසේ”

යයි දෙස් දෙයි.

ගමනක් යන අන්දරේ දෙස දොර අස්සෙන් මුකුලු කරන ගැටවරියක් දෑක

“ඉහළ ගෙදර වී පැදුරේ පරෙයියා

පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා

ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා

ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා”

……ටිකිරි නගේ 

සුන්දර යුවතියක් දකින අන්දරේ………….

“මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති

කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති

කොතන වුවත් හරි නෙද  මැණිකේ රුව ඇති

රුව ඇතිනම් අඩුකුලයද කමක් නැති.”

හැඩ රැව ඇත්නම් අනෙකුත් අඩුපාඩු නොසලකන බව සිහිපත් කරයි.

ඔක්කොටම කවි කියනවා. මටත් කවියක් කියනවකෝ ……අන්දරේගේ බිරිද ඇවිටිලි කල විට මෙසේ කීවේය

“ඉස දෙස බැලිමිපොල් කෙදි වැන්න පීරනා

බද දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා 

තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා

නුබ දෙස බැලිමි වැදිරිය වැන්න දලු කනා.”

බිරිදට මළ පැන්න විට අන්දරේ කවිය ප්‍රතිශෝධණ කරමින් 

“ඉස දෙස බැලිමි රණ්කෙදි වැන්න පීරනා

බද දෙස බැලිමි රණ් කද වැන්න ආරනා

තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා

නුඹ දෙස බැලිමි සුරගන වැන්න රුසිරෙනා”

කියා ජාම් බේරා ගත් බවකි.

දිය පහස පිණිස පොකුණට යන කුමාරිකාවට අන්දරේ මගදී මුණ ගැසිනි.

අන්දරේ ඇමතු ඈ තමාටත් කවියක් කියන ලෙස ඉල්ලීමක් කෙරෙනි.

අන්දරේ……

“කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන

ලොට තන දෙකත් ගෙරි සමතින් වසාගෙන

තඹත් පිත්තලත් දෙවගේ පැළද ගෙන

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන”

කීවය. මින් උරණවු කුමාරිකාව රජතුමාට තමන්ට කල අපහාසය ගැන පැමිණිලි කලාය.

රජවාසලට කැදවු අන්දරේ .කල වින්නැහිය කුමක්දැයි විමසීය.

පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස මම මෙන්න මේ පද හතර කුමාරිගේ ඉල්ලීමට කීවායයි කීවේය.

“රණ් කැටි කලේ දිය උකුලේ තබාගෙන

රණ්කුඹු දෙකත් සලුපටකින් වසා ගෙන

රිදී රත්තරන් දෙවගේ පැළද ගෙන

මල් මද බිසව් කොයි යනවද උදෑසන”

අන්දරේ මහවාසල සිට ගම් බිම් බලා එන අතර මග මලල දී පලා නෙලන ලියක් දැක ලොබ බැදි අයුරුයි මේ.

“පුල පුලා ඇවිත් බැස මලල ආරට

හෙල හෙලා බදින වරලස පිට කරට

බල බලා මදෙස  මුව රද සිනාවට

විල පලා නෙලන කත හොදලු පහසට”


A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon