ඔබ මියයන විට ගෙදර යමිනුයි හිටියේ.ඒක කාර් අනතුරක්, කිසි විශේෂත්වයක් නැති. හැබැයි මාරාන්තිකයි. ඔබ බිරිඳක් සහ දරුවන් දෙදෙනෙක්ව තනි කරලයි මැරුණේ. ඒක වේදනා රහිත මරණයක්. දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු ඔවුන් ගේ උපරිම මහන්සිය දැරුවා ඔබව බේර ගන්න. නමුත් ඒ සියල්ල අපතේ.විශ්වාස කරන්න, ඔබේ සිරුර සුණු විසුණු වෙලා තිබුණු හැටියට ඔබ මියගිය එකමයි හොඳ.අන්න ඊට පස්සෙ තමයි ඔබට මාව මුණගැහෙන්නේ." මො..මො.. මොකද උනේ? " ඔබ ඇසුවා, " මං මේ කොහෙද ඉන්නේ? ""ඔබ මැරුණා " මං කිව්වා කෙලින්ම, වෙච්ච දේ හංගන එකේ තේරුමක් නැහැ." ට්‍රක් එකක් කඩාගෙන බිඳගෙන මං දිහාට ආවා .. ""ඔව්" මං කිව්වා." මං මැරුණා?"" ඔව්!, හැබැයි ඒ ගැන කණගාටු වෙන්න එපා, හැමෝම මැරෙනවනේ " මං කිව්වා.ඔබ වටපිට බැලුවා. වටේටම තිබුණෙ හිස් බව විතරයි, ඒ හැර ඔබයි මමයි විතරයි." මොකක්ද මේ තැන? " ඔබ ඇහුවා, " මේ පරලෝකෙ ද?"" බොහෝ දුරට "" ඔබ දෙවියන් වහන්සේ ද? " ඔබ ඇහුවා." ඔව්! " මං උත්තර දුන්නා, " මම දෙවියන් වහන්සේ "." මගේ දරුවෝ.. මගේ බිරිඳ? " ඔබ කලබල වුනා." මොනවද එයාලා ගැන දැන ගන්න ඕන?"" එයාලට මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද ? "" අන්න ඒක තමයි මං බලාපොරොත්තු වෙන්නේ " මං කිව්වා." ඔබට මැරිච්ච ගමනුත් මුලින්ම මතක් වෙන්නේ ඔබේ පවුල. අන්න ඒවා බොහොම හොඳ දේවල්".ඔබ වශීකෘත වෙලා වගේ මං දිහා බැලුවා. ඔබට මාව දෙවියන් වහන්සේ වගේ වං පෙනුනෙ නෑ. ඔබට මාව පෙනුනෙ නිකං සාමාන්‍ය මිනිහෙක් වගේ, හෝ ගැහැණියක් උනත් වෙන්න පුළුවන්. කවුරු හරි යම්කිසි බලයක් තියෙන පුද්ගලයෙක්, ඉස්කෝලෙක ගුරුවරයෙක් වගේ දෙවියන් වහන්සේ කෙසේ වෙතත්." ඒ ගැන වද වෙන්න එපා!" මං කිව්වා." ඒගොල්ලෝ හොඳින් ඉඳීවි. ඔබේ දරුවෝ ඔබව හැම අතින්ම පරිපූර්ණ කෙනෙක් විදිහට මතක තියා ගනීවි, එයාලට ඔබ ගැන වෛරයක් ඇති වෙන්න තරම් වයසක් උනේ නැහැනේ.ඔබෙ බිරිඳ නම් අඬාවි ලෝකෙට පේන්න. හැබැයි හිත ඇතුලෙන් එයාට ලොකු සහනයක් දැනෙයි. ඇත්තම කිව්වොත් ඔබේ විවාහය බිඳවැටෙමිනුයි තිබුණේ. හැබැයි.. එහෙම හිත යටින් සහනයක් දැනුණු එක ගැන ඇයට යම් පසුතැවීමක් නං තියෙනවා, ඔබට ඒක සැනසිල්ලට කාරණයක් නම්!"." ඕහ්!" ඔබ කිව්වා, " ඉතිං දැං මොකද වෙන්නේ? මම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනවා වගේ දෙයක් ද?"" ඒ දෙකම නෙවෙයි " මං කිව්වා, " ඔබ පුනරුප්පත්තිය ලබනවා ඇති"." ආහ් " ඔබ කිව්වා, " ඒ කියන්නේ හිංදු ආගමිකයෝ හරි!"" හැම ආගමක්ම තම තමන්ගේ ක්‍රමයට හරි තමයි " මං කිව්වා, " මාත් එක්ක එන්න ".ඔබ මගේ පසුපසින් ශූන්‍ය අවකාශයේ ඇවිදගෙන ආවා." කොහේද අපි මේ යන්නේ? "" නිශ්චිත තැනකට නෙවෙයි " මං කිව්වා." ඇවිදින ගමන් කතාබහ කරන එක කදිම වැඩක් "." එහෙනං මොකක්ද මේකෙ තේරුම?" ඔබ ඇහුවා." ආයිත් උපදිනකොට මං නිකං හිස් ගල්ලෑල්ලක් වගේ වේවි නේද?, පොඩි බබෙක්. ඒ නිසා මේ ජීවිතයේ මම ලබපු හැම අත්දැකීමක්ම, මම කරපු හැම දෙයක්ම, ඊලඟ ජීවිතයට කිසිම බලපෑමක් නොකරාවි? ".." එහෙම නෙවෙයි " මං කිව්වා." ඔබ පෙර ජීවිත වල ලබපු සියළුම දැනුම් සහ අත්දැකීම් ඔබ තුල තිබෙනවා, ඔබට දැනට ඒවා මතක නැතුවා පමණයි ".මං ඇවිදින එක නවත්වලා ඔබේ උරහිසට අත තැබුවා." ඔබේ ආත්මය ඔබට සිතා ගැනීමට වත් නොහැකි තරම් බලගතු, විචිත්‍ර හා මහානුභාව සම්පන්න දෙයක්. මනුෂ්‍ය මනසකට දරාගත හැක්කේ ඉන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණයි. ඒක හරියට වීදුරුවක ඇති වතුර උණුසුම් හෝ සිසිල් දැයි ඇඟිල්ලක් ඔබා පරීක්ෂා කිරීමට සමානයි. ඔබේ අල්ප මාත්‍ර වූ කොටසක් මහා යාත්‍රාවකට ඇතුල් කරනවා, ඔබ එය නැවත එළියට ගන්නකොට එයට ලැබුනු සියළුම අත්දැකීම් ඔබ සතු වෙනවා .ඔබ ගෙවුනු වසර 48 පුරාවටම මනුෂ්‍යයෙක් වෙලායි හිටියේ. ඒනිසා ඔබ, ඔබේ අප්‍රමාණ විඥානයේ තරම අවබෝධ කරගන්නා තෙක් තවම ව්‍යාප්ත වී නැහැ. අපි මෙතන අවශ්‍ය තරම් කාලයන් කතා කර කර හිටියොත්, ඔබට හැමදේම මතක් වෙන්ව පටන් ගනිවී. හැබැයි ඉතිං හැම උප්පත්තිය කට පෙරම එහෙම කරන එකේ තේරුමක් නැහැ. "" එතකොට කොච්චර වාර ගාණක් මම පුනරුප්පත්තිය ලබලා තියෙනවාද ?"" ඕහ්! සෑහෙන්න, වචනෙන් කියන්න බැරි තරම්, නොයෙක් වර්ගයේ ජීවිත වලට " මං කිව්වා," මේ පාර ඔබ ක්‍රිස්තු වර්ෂ 540 දි චීනයේ පිටිසර ගොවි පවුලක දියණියක්ව ඉපදේවි "" මො..මො.. මොකක් ? " ඔබට ගොත ගැහුනා, " ඔබ මාව කාලයේ ආපස්සට යවනවා?!"." ඔව් මං හිතන්නේ , රීත්‍යානුකූලව.. කාලය ඔබ දන්නා පරිදි පවතින්නේ ඔබේ විශ්වයේ පමණයි. මම පැවතෙන දිහා තත්ත්වය තරමක් වෙනස්"." කොහේද ඔබ පැවතෙන දිහාව?" ඔබ ඇහුවා." හරි!" මම පැහැදිලි කරා, " මං එන්නෙ යම් තැනකින්, එතන මං වගේ තව අය ඉන්නවා. මං දන්නවා ඔබට දැනගන්න ඕන බව ඒක මොනවගේ තැනක් ද කියලා. නමුත් අවංකවම ඔබට ඒක තේරෙන එකක් නැහැ. "" ඕහ්! " ඔබ කිව්වා, බලාපොරොත්තු කඩවුනු ස්වරූපයකින්." හැබැයි, මම කාලයේ අනිත් තැන්වල පුනරුප්පත්තිය ලබනවා නම්, මට යම් මොහොතක මාවම හමුවෙලා ඇති? "." ඔව්! ඒක හැමතිස්සෙම වෙනවා. හැබැයි ඒ දෙදෙනාම දන්නෙ තම තමන් ගැන විතරක් නිසා, ඔබ එහෙම දෙයක් වෙනවා කියලාවත් දන්නෙ නෑ. "" එහෙනං මේ හැමදේම තේරුම මොකක්ද ?"" ඇත්තට!? " මං ඇහුවා, " හැබෑවටම ඔබ මගෙන් ජීවයේ තේරුම ගැන අහනවද? ඒ ප්‍රශ්නෙ බොහොම ගතානුගතිකයි වගේ හිතෙන්නෙ නැද්ද ?"" ඒක සාධාරණ ප්‍රශ්නයක් ! " ඔබ මුරණ්ඩු වුනා.මං කෙලින්ම ඔබේ ඇස් දිහා බැලුවා." ජීවයේ තේරුම, මම මේ මුළුමහත් විශ්වයම ගොඩනගපු හේතුව, ඒ ඔබට පරිණත වෙන්නයි. "" ඔබ අදහස් කරන්නේ මනුෂ්‍ය සංහතිය? ඔබට අවශ්‍යයි අපව පරිණත කරන්න? "" නෑ.. ඔබ පමණයි. මම මේ මුළුමහත් විශ්වයම මැව්වේ ඔබට. හැම අළුත් ජීවිතයක් එක්කම ඔබ වර්ධනය වේවි, පරිණත වේවි, ඒ වගේම පෘථුල හා විශිෂ්ඨ බුද්ධිමතෙක් බවට පත්වේවි. "" මම විතරයි ?! එතකොට අනිත් අය? "" මෙතන වෙන කවුරුවත් නැහැ! " මං කිව්වා, " විශ්වයේ ඉන්නෙ ඔබයි මමයි විතරයි. "ඔබ ව්‍යාකූල වෙලා මං දිහා බලාගෙන හිටියා." ඒත් පෘථිවිය මත ඉන්න මිනිස්සු.. "" ඒ හැමෝම ඔබ, ඔබේම විවිධ උප්පත්තීන්. "" මොකක් ?! මම හැමදෙනාම ?!! "" අන්න දැං ඔබට වැටහෙන්න ගත්තා " මං කිව්වා ඔබේ පිටට හිමීට තට්ටුවක් දාන ගමන්." සදාකාලයටම ජීවත් වෙච්ච හැම මනුෂ්‍යයාම මම ?"" සහ.. සදාකාලයටම ජීවත් වන. ඔව්! "." මම ඒබ්‍රහම් ලින්කන් ?"" ඒ වගේම ජෝන් විල්කිස් බූත් ත් " මං එකතු කලා." මං හිට්ලර්!? " ඔබ ඇහුවා, පිළිකුලෙන්." ඒ වගේම ඔහු අතින් ඝාතනය වෙච්ච මිලියන ගණනත් ඔබ! "." මම ජීසස් ?! "" ඒ වගේම ඔහුව අදහපු හැම දෙනාම! "ඔබ අවසානයේදී නිහඬ වුනා." ඔබ යමෙක් තාඩන පීඩන වලට ලක්කරන හැම වෙලාවෙම.. " මම කිව්වා, " ඒ තාඩන පීඩන වලට ලක්වුනේ ඔබමයි. එදා මෙදා තුර සියළුම මනුෂ්‍යයන් විසින් අත්දක්නා ලද සුඛිත සහ දුක්ඛිත අත්දැකීම් සියල්ලම හෝ එසේ අත්දැකීමට නියමිත සියල්ලෙහි, අත්දකින්නා ඔබම වේවි. "ඔබ බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියා.." ඇයි?! " ඔබ මගෙන් ඇසුවා අවසානයේදී, " ඇයි මෙහෙම කරන්නේ ? මේ හැමදේම?! "" මොකද, දවසක ඔබ මං වාගේම වේවි. ඔබ මගේ වර්ගයා ගේ කෙනෙක්. ඔබයි මගේ දරුවා! "." වෝහ්!! " ඔබට කෑගැසුනා, විශ්වාස නොකරන විදිහට." ඔබ කියන්නේ මාත් දෙවියන් වහන්සේ කෙනෙක් ?! "" නෑ. තවම නෑ.. ඔබ තාම කළලයක්, ඔබ තාම වැඩෙනවා. කාලයේ සමන්ථය පුරාවටම ජීවත් වූ සියළුම මනුෂ්‍ය ජීවිත ඔබ ගෙවා නිමකලාට පස්සේ, ඉපදෙන්න සුදුසු විදිහට වර්ධනය වෙලා තියේවි. "" ඒ කියන්නේ මුළු මහත් විශ්වයම.. " ඔබ කිව්වා, " ඒක හරියට.. "" බිත්තරයක්! " මං උත්තර දුන්නා" දැන් ඔබට ඊලඟ උපතට යන්න කාලය හරි! "හං ඔබව ඔබේ ගමන යැව්වා.
ඇන්ඩි විය(ර්) ගේ කෙටි කතාවකි.
පරිවර්තනය :- කාන්චන බුද්ධි.
A day in the life
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.