අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-12-02

12/02/2025 10:00:00 pm



මේ සිදුවෙමින් පවත්නා ස්වභාවික ව්‍යසනය විඥානවාදී ප්‍රවේශයකින් සහ භෞතිකවාදී ප්‍රවේශයකින් අර්ථනිරූපණය කිරීමට පුළුවන. විඥානවාදී අර්ථනිරූපණයට අනුව ශ්‍රී මහා බෝධියේ කපුවා ස්වකීය ගෙදර ෆ්‍රිජ් එකේ දඩ මස් තබාගැනීම, උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රත්‍රන් තොගයක් තබාගැනීම, රට පුරා සිදුවන මිනීමැරුම් මේ විනාශයට හේතුවී ඇත්තේ කෙනෙකුට කිව හැකිය. 

එහෙත් භෞතිකවාදී ප්‍රවේශයකින් මේ ප්‍රශ්නය විග්‍රහ කිරීමේ දී මෙහි සම්පූර්ණ වරදකරු බෙංගාල බොක්ක බව පැහැදිලි වන්නේ ය. අපේ රටේ ජනයා ස්වකීය බොක්කටත් වඩා හොඳින් බෙංගාල බොක්ක ගැන දනී. නිරන්තරයෙන් අඩුපීඩන කලාප සහ වැඩිපීඩන කලාප හටගැනීම නිසා බෙංගාල බොක්ක ඉතාම දුෂ්ට සහ ප්‍රචණ්ඩ කාලගුණික කලාපයක් බවට පත්ව තිබේ. ලංකාවට එන තරමක් හදිසි වැසි ආපදා සහ ගංවතුර ව්‍යසනවලට බෙංගාල බොක්ක ආශ්‍රිත කාලගුණික කලාපය වගකිව යුතුය. මෙවර හටගෙන ඇති පීඩන තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විශාල වපසරියක් විනාශයට පත්ව තිබේ. 
මේ කතුවැකිය ලියන අවස්ථාව වන විට අඩුම ගණනේ පුද්ගලයන් පනහක්වත් මේ ව්‍යසනය නිසා මරණයට පත්ව සිටියහ. කුඹුරු අක්කර ලක්ෂ ගණනක් ද වෙනත් ගොවිබිම් අක්කර ලක්ෂ ගණනක් ද ගංවතුරෙන් විනාශයට පත්ව තිබේ. මේ විනාශය අවසන් වන විට අඩුම ගණනේ ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වනවා ඇත. ගංගාවල තිබී මියගිය මඟීන් සහිත මෝටර් රථ හමුවීමත්, ජනතාවගේ දේපළ මෙන්ම පොදු දේපළ ද ගංගාවල ගසාගෙන යෑමත් බහුලව අසන්නට ලැබිණ. දැනට පෙනී යන පරිදි සුනාමි ව්‍යසනයෙන් පසු ජලය ආශ්‍රිතව හටගත් විශාලතම ව්‍යසනය මෙවර ගංවතුර විය හැකිය. 

ආණ්ඩුවට සහ ජනතාවට මෙහි සැබෑ පරිප්පුව කෑමට සිදුවන්නේ අද හෙට නොවේ. මීළඟ ගොයම් කපන වාරයේ දී කපන්නට ගොයමක් නැතිවීමත් වෙනත් භවබෝග නෙළන අවස්ථාවේ දී එසේ කරන්නට දෙයක් නැති වීමත් නිසා ලංකාව කිසියම් ආකාරයකට ආහාර හිඟයකට මුහුණ දීමට ඉඩ තිබේ. එහෙත් මිත්‍රවරුනි, මේ බෞද්ධ රට පුදුමාකාර රටකි. අවසන් මොහොතේ දී අපගේ ගැලවීම වෙනුවෙන් කවුරු හෝ ඉදිරිපත් වීමට ඉඩ තිබේ. එසේ ඉදිරිපත්වන්නා ඉන්දියාව විය හැකිය. නැත්නම් චීනය විය හැකිය. එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විය හැකිය. අපට ඇති එකම එෂුවරන්ස් එක වන්නේ ආහාර හිඟයක දී ආණ්ඩුව ගේමක් ගසා මිනිසුන්ගේ බඩගෙඩි නිවාදමන බවය.

ගංවතුර යනු ඉතිහාසගත ව්‍යසනයකි. මෙයට අවුරුදු දසදහස් ගණනකට ඉහතදී ලෝකය බෙහෙවින් නරක් වූ සමයක දී දෙවියන් වහන්සේ විශාල ගංවතුරක් මවා නරක මිනිසුන් එහි ගිල්ලවා පළාතම සුද්ද කළ බව දැනගැනීමට තිබේ. මෙතැනදී දෙවියන් වහන්සේ යනු විඥානවාදී සාධකයකි. දෙවියන්ගේ පැවැත්ම පිළිගැනීමට අකමැති අයට මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් තිබේ. එනම් එකී අතිවිශාල ගංවතුර ස්වභාවධර්මය විසින් ඇති කරන ලද ගංවතුරක් සේ සලකා කටයුතු කිරීම ය. 

මෙහිදී තවත් වැදගත් යමක් කිවයුතු වේ. රුසියාවේ සාර් රජ පෙළපතට විරුද්ධව කටයුතු කළ මහා ලේඛකයකු වූ ලියෝ ටෝල්ස්ටෝයි පවා සිය ජීවිතයේ අවසාන කාලයේ දී දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගත් බවය. ඒ කතාව පසෙක තිබියේවා. 

මෙයට අවුරුදු දහස් ගණනකට පෙර සිදුවූයේ යැයි කියන ගංවතුර මිථ්‍යාවක් නොව සැබෑවක් බව මේ වනවිට පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. එම ගංවතුරේ ප්‍රධාන චරිත තුනක් තිබේ. ඉන් පළමුවැන්නා දෙවියන් වහන්සේ ය. දෙවැන්නා දෙවියන් වහන්සේගේ පෞද්ගලික මිත්‍රයකු වූ නෝවා නමැති යහපත් මනුෂ්‍යයෙකි. තුන්වැන්නා යක්ෂයා හෙවත් සාතන් ය. තමන් වහන්සේ විසින් ළඟදීම ගංවතුරක් මවා පොළෝ තලය සුද්ධ පවිත්‍ර කරන බැවින් විශාල නැවක් හදාගෙන සිය පවුල සමග එහි නැඟී ජීවිත බේරා ගන්නා ලෙස දෙවියන් වහන්සේ නෝවාට දැනුම් දීමක් කර තිබිණ. ඉන් පසු නෝවා ලෑලි සොයාගෙනවිත් විශාල නැවක් සෑදූ බවත්, ඔහු සිය පවුල ද විවිධාකාර සතුන් ද සමග එම නැවට නැඟී ගංවතුර ගැලූ විට ජීවිත බේරාගත් බවත් සඳහන් ය. 

නෝවාගේ නැවේ නටබුන් මේවනවිට මැදපෙරදිගින් සොයාගෙන ඇත. මෙය නෝවාගේ නැවම යැයි කියන්නේ කෙසේද? නෝවාගේ ගංවතුර සිදුවී යැයි කියන්නේ මෙයට අවුරුදු අටදහසකට පමණ පෙරය. සොයාගත් නටබුන්වල තිබූ ලී කැබලිවල කාබන් කාලනිර්ණයට අනුව එම ලී කැබලි අවුරුදු අටදහසක් පමණ පැරණි බව හෙළි විය. මේ නැවේ නටබුන් ඇත්තේ කන්දක් මුදුනේ ය. ඒ නිසා පෙර කී ඉතිහාසගත ගංවතුර අඩි දහසක් පමණ උසට නැඟෙන්නට ඇතැයි සිතනු ලැබේ.

දැනට මේ රටේ පවතින ව්‍යසනකාරී අවස්ථාව සම්බන්ධයෙන් රජය සහ ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශාල කැපවීමකින් ක්‍රියාකරන බව පෙනේ. අනතුරට පත්වූ අය බේරාගැනීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සේවයේ යෙදී සිටින අයුරු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. එසේම සාමාන්‍ය ජනතාව ද හැකි උපරිම අයුරින් විපතට පත්වූවන් බේරාගන්නා හැටි අපි රූපවාහිනියෙන් දුටුවෙමු. 
මිනිසාට උපකාර කිරීමට මිනිසා හැර ඉදිරිපත් වන කෙනෙක් ඇත්නම් ඒ බල්ලා පමණි. වතුරේ ගසාගෙන යන බල්ලන් පවා බේරාගෙන යන උතුම් මනුෂ්‍යයන් අපි දුටුවෙමු. මේ සියලුදෙනාම සිය මතු ජීවිත සඳහා එක්රැස් කරන පුණ්‍ය ධනය අතිවිශාල ය. නෝවාගේ ගංවතුරේ දී එය කර ගැනීමට බැරි විය. 
එහිදී බේරුණේ නෝවාගේ පවුල පමණි.

30.11.2025 දිවයින කතුවැකිය.

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: