අවාරේ සිරිපාදේ යමු.
මේ සිරිපාදෙට වැසි සමයයි.
එකල මැයි මස සිට දෙසැම්බර් මස දක්වා වෙසක් පොයේ සිට උදුවප් පෝය දක්වා සිරිපාදේ කරුනා නොකරන්නේ මේ කාළගුණය නිසාය.දැන් මංපෙත් ඉදිවි ඇති නිසා අවාරේ වුවද පාළුවේ කරුණා කළ හැක.
ශ්‍රී පාද කන්ද සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකරයේ පිහිටි මුහුදු මට්ටමෙන් මීටර් 2243 ( අඩි 7359 ) කින් උසය. ශ්‍රී පාද කන්ද දු පන්තියකින් සහ වනගහණයකින් වටව පිහිටා ඇත.
බොහොමයක් වන සතුන්ද මේ වනයේ ජීවත් වන්නේය. වැසි සහිත කාළගුණයත් වන සතුන් සිටින නිසාත් අවාරේ කරුණා කිරීම අනතුරුදායකය.
රත්නපුර - පලාබද්දල , හැටන් - නල්ලතන්ති , කුරුවිට - එරත්න මුර්යාවත්ත (මුරුංගාවත්ත) මුකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග වලින් යා හැකිවුවත් හැටන්,නල්ලතන්නිය මාර්ගය සහ පලාබද්දල මාර්ගය ජනප්‍රිය මාර්ගයන්ය.
එහෙත් ආවාරේ යන්නේ නම් හැටන්,නල්ලතන්නිය මාර්ගය තෝරා ගැනීම වඩාත් සුදුසුය.
ශ්‍රී පාදයට අයිතිවාසිකම් කියන ආගමිකයෝ කිහිප දෙනෙකි. බෞද්ධයෝ ඈත අතීතයේ සිටම “ශ්‍රී පාද “ ය ලෙස හදුන්වති. පාලි භාෂාවෙන් “ශ්‍රී පාද “ වී සිංහලට “ශ්‍රී පාද “ වුයේ බු.ව 236 ටත් පෙර සිටම බව තහවුරුවු සාධක සතුවේ.
හිණ්දු ආගමිකයෝ “ ශීව දෙවියන්ගේ “ පා සටහන සමනල කන්දේ සටහන් කර ඇති බව අදහති.
“මහමදිකයන්ගේ“ මතය අනුව එය “බාබා ආදමලේගේ“ පා සටහනයි. ක්‍රිස්තු භක්තිකයන් විශ්වාස කරනුයේ මෙම පා සටහන “ශාන්ත තෝමස්“ නම් ක්‍රිස්තියානි මුණිවරයාගේ පා සටහන බවයි.
කවුරුනුත් තම විශ්වාශය දරා ගෙන සිරිපාදේ නැමදිය යුතුවේ.
ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි.
අප්රේල් ,මැයි - ජුනි මාස සමනළයින් බහුල මාසයි.ඔවුන් වාර්ශික සංක්‍රමණ අවස්ථාවේ ශ්‍රීපාද කන්ද දෙසට පියාසර කරන බවට මතයකි. මේ නිසා සමනල කන්ද ලෙස නම් ලබයි.
.සුමන දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා “ සමන්තකූට“ නම් වෙයි.
“රත්නගිරි “ සහ “ ස්වර්ගරෝහනම්“ යන නම්වලින්ද හදුන්වයි
බුදුන් ජීවමාන කාලයේ මෙන්ම ඊටත් පෙර කාලයේ සිටම ලංකාවේ සමන් දෙවියන් ඇදහීම ප්‍රචලිතව පැවැතුණි. බෞද්ධ පුරාවෘත්තවලට අනුව බුදු රජාණන් වහන්සේගේ පා සලකුණ සමනල කඳු මුදුනේ පිහිටුවා ඇත්තේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙනි. ඉන් අනතුරුව සමනළ කන්ද බුදු සමයට සම්බන්ධව තිබූ බවට පිළිගත හැකි මුල්ම ශාක්ෂිය හමුවන්නේ මහාවංශයෙනි. මහා වංශයේ 32 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙන විස්තර අනුව දුටුගැමුණු රජ සමයේ සමනළ කන්දේ භාවනානුයෝගිව වැඩ සිටි මලියදේව නමැති රහතන් වහන්සේ නමක් ප්‍රමුඛ නවසියයක් භික්ෂුන්ට රජතුමා තණ හාල් වලින් පිසු බත් දන් දුන් බව දැක්වේ. ඒ අනුව ඒ සමය වෙන විට සමනල කන්ද භික්ෂුන් වහන්සේලා අාරණ්‍ය ගතව විසු ස්ථානයක් බව පැහැදිලි වේ.
සමනල කඳු මත සිරිපා පිහිටුවීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය බුදු රාජාණන් වහන්සේ ජීවමානව සිටි සමය තෙක් ඈතට දිවෙන ඉතිහාසයක් ඇත්තකි. බුද්ධත්වයෙන් 8 වැනි මස වෙසක් පුර පසළොස්වක පොහෝදා තුන්වෙනි වරට හෙළ දිවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ එදින දවල් දානය කැලණියේ දී වලඳා සවස සමනළ පර්වතය බලා වැඩම කළහ. එසේ වැඩම කළේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බවත් ඔහුගේ ඉල්ලීම මත බුදු රාජාණන් වහන්සේ සිය වාම ශ්‍රී පාද ලාංඡනය සමනළ පර්වතය මත පිහිට වූ බවත් මහා වංශයේ දැක්වේ.
ඒ මෙසේය.
තත්ථ ධමමං දේසයිත්වා සත්තා ලෝකානු සම්පකෝ
උග්ගන්නා සුමනේ කූටේ පදං දස්සේසි නායකෝ
“ලොවම මහත් අනුකම්පා ඇති අප ශෘස්තෘන් වහන්සේ එහිදී දහම් දෙසා ඊට පසු මැණික් මණ්ඩපයෙන් අහසට පැන නැගි සුමන කූඨ පර්වතය මුදුනට වැඩම කොට ඒ පර්වත මස්තකයෙහි ශ්‍රී පාද ලාංඡනය දක්වා වදාළ. “
මේ විස්තරය අනුව පැහැදිලි වෙන්නේ මහා වංශ රචනා කළ ක්‍රි.ව. 5 වෙනි සියවස වෙන විට බෞද්ධයන් ශ්‍රී පාදය ගැන දැන සිටිය බවයි.
එහෙත් ඊට පෙර සිට පැවැත එන පුරා වෘත්ත අනුව පළමු වරට සමනළ කන්දේ ශ්‍රී පාද ලාංඡනය සොයා ගත් බවට විස්තර කරනුයේ වළගම්බා රජතුමාය. ඒ ක්‍රි.පු. 104 වැන්නේ දීය. මෙය බොහෝ දුරට පිළිගත හැකි කරුණක් ලෙස ADAMS-PEAK LEGENDRAY TRADITIONAL AND HISTORIC NOTICES යනුවෙන් ග්‍රන්ථයක් ලියන විලියම් ස්කීන් මහතා සඳහන් කොට ඇත. ඔහු සඳහන් කරන පරිදි වළගම්බාහු රටේ පාලකයා වී මාස පහකින් මාලබාර් ආක්‍රමණිකයන් විසින් බලයෙන් පහ කළ නිසා වන ගත වූ වළගම්බා රජතුමා වසර 14 ක් වන ගතව ගත කිරීමේ දී සමනළ අවධියේදී මුවෙක් පසු පස එළවා යන විට ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කොට ද ඇත.
වළගම්බා රජතුමා ආක්‍රමණිකයන් පළවා හැර නැවත බලයට පත් වීමෙන් පසු ක්‍රි.පු. 88 දී භික්ෂූන් පන්සිය නමක් මාතලේ අළු ලෙනට වැඩවමා ධර්ම සංගායනාවක් කොට එතෙක් අවුරුදු 217 ක් මුඛ පරම්පරා ගතව පැවැත ආ මිහිඳු හිමියන් වදාළ බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඨ කිරීමට පියවර ගත්තේය. එසේම එතුමා සමන් දෙවියන්ගේ බාරයට පත් කර ඇති සමනළ අඩවිය භික්ෂු සංඝයා උදෙසා ආරණ්‍ය සේනාසනයක් බවට පත් කළ බව ද වංශකතාවල සඳහන් වේ.
එපමණක් පමණක් නොව රජතුමා හීන කුල වල අය සඳහා වෙනම මළුවක් කළ බවද අඹගමු ලිපියේ දැක්වේ.
ක්‍රි.ව. 1153 දී රාජ්‍යත්වයට පත් පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා සංඝයා වහන්සේ පිරිවරා ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය බව රාජාවලියේ සඳහන් වේ.
පොළොන්නරු රජ කළ නිශ්ශංක මල්ල රජ ද යුද හමුදාව සමග ශ්‍රී පාද වන්දනාවේ ගිය බව ඔහුගේ පොළොන්නරුව හැටදාගේ ශිලා ලිපියේ සඳහන් වේ. දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදස්ථානයට මාර්ග කරවා පින්කම් කළ බව මුල වංශයේ සහ පූජාවලියේ සඳහන් වේ. පොළොන්නරු යුගයෙන් පසු යුගවල ශ්‍රී පාදස්ථානය ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පැවැති බවට කොතෙකුත් සාධක ඇත. ක්‍රි.ව. 800 පමණ වෙන තුරු ශ්‍රී පාද ලාංඡනය පිළිබඳ හින්දුන්ගේ අවධානයක් හෝ සැලකිල්ලක් තිබී නැත. ශිව නොලි පාදම් යන මතය කරළියට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 1017 දී චෝල ආක්‍රමණිකයන් ලංකාව ආක්‍රමණය කොට බලයට පත් වුවාට පසුවය. මෙම අවදියේ දී රටේ අභ්‍යන්තරයේ ද බලය තහවුරු කරගෙන සිටි හින්දුන් බෞද්ධයන්ගේ ශ්‍රී පාදය සිවනොලි පාදම් බවට පත් කර ගන්නට ඇතැයි විලියම් ස්කීන් සඳහන් කරයි. ක්‍රි.ව. 1247 දී ඉබන් බතූතා ලංකාවට පැමිණෙන විට ශ්‍රී පාදය මෙන්ම ශිව නොලිපාදම් වන්දනා වද තහවුරු වී තිබුණ බව ඔහුගේ චාරිකා සටහන්වල දැක්වේ.
ශ්‍රී පාදය පිළිබඳ සවිස්තර විස්තරයක් ගම්පල සමයේ රචනා කළ සද්ධර්මාලංකාරයේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ සමනළ මුදුනට වැඩ ශ්‍රී පාද ලාංඡනයක් එහි තැබු බවය.
ක්‍රි.ව. 1554 - 1593 කාලයේ සීතාවක රජ කළ පළවෙනි රාජසිංහ රජතුමා ශිව ආගම වැළඳ ගෙන බෞද්ධ භික්ෂූන්ට හිරිහැර කරමින් බෞද්ධ පොත් පත් ගිනි තබමින් බෞද්ධයන්ට මහත් හිරිහැර පැමිණ වූහ. එතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය හා පාලනය භික්ෂුන් ගෙන් ඉවත් කොට ශිව භක්තිකයන්ට පැවැරීය. එතැනි සිට ශත වර්ෂ එක හමාරක පමණ කාලයක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය හා පාලනය බමුණු සන්නාසියන් අත පැවැතුණි. ශ්‍රී පාදස්ථානය ඔවුන්ගෙන් මුදාගෙන යළි බෞද්ධයන් අතට පත් කර ඇත්තේ ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. එම රජතුමා වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන් මඟ පෙන්වීම යටතේ යළිත් මෙරට උපසම්පදාව පිහිටුවීමට කටයුතු කළේය. වැලිවිට හිමියන් කළ උදාර සේවය සලකා උන් වහන්සේට සංඝරාජ පදවිය පිරි නැමු රජතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ද සන්නස් පත්‍රයකින් උන් වහන්සේට පිරිනමා ඇත. ඇත්ත වශයෙන්ම රජතුමා සංඝ රජ හිමියන්ට ශ්‍රී පාදයේ අයිතිය පිළිබඳ සන්නස් පත්‍රය පිරි නැමුවත් එහි පාලනය සමග පහතරට නායක ධුරය වේහැල්ලේ හිමියන්ට පවරා ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට පෙර හිමිවරුන් හතර නමක් පැල්මඩුල්ලේ වාසය කරමින් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත. ඉන් පළමු වරට ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත්තේ මඩගම්මන සාමණේර හිමිය. ශිව ආගමිකයන්ගෙන් ශ්‍රී පාදස්ථානය මුදාගෙන යළි බෞද්ධ පාලනයට ගෙන ඇත්තේ උන්වහන්සේය. රාජාධි රාජසිංහ රජ සමයේ ශ්‍රී පාදස්ථානයේ අයිතිය මල්වතු මහා විහාරයට පවරන ලදි. ඒ 1789 දීය. ඒ අනුව මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි. ශ්‍රී පාදස්ථානයේ නායක හිමි බවට පත් වූහ. මඩගම්මන හිමියන්ගේ සිට මොරතොට හිමි දක්වා හිමිවරුන් 9 දෙනෙක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උසුලා ඇත. 1826දී මල්වත්තේ නායක හිමියන් අපවත් වූ විට රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත වරයා වූ ජියෝ ටර්නර් ආණ්ඩුවට දන්වා ඇත්තේ ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය ගාල්ලේ මේධංකර හිමියන්ට පවරන ලෙසයි. ඒ මහතා එසේ දන්වා අත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලත් භික්ෂුන් කැඳවා අදහස් විමසීමෙන් පසුවය. ගාල්ලේ හිමියන්ට ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය පැවරූ පසු පිළිවෙළින් ඉඳුරුවේ සුමංගල හිමි, පරකුඹුරේ හිමි සහ ගලගම අත්ථදස්සී යන හිමිවරුන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත.
1866 දී ගලගම හිමියන් අපවත් වූ පසු එවකට මල්වතු පාර්ශ්වයේ සිල්වත් කමින්, උගත් කමින් හා බුද්ධිමත් බවෙන් ඉහළ ස්ථානයකට පත්ව මහත් ගෞරවයට පාත්‍රව සිටි ශික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පිරිනමා ඇත. එයින් පසුව ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය භික්ෂූන් වහන්සේලා කීප නමක්ම දරා 1954 දී මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන්ට එය පවරන ලදි. මොරොන්තුඩුවේ හිමි ශ්‍රී පාදස්ථානයේ දියුණුවට වැඩ කටයුතු රාශියක් කරන ලද අතර එහි පරිපාලන කටයුතුවල විශාල වෙනසක් ද කරන ලදි. උන් වහන්සේගේ පරිපාලන කටයුතු ප්‍රතිසංවිධානය යටතේ සිද්ධස්ථාන නිලධාරීන්ගේ රාජකාරි හා වගකීම් ලේඛන ගත කරන ලදි. එසේම එහි නිල පූජා විධි ක්‍රමයක් ද ඇති කළේ උන්වහන්සේය.
වර්තමානයේ ශ්‍රී පාදස්ථානයේ භාරකාර හිමියන් තෝරා පත් කර ගනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂුන්ගේ ඡන්දයෙනි. වර්තමානයේ බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උසුලයි.
ලංකාදීප.
විජේරත්න අතුරුපාන
2020 මාර්තු 20









No comments:
Post a Comment