අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Thursday, September 25, 2025

9/25/2025 10:00:00 pm

ශ්‍රී ලාංකේය ජන සමාජය පුරා අදටත් පවතින ඉපැරැණි කුල ධුරාවලිය පිළිබඳ ආචාර්ය මිරැන්ඩො ඔබේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරින් සැකසූ මෙම ලිපිය බදාදා අතිරේකයට යොමු කරන ලද්දේ හපුතලේ එස්‌. එම්. ඩී. සෙනෙවිරත්න විසිනි. ආචාර්ය ඔබේසේකර මහතා මෙරට කුලධුරාවලිය පිළිබඳ පර්යේෂණ රැසක්‌ සිදුකළ විද්වතෙකි.

කුල සාධකය
නිදහසින් පස්‌සෙ අපේ රටේ දේශීය බුද්ධිමතුන් අපේ යටගියාව ගැන සෙවීමට වැඩි උනන්දුවක්‌ දැක්‌වූවා. ඉතිහාසය පුරාවිද්‍යාව, භාෂාව, වැනි කාරණා ගැන බොහෝ උගතුන් හඹාගිය බවක්‌ තිබුණා. ඒත් අපේ සමාජයේ අටුවන් බැහැලා තිබුණු කුල ධුරාවලිය ගැන කිසිවෙකුත් සොයා බැලීමට ඉදිරිපත් වුණේ නෑ. එකල අද සමාජයට වඩා උග්‍ර ලෙස කුල ක්‍රමය බලවත්ව තිබුණා. අනෙක්‌ අතට අපි පුංචි කාලෙදීත් කුල හීනයන්ට සමාජයෙන් ලැබුණු පිළිගැනීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකයි තිබුණේ.
මේ කුල ක්‍රමය අපේ ඉපැරැණි සිංහල සමාජය තුළ තිබුණ දෙයකුත් නොවෙයි.
කුලවාදය ඇරැඹුණේ විජයගෙන්ද?

රාවණ රජ කාලෙදී අපේ සිවුහෙළ ජන සමාජය තුළ කුල ක්‍රමයක්‌ තිබිල නැහැ. ඒ කාලේ යක්‍ෂ, රාක්‍ෂ, නාග, අසුර හෙවත් ගන්ධබ්බ, කියන වාර්ගික බෙදීමක්‌ වැනි දෙයක්‌ තිබුණා. නාග කියලා හැඳින්වූයේ නාවිකයන්. අසුර කියල හැඳින් වුණේ ඇසිරියන්. ඔවුන් උතුරු ඉන්දීය බ්‍රාහ්මණ ජන පිරිසක්‌. ඔවුන් විවිධ ශිල්ප ශාස්‌ත්‍ර දැන සිටියා. යක්‍ෂයො කියල හැඳින්වුණේ මේ රටේ ම සිටි ස්‌වදේශික වැදි පිරිසක්‌
ඒ වැදි සමාජයත් පංති තුනකට බෙදිල හිටියා. වනවාසී, ග්‍රාමවාසී, නගර වාසී, වශයෙන්. ඒ අයගෙන් නගර වාසී අය රාෂ්ට්‍ර පාලනයටත් නතු වුණ නිසා ඒ අයට රාක්‌ෂශ යන නම යෙදුනා. මේ හතර වරිගය ම එකම බසක්‌ භාවිත කළා. කුල භේදයක්‌ තිබිලා නෑ. මෙතරම් උදාර ලෙස සමඟි සම්පන්න ව සිටි අපේ පැරැණි සිවුහෙළ සමාජයට මුලින්ම කුල වාදයේ විෂබීජය හඳුන්වා දී අත්තේ විජය ඇතුළු පිරිස වෙතින් විය හැකියි. 

එයත් එතරම් බලවත් ලෙස සමාජගත නොවුණ අතර පසු කාලීනව මෙරටට ආ මිහිඳු මහ රහතන් වහන්සේ හා සංඝමිත්තා ථෙරණිය සමඟ ආ පිරිස්‌ මගින් මෙරට ජනයාට නුහුරු නුපුරුදු ඉන්දීය කුල ක්‍රමය බලහත්කාරයෙන් සමාජගත කෙරුණා. එතැන් සිට තමයි අපේ ලාංකේය ජන සමාජය කුලය නමැති සාධකය මත විභේදනය වන්නේ. ඉතින් මේ තොරතුරු අපේ සම්මත යෑයි කියන ඉතිහාස පොත් වල නොතිබුණ නිසා මට ගමින් ගමට ගොස්‌ කරුණු එක්‌රැස්‌ කරන්න සිදු වුණා. ඇතැම් කුලවලට අයත් තොරතුරු ලබා ගන්නට ඒ කුලවලට අයත් ජන ප්‍රධානීන් හා උගතුන් හමුවට ගියත් නිසි පරිදි තම කුලගොත් වල විස්‌තර අන්‍යයයනට නොදෙන තත්ත්වයක්‌ තිබුණා. ඇත්තට ම මට එදා එය මහත් අභියෝගයක්‌ වුණා.

මම ඉතාම සැලසුම් සහගත ඒ ඒ කුලවලට අයත් ජන ප්‍රධානීන් හමුවන්නට ගියේ ඔවුන්ගේම කුලයේ ඔවුන්ගේම පවුලේ කෙනෙක්‌ හැටියටයි. ඒ නිසා ඒ අයත් මට තම කුලයේම කෙනෙකු ඥතියකු ලෙස සලකා අවශ්‍ය තොරතුරු ලබා දුන්නා. මට එය පහසුවක්‌ වුණා. ඒ නිසා අදටත් ඇතැම් අය සිතා ඉන්නේ මම ඒ අයගේ කුලයට අයත් කෙනෙක්‌ හැටියට.

කුල ගැන දුර්මත

නූතන ජන සමාජයේ පවා ඇතැම් කුල ගැන පවතින දුර්මත රැසක්‌ තියෙනවා. නිදසුනක්‌ හැටියට අප "සලාගම" කුලය ගතහොත් ඔවුන් පැවත එන්නේ උතුරු ඉන්දීය "ශාලිග්‍රාම වාසී" බ්‍රාහ්මණයන්ගෙන්. ඒ අය මෙරටට පැමිණියේ මෙරට රජවරුන්ට ඔටුනු පැළැඳවීමටයි. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලා මේ රටට විදේශ විනිමය උපයන්න ගත්තා. දැහැමි බමුණන් වූ ඔවුන් කුරුඳු වගාවෙන් දැහැමි ලෙස ධනය ඉපදෙව්වා. ඒ හැර කුරුඳු තැලීම කළේ නෑ. ඒ සඳහා යෙදෙව්වෙ වෙනත් කුලවල කම්කරුවන්. මෙවැනි දුර්මත අනෙක්‌ කුල සම්බන්ධයෙනුත් තියෙනවා.

රොඩී කුලය

රොඩී හෙවත් "ගාඩි" වංශය ගැන අදටත් විද්වතුන් අතර විවිධ පරස්‌පර මත තිබෙනවා. අපි සාමාන්‍යයෙන් "හුලවාලි" ලෙස හඳුන්වන්නෙත් රොඩී ජනයායි. ඒත් ඒක වැරැදියි. අද හුලවාලි ජනයා නෑ. "හුලවාළි" යන්නෙහි තේරුම "හෙළ වහල්ලු" යන්නයි. ණය තුරුස්‌ ගෙවා ගැනීමට බැරි වූ විට වහල්භාවයට පත් වීමට ණය ගැතියාට සිදුවෙනවා. ඒකට කිසිම කුල භේදයක්‌ නෑ. ඉතින් හුලවාලි කියන්නෙ විශේෂිත කුලයකට අයත් පිරිසක්‌ නොවෙයි. ඇතැම් විට රටේ රජතුමාත් තමන්ගේ ප්‍රසාදය දිනාගත් කෙනෙකුට වහලුන් තෑගි දුන්නා. මහ බණ්‌ඩාරෙන් ගෑනු වාල් තුනයි පිරිමි වාල් තුනයි ලැබුණා... ආදී වශයෙන් පැරැණි ලේඛන වල සඳහන් වෙනවා. මේ තමයි හෙළ වහල්ලු හෙවත් හුලවාලි කියන අය. ඒ අයට තම ණය ගෙවා නිදහස්‌ වුණාම ආයෙත් නිදහස්‌ පුරවැසියො වෙන්න පුළුවන්. අවැසි නම් තම ස්‌වාමියාගේ වාසගමින් බාගයක්‌ තම නමට එක්‌ කරගන්නටත් පිළිවන්. ඒත් රොඩී කියන් වදන හැදිල තියෙන්නෙ සංස්‌කෘතික භාෂාවෙ"රුද්‍ර" කියන වදනින්. ඒ අය ගර්භිත පිරිසක්‌. හුලවාලි අය දඩයමේ යන උදවියට ගිනි පන්දම් අල්ලමින් සහාය වූ පිරිසක්‌ හැටියටත් ඇතැම් දෙනා අර්ථ දක්‌වනවා. ඒක වැරැදියි.
උතුරු මැද පළතෙ ගාඩි වංශිකයන් අතර පැරැණි මතයක්‌ තියෙනවා ඒ අය ප්‍රතිපත්තියක්‌ හැටියට සොබා දහමට විරුද්ධව කිසිම දෙයක්‌ කරන්නෙ නෑ කියලා. ඒ අනුව ඒ අය ගොවිතැන් කරන්නෙත් නෑ. ගස්‌ කැපීම බිම් කෙටීම වැනි දේ කරන්නෙත් නෑ. හිඟා කාලා ජීවත් වෙනවා. මේ අය රොඩී වත් ගාඩි හෝ හුලවාලි අය වත් නොවෙයි. අතීතයේ දී ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වුණු ජෛන ආගමික පිරිසකින් පැවැත එන පිරිසක්‌. ඒ අය රොඩී රැහේ ඇත්තන් වගේම අනුන්ට අත පා ජීවත් වීම නිසා ම ඉබේම ම රොඩී බවට පත් වෙලා.
කුල වැද්දවීම.

රොඩී හෙවත් ගාඩි වංසයේ කොටසක්‌ රාජ දඬුවම් ලැබ රොඩී රැහැට කුල වැද්දුව පිරිසක්‌. අනෙක්‌ කොටස කසළ ශෝධකයන් නගර ශෝධකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් ගෙන ආ පිරිස්‌ වලින් පැවැත එන්නන්... කොහොම වුණත් අපේ රටේ පොදු ජනයා අතර පහත් යෑයි සම්මත කුල වලට අයත් ජනයා කෙරෙහි ඉන්දියානු ජන සමාජයේ මෙන් ඉතා අහිතකර කුල පීඩනයක්‌ කිසිදාක ඇති වී නැහැ. සැඩොල් කුලය හෙවත් චණ්‌ඩාල කුලයත් පහත් ම කුලයක්‌ නොවෙයි. පැරැණි රත්නවල්ලි කාව්‍යයෙන් ගම්‍ය වෙන්නෙත් රජ දියණියක්‌ රොඩී රැහැනට වද්දා දඬුවම් දුන් ආකාරය ගැනයි.

ඒ අනුව බැලුවහොත් අද බොහෝ දෙනා වැඳුම් පිදුම් කරන ස්‌වර්ණමාලි චෛත්‍යය ගොඩනඟා තියෙන්නෙත් පැරකුම්භා රජුගේ දියණියක වූ "රත්නවල්ලි" නමැති කුමරිය රොඩී රැහැට කුල වැද්දූ පසු ඇය ලැගුම් ගත් රත් තෙළෙඹු ගස පිහිටි ස්‌ථානයේයි. සමාජ විරෝධී කටයුතු කළවුන් සඳහා දියහැකි මරණීය දණ්‌ඩනයට වඩා උග්‍ර වූ රොඩී රැහැට කුල වැද්දීමේ සිංහල රාජ නීතිය බුදුන් දවස බුදුන් විසින් අනුදැන වදාළ "බ්‍රහ්මදණ්‌ඩය" නම් වූ නීතියට සමාන වන්නක්‌ ලෙස සැලැකිය හැකියි.

කොහොම වුණත් පවතින සෑම සමාජ ක්‍රමයක්‌ තුළම මිනිසුන් අතර විවිධ හේතු නිසා විභේදනය වීම හා එකතු වීම සිදුවෙනවා. ඒක සාමාන්‍ය සමාජ ප්‍රවණතාවක්‌.



ආසියානු කුලභේදයේ ඇරැඹුම

දැනට වසර හත් දහසකට පමණ පෙර උතුරු ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්ය ජන වර්ග විසින් සකසා ගනු ලැබූ වෛදික පරිපාලන යාන්ත්‍රණය මගිනුයි ආසියානු කූල භේදය ආරම්භ වනුයේ. වෛදික ඉගැන්වීම් වලට අනුව ඉන්දියාව පුරාම කුල අනුව ජනයා වර්ගීකරණය කරනු ලැබුවේ වෛදික බමුණන් විසිනුයි. එහිදී බමුණු කුලය වෛදික සමාජයේ ඉහළම කුල ස්‌ථරය බවටත් ක්‌ෂත්‍රිය හා ගොවි කුල දෙවැනි තෙවැනි ලෙසත් පෙළ ගස්‌වා සෙසු කුල පිළිවෙළින් ගලපාගෙන"බෙදා පාලනය කිරීමේ න්‍යායට" අනුගත වුණා. පශ්චාත් කාලීනව එම ක්‍රමයේ ආභාෂය අපේ ජන සමාජයටත් ලැබුණා. මෙම විභේදනය සමාජය තුළ වසර දහස්‌ ගණනක්‌ පැවැතීමට එක්‌ හේතුවක්‌ වුණේ උසස්‌ යෑයි සම්මත කුලවල ජනයා තමනට ආරෝපණය වී තිබුණු සමාජ තත්ත්වය ලෙහෙසියෙන් ඉවත දැමීමට අකමැති වීම. දෙවැනි කරුණ වූයේ මිනිසා තුළ මුල් යුගයේ සිට පැවැති විවිධ කාරණා නිසා විභේදනය වීමේ හා විවිධ හා විවිධ කාරණ නිසා ඒකරාශී වීමේ සහජ ගතියයි. මෙම සහජ ගතිකත්වය නොතිබෙන්නට මිනිසා මෙලොවින් සමුගෙන බොහෝ කල් වන්නට ඉඩ තිබුණා.

අප නිදසුනක්‌ වශයෙන් එකම පවුලක වෙසෙන සමාජිකයන් ගතහොත් ඔවුන්ගේ ආහාර රුචිය සම්බන්ධයෙන් විවිධ ප්‍රවණතා තියෙනවා. ඒත් ඒ අය ආහාර රුචියේ වෙනස්‌කම් මත "පවුල් ඒකකය" නමැති න්‍යෂ්ටිය බැඳීම අත්හරින්නට කැමැති නෑ. ඒත් මුල්ම අවධියේ ඇති වුණ ගෝත්‍රික සමාජවලදී එකම ගෝත්‍රයක සිටි සමාජිකයන් තම වර්ගයාගේ ජනගහනය වැඩි වන විට ගෝත්‍රික නායකයාගෙන් ඇතැම් විට අසාධාරණකම් සිදුවන විට එම සාමූහික සමාජයෙන් වෙන්වී ගියා. මෙසේ විභේදනය වූ කොටස්‌ අතර ඇතැම් විට ගැටුම් පවා ඇති වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ ඇතැම් කොටස්‌ නව ප්‍රදේශ කරා සංක්‍රමණය වීම. මෙසේ විසිරී විභේදනය වූ මිනිස්‌ සමාජය තවදුරටත් වෙනස්‌කම්වලට ලක්‌ වුණා. ස්‌වයංපෝෂිත ගෝත්‍රික ජීවන රටාව තුළ භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනයේ අතිරික්‌තය නිසා "ශ්‍රම විභාජනය" ඇතිවුණා. මෙම තත්ත්වය පසු කලකදී කුල බවට පත්වුණා. මෙම තත්ත්වය එදා වගේ ම අදත් අද වගේම හෙට දවසේත් විවිධ ස්‌වරූපයෙන් අඛණ්‌ඩ ව පවතීවි.

සමාජවාදී රටවල කුල භේදයක්‌ නැති එක ඇත්ත. ඒත් ඒ රටවල ජත සමාජය දෙස ඉතා සියුම් ලෙස පරීක්‍ෂා කර බැලුවොත් අපට පෙනී යනවා විවිධ වෘත්තීන් අනුව මිනිසුන් බෙදී කටයුතු කරන බව. ඒක තමයි යථාර්ථය. ආකර කම්කරුවෙක්‌ යුද සෙබළියක්‌ සමග විවාහ වන්නට තියෙන ප්‍රවණතාව අඩුයි. වෘත්තීය වෙනස නිසා පවුල් ජීවිතය විනාශ කර ගන්න කවුද කැමැති. අධ්‍යාපන මට්‌ටම, ආර්ථික තත්ත්වය, දේශපාලන අදහස්‌, වෘත්තීය වෙනස්‌කම්, ආගමික වෙනස්‌කම් මේ ආදී නොයෙකුත් හේතු මත කුල භේදයක්‌ නොමැති සමාජයක මිනිසුන් විභේදනය වෙනවා. මිනිසුන් මෙසේ "කුලය" යන ඉපැරැණි සංකල්පය ඉවත් කළත් ඒ පැරැණි රටාවට අනුවම වෙනස්‌ මුහුණුවරකින් විභේදනය වෙන්න බලනවා. ඒ වගේම රට, ජාතිය, ආගම, භාෂාව, ආදී සාධක මත එක්‌ වීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. මේක මිනිසා තුළ තම වර්ගයා බෝ කිරීමට ඇති සහජ රුචිය වගේම සහජ ගතියක්‌. මෙසේ නොවුණා නම් මිනිස්‌ සමාජය වඳ වීමටත් එයම හේතු වන්ට ඉඩ තියෙනවා. ලොව පුරා මිනිසුන් පැතිර යැමටත් මෙම සහජ ගතිකත්වය හේතු වෙලා තියෙනවා.

අපේ මේ පුංචි දිවයිනේ මනාව ජනාවාස ඇතිවෙලා තියෙන්නෙ වසර ලක්‍ෂ එකහමාරක පමණ අතීතයක ඉඳලා. ඒත් අපේ ලිඛිත ඉතිහාසය වූ මහාවංශය ලියලා තියෙන්නෙ වසර දෙදහස්‌ පන්සියයක සිට. ඒකත් සිංහල අකුරෙන් පාලි භාෂාවෙන් ඊට පෙර ලියා තිබුණ ඉතිහාස පොත් විනාශ කරලයි මහා වංශය ලියල තියෙන්නේ. මහා වංසයට පෙර තිබුණ අපේ රාවණ යුගය ගැන නූතන ඉතිහාසඥයො කියන්නෙ. "ප්‍රාග් ඉතිහාසය" කියලා. ඉතිහාසය විෂය එහෙම පෑනකින් ඉරි ගහල බෙදන්නෙ කොහොමද? එදා මහාවංසය පොත ලියන්න පෙර මහනාම යතිවරයා මහා විහාරය මිදුලේ ඇත්තු හත් අට දෙනෙකුගේ උසට අපේ පැරැණි ඉතිහාස පොත් ගොඩ ගහලා ගිනිබත් කරලයි මහවංශය ලියන්න ගත්තේ.

අදත් අපේ ඇතැම් උගතුන් කියන්නෙ මේ රටට සියලු ශිල්ප කලාවන් හා ශිල්ප ඥනය ලැබුණ මිහිඳු හිමියන්ගෙ ආගමනයෙන් පසුව කියලයි. ඒත් අර ගින්නට අසුවෙලා නොපිලිස්‌සුන අට්‌ටකතා පොත් වල ඊට වෙනස්‌ තොරතුරු තියෙනවා. මහා වංසය ඉතාම පක්‍ෂග්‍රාහී ලෙස ලියෑවුණ කෘතියක්‌. 
තරුණ දුටුගැමුණු අවුරුදු අසූවක්‌ විතර මහලු එළාර රජු සමග ද්වන්ධ යුද්ධයට යැම වීර ක්‍රියාවක්‌ වෙන්නෙ කොහොම ද? එළාර රජු සිංහලයෙක්‌ බව මම මගේ පර්යේෂණ මගින් ඉතා පැහැදිලිවම ඔප්පු කර තියෙනවා. 
එළාර දෙමළ අයෙකැයි කියන මිත්‍යාව වපුරපු දා සිට බුදු සසුන බැබලවූ දෙමළ භික්‍ෂූන් ඉන් ඉවත් වුණා. සමගි සම්පන්නව සිටි ජාතීන් දෙකක්‌ විරසක වුණා. අපි ඒ නැතිකරල දාපු විනාශ කරල, දාපු විකෘති කරපු ඉතිහාසය සත්‍යයය සොයා යන්න ඕනෑ. 
මතු පරපුරට සත්‍ය ඉතිහාසය පහදා දෙන්න ඕනෑ.

ආචාර්ය මිරැන්ඩො ඔබේසේකර ©

,
Ajith Kumara - මුණුපොතට.
උපුටා ගැනීමක්.

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: