අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Thursday, September 18, 2025

9/18/2025 08:53:00 am

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මගින් ආණ්ඩු පෙරලා දැමූ බොහෝ රටවල ජනතාවට එමගින් යහපත් බලපෑම් මෙන් ම, අයහපත් බලපෑම් ද සිදුව ඇත. ඒ සම්බන්ධ උදාහරණ කිහිපයක් මෙසේ ය.

1973 දී ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේගේ නායකත්වයෙන් යුත් චිලී හමුදාව, එරට ජනාධිපති සැල්වදෝර් අයියෙන්දේගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආණ්ඩුව පෙරලා දැමී ය. මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 17 ක කුරිරු ආඥාදායකත්වයක් රට තුළ ඇති වූ අතර, එය දහස් ගණනකගේ මරණ, අතුරුදන් කිරීම් සහ දේශපාලන විරුද්ධවාදීන්ට වධහිංසා පැමිණවීම්වලට ද හේතු වී ය.

1954 දී ග්වාතමාලා ආණ්ඩුවට එරෙහිව එක්සත් ජනපදයේ සහාය ලත් කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති ජැකොබෝ අර්බෙන්ස් ගුස්මාන් බලයෙන් පහ කර ‘ග්වාතමාලා විප්ලවය’ අවසන් කළේ ය. ඉන්පසු හමුදා ජුන්ටාවක් බලයට පත් වූ අතර, එය දිගු කාලයක් එරට දේශපාලන අස්ථාවරත්වයක් සහ ජනතා මර්දනයකට තුඩු දුන්නේ ය.

කාන්තාර රටක් සශ්‍රීක රටක් බවට පත් කළ ලිබියානු රාජ්‍ය නායක කර්නල් මොහොමඩ් ගඩාෆි 2011 දී එරට ඇතිවූ මහජන නැගිටීමේ දී ඝාතනයට ලක් වී ය. ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියාව අර්බුදයෙන් අර්බුදයට යන්නට පටන් ගත්තේ ය. ඒ, ඔහුගේ ඝාතනයෙන් පසුව ඇති වූ දේශපාලන-මිලිටරි අස්ථාවරත්වයත්, අරාබි වසන්ත විරෝධතාත්, පළමු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලත් හේතුවෙනි.

සන්නද්ධ කණ්ඩායම්වල ව්‍යාප්තිය රට පුරා ප්‍රචණ්ඩත්වයට සහ අස්ථාවරත්වයට තුඩුදුන් අතර, එය 2014 දී යළිත් සිවිල් යුද්ධයක් දක්වා පුපුරා ගියේ ය. එම දෙවන සිවිල් යුද්ධය 2020 ඔක්තෝම්බර් 23 දක්වා පැවතිණි.
පාකිස්තානය, බංග්ලාදේශය, මියන්මාරය වැනි තවත් බොහෝ රටවල ද ඇති වූයේ මේ හා සමාන අරගල හා ප්‍රචණ්ඩ ක්‍රියා ය.

2005 සිට 2015 දක්වා මෙරට නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සුවිශාල සේවයක් කර 2019 වසරේ මෙරට අටවන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂට 2022 ජූලි මාසයේ දී දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ උදව් උපකාර ඇතිව මෙරට දියත් කළ අරගලයේ දී ධූරය හැර යන්නට සිදුවී ය. ඒ, මුළු ලොව ම වෙළාගත් කොවිඩ් වසංගතයත්, එමගින් ඇති වූ ආර්ථික අවපාතයත් විරුද්ධවාදීන් අතකොළුවක් කර ගැනීම හේතුවෙනි. මහජන විරෝධයට හිස නමමින් පාර්ලිමේන්තුව බිඳ වැටෙන්නට නොදී අලුත් ජනාධිපතිවරයකු පත්කර ඔහු පමණක් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඉහත බොහෝ රටවල සිදුවූ බොහෝ විනාශකාරී තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට ගැලවෙන්නට ලැබිණි.

1990 දී නේපාලයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය එරට පැවැති රාජාණ්ඩුව සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා දැමීම අරමුණු කරගත් කැරැල්ලක් දියත් කළේ ය. එහි ගරිල්ලා ව්‍යාපාරය මෙහෙය වූයේ ‘ප්‍රචණ්ඩා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුෂ්ප කමල් ෂර්මා දහාල් ය.
1952 දී නැගෙනහිර නේපාලයේ උපත ලැබූ පුෂ්ප කමල් දහාල්ගේ මුල් ජීවිතය දුෂ්කරතාවලින් පිරුණු එකක් වී ය. ඔහුට වයස අවුරුදු හතරේ දී ඔහුගේ මව වසූරිය රෝගයෙන් මිය ගිය අතර, ඔහුගේ පවුල ගංවතුරෙන් අවතැන් වූ නිසා ඔහුට ජීවත් වීමට සිදුවූයේ, ඔහුගේ ආච්චිත්, සීයාත් සමග ය. ඔහු කොමියුනිස්ට් මතවාදයට අනුගත වූ තරුණ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට පිවිසි අතර, රාජාණ්ඩුවට විරුද්ධ වීම නිසා 1970 සහ 1980 ගණන්වල වසර 14 ක් සිරගත කරනු ලැබී ය. ඔහුගේ දේශපාලන දැක්ම සහ මහජන ප්‍රතිරූපය හැඩගස්වන ලද්දේ එම අත්දැකීම් විසිනි.

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස්වාදී - ලෙනින්වාදී) ආරම්භක සාමාජිකයකු වූ ඔහු, දේශපාලන සන්ධාන ඇතිකර ගැනීමේ හැකියාව වර්ධනය කර ගනිමින් ජාතික වශයෙන් ඉදිරියට පැමිණියේ ය. පසුව ඔහු අභ්‍යන්තර කටයුතු සහ විදේශ කටයුතු ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් ම දැරූ අතර, සිව් වතාවක් එරට අගමැති ලෙස තේරී පත් වී ය.
පුෂ්ප කමල් ශර්මා දහාල් 2015 දී පළමුවරට නේපාල අග්‍රමාත්‍ය ධුරයට පත් වූයේ, ඉන්දියාව සමග ඇති දේශසීමා මාර්ග ඉන්දියාවෙන් අවහිර කිරීම හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ රටට ඉන්ධන සහ බෙහෙත් හිඟයක් ඇතිව තිබූ අවස්ථාවක ය.

ඔහුගේ රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ, බීජිං සමග සංක්‍රමණ ගිවිසුමක් අත්සන් කිරීමෙන් වන අතර, එය නේපාලයේ වෙළහෙලඳාම් සම්බන්ධයෙන් ඉන්දියාවට තිබූ ඒකාධිකාරය අවසන් කළේ ය.
නේපලයේ පවත්නා එම කොමියුනිස්ට් පාලන කාලය තුළ නේපාල ජනතාව අත්කර ගත් සමාජ ආර්ථික ජයග්‍රහණවලින් ස්වල්පයක් මෙසේ ය.

1995 වනවිට නේපාල ජාතිකයන්ගෙන් 55% ක් පමණ සිටියේ, දිනකට ඩොලර් 2.15ට වඩා අඩු ආදායමක් ලබන අන්ත දරිද්‍රතා තත්ත්වයක ය.
2022 වසර වන විට එම අන්ත දරිද්‍රතා අනුපාතය ජනගහනයෙන් 0.37% දක්වා පහත වැටිණි. එය ප්‍රධාන වශයෙන් ප්‍රේෂණ මගින් මෙහෙයවන ලද අසමසම සාර්ථකත්වයකි.
ජාතික දරිද්‍රතා අනුපාතය 1996 දී 41.8% ක් වී ය. එය 2011 වන විට 25.2% දක්වා පහත වැටුන අතර, 2010 දී 84.4% ක් ව පැවැති දිනකට ඩොලර් 3.20 ට අඩු ආදායමක් ලබන ජනගහනයේ ප්‍රතිශතය 2022 වන විට 52.6% දක්වා පහත වැටිණි.
එරට දළ දේශීය නිෂ්පාදිතය වාර්තාගත අවම අගයක් ගත්තේ 1963 දී ය. ඒ ඩොලර් බිලියන 0.5 දක්වා පහත වැටීම නිසා ය. 2022 වන විට එම අගය ඩොලර් බිලියන 41.18 දක්වා වර්ධනය වී ය.
1960 සිට 2024 දක්වා කාලය තුළ එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍යය ඩොලර් 545 කි. දිගු කලක් එකතැන පල්වෙමින් තිබූ එය 2000 ගණන්වල ක්‍රමයෙන් ඉහළ යාමට පටන් ගත් අතර, 2022 දී එය ඩොලර් 1,386 දක්වා ළඟා වී ය.
එරට දළ දේශීය නිෂ්පාදිතය (නාමික): 2025 වර්ෂය අවසන් වන විට ඩොලර් බිලියන 46.08 ක් වනු ඇතැයි පුරෝකථනය කර ති⁣⁣බිණි.
සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 2025 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ දී 4.9% කින් වර්ධනය වූ අතර, 2024 මූල්‍ය වර්ෂයේ එය 5.3%ක් බවට පත් වී ය. එය එම කාලපරිච්ඡේදය හා සසඳන කල 0.3%ක වැඩිවීමකි. 2025 මූල්‍ය වර්ෂයේ සම්පූර්ණ වර්ෂය සඳහා, එම වර්ධනය 4.5% ක් ලෙස පුරෝකථනය කර තිබේ.

එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (නාමික): 2025 වර්ෂය සඳහා ඩොලර් 1,460 ක් ලෙස ප්‍රක්ෂේපණය කර ඇත.
2024 දී නේපාලයේ නිල විරැකියා අනුපාතය 12.6% ක් වුව ද, එරට පවත්නා විශාල අවිධිමත් අංශය හේතුවෙන් එම ගැටලුව අවම වී තිබේ.
2024 මූල්‍ය වර්ෂයේ දී, එහි ප්‍රේෂණ ප්‍රමාණය නේපාල ආර්ථිකයෙන් 26% කට වඩා වැඩි වී ය. 2024 දී නේපාලයට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 11 ක ප්‍රේෂණ ලැබුණු අතර, එය ගෝලීය වශයෙන් වඩාත්ම ප්‍රේෂණ මත යැපෙන රටවලින් එකක් බවට පත් වී ය.
2025 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ දී එරට උද්ධමනය 5% දක්වා අඩු වූ අතර, එය පෙර වසර හා සසඳන කල 1.5% ක අඩු වීමකි. එය 5% දක්වා තවදුරටත් මධ්‍යස්ථ වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට ඉවහල් වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඉක්මනින් බිඳ වැටෙන සභාග ආණ්ඩු බිහි වීමත්, නිතර සිදුවන ව්‍යවස්ථා සංශෝධනත්, දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය අංශයේ පවත්වා දූෂණත් බෙහෙවින් බාධා කරන අතර, මෙය ආයෝජන අධෛර්යමත් කිරීමට ද බලපා තිබේ.
මීට අමතරව ස්වාභාවික විපත් අවදානම ද එරට ආර්ථික ක්‍රියාකාරකම්වලට සහ සංවර්ධනයට බාධා කරයි. නේපාලය යනු භූමිකම්පා සහ ගංවතුර ඇතුළු දේශගුණික සහ ස්වාභාවික විපත්වලට බෙහෙවින් ගොදුරු වන රටකි.
ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම වැනි තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රමාදයන් ද එරට ආර්ථික විභවයට සහ ඵලදායිතාවට බෙහෙවින් බලපා තිබේ.

ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකක් වන නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය ආයෝජන අධෛර්යමත් කර ඇති අතර, එහි ආර්ථික සංවර්ධනයට එය බාධාවක් වී ඇති අතර, මිලියන ගණනක් තරුණ තරුණියන්ට ප්‍රධාන වශයෙන් මැලේසියාව, දකුණු කොරියාව සහ මැද පෙරදිග රැකියා සොයා යාමට සිදුව ඇත.

මෙවන් තත්ත්වයන් යටතේ පැවැති නේපාල රජය සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකට, විශේෂයෙන් ම ෆේස්බුක් ඇතුළු ‘මෙටා’ වේදිකාවලට (Meta Platforms' META.O) ප්‍රවේශ වීම අවහිර කිරීමට පසුගිය සතියේ ගත් තීරණය නිසා රට පුරා විරෝධතා ඇති වී ය. තරුණ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලැබූ මෙම විරෝධයේ දී ඔහුට චෝදනා කළේ විරෝධයන් නිහඬ කිරීමට සහ දූෂිත ප්‍රභූ පැලැන්තියක් ආරක්ෂා කිරීමට නේපාල රජය උත්සාහ කරන බව ය.
එම සමාජ මාධ්‍ය තහනම අසාර්ථක වූ අතර, ඊට එරෙහිව පැන නැගුන කලහකාරී විරෝධතා අතරතුර 19 දෙනකු මරණයට පත්වීම හේතුවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නේපාලයේ කිසියම් පැවැත්මක් සහිතව කටයුතු කළ එරට දේශපාලන නායකයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවී ය.

 විචාරකයන් පවසන්නේ ඔහු ආර්ථිකය නිවැරදි කරන්නට හෝ දූෂණය අවසන් කරන්නට අපොහොසත් වූ බව ය. සමහරු ඔහු චීනයට පක්ෂපාත යැයි අතර, අගමැතිවරයා කියා සිටියේ තමා මධ්‍යස්ථ බව ය.
ඔහුගේ ඉල්ලා අස්වීම සැමරූ විරෝධතාකරුවෝ ඔහුගේ නිවසට කඩා වැදී ජනේල, භාජන, පුටු සහ අනෙකුත් ගෘහ භාණ්ඩ කඩා දමා දේපළ විනාශ ක⁣ළ හ. ඉන් අනතුරුව ඔවුන් නිවසට ගිනි තැබූ අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකුට හැකි වූයේ, ඒ දෙස බලා සිටින්නට පමණකි. එහි දී ඔහුගේ බිරිඳ වන සීතා පවුඩෙල් පණ පිටින් පුළුස්සා දමන්නට විරෝධාකරුවෝ කටයුතු කළෝ ය.

සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් රජය කියා සිටියේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්ධනය කරන්න⁣ට රජය උත්සාහ නොකළ බවත්, අසත්‍ය තොරතුරු පැතිරවීම සහ මූල්‍ය වංචා කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම නිසා එය සීමා කිරීමට කටයුතු කළ බවත් ය.
සමාජ මාධ්‍ය ජාල හිතූ හැටිය⁣ට පරිහරණය කරමින් එමගින් අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීම සම්බන්ධයෙන් අපට ද ඇත්තේ, එසේ මෙසේ අත්දැකීම් නොවේ. ප්‍රගතිශීලී ආණ්ඩු බලයෙන් පහකර ජනතාවාදී ආණ්ඩු යැයි කියමින් ජනතාවගේ ඉහ මොළ සෝද⁣ා බලයට පත්වන්නටත්, ඒ බලය පවත්වාගෙන යන්නටත් යම් යම් කොටස් සමාජ මාධ්‍ය භාවිත කිරීමේ අනිටු ප්‍රතිවිපාක අද අපි භුක්ති විදිමින් සිටිමු.

පුෂ්ප කමල් ශර්මා දහල් අග්‍රමාත්‍යවරයාට දාව දරු දැරියන් සිව්දෙනකු සිටින අතර, ඉන් රේණු දහල් නම් දියණිය මේ වන විට නේපාලයේ භාරත්පූර් මෙට්‍රොපොලිටන් නගරයේ වත්මන් නගරාධිපතිනිය ලෙස කටයුතු කරන්නී ය. ඇය 1994 දී නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර, 1996 දී පක්ෂයේ පූර්ණ කාලීන සාමාජිකාවක බවට පත් වූවා ය.


නේපාලය මැදි කරගෙන සිටින ආසියානු යෝධයන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව බුදුන් උපන් දේශය වන නේපාලයේ කටයුතු සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත සටනක නිරතව සිටින අතර, පුෂ්ප කමල් ෂර්මා දහල් අගමැතිවරයාට සිදුවූ අසාධා⁣රණය එම දෙරට ඇතුළු ලොව බොහෝ ප්‍රගතිශීලී රටවල් වඩාත් සමීපව නිරීක්ෂණය කරනු ඇත.


අනුර බී. සෙනෙවිරත්න

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: