කොළඹ - බදුල්ල පාර සති අන්තවලට දීර්ඝ නිවාඩු ඇති සති අන්තවල වාහන වලින් පිරෙනවා. නුවරඑළිය ,බණ්ඩාරවෙල ,හෝර්ටන්තැන්න ඇල්ල, කූරගල කුඹල්වල යන සංචාරකයෝ මේ අතරමග හල්දුම්මුල්ලේ තියෙන සොරගුනේ දේවාලය අමතක කරනවා.
හේතුව ප්‍රධාන මාර්ගයෙන් හැරී අතුරුපාරක කිලෝමීටර හත අටක් යන්න තියෙන නිසා වෙන්න ඕන.
හල්දුම්මුල්ල - හාල්අටුතැන්න හන්දියේ ඉදිකර තියෙන ලොකු තොරණක් දකින්න ඇති . ඒ තොරන යටින් තියෙන මාර්ගය යටින් තමයි සොරගුනේට යන්න තියෙන්නේ.
මේ ගම්වලට තියෙන නම් දිහා බලපුවහම ඒ නම් වල ඓතිහාසික බවක් ඇති අරුත් තියෙන්නේ.
වැලිපිස්ස , කළුපහන , වැලිපීල්ල, හල්දුම්මුල්ල ,හාල්අටුතැන්න බත්ගොඩ, සීලතැන්න වගේ නම් අමුතුයි වගේ හිතෙනවා ඇති.
ඌවට ආවේනිකවු නම් සමග සොරගුනේ ටත් තියෙන්නේ ඓතිහාසික බැදීමක්.
කතරගම දෙවියන් උදෙසා කැපවු ඌවේ පිහිටි ප්‍රධාන දේවාලයක් තමයි “ සොරගුනේ දේවාලය “
දුටුගැමුණු රජු කතරගම මහා දේවාලය ඉදිකල පසු ඌවේ ඉදිවු දෙවෙනි දෙවොල ලෙස ජනප්‍රවාදයට එක්වු සොරගුනේ දේවාලය සොරගුනේ රජමහා විහාර පරිශ්‍රෙය් ඉදිවී තිබෙනවා.
වලගම්බා රජ දවස සොරගුනේ රජමහා විහාර කර්මාන්තය ආරම්භව තිබෙනවා. ඉපැරණි විහාර ඉදිකිරීම්වලට අයත් ගල්කණු හා බාල්ක හා වෙනත් ගල් කැටයම් වල අවශේෂ අදටත් මෙම ස්ථානයේ තැන් තැන් හි දක්නට තියෙනවා.
සංරක්ෂණය කරන ලද ධර්මශාලාව මෙහි ඇති ඓතිහාසික වටිනාකම විදහා දක්වන පුරාවස්තුවක්. දෙමහල් ගොඩනැගිල්ලක් වන එය අලංකාර කැටයමින් යුතු ලී කණු යොදා ගොඩනගලා තියෙනවා.
මේ දෙමහල් ගොඩනැල්ල දකින ඕනෑම කෙනෙකුට නිසැකවම ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් සිහිපත්වනවා. මීට අමතරව මහනුවර යුගයේ දී ඉදිකරණ ලද කුඩා ස්ථූපයක් විහාරස්ථානයේ තියෙනවා.
සොරගුනේ රජ මහා විහාරයට වඩ වර්ථමානයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉපැරණි කතරගම දේවාලයි.
ක්‍රි.ව. 16 වන සියවසේ දි මෙම ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය පාලකයෙක් (යාපා නමින් හැඳින්වූ) විසින් මෙම දේවාලය කරවලා තියෙනවා. ක්‍රි.ව. 17 වන සියවසේදී මැදගම සන්නසෙහි මේ පිළිබඳ විස්තර බලගා ලන්න පුළුවන්. දැනට කොළඹ කෞතුකාගාරයේ සංරක්ෂණයකොට තබා ඇති "සීමන්සකර විනෝදනී" නම් පුස්කොල පොතෙහි මෙම සන්නස ලියවිලා තියෙනවා.
යාපා නම් ඇමැතිවරයකුගේ කටහඬෙ ඇති වුණ ස්වර අපහසුතාවය සුව වීමට භාරයක් වුන බවත් එම ස්වර අපහසුතාව ගුණ වු පසු භාරය ඔප්පු කිරීමට මෙම දෙවොල ඉදි කල බවත් ජන ප්‍රවාදයේ පැවත එන කතාවක්.
ස්වර + ගුනේ = ස්වරගුණේ පසුකාලීනව සොරගුණේ ලෙසින් වහරට එක්ව තිබෙනවා.
කතරගම ඇසළ මහා පෙරහැර අවසන්වු පසු සොරගුනේ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර උත්සවශ්‍රීෙයන් පවත්වනවා.
මේ සොරගුනේ පෙරහැර සමයයි.
හල්දුම්මුල්ල - කිරවනාගම මාර්ගයේ කි.මී. 8 ක් පමණ ගමන් කළ විට මෙම විහාරස්ථානයට සහ දේවාලයට ළඟාවිය හැකියි.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මැඳවෙල ග්‍රාම නිලධාරී වසමේ සොරගුනේ දේවාලය පිහිටා තියෙනවා.
+++++++ මේ වියමනට ඌණ පූරණයක් එකතු කරන්න තියෙනවා.
සොරගුනේ දේවාලය මුල් අවධියේ තිබිලා තියෙන්නේ පොල් අතු වහලක් සහිත එකල භාවිතා කල ඉදිකිරීම් ශිල්පයන් භාවිතා කල බිත්ති සහිතව.
එකල බෝගන්දල කියන්නේ සොරගුනේට කිමි තුන හතරක් දුරින් පිහිටි වනගත පෙදෙසක්.
මෙම පෙදෙසෙහි ආරන්‍යයක් තිබිලා තියෙනවා. එම ආරන්‍යය භාවිතා වෙලා තියෙන්නේ බණ භාවනා කරමින් සිටි පැවදි නොවුන උපාසක ඇත්තන්ගේ පින් බිමක් ලෙස.
මේ නටබුන් තාමත් බලා ගන්න තියෙනවා.
මෙතුමන්ලා හැදින්වූයේ “ ගණින්නාන්සේලා“ ලෙස.
එදවස සොරගුනේ දේවාලය පිහිටුවායින් පසුව මෙම ගණින්නාන්සේලා බෝගන්දල සිට සොරගුනේට දිනපතා වැඩ පිරිත් කියලා තියෙනවා.
ගමනා ගමන අපහසුතා නිසා නතර වන්න දේවාල බිම වඩාත් සංවර්ධණය කල බව පැවසෙනවා.
එනිසා වර්තමාන දේවාලය “ බෝගන්දල ගනින්නාසේගේ “ ඉදිකිරීමක් ලෙස සලකනවා.
දේවාලය අවට තියෙන වෑ එළිය , වල්මීතලාව ,මාළදොල ,හුණුතලාගල ,ගල්බොක්කවෙල ගම වගේ නම් තියෙන පුංචි පුංචි ගම්වටා ගෙතිලා තියෙන ඓතිහාසික කතා අතීත සංවර්ධිත පෙදෙසක් නිර්මාණය වෙනවා.
මේවා සොයායාම පුංචි ව්‍යාපෘතියක්.
බලමු මීදුමට ඒක කරන්න පුළුවන් වේවිද කියලා.
0 ප්‍රතිචාර:
Post a Comment