Thursday, May 08, 2025

ශාන්ත පීතරතුමාගෙ වර්තමාන අනුප්‍රාප්තිකයා .



Shanaka Madhushan Liyanagama  
මුණු පොතේ පල කරන ලද වියමනකි.

2025 . මැයි 06. 

මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි. 

 

ඊට අමතරව පාප්වරණය ( Conclave ) වාර්තා කිරීමට ලොව නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාවත් මෙහිදි සළකා බලා තිබෙනවා.
පාප්වරණය අවසාන වන තුරු වතිකානයේම පිහිටි කාසා ශාන්ත මාර්තා නවාතැනේ තම ජංගම දුරකථන තැබීමට කාදිනල්වරුන්ට නියම කෙරෙනවා. මේ කාලය තුළ පාප්වරණය වෙනුවෙන් පත්කරන වෛද්‍යවරුන්, කෝකියන්, ගෘහ සේවකයන්, රියදුරන්ටත් සියළු බාහිර සබඳතා තහනම් වෙනවා. 
ලොව පුරා කාදිනල්වරුන් 252ක් සිටියත් මෙවර පාප් වහන්සේ තේරීමට හිමිකම් ලබන්නේ කාදිනල්වරු 133ක් පමණයි. ඊට හේතුව වයස අවුරුදු 80ට වඩා වැඩි කාදිනල්වරුන් මෙයින් ඉවත් කර තැබීමයි. අතීතයේ පාප්වරණය අතරතුර වයෝවෘද්ධ කාදිනල්වරුන් මියගොස් තිබෙනවා. වතිකාන සම්ප්‍රදාය අනුව පාප්වරණයට සහභාගී වන කිසිවෙකුට නව පාප්වරයා තෝරාගෙන මිසක් Conclave එකෙන් පිටවන්න බැහැ. 
මෙවර වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 136ක් සිටියත් දෙදෙනෙක් අසනීප තත්ත්වය නිසා රෝමයට පැමිණ නැහැ. එක් අයෙකු චුදිතයෙකු නිසා ස්වේච්ඡාවෙන් තරඟයෙන් ඉවත් වී තිබෙනවා.
රතුපාට කබායෙන් සැරසුණු කාදිනල්වරුන් 133 දෙනා මේ වන විට වතිකානයේ සුප්‍රසිද්ධ සිස්ටීන් චැපල් දේවස්ථානය තුළට රැස්ව සිටිනවා. 
මයිකල් ආන්ජෙලෝගේ අවසාන විනිශ්චය (The Last Judgment ) ලෝක ප්‍රසිද්ධ සිතුවම ඇඳ ඇත්තේ මේ ශාලාවේ ඇති අල්තාරය පිටුපස බිත්තියේ. මා මේ ශාලාවට කිහිප වරක් ගොස් ඇති නිසා එහි ඇති ගුප්ත නිහැඬියාව හොඳින් අත්විඳ තිබෙනවා. චිත්‍රවලට හානිවන නිසා මේ දේවස්ථානය තුළ කැමරා එළි දැල්විමට හෝ ශබ්ද නඟා කතා කිරීමට පවා අපට අවස්ථාව නැහැ. 
එක අතකින් මේ පත්වන්නේ ලෝකයේ කුඩාම රාජ්‍යයේ නායකයා. ඒත් ලෝකයේ වැඩිම පිරිසකට අධ්‍යාත්මික නායකත්වය දෙන පුද්ගලයා. ලොව පුරා වෙසෙන කතෝලිකයන්ගේ ප්‍රමාණය බිලියන 1.4ක්. ඊට අමතරව බොහෝ ක්‍රිස්තියානි නිකායන් හා වෙනත් ආගමිකයන් පවා පාප් වහන්සේට ඉහළම ගෞරවය දක්වනවා. ඒ අනුව බලන විට ලෝකයට ඉහළම බලපෑමක් කළ හැකි තනි පුද්ගලයා පාප් වහන්සේයි. 
සාමාන්‍යයෙන් පාප් ධූරයට කාදිනල්වරයෙකු පත්වුවත් එය නීතියක් නෙවෙයි. බෞතීස්ම ලැබූ ඕනෑම කතෝලිකයෙකු පාප්වරයා ලෙස පත් කළ හැකියි. ක්‍රි.ව. දෙවන සියවසේදී පාප්වරණය බලන්න රෝමයට පැමිණි ෆේබියන් නම් පිටිසර ගොවියෙකු පාප් වහන්සේ ලෙස පත්කළා. ඊට හේතුව අහසේ සිට පියඹා ආ පරෙවියෙකු ඔහුගේ හිස ළඟින් පියෑඹීම. 
පාප්වරණය යනු ලෝකයේ දැනට පවතින වඩාත් සම්ප්‍රාදායික හා රහසිගතම මැතිවරණයයි. පත් වන නව පාප්තුමා කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් තුනෙන් දෙකක් ලබා ගත යුතුයි. එම ප්‍රථිපලය ලැබෙන තුරු Conclave ක්‍රියාත්මක වනවා. සියවස් ගණනාවකින් පළමු දිනයේ හෝ පළමු ඡන්ද විමසීමෙන් නව පාප්වරයෙකු පත් වී නැහැ. අද රාත්‍රියේ පළමු ඡන්ද වාරය පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව හෙට දිනයේ සිට උදෑසන ඡන්ද වාර 2ක් හා සවස වාර 2ක් බැගින් දිනකට ඡන්ද වාර 4ක් පැවැත්වීමට නියමිතයි. 
අසාර්ථක ඡන්දයකින් පසු ඡන්ද පත්‍රිකා පුලුස්සා දමනවා. අපෝස්තලික මාලිගයේ චිමිනියෙන් පිටවන කලු දුමාරයෙන් ලෝකයට දැනුම් දෙන්නේ තවමත් නව පාප් වහන්සේ තෝරා ගෙන නැති බව. අවසානයේ නව පාප් වහන්සේ තෝරා ගත් පසුව චිමිනියෙන් සුදු දුමාරයක් පිට වෙනවා. ඡන්ද පත්‍රිකා පිළිස්සීමේදී දුමාරය කලු හා සුදු ලෙස වර්ණ ගැන්වෙන පරිදි රසායන ද්‍රව්‍ය මිස්‍ර කිරීම තමයි මෙහිදී සිද්ධවන්නේ. 
සුදු දුමාරයත් සමඟ පල්ලියේ දැවැන්ත ඝණ්ඨාරය නාද වෙනවා. ශාන්ත පීතර බැසිලිකාවේ චතුරශ්‍රයට රැස්ව සිටින දස දහස් ගණන් ජනතාව නව පාප් වහන්සේ කවුරුන්දැයි දැක ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉන් පසුවයි.
නව පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ වම් පස බැල්කනියට පැමිණෙන්නේ තමන් වෙනුවෙන් මැසූ සුදු ලෝගුව ඇඳ ගෙනයි. වතිකානයේ නිල ඇඳුම් මසන්නා මේ වන විට ප්‍රමාණ තුනකින් ලෝගු තුනක් මසා ගෙන බලා සිටිනවා. බැල්කනියට පැමිණෙන කාදිනල්වරයෙක් "Habemus Papam ! " යනුවෙන් ලතින් භාෂාවෙන් පවසනවා. එහි තේරුම "අපට පාප්වරයෙකු සිටී!" යන්නයි. ඉන් පසුව ඉදිරියට පැමිණෙන නව පාප් වහන්සේ තමන් තෝරා ගත් නිල නාමය නිවේදනය කරමින් ජනතාවට ආචාර කරනවා. එතෙක් කිසිවෙකුට නව පාප් වරයා ගැන ඉඟියක් ලැබෙන්නේ නැහැ. 
Conclave සමුළුවට පෙර කාදිනල්වරු අද උදෑසන ශාන්ත පීතර බැසිලිකාවේදී යාඥාවකට සහ දිවුරුමකට සහභාගී වුණා. කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති හෙවත් කාදිනල්වරුන්ගේ නායකයා වූ ඉතාලි ජාතික කාදිනල් ජොවන්නි බැටිස්ටා තම සගයන්ගෙන් ඉල්ලා සිටියේ පෞද්ගලික හැඟීම් ඉවත ලා පල්ලියේ සහ මනුෂ්‍යත්වයේ යහපත පමණක් සැලකිල්ලට ගන්නා ලෙසයි. කාදිනල් බැටිස්ටාගේ වයස අවුරුදු 91 ක් නිසා ඔහු පාප්වරණයට සහභාගී වන්නේ නැහැ. 
මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ ප්‍රතිසංස්කරණවාදියෙක් (Reformer). එතුමාගෙන් පසුව පත්වූ දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේ පල්ලියේ පැරණි ගතානුගතිකත්වය ආරක්ෂා කළ පුද්ගලයෙක්. නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන් පෙර සිටි සියළුම පාප්වරුන්ටත් වඩා ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙස හඳුනාගත හැකියි. ඔහු සංක්‍රමණිකයන් හා පාරිසරික ප්‍රතිපත්ති වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. 
මෙවර පත්වන පාප්වරයා මේ දෙයාකාරයෙන් එක් අයෙකු විය හැකියි. ඉතාලි ජාතික පෙත්‍රෝ පැරොලින් හා පිලිපීන ජාතික ලුවිස් අන්තෝනියෝ ගෝකිම් තග්ලි ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා. ඒත් ඉතාලි ජාතික කාදිනල් මත්‍තේයෝ සුප්පිගේ නමත් ඉවත දමන්න බැහැ.
ෆ්‍රැන්සිස්ගේ අඩිපාරේ යන කාදිනල් මත්තේයෝ සුප්පි පත්වුව හොත් ඔහු ලොව වඩාත් ජනප්‍රිය පාප් වහන්සේ බවට පත්වනු ඇති. අනිවාර්යයෙන් ඔහු "දෙවන සිනාසෙන පාප් වහන්සේ" ( 2nd Smiling Pope) වනු ඇති. මීට කළින් සිනාසෙන පාප් වහන්සේ ලෙස හැඳින්වුණේ පළමු ජුවාන් පාවුළු පාප් වහන්සේ. 1978 අගෝස්තුවේ පාප් ධූරයට පත් වූ එතුමා පත් වී මාසයකින් ස්වර්ගස්ත වුණා. එතුමාගේ මරණය අභිරහසක් ලෙස සළකන පිරිස් තවම ඉන්නවා. ඊට පසුව පත් වූ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ ඒ නම ලබා ගත්තේ තම පූර්ව ප්‍රාප්තිකයාට ගෞරවයක් වශයෙනුයි. 
කාදිනල් මත්තේයෝ පත් වුව හොත් ඔහු දෙවන ෆ්‍රැන්සිස් වැනි නමක් ලබා ගනීවියැයි හිතෙනවා.
ඒත් නව පාප් වහන්සේ ලෙස තේරෙනු ඇතැයි මා විශ්වාස කරන්නේ ඉතාලි ජාතික කාදිනල් පෙත්‍රෝ පැරොලින්. එතුමා තමයි ෆ්‍රැන්සිස්ගේ රාජ්‍යතාන්ත්‍රික මුහුණුවර. පැරොලින් දැනට වතිකානයේ රාජ්‍ය ලේකම් හෙවත් විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කරනවා. ගතානුගතික අදහස් දරන්නන් ඔහුට කැමති නැහැ. පැරොලින් යනු ආගමික ඇදහිලි හෝ විශ්වාසයන්ට වඩා දෘෂ්ඨිවාවාදයට හා රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි විශ්වාස කරන්නෙකු ලෙසයි ඔවුන්ගේ විවේචනය. නමුත් ඔහු නවීන අදහස්වලින් හෙබි ප්‍රායෝගිකවාදියෙක්. ඔහු වැන්නකු පත්වීම ලෝක සාමයට විශාල පිටුබලයක්.
පැරොලින් පත් වුණොත් ක්ලෙමන්ට්, ජෝන්, පෝල්, පියස්, බෙනඩික්ට්, ලියෝ, ග්‍රෙගරි, ජුලියස් වැනි නාමයක් තෝරා ගනීවි. 
දහතුන් වැනි සියවසේදී පැවති පාප්වරණයක් වසර තුනකටත් වඩා දිග් ගැස්සී තිබෙනවා. ඒ යුගයේ කාදිනල්වරුන් අතර පැවති දේශපාලන ගැටුම් ඊට හේතු වුණා. ඒ කාලයේ පාප් යනු රෝමය පාලනය කළ කුමාරයා ලෙසත් හඳුනාගත හැකියි. පැරණි රෝම අධිරාජ්‍යය කැඩී බිඳී යෑමෙන් පසු රෝමයේ නායකත්වය එහි සංකේතාත්මක බලය හෙබවූ බව සඳහන්. 
වර්තමානයේ පාප්වරණය අසීමිත ලෙස දිගු නොවීමට නව නීති රීති හඳුන්වා දී තිබෙනවා. දින 8කට පසුවත් එක් අපේක්ෂකයෙකුට තුනෙන් දෙකක බහුතරය ලබා ගත නොහැකිනම් වැඩිම ඡන්ද හිමි කාදිනල්වරු දෙදෙනා වෙන් කර ගෙන ඔවුන් දෙදෙනා සඳහා පමණක් ඡන්ද විමසීමට නියමිතයි. එහිදී තුනෙක් දෙකක බහුතරය නොසළකා දෙදෙනාගෙන් වැඩි ඡන්ද ලබා ගත් කාදිනල්වරයා පත්වෙනවා. මෙම ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නේ දහසය වැනි බෙනඩික්ට් යුගයේදී. 
පළමු දින හතර තුළ අවසන් ජයග්‍රාහකයෙකු හඳුනාගත නොහැකිනම් කාදිනල්වරුන්ට එක් දිනක විවේකයක් ලැබෙනවා. එහෙත් ඔවුන්ට බාහිර ලෝකයට විවෘත වීමේ අවස්ථාවක් නැහැ. 1978 ට පෙර කාදිනල්වරුන් අපෝස්තලික මාලිගාවේම රාත්‍රිය ගත කළා. ඒ සඳහා යාබද කාමරවල නිදන පහසුකම් සලසා තිබුණා. ඒත් දැන් පාප්වරණයට සහභාගීවන කාදිනල්වරුන්ට වතිකානයේම පිහිටි ශාන්ත මාර්තා තානායමේ රාත්‍රි භෝජනය හා නවාතැන් සකස් කර තිබෙනවා. මේ නවාතැන සිස්ටීන් චැපල් දේවස්ථානයේ සිට මීටර් සියයක් පමණ ඈතින් පිහිටා තිබෙනවා. Conclave කාලය තුළ ඒ අතර ගමන් කිරීමට විශේෂිත බස් රථයක් සූදානම්ව තිබෙනවා. 
ශාන්ත මාර්තාහි කාමර 128ක් තිබෙනවා. මෙවර කාදිනල්වරුන් 133ක් පාප්වරණයට සහභාගී වන නිසා මෙයින් සමහර කාමර Sharing පදනමින් සකස් කර තිබෙනවා. නමුත් ශාන්ත මාර්තාහි එක් කාමරයක් පමණක් රතු පීත්ත පටියකින් මුද්‍රා තබා තිබෙනවා. ඒ පාස්කු සඳුදා ස්වර්ගස්ත වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ නිල කුටිය. මෙම කුටිය නව පාප්වහන්සේ තෝරා පත්කර ගත් පසුව විවෘත කිරීමට නියමිතයි. 
ජේසුතුමාගේ මරණයෙන් අවුරුදු 30කට පසුව තමා මුල්ම පාප් වරයා බිහිවෙන්නේ.ඒ තමා ක්‍රිස්තියානි ආගමේ මූලාරම්භකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ශාන්ත පීතර තුමා. 
ජේසුස් වහන්සේගේ අපොස්තලික වරුන් හෙවත් අනුගාමිකයන් 12 දෙනා අතරින් ප්‍රධානත්වය ගත්තේ පේදුරු හෙවත් ශාන්ත පීතර. බයිබලයේ දැක්වෙන ආකාරයට ජේසුතුමා විසින් ස්වර්ගයේ යතුර භාරදුන්නේ පේදුරුට. ජේසුතුමාගේ මරණයෙන් පසුව පේදුරු රෝමයට පැමිණ ජේසුස් විසින් කරන ලද දේශනා කිතුදහම නමින් ආගමක් විදියට වැඩි දියුණු කළා. 
නමුත් රෝම ආණ්ඩුව තමන්ගෙ අධිරාජ්‍යයාට ඉහළින් සිටින සර්ව බලධාරී දෙවියෙකු ගැන විශ්වාස කළේ නැහැ. ආණ්ඩුව ක්‍රිස්තියානුවන්ව සැළකුවේ මොලේ කොලොප්පන් වූවන් ලෙස. ඒ නිසා ක්‍රිස්තු භක්තිකයන් දස වද දී මරා දැමුණ. සිංහයන්ව දින ගණනක් බඩගින්නේ තබා ක්‍රිස්තියානුවන්ව පණ පිටින් උන්ගේ කූඩුවලට දැම්මා. මේ කෲර ඝාතන දැකපු පේදුරු ධර්ම ප්‍රචාරය අතහැරියා. ඔහුට ළඟ ළඟම එන භයානක මරණයෙන් ගැලවෙන්න උවමනා වුණා. ඒ නිසා පේදුරු එක රාත්‍රියක පාලු පාරක් දිගේ රෝමයෙන් පිට වුණා.
ඔහු පලා ගියේ අද වියා අප්පියා (Via Appia) නමින් හැඳින්වෙන පාර දිගේ. පාලු තැනිතලාවට සඳ එළිය වැටී තිබුණා. පේදුරුට ඈත සිට තමන් වෙත ඇවිදගෙන එන මිනිස් රුවක් පෙනුනා. ඔහු විශ්වාස කළා ඒ මරණයෙන් නැගිට ආපු ජේසු තුමා බව. දෙදෙනා මුහුණට හමු වූ බව සඳහන්. Quō vādis? (කොහෙද ඇවිදින්නේ ස්වාමීනි) යන ප්‍රසිද්ධ ලතින් වචනයෙන් කියවෙන්නේ එදා පේදුරු ජේසුගෙන් අහපු ප්‍රශ්නය. ඊට පිළිතුරු වශයෙන් ජේසුතුමා පවසා ඇත්තේ තමන් ආපසු කුරුසියේ ඇණගසා ගැනීමට රෝමයට යන බව. 
ඒ පිළිතුරින් පේදුරුට තමා ගැන ලැජ්ජාවක් ඇතිවුණා. දෙවියන් විසින් තමා වෙත භාර දී ඇති වගකීම පිළිබඳව ධෛර්යයට පත් වූ පීතර ආපසු රෝමයට එනවා. ඕනෑම ඉරණමක් බලාපොරොත්තුවෙන් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම ආපසු ආරම්භ කරනවා. අවසානයේ පේදුරුත් ජේසුතුමා මෙන් කුරුසියේ ඇණ ගසා මරා දමනවා. තමන්ගේ ශාස්තෘවරයාට අගෞරවයක් වේයැයි සිතා තමන්ව හිස පහළට සිටින සේ ඇණ ගසන මෙන් පේදුරු ඉල්ලා සිටිනවා. 
පේදුරුතුමාව කුරුසියේ ඇණ ගැසුවේ රෝමයේ පිහිටි කුඩා කඳු ගැටයක් උඩ. ඒ කන්ද අද හැඳින්වෙන්නේ Vatican hill යනුවෙන්. එතැන තමයි පසුව ශාන්ත පීතර බැසිලිකාව ඉදිකර තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි පේදුරුට ජේසුතුමා හමු වූ අප්පියා පාරට (Via Appia) සඳ එළිය ඇති රාත්‍රියක අද ගියත් ඒ අතීතය මැවෙන සුළුයි. ඒ ස්වාභාවික පරිසරය එළෙසින්ම පවත්වා ගැනීමට රෝම නගර සභාව කටයුතු කරනවා. ඒ ඓතිහාසික හමුවීම සිහිවීම සඳහා ඊට ආසන්නයෙන් Quō vādis නම් දේවස්ථානයක් ඉදිකර තිබෙනවා. 
පීතරතුමා මියගොස් අවුරුදු 300කට පසුව රෝමයේ කොන්ස්තන්තීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා. ඉන් පසුව ක්‍රිස්තියානුවන්ගේ ලේ ගලා ගිය රෝමයේම ඔවුන්ගේ මූලස්ථානය ගොඩනැඟුනා. එතැන් පටන් කිතුදහම බටහිර ලෝකය පුරා පැතිරී ගියා. 
ශාන්ත පීතරතුමාගෙ වර්තමාන අනුප්‍රාප්තිකයා කවුදැයි වතිකාන චිමිනියේ සුදු දුමාරයත් සමඟ නුදුරේදීම දැක ගැනීමට හැකිවනු ඇති.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon