Wednesday, April 16, 2025

අවුරුද්ද ඉවරයි.....




සිංහල දෙමළ අලුත් අවුරුද්දක මතක.
අවුරුදු සමරලා එවරයි. රතිඥ්ඥා හඩත් වියකිලා ගිහින්.
අපිට ( මධ්‍යම කදුකරයට ) වැස්ස නිසාදෝ කොහා ආවෙම නැහැ .
මැයි මාසයේ පරිසරය උණුසුම් වෙන කොට වෙසක් අරන් කොහා ඒවි.

 අවුරුද්ද සමරන්න අපේ රටේ අය  එකිනෙකා එක එක විදියට.

ගමේ ගොඩේ අපි වගේ ( බයියන් )  අය තාමත් පරණ හණමිටිය කරේ ගහගෙන නැකත් සාශ්‍ත්‍රයට මුල් තැන දෙමින්  සංස්කෘතික අංග අනුගමනය කරනවා. රූප මාධ්‍ය නම් ඔය ඔක්කොම කළවම් කරගෙන වැඩ සටහන් කරනවා. කොහොමත් අපේ මාධ්‍ය කරන්නේ විලම්බීතමනේ. දේශපාලකයන්ට අනුව අවුරුද්ද පුනරුදයට අහුවෙලා. අවුරුදු හැත්තෑහයක් රට කරපු හොරු දූෂකයෝ රට නැති බංගස්තාන කරපු හැත්ත අවුරුදු නැකතට කිරි උතුරලා කිරිබත් කාලා ගණුදෙනු කරලා අනුගමනය කරපු  ගතාණුගතික ක්‍රමය මේ අවුරුද්දේ වෙනස් වෙලා. අලුත් ඇත්තෝ මොනවද කලේ කියලා රට දන්නේ නැහැ. අවුරුදු කියලා රාජ්‍ය උත්සවයක් නැහැ. තොයිතරම් සරල ද ?. හොද ද  ?.

නාස්තිකාර වියදම් ඇත්තේ නැහැ .දිගින් දිගටම මේ අවුරුද්ද ආදර්ශයට ගත්තෝත් අවුරුදු දෙක තුනක් යන කොට බයියන්ගේ සම්ප්‍රදායික සිරිත් විරිත් නැත්තටම නැති වෙලා රට නිදා ගන්න සතියක් වැඩකරන සතියක් බවට පත් කර ගන්න ප්‍රල්‍රවන්.  

  රට වෙනස් කරන්න පුලුවන් වුනත් ලෝකේ වෙනස් කරන්න අපිට බැහැ. දකුණු අග්නි දිග ආසියාණු රටවල් මේ අවුරුදු සැමරුම සිද්ධ කරනවා. මෙයාලත් අපිට සමගාමිව එකම කාලවකවාණුවක තමයි අවුරුදු සමරන්නේ. දෙමළ අලුත් අවුරුද්ද ,තායි අලුත් අවුරුද්ද බෙංගලියන්ගේ බෙංගලි අලුත් අවුරුද්ද කාම්බෝජයේද කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕසයේදී ලාඕ අලුත් අවුරුද්ද මියන්මාරයේ තිංග්යන් සහ ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද හා බොහොම සමාන කම් දක්වන අවුරුදු උත්සව.

 නැකත් ගැන අවධානය යොමු කරන අය හිතන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී අවුරුද්ද උදාවෙන බවයි. සුර්යා රේවතී නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන අවස්ථාවේ අවුරුදු උදාවන බවත් නැකත් සාස්ත්‍රය අනුගමනය කරන්නෝ පවසනවා.

අවුරුද්දේ නැකත් විධ අනුගමනය කරන්නෝ 

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිස තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පැවැත්වීම    
වැනි චාරිත්‍ර විධි අනුගමනය කරනවා. මේවා දැන් දැන් වෙනස් වෙලා. අතීතයට එක්වෙලා .අතීතයට එක් වෙමින් තියෙනවා. හාස්‍යයටත් අවතක්සේරුවටත් ලක්වෙමින් පවතිනවා.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදුව සිටි අපේ බාලකාලය මතක්වෙනවා. බක් මාසේ වැස්ස පටන් ගන්නේ මාර්තු අවසන් සතියේ තරම. ඊට පෙර වී ගොවියෝ තම අස්වැන්න ගෙට ගන්නවා .අප්රේල්  මුල් සතිය අවසන් වෙන කොට ගොවිතැන් කටයුතු වලින් විරාමයක් ලැබිලා විවේක කාලය එලඹෙනවා. ඉතින් අපට අවුරුදු තමයි. අලුත් ඇදුම් පැළදුම්, ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා කල එලියට පත් වෙනවා. ගෘහ භාණ්ඩ වෙනස් වෙනවා. නෑදෑයෝ එහාට මෙහාට නෑ ගම් යනවා. කෝන්තර ආරවුල් විරසක සමතයකට පත් වෙලා එකම මේසේ කකාබිබි සතුටු සාමිචියේ යෙදෙනවා......ඉතින් අවුරුදු නෙමෙයි ද ?.

මේවා බයියන්ට අයත් දේවල් වෙලා බයියනුත් සමග විනාශයට  පත් වෙනවා දකින්න කැමති ටොයියෝ ඉන්නවා.  වැරද්දක් නැහැ. අද ගොවිතැනට බතට නෙමෙයිනේ මුල්තැන !.

ගමෙන් නගරයට සංක්‍රමණය වෙලා යන්ත්‍ර සූත්‍ර වල හිරවෙලා , කඩදාසි ලිපි ගොනු වල හිරවෙලා. ජීවිතයම දුෂ්කරක්‍රියාවක් පත්වෙච්ච ජනතාවකට මේ කාලය හුස්මක් ගන්න සබ්බ සකල ගතමනාව දිය කරලා හරන කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලන කොට  බැංකු ගිණුම දාලා ගිහින් මැයි මාසේ අන්තිම වෙනකම් දැවෙන ගින්නට දෑස නිලන්කාර වෙලා.

ඔන්න අවුරුදු ..............

 A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon