
ජවිපෙ ට වසර 60 කි. එයින් වසර 51 ක් පැවතියේ ඉන්දියන් විරෝධයකි. ඉන්දියාව ගැන ජවිපෙ අලුත්ම ප්‍රතිපත්ති වෙනසට තවම මාස 9 ක් වත් නැත. පක්ෂයක් විසින් රටක් මේ තරම් ‘ඇඳලා බදාගත්ත’ වෙනත් අවස්ථාවක් ලංකා දේශපාලනයේ නැති තරම්ය.
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලන ඇරඹූ විජේවීර, 1967 ඉන්දු – චීන ගැටුම් අවස්ථාවේ දී, චීනයේ පැත්ත ගත්තේය. 1967 දෙසැම්බර් ‘කලැත්තෑව සාකච්ඡාවෙන්’ පසු පන්ති පහට ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ආවේ ඒ නිසාය. 1977 සිරගෙදරින් එළියට එන ජවිපෙට ‘ඉන්දියන් විරෝධයක් තිබුණේ නැත.
‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත් කිරීමට ඉඩ නොදෙව්’ කියා ජවිපෙ 1986 ජුනි රට පුරා පෝස්ටරයක් ගැහුවේය.
රෝහණ විජේවීර ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ (1986) පොතේ ‘දකුණු ඉන්දියාවේ ‘මුම්මුඩ චෝල මංඩලම්’ යනුවෙන් යළි පිහිටුවීමට නියමිත චෝල අධිරාජ්‍යයට ලංකාවේ ‘උතුර’ ඈඳාගැනීමේ උපායමාර්ගයක් බව ලියා ඇත. 1994 යලි කළඑළි බහින ජවිපෙට ඉන්දියන් විරෝධයක් නැත.
සරළව, 1970 තිබූ ඉන්දියන් විරෝධය, 1977 නැත. 1981 නැති ඉන්දියන් විරෝධය 1987 රට ලේ විලක් බවට පත් කළේය.
1987 ජුනි 3 ඉන්දීය ගුවන් ආක්‍රමණ සහ බෝට්ටුවලින් යාපනයට ආහාර හා ඖෂධ තොගයක් එවීමෙන් පසුව ජවිපෙ කීවේ ‘ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මා. -- ඊළඟට ගොඩබිමින් ඇවිත් ලංකාව ආක්‍රමණය කරනවා’ කියා ය. ඉන්දීය සාමසාධක හමුදාවට ‘ඉන්දියන් වඳුරු හමුදාව’ ලේබලය ගැසීය. ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ (ත්‍රිකුණාමලය) සන්නද්ධ ක්‍රියාකාරීත්වය, ජවිපෙ හා ඉන්දීය විරෝධය අතර, ඇට සහ ඇටමිඳුළු තරම් බන්ධනයක් ගොඩනැඟීය.
නමුත්, 1994 දී නැවත සංවිධානය වන ජවිපෙට ඉන්දියන් විරෝධය තිබුණේම නැත.
1989 දෙසැම්බර් සෝමවංශ අමරසිංහ බෝට්ටුවෙන් ඉන්දියාවට පැන යන්නේ, ඔහුගේ පවුලේ සමාජිකයින්ට ගුවන් මඟින් ඉන්දියාවට යන්නට පහසුකම් සකසා දුන්නේ මාතලේ උපන් දැන් කොටහේනේ පදිංචි හෙන්රි වික්‍රමසිංහ හෙවත් වික්‍රමසිංහම් නොහොත් සෙල්වා ය. සෝමවංශගේ බිරිය හා දරුවන් ගුවනින් බොම්බායට රැගෙන ගිය සෙල්වා, යළි ලංකාවට පැමිණ සෝමවංශ ඉන්දියා පැටවූවේය. සෝමවංශ ඉන්දියාවට ගොඩබසින විට, ඊශ්වරන් බ්‍රදර්ස් හි සෙල්වා, ඔහු පිළිගන්නට වෙරළේ සිටියේය. (සෙල්වා හෙවත් විකී ගේ පොඩි දුව ගායත්‍රී නැගෙනහිර කොටහේන කොට්ඨාශයට මාලිමාවේ අපේක්ෂිකාවයි. ඇය ගියවර එජාප නාගරික මන්ත්‍රීවරියකි)
දෙවැනි කැරැල්ල හා ඉන්දියන් විරෝධය
ජවිපෙ විසින් දෙවන කැරැල්ලේ දී විරුද්ධවාදීන් 6,661ක් ඝාතනය කළේය. එයින් බහුතරය එජාපයේ ය. රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485ක්, පොලිස් හා ආරක්ෂක අංශ 688ක්, සරසවි සහ පාසල් සිසුන් 187ක්, පොලිස් පවුල් සාමාජිකයින් 92ක්, හමුදා පවුල් සාමාජිකයින් 70ක්, විදුහල්පතිවරු 52ක්, ශ්‍රීලනිප සාමාජිකයින් 200ක් පමණ ද, මහජන පක්ෂයේ 141ක්, කොමියුනිස්ට් පක්ෂයේ 43ක්, නසසප 24ක්, සමසමාජ 22ක්, ජනතා සංගමයේ 19ක් ඒ අතර විය.
ජවිපෙ ය ‘ඉන්දියන් වඳුරු හමුදාවේ’ නිලධාරීන් හා සෙබළුන් 29ක් ද ඝාතනය කළේය! 6,661න් 29 ක් කුඩා පංගුවකි. නමුත් එහි සමාජ, ආර්ථික, දේශපාලන බලපෑම අතිමහත් විය. ඉන්දු ලංකා ගිවිසුම නිසා, ලංකාවෙන් 30%ක් ද, වෙරළින් 60%ක් දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බව කීවේය. මේ ඉන්දියන් විරෝධය නිසා කොමියුනිස්ට්, සම සමාජ, මහජන පක්ෂ, සමාජිකයින් ද, මුදලාලිලා ද, ව්‍යාපාරිකයින් ද දෙදහසකට වැඩි පිරිසක් ඝාතනය විය. 1990 මාර්තු 24 ඉන්දියන් හමුදාවේ අවසන් භට කණ්ඩායම ත්‍රිකුණාමලයෙන් ඉවත්වත තුරු ම ජවිපෙ මෙම ස්ථාවරය නඩත්තු කළේය.
නිදහස් චතුරඝ්‍රයේ දී මෝදි අගමැතිතුමා පිළිගැනීමේ ජාතික උත්සවය දෙස මම බලා සිටියෙමි. එදා, රජීව් ගාන්ධි පිළිගැනීමේ ජාතික උත්සවයේ දී, විජිත රෝහණ විජේමුණි තුවක්කු බදෙන් එල්ල කළ ප්‍රහාරය මට මැවී පෙනේ. කාලය මැවූ අරුමය පුදුයම!
අජිත් කුමාර පාර්ලිමේන්තුවේ කාමරයක දී ජනපති ජේ.ආර්., අගමැති ප්‍රේමදාස, ලලිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඉලක්ක කර බෝම්බ ගැසීය. ජවිපෙ නිවේදනයකින් කිව්වේ, ‘ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වන සියලු දෙනාම ද්‍රෝහීන්’ බව ය. ‘ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබළා ශ්‍රී ලාංකික අන්තිම දේශද්‍රෝහියාගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට’ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය.
ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන ලෙස 1989 මැයි 14 දින ජවිපෙ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට ලංකාවෙන් පිටවෙන ලෙස නියෝග කළේය.
සියලුම ඉන්දියන් භාණ්ඩ ආනයනය ද තහනම් විය. මයිසූර් පරිප්පු, බොම්බයි ලූනු අලෙවිය තහනම් කරන බව 1989 ජූලි 6 නුගේගොඩ පැවති ජනතා රැලියක දී ප්‍රකාශයට පත් විය. ඉන්දියන් ඖෂධ ගෙන්වීමේ වරදට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනි ග්ලැඩිස්ට් ජයවර්ධන මහත්මිය ඝාතනය විය.
කෝනේෂ්වරන් දේවාලයේ මුරට සිටි ඉන්දියන් සෙබළුන් දෙදෙනාට පිහියෙන් ඇන එක් අයෙකු ඝාතනය විය.
1989 මැයි 22 ත්‍රි’මලේ ඩොල්ෆීන් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේ දී පැති බෝම්බ දෙකකින් ඉන්දීය භටයින් 6ක් සහ මේජර්වරයකු ඝාතනය කළේය.
1989 මැයි 12 කන්තලේ-ත්‍රිකුණාමලය පාරේ බිම්බෝම්බයකින් ඉන්දියන් හමුදා මේජර්වරයකු ඇතුළු 13ක් මරා දැමීය. 1989 ජූලි 25 ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සංවත්සරය දිනයේ ඉන්දියන් සෙබළු 14ක් ඝාතනය විය. 1987 ඔක්තෝබර් 25 ජවිපෙ මහනුවර ඉන්දීය තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි. අවසන් ඉන්දියන් සෙබළාත් පලවා හැර මාතෘභුමියේ උතුම් නිදහස ස්ථාපිත කරනතුරු අරගලය ඉදිරියට ගෙන යන බව එදා ජවිපෙ නිවේදනය කළේය.
නිල දත්ත අනුව ජවිපෙ විසින් මරා දැමූ ඉන්දීය සෙබළුන් ගණන 29 කි. නමුත් ඉන්දීය හමුදාවේ සෙබළුන් 63ක් තම සංවිධානය විසින් ඝාතනය කළ බව 1989 සැප්. 05 රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඉන්දියාව සමඟ සියලු ව්‍යාපාරික සබඳතා නවතා දැමීම ජවිපෙ ඉලක්කය විය. ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කර, මෙරට සිටි ඉන්දීය ව්‍යාපාරිකයින් 11ක් ඝාතනය කළේය. පැලවත්න සීනි කම්හලේ එස්. කේ. බන්සාල් හා ඔහුගේ බිරිය (1988), පී. බී. අම්බිච්චි සමාගමේ හිමිකරු ඉලේතම්බි ශන්මුගම්, වැල්ලවත්තේ ඉලේතම්බි සුබ්‍රමානියම්, කේ. ගුණරත්නම්, මරදානේ හෙප්තුල්ලාබෝහි සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන්, කොහුවල දී ඝාතනය වූ ආර්. නාගින්ද්‍රාස්, ඩි. කේ. සුන්දරම් හා පී. නඩාර් මීරමුණි යන අය ඝාතනය වූ අය අතර විය.
ජවිපෙ තවත් පැත්තකින් ‘රෝ ඔත්තු සේවය සමඟ’ අපූරු සබඳතා ද පවත්වා ගත්තේය.
දෙවන කැරැල්ල අවස්ථාවේ දී ඉන්දීය තානාපති කාර්යාලයේ දකුණු කලාපය භාර නිලධාරියා ලෙස රෝ සංවිධානයේ ගුරුජික් සිං (සික් ජාතිකයෙකි) ද, උතුරු නැඟෙනහිර භාරව දෙමළ බ්‍රාහ්මණ වංශිකයෙකු වූ එස්. අයි. ශංකර් ද කටයුතු කළේය. ඔවුහු රිචඩ් ද සොයිසා හරහා ඩී. එම්. ආනන්ද සමඟ සබඳතා ගොඩනඟා ගත්තේය. එච්. බී. හේරත් සහ උපාලි ජයවීර රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනඟා ගත් අනෙක් ජවිපෙ නායකයින් වූයේය. සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා රැකවරණ සහිතව එංගලන්තයට යන්නේය.
2005 ජනාධිපතිවරණයේ දී ජවිපෙ සහාය මහින්ද රාජපක්ෂට ලැබුණේ ඉන්දියාව නිසාය. ‘කිසිවෙකුට සහාය නොදීමට තීරණයක’ වෙනස් කර දුන්නේ ඉන්දියාවයි.
මලික් සමරවික්‍රම ගේ මැදිහත්වීමෙන්, මෛත්‍රීපාල සිරිසේනට 2014 ජනාධිපතිවරණයේ ජවිපෙ සහාය ලැබුණේ ද ඉන්දීය මැදිහත්වීම නිසාය.
පළමු නායක, විජේවීර ඉන්දියන් විරෝධයෙන් පක්ෂය අරඹා ඒ ගැන ස්වයං විවේචනයක් සිදු කර, නැවත ඉන්දියන් විරෝධයට ප්‍රවිෂ්ඨ විය.
දෙවන නායක, සෝමවංශ ඉන්දියන් විරෝධයකින් නායකයා බවට පත් වී, ඉන්දියාව සමඟ සැමවිටම එකට කටයුතු කළ ජවිපෙ නායකයා වූයේය.
තෙවන නායක, අනුර කුමාර දිසානායක, සිය නායකත්ව කාලය පුරාම ත්‍රිකුණාමලයේ සාම්පූර් බලාගාරය, මන්නාරමේ සුළං විදුලි බලාගාරය, අදානි සමූහය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය, අමුල් කිරි කර්මාන්ත සමාගම, ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම, කටුනායක, කොළඹ හා මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වැනි ව්‍යාපෘති දැඩි ඉන්දියන් විරෝධී ස්ථාවරයක සිට විවේචනය කළේය. ජවිපෙහි නායකයන් වූ විජේවීර – සෝමවංශ දෙදෙනාටත් වඩා, එක දිගට ඉන්දියන් විරෝධය නඩත්තු කළේය. අද ඔහු අවස්ථානුකුලව -- ඉතා නිවැරදිව ඉන්දියාවේ මිතුරා වී ඇත.
අතීතය කුමක් වුවත් ජවිපෙ නව ඉන්දීය සම්බන්ධතා ප්‍රවේශය රටක් වශයෙන් ලංකාවට අතිශයින් තීරණාත්මක ය. ආර්ථික, සමාජීය හා දේශපාලනිකව වැදගත්ය. ලංකාවේ ආර්ථික සමෘද්ධිය රැඳී පවතින්නේ ඉන්දියාවෙන් දුරස්වීමෙන් නොව, බද්ධවීම මත ය. ඉන්දියාව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවේශය ලංකා දේශපාලනයේ නව හැරවුමකි.
87 -89 ඉන්දියාවට තමන්ගේම ප්‍රශ්න රැසක් තිබුණි. ඉන්දියාවේ මෝදී - සීතා රාමන්, සමන්තා පවෙල් හා ක්‍රිස්ටිනා ජෝර්ජීනා නොවේ නම් ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාව මේ තත්වයට ස්ථාවර වන්නේ නැත. ඇමරිකාව සමඟ ව්‍යාපාරික අවස්ථා අහිමිකර ගත් ලංකාවට ඉන්දියාව හැර අන් පිහිටක් නැත.
අනෙක් අතට අද රටේ කිසිම ස්ථරයක ඉන්දියන් විරෝධයක් නැත. අද අත්සන් තබන බලශක්ති, ආරක්ෂක (ගිවිසුම් 3ක් බව කියවේ), වෙළඳ ගිවිසුම් අන්තර්ගතය මා දන්නේ නැත. කච්චතීව් දූපත හා ඉන්දියන් ධීවර ගැටළු සාකච්ඡා ලැයිස්තුවට ඇතුලත්ය. සාම්පූර්, මන්නාරම් සුළං විදුලි ජනනය, සංචාරක, ඇතුළු ව්‍යාපෘති 12 ක් රනිල් - මෝදි පාලන යුගයේ දී සාකච්ඡා වී ඇත. ඒ සියල්ල එට්කා ගිවිසුම ද සමඟම දේශපාලන විරෝධයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අද ලංකාවට ඇත.
1989 බිඳ වැටුණු දේශපාලන ව්‍යාපෘති පවා නැවත ඇරඹෙන සුබ ලකුණු ඇත. සැමදා, බලය බෙදාහැරීමට පක්ෂ වූ මම, පුද්ගලිකව පළාත් සභාවන්ට පොලිස් හා ඉඩම් බලය පවා ලැබෙන පූර්ණ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වනු දකිනු කැමැත්තෙමි. හිස් කච්චතීව් දූපතට වඩා ඉන්දීය වෙළඳ සහයෝගය අද ලංකාවට වැදගත්ය.

‘දේශප්‍රේමී ලංකාවේ ඉන්දියන් විරෝධය’ දශක දෙකක් ලංකාව ඉදිරියට යාම වලක්වා ඇත. එම වරද නිවැරදි වන්නේ නම්, 2025 අප්‍රේල් 5 දවස, ලංකා ඉතිහාසයේ දෙවන නිදහස් දිනය ලෙස ඉතිහාස ගත වනු ඇත!
එදා, ‘තිස්ස රජු’ගේ දෙවන රාජාභිෂේකය ලංකාව දේශපාලනික, සංස්කෘතික ලෙස වෙනස් කළේය. අද, ඉන්දියන් විරෝධය අතහැර දැමීම, අනුර කුමාර දිසානායක ගේ ‘දෙවන රාජාභිෂේකය’ බවට පත් කර ගත හැකි වනු ඇත.
ස්තුතියි.
රජිත් කිර්ති තෙන්නකෝන්
A day in the life
0 comments:
Post a Comment