Sunday, April 13, 2025

මතක අතර ඩඩ්ලි .



අදවන් දිනෙක සැමරෙන මතක අතර ඩඩ්ලි....
73 අප්‍රේල් වෙද්දි මට වයස අවුරුදු 13, ඒක හරි සුන්දර සමයක් අප්‍රේල් 1 වැනිදා ඉඳලම ගැමියෝ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් 1 දා දවස පත්තරේ මුල් පිටුවෙ තිබුනු පුවතකින් මුලු රටම කැලඹුනා මතක විදියට එහි සටහන්ව තිබුනේ විශාල ගෝරිල්ලෙකු දෙහිවල සත්ව උද්‍යානයට රැගෙන යමින් සිටියදී හෝ වෙනත් විදියකින් හෝ අදාල ස්ථානයෙන් පලා ගොස් ඇතිබවයි. මුලු කොලඹම කලබල වුනා . ගෝරිල්ලාගෙ විශාල ප්‍රමණයේ ඡායාරූපයක් ද පුවත්පතේ පලවී තිබුනා.
ඒ කාලෙ වෙනකොට පුවත්පත් හා පොත් කියන්නෙ මගේ හුස්ම ගැනීමේ ප්‍රධාන මාධ්‍ය වෙලා තිබුනු කාලයක්.ඇඟිලි තුඩක් එබූ සැනෙන් මුලු ලොවම එකම මොහොතක එකට ඈඳෙන තාක්ෂණයක් එකල තිබුනේ නෑ. පුවත්පත හා ගුවන් විදුලිය පමණයි තොරතුරු ප්‍රභවයකට තිබුනෙත්.
ඊට පසුවදා දවස පුවත්පතේ මුල් පිටුවේ ලොකු අකුරින් මුද්‍රණය කරල තිබ්බ, ඊයේ ගෝරිල්ලෙකු ගේ පැන යෑම පිලිබඳ ප්‍රවෘත්තිය අප්‍රේල් 1දා මෝඩයාගේ දිනය වෙනුවෙන් කල විහිලුවක් බවට.
ඒ ආසන්නයේ තවත් අවුරුද්දක අප්‍රේල්1දා දවස පුවත්පතේ මුල්පිටුවෙ ප්‍රධාන ශීර්ෂය වුනේ නිරුවත් විදෙස් කතක් කොලඹ ප්‍රධාන වීදියක දුවගියේයැයි ප්‍රවෘත්තියයි. එහිද පින්තූරයක් දමා තිබුනා. ගිය අවුරුද්දේ අප්‍රේල් 1 දා මෝඩ වූ ජනතාව ට ආයිමත් ඊලඟ වසරේ මෝඩයාට ඇන්ඳේ එලෙසිනුයි.
මගේ නිවස පිහිටා තිබුනෙ දකුනු පැත්තට පොලොන්නරුව කොලඹ බස් මාර්ගයත් වම් පැත්‍තට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන බස් මාර්ගයත් විහිදෙන ලෙස වූ ප්‍රධාන මාර්ගය ආසන්නයේම ඊට මුහුන ලායි.
ඔය කියන අවදියේ කොලඹට නැව් මඟින් හෝ ගුවන් මඟින් ගොඩ බසින විදේශ සංචාරකයෝ මහා පිරිසක් උදේ සවස මේ ප්‍රධාන මාර්ගයේ සුඛෝපභෝගී රථවල නැගී පොලොන්නරුව පැරැණි නගරය බලන්නට ආව. එවකට ඔවුන් සඳහා නවාතැන් පහසුකම්සැපයූ ප්‍රධානතම ආයතනයවූයේ පරාක්‍රම සමුද්‍ර ජලාශයට මුහුන ලා ඉදිකල තානායම පමණයි.
මේ වයස වෙනකොට නම් මම ළමා ලෝකයෙන් ගැටවර ලොවට අයිතිවෙලා හිටියත් ඔය කියන වයසෙදි තරුණ කෙල්ලන් හෝ ළමාවියේ කෙල්ලන්ද මා ඔවුන්ගේ සමාගම්වලට ගත්තේ නෑ.හරියට කියනවනම් එහාටත් මෙහාටත් නැති ගන්දබ්බ අවදියක්.
කලිසම් කෑලි ගවුම් කෑලි එල්ලාගත් එක්කෝ උඩුකය නිරුවත් කුඩා එවුන් විදේශීය සංචාරකයින් රැගත් බස් හෝ කාර් වලට අත් වැනීම විනෝදාංශයක් කරගෙන තිබුනා.
"සුද්දෝ සුද්දෝ...."උන් කෑගැහුවෙ එහෙමයි. ඉඳහිට මේ හිඟන පැටවු ගැන අනුකම්පා කරන එවැනි බස් රථයක් නවත්වා ඉන් සුදෝ සුදු ඉතාම පිරිසිදු පෙනිමැති බටහිර සුදු ජාතික කන්ඩායම් බිමට බහිනව..
පෙර කී කුඩා හමුදාව සංචාරකයින් වට කරගන්නේ ඔවුන්ට අතපාමින්. වැඩිහිටියෙකුගෙන් අහගෙනදෝ එකෙක් "සර් මනි මනි..."යි අයදියි.
ඔය කියන කාලෙ ඩොලර් වලින් ගණං නොබැලූ කාරකදීන් හිටි කාලයක් නිසා කුඩා උන්ටත් ඩොලර් දී පලක් නැති බව වටහාගත් සංචාරකයෝ ඒ වෙනුවට ටොෆි මලු හෝ පිටුපසින් තෙරපූ කල පෑන් තුඩ පිටතට එන වර්ගයේ කාබන් පෑන් ආදි තෑගි දරුවන්ට ලබාදෙති. බැරිම තැන සුද්දෙකු හෝ සුද්දියක පෑන් අහුරු හෝ ටොෆි අහුරු වශයෙන් කොලු කුරුට්ටෝ වෙත විසි කරති.
13 වියැති මම දොරකඩ අඹ සෙවන යට සිට මේ හෙයියම්මාරුව දෙස බලා සිටින්නේ එහාටත් නැති මෙහාටත් නැති වයසේ ලැජ්ජාවකිනුයි. එදා බටහිර උදවියට අපේ රටේ ජනතාව පෙනෙන්නට ඇති විදිය ගැන අද මම මනසින් චිත්‍රයක් ඇඳගනිමි.
තෙල් පොහොර වලින් අද තරම් දූෂණය නොවූ කුඹුරුවල යල මහ බුසලට සීය බැගින්‍ රන් කරල් පීදෙද්දි අපි කවුරුවත් වැරැදිලාවත් වේලක් වත් බඩගින්නෙ ඉඳල නෑ. මුලු ගමේම තත්වත් ඒකයි.
ඔය කියන සමයේ අගමැති ධුරයේ හිටියේ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියයි.හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කල සිට සතියකට පවුලකට හාල් සේරු 2ක් සමූපකාරයෙන් නොමිළේ දුන්නා. ( ඒවා තමා ජාතියක් විදියට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න බැරි ජනතාවක් බිහිකරන්නට මුල් වුනුපලමු වරද)
ගම්මු ඒ හාල හැඳින්වුනේ කූපන් හාල් කියල. යකඩ වගේ වියළි පොත්තේ රතු බතික් මෝස්තරයක් තිබුනු ඒ හාලෙන් උයන බත හරි බරයි.
ඉතින් මේ අවුරුදු සමයට මගේ තාත්තත් වී බුසල් 3 ගෝනි පිරවූ වී මිටි පුරවාගත්තු කරත්තයක ඉහලම ඉඳගෙන එන්නෙ රජෙක් වගේ. මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලනෙ. ( ගොවිකුලය අන්ඳා තිබුනේ එහෙමනේ) මගේ තාත්තා නම් වයස අවුරුදු 80 ක් ආයු වලඳා මිය පරලොව ගියේ හෘදයාබාධයකින්.මිය නොගොස් ඉතිරිවූ බහුතරයක් රජවරු දැන් වකුගඩු රෝහලේ රුධිර කාන්දු පෙරණයට ලක්වෙමින් ජීවිතය ඉල්ලමින් ඉන්නව.
අපේ අම්මා 6 දෙනෙකුගෙන් යුත් දරු මල්ලන්ට ඇඳුම් මැහුවෙ එයාගෙම අතින් 13 දා පරණ අවුරුද්දට එක ඇඳුමක් 14 දා අලුත් අවුරුද්දට තව ඇඳුමක් බැගින් අපට ලැබෙනවාමය.
ඔය කියන 1973 අවුරුද්දෙ අප්‍රේල් 12 දත් අපි නින්දට ගියෙ "හෙට අලුත් ගවුමක් අඳින්න තියෙනවනේ "කියන සතුටින්,
අම්මානම් ඒ රෑත් ඩිහ් ඩිහ් හඬින් කැකුලු හාල් පොඟවල වංගෙඩියෙලා කෙටුව අම්ම අතිරස හදනකොට තාත්ත බනිනව.
"ඇයි ඕයි ඔය චප්ප චපස් කෑහැක්ද කොණ්ඩ කැවුම් ටිකකුත් හදනව.."
13 දා අපි අලුත් ගවුම් අඳින්න ඕන හන්දා පාන්දරම නැගිට්ට. රතිඤ්ඤ සද්දෙ හතර වටින් ඇහෙනව.කොහෙදෝ ඈතකින් රබන් හඬත් ඇහුනා අම්ම නම් කීවෙ ඒ පොඩි විජේලාගෙ කොලණිය පැත්තෙ නැන්දලා කියලයි.
අපෙ අම්මට කවදටත් ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති අහන්න ඕන. ඒ ප්‍රවෘත්ති වලින් ඇහුනද විශේෂ නිවේදනයකින් ඇහුනද මංදා
" හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.." කියල තමා ප්‍රචාරය උනේ
"අයියෝ....ඩඩ්ලි මහත්තයා..."
අපේ අම්මා අඬා වැටුනා.මට මැවිල පෙනුන මැදින් බෙදු හිසැකේ මෝස්තරයෙන් යුතු ටයි.කෝට් අඳින ඔහුගේ ප්‍රතාපවත් පෙනුම.
අද වගේ ජනතාවගෙන් අම්මා මෝ නැතිව බැනුම් අහන දේශපාලකයො.ඔය කියන යුගයෙ හිටියෙ නෑ. අම්මා වගේම ගමේ වැඩිහිටි මවු පියවරු වහාම අලුත් අවුරුද්ද අවලංගු කලා.තාත්තා ජාතික කොඩිය අඩ කුඹු කරල වහලය මත සවිකලා.
ඒ දවසෙ පුවත්පතකත් ඩඩ්ලි සේනානායක මහතාගේ අවමඟුල වෙනුවෙන් අවුරුදු සැණකෙලි නවත්තමු ශීර්ෂයෙන් ලිපියක් තිබ්බා මතකයි. බලයේ හුන් සිරිමා මැතිනියත් රාජ්‍ය උත්සව අවළංගු කල බව පට්ට සිරිලංකා කාරයෙකු වූ ඉස්සරහ ගෙදර කලු මාමා කීවා මතකය.
අඹ ගහ ලඟ අසල්වැසි වැඩිහිටියන් හා ශෝකබරිත මුහුනෙන් කතා බස් කරන තාත්තා ඩඩ්ලි සේනානායක මහතාගෙ පියා ඩී එස්.සේනානායක මහතා මියගියේ අශ්වයා මතින් වැටී බව කියනු මට ඇහුනා. තව දුරටත් ඒ තොරතුරුවලට කන්දෙනු රිසි මට තාත්තා, පියසේන මාමා, ජයතිලක මාමා, ගංගා සයිකල් මාමා, ඇතුලු ගමේ ජ්‍යේෂ්ඨ පරම්පරාවෙ වැඩිහිටියන් ඩඩ්ලි මහතා ගැන කියූ කතා බස් අතරින් ඇසී තවමත් මතකයේ තිබෙන්නේ බෝතලේ වලව්වේ අටේ දහයේ දැවැන්ත පිරිමි සහෝදරයින් අතුරින් ඩඩ්ලි හාමු මියයන තෙක්ම විවාහ වී සිටියේ නැති බවයි.
සේවාමුක්ත භටයෙකු වූ මගේ තාත්තා පොලොන්නරුව ගොවිජනපදයට පැමින තිබුනේ ඩී එස් සේනානායකයන් විසින් දියත්කල ඒ මහා ගොවි ව්‍යාපාරයට සම්බන්ධ වීමටයි.
ගම්මු බස් පිටින් ඩඩ්ලි මහතාගෙ දේහයට ගෞරව කරන්නට කොලඹ බලා ගියා.ශෝකය දරාගත නොහැකි අම්මාත් ඒ ගමෙන් පිටත්වූ බස් රියක නැගී එතුමන්ගේ දේහයට ගෞරව කිරීමට කොලඹ ගියා. ලක්ෂ 10ක් 15ක ජනතාවක් කොලඹට රැස්ව සිටියා එතුමන්ට අවසන් ආචාරය පිරිනමන්නට පුරා දෙදිනක්. පෝලිමේ ඉඳීමෙන් අනතුරුව යි අම්මාටත් එතුමන් වෙත තම ගෞරවය පලකරන්නට ලැබී තිබුනේ.
පත්තර පොත් ලෝකයක් කරගත් මට එකල දේශපානඥයෝ ගැන හීනෙකින් හෝ අහිතක් හට ගැනී තිබුනේ නැත.සමහරවිට ඒ දෙමවුපියන්ගේ කතා බස් අසා වන්නට ඇත.
කොයි හැටි උනත් එතුමාගෙ මරණයෙන් පසුවත් සිරිමා මැතිනියගේ රජය යටතේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රචාරයේදි එහි තේමාවාදනය ඩඩ්ලි ඩඩ්ලි ඩඩ්ලි ගෙදර හඬින් වැයෙන බෙරවාදනය13 හැවිරිදි මගේ හිතට තරම අපහසුවක්ගෙන දී තිබුනා.
මීරිගම බෝතලේ වලව්වේ ඉපැද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු උගතෙකු වූ ( බැරිස්ටර්) හෙතෙම මෙරටේ තෙවරක්ම අගමැති ධුරය හෙබැවීය.
1973 වසරේ 61 වියේදි අදවන් දිනෙක අභාවප්‍රාප්ත ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාට උතුම් නිරවාණයම වේවා
ඉන්දුමතී ජයසේන
A day in the life

1 comments:

මීදුම said...

මගෙත් මතක දිවයනවා....ඒකාලේ ..මටනම් අවුරුදු නමයයි...ඒ වසරෙමද මතක නැහැ..කැලෑවෙ සත්තුත් එක්ක හිටපු ලමෙක් අල්ලලා කියලා පුවතක් දවස පත්තටෙර් තිබ්බා..දෙහිවල සත්තු වත්තේ ඉන්න බවට..අපිට නම් දෙහිවලට කිලොමීටර් 16 ක් වගේනෙ..කට්ටිය එහෙ ගිහින් එහෙං කියලා එහෙනම් දවසට යන්න කියලා...දවස පත්තර කාර්‍යාලයටත් මිනිස්සු ගිහින්...එතනින් කිව්වලු නිවසට (ගෙදරට ) යන්න .කියලා..
ඩඩ්ලි මහතාගේ අවසන් කටයුතු මතකයි.පුරාන විහාරෙ ලොකු හාමුදුරුවෝ ඒ අවමගුලට ගිහින් ඇවිත් විස්තර කීවා අපේ තාත්තත් එක්ක..අපේ අම්මාගේ ගමත් බෝතලේ..ඒ වලව්ව ලගින් හන්දියෙන් තමා ගෙදරට යන්නේ.....බෝතලේ වලව් ගොඩයි..පොල් අතු වලව්වකුත් තිබුනා...අපි අඹේපුස්සෙන් කෝච්චියෙන් බැහැලා යනකොට බෝතලේ මහ වලව්වත් එක්ක වලව් තුනක් හ්මුවෙනවා...අන්තිමට ආරි හාමුලාහේ රබර් වත්ත වලව්ව....ඒ දවස් සුන්දරයි..
ඉස්සර හාල් පොත් කූපන් තිබුනේ ගොවියා ලමයා ලදරුවා කියලා...වැඩිහිටි අයට ගොවියා කූපන්...මට ලමයා කූපන්..නංගිලා මල්ලිලාට ලදරුවා...ලදරුවා කූපන් එකට කිරිපිරි පැකට් එකක් දෙනවා..විටාමිල්ක්..සීනි රාත්තලක් දෙනවා කූපන් එකට සතියට ශත හැත්තෑ දෙකයි..එලියේ රුපියල් තුනක් වගේ මතක.
අපේ ගෙදර ශ්‍රිලනිප කාර්‍යාලේ..ඉතින් කවුරුවත් ඩඩ්ලි මහතාගේ අවමගුලට ගියේ නැහැ...ඩඩ්ලි හාමු ගැන රසවත් කතා ගමේ තියෙනවා...බෝතලේ මර්තේලිස් මහප්පා වැඩකලේ අරලියගහ වලව්වේ ආහාර පරීක්ශක වරයෙක් ලෙස..එයත් කියනවා එහෙ ඩඩ්ලි මහතාගේ වගේම ඒකාලේ විස්තර..අපි ප්‍රවුර්ති වාදනයට කියන්නෙ " වරෙන් ඩඩ්ලි බතල කන්න " කියලා..unp කාලෙ ප්‍රවුර්ති වාදනයට කියන්නෙ.. "ඇන් අම් ට පුලුවන්ද හත් හවුල විසදන්න " කියලා..ලංගම බස්වල ආන්ඩු මාරුවෙනකොට බස් එකේ ඉර නිල්පාට කොලපාට වෙනවා....හරිම සුන්දරයි ලයනල් අයියා ..ඔයාට වඩා බාල උනත් ටිකක් ලහයි.. ---මෙහෙම කියන්නේ ලාල් අමරතුංග.

 

මීදුම Published @ 2014 by Ipietoon