Thursday, April 18, 2024

'භ්‍රමණය' වීම

පෘථිවිය තම අක්ශය වටා කැරකැවීමට අපි කියනවා 'භ්රමණය' වීම කියලා. පෘථිවිය විතරක් නෙමෙයි අනෙකුත් ග්රහලෝක, තාරකාවන් සහ කළු කුහරත් භ්රමණය වීමකට ලක් වෙනවා. එතකොට ඇයි මෙහෙම ග්රහලෝක භ්රමණය වෙන්නේ? මේ භ්රමණය ආරම්භ වුනේ කොහොමද? කොහොමද භ්රමණය නවතින්නේ නැතුව දිගටම සිද්ධ වෙන්නේ කියලා අපි මේ ලිපියෙන් දැනගමු.
තාරකාවන් සහ ග්රහලෝක වලට උපත ලබා දෙන්නේ නෙබියුලාවන් (Nebula) විසින්, නෙබියුලාවක් කියන්නේ අභ්යවකාශයේ විශාල ප්රදේශයක් පුරාවට විහිදි පවතින වායූන්, දුහුවිලි සහ පදාර්ථ වලින් සමන්විත ප්රදේශයක්. විශ්වයේ තියෙන සුලභතම මූලද්රව්යය වන හයිඩ්රජන්, හීලීයම් වායුන් සහ කාබන් සහ ඔක්සිජන් වැනි මූලද්රව්යයන්ගෙන් නෙබියුලාවක් සමන්විතයි. මේ නෙබියුලාවන් තුළ නිර්මාණය වෙමින් පවතින තාරකාවන් සහ ගුරුත්වය යටතේ එකිනෙක ගැටෙන පදාර්ථ කොටස් නිසා අතිශයින් ඉහළ උෂ්ණත්ව ඇති වෙනවා. මේ විශාල උෂ්ණත්වය නිසාවෙන් ලැබෙන ශක්තිය නිසා සහ කුඩා ප්රමාණයන් වල ගුරුත්වාකර්ශණ බලයන් හේතුවෙන් දුහුවිලි, වායුන් සහ පදාර්ථයන් ඔබ-මොඹ ගමන් කරන්න පෙළබෙනවා. එහාට මෙහාට චලනය වෙන මේ කුඩා පදාර්ථ කොටස් එකිනෙකට විවිධ කෝණයන් වලින් ඝට්ටනය වීම් වලට ලක් වෙනවා. මේ නිසාවෙන් ඒ ඒ පදාර්ථ අංශු කැරකැවීමකට එහෙමත් නැත්නම් භ්රමණය වෙන්න පටන් ගන්නවා. සමස්ථයක් විදිහට ගත්තාම මේ කුඩා පදාර්ථයන්ගේ චලනය සහ භ්රමණය හේතුවෙන් සමස්ථ නෙබියුලාවම සමහර අවස්ථාවන් වලදී තමන්ගේ අක්ශය වටා කැරකැවීමට පටන් ගන්නවා.
ඉතින් මේ විදිහට භ්රමණය වන කුඩා දුහුවිලි, වායූන් සහ පදාර්ථයන් හට භ්රමණය වීම නිසා කෝණික ගම්යතාවයක් සහ අවස්ථිතියක් හිමිවෙනවා. ඒ වගේම ඒවා දිගටම මෙහෙම තියෙන්නේ නැහැ. මේවා ගුරුත්වය යටතේ එකිනෙකට ඇඳ වැටීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ශණ බලයන් නිසාවෙන් මේ කුඩා අංශූන් එකට ඇලීමකට ලක්වෙමින් එකට එකතුවීමකට ලක්වෙනවා. හැබැයි මේ විදිහට එකට එකතු වෙමින් ප්රමාණයෙන් විශාල වන කොටස් වලට, එකතු වීමට පෙර කෝණික ගම්යතාවයක් තිබුණු නිසා තමන්ගේ ස්ථායිතාවය පවත්වාගැනීමට නම් අනිවාර්යයෙන්ම භ්රමණය වීමකට ලක් වෙන්න සිඳු වෙනවා. (කෝණික ගම්යතාවය කියන්නේ භ්රමණය වන වස්තුවක ස්කන්ධය, භ්රමණ වේගය සහ අරය මත රඳා පවතින භෞතික රාශියක්.)
ගුරුත්වාකර්ශණ බලයන් නිසාවෙන් මේ විදිහට ක්රම ක්රමයෙන් එකට එකතු වෙන පදාර්ථ, තමන්ට ආසන්නයේ තියෙන පදාර්ථයන්ද ගුරුත්වය යොදාගෙන තමා වෙතට ඇඳ ගන්නවා. ග්රහලෝකයන් නිර්මාණය වීමට බොහෝවිට දායක වෙන්නේ දුහුවිලි සහ අනෙකුත් පදාර්ථයන් වුනත් තාරකාවන් නිර්මාණය කරලීමට ප්රධාන වශයෙන් දායක වනුයේ හයිඩ්රජන් සහ හීලීයම් වායූන්ය. දිගින් දිගටම සිඳුවන මේ ක්රියාවලිය අවසානයේදී නිර්මාණය වන තාරකාවන් සහ ග්රහලෝකයන් ගුරුත්වය යටතේ වස්තුවකට පැවතිය හැකි ස්ථායීම හැඩය වන ගෝලාකාර හැඩයක් බවට පත්වෙනවා. ඉතින් මෙවැනි ක්රියාවලියකින් නිර්මාණය වුනු පෘථිවිය පැතලියි යැයි සිතීම කොපමණ අණුවන ක්රියාවක්ද?
කලින් විස්තර කරා වගේ මේ ග්රහලෝක සහ තාරකාවන් නිර්මාණය කරලීමට දායක වුනු කුඩා පදාර්ථ කොටස් තමන්ගේ කෝණික ගම්යතාවය සහ අවස්ථිතිය ආරක්ශා කරගන්න දිගටම භ්රමණය වෙමින් පවතිනවා. අභ්යවකාශය විසින් මේ විදිහට තමන්ගේ අක්ශය වටා භ්රමණය වන ග්රහලෝකයන් සහ තාරකාවන් වෙතට ප්රතිරෝධී බලයක් ඇති කරන්නේ නැති නිසා මේවට පුළුවන් යම් කිසි ආකරයක අභ්යන්තර හෝ බාහිර බාධාවක් ඇති නොවන තාක් දිගටම භ්රමණය වෙමින් පවතින්න.
අපේ පෘථිවිය සහ සුර්යයා ඇතුළු සමස්ථ සෞරග්රහ මණ්ඩලයම නිර්මාණය වුනේ අඳින් වසර බිලියන 4.6 කට පමණ කලින් මේ වගේ නෙබියුලාවකින්. ඒ නෙබියුලාවෙන් නිර්මාණය වුනු අපගේ සුර්යයා විසින් ඇති කරන ගුරුත්වාකර්ශණ බලය සහ අධික ස්කන්ධය නිසා ඇතිවෙන Space fabric එකෙහි වක්රතාවය නිසාවෙන් ග්රහලෝක සුර්යයා කේන්ද්රකරගත් අක්ශයක් වටා පරිභ්රමණය වීමට පටන් ගත්තා. සුර්යයා විසින් ඇති කරන ගුරුත්වාකර්ශණ බලයට සමානුපාතික වන ලෙස ග්රහලෝක ඒ ඒ පථයන්ගේ පිහිටුම් ඇති කරගත්තා. ඒ වගේම අපේ සෞරග්රහ මණ්ඩලයේම කෝණික ගම්යතාවය ආරක්ශා කරගන්න සුර්යයා සමඟ 2D එහෙමත් නැත්නම් පැතලි තලයක සියළුම ග්රහලෝක පරිභ්රමණය වෙන්න පටන් ගත්තා.
අපේ සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝකයන්ගේ උත්තර ධ්රැවයට ඉහළ සිට බැලුවහොත් සිකුරු ග්රහලෝව හැර අනෙකුත් ග්රහලෝකයන් සියල්ලම භ්රමණය වෙන්නේ වමාවර්තවයි.
අපේ සෞරග්රහ මණ්ඩලයේ නිර්මාණය වුනු කාලයේ පටන් විවිධ ඝට්ටනයක් වලට ලක්වෙන්නට මේ ග්රහලෝකයන් වලට සිඳු වෙලා තියෙනවා. අපි තාම හරියටම දන්නේ නැහැ ඇයි සිකුරු ග්රහලෝකය දක්ෂිණාවර්තව භ්රමණය වෙන්නේ කියලා. හැබැයි එහෙම වෙන්න බලපෑවා කියලා හිතන හේතූන් කිහිපයක් තියෙනවා. එවගෙන් එකක් තමයි අනෙකුත් ග්රහලෝකයන් මෙන් වමාවර්තව භ්රමණය වෙමින් පැවති සිකුරු ග්රහලෝකය ඉතා අතීතයේදී විශාල උල්කාපාතයක් සමඟ සිඳු කරගත්තු ඝට්ටනයක් නිසාවෙන් දක්ෂිණාවර්තව භ්රමණය වෙන්න පටන් ගත්තා කියලා. හැබැයි ඒ තර්කය ටිකක් විතර බිඳ වැටුනේ සිකුරු ග්රහයාගේ භ්රමණය ප්රතිවිරුද්ධ කරන්න තරම් විශාලත්වයක් දරන උල්කාපාතයන් සිකුරු ග්රහයා සමඟ ඝට්ටනය වුවහොත් එම ග්රහලෝකය නිතැතින්ම විනාශ වී යා හැකි නිසාවෙනි. මේ සඳහා ඉදිරිපත් වී ඇති තවත් තර්කයන් වනුයේ සිකුරු ග්රහලෝව අභ්යන්තරයේ සිඳුවුනු භූගෝලීය වෙනස්වීම් නිසා ග්රහලෝවෙහි උතුරු දකුණ මාරුවීමකට ලක් වීම හෝ සිකුරු ග්රහලෝව තවත් ග්රහලෝවක් සමඟ ඝට්ටනය වී එම ග්රහලෝක දෙකම එකට එකතු වී නිර්මාණය වුනු නව සිකුරු ග්රහලෝකයේ සඵල කෝණික ගම්යතාවය හේතුවෙන් දක්ශිණ දිශාවට භ්රමණය වීමට පටන් ගැනීමයි. නමුත් මින් නිවැරදි වනුයේ කුමක්ද යන්න අපට තවමත් අභිරහසකි.
පෘථිවියේ 23.5° ක පමණ සහ අඟහරුගේ 25.2° ආනත වීමට හේතුවුනා යැයි සලකන්නේ ඉතා අතීතයේදී ඒ ග්රහලෝකයන් අභ්යවකාශ වස්තූන් සමඟ සිඳු කරගත්තු ඝට්ටනයන්ය. යුරේනස් ග්රහලෝව 98° ක පමණ විශ්මයජනක ආනත වීමක් පෙන්වනවා. මෙතරම් විශාල අඟයක ආනත වීමක් නිසා යුරේනස් ග්රහලෝව තිරස් තලයක භ්රමණය වෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඒක නිසා බලන ධ්රැවය අනුව ඒ ග්රහලෝකයේ භ්රමණය වමාවර්ත හෝ දක්ශිණාවර්ත වෙන්න පුළුවන්.
අපේ පෘථිවිය එක් භ්රමණයක් සම්පූර්ණ කරන්න පැය 23, විනාඩි 56ක පමණ කාලයක් ගත කරනවා. සමකය ආසන්නයේ පෘථිවියේ කෝණික ප්රවේගය, එනම් භ්රමණය වීමේ වේගය 1670 km/h ක පමණ අඟයක් ගත්තත්, සමකයේ සිට උත්තර හෝ දක්ශිණ ධ්රැවයන් වෙතට ගමන් කරද්දී මේ අඟය ක්රම ක්රමයෙන් වෙනස් වීමකට ලක්වෙනවා. කාලයත් එක්ක සිඳුවන විවිධ හේතූන් නිසා පෘථිවියේ භ්රමණ වේගය අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2004 වර්ෂයේ ඉන්දියන් සාගරයේ ඇතිවුනු රුඳුරු සුනාමිය හේතුවෙන් පෘථිවියේ අවස්ථිතියේ සිඳුවුනු වෙනස් වීම නිසා පෘථිවි භ්රමණ වේගය නොසැලකිය හැකි තරම් ප්රමාණයකින් වැඩි වුනා. ඒ වගේම චීනයේ Yangtze ගංඟාව හරහා ඉදි කරලා තියෙන Three Gorges වේල්ල නිසාවෙන්ද පෘථිවියේ භ්රමණ වේගය නොසැලකිය හැකි තරම් ප්රමාණයකින් අඩු වුනා. මේවා ඉතාමත් කුඩා ප්රමාණයේ වෙනස් වීම් විතරයි. ඒ වගේම පෘථිවියේ භූ තැටි වල විචලනය, ගෝ.ලීය උ.ෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් සමකාසන්න සාගරයන් වලට එක්රැස් වන ජලය හේතූවෙන්, විශාල ප්රමාණයේ උල්කා ඝට්ටනයන් වලින් පෘථිවියේ භ්රමණ වේගය වෙනස් වෙන්න පුළුවන්.
එතකොට ඇයි පෘථිවිය මෙච්චර වේගයෙන් කැරකැවෙනවා නම් අපිට ඒක දැනෙන්නේ නැත්තේ? මේකට සරල උත්තරයක් දෙන්නම්. හිතන්නකෝ ඔයා 100km/h ක වේගයෙන් අධිවේගී මාර්ගයක ගමන් කරනවා කියලා. එතකොට ඔයාගේ ඇඟට වේගය නිසා බලපෑමක් වෙන්නේ වාහනය වේගය වැඩි කරද්දී සහ අඩු කරද්දී නේද? එකම වේගෙන් යද්දි මුකුත් දැනෙන්නේ නැහැ නේද? මෙන්න මේ වගේ දෙයක් තමයි පෘථිවියෙත් වෙන්නේ. අපිට පෘථිවියේ භ්රමණය දැනෙන්නේ නැත්තේ පෘථිවියේ භ්රමණ වේගය වෙනස් වෙන්නේ නැති නිසා.
• හොඳටම සරල කරලා කිව්වොත් පෘථිවිය (සහ අනෙකුත් ග්රහලෝක) භ්රමණය වෙන්නේ, පෘථිවිය හදන්න දායක වුනු පුංචි පුංචි පදාර්ථ භ්රමණය වුනු නිසයි. ඒ පදාර්ථ වල කෝණික ගම්යතාවය දිගටම ආරක්ශා කරගන්න නම් ඒවා ගොඩක් එකතු වෙලා හැදුනු සංයුක්ත වස්තූවත් භ්රමණය වෙන්න ඕනේ.
අන්තිමට ටිකක් විශේෂ දෙයක් කියන්න ඕනේ. ගුරුත්වාකර්ශණ බලය කියන්නේ තාරකාවන්, ග්රහලෝක සහ ජීවයේ නිර්මාපිතයා කිව්වොත් නිවැරදියි. නමුත් තාරකාවන්ගේ විනාශකයා වෙන්නේත් ගුරුත්වාකර්ශණ බලයමයි.
Padaartha - පදාර්ථ

A day in the life

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon