පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, April 03, 2024

සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)



 සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)

දෙහදු කඩුල්ල
The historical monument called Dehadu Kadulla
at Kothmale
සුන්දර කොත්මලය ගැන තවත් ටීකාවක්
ලියන්නයි ,මේ හදන්නෙ .
අද වගේ සන්නිවේදන ක්රම නො තිබුණු
ඒ කාලයේ ,පුංචි සත්ය සිදුවීමක් මුල් කරගෙන
ආලවට්ටම් ගොඩක් දාල අදහගන්න බැරි
තරම් වගේ කතන්දර , පුරා වෘත්ත (legends)
ගොඩනගනවා .සමහරවිට කටින් කට ආරංචි
ගලාගෙන යනකොට ,මුලදී කියාපු අදහස
බොහෝ දුරට වෙනස් වෙලා යන්නෙ. ඒ ගැන
පුදුම වෙන්න දෙයක් නෑ .
පිය රජු සමග උරණ වූ ,ගැමුණු කුමරුට අවවාද
අනුශාසනා දී ..මලය රටේ , කොත්මලයට පලා
යන්නැයි පැවසුවේ විහාරමහා දේවිය බවයි
කියැවෙන්නේ ...
“ඉර දිගට පැල් විස්ස නම් පැවති ,කොත්මලේ
කන්ද උඩ කෝට්ටයට පලා යව...”යි කියූ බව ..
කියවා ඇත්තෙමි .කුමරු මාළිගයෙන් පලා එනවිට
හාල් මැස්සන් හා අලකොල බැදුමක් සමග බත්
ගෙඩියක් බැඳ දුන් බව ජනප්රවාදයේ එයි.කුමරු
ඔයක් අසල වාඩිවී බත් ගෙඩිය ලිහා , අනුභව
කිරීමට පෙර , “මට අනාගතයේ රජකම ලැබේ නම්
මේ හාල් මැස්සන් ට පණ ඒවි .” යැයි අදිටන් කර
හාල්මැස්සන් කීපයක් ඔයට දැමූ විට ..උන්ට පණ
ආ බවත් , හාල් මැහි කඳුර ලෙස අදටත් එම ඔය
කොත්මලේ දක්නට ඇති බවත් සොයා ගත්තෙමු .
පුරාවෘත්ත හා ජනප්රවාද සූදුරු ඇටයක් දැවටූ ,හූණු
බිත්තරයක් මෙනි .වටා ඇති පොත්ත විශාලය .පැණි
රසය .සූදුරු ඇටය ,ඉතා කුඩාය .
එකල ,රුහුණු ..පිහිටි ..මායා නමින් තුන්
හෙළය දැක්වූ අතර ,රුහුණේ අගනුවර මාගම විය.
මාගම සිට මායා රටට ප්රවිෂ්ටවීමට කොත්මලේ එක්
දොරටුවක් විය .එය ...දෙහදු කඩුල්ල ලෙස හැඳින්වූ
අතර ,එය නැරඹීමේ වාසනාව ලදුයෙමි . නිලූපා ත් ,
හීන් මැණිකේ හා මග පෙන්වූ සම්පත් ද සමග උලපනේ
පුස්සැල්ලාව පාරේ පිවිසුමින් ඇති අත්වැල නැග කඩදොර
හෙවත් දෙහදු කඩුල්ල නැරඹීමට ගියෙමු .මාගම සිට
කොත්මලේට ඇතුල්වීමට පිවිසුම් දොරටු හතරක් තිබී ඇත.
කඩදොර ,නියම් ගම් දොර ,වටදොර හා ගල් දොරයි.
එයින් අද දක්නට ලැබෙන්නේ දෙහදු කඩුල්ල නමින්
හැඳින්වෙන ,කඩ දොරයි. මහවැලි මහ සෑය පිවිසුම්
මාර්ගය භාවිතා කළහොත් ,ත්රී රෝද රියකින් එතැනට
ළඟා විය හැක.
ගල් කුට්ටි හා සක්ක ගල් විශාල ප්රමාණයක් භාවිතා කර
දෙපසින් තාප්පයක ස්වරුපයෙන් හා ,මුදුන උස් හැඩයක්
ගන්නා සේ නිමවා ඇති මෙය අපූර්ව නිර්මාණයකි .
මුල් කොටස ගුහාවක් හෝ බිම් ගෙයක ස්වරූපය ගනී.
ඇතැම්විට මෙහි දෙපස මුර සෙබළුන් පවා
සිටින්නට ඇතැයි මට සිතුණි. උස් වූ විශාල ගස් කොළන්
නිසා හිරු රැසින් වන පීඩා කිසිත් නො දැනේ .
ජනප්රවාදයේ දැක්වෙන අන්දමට ,මාගම සිට කොත්මලේට
සෙන්දුවූ ගැමුණු කුමරු ,සිය මඟුල් කඩුව සඟවා ඇත්තේ
මෙහි ය. පුරා විද්යා ඵලකයක් මගින් ද ඒ බව සඳහන් කර ඇත.
පියතුමා සමග අමනාපය කින්න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැන
සිය කග සැඟවූ කල කඩදොර අයින
දෙහදු කඩුල්ලයි ,නම් පැනවූ සොඳින .
(ජන කවියක්)
තරුණ ජවය පිරී ඉතිරෙන වියේ වූ ගැමුණු කුමරු ගේ
පාද යාත්රා ව මොනතරම් කටකතා ජනප්රවාද හා පුරා
වෘත්තවලට වස්තු බීජයක් වේ දැයි ..එදා ඔහු සිතන්නට
නැත .
රෝ.සි.
2024 .03. 31

A day in the life

1 comment:

නිදිගෙ පංච තන්තරේ said...

දෙහෙදු කඩුල්ලත් බලලා ඉවර වෙලා
රජ පිහිල්ලෙනුත් නාලා සිසිල් වෙලා
නිධානයක් තියෙතැයි කී තැනත් බලා
ආවා- පුසුල්පිටියේ පන්සලත් බලා!