තුරු ලියගොමු දළු මල් පිරිවරා වසන්තයට සැරසෙන අයුරු කෙතෙක් නම් පියකරුද ? කොහාගේ කුහු හඬ නිරන්තර යෙන් මගෙ හිතට කියන්නේ අලුත් අවුරුද්දේ ඔබ ගමට එන වග නොවේද ? ඉඳහිට නිවසකින් නැගෙන රතිඤ්ඤා හඬ මගෙ සිතුවිලි දැහැන බිඳ දැමුවද , ඔබ පිළිබඳවම සිතුවිලි සයුරක කිමිද සිටීමට සැලකිය යුතු තරමේ බාධාවක් එයින් ඇති නොවේ.
දකින හැම දසුනකම , සවනත වැකෙන සෑම හඬකම ඔබ පිළිබඳ සිහිවටන වල නටඹුන් පමණක්ම ශේෂ කොට ඇත. මීට දොළොස් වසරකට පෙර උදාවූ සිංහල අළුත් අවුරුද්ද එකල මට මෙන්ම ඔබටද කොතෙක් නම් වැදගත් වීද ? සත්තකින්ම ඒ අප පෙමින් බැඳුණු දා නිසාවෙනි . අද මා හැරපියා ඉවත ගොස් සිටින ඔබට මේ කිසිවක් පිළිබඳ මතකය බිඳක් හෝ ඉතිරිව ඇද්ද ?
වේදනාව කොතෙක් හද පෙලුවද ඒ වගක් පිටතට නොඅඟවා සිටින්නට මාස දොළහක් තිස්සේ මා දරනා උත්සාහය නව අවුරුදු උදාවත් සමග සුනුවිසුනු වී යයි . සැබවින්ම ඒ ඔබ ගමට පැමිණීම නිසාවෙනි . දිවි හිමියෙන් අමතක නොකරන බවට දිවුරා පෙම් කළ ඔබ, අතීතයේ සෙවනැල්ලසේ මා අසලම රැඳී හුන් ඔබ, ඔබේ මව්පියන්ගේ සිත් සනසාලනුවස් මා හැරපියා උසස් වැදගත් යුවතියක හා විවාහ වූ ඔබ , දරුපැටවුන් හා නෑගම් පැමිණෙන සිංහල අවුරුදු සමය , ඔබේ දෙමාපියන් , සොයුරු සොයුරියන් ඔබව පිළිගන්නට සතුටින් සැදී පැහැදී සිටින අළුත් අවුරුද්ද මගෙ හද දවාලන තරම තේරුම් ගන්නට තරම් ශක්තියක් අද ඔබ සතුව ඇද්ද ?
පෙර දා ගමේ අවුරුදු උළෙලක් විනි නම් ඔබ මා අසලය. පංච දමන, කැට ගසන , හිස තෙල් ගල්වන තැනක් වේ නම් එතනද ඔබ මා ළඟය . නෑදෑයන් , වැඩි හිටියන් කොතෙක් රුදුරු වී සිටියද ඉන්ද්රඛීලයක් ලේ නොසෙල්වී ඔබ මා ළඟම රැඳී උන් හැටි අද මා කෙසේනම් අමතක කරන්නද ? සියල්ල උඩු යටිකුරුවී , ඔබව මට අහිමි වන්නට ගතවූයේ කෙතෙක් නම් කෙටි කාලයක්ද ?
දොළොස් වසරකට ඉහතදී , බක් මහක අද වැනි දිනෙක ඇරඹි පෙම් පුරාවත සිව්වසරක් ඇවෑමෙන් නිමාවී , මට අහිමි වී ගිය ඔබ, අද සත් වසරක් වියැති දියණියකගේ පියෙකි . දියණියගේ සුරත රැගෙන , බිරිඳ කැටුව , බසයෙන් බැස , දෙවැට දිගේ පා ගමනින් මහගෙදරට යන ඔබ දෙස මගේ පැලේ පිලමත හිඳ මා බලා සිටිමි. වේදනාව හද තුල වාන් දමනු දැනේ.
ඔබ නිසාම තුරුණුවිය ඉක්ම ගොස් මා අද මැදිවියට එළඹ සිටිමි . එහෙත් ඔබට පෙම් කළ හදවත යලිදු තවෙකෙකුට පුදන්නට තරම් මා අසමත් වීමි. නැගීසිටින්නට දෙපා වාරු නැත. මා පිල මතම සිට හිස් අහස දෙස බලා සිටිමි . ඔය කුරුළු කැදැල්ලේ කිචි බිචිය ඇසෙන නෑසෙන දුරින් මගේ පැල්පත පිහිටීම සැබැවින්ම දෛවයේ සරදමක් නොවිය හැකිද ? මා සතු ආත්මශක්තිය පවා අද මා හැර ගොසිණි . හදවතක් නැත්තියකසේ ඉබාගාතේ ඇවිදයන්නට මට සිතේ . සැබැවින්ම මගේ ආත්මශක්තියද , හදවත ද මට අහිමි වුනේ ඔබ මා හැරගිය දවසේමය. එහෙත් මවිසින් ඔබට පිදූ ප්රේමය නිමාවිනිද ? සත්තකින්ම නැත. මම එදත් , අදත් , මතුවටත් ඔබට පෙම් කරමි .
කොහාගේ කුහු හඬත් සමග අවදිවන වේදනාකාරී සිතුවිලි මා හද ටිකෙන් ටික දවා , යලි තුනීවී ගොස් , දොළොස් මසක් ඇවෑමෙන් උදාවන නව අවුරුදු සමයකදී යළිදු මගෙ සිත දවනු ඇත. එහෙත් පෙම්වත, සසර සරනා තුරාවට කඳුළු අතරින් වුවද මම නුඹට නිරන්තර යහපතම ප්රාර්ථනා කරමි.
කාන්ති ඉපලවත්ත
0 comments:
Post a Comment