පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, April 06, 2024

සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )

















සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )
කොත්මලේ ගණිතයා ...
The predictions made by soothsayer
In the yore ,in his expertise.
*******************************
කොත්මලේ සිටි දින කීපය තුළ ,අපි
බොහෝ පුරා වෘත්ත හා ජනප්රවාද සඳහා
මුල් වූ ස්ථාන දැක බලා ගත්තෙමු. හීන්
මැණිකේ ගේ මතකයත් ,මග පෙන්වූ
සම්පත් සහ අනුෂ්ක ගේ නොමඳ
සහයෝගයත් ..වැඩිහිටි පුද්ගලයින් ගේ
කතාබහත් ..හැමවිටම මගේ සටහන්
පොතේ පිටු පුරවන්නට උපකාර විය .
අනිවාර්යයෙන් ඔබ විසින් දැනගතයුතු
දෙදෙනෙක් පිළිබඳව ,රසවත් කතා
කීපයක් අසා දැනගත්තෙමි .නිලූ ත්
මමත් ඒවා රස වින්දේ කටවල් ඇරගෙනය .
එපමණටම පුදුම සහගතය .නමුත් ජනප්රවාදයේ
අදටත් පවතී .

එක් අයෙක් , අද මා ඔබට ලියන්නට යන
කොත්මලේ ගණිතයා ය. අනෙක් පුද්ගලයා
පොන්න නැකැත්තාය . මේ දෙදෙනා
එකම පුද්ගලයෙකු බව ඇතැමුන් ගේ
විශ්වාසයයි.
සෙංකඩගල තම රාජධානිය කරගත් රාජාධිරාජසිංහ
(ක්රි.ව. 1782 -1798 ) කාලයේ රාජ සභාවේ සිටි
ප්රකට නක්ෂත්ර කරුවෙකු හා කවියෙකු ලෙස
කොත්මලේ ගණිතයා හැඳින්වේ .(මට සිහිපත්
වූයේ අන්දරේ පිළිබඳවයි.නමුත් මොහු විහිළු
කාරයෙක් නොව දක්ෂ ගණිතඥයෙකු විය.)
කොත්මලේ ;මාවෙල, බානවෙල ,කොටුවේ
ගෙදර ..උපත ලබා ඇත .ඔහු විසූ ඉඩම අද
ආඬියා කොටුව වත්ත ලෙස හඳුන්වයි.
රාජාධිරාජසිංහ රජු වරක් ,විශාල පුහුල්
ගෙඩියක් රාජසභාවට ගෙන්වාගෙන , තම
ජ්යෝතිෂ්ශාස්ත්රඥයින් ගේ හපන්කම් පිරික්සා
බැලීමට සිතුවේ ලු. ඒ අනුව ,පුහුල් ගෙඩියේ
ඇති ඇට ගණන ...නිවැරදිව කියන ලෙස
රාජ සභාවට පවසා ඇත.ඇතැම් ඇමතියෙක්
පුහූල් ඇට නැළියක් ඇතැයි ද ; තවෙකෙක්
දෙනැළියක් ඇතැයි ද ...ආදී වශයෙන් විවිධ
සංඛ්යා දක්වා ඇත.
කොත්මලේ ගණිතයා පුහුල් ගෙඩිය හොඳින්
පිරික්සා බලා ..
“මෙහි ඇත්තේ පුහුල් ඇට තුනකි.ඉන් දෙකක්
පුහු ඇටය .එකක් හොඳ ඇටයකි .” යයි ප්රකාශ
කළේ ලු.
රජු ,පුහුල කප්පවා බැලූ විට ..කොත්මලේ
ගණිතයා ගේ පිළිතුර නිවැරදි බව දැක ..
මවිතයට පත් වූ බව කියැවේ .
මොහු ඉතා ප්රසිද්ධියට පත්වූ යේ ඔහු ගේ
නිවැරදි කියමන් හා නිර්භීත ක්රියා කලාපය
නිසාලු.
වරක් ,මොහු ගේ බුද්ධිය පරීක්ෂා කිරීමට
සිකුරාට ( සිකුරු ට ) සිතුණි. මිනිස් වෙසක්
ගෙන ..ගණිතයා ඉදිරියේ පෙනී සිටියේ ලු.
දෙදෙනා අතර පිළිසඳර කතාවෙන් පසු ,
“මේ වෙලාවේ සිකුරා සිටින්නේ කොහිදැ”යි
විමසූ අමුත්තා ට ..
“මා ඉදිරියේ .” යැයි පිළිතුර ලැබී ඇත.
ඔහු ගේ දක්ෂතාවය ගැන සිකුරා විමතියට
පත් වී ..ගණිතයාගේ ඇස්වලට ඇඟිල්ලෙන්
ඇන ,දෙනෙත් අන්ධ කළ බව පැවසේ .එසේ
වුවද ,යමක් අතට ගත් කළ ,ඔහුට එය දර්ශනය
වූ බවත් ..කියැවීමට හැකි වූ බවත් ජන වහරේ
ඇත.
මෙසේ ,සිකුරා ද පරාජය කළ බැවින්
“සිකුරාජපති” යන පදවි නාමය රජු විසින්
පිරිනමා ඇත. තඹ සන්නසකින් එම පදවිය පිරි
නැමූ බව දැක්වේ .එම පරපුරෙන් පැවත එන්නවුන්
අදටත් ,මාවෙල ගමේ වෙසෙති. සිකුරාජපති
යන්න ,මෙහි භාවිතාවන වාසගමකි .මගේ
යෙහෙළිය ,හීන් මැණිකේ පවසන අන්දමට ඇගේ
පාසල් අවදියේ දී ,එම වාසගම සහිත දැරියක්
ඇය හා මිතුරු දමින් බැඳී සිටියාලු.
නැකත් තරුවක් ගැහෙනු දැකීමෙන් ගණිතයා
විසින් අපූරු ප්රකාශයක් කර ඇත. අනාගතයේදී
කොත්මලා ඔයා දෙපස පිහිටි තිස්පනේ කන්දත්
කඩදොර කන්දත් එකට එකතුවී උතුරට ගලා
යන බවයි.ඒ ප්රකාශයෙන් අවුරුදු දෙසියයකට පසු
ඒ කියමන සැබෑවූයේ කොත්මලා ඔය හරහා වේල්ල
බැඳ ,මහවැලි ව්යාපාරය යටතේ ,එම කඳු දෙක යා
කොට;.උමං මාර්ග ඔස්සේ ජලය ගලායාමට
සලස්වා එයින් ටර්බයින කරකැවීමට ශක්තිය
නිපදවා ගත් බැවිනි. ( ඇතැමෙක් මෙය පොන්න
නැකැත්තාගේ අනාවැකියක් බවටද පවසති .)

එකල ද පාලකයන්ට කේළම් කියා ,වාසි
ලබාගන්නවුන් ..සිටි බැවින් ; රජු හා ගණිතයා
අතර සම්බන්ධතාවය නො රුස්සන පිරිස ....
ගතු කියා ඔහු කෙරෙහි රජතුමා තුළ වූ විශ්වාසය
බිඳ දමන ලද බැව් කියැවේ .
අවසානයේ රජු විසින් වරදක් පටලවා ,ගණිතයාට
මරණ දණ්ඩනය පනවන ලදී . තමාගේ අවසන්
ඉල්ලීම ලෙස ..තමා පවසන කවිය අනුව කටයුතු
කරන ලෙස ..හේ රජුගෙන් ඉල්ලීමක් කර ඇත.

“හත් අවුරුද්දක් වසිනා වැස්සේ
බිංදු ගණන් කරලා දෙඤඤයි .
අබ තුන් පෑලක් මැනලා දුන්නොත්
පියළි ගණන් කරලා දෙඤඤයි.
හත් අවුරුද්දක් ගිය කන්කුන්ඩගෙ
කකුල් ගණන් කරලා දෙඤඤයි.
තව තුන් පැයකට නො මරා හිටියොත්
මෙතුන් පදේ තෝරා දෙඤඤයි.”

මේ කවියෙන් තමාගේ මරණය ..පැය තුනකට
කල් දමා ගැනීමට ඔහුට ඕනෑවිය.හේතුව තමා
ස්ථිර ලෙසින් ම ..තවත් හෝරා දෙකකින්
ස්වභාවිකවම මිය යන බවත් ; තම ආයුෂ අවසන්
වන බවත් ශාස්ත්රයට අනුව ,ඔහු දැනසිටිමයි.
ක්ෂණිකව මරණ දඬුවමට ලක් වුවහොත් ..
“වරදකරුවෙකු ලෙසින් හංවඩු ගැසෙන බැවින්”
කළ නො හැකි ඉල්ලීම් කවියෙන් පවසා ඇත.
රජුටද මේ කවියට අනුව මොහුගෙන් පිළිතුරු
ලබා ගැනීමේ ආසාවෙන්..ගණිතයාගේ දඬුවම ,
හෝරා තුනකින් කල් දමන ලෙස වදකයාට
නියෝග දී ඇත .
පුදුමයකි ! හෝරා දෙක ඉකුත් වනවිටම
ගණිතයා රජු ඉදිරියේ මැරී වැටිණි . රජු , මහත් සේ
කම්පාවට පත්වූ බව කියැවේ.

කම්පාවට පත්වූ බව කියැවේ.
මෙයින් අපටද කදිම පාඩමක් උගත හැකිය . එනම් ....

“උවමනාවට වඩා දක්ෂ වූ විට ,තමා වටා
සිටින්නවුන්ගේ ඉරිසියාවට බඳුන් වන බවයි.”
රෝ.සි.
2024.04.04
.
( සේයාරුවෙන් දැක්වෙන්නේ සුන්දර කොත්මලේ
ජලාශයයි. අපගේ කැමරා කාචය දුටු අයුරු යි...ඒ.) 
See
day in the life

No comments: