සාමාන්යයෙන් අපෙ අම්මා වැඩක් නොකර නිකරුණේ බලා ඉන්නා මොහොතක්, මගේ මතකයේ නැත. බලන බලන හැම වෙලාවක ඇය කුමන හෝ කටයුත්තක නියැලී සිටියාය.කරන කිසිවක් ඇය උඩින් පල්ලෙන්, ආවට ගියාට සිදු කලේ නැත. විශේෂයෙන් ඇය පිරිසිදු කම ගැන මහ ඉහළින්ම සැලකිලිමත් වූවාය.එතරම් තාක්ෂණික පහසුකම් ඒ කාලයේ රට තොට තිබුණේ නැත. තිබුණත් එවන් පහසුකම් අප නිවසට පැමිණ තිබුනේ නැත. සාමාන්යයෙන් දෛනිකව නිවසක සිදුවෙන සියළු කටයුතු සිදු කෙරුනේ අම්මාගේ අතිනි.ඇය තුන් වේලටම බත් මාළුව පිසුවාය. මිදුල් අතු පතු ගෑවාය. නිවසේ සිට මීටර් තුන්සීයක හාරසීයක දුරක පිහිටි ළිදකට ගොස්, දවසේ හත් අට වතාවක් කළයක් හා බාල්දියක් පුරවා වතුර ගෙන ආවාය. අප පස් දෙනෙකුගේ කිළිටි රෙදි සෝදන්නට හා දිය නාගෙන එන්නට කිලෝ මීටර් බාගයකට වඩා දුර පිහිටි දොළකට ගියාය. ඊළග මොහොතේ දර කෑල්ලක් කඩා ගන්නට යාබද රබර් ඉඩමට වැදුනාය. එකල මිරිස් ටිකක් අඹරාගන්න , පොල් ටික ගාන්න අමතර විශේෂ උපකරණ තිබුනේ නැත. මේ එදිනෙදා කටයුතු කිසිවක් කාලය මදි කියාවත්, වෙහෙසයි , තෙහෙට්ටුයි කියා අම්මා කල් දැමුවේ නැත. ඔය කී වැඩ දහය දොළහ අස්සේ වුව, පැය භාගයක් සොයාගෙන අම්මා එකල ආතම්මා බලන්නට ද ගියාය.එකල පැවැති පැය විසි හතර හා දැන් පවතින පැය විසි හතර යනු දෙකක් දැයි මට සැක සිතෙයි. වෙනදා මෙන් දැන් තුන් වේලටම, අප නිවසේ බත් ඉදෙන්නේ නැත. දිනපතාම රෙදි සේදෙන්නේ නැත. මිරිස් අඹරන්නට පොල් ගාන්නට එකල තරම් වෙහෙසක් අද දරන්නට දැන් සිදු නොවෙයි. එකල සතියකට වතාවක්වත් කැඩුණු මකුළුදැල්, දැන් මාස දෙකකට වතාවක්වත් කැඩෙන්නේ නැත. නාන්න රෙදි සෝදන්න, දැන් අප නිවසින් පිට යන්නේ නැත. නමුත් අද අපට කාලය මදි වෙයි. නැතිනම් අසනීපයක් , වෙනත් තෙහෙටුවක් මුල්වී දෛනික කටයුතු වලට බාදා පැමිණෙයි.ආපසු හැරී බලද්දී අම්මා යනු විස්මිත කෙනෙකි. ශක්තිමත් කෙනෙකි. එක්කෝ අම්මා ඉඳහිටවත් අසනීප නොවුවාය. නැතිනම් අපට නොකියා ඉවසුවාය. රැයකදි පවා රෑ දෙගොඩ හරියේ නින්දට යන අම්මා, දවාලකදී ඉඳහිට වත් නින්දට නොගියාය. හරි හැටි පොත පත අධ්යාපනයක් නොමැති වුවත්, අම්මා ළග පැවැති දැනුම, කුසලතා, කාල කළමනාකරණ හැකියා වැඩ සැළසුම් කිරීම , මූල්ය පාලනය අපිට නුහුරුය. කොටින් ම අපට අම්මා සමඟ හැරෙන්නටවත් නොහැකිය.මතකයේ හැටියට අම්මා වැඩ අත් හල අවස්ථා දෙකකි. එකක් අවුරුද්දේ නොනගතය වෙනුවෙනි. නැගත් පතේ කියවෙන ලෙසම නොනගතය එළඹෙද්දී , අම්මා ලිප ගිනි නිවා, අලු අස්කර වැඩ අතහරින්නේය. ඉස්පාසුවක් ලැබෙන එම පැය හතර පහේදී ඇය අප සමග පංච දැමීමට ආවාය. දවාලක නම් කැටයක් ගහන්නට ආවාය. එක්කෝ අප ඉස්සර කරගෙන පංසල් ගියාය. යළි ගිප ගිනි මොලවන මොහොතේ සිට වැඩ අරඹන ඇය, ඊළඟ වසරේ නොනගතය තෙක් වැඩ අත් නොහරින්නීය. ඉස්පාසුවක් නොලබන්නීය..නොනගතයට නොවී ඊළගට ඇය වැඩ අත් හැරියේ මා කී දෙවන අවස්ථාවේදීය. ඒ නොනගතයට මෙන් පැය පහ හයකට නොවේ. එදින ඇය දවස් තුනකටම සියලු වැඩ අත් හැරියේය. එම කාලය තුල වෙන්දා මෙන් ඇය පංච දමන්නට හෝ කැට ගහන්න නොපැමිණියාය. පංසල් යන්නට නොපැමිණියාය. නමුත් අප පංසල් ගොස් පැවසීමෙන් පසු ස්වාමින් වහන්සේලා නිවසට වැඩියාය. සියල්ල දෙස ඇය නිසොල්මන්ව බලා සිටියාය. අවසානයේ ඇය නිවසින් බැහැරව ගියාය. ඒ ගියායින් පසු යළි කිසි දවසක ඇය නිවසට පැමිණියේ නැත. එය ඉතා දිගු වැඩ අත් හැරීමකි. හැම අවුරුදු සමරන මොහොතක ම යළි යළි වැඩිපුර සිහිපත් වන අතහැරීමකි. වෙන්දා තරම් කැවුමක් කිරිබතක් බතක් මාළුවක් රස නොමැති මොහොතක පවා සිහිපත් වන අතහැරීමකි.සදාකාලික අතහැරී යාමකි..
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.