පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, April 26, 2024

මිනිස්සු කියනවා.



එක්තරා ධීවර ගම්මානයක අවංක හිත හොඳ ගැහැණියක් ජීවත් වුණා.
ඇයගේ සැමියා බේබද්දෙක්.
ඇයගේ ගමෙන් ආපු අයගේ ඥාති සහෝදරයෙක් ටික දවසක් මේ ගෙදර නැවතිලා හිටියා.
ඥාති සහෝදරයා ඉන්න දවස් ටිකේ මේ කාන්තාව වෙනදට වඩා පිළිවෙලට රසට හොඳට කෑම ටික හැදුවා.
ඉතිං ඇයගේ බේබදු සැමියා අතහරි කැමැත්තෙන් ඒ කෑම කෑවා.එයාලගේ ළමයි දෙන්නත් ඒ කෑම කෑවේ හරි මේ සතුටින්.
ටික දවසකට පස්සේ ඥාති සහෝදරයා යන්න ගියා.කාන්තාව ආපහු පුරුදු විදිහට අර පිරිමැස්මෙන් කෑම හදන්න පටන් ගත්තා.
එක දවසක් හොඳටම බීලා ආපු සැමියා උයල තියෙන කෑම ගැන තෘප්තිමත් නොවී ඇයට බනින්න පටන් ගත්තා.
"අරූ ඉන්න දවස්වල නම් උඹ රසට ඉව්වා.ඔව් ඉතිං බඳින්න ඉස්සර කාලේ ඉඳන් ඌ උඹේ පෙම්වතා කියල මම දන්නවා. ඌ ඉන්නකම් දිව්යලෝක රහට ඉව්වා.අපරාදේ උඹ ඌත්එක්කම ගියේ නැත්තේ. මම දන්නවා ඕක මේ ගේ ඇතුලේ ඉන්න දවස්වල උඹ නටපු නාඩගම්"
ඇයගේ සැමියා එහෙම කියලා කෑ ගැහුවා.අහල පහල ගෙවල්වල මිනිස්සු මේ කතාව අහගෙන හිටියා. බේබදු සැමියාට නම් පහුවදා උදේ වෙති ඔය කිව්ව කිසි දෙයක් මතක තිබුණෙ නෑ.හැබැයි අහල පහල ගෙවල් වල අය හිටියේ හොඳ සිහියෙන් හින්දා ඒගොල්ලන්ට මේක අමතක වුණේ නෑ.
අහවල් ගෑනිගෙ මිනිහා මෙහෙම කතාවක් කිව්වයි කියලා කතාව ගම්මානෙ ප්රසිද්ධ වුණා.සමහර අය ඇවිල්ල කාන්තාව එක්ක ඒ කතාව කිව්වා.
"ඔයාගේ ඥාති සහෝදරයා ගෙදර ඉන්න කාලේ එයත් එක්ක සම්බන්ධයක් තිබිලා මිනිහගේ අතටම අහු උනා කියලා ගමේ අය කතා වෙනවා"
කාන්තාවට හරිම කණගාටුවක් ඇතිවුණා.ටිකෙන් ටික එයාට ගෙදරින් එළියට යන්න බෑ කියලා හිතෙන්න පටන් ගත්තා.
"අරයත් මේ කතාව දන්නව ඇති. මෙයත් මේ කතාව දන්නව ඇති. මිනිස්සු මාත් එක්ක හොඳට කතා කරලා මම එතනින් ගියාට පස්සේ ඒ ගැන කතා වෙනවා ඇති.කිසිම වරදක් නොකළ මං ගැන මිනිස්සු ඒ ඒ වගේ වැරදි අදහසක ඉන්න එක මම කරපු මොන පවක් හින්දා සිද්ධ උන දෙයක්ද දන්නේ නෑ"
ඔය වගේ හිත හිත දවස් ගෙවනකොට කාන්තාවට කෑම රුචියක් නැති වෙලා ගියා.එයා කෙට්ටු වුණා.සතියකට දවසක් දෙකක් මාළු පොළට ගියත් වෙනද වගේ එයාට කෑ ගහලා මාළු ටික විකුණගන්න බැරි වුණා. එයා හැම වෙලාවෙම හිටියේ එයත් එක්ක කතා කරන හැමෝම අර කතාව දන්නව ඇති කියලා සැකෙන්. ඔහොම යනකොට කාන්තාවට ගෙදර වැඩත් අත පසු වෙන්න පටන් ගත්තා.
මේ කාන්තාවගේ ක්රියාශීලී ගතිය අඩුවෙලා ගිහින් එයා මන්දගාමී උනාම ගෙදර වැඩ පළත් දරුවන්ගේ වැඩපළත් අතපසු වුණා. ඊට සමගාමීව හුඟක් දක්ෂ ශිෂ්යයෙක් උනා මේ කාන්තාවගේ ලොකු පුතාගේ අධ්යාපන කටයුතුත් අඩාල වුණා. ලොකු ළමයා හරි වෙලාවට අධ්යාපන ශාලාවට යන්නේ නෑ.ගෙදර වැඩ කරගෙන යන්නේ නෑ. ශිෂ්යත් ඕලාරික වෙලා වගේ හිටියා.අධ්යාපනශාලාවේ ගුරුවරයා බොහොම බුද්ධිමත් කෙනෙක්.දක්ෂ කෙනෙක්.ඒ වගේම මේ ධීවර ගම්මානයේ මිනිස්සු වැඩිපුරම සලකපු මිනිහෙක් හිටියනම් ඒ තමයි මේ ගුරුවරයා. මේ ගුරුවරයා හරහා තමයි ධීවර ගම්මානය ළමයි ඉගෙන ගත්තේ.ඒ වගේම ගමට අලුත් ව්යාපාරික අවස්ථා ආවෙත් මේ ගුරුවරයා හරහා.ඉතින් ගුරුවරයත් එක්ක හොඳින් ඉන්න තමයි කාටත් ඕන වුණේ.
ගුරුවරයා මේ ශිෂ්යයාගෙන් ඔහුගේ ඕලාරික මට හේතුව අහපුවහම එයා අර කතාව ගුරුවරයාත් එක්ක කිව්වා.ඒ කියන්නේ එක දවසක් එයාගේ තාත්තා බීමතින් ඇවිල්ලා එයාගේ අම්මට වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තිබ්බයි කියලා කිව්ව කතාවක් මුළු ගමේම පැතිරිලා ගිහිල්ලා මිනිස්සු දැන් ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.මිනිස්සු ඒ ගැන කතා වෙන එක ගැන හිතලම අම්මා මානසික අව පීඩනයට ලක්වෙලා කියන එක.
"ගුරුවරයා ටිකක් කල්පනා කරලා ශිෂ්යයාට කිව්වා හොඳයි පුතා උඹ හෙට ඉස්කෝලෙ එන්න එපා උඹ අම්මත් එක්ක මාළු පොළට පලයං.මම එතෙන්ට එනවා උඹගෙ අම්මව හම්බවෙන්න,මම ඔය ප්රශ්නෙ විසඳලා දෙන්නම්" කියලා.
ඇත්තටම ශිෂ්යයා පහුවදා අම්මත් එක්ක මාළු පොළට ගියා.ටික වෙලාවක් යනකොට සෙනඟ පිරිලා තියෙන වෙලාවක් බලලා ගුරුවරයාත් මාළු පොළට ගියා.ගුරුවරයා වටපිටාව හොඳට බලමින් අර කාන්තාව ඉන්න තැන හොයාගෙන ගියා.ඒ අතරේ මහලු පොළේ හිටපු හුඟක් දෙනෙක් ගුරුවරයාට නොමිලේ මාළු තෑගි දෙන්න ඉදිරිපත් වුණා.ඒත් ගුරුවරයා ඒ එක තෑගක්වත් බාරගත්තේ නෑ. ගුරුවරයා ගිහිල්ලා කාන්තාව ළඟ නැවතුණා.
"මට මේ එළු මස් එකෙන් රාත්තල් පහක් දෙන්න" තලපත් මාළු පෙන්නපු ගුරුවරයා කිව්වා. ගුරුවරයාට වැරදීමක් වෙලා කියලා හිතපු කාන්තාව "හොඳයි ගුරුතුමනි මේ අලුත්ම තලපත් මාළු කියලා කිව්වා.
"තලපත් නෑ නෑ මට ඕන ඒ එලු මස් වලින් රත්තල් පහක්"
"අනේ ගුරුතුමනි මේ එළු මස් නෙමෙයි මේ තලපත් මාලු"
"තලපත් මාළු.උඹට පිස්සු හැදී ගැනෙනවද මම දන්නෙ නැද්ද එළු මස් මොනවද තලපත් මාළු මොනවද කියලා මේ එලුමස්"
කාන්තාව පුදුම වෙලා බලාගෙන හිටියා ගුරුවරයට පිස්සු හැදිලාවත්ද?
"ගුරුතුමනි මේ මාලු පොළ මේකේ කොහෙද එළු මස් ඇත්තටම මේ තලපත් මාළු"
"මොන පිස්සුද මේ එළු මස්"
ගුරුවරයයි කාන්තාවයි වාද කරන්න පටන් ගත්තා. තවමත් යටහත් පහත් වුණත් කාන්තාව ස්ථිරව කියනවා මේ එළු මස් නෙමෙයි තලපත් මාළු කියලා. ටිකක් වෙලා මේ දිහා බලාගෙන හිටපු කාන්තාවගේ ලොකු පුතා අම්මට කිව්වා "අම්මේ ඉතිං ඕක තලපත් වුනත් එළුමස් උනත් මොකද .ගුරුවරයා සල්ලි දීලානේ අරගෙන යන්නේ ඕක දෙන්නකෝ" කියලා.
ඒත් කාන්තාව ඒකට කැමති වුණේ නෑ.ටික වෙලාවක් යනකොට ළඟ හිටපු මාළු වෙළෙන්දෝ ඔක්කොම මේ වටේට එකතු වුණා.ගුරුවරයා ස්ථීරවම කියනවා මේ එළු මස් කියලා.කාන්තාව ස්ථිරවම කියනවා මේ තලපත් මාළු කියලා.ටික වෙලාවක් යනකොට වටේට හිටපු ඔක්කොමත් කියන්න පටන් ගත්තා මේ එළු මස් තමයි කියලා.මේ වගේ වාදයක් විවාදයක් යන වෙලාවක ගන්නවනම් ගන්න ඕන වැඩිපුර වාසිදායක පැත්තනෙ.ගුරුවරයා තරහ කරගෙන බෑ.
"ඔව් ඔව්.මේ.එලු මස්.උඹට මොනවා වෙලාද උඹ එළු මස් අඳුරන්නේ නැද්ද?මේ ගුරුවරයාට ඔන්න ඔය එළුමස් ටික දීලා දාපන්"
"උඹලට පිස්සුද මේ මාළු පොළ.මේ තලපත් මාළු.මම උපන්දා ඉඳන් අඳුරනවා මේ තලපත් මාළු කියලා.හැබෑටම උඹලා ඔක්කෝටම පිස්සු හැදිලද?"
දැන් මුළු මාළු වෙළඳපොළම කියනවා ඒ එළු මස් කියලා.හැබැයි මේ කාන්තාව විතරක් තවමත් කියනවා මේ තලපත් මාළු කියලා.ගුරුවරයා ටික වෙලාවක් නිහඬව හිටියා.
" උඹ ටිකක් හිතපං..මේ තියෙන්නේ එළු මස් නෙමෙයි තලපත් මාළු කියලා මෙතන ඉන්න ඔක්කොම හොඳටම දන්නවා. හැබැයි තමන්ගේ වාසිය වෙනුවෙන් මාව අමනාප කරගන්න උන් එකෙක්වත් කැමති නෑ.මම අමනාප වුනොත් උන්ට ලැබෙන වාසි හුඟක් නැතුව යනවා.ඉතිං මේ තලපත් මාළු නෙවෙයි එළුමස් කියලා මම කියපු බොරුව ඇත්ත කියලා ඔප්පු කරන්න මුන් මාත් එක්ක එකතුවෙලා උඹට විරුද්ධව කෑගහනවා.මේ ජාතියේ මිනිස්සු උඹ ගැන කියන කතා ගැනද උඹ කනගාටු වෙන්නේ? මුන් උන්ගෙ වාසියට ඕන බොරුවක් ඇත්ත කරන ජාතියේ මිනිස්සු.උඹ කැමතිනම් තවත් කාලයක් මුං ඔබ ගැන කියන බොරුවලට දුක් වෙවී හිටපන්"
ඊට පස්සේ කාන්තාව අර බොරු කතාව ගැන මිනිස්සු මොනවා කතා වෙනවද කියලා හිතන්න ගියේ නෑ. මිනිස්සු කියන්නේ උන්ගේ වාසියට ඕන බොරුවක් ඇත්ත කරලා කතා කියන ජාතියක්. ඒක හින්දා ඒගොල්ලෝ ඔයා ගැන කියන බොරු කතා ගැන වද වෙන්න යන්න ඕන නෑ

සුජාතා මැණිකේ ඉහළගෙදර


A day in the life

1 comment:

Lalith said...


ඒකනම් වටිනා උපදෙසක් දෙන කථාවක් .