අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Sunday, April 28, 2024

4/28/2024 03:08:00 pm
1


පාන්දරම ගෙදර පුංචි සද්දයක් . රුවන්ට මොනවටදෝ හොඳටෝම කේන්ති ඇවිදින් . හැමදාම උදේට රාජකාරියට නික්ම යන්නට පෙරාතුව , ඔහු ඇයට පිරිනමන උනුසුම් හාදුව පිරිනැමුවෙ නැහැ අද . හැමදාම ඇය රුවන් පසු පස මද දුරක් එනවා පසු ගමන් . ඒ පුරුද්දට අදත් ඇය එන්න හැදුවත් ඔහු ඇගේ ඇඟට කඩා පැන්නා. " ඕනේ නැහැ තමුසෙ එන්න "
ඔහු කෑගැසුවා . ඇගේ දෙනෙත් කඳුළින් පිරුණෙ ඉබේටමයි. ඔහු කාමරයෙන් ඉවතට යනතුරු ඇය ඔළුව ඉස්සුවේ වත් නැහැ . රුවන් විදුලි පහනත් නිවා දමලා, දොරත් වසා ගෙනමයි පිටවී ගියේ . ඇයට කෑ ගහලා අඬන්න තරම් වේදනාවක් හිතට දැනුනා . එහෙත් අනුන්ගේ ගෙදරක , පුංචිම පුංචි කාමරයක තාවකාලිකව පදිංචිව සිටින ඔවුනට , විශේෂයෙන්ම ඇයට හිතේ වේදනාව පහවෙනතුරු අඬන්නට වත් නිදහසක් තිබුණේ නැහැ .ඇය ඇඳට පැන්නා . කොට්ටයත් හපාගෙනම ඇති වෙනතුරු අඬා වැටුණ.
කාමරය එකම අවුල් ජාලයක් වගේ . තේ හදපු , බීපු කෝප්ප එක තැනක . ඇඳුම් අයන් කරපු මේසෙ එලපු රෙදි එහෙම්මම , ඔහු ඇඳ සිටි සරම ඇඳ කෙලවරක , තෙත තුවාය තව තැනක . ඇයට පිස්සු වගේ . අද මේ කිසිම දෙයක් අස්කරන්නෙ නැහැ ඇය කේන්තියෙන් හිතුවා . ඔහු හවස එනතුරා සියල්ල මේ අයුරින්ම තැබිය යුතු යැයි ඇය කල්පනා කළා . දන්නෙම නැහැ . ඇයට නින්ද ගිහින් .
හෝරාවක් දෙකක් තරම ගෙවෙන්න ඇති . ඇය අවදිවුනේ පුංචි කුසගින්නක් දැනිල . හිතේ කේන්තියත් ඉවරයි. ඇය ඔහුගේ පෙර දින ඇඳි කිලිටි කමිසය දෝතින්ම ගෙන තම මුහුණට ලංකරගත්තා. සිප ගත්තා . රුවන්ගෙ එකම එක හාදුවකින් දැනෙන උනුසුම ඇයට දැනෙන්න ඇති .ආත්ම ගනනක් පුරාවටම තමා හා සෙනෙහසින් බැඳී හුන් සුවඳ එයම නොවේදැයි ඇයට සිතුනා.
ඇය ඇඳෙන් බැස්සේ අමුතුම උද්යෝගයකින්. හාල් ටිකක් සෝදා ගරා ලිපේ තැබුවා . එළවලුවක් , මාලුවක් , මැල්ලුමක් හැදුවා . කිලිටි රෙදි සේදුවා. කාමරය අස් පස් කළා . ඇගේ හිත පුදුම තරම් සැහැල්ලුවකින් පිරිලා .ඇඳ පැළඳගෙන නගරයට ගියා . රුවන්ගෙ කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තා .( ඒ කාලෙ අද වගේ හෑන්ඩ් පෝන් තිබුණේ නැහැ හොඳේ. ) දුරකථනයෙන් ඔහුගේ හඬ ඇහෙද්දි ඇය ගොළු වුනා . කතා කරගන්න බැරි වුනා යලිත් .

         " හලෝ ...... හලෝ "

ඔහු කීප වරක්ම කිව්ව.
"කතා කරන්න ළමයෝ..........."
ඔහු යලිත් කිව්ව.
" තරහ ද රුවන් .......? "
ඇයට කියාගත හැකිවුණේ එච්චරයි . ඇය ඇඬුවා . ඔහුට දුක හිතෙන්න ඇති .
" නෑ රත්තරනේ ......" ඔහු කිව්ව.
" අද මං කලින් එන්නම් . අපි හවසට
කොහේහරි ඇවිදින්න යමු "
ඔහු කිව්වේ උතුරා යන සෙනේහයකින්. ඇය සංතෝසෙන් ගෙදර ආවෙ තටු ලැබිච්චි පුංචි කිරිල්ලියක් වගේ . යුග දිවිය මොන තරම් විවිධාකාරද කියලා ඇය හිතුවා . විටෙක කඳුළ , සුසුම , තවත් විටෙක .....සතුට .......... අඹුසැමියන් අතරේ අමනාපකම් පවතින්නේ බත ඉදෙනතුරා පමණක්ම කියලා කවුදෝ කියපු කතාවක් ඇයට මතක්වුනා . ඇය තනිවම සිනාසුණා. වෙනදාටත් වඩා උනන්දුවකිනුයි අද ඔහු එනතුරා පාර බලාගෙන උන්නෙ ඈ......
---කාන්ති ඉපලවත්ත.


A day in the life

1 comments:

Lalith said...

ලස්සනයි.......