ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2026-03-23

ධර්මසිරි රාජපක්‍ෂ මානව හිතවාදියාට ලියු කවි.


ධර්මසිරි රාජපක්‍ෂ මානව හිතවාදියා



ධර්මේ මචං,
අපි හමුවෙනවා නිසැක
රත්නපුරේ, කුරුවිට, කඳන්ගොඩ විසූ,
ධර්මසිරි රාජපක්ෂ නම් මානව දයාවෙන් පිරිපුන් සුවිශිෂ්ට කවියාට උපහාර පිණිස යි.
1985 වසරේ දී, මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන " සක්මන් මළුව " මහනුවර ඩී. එස්. සේනානායක පුස්තකාලයේ දී දොරට වඩිනා මොහොතේ, මේ හෘදයාංගම අහිංසක අසිරිමත් මිනිසා සිරිපොද වැස්සේ වන විහඟෙකු සේ තෙමීගෙන ඇවිත්, ආදරයෙන් මා වැළඳගෙන මට සුබ පැතූ හැටි මතක්වන විට අදත් මා දෑස තෙමී යයි.

මේ අදීන, නිර්ව්‍යාජ, අහිංසක කවියා දේසපාලුවන්ගේ හේත්තුවෙමින්, උන්ගේ දෙපා ලෙවකමින්, උන්ට කවි සිංදු ලියමින්, තනතුරු තානාන්තර සිඟමින් කිසිදාක සිය ආත්මය පාවා දුන්නේ නැත.

මේ කවිය මම ඔහුට පූජාකරමි.


රත්නපුරේ ගංගා ද්‍රෝනියක             යට
තෙත් ව ඛනිජ නිධිගත වන සුලිය     පිට
රත් ව කැකෑරෙන දාඩිය       එකතුකොට
හුස්ම ගලා යයි උල්පත්         කවියකට

උලා කෑව දිවියක ලුණු රස         ගිහිණී
සදා වමාරා කන දුක කැටි            ගැසුණී
පලා ගිරව් වැලපෙන විරිතක         පැමිණී
නුඹේ සියුම් හදවත වෙණ නද         ඇසුණී

මිනිසත් සුවඳ උතුරන සුලකර         බසිනී
පොහොසත් කවක ගලනා රුධිරය     පිරුණී
මුඳුනත් බඳින වෙසතුරු මනසක     යටිනී
පැහැපත් හදින් බෝසත් අරුණලු     වැටුණී

සාස්පාන සූරා කන             දිවියකට
රාස්සිගේ අව්වෙන් ගිනි     පිඹිනකොට
දෑස් කොනින් උතුරා යන     කඳුළු කැට
වාස්තවික අනුභූතිය         කවියකට

ලෑටි ගෑව උරුමෙක කඩතොළු     මතිනී
නාටකීය විසුළු ය අම රස         ගිහිණී
ශෝචනීය හූමිටි කර පිට         පැමිණී
සාධනීය කවියක ගැඹුරට         හැරුණී

ගල්ලැහැ පැදුර උඩ වියැලී යන         කඳුල
බොල් වී දහයියා පොතු කැරපොතු     ඉඳුල
ඇල්මෙන් තැවුල උකහා දිවියෙන්         වගුල
ලොව්තුරු හැඟුම් ඉතිරූ හදකි ය         උදුල

දෙනගම ඥානවතියගෙ උණු කඳුළු         ගෙන
නුඹ ලිව් කවිය පුපුරයි හදවතට             පැන
දෙනගම වැවේ රතු මානෙල් පිපෙන         දින
කිරලුනි පොළොවෙ හැපි හැපි යළි හඬනු     මැන

රබර් යාය මැද කිරි කපනා             දුවක
රිදුම් දෙමින් කකියන පැහැසර         ළයක
හැඬුම් පුරා සැඟවෙන නොකියන     පෙමක
උදම් හැඟුම් වැගිරෙයි නුඹගේ         කවක

තනියා ගසා අම්මා මිය ගිය         සොවිනී
වෙව්ලා හඬන විට අසරණ වූ         දියණී
වැලපී හඬා වැටෙනා ළතැවුල         යටිනී
අහුලා ගන්ට උපමා රූපක             තිබුණී

මොණර බිජු ද පුපුරා යන         ගිනියමක
අඟුරු කකා මිරිදිය බොන         සරතැසක
පඳුරු ලලා සෝගිනි දලු ලන         බිමක
අඳුර ඉරා සඳ දිය ගැලුවා             කවක

වහ බී මෙලොව හැර ගිය         පොඩිනංගීට
ගහ බඩගාන මළපොත බැරි             අයියාට
රහමෙර රහක දුක සඟවන             ගැමියාට
නොකියන කවක් කොහිවෙද මේ         කවියාට

කම්පාවකින් උලලේනෙකු             ඉකිබිඳින
ගිම්හානය ම සංධ්වනියක් සේ         විඳින
සීතල සිංහරාජයෙ තුරු පත්             තුඩින
නංගිගෙ සෙනෙහෙ වීණාවේ තත්         සිඳිණ

සිරිපා ගමන වැටිලා ඇති             එරත්නට
ගලනා සුදෝසුදු මීදුම් වලා                 යට
නොමියෙන අකුරු ඉකිලන නිම්නයෙන්     වට
නිදි නැති නදිය ම ය ධර්මේ නුඹ         අපට

පෑන් තුඩින් ගෙන දුහුවිලි             මකරන්ද
රිදුම් විඳුම් මිරිකා මීවද                 බැන්ද
දැහැන් ගත ව නුඹ ලබනා කෙටි         නින්ද
ඉතින් අපට උහුලන්නට ද             පුළුවන්ද

වැටි වැටි නැඟිට හති ලන මඟ         අතරමඟ
ඉර සේවයට කලියෙන් තව දුරක්             නැඟ
විඳිනට මචං උතුරන සඳ වතුර                 දඟ
නවතිමු ටිකක් නෝනගෙ අම්බලම             ළඟ

සත්‍යයෙ පුෂ්පයේ සුවඳින් පිරි                 බිමක
සංසාරය ම කවියෙන් කියවන                 දිනක
නිර්වාණයට හූවක දුර ඇති                 ඉමක
ධර්මේ මචං අපි හමුවෙනවා                 නිසැක



- කුමාර හෙට්ටිආරච්චි

A day in the life

0 ප්‍රතිචාර: