2026-03-22

3/22/2026 08:30:00 pm


හේමා කුමාරිගේ නම උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ "ඕලු පැලියාවගේ හේමාවතී මල්ලිකා පීලිපොළ" යන නමිනි. රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක ඇය සේවය කරන්නීය. සිය උප්පැන්න සහතිකයේ නම දීර්ඝ බැවින් එය භාවිතයේ පහසුවට කෙටි කර ගැනීමට ඇයට උවමනා විය.
ඒ සඳහා උප්පැන්න සහතිකයේ නම සංශෝධනය කිරීම අවශ්‍ය නොවන බව ද අදාළ චක්‍රලේඛයක් පවතින බව ද ඇය අසා තිබිණි. චක්‍රලේඛය සොයාගත් පසු ඇය නියමිත පරිදි "හේමා කුමාරි සෙනරත්" යනුවෙන් නම රාජකාරි කටයුතු සඳහා වෙනස් කර ගත්තා ය. වසර දහයකටත් වඩා ඇය කිසිදු ගැටලුවකින් තොරව කාර්යාල කටයුතුවල දී මෙම නම භාවිතා කළා ය.
ඇගේ සේවා ස්ථානයේ ආයතනික සහ මානව සම්පත් අධ්‍යක්ෂක ලෙස නවක නිලධාරියෙක් රාජකාරි ඉටු කිරීමේ පත්වීම් ලබා පැමිණියේ ය. ඔහු විශ්වාස කරන්නේ උප්පැන්න සහතිකයේ තිබෙන සම්පූර්ණ නම හැර වෙන නමක් භාවිතා නොකළ යුතු බවයි.
දැන් නවක විධායක නිලධාරියා වසර දහයක් පුරා ඇය භාවිතා කළ නම නීත්‍යානුකූල නොවන බවට ඇයට උපදෙස් ලබා දෙයි. ඇයට මෙම කෙටි නම භාවිතා කිරීමට අවශ්‍ය නම් උප්පැන්න සහතිකයේ ද සංශෝධනයක් සිදු කරගන්නා ලෙස ඇයට දැනුම් දී ඇත. ඇය මෙතෙක් භාවිතා කළ නම ඇතුළත් කරමින් සිය ප්‍රථම තීරු බදු රහිත වාහන බලපත්‍රයට අයදුම් කළාය. මානව සම්පත් අධ්‍යක්ෂවරයා එම අයදුම්පත යොමු කිරීම ප්‍රතික්ෂේප කරයි.
දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළ ද ඔහුගේ මතය වෙනස් නොවේ.
මේ පිළිබඳ නීතිමය තත්ත්වය විමසා බලමු.
රජයේ සේවයෙහි හෝ පළාත් රාජ්‍ය සේවයෙහි හෝ නියුක්තව සිටින සේවකයෙකුට 1951 අංක
17 දරණ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන වලින් බැහැරව රාජ්‍ය සේවයේ සියළුම කටයුතුවලට බලපවත්වන පරිදි නම සංශෝධනය කළ හැකි ය.
ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම සඳහා බල පවත්වන්නේ 1951 අංක 17 දරණ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතයි. එමෙන්ම 1975 වසරේදී සකස් කරන ලද රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත් පොතෙහි උපත් හා මරණ ලියාපදිංචිය සහ සංශෝධනය කිරීමේ කාර්ය පටිපාටිය දක්වා ඇත.
පුරවැසියන්ගේ උප්පැන්න සහතිකයේ නම සංශෝධනය කරන්නේ නම් එය කළ යුත්තේ උප්පැන්න සහතිකයේ 13වන තීරයේ සංශෝධනයක් ලෙස ය.
ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පනතේ 27 වගන්තියෙහි සහ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත් පොතෙහි X පරිච්ඡේදයේ 4 වන කොටසේ 412 වගන්තියෙහි දැක්වේ.
රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයෙහි නියුක්තව සිටින රාජ්‍ය නිලධාරියෙකුට නම වෙනස් කිරීමට අවශ්‍ය නම් සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉදිරිපිට දී නම වෙනස් කිරීම සඳහා නියමිත ආකෘතියෙහි ප්‍රකාශයක් සිදුකිරීමෙන් නම වෙනස් කරගත හැකිය.
එහි විශේෂත්වය නම් උප්පැන්න ලේඛන සටහන විධිමත් ලෙස වෙනත් නොකර ම රජය විසින් සියලුම කටයුතු සඳහා මෙම සංශෝධනය පිළිගනු ලැබීමයි.
ඒ සඳහා පුද්ගලයාගේ උප්පැන්න සහතිකයෙහි නමෙහි කොටසක් තිබීම ද අවශ්‍ය නොවන බව මෙම වගන්ති වලින් පෙනී යයි.
එම ප්‍රකාශය පිටපත් තුනකින් යුතුව සිදුකළ යුතු ය. දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නම සංශෝධනය අනුමත කිරීමේ ලිපියක් නිකුත් කරයි.
එම ලිපිය නිලධරයාගේ පෞද්ගලික ලිපි ගොනුවේ මෙන්ම පත්වීම් බලධරයා සතුව ද පිටපතක් තැබිය යුතු ය.
එනම් උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහන් වෙනස් කිරීමට කිසිසේත් අවශ්‍ය නොමැත.
මෙම සංශෝධිත නාමය නිලධාරියාගේ රාජ්‍ය සේවයේ සියලුම කටයුතු සඳහා මෙන්ම විශ්‍රාම ගැන්වීම සඳහා ද අදාළ වේ. පත්වීම් ලිපියෙහි මුල් නම තිබීමද ඉහත ප්‍රතිපාදනවලට අනුව ගැටලුවක් නොමැත.
මේ සඳහා ප්‍රතිපාදන ඇත්තේ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොතෙහි 327 වගන්තියෙහිය.
ඒ අනුව භාණ්ඩාගාර චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
1957 අගෝස්තු 18 දින නිකුත් කරන ලද භාණ්ඩාගාර 394 චක්‍රලේඛය මේ සම්බන්ධයෙන් ආකෘතිය ඉදිරිපත් කරයි.
මේ සඳහා පුද්ගලයකුට විවිධ මත තිබිය හැකි වුව ද නීතිය මගින් එබඳු ප්‍රතිපාදනයක් සලසා ඇත. එම ප්‍රතිපාදන වලංගුව තිබෙනතාක් ඒ අනුව සිය නම සංශෝධනය කරන රජයේ නිලධාරීන්ට කිසිදු නීතිමය ගැටලුවක් රාජ්‍ය සේවය තුළ පැන නොනගී.
විශේෂයෙන්ම විධායක නිලධාරීන්ගේ පුහුණු සැසිවල දී ද මේ පිළිබඳව දැන නොසිටි බව පෙනී ගිය හෙයින් මෙම ලිපිය ලිවීමට සිතිණි.
එමෙන්ම මෙසේ නිසියාකාරව නම වෙනස් කළ නිලධාරිනියන්ට ද නිලධාරිනියන්ට ද කාර්යාල කටයුතු වල දී ඔවුන්ගේ උප්පැන්න සහතිකයෙහි තිබෙන පෙර නම යළිත් ලියන ලෙස ඇතැම් ආයතනවල ද උපදෙස් දෙනු නිරීක්ෂණය කළෙමි.
ඒ මේ පිළිබඳව ඇති නෛතික විධිවිධාන ගැන අවබෝධයකින් තොරවීම නිසාය.
අදාළ චක්‍රලේඛයෙහි ඡායාරූපයක් ද වෙනස් කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියාට යොමු කළ යුතු ආකෘති පත්‍රය ද පහත කොමෙන්ටුවක දක්වා ඇත.
මෙම ලිපිය ප්‍රයෝජනවත් වේ යැයි සිතන්නේ නම් කතෘ අයිතිය සුරකිමින් බෙදා හරිනු මැනවි.







ආචාර්ය රෝෂණී දිසානායක
(C)@Dr.Roshanie.Dissanayake

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: