ඉරානය ……
එක්වරම සිහිපත්වන්නේ “ උමා ඔයේ හිලය “
හිලෙන් උපන්නෝ දැන් කුමාරවරුය .ඔවුන් ඉරානය කෙරෙහි දක්වන ප්‍රතිචාර දෙස අපි බලා සිටිමු.
ඉරානය…
අරාබි රටක් නොවේ . එය පර්සියාණු රටක්.
භාෂාව ෆාසි (Persian) .අකුරු ටිකක් සමා වුනත් භාෂාව වෙනස් .කතා විලාශය වෙනස්.
ජනගහනය මිලියන අනූ දෙකක් (92 ) කට ආසන්නයි. 60% වඩා තරුන ජනගහනයක් ඉන්නවා.
ඉරාන විශ්ව විද්‍යාල වල වැඩිපුරම අධ්‍යාපනය ලබන්නේ කාන්තා ළමයි. එය 70 % විතර ප්‍රතිශතයක්.
ගොඩාක් අරාබි රටවල් සුන්නි මුස්ලිම්වරුන් ඒත් ඉරානින් ෂියා මුස්ලිම්වරුන්.
ඉරානය .
අවුරුදු 7000ක් පැරණ ශිෂ්ටාචාරයක් තියෙන රටක්!
පර්සියානු රාජධානිය, පරණ නගර, කලාව, සාහිත්‍ය — මේව හැමදේම ලෝක ඉතිහාසයට බලපාපු දේවල්.
මැජික් ….පර්සියාණු සාහිත්‍යෙයන් උපන් කලාවක්.
ඛනිජ සම්පත් ගැන හිතනකොට ලෝකයේ විශාලතම ගෑස් නිධි අතර දෙවෙනියට ඉරානය ඉන්නවා.
මෙහෙව් ඉරානයට කෙළ හලන්න ඇමරිකාවට හේතු හදා ගන්න ඕන කියලා අමුතුවෙන් හිතන්න ඕන නැහැනේ.
ඉරානය, සෑම අර්බුද අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සමග එකට සිටි කල්‍යාණ මිතුරෙකි. ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ජිනීවා මානව හිමිකම් කවුන්සලේ දී ශ්‍රී ලංකාවට රැහැනිව එකට සිටගත් සෑම විටම, ඉරානය සිටියේ ශ්‍රී ලංකාවේ අප සමඟ ය. බොහෝ ඈතට දිවයන ශිෂ්ඨාචාරයක උරුමය, අපට මෙන්ම ඔවුන්ට ද හිමි ය.
ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වඩාත් වෛර කරනුයේ ශිෂ්ඨාචාරමය උරුමයක් සහිත ජාතීන්ට ය. එවැනි සභ්‍යත්වයන්ට ය. ඒවා මිහිතලයෙන් මකා දැමූ කල ඔවුන්ගේ කෙටිකාලීන ඉතිහාස කතාව වීරත්වයට ඔසවා තැබිය හැක.
ඊශ්‍රායලය හඹා යන්නේ "පොරොන්දු දේශය" අත්පත් කර ගැනීමේ අරමුණ . එයට රැහැනිව සිටින්නේ කවුද, ඒ සියලු දෙනා යුධමය වශයෙන් වැනසිය යුතු යයි ඊශ්‍රායලය සිතයි.
මෙහෙම වියමන් කරලා තිබුනේ විමල් වීරවංශයන්.
මේ ලියැවෙන්නේ ලෝකයම කම්පා කළ, වත්මන් දේශපාලන කරළියේ බරපතළම හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳවයි. අද වන විට මැදපෙරදිග කලාපය සාමාන්‍ය ගැටුම් මාලාවකින් ඔබ්බට ගොස්, සෘජු හා විවෘත යුධ ප්‍රකාශ කිරීමක් දක්වා උඩු යටිකුරු වී තිබේ. මෙය හුදෙක් පුවත් සිරස්තලයක් පමණක් නොව, මුළු මහත් මානව සංහතියේම හෙට දවස තීරණය කරන තීරණාත්මක මොහොතකි. අද අපි දකින්නේ වසර ගණනාවක් තිස්සේ සෙවනැලි සටනක් ලෙස පැවති ඉරාන-ඊශ්‍රායල ගැටුම, දැන් විවෘත මහපාරේ සිදුවන සෘජු ගැටුමක් බවට පත්ව ඇති ආකාරයයි. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයත් සමඟ මුළු කලාපයම දැවෙන ගිනි ගොඩක් බවට පත්ව තිබේ.
දශක හතරකට වැඩි කාලයක් ඉරානය සහ බටහිර ලෝකය අතර පැවතියේ වක්‍ර සටනකි එනම් 'Proxy War' එකකි. නමුත් දැන් එම තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වී ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ව ඉරාන පාලන තන්ත්‍රය මුලිනුපුටා දැමීමේ සෘජු මෙහෙයුමකට අවතීර්ණ වී ඇත. ට්‍රම්ප්ගේ ප්‍රකාශය පැහැදිලිය. "ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමි කර ගැනීමට ඉඩ නොතැබිය යුතුය." මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ "සම්පූර්ණ බලය යෙදවීම" හරහා ඉරාන පාලනය බිඳ දැමීමයි.
ටෙහෙරාන් නුවර සිට ඉස්ෆහාන් දක්වා වූ ප්‍රධාන නගර ගණනාවකින් මහා පිපිරුම් හඬවල් ඇසෙන්නට පටන් ගෙන ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනතාවට බෝම්බ ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී තිබේ. පාසල් වැසී ඇත, මහා මාර්ග පාළු වී ඇත, මුළු මහත් දේශයක්ම මරණ බියෙන් වෙලී සිටී. තත්ත්වය තවත් උණුසුම් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "Epic Fury" (එපික් ෆියුරි) නමින් හැඳින්වෙන මහා පරිමාණ යුධ මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර තිබේ.
ට්‍රම්ප් පවසන්නේ ඉරාන පාලනය ලෝකයට සහ ඇමරිකාවට එල්ල කරන තර්ජනය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ වසර ගණනාවක් තිස්සේ පැවති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත. පෙබරවාරි මාසයේදී යළි ආරම්භ වූ න්‍යෂ්ටික සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු දැන් අළු වී ගොසිනි. ඇමරිකාව දැන් උත්සාහ කරන්නේ ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමටය. මෙය හුදෙක් යුධමය ප්‍රහාරයක් පමණක් නොව, ඉරානයේ දේශපාලන නායකත්වය ඉලක්ක කරගත් සැලසුම් සහගත මෙහෙයුමකි.
ඉරානය ද අතහැරියේ නැත. ඔවුන් වහාම ක්‍රියාත්මක වී ඊශ්‍රායලය දෙසට බැලස්ටික් මිසයිල වැලක් මුදා හැරියේය. ඊශ්‍රායල අහස මිසයිල වලින් පිරී ගිය අතර, ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක විය. එසේම ඇමරිකානු කඳවුරු වලට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් පෙළඹී ඇත. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට දරාගත නොහැකි දේශපාලන පිරිවැයක් ඇති කිරීමයි.
මෙම ගැටුම දෙස බලන විට අපට පෙනී යන කරුණු කිහිපයක් තිබේ. ඇමරිකාව උත්සාහ කරන්නේ ඉරාන පාලනය පෙරළා දැමීමටයි. නමුත් ඊශ්‍රායලයේ අභිලාෂය මීට වඩා වෙනස් විය හැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉරානය නමැති රාජ්‍යය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර, ලෝක සිතියමෙන් අතුගා දැමීමටයි. ඇත්තටම ට්‍රම්ප් සහ ඊශ්‍රායලය මේ තරම් ඉරානයට බය වන්නේ ඇයි?
එහි විද්‍යාත්මක පදනම තිබෙන්නේ යුරේනියම් සමස්ථානික වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළයි. ස්වභාවික යුරේනියම් වල තිබෙන යුරේනියම් 235 ප්‍රමාණය ඉතා අඩුයි. බලශක්තිය නිපදවීමට මෙය 3% - 5% දක්වා සාන්ද්‍රණය කළ යුතු වුවත්, න්‍යෂ්ටික අවියක් නිපදවීමට නම් එය 90% ක් දක්වා "බලගැන්විය" යුතුයි.
ඉරානය සතු 'Centrifuges' යන්ත්‍ර දහස් ගණනක් මගින් මෙම ක්‍රියාවලිය සිදු කරනවා. විද්‍යාත්මකව ගත්කල, 60% දක්වා යුරේනියම් බලගැන්වූ රාජ්‍යයකට 90% සීමාවට ළඟා වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. මෙය "Breakout Time" ලෙස හැඳින්වේ. ඊශ්‍රායලයේ ප්‍රහාරයන් ප්‍රධාන වශයෙන්ම එල්ල වන්නේ මෙම භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමිනි.
ඉරානය සතු විශාලතම ශක්තිය වන්නේ ඔවුන්ගේ මිසයිල බලඇණියයි. "Fattah" වැනි හයිපර්සොනික් මිසයිල ශබ්දයේ වේගය මෙන් 15 ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි බව ඉරානය පවසයි. මෙහි විද්‍යාත්මක විශේෂත්වය වන්නේ මේවා පෘථිවි වායුගෝලයෙන් ඉවතට ගොස්, නැවත ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් අධික වේගයෙන් ඉලක්කය කරා කඩා වැදීමයි. නූතන ඉරාන මිසයිල GPS සහ Inertial Navigation පද්ධති භාවිත කරන නිසා, මීටර් කිහිපයක නිරවද්‍යතාවයකින් පහර දිය හැකියි.
මෙයට පිළිතුරු ලෙස ඊශ්‍රායලය භාවිතා කරන "Iron Dome" සහ "Arrow-3" පද්ධති ක්‍රියා කරන්නේද ඉතා සංකීර්ණ ගණිතමය ඇල්ගොරිතම මතයි. පැමිණෙන මිසයිලයක ගමන් පථය තත්පරයෙන් පංගුවකදී ගණනය කර, එය අහසේදීම විනාශ කිරීමට තවත් මිසයිලයක් යැවීම හා ඒවා අහසේදීම ගැටීමට සලස්වා විනාශ කිරීම සැබවින්ම විද්‍යාත්මක ප්‍රාතිහාර්යයකි.
කෙසේ හෝ මේ සටන අතර තුර න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට හෝ රසායනික ගබඩාවකට ප්‍රහාරයක් එල්ල වුවහොත් සිදුවන විද්‍යාත්මක හානිය අතිමහත්ය. විකිරණශීලී කාන්දුවීම් ඇතිවුවහොත් හුදෙක් ඉරානයට පමණක් නොව, සුළං ප්‍රවාහ හරහා මුළු මැදපෙරදිගටම බලපාන පාරිසරික ව්‍යසනයක් විය හැකියි.
දැන් මේ සටන භෞතික අවි වලට පමණක් සීමා නොවේ. ඉරානයේ පාලන පද්ධති අකර්මණ්‍ය කිරීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය ලොව දියුණුම සයිබර් වෛරස් භාවිතා කරයි. මෙය පරිගණක විද්‍යාව යුධ අවියක් ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනයි. මෘදුකාංග කේතයක් මගින් යන්ත්‍ර සූත්‍ර භෞතිකව විනාශ කළ හැකි බව ලෝකය මුලින්ම දුටුවේ මෙම කලාපයෙනි. මීට පෙර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල පාලන පද්ධති අවුල් කිරීමට 'Stuxnet' වැනි මෘදුකාංග වෛරස් යොදා ගැනුණි. අද වන විට AI මගින් සතුරන්ගේ විදුලි බල පද්ධති, සන්නිවේදන ජාල සහ බැංකු පද්ධති අකර්මණ්‍ය කිරීමේ හැකියාව දෙපාර්ශවය සතුවම පවතී.
අසල්වැසි අරාබි රටවල ස්ථාවරය? සෞදි අරාබිය වැනි රටවල් ඉරානය සමඟ මිත්‍රත්වයක් නොපැවැත්වූවත්, තම අසල්වැසි රටක සිදුවන සිවිල් යුද්ධයක් හෝ අස්ථාවරත්වයක් ඔවුන්ට දරාගත නොහැක. මිලියන 92 ක ජනගහනයක් සිටින ඉරානය කඩා වැටුණහොත් නිර්මාණය වන සරණාගත අර්බුදය මුළු කලාපයටම බලපානු ඇත.
ඉරාන ජනතාවගේ හඬ? ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව එරට අභ්‍යන්තරයේ විරෝධතා පවතින බව රහසක් නොවේ. නමුත් විදේශීය ප්‍රහාරයක් එල්ල වන විට ජනතාව තම රජයට එරෙහිව නැගී සිටීවිද, නැතහොත් රට වෙනුවෙන් එකතු වේවිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඇමරිකාව බලාපොරොත්තු වන්නේ ජනතා නැගිටීමක් වුවත්, එය සිවිල් යුද්ධයකට මග පෑදිය හැකිය.
ශ්‍රී ලාංකික අපට මෙයින් ඇති බලපෑම... මැදපෙරදිග යනු අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන නහරයකි. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් එහි සේවය කරති. තෙල් මිල ඉහළ යාම, විදේශ ප්‍රේෂණ අඩුවීම සහ භාණ්ඩ මිල ඉහළ යාම හරහා මෙම යුද්ධයේ රළ පහර අපේ පුංචි දූපතටත් තදින්ම දැනෙනු ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20% ක් පමණ සිදු වේ. මෙම කලාපය අවහිර වුවහොත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අහස උසට නැගීම වැළැක්විය නොහැක.
ඉතිහාසය සාක්ෂි දරන්නේ යුද්ධයකට ඇතුළු වීම පහසු වුවත්, ඉන් පිටතට ඒම අතිශය දුෂ්කර බවයි. අහිංසක මිනිස් ජීවිත, දේපල සහ අනාගත පරපුරේ බලාපොරොත්තු මේ ගිනිදැල් වලට හසුවී අළුවී යමින් තිබේ.
© සාගර දියගමගේ වියමනකින්
0 ප්‍රතිචාර:
Post a Comment