අපි දැන් වයසයි.
නිවසෙත් පිටතදිත් රගපාන්නේ බකමූණාගේ චරිතය.
හයිය හත්තිය තියෙන උදවිය ඔලොක්කුවට අහන්නේ “ දැන් ගොක් කොළ පේනවා නේද ? කියලා.
දවසක් දුම්රියේ ටිකට් පරීක්‍ෂක මහත්තෙකුට පරණ වෙලා හම්පඩ ගැහිච්ච මුදල් පසුම්බියක් දුම්රිය මැදිරියක බිම තියලා හම්බු වෙනවා.කාගෙද මේ පසුම්බිය ? කියන ප්‍රශනෙත් එක්ක අයිතිකරු සොයා ගන්න පසුම්බිය විවෘත කරනවා.
නමක් ගමක් නැහැ. හදිසියක් වුනොත් දැනුම් දෙන්න ලිපිනයක් වත් නැහැ !.
එහි තිබුනේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් සහ මුදල් නෝට්ටු කිහිපයක් විතරයි.
ඔහු මැදිරියෙන් මැදිරියට පසුම්බිය ඔසවා ගෙන යන ගමන් අහනවා“ කාගෙද මේ පසුම්බිය ?“කියලා.
එක් සීයා කෙනෙක් “ අනේ ඒක මගේ කරුනාකරල මට දෙන්න - ඔබතුමාට පිංසිද්ධ වෙයි “ කියලා ආයාචනය කරනවා.
ටිකට් පරීක්‍ෂක කියනවා - “ ඒක සීයාගේ නම් ඔප්පු කරන්න හෝඩුවාවක් එහෙම තියෙනවා නම් කියන්න
මේකේ නමක් ගමක් ලිපිනයක් පින්තූරක් නැහැනේ “ කියලා.
සීයා හිනාවෙනවා. දත් නැති ලොඹු කට.
වියපත් අහිංසක මුහුනේ පෙනුම
හිනාවෙමින් කියනවා“ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙනවා “ කියලා.
“ඒක සාක්‍ෂියක් වෙන්නේ කොහොම ද ?
ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙන්න පුළුවන්.
ඒ වගේ පින්තූරයක් මුදල් පසුම්බියක දාගෙන ඉන්නත් පුළුවන් නේ “
කියලා ටිකට් පරීක්‍ෂක වරයා අනුමානය පලකරනවා.
ඇයි ? ..ඔබේ පින්තූරයක් නැත්තේ
සීයාට ලොකු කතාන්දරයක් කියන්න සිද්ධ වුනා.
ඔබතුමා මගේ කතාව අහන්න ලෑස්ති ද ? සීයා ඇහුවා.
ටිකට් පරීක්‍ෂක වරයා කාර්ය බහුලවුනත් සීයාට අවනත වුනා.
සීයා ගැඹුරු හුස්මක් ඉහලට ගෙන මුදා හැරියා.
මගේ පින්තූරෙට මොකදවුනේ කියලා …මමවත් දන්නේ නෑ.
මට ඔය පසුම්බිය දුන්නේ මගේ තාත්තා.
මම පාසල් යන කාලේ. ඒ කාලේ මට තාත්තා වියදමට පුංචි මුදලක් දුන්නා.ඒ මුදල් දාගන්න ඔය පසුම්බිය පාවිච්චි කලා.
මම මගේ අම්මගෙයි තාත්තගෙයි පින්තූරයක් පසුම්බියේ දාගෙන හිටියා !.
මම යෞවනයෙක් වුනා. මම හරි කඩවසම්.මම මගේ පෙනුමට ආඩම්බර වුනා.
මගේ දෙමව්පියන්ගේ පින්තූරය වෙනුවට මගේ පින්තූරයක් දා ගත්තා.
කාලය ගෙවී ගියා.
ප්‍රෙමවන්තියන් ආදරවන්තියන් හමුවුනා….කලින් කලට පසුම්බියේ පින්තූර මාරුවුනා.
විවාහ වුනා. ලස්සන මගේ බිරිදගේ පින්තූරයක් පසුම්බියේ පදිංචි වුනා.
මටත් බිරිදටත් දරුවෙක් ලැබුනා.
ජීවිතයට තවත් අළුත් පිටුවක් එකතු වුනා.
දරු සෙනෙහස විසින් බිරිදගේ සේයාරුව පසුම්බියෙන් සමුගැන්වූවා බිරිදත් ඒ ගැන සතුටු වුනා.පසුම්බියට සිගිත්තියගේ පින්තූරයක එකතු වුනා.
ටිකට් පරීක්‍ෂකට කාලය ගෙවී යනවා දැනුනේ නැහැ. ඊලගට මොනවද වෙන්නේ කියලා කුතුහලයෙන් සීයා ගේ මූණ දිහා බලා ඉන්නවා.
වියකුන රැලි වැටුන මුහුනේ ඇස් මලානික වෙලා පුංචි කදුළු බිංදු දෙකෙපොල දීගේ ගලා ගෙනයනවා. ටිකට් පරීක්‍ෂකත් හැගීම් බර වෙලා. එහුගේ ඇස් කෙවෙනි නටනවා.
සීයා යලිත් හඩ අවදිකරනවා.
“ මගේ අම්මයි තාත්තයි වසර ගනනාවකට පෙර මගෙන් සමුගත්තා
මගෛ් බිරිදත් පසුගිය වසරේ මාව තනි කලා.
මගේ දරුවා දැන් ඇගේ පවුලත් සමග කාර්ය බහුලයි.
මම හැමදාමත් මගේ හදවතට සමීපව තියාගෙන හිටපු හැමදෙනාම දැන් මට ලගාවෙන්න බැරි දුරක ඉන්නේ !.
ඉතින් මම බුදුහාමුදුරුවන්ගේ පින්තූරේ මගේ මුදල් පසුම්බියට දැම්මා .උන් වහන්සේ කවදාවත් මම දාලා යන්නේ නැහැ.
මට මීට කලින් මේ හැගීම තේරුම් ගන්න බැරිවුනා.
මම දැඩිලෙස මගේ පවුලට තරම්ව බුදුන්වහන්සේට ආදරය කලා නම් ඇළුම් කරා නම් මට මේ තරම් තනිකමක් දැනෙන එකක් නැහැ.
සීයා සුසුමක් හෙළුවා.
ටිකට් පරීක්‍ෂකවරයා නිහඩවම මුදල් පසුම්බිය සීයාට දුන්නා.
දුම්රිය ඊළඟ ස්ථානයේ නතර වූවා.
ටිකට් පරීක්‍ෂක වේදිකාවේ පොත් සාප්පුව වෙත ගොස් “ඔබ ලග බුදුන්වහන්සේගේ පින්තූර තියෙනවද අසා.
මුදල් පසුම්බියට දැමීමට තරම් කුඩා එකක් තේරුවා.


0 ප්‍රතිචාර:
Post a Comment