2026-02-10

2/10/2026 07:00:00 pm


රත්නපුර දිස්ත්‍රික්කයේ ‍‍ෙඑතිහාසික වැදගත් කමකින් යුතු ප්‍රසිද්ධ දේවාල හතරකි. ඉන් එක් දේවාලයක් ඉඹුල්පේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ “උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය “ යි. 1998 අගෝස්තු 15 වෙනි දි පලකල , ප්‍රසිද්ධ කල ගැසට් පත්‍රෙය් මෙම දේවාලය “ පුරා වස්තුවක් “ ලෙසට ප්‍රසිද්ධියට පත් කර තිබේ.


දේවාලය සතු සම්පත්  යොදා ගත හැක් අන්දම ගැන මගේ හිතේ ඇතිවු සිතිවිලි ලිපි පෙලක් ලෙස විටින් විට මීදුම වෙත පලකිරීමට අදහස් කරමි.

ඔබට ලද විට කියවන්න ද ආරධනා කරමි. 


මට සිහිපත් වන චරිතයකි. විශ්‍රාමික උපාධිදාරි ගුරුතුමෙකුවු  ගුණසිංහ මහතා . ඔහු විසින්  උග්ගල් අළුත්නුවර දේවාලය  පිළිබදව බොහෝ කරුණු එක් රැස් කල https://sugv.wordpress.com/ අඩවිය  පවත්වා ගෙන යයි. ‍

mppgguna@gmail. එහි පලකර ඇති  දේවාල නිල රාජකාරි ,  පෙරහැර කරන අන්දම ,ඇදුම් පැලදුම් වැනි තොරතුරු දැනුම්වත් කිරීම් , දේවාල සංස්කෘතිය අධ්‍යයනය කරන්නෙකුට ප්‍රයෝජනවත් වේ.


දේවාලය ඉදිවීම පිලිබදවත් අවට ගම් පිලිබදවත් ඇති පුරාවෘත්තයකින් මේ ලිපි පෙල ආරම්භ කිරීම මගේ අදහසයි.


බ්‍රාහමනවත්ත  දේවාල නින්දගමට අයත් කුඩා ගමකි.
අතීතයේ මෙම ප්‍රෙද්ශයේ බ්‍රාහමනයන් දෙදෙනෙකු වාසය කර තිබේ.මෙම බ්‍රාහ්මණයන් දෙදෙනා උදෑසන මුහුණ දෝවනය සඳහා අසල තිබූ වැව වෙත යාම සිරිතකි. එක් දිනක් වැවට ගොස් මුහුණ දොවනයට නැඹුරු වු විට දියයට දිළිසෙමින් තිබූ රන් ඊයක් දකී.
දිය කැළතූ විට එය නොපෙනී ගොස් තිබේ. 

පසුව විපරම් කරන විට අසල අන්දර ගස උඩ බැලූ විට එම ඊය එහි තිබෙනු දැක ඇත.

දියෙහි දැක ඇත්තේ ප්‍රතිබිම්බයයි.

එය කතරගම දෙවියන්ගේ  දේවාභරණයක් බව ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව එම දේවාභරණය මහත් හරසරින් වඩමවාගෙන ගැට්ටපාන වෙල්යායේ විශාල වෘක්ෂයක් ඇසුරු කරමින් ඇති ගල්ගෙයක වඩමවා තබා ආවතේව කරන්නට විය. 


(අපට අළුත්නුවර දේවාල බිමට  තදාසන්න ගැට්ටපාන ප්‍රදේශයේ අදාල ස්ථානය සේ හඳුන්වන ගල්ගෙය අදත් දැකගත හැක. මැදගම සන්නස ද මේ ගැට නෙටුල ගහ යට ගල්ගෙය ලෙස දක්වා ඇත.)

එකල මෙම ප්‍රදේශය ඝන වනාන්තරයකින් වැසී තිබී ඇත.

මැදගම සන්නසට අනුව ගැට්ටපාන වන්නියල මෙහි ගම්නායකයා ලෙස කටයුතු කර ඇත. ඔහුගෙන් දේවාභරණය හා දේව හාස්කම් ගැන අසා දැනගත් සුරිය මහරජු  ඒ වෙනුවෙන් මැදගම වනාන්තරයේ සුදුසු තැනක් තෝරා දේවාලයක් කරවා ඇති බව සඳහන් වේ.

වර්තමාන කපු පරපුරේ කපු මහතුන් පවසන පරිදි ආවතේව කරමින් සිටි බ්‍රාහ්මණයෙකු දේවාලයේ සිටියදී රාත්‍රි සිහිනයෙන් පෙනී සිටි දෙවියන් “කව්සියා” බඳින්නට කියා ඇත. ඔහු පසුදින රාජකාරී කාර්ය මණ්ඩලය කැඳවා එවකට පිළිසකර නොකල දේවාලයේ ගවපට්ටියට අයත් කව්සියා නමැති ගොන් නාම්බා ගෙනවිත් බඳින ලෙස නියම කර ඇත.

නමුත් මේ බ්‍රාහ්මණයාට එදින සිට කෙසේවත් නිදාගැනීමට නොහැකි වී ඇත. මේ අරුම පුදුම සිහිනයෙන් තේරුම කුමක් දැයි  එදින  දිගටම කල්පනා කරමින් සිටි බ්‍රාහ්මණයාට එක් දිනක් පහන් වන යාමේ සිහිනයේ තේරුම “කවි සියයක් බැඳීම” බව කල්පනා විය. 

ඒ අනුව කවි සියයක් කරවීමට කටයුතු යෙදුණි.

මේ එහි එක් කවියකි .

ලළුත් ලකෙන් තුන්සිය වරුසට හිමි දුරුතු මසෙ පුර සඳ කාලේ
ගලුත් කපා කටු කනුමුල් උදුරා සීමා පවුරකි මැද මාළේ
දිලුත් එයන් කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරයදෝ ඒ කාලේ
දිලුත් එදික්පති සුරිය නරපති කෙරෙවු මැදගම දේවාලේ 

ශක වර්ෂයෙන් ක්‍රි.ව. 1382 දී දේවාලයේ ආරම්භය සිදුවූ බව මේ කවියෙන් පැහැදිලි වේ. අද දක්නට ඇති දේවාලය මෙයින් වසර 200කට පසු “යාපා මහ රජු” විසින් අලුතින් ඉදිකරන ලද දේවාලය බවට තොරතුරු සනාථ කරයි..

මෙකී යාපා මහරජු මේ ප්‍රදේශයට අධිපතිව මැද මහනුවර හෙවත් “මැදගම් නුවර” වාසය කර ඇත. යාපා මහරජු හා 1 රාජසිංහ රජු අතර සටන් කිහිපයක්ම ඇතිවී තිබෙන බව ජනප්‍රවාදයේ සදහන් වේ . යාපා රජු දෙවරක්ම යුද්ධයේදී පරාජයට පත් වී තෙවන වර යුද්ධයට ගොස් ඇත්තේ මෙම මැදගම වනයේ සුරිය මහරජු විසින් ඉදිකළ දේවාලයට රන් පනම් දෙසකින් යුත් පඩුරු පොදියක් දේවාලය කිට්ටුව ඇති කොස් පැළදේ ( කොස් ) බැද භාරයක් වීමෙන් අනතුරුවය. .

ඒ ලෙස සඳහන් වන කොස් පැළය දේවාල වීදිය ආසන්නයේ වර්තමානයේද විශාල වෘක්ෂයක්ව විරාජමානව බුහුමන් ලබමින් හිඳී. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුන විට රාජකාරී නම් කර ඇති ලංකාවේ එකම වෘක්ෂය වන්නේ මෙම කොස් රූප්පයයි. 

මේ බව තහවුරු කිරීම සඳහා දේවාලය සතු 1870 අංක 4 දරණ වැඩ ලේඛනය සාක්ෂි දරයි.

එසේම උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය ආශ්‍රිත ජනප්‍රවාද, ප්‍රදේශයේ ගම් නාමකරණයට හේතු වු බව විමසා බැලීමේදී පෙනී යයි. 

යාපා රජු හා රාජසිංහ රජු අතර සටන ඕපනායක මාළියද්ද වෙල්යායේ සිට හුණුවල  වෙල්යාය දක්වා සිදුවූ බව පවසා ඇත. හුණුවල වෙල්යායේදී මේ දෙදෙනා අතර සමාදානයක් වූ අතර ඒ ආසන්න ඇලෙන් නැගෙනහිර කොටස යාපා රජු සතු බවටත්, බටහිර කොටස 1 රාජසිංහ රජු සතු බවටත් ගිවිසුම් ගෙන ඇත. එය සිහිවීම පිණිස රජවරුන් සිය පේරැස්මුදු  ගලවා එම ඇලට දැමු බවත් එතැන් පටන් මේ ඇල “පේරැස් ඇල” නමින් හඳුන්වනු ලැබූ බවත් පවසනු ලැබේ. වර්තමානයේද මෙම ඇල පේරැස්  ඇල නමින් ව්‍යවහාර වේ.

සටන එසේ නිමා වීම දෙරජවරුන්ම ලද ජයග්‍රහණයක් විය. යාපා රජු මහත්සේ ජයපානෝත්සව පවත්වමින් සැණකෙළිවල යෙදෙමින් ආපසු පැමිණි අතර මැදගම දේවාලයට වූ භාරය අමතකව තිබුණි. මේ නිසා යාපා රජුගේ උගුරේ ලෙඩක් වැළඳුණු අතර කතා බස් කිරීමට නොහැකි වූ බව පවසා ඇත. ඊට හේතුව විමසා බැලූ රජුට උපදේශකවරු භාරය සිහිපත් කරවීය.

එවකට “වෑ එළි තැන්නේ මාළිගාවේ” වාසය කළ රජු වහාම “මේ ගමත් දෙවියන්ට පුද කරමි” යි පවසමින් මයුරවාහන කොඩියක් සිටුවූ විගසින්ම රෝගය ගුණවිය. ස්වරය ගුණවූ ස්ථානය “සොරගුණෙන්” නමින් පසුකාලයේදී හඳුන්වන්නට වූ බව ජනප්‍රවාදයේ ඇත.

ඌවත් සබරගමුවත් මායිමේ පිහිටි සොරගුණේ ද දේවාලයක් ඇත. එකල පිහිටි මාර්ග පද්ධතිය අනුව මෙම දේවාල දෙක අතර දුර සැතපුම් විස්සක් - විසිපහක් වන්න ඇත.

එසේම සොරගුණෙන් සිට ආපසු මැදගම වනාන්තරයේ ඇති දේවාලය බලා ගමන් ගත් යාපා රජුගේ ශරීරයේ ගෙඩියක් වැළඳී ඇති බව පවසයි . පීලිපොත නමින් හඳුන්වන ගමට එන විට පීලකින් මෙන් ගෙඩියේ සැරව ගලා යන්නට වූ බවත්, වරකාවෙලදී වරකා ගෙඩියක් මෙන් දිස්වූ බවත්, කිංචිගුණේ ප්‍රදේශයට එන විට ගෙඩිය ස්වල්පයක් ගුණ වූ ( කිංචි - පොඩ්ඩක්) බවත් පැවසේ.

රෝගයේ ස්වභාවය අනුව ප්‍රදේශවලට නම් පටබැඳුණු බව පෙනේ. වර්තමානයේ සමනල වැව ව්‍යාපාරයට මෙම ගමන් මාර්ගයත් ගම් ප්‍රෙද්ශත් ජලයෙන් යටවී ඇත.

දේවාලය කරවීම පිළිබඳ පුරාවෘත්තය  

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය තැනීම පිණිස පැමිණි යාපා රජු එදින රාත්‍රි එක් ගොඩැල්ලක් මත පිහිටි මහා නුග වෘක්ෂයක් ගිනිගෙන අළුව යනු සිහිනයෙන් දැක ඇත. පසුව අවදි වී බැලූ විට සැබෑවටම මහා නුග වෘක්ෂය ගිනිගෙන අළුව ඇති ආකාරය දුටු රජු මේ දෙවියන් පෙන්වූ ලකුණ ලෙස හඳුනා දේවාලය එම අළුගොඩ මත ඉදිකළා යැයි කියැවේ.

දේවාලය ඉදි කිරීමට “දෙවුන්දර වඩුවන්” ලවා සැලසුම් කළ බව මැදගම සන්නස සදහන් කරයි. ගොඩැල්ල වට කරමින් මළු තුනක් වන පරිදි බැමි බැඳවා ඒ මත දේවාලය ඉදිකර ඇති ආකාරය ඉතා මනරම්ව දිස්වේ. වරිච්චි යොදා තැනූ උඩ මාළිගයද එහි වහලයේ ලී කැටයම්ද, වහලයට යෙදු නුවර යුගයේ කැටයම් සහිත යට ලී හා බාල්කද තවමත් ඉතා ශක්තිමත්ව බර දරාගෙන සිටී.

දේවාලයේ මහා උළුවස්ස අළුත්වැඩියාට ලක් වූවත් තවමත් පුරාණික බව රකිමින් තේජස් විහිදුවමින් ඇත.

යාපා මහ රජු කළ විහාරගෙය මෙන්ම දාගැබත්, බෝධි වෘක්ෂයත් අදටත් විරාජමානව පවතී. දේවාලයට යාබදව ඉදි කර ඇති විහාරගෙය ටැම්පිට විහාරයකට කදිම නිදසුනක් ලෙස ආනන්ද කුමාරස්වාමි මහතා අනාවරණය කර ඇත. එම අනාවරණය නිවැරදි බව කියාපෑමට ගල්ටැමි තවමත් ඉතිරිව ඇත.

මෙම විහාරගෙය, දාගැබ හා බෝධීන් වහන්සේ පිහිටා ඇති අයුරු ඉතාමත් සුවිශේෂීය. මේ අනුව බෝධීන් වහන්සේගේ එක් අත්තක් විහාර ගෙයත්, අනෙක් අත්ත දාගැබත් වසා ගනිමින් ඇත්තේ මෙම දේවාලයට සුවිශේෂී බවත් එක් කරමින්ය. තුම්පත් බෝධිය යනුවෙන් හඳුන්වන මෙම ලක්ෂණය බෝධි පූජාවක් කිරීම සඳහා සුදුසුම බෝගසක් ලෙස සැලකේ.

බෝධි පූජාවකින් වඩාත් පල ලැබීමට නම් තුම්පත් බෝධියට බෝධි පූජාවක් පැවැත්විය යුතු බවටද මතයක් ඇත. 

ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුණු විට ඒ සඳහා ඇති එකම බෝධීන් වහන්සේ මෙම දේවාලයේ ඇති මෙම බෝධීන් වහන්සේ පමණක් බවද මතයකි.


උග්ගල් අළුත්නුවර දේවාලයේ බස්නායක තනතුර හිස්ව නව නිලකාලයක් සදහා බස්නායක නිළමේ වරයෙකු පත් කරගැණිමට නිලවරණයක් පැවත්විනි.

නව බස්නායක නිළමේ වරයාගේ පාලනය යටතේ මෙවර වාර්ෂික පෙරහැර මංගල්‍යයද උත්කර්ෂව පැවත්විනි.

බොහෝ දෙනාගේ මතය වුයේ මෙවර පෙරහැර මංගල්‍ය විචිත්‍රවු බවයි.

පෙරහැර ආරම්භවීමට සති දෙක තුනක් තිබියදී පත්ව වැඩබාරගත් එතුමා කෙටි කාලය තුල කල වික්‍රමය ප්‍රෙද්ශවාසීන්ගේ පැසසුමට ලක්විනි.

පෙරහැර බලන මට හිතුනේ දේවාලය සතු සම්පත් පෙරහැරකට පමනක් සීමාවීම බලවත් අසාධාරණයක් සහ අපරාධයක් බවයි.

ප්‍රසාදය පලකරමින් පලකර තිබු බැනරයක් රාත්‍රී කාලයේ  කැබ් රථයකින් පැමිණි පිරිසක් ගලවා ගෙනයන අයුරු දැක්වෙන වීඩියෝවක් මුණු පොතේ පලවී තිබුනි. හොදත් නරකට පෙනෙන මිනිසුන් සමාජයේ සිටිති. මෙකල හැම දෙයක්ම බලන කෝණයක් ති‍බේ .

එය දේශපාලනයයි. පාලන පක්ෂය නියෝජණය නොකරන්නේ නම් ඔහු හොරෙකි. නැත්නම් පාදඩයෙකි



අළුත්නුවර දේවාලය ගැන 
තවත් කථා කරමු.

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: