ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙය කඩිමුඩියේ ගත් තීරණයක් නොවේ . කාලාන්තරයක් අමාත්‍යාංශය විසින් කරන ලද නිරීක්ෂණයන්හි ප්‍රතිපලයකි.
ශිෂ්‍යයන් 50 ට අඩු පාසල් වසා දැමීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත් වසරේ ගත් තීන්දුවට අනුව නිකුත් කළ 34/2025 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේදී දිවයින පුරා පාසල් 1,506ක් වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.
ළමයින් අඩු පාසල් වසා දැමීම පිළිබඳ කතාබහ පසුගිය වසර ගණනාවක් පුරා පැවතියද, මෙවර නිකුත් කළ චක්‍රලේඛය මඟින් එය විධිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කර ඇතැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරීක්ෂකයින් පවසති.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික පාසල් සංගණන වාර්තා අනුව, 2015 වසරේදී සමස්ත පාසල් සංඛ්‍යාව 10,144ක් වූ අතර 2020 වන විට එය 10,155ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එම කාලය තුළ ළමයින් 50 ට අඩු පාසල් සංඛ්‍යාව 1,515 සිට 1,439 දක්වා අඩුවී ඇති අතර, ගුරුවරුන් 10 ට අඩු පාසල් සංඛ්‍යාවද 3,113 සිට 3,044 දක්වා අඩුවී තිබුණි.
කෙසේවෙතත්, 2020 න් පසු තත්ත්වය වෙනස් වී ඇති බව 2024 වසරේ සංගණන වාර්තා මඟින් හෙළි වේ. ඒ අනුව, 2024 අවසන් වන විට පාසල් සංඛ්‍යාව 10,047 දක්වා අඩුවී ඇති අතර ළමයින් 50 ට අඩු පාසල් සංඛ්‍යාව 1,645 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ගුරුවරුන් 10 ට අඩු පාසල් සංඛ්‍යාවද 3,065 දක්වා වැඩි වී ඇත. මෙම සංඛ්‍යාත්මක වෙනස්කම් පිළිබඳ නිල අධ්‍යයනයක් හෝ විග්‍රහයක් සිදුකර තිබේද යන්න පිළිබඳ ප්‍රශ්න රැසක් මතුව තිබේ.
මෙම තත්වයන්හී වෙනස් වීමට එක් හේතුවක් ලෙස මාර්ග සංවර්ධණය හා ප්‍රවාහන පහසුකම් දියුණුවීමද එක් හේතුවකි. ගම්බද මාර්ග පද්ධතිය දියුණුවීම නිසා ආසන්න ජනප්‍රිය පාසල් කරා ශීෂ්‍යයින් යොමුවී ඇති බව පැහැදිලි වන්නකි.
ග්‍රාමීය ප්‍රදේශවලට දැඩි බලපෑමක්
34/2025 චක්‍රලේඛයට අනුව වසා දැමීමට නියමිත පාසල් බහුතරයක් නාගරික ප්‍රදේශවලින් බැහැර ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් බව දත්ත මඟින් පෙන්වයි.
ඒ අනුව ඌව පළාතේ පාසල් 892 න් 172ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 132 න් 40ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි කලාපයේ පාසල් 58 න් 25ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 498 න් 120ක් වසා දැමීමට නියමිත බව වාර්තා වේ. මෙම ප්‍රදේශවල සමහර කලාපවල පාසල්වලින් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට නියමිතය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විචාරකයින් පෙන්වා දෙන්නේ, පාසල් වසා දැමීමට පෙර අදාළ ප්‍රදේශවල ගුරුවරුන්, මවුපියන්, පළාත් පාලන ආයතන සහ ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.
විශේෂයෙන්ම, ළමයින් වෙනත් පාසල්වලට නොයන හේතු, ප්‍රදේශයේ පාසල සංවර්ධනය කළහොත් ළමයින් එයට ආපසු හැරෙන්නේද, පාසල් වසා දැමීමෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට සිදුවන බලපෑම යන කරුණු සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් නොමැතිව ගත් තීරණයක් ලෙස මෙය විවේචනයට ලක්ව ඇත.

0 ප්‍රතිචාර:
Post a Comment